Monday, July 23, 2018

# Ali Smith # literature

‘ලේඛනය මගේ දින චර්යාවේම කොටසක්‘ – අලි ස්මිත්

‘ආදරය හා පරිකල්පනය එකිනෙකින් නොබිඳිය හැකි ලෙස බැඳී පවතිනවා‘ – අලි ස්මිත් අලි ස්මිත් ස්කොට්ලන්ත ලේඛිකාවක, නාට්‍ය රචිකාවියක මෙන්ම මාධ්‍යවේදිනියක ද වෙයි. සිය පළමු කෙටි කතා එකතුව වූ Free Love වෙනුවෙන් 1995 දී Saltire First Book සම්මානයෙන් පිදුම් ලැබු ඇය 2014 වසරේදී රචනා කළ How to be Both නවකතාව වෙනුවෙන් මෑන් බුකර් සම්මානය උදෙසා ද නිර්දේශ වුවාය. How to be Both නවකතාව තුළ එකම කතාව පර්යාවලෝක දෙකකින් අවධානයට ලක්කරන්නට අලි ස්මිත් උත්සහ දරා ඇත. සිය මවගේ වියෝවත් සමග කේම්බ්‍රිජ් හි දිවිගෙවන 16 හැවිරිදි ජෝර්ජි නම් දැරියක හා පුනරුද යුගයේ ජීවත් වූ ඉතාලි ජාතික කලා ශිල්පියෙකු වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් කොසාගේ ආත්මය නැවත මිහිතලයට පැමිණීමත් සමග ඇතිවන තත්ත්වය How to be Both නවකතාවෙන් නිරූපිතය. ජෝර්ජිගේ ජීවිතය හා ෆ්‍රැන්සිස්කෝ සිය දිවිය නැවත සිහිගැන්වීමට කරන උත්සහයක් ලෙස මේ නවකතාව ලියැවී ඇත. මෙය අලි ස්මිත් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි. How to be Both කෘතිය රචනා කරන්න ඔබට බලපෑවේ මොනවද ? මූලිකව හේතුවුණේ ද්‍රෘෂ්‍ය කලාවක් ආඛ්‍යානයකට නැගිය යුතුයි කියන අදහසයි. අනෙක් කාරණේ කලා සඟරාවක තිබුණු එක පිංතූරයක රැඳී තිබුණු නැවුම් බව මගේ හිතට තදින් බලපෑවා. අවුරුදු 500 ක් විතර පරණ දෙයක් ගැන ලිවිය යුතු බවට වූ අදහස මගේ හිතට ආවා. ඉතිං, කාලය – සදාකාලිකත්වය ගැන වගේම ජීවිතය හා කලාවේ ආකෘතීන් ගැන ලියන්න වුවමනා වුණා. ඔබ විඳි අත්දැකීම් ඔබේ නිර්මාණ තුළින් කෙතරම් දුරට පිළිබිඹු වෙනවද ? ගොඩක් දුරට කොහොමටවත් ඒවා පිළිබිඹු වෙන්නේ නැහැ. ඒ හැමදේම පරිකල්පනය කරගන්නා දේවල්. ඔබ ලේඛනයේදී දිනපතා අනුගමනය කරන ක්‍රමවේදයන් මොනවද ? සාමාන්‍යයෙන් මං නවකතාවක් රචනා කරද්දි ඒ නවකතාව දැවැන්ත රික්තයක් වගේ ක්‍රියා කරනවා. ඒ රික්තයට හැමදේම ඇදලා ගන්නවා. ඒ නවකතාව රචනා කිරීම මගේ දිනපතා චර්යාවේම කොටසක් වෙනවා. මගේ නින්ද, නෑම, කෑමබීම වගේ එදිනෙදා කාර්යයන් වල නිරතවෙන්න මාව උමතු කරවන අන්දමේ උපායන් අවශ්‍ය වෙනවා. මෑතකදී ඔබ කියවූ පොත් අතරින් ඔබව පුදුමයට පත්කරපු පොත මොකක්ද ? එහි පැවති විශේෂත්වය මොකක්ද ? ටෝනි මොරිසන්ගේ අලුත්ම නවකතාව වුණු God Help the Child. මෙහි කතාව ඈත අතීතයට දිව යනවා වගේම අති නවීන අන්දමේ එකක් ද වෙනවා. මනාව ගලායන හා සංස්කරණයට ලක්වී තිබුණත් බොහොම නිර්භීත ක්‍රියාවන් ගැබ් වී තිබෙන මවිත වන අන්දමේ කතා වස්තුවකින් සමන්විත වූවක්. එය කියවද්දි දැනෙන්නේ ඉතිහාසය පුරාවට තිබුණු කෘර ක්‍රියාවන් හා වහල්භාවය ගැන වර්තමානය ඇසුරින් කරන හෙළිදරව්වක් ලෙසිනුයි. බොහොම ලේසියෙන් ලියන්නට හැකි ආකෘතියකට අනුව මේ පොත ලියැවී ඇති බව පෙනුණත් එය බෙහෙවින් අසීරු කාර්යයක් වෙන්නට ඇති. මේතාක් කල් හිටිය ලේඛකයින් අතරින් මොරිසන් විශිෂ්ඨයකු බව කිවහැකියි. ඔබ මේ වෙද්දි කියවමින් ඉන්නේ මොකක්ද ? ඉම්ගාර්ඩ් කර්න්ගේ The Artificial Silk Girl කෘතිය. 1932 දී ලියැවුණු මේ නවකතාව මගින් ඇනිටා ලූස් ඇගේ Gentlemen Prefer Blondes කෘතියෙන් ආරම්භ කළ හාසයෝත්පාදක ශෛලිය දැකගන්නට හැකියි. ඔබ ලේඛනයේ යෙදෙන්න කැමති කොතැනදීද ? ඊට හේතුව මොකක්ද ? මගේ කාමරය. මොකද මං හැම වෙලාවෙම, හැම වැඩක්ම කරන්නේ එතැනදියි. ඔබ ලේඛිකාවක නොවුණා නම් කවුරු වේවිද ? කුණු කසළ එකතු කරන කෙනෙක්, බ්‍රෝඩ්වේ සංගීත නාටක රචිකාවියක්, කියවපු පොත් විකුණන කඩේක වැඩ කරන කෙනෙක්, හස්ත රේඛා ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක් නැත්නම් තණකොළ කපන්නියක් වේවි. විශිෂ්ඨතම ප්‍රබන්ධය උදෙසා පිදෙන The Women’s සම්මානය ඉදිරිපත් වෙන්නේ කාන්තා ලේඛිකාවන් හඳුනාගෙන ඔවුන්ව අගය කිරීමේ දැක්මෙන් යුතුවයි. ඇත්තටම, නිර්මාණ ක්ෂේත්‍රය කොල්ලන්ගේ තැනක්ද ? කාන්තාවන්ට තවමත් සිය රාජකාරි ස්ථාන වලදී කොතැනකට ගියත් අඩු සැලකුම් හිමිවෙනවා. මේ ක්ෂේත්‍රය තුල ධනාත්මක වෙනස්කම් සිදුකිරීම කිසිදිනක හානියක් සිදුවෙන්නේ නැහැ. ක්ෂේත්‍රය තුළ විශේෂ අවධානයක් හිමිවිය යුතු යැයි ඔබ විශ්වාස කරන ලේඛිකාවක් සිටිනවද ? ලේඛනය තුළ නව අත්හදාබැලීම් කරන බ්‍රසීල ජාතික ලේඛිකාවක වන ක්ලැරිස් ලිස්පෙක්ටර්. ඇය ලියන සෑමදෙයක් තුළම බුද්ධිය, හදවත හා ආත්මය අතර මනා සබඳතාවකින් යුතුව ලියැවී ඇති අතර ඒ මගින් ඇය පාඨකයා කම්පනයට පත්කරනවා.

No comments:

Post a Comment