Friday, July 6, 2018

# krishnan # rajini

රාජිණී ගැන ඉංග්‍රීසියෙන් රචිත නවකතාව ජූලි 25 එළිදකී

මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යච්ඡේද විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී එල්ටීටීඊ සංවිධානය විසින් සාහසික ලෙස ඝාතනයට ලක්කළ රාජිණී තිරාණගම ගැන මලයාලම් බසින් ලියැවුණු Sugandhi Enna Andal Devanayaki කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළඹෙන ජූලි 25 වැනිදා ජනගත වීමට නියමිතය. ඒ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රකාශන සමාගමක් වන හාපර් කොලින්ස් සමාගමේ ප්‍රකාශනයක් ලෙසිනි. රාජිණීගේ ඝාතනයෙන් වසර 29 ක් ගතවීමෙන් අනතුරුව ලොව පුරා පාඨකයින්ට ඇය ගැන කියවීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම විශේෂය. Sugandhi Enna Andal Devanayaki කෘතිය මලයාලම් බසින් මීට වසර තුනකට පෙරාතුව ටී.ඩී රාමක්‍රිෂ්ණන් විසින් ලියැවුණි.
උග්‍ර සිංහල ජාතිභේදවාදය, පටු අරමුණු මත ක්‍රියාත්මක වූ ජාතිකත්වය මෙන්ම ඉන්දීය සාම සාධක බලකායේ කෘරභාවය ගැන ද ඇය නොබියව විවේචනය කළ ඇය ජනවාර්ගික හා ආගමික බාධා ඉක්මවා යමින් කටයුතු කළ රාජිණී සිංහල බෞද්ධ පසුබිමක හැදී වැඩුණු සමාජ ක්‍රියාකාරිකයෙකු හා විවාහ වූවාය. ඇගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථාන මේ කෘතිය තුළ දිගහැරී ඇත. Sugandhi Enna Andal Devanayaki කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති ප්‍රියා කේ නායර් පවසන්නේ, ‘‘මලයාලම් බසින් ලියැවී තිබෙන බොහෝ නවකතා, කෙටිකතා වලට පදනම් වී තිබෙන්නේ කේරළයයි. මේ සීමාවෙන් ඔබ්බට ගිය අත්දැකීම් ගැන මලයාලම් බසින් ලියැවෙන්නේ බොහෝ කලාතුරකිනුයි. නමුත්, රාමක්‍රිෂ්ණන්ගේ නවකතා හුදෙක් කේරළයට පමණක් සීමා වුණු ඒවා නොවේ. Sugandhi Enna Andal Devanayaki නවකතාව ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ලියැවී තිබෙනවා. මේ නවකතාවේදී ලෝකය එහි සීමාව තුළට ගෙනැවිත් තිබෙනවා. කර්තෘ ඔහු මවන කතාව ඉදිරිපත් කිරීමේදී දේශසීමා ඉක්මවා යාම අභියෝගයට ලක්කර ඇත.‘‘ යන්නයි.
වැඩිදුරටත් අදහස් පළකරන ඇය පවසන්නේ ‘‘මේ නවකතාව සමකාලීන සමාජයත් සමග මනාව ගැළපෙන අතර ඒකාධිපති බල ව්‍යුහයන්ට එරෙහිව නැගෙන බලගතු ප්‍රකාශයක් ද වෙනවා. මේ නවකතාව හුදෙක් කේරළයට පමණක් සීමා නොවිය යුතුයි. ඒ වගේම යුද්ධයේ කෘරත්වය අත්විඳි ඕනෑම සංස්කෘතියකට මේ නවකතාව මනාව ගැළපෙනවා. ‘‘ යන්නයි. ප්‍රියා ශාන්ත තෙරේසා විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරියක ලෙස සේවය කරන අතර රාමක්‍රිෂ්ණන් විසින් රචනා කළ Alpha හා Francis Itty Cora ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේය ඇය විසිනි. දමිළ කෘතීන් ගණනාවක් මලයාලම් බසට පරිවර්තනය කර තිබෙන රාමක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට අධ්‍යනය කරමින් සිටියි. ‘‘මගේ නවකතාවට පසුබිම් වී තිබෙන්නේ ලංකාවේ සමකාලීන ඉතිහාසයයි. කෘතිය තුළ මවන ෆැන්ටසියේදී රචනා මේ ඉතිහාසගත කරුණු පදනම් කරගනිමින් වෙනස් විදියකට නවකතාව රචනා කරන්න උත්සහ ගෙන තිබෙනවා. ලංකාවේ ජනවාර්ගික බෙදීම් වල සංකීර්ණත්වය ගැන හොයාබලන්නට මා පෙළඹ වූවේ රාජිණීගේ ඝාතනයයි. එල්ටීටීඊ සාමාජිකාවක වුණු ඇගේ වැඩිමහල් සොහොයුරිය නිර්මලාගේ චරිතයෙන් පෙළඹෙන ඇය අතිශයින්ම ජාතිකවාදී කණ්ඩායම් සමග පවා එක්ව කටයුතු කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය මගින් පිරිනැමූ ශිෂ්‍යත්වයක් හිමිකරගන්නා රාජිණී 1983 දී ලන්ඩනයේ ලිවර්පූල් වෛද්‍ය විද්‍යාලය වෙත යනවා. තමන් ජීවත් වුණු කලහකාරී පරිසරයෙන් මිදුණු ඇය අසාධාරණයට එරෙහිව සිය හඬ නැගීම අත්හැර දමන්නේ නැහැ.‘‘
එල්ටීටීඊය දෙස සානුකම්පිත හැඟීමෙන් බැලුව ද අවිගත් අරගලය නිෂ්ඵල බව වටහාගන්නා ඇය ඉන්පසු එල්ටීටීඊ ය විවේචනය කරන්නියක බවට පත්වෙනවා. ඇයව එල්ටීටීඊ ය විසින් ඝාතනය කරන ලද බව මා විශ්වාස කරන්නේ නැහැ. නමුත්, සත්‍ය කතා කරන්නට දැක්වූ නිර්භීතත්වය ඇගේ ඝාතනයට හේතුවී තිබීම මේ නවකතාව රචනා කරන්නට මාව තදින් පෙළඹ වූ කරුණක් වුණා‘‘ යැයි Sugandhi Enna Andal Devanayaki කෘතිය ගැන සිය හඬ අවදිකරන රාමක්‍රිෂ්ණන් පවසයි. (The Hindu ජූලි 5 වැනිදා පළවූ කේ.ඒ. සාජි ගේ ලිපිය ඇසුරිනි)

No comments:

Post a Comment