Monday, February 12, 2018

Alexandros Panagoulis සටන්කරුවෙකු ගැන සටහනක්

February 12, 2018 0 Comments
මං, මේ නිහඬ බිත්ති වලට හඬ දුන්නා, ජීවය දුන්නා ඉතිං, ඒ බිත්ති මගේ ළබැඳියන් වුණා ‘තීන්ත හොයාගන්නේ කොතැනින්ද ?‘ ගාර්ඩ් මහත්තුරුන්ට දැනගන්න ඕන වුණා මේ සීතල සිරමැදිරි බිත්ති මගේ රහස සදාකල් රැක්කා හිටිහැටියේ කඩාවැදුණු කුලීහේවායෝ අහුමුළු වලට ඉව කර කර තීන්ත හොයන්න ගත්තා එක මොහොතකටවත් මගේ ශිරා වල තීන්ත සැඟව ඇතැයි උන්ට කොහොමටවත් හිතාගන්නට නොහැකි වූ නිසා ඒ ‘තීන්ත‘ මෙහෙයුම නිශ්ඵල වුණා (Alexandros Panagoulisගේ The Paint කවියෙනි. Vi scrivo da un carcere in Grecia, 1974)
සොයායන්නෙමි. ග්‍රීසියේ අඳුරු සිරකුටියක සැඟව ඇති ඔහුගේ රුධිරයෙන් ලියැවුණු කවි කොහිදැයි කියා. නොයෙක් වධ බන්ධන වලට ලක්වුණු ඔහුගේ සිරුරේ විඩාව බිඳකට හෝ මඟහරවා ගන්නට සැතපුණු සීතල පොළෝ තලයේ තවමත් ඒ උණුසුම රැඳී ඇතැයිද කියා. නැත, හමුවුණේ ඔහුගේ රුධිරයෙන් ලියවුණු කවි වැල් වල අඳුරු ඡායාවන් පමණක්මය. ........................................................................................................................ Alexandros Panagoulisගේ ග්‍රීසියේ දිවිගෙවූ දේශපාලඥයකු මෙන්ම කවියකු වෙනවා. ඒත්, බොහෝදෙනෙකු Panagoulis ව හඳුනන්නේ ආඥාදායක පාලනයක් ගෙන ගිය Georgios Papadopoulosගේ සැහැසිකම් මෙන්ම දූෂණ, වංචා වලට එරෙහිව හඬ නැගූ තැනැත්තෙකු ලෙසිනුයි. මෙහි කූට ප්‍රාප්තිය වූයේ Papadopoulos ව ඝාතනය කිරීමට Panagoulis තනිවම උත්සහ දැරීමත් එය අසාර්ථක වීමත්ය. සියතින්ම හැදූ බෝම්බයක් යොදාගෙන Papadopoulosව ඝාතනය කිරීමට 1968 අගෝස්තු 13 වැනි දා Panagoulis උත්සහ දැරූ අතර ඒ වෑයම අසාර්ථක වී ගිය තැන ඔහු මේ ආඥාදායක පාලකයාගේ රෙජීමයේ තවත් එක් ගොදුරක් බවට පත්වෙනවා. මේ ගැන පසුකලෙක Oriana Fallaci සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ, ‘මට කිසිම මිනිහෙක්ව මරාදමන්න වුවමනා වුණේ නෑ. කොහොමත්, මට කාවවත් මරා දමන්නත් බැහැ. ප්‍රජා පීඩකයෙක්ගේ අවසානය දකින්න මට ඕන වුණා‘ යන්නයි. සිය සිරගත ජීවිතය තුළ කායික මෙන්ම මානසික වධ බන්ධන වලට ද ලක්වන Panagoulis 1968 නොවැම්බර් 3 වැනිදා මිලිටරි උසාවියේදී නඩු විමසීමට භාජනය වෙනවා. කොහොම වුණත් ඔහුට Papadopoulosගේ සැහැසිකම් වලින් ගැළවෙන්නට හැකිවෙන්නේ නැහැ. 1968 නොවැම්බර් 17 වැනිදා National Resistance හි අනෙකුත් සාමාජිකයින් සමග Panagoulis ද මරණයට තීන්දු වනවා. මේ දණ්ඩනය ක්‍රියාත්මක වන තෙක් Aegina වෙත මේ පිරිස ගෙන යනවා. මේ ආඥාදායක පාලනයේ මර්දනකාරී ක්‍රියා පිළිවෙතට ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ල වෙන්නට ගන්නවා. මේ බලපෑම් හමුවේ Panagoulis ව ඝාතනය කිරීම නවතා දමා ඔහුව සිරගත කර තැබීමට නියම කෙරෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1968 නොවැම්බර් 25 වැනි දින Bogiati (S. F. B.) මිලිටරි බන්ධනාගාරයේ ඔහුව සිරගත කර තැබීමට නියම කෙරෙනවා. ජුන්ටාවේ පාලකයින් සමග හොඳ හිත ඇතිකර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන Panagoulis ඒ නිසාම කායික මානසික අඩන්තේට්ටම් වලට දැඩිව ලක්වෙනවා. 1969 ජූනි 5 වැනිදා සිරගෙයින් පලා යන Panagoulisව නැවත අල්ලාගන්නා මේ පාලකයින් Goudi කඳවුරේ ඔහුව තාවකාලිකව රඳවා තබනවා. නැවත කීපවරක්ම සිරගෙයින් පැනයාමට දරන උත්සහය හමුවේ මේ අකීකරු තරුණයාව Bogiati හි හුදකලා සිර මැදිරියක රඳවා තබන්නට ජුන්ටාවේ පාලකයින් තීරණය කරනවා. ඒ අතරතුර කාලයේදී පොදු සමාවක් ලබාගැනීමට ඔහුට අවස්ථාව හිමිවුණත් ඔහු ඒ අවස්ථාවන් සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මේ දරුණු පාලනය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීර්ණ වීමට දැරූ අසාර්ථක උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස වසර හතර හමාරක කාලයක් පුරා කායික මෙන්ම මානසික බධ බන්ධන වලට ද ලක්වන Panagoulis 1973 අගෝස්තු මස දී නිදහස් මිනිසෙකු වනවා. ඔහු වැනිම වුණු අනෙක් දේශපාලන සිරකරුවන් සියලුදෙනා ද මේ අතරට එක්වෙනවා. තමන්ව අතිදරුණු වධ බන්ධන වලට ලක්කළ පාලකයින්ට එරෙහිව අඛණ්ඩව සිය විරෝධතාව ප්‍රකාශ කිරීමේ අදිටනින් ස්වයං පිටුවහල් වීමක් ලෙස ෆ්ලොරන්ස් වෙත ගිය Panagoulisට එහිදී Oriana Fallaci නම් මාධ්‍යවේදිනිය හමුවෙනවා. සමහරවිට ඔවුන් දෙදෙනාගේම ජීවිතයේ සුන්දරම සමය මෙය වන්නට ඇති.
මේ හමුවත් තවත් එක් අහම්බයක් විය හැකි වුවත් Orianaට අනුව නම් ඔහුව හමුවීම සැබැවින්ම අහඹුවක් නොවන්නට ඇති. එවකට L'Europeo සඟරාවේ සේවයේ යෙදුණු Orianaගේ මිතුරියක් ඇයට පවසන්නේ Panagoulis සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකරන්න තමන්ට අවස්ථාව ලැබී තිබෙන බවයි. ‘ඔයා නෙමෙයි, මමයි එයාව ඉන්ටර්වීව් කරන්නේ‘, මාස හයක් තිස්සේ උත්සහ දරලා ජර්මානු චාන්සලර් Willy Brandt සමගින් යොදාගෙන තිබුණු සම්මුඛ සාකච්ඡාව අවලංගු කරන උමතු Oriana, Panagoulisව හමුවෙන්න ඇතැන්ස් වෙත යනවා. මේ දෙදෙනාගේ පළමු හමුවෙන් හරියටම දවස් දෙකකට පස්සේ ඔවුන් පෙම්වතුන් බවට පත්වෙනවා. නොයෙක් කරදර මැද්දේ අවුරුදු තුනක් පුරාවට ඇණුම්, බැණුම් වගේම ආදරය මැද්දේ මේ දෙදෙනා ජීවත් වෙනවා. පසුකලෙක Oriana රචනා කළ A Man චරිතාපදාන ආකෘතියකින් ලියැවුණු කෘතිය තුළ දිගහැරෙන්නේ ඔවුන් දෙදෙනා අතර පැවති සමීප හිතවත්කමේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් ගැනයි. මේ සමයේදී ඇය ගැබ්බර වුවත් මව් පදවිය ලබන්නට හැකිවන්නේ නැහැ. ඒ ඇගේ නොඉපදුණු දරුවාගේ වියෝව හේතුවෙනුයි. සමහර මාධ්‍ය එකල මේ ගැන වාර්තා කර තිබෙන්නේ Panagoulis වෙතින් ඇගේ උදරයට එල්ල වුණු දරුණු පහරක් නිසා දරුවා මිය ගිය බවයි. ඒ කෙසේවුවත්, Letter to a Child Never Born කෘතියේදී Oriana මව්වත්කම ගැන මෙහෙම සඳහනක් කරනවා. ‘මිනිහෙක්ට දරුගැබක් දරන්නට නොහැකි නිසා දරුවෙකු කුසේ හොවාගෙන ඉන්න ගැහැණියක් ගැන මිනිහෙක්ට හරි හැටි තේරුම්ගන්න හැකිවෙන්නේ කොහොමද ?. ගැහැණියෙක්ට දරු ගැබක් දරන්නට හැකිවීම ඇය ලැබූ මහත් භාග්‍යයක්ද ? නැත්නම් ඇගේ ජීවිතයට පැනවෙන සීමාවක්ද ?. හ්ම්...ඊයේ වනතුරු මං ඒ ගැන හිතුවේ එය භාග්‍යයක් නැත්නම් වරප්‍රසාදයක් විදියටයි. අද මං ඒ ගැන හිතන්නේ සීමාවක් නැත්නම් යැදීමක් ලෙසයි. එක් අයෙකු වෙනුවට ඔබ දෙදෙනෙකු බව දැනහිඳීම, ඔබේ සිරුරේ තවත් ජීවිතයක් දරා හිඳීම හැබෑවටම තේජාන්විත බව හැඟෙන කරුණක්. සමහරවෙලාවට මේ අත්දැකීම නිසාම ඔබට විජයග්‍රාහී බවක් දැනේවි. ඒ විජයග්‍රහණයේ අසිරිය විඳගන්නට ඔබට නිතරම දැනෙන කායික පීඩාව වත්, නව ජීවය වෙනුවෙන් කැපකරන්නට සිද්ධවෙන වැඩකටයුතු වත්, අතහැර දමන්නට සිද්ධවෙන නිදහස වත්, මේ කිසිවක් ඔබට බාධාවක් නොවුණු ඇති‘ Panagoulis ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත වුණු ග්‍රීසියේ Center Union - New Forces හි සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. මේ සමයේදී ඔහු ජුන්ටා පාලනය සමග සමීප සබඳතා පැවැත්වූ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයින් කීපදෙනෙකුටම එරෙහිව චෝදනා පෙළක් ගොනුකරන්නට සමත් වෙනවා. අදාළ දේශපාලඥයින් ජුන්ටාව සමග විවෘත හෝ රහස්‍ය සබඳතා පැවතුණු බවට ඔහු මෙහිදී චෝදනා නගනවා. Panagoulis මෙහිදී සෘජුවම චෝදනා එල්ල කර සිටින්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යධූරය ඉසිලූ Evangelos Averoff ඇතුළු කීපදෙනෙකු වෙතයි. පසුකාලීනව ඇතිවූ මතවාදයන් ද සමග සිය පක්ෂයෙන් ඉල්ලා අස්වුවද ඔහු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන නියෝජිතයකු ලෙස කටයුතු කළේය. මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වුණු බව ද පැවසෙනවා. 36 හැවිරියේ වියේ පසුවුණු Panagoulis 1976 මැයි 1 වැනිදා ඇතන්ස්හි වෝලිග්මේන්ස් ආවේහි සිදුවූ මෝටර් රථ අනතුරකින් මියයනවා. හැබෑවටම මෙය මෝටර් රථ අනතුරක් නොවන බවත් සැලසුම් කරන ලද ඝාතනයක් වන බවත් බොහෝදෙනාගේ අදහසයි. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඔහුගේ රථය පිටුපසින් හඹා ආ බවත් එය බලෙන් මෙන් හැපී ඔහුව අනතුරට ලක්කළ බවත් පැවසෙනවා. මෙය හදිසි අනතුරක් බව පිළිගන්නට Oriana අකමැති වෙනවා. මෙය සැලසුම් කරන ලද ඝාතනයක් යැයි පවසන්නට හේතුව වෙන්නේ ඔහු ජුන්ටාවේ මිලිටරි පොලීසිය සම්බන්ධ ලිපි ගොනු (E.A.T - E.S.A) ප්‍රසිද්ධියට පත්කිරීමට පෙර මේ ඝාතනය සිදුවීම නිසයි. මේ සිද්ධිය ග්‍රීසියේ මාධ්‍ය මගින් දැඩි ලෙස කතාබහට ලක්වුණා. පසුකලෙක PEOPLE සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවට එළඹෙමින් Oriana සිය හඬ අවදි කරන්නේ මෙලෙසින්.‘ඔහුව ඝාතනය කරපු වෙලාවේදී ග්‍රීසියේ මිලිටරි පොලීසියේ (ESA) රහස්‍ය ලිපිගොනු ඔහු ළඟ තිබුණා. මේ ලිපිගොනු අද වන විට බලයේ රැඳී සිටින Papadopoulosගේ ජුන්ටාවට සෘජුවම සම්බන්ධයි. මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන දවසේ රැයට කලින් ඝාතනය කළා. ඒක හැමඅතින්ම සංවිධානය කරපු ව්‍යාජ මෝටර් රථ අනතුරක්.‘ සිය යෞවන අවදියේම දිවියෙන් සමුගන්නා Alexandros Panagoulis දේශපාලනයට අවතීර්ණ වීමේ පදනම ගැනත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඇතන්ස් ආසන්නයේ පිහිටි Glyfada හි ඔහු උපත ලබන්නේ ග්‍රීක යුද හමුදාවේ සේවය කළ Vassilios Panagoulisගේ හා ඔහුගේ බිරිඳ වූ ඇතීනාගේ දෙවැනි පුතු ලෙසිනුයි. ඇතන්ස්හි ජාතික තාක්ෂණික සරසවියේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලැබූ Panagoulisගේ සොහොයුරා ග්‍රීක හමුදාවේ නිළධාරියකු ලෙස සේවය කළ අතර ඔහු ද රෙජීමයේ ගොදුරක් බවටත් පත්වුණා. තරුණ අවදියේ ඉඳන්ම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් වලින් ආභාසය ලැබූ ඔහු youth organization of the Center Union පක්ෂය (E. K.), නැතිනම් O.N.E.K සමග සම්බන්ධ වෙනවා. මෙහි නායකත්වය දැරුවේ Georgios Papandreou (Sr.) පසුකාලීනව මෙම සංවිධානය Hellenic Democratic Youth (E.DI.N.) නමින් නම් කෙරුණා. Bogiati හි සිරගත ජීවිතයක් ගතකරන අවදියේදී Panagoulis සිය සිරමැදිරියේ බිත්ති වල හා කුඩා කොළ කෑලි වල සිය කවි රචනා කළ බව පැවසෙනවා. මේ කවි රචනා කරන්න ඔහුගේම රුධිරය තීන්ත විදියට භාවිත කළ බව මේ ලිපියේ මුලින්ම දක්වා තිබෙන The Paint කාව්‍යයේ ද සඳහන් කර තිබෙනවා. මේ කවි නොනැසී ආරක්ෂා කරගන්නට ඔහු අපූරු උපක්‍රමයක් යොදනවා. ඒ සිරමැදිරියේ සිටි අනෙක් සගයින්ට ඔහුගේ කවි නැවත මතක් කරදෙන ලෙසත් ඒවා නැවත බිත්ති මත සටහන් කර ලෙස පැවසීමත් තුළිනුයි. සිරගත දිවිය ගතකරන අවදියේදීම 1972 දී Palermo හිදී Altri seguiranno: poesie e documenti dal carcere di Boyati (Others will Follow: Poetry and Documents of the Prison of Boyati) නමින් සිය පළමු කාව්‍ය සංග්‍රහය පළකළේය. ඉතාලියේ ප්‍රකට දේශපාලඥයකු වූ Ferruccio Parri හා ඉතාලි ජාතික සිනමා අධ්‍යක්ෂවරයකු හා බුද්ධිමතකු වූ Pier Paolo Pasolini මේ කෘතියේ හැඳින්වීම සම්පාදනය කර තිබෙනවා. කාව්‍යය වෙනුවෙන් පිදෙන Viareggio International Prize of Poetry (Premio Viareggio Internazionale) සම්මානය දිනාගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. සිරගත ජීවිතයෙන් මිදෙන Panagoulis සිය දෙවන කාව්‍ය සංග්‍රහය Vi scrivo da un carcere in Grecia (I write you from a prison in Greece) මිලාන් හිදී පළකරන අතර Pasolini මෙහි හැඳින්වීම සම්පාදනය කර තිබෙනවා. ‘ඔබේ ඇසගින් වැටෙන කඳුළු බිඳු බලාපොරොත්තු කඩවූ බවට කරන ඉඟියක් බව කිසිදා විශ්වාස නොකරන්න. නෙතගින් වැටෙන කඳුළු බිඳු කියන්නේ බලාපොරොත්තුයි. ඒ සටන වෙනුවෙන් වූ බලාපොරොත්තුයි‘Alexandros Panagoulis සිය ජීවිත සටන ගැන පවසන්නේ එලෙසිනුයි.
සටහන - වින්ධ්‍යා ගම්ලත්

Wednesday, February 7, 2018

කේ. කෛලාසපති

February 07, 2018 0 Comments
කේ. කෛලාසපති යනු කවුරුන්ද ? කෛලාසපති මෙරට සිටි ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම මහාචාර්යවරයකු ද වූවේය. යාපනය සරසවියේ ප්‍රථම සභාපතිවරයා වූවේද ඔහුයි. 70 දශකයෙන් පසු ශාස්ත්‍රීය කටයුතු වලට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කළ කෛලාසපති මහතා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ දෙමළ හා හින්දු අධ්‍යයන අංශ ප්‍රධානී ලෙස කටයුතු කළේය. ‘තිනකරන්‘ පුවත්පතේ සංස්කාරකවරයකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව සිය මාධ්‍ය ජීවිතයෙන් සමුගන්නා කෛලාසපති මහතා 1974-1977 අතර කාලයේදී යාපනය සරසවියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නට පටන්ගත්තේය. එහි දමිළ අංශයේ මහාචාර්යධුරය හොබවමින් යාපනය විශ්වවිද්‍යාලයේ ආරම්භක අවදියේදී එහි උන්නතිය උදෙසා එතුමා සිය නොමඳ දායකත්වය ලබාදුන්නේය. විශ්වවිද්‍යාලය තුළ මෙන්ම බාහිර ප්‍රජාව තුළ ද විශ්වවිද්‍යාලය ගැන යහපත් ප්‍රතිරූපයක් වර්ධනය කිරීමෙහිලා ඔහු කටයුතු කළේය. 1974-1977 දී මෙහි සභාපතීත්වය උසුලමින් ඇමරිකා එක්සත් ජනපදයේ ඉයෝවා විශ්වවිද්‍යාලයේ නිර්මාණාත්මක රචනය පිළිබඳ අධිශිෂ්‍යත්වයක් හිමිකරගනිමින් එහි ද වසරක කාලයක් සිටියේය. මෙකලදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවයේ යෙදුණේය. කැලිෆෝනියාවේ සිට පැමිණ 1978 දී යාපනය සරසවියේ කලා පීඨයේ අංශාධිපති වශයෙන් ද කෛලාසපති මහතා කටයුතු කළේය. මහාචාර්ය ජෝර්ජ් තොම්සන්ගේ අධීක්ෂණය යටතේ ‘දෙමළ වීර කාව්‍ය‘ පිළිබඳ ලියන ලද ආචාර්ය උපාධි නිබන්ධනයට අමතරව වැදගත් පර්යේෂණාත්මක කෘති හා ලිපි ලේඛන ගණනාවක් ඔහු විසින් සම්පාදනය කර ඇත. රබීන්ද්‍රනාත් තාගෝර් හා භාරතීයාර්ට සමකාලීනව යාපනයෙන් මතුවූ දීප්තිමත් සාහිත්‍යධරයන් හා අධ්‍යාපනඥයන් වූ පාවලර් තුරෛයප්පා පිල්ලේ හා නවාලි සෝමසුන්දර පුලවර් වැන්නන් දෙමළ භාෂා නොදත් පාඨක ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මහාචාර්ය කෛලාසපති විසිනි. කෛලාසපති මහතා කිසිවිටකත් සිය අධ්‍යනය කටයුතු වල තනිව නිරත නොවුණේය. සිලෝන් ප්‍රගතිශීලී ලේඛක සංසදයේ සභාපති වශයෙන් ඔහු කටයුතු කළ අතර ලේඛනයේ යෙදුණු බොහෝ දෙනෙකුට අත්වැලක් වීමට මේ සමයේදී ඔහුට හැකිවිය. සමාජවාදී ක්‍රමයක් මෙරට තුළ නිර්මාණය කිරීමේ දැඩි වුවමනාවක් කෛලාසපති මහතා තුළ තිබුණු අතර සිය නිර්මාණ තුළදී පවා ඒ ගැන හඬ අවදි කරන්නට ඔහු දායක වූවේය. සංස්කෘතික අනන්‍යතාවය ගැන ද අතිශය ගැඹුරින් සලකා බැලූ ඔහු ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ප්‍රජාවට අනන්‍ය වූ සාහිත්‍යය ගැන පර්යේෂණ සිදුකළ අතර ඒ ගැන නිරතුරුව කතාබහ කරන්නට ද උත්සුක වූවේය. ශ්‍රී ලංකාවේ දමිළ සාහිත්‍යය හා ශ්‍රී ලංකාවේ දමිළ සරළ සංගීතය මේ අතරින් ප්‍රමුඛ වේ. කේ. කෛලාසපති පිළිබඳ මතකය අවදි කරන පිරිස් • එඩ්වින් ආරියදාස මහතා කෛලාසපති මහතා මෙරට උසස් අධ්‍යාපන විෂය ධාරාවට ජනමාධ්‍ය විෂය එකතු කිරීමට ද දායක වූවේය. ඒ බව සනාථ කරන එක් නිදසුනක් මෙහිලා දැක්විය යුතුය. එඩ්වින් ආරියදාස මහතා මේ ගැන මතකය අවදි කරන්නේ මෙලෙසිනි. ‘කොළඹ විශ්වවිද්‍යාලයේ වෘත්තීය පාඨමාලා ආරම්භ කරපු අවස්ථාවේ ඒකටත් ජනසන්නිවේදනය එකතු කළා. එහි නිර්දේශ හදන්න කොමිටියක් පත්කළා. ඒ කොමිටියට ඇතුළත් වුණේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය කෛලාසපති හා මම. කොටුවේ පැගෝඩා හෝටලයට ගිහිං නිර්දේශ හැදුවා.‘ • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා මහාචාර්ය කෛලාසපති පිළිබඳ මතකය අවදි කරන යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මෙසේ පවසයි. ‘යාපනය විශ්වවිද්‍යාලයෙහි ආරම්භය වනාහි ලාංකේය වාමාංශික ව්‍යාපාරයට ප්‍රබල බුද්ධිමය දායකත්වයක් දැක්වූවන්ගේ දායකත්වයෙන් යුතුව සිදුවූවකි. ලංකා විශ්වවිද්‍යාලයෙහි යාපනය මණ්ඩපයෙහි ප්‍රථම මණ්ඩපාධිපති තනතුරට පත් මහාචාර්ය කෛලාසපති වනාහි ලාංකේය මතුනොව සමස්ත දෙමළ භාෂක සමාජය තුළම අතිමහත් ප්‍රශංසාවට පත්වන්නේ මාක්ස්වාදී සාහිත්‍ය විචාරය, දෙමළ සාහිත්‍ය විචාරය විෂයෙහි භාවිත කිරීම පිළිබඳව ප්‍රමුඛයා වශයෙනි.‘ • Dictionary of Biography of the Tamils of Ceylon කේ. කෛලාසපති මහතා පිළිබඳ සඳහන් කර ඇති අයුරු Dictionary of Biography of the Tamils of Ceylon ශබ්දකෝෂයේ කෛලාසපති මහතා පිළිබඳව දක්වා තිබෙන අයුරු ‘‘මහාචාර්ය කෛලාසපති ‘කෛලාස්‘ 1933 අප්‍රේල් 5 වැනිදින මැලේසියාවේ, ක්වාලාලාම්පූර් හිදී ඉපදුණි. දමිළ බුද්ධිමතෙකු මෙන්ම පරිපාලන නිළධාරියකු ද වූ එන්. මානිකෛ ඉදෛයාර්කාදර් නම් මාමාගේ ආභාසය ඔහුගේ ජීවිතයට ලැබුණි. මේ නිසාම සිය මව්භාෂාව වූ දමිළ භාෂාව කෙරෙහි ද ඔහු සුවිශාල උනන්දුවක් දක්වන්නට වූවේය. ‘තමිල් ඕසායි‘ නම් ජර්නලයට ඔහු සිය මුල්කාලයේදී ලිපි සම්පාදනය කළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගෙනගන්නා සමයේදී මහාචාර්ය කේ. කණකතිපිල්ලෛයි මහතා, මහාචාර්ය විතෛයිනාදන් හා වී. චෙලිවනායම් යන මහත්වරුන්ගේ මඟපෙන්වීම ඔස්සේ දමිළ භාෂාව හා සම්බන්ධ පර්යේෂණ සඳහා වූ පෙළඹුමක් ලැබුණි. අනතුරුව සිය උපාධිය හිමිකරගැනීමෙන් පසු කෛලාස් දමිළ භාෂාවෙන් ලිපි සම්පාදනය කරන මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳී ‘තිනකරන්‘ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය. දෙස්-විදෙස් සාහිත්‍ය ඇසුරු කරගනිමින් පෝෂණය වූ ඔහු විකල්ප විෂයන් අළලා රචනාකරණයේ නිරත විය. 1961 වසර දක්වා ඔහු එහි සේවය කළේය. ඉන්පසුව සිය යාපනය සරසවියේ පළමු සභාපති ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඔහු බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගත්තේය. ඒ Tamil Heroic Poetry නම් නිබන්ධය වෙනුවෙනි. මෙය පසුකාලීනව ඔක්ස්ෆර්ඩ් Clarendon මුද්‍රණ මගින් 1968 වසරේදී ප්‍රකාශයට පත්විය. යාපනයේ සරසවියේ මහාචාර්යධූරය හොබවන සමයේදී දමිළ භාෂාව වෙනුවෙන් සුවිශාල දායකත්වයක් සිදුකළ අතර එය ඔහුගේ අති සාර්ථක කාල පරිච්ඡේදයක් විය. මේ සමයේදී දමිළ කෙටිකතා ඉදිරියට ගෙනඒම, ජර්නල් තෝරාගැනීම ආදී ක්ෂේත්‍ර වලට ඔහු දැවැන්ත දායකත්වයක් ලබාදුන්නේය. 1979 දී ප්‍රකාශයට පත්වූ ‘නාවලර් සියවස් සැමරුම‘ සංස්කරණය කළේය. විශිෂ්ඨ ප්‍රතිභාවෙන් යුතු විද්වතකු වූ ඔහු දක්ෂ කථිකයෙකු ද වූවේය. ඔහුට තවත් දිගු කාලයක් ජීවත්වන්නට වරම් ලැබුණේ නම් අනිවාර්යයෙන්ම ඔහුට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හෙබවීමට පවා අවස්ථාව හිමිවෙනු ඇති බව නිසැකය. 1982.12.6 වැනිදා 49 හැවිරිදි වියේදී මරණයට පත්වන ඔහුගේ අහිමිවීම සමස්ත දමිළ ජනතාවට ද දැඩිව බලපෑවේය. දමිළ බුද්ධිමතකු වන එක්ස්.එස්. තානි නායගම් පියතුමා කෛලාසපති ගැන සටහනක් තබන්නේ මෙලෙසිනි. ‘හෝමර්ගේ කාව්‍ය වැනිම වූ පූරම් කන්කම් දමිළ කාව්‍ය මගින් දමිළ වීරවරුන්ගේ යුගය පිළිඹිඹු කරන බව ජී. යූ. පොප් වැන්නවුන් මීට පෙර දමිළ වීර කාව්‍ය ගැන ඉදිරිපත් කළ මතවාද කේ. කෛලාසපති සිය Tamil Heroic Poetry කෘතියේදී අවධානයට ලක්කරයි.‘ එන්. මානිකෛ ඉදයකාදර්ගේ වැඩිමහල් දියණිය වූ සර්වා මංගලම් මහත්මිය හා විවාහ වූ කෛලාසපති මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. The Tamil Purist Movement, A re-evaluation (1979), Arumuga Navalar, The Central Years 1834-1848 (1979),ivekananda on Hinduism in Sri Lanka (1980), The Impact of the visit of Swami The Impact of the visit of Swami Renaissance (1981) ආදිය ඔහු විසින් විවිධ ජර්නල් වෙත රචනා කරන ලද පර්යේෂණ අතරට අයත්ය. දමිළ කාන්තා සංගමය විසින් සංවිධානය කළ ‘පුණිතවතී තිරුචෙල්වම් අනුස්මරණ දේශනය’ - The Cultural Linguistic Consciousness of The Tamil Community on Sri Lanka තේමාවෙන් යුතුව 1982 දී කළාල්ය හිදී අමතමින් සිදුකළේය. මේ දේශනය පසුකාලීනව කුඩා පොත් පිංචක් ලෙස මුද්‍රණයට පත්වූ අතර සෑම දමිළ ජාතිකයකුම කියවිය යුතු කෘතියක් ලෙස මෙය හඳුන්වයි. ඊට හේතුවී තිබෙන්නේ දමිළ ප්‍රජාව හා බැඳී තිබෙන සිද්ධිය හා සංස්කෘතික රැල්ල මනාව විශ්ලේෂණය කරගැනීමට කෛලාසපති මහතා විසින් සිදුකළ මෙම කතාව අතිශය වැදගත් වී තිබෙන නිසාවෙන්ය.‘‘ (65, 66) Dictionary of Biography of the Tamils of Ceylon උපුටා ගත්තකි පෞද්ගලික ජීවිතය මැලේසියාවේ ඉපදුණ ද පසුකාලීනව ලංකාවේදී හැදී වැඩෙන තරුණ කෛලාසපති සිය ජීවන සහකාරිය කරගන්නේ සර්වාමංගලම් මානික්ක ඉදකාදර් මහත්මියයි. බර්මින්හැම් සරසවියේ අධ්‍යාපනය හදාරමින් සිටින අවදියේදී ඔහු ඇය සමගින් විවාහ වූවේය. එවක ඇගේ වයස අවුරුදු 18 ක් වූ අතර සර්වම්, කෛලාසපති මහතාගේ මාමාගේ දියණිය වූවාය. මේ විවාහය ගැන පසුකලෙක සටහනක් තබන කෛලාසපති මහතාගේ සමීප මිතුරෙකු වූ වෛද්‍ය සී.වී.ශාස්ත්‍රි පවසන්නේ ‘මෙතෙක් කලකට දැක්ක විකාරම විවාහ උත්සවය කෛලාස්ගේ විවාහයයි. විවාහය එංගලන්තයේදී ලියාපදිංචි කිරීමේ වුවමනාව කෛලාස්ට තිබුණා. ඒවගේම විවාහයෙන් පස්සේ වෙනම කාමරයක් වුවමනා නැති බවත් අනෙක් සිසුන් එක්ක එකම කාමරයේ සිටීමට හැකි බවත් ඔහු කිව්වා. මනාලිය සාරියකින් සැරසී සිටි අතර ඇය සමීපයෙන් යාළු මනාලියන් හිටියේ නැහැ. සාමාන්‍ය ආසියානු සිසුන් අඳින කබායකින් කෛලාස් සැරසී හිටියා. වෙල්වට් වලින් කළ පුංචි කුෂන් එකක් මුදු දෙක තබාගන්නට එතනදී ලබාදුන්නත් ‘මුද්දක් නැහැ‘ කියලා කෛලාස් අසරණ විදියට කිව්වා. අපි එකිනෙකාගේ මූණු දිහා බලපු විවාහ රෙස්ට්‍රාර්වරයා කඩිමුඩියේ වගේ කුෂන් එක අයින් කරලා දැම්මා. අවසානයේදී විවාහය සමරලා සෙනසුරාදා දිනයේදී අපිට කෑමවේලක් දුන්නා. සරවම්ට ඉවුම් පිහුම් ගැන හොඳ දැනුමක් තිබුණා. බර්මින්හැම් වල ඉන්න ඉන්දීය, පාකිස්ථානු හා චීන සිසුන් පිරිසක් මීට සහභාගී වී සිටි අතර කෑම හදලා තිබුණේ ඉන්දියානු ක්‍රමයටයි‘ යන්නයි. මේ දෙපළ දියණියන් දෙදෙනෙකුගේ මාපියන් වේ. ඒ සුමංගලා (1967) හා පවිත්‍රා (1968) ය. අධ්‍යාපනය මැලේසියාවෙන් ලංකාවට කෛලාසපති මහතා 1933 අප්‍රේල් 5 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් හිදී උපත ලැබුවේය. ඔහුගේ පියා වූ එලායතම්බි කණගසාභපති මහතා එහි සැලසුම් ශිල්පියකු ලෙස රැකියාවේ නියැලුණේය. දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදී සිය මව වූ තිලෛනායකි කණගසාභපති මහත්මිය සමග ඔහු යාපනයට පැමිණියේය. මැලේසියාවේ වික්ටෝරියා අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන කුඩා කෛලාසපති මෙරටට පැමිණ යාපනය හින්දු විද්‍යාලයේ වසර තුනක කාලයක් අධ්‍යාපනය ලැබුවේය. ඒ 1948 වසරේදීය. මේ සමයේදී එම්. කාර්තිගේසන් මහතා හින්දු විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවයේ යෙදුණු අතර ඔහු සිලෝන් කොමියුනිස්ට් පක්ෂයේ යාපනය ශාඛාවේ ලේකම් ලෙස කටයුතු කළේය. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය, ග්‍රීක නාට්‍ය, රුසියානු ලේඛකයින් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු සාහිත්‍යය ධාරාව ගැන කෛලාසපති සිසුවා සමග කාර්තිගේසන් මහතා නිරතුරු සංවාද සිදුකළේය. එමෙන්ම, මාක්ස්වාදය දෙසට කෛලාසපති තුළ තිබූ නැඹුරුව වර්ධනය වන්නට ද කාර්තිගේසන් මහතාගේ ආභාසය ලැබුණි. කෛලාසපති මහතාගේ පවුල් පසුබිම ද සාහිත්‍යය දෙසට ඔහුව නැඹුර කරවන්නට හේතුවූ සාධකයක් විය. ඔහුගේ මවගේ පියා වූ තම්බු නායමුත්තු මහතා පැරණි දමිළ නවකතාකරුවකු වූ අතර ඔහු කාදර් යන නමින් ලේඛනයේ නිරතවූවේය. එමෙන්ම, නායමුත්තු මහතාගේ සහෝදරයකු වූ තම්බු සරවනමුත්තු මහතා ගණිතය හා භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතකු වූවේය. කෛලාසපති මහතාගේ මවගේ සීයා ද ආරුමුග නාවලර් සමග එක්වී නාවලර් විද්‍යාල ආරම්භ කිරීමට දායක වූවේය. එමෙන්ම, කෛලාසපතිගේ මාමා වූ මානික්ක ඉදයාකර් මහතා සුප්‍රසිද්ධ ගණිතඥයකු වූවේය. සිලෝන් සිවිල් සේවයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සංඛ්‍යාන විශේෂඥයකු ලෙස ඔහු රැකියාවේ නියැලුණේය. විශ්වවිද්‍යාලයට පිවිසීමේ විභාගයට සූදානම් වීම සඳහා ඔහු 1951-1953 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයට පිවිසුණේය. එවකට රේඩියෝ සිලෝන්හි දමිළ සේවයෙන් ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය වූ අතර කෛලාසපති ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනයේ ද යෙදුණේය. පේරාදෙණියේදී නාට්‍යයට බැඳි පෙම කෛලාසපති මහතා උසස් අධ්‍යාපනය හදාරන්නේ එවකට සිලෝන් විශ්වවිද්‍යාලය නමින් හැඳින්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහිය. මේ සමයේදී ද ඔහු ගුවන්විදුලි නාට්‍ය රචනය අඛණ්ඩව සිදුකරගෙන ගියේය. ශේක්ෂ්පියර් නාට්‍ය ද දමිළ බසින් ලියවුණේ ඔහු අතිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී ද ඔහු නාට්‍ය වලට දැඩිව ඇළුම් කළ අතර පේරාදෙණිය සරසවියේ පරිසරය ද ඊට මනා පිටුබලයක් වුණි. පළමු වසර විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඔහු 1957 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටවුණේය. 1961 දී නැවත දමිළ අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක්වන කෛලාසපති මහතා දැනුමින් සපිරුණු නව දිවියක් ආරම්භ කළේය. සුවිශේෂී පර්යේෂණයන්ට දායකවීමේ අවස්ථාව එකල ඔහුට ලැබුණි. සිසුන්ගේ ජර්නලයක් වූ ‘ඉලන්කාතිර්‘ 1962 දී ප්‍රකාශයට පත්වන්නේ කෛලාසපති විසින් රචිත ‘නාඩුම් නායන්මාරුම්‘ නම් ලිපිය ද සමගිනි. මෙය ඔහුව සුවිශේෂී පර්යේෂකයකු ලෙස හඳුනාගන්නට හේතුවූ බව සඳහන්ය. සංසන්දනාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් කෛලාසපති මහතා තුළ තිබූ උනන්දුව විදහා දක්වමින් ‘ඉරු මහාකවිකල්‘ නමින් 1962 දී ඔහු කෘතියක් සම්පාදනය කළේය. පේරාදෙණිය සරසවියේ ගෙවුණු ජීවිතය කෛලාසපති තරුණයා එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සාහිත්‍යට මෙන්ම නාට්‍යට දැක්වූ ඇල්ම ගැන සටහනක් තබන භගව්දාස් ශ්‍රීස්කාන්තදාස් ඒ ගැන පවසන්නේ මෙලෙසිනි. ‘ඉංග්‍රීසි අධ්‍යයනය අංශයේ ප්‍රධානියා වූ ලුඩෝවයික්ගේ අරමුණ වූයේ වසරකට වරක් වත් සිලෝන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමය මගින් නාට්‍යයක් රඟදැක්විය යුතුයි යන්නයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ සමයේදී සිංහල නාට්‍ය කලාව ගැන අත්හදා බලමින් සිටියේය. කෛලාසපති අධ්‍යාපනය හැදෑරූ දේශකයන් වූ මහාචාර්ය කණපතිපිලෛයි හා විතෛයිනාතන් මහත්වරුන් ද දමිළ නාට්‍ය කලාව සක්‍රීයව පවත්වාගැනීමට යත්න දැරූහ. පේරාදෙණිය උගෙනුම ලබන සමයේදී කෛලාසපති නාට්‍ය හතරකට රංගනයෙන් දායකවූවේය. ‘සුන්දරම් එන්ගායි, ද්‍රෝහිගල් ආදිය එම නාට්‍ය අතරට අයත්ය. මහාචාර්ය කණපතිපිලෛයි මෙහි තිර පිටපත් රචනය සිදුකළේය. විතෛයිනාතන් 1960 වසරේ මුල් භාගයේදී පමණ මහාභාරතය පදනම් කරගනිමින් වීරත්වය රැගත් නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර එවක තරුණ ආචාර්යවරයකු ලෙස පේරාදෙණිය සරසවියේ සේවය කළ තරුණ කෛලාසපති ද මෙහි නිෂ්පාදන හා අධ්‍යක්ෂණ කටයුතු වලට සහය දුන්නේය. 1963 දී බර්මින්හැම් සරසවියේ ආචාර්ය උපාධිය හැදෑරීමට යාමට ශිෂ්‍යත්වයක් දිනාගන්නා ඔහුගේ සුපරීක්ෂක වූයේ මහාචාර්ය ජෝර්ජ් තොම්සන්ය. බර්මින්හැම් සරසවියෙන් සිය පශ්චාත් උපාධිය නිමාකර පැමිණි කෛලාසපති එහිදී විවිධ කලාවන් ආශ්‍රයෙන් ලබාගත් දැනුම විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදීමට මහත් පරිශ්‍රමයක් දැරුවේය. විශේෂයෙන්ම, ව්‍යුහවාදී විචාරය ගැන තරුණ නාට්‍ය නිෂ්පාදකයින් උනන්දු කරවීමට ඔහු උත්සහ ගත්තේය. කෛලාසපති මහතා සිය ආචාර්ය උපාධිය හිමිකරගන්නේ බර්මින්හැම් සරසවියෙනි. ඊට අදාළ කරගත් තේමාව වූයේ දමිළ වීරකාව්‍යයි. මෙය 1966 දී ලියා 1968 දී භාරදුන් අතර ජනශ්‍රැතියේ එන ‘කුට්ටු‘ නම් වූ ‘නර්තනය හා රංගනය‘ ගැබ්වුණු කලාංගයක් ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කර ඇත. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් මුද්‍රණය කළ මෙම පර්යේෂණය 1968 දී එළිදැක්වුණු අතර දමිළ වීරකාව්‍ය හා ග්‍රීක වීරකාව්‍ය ගැන කළ සංසන්දනාත්මක අධ්‍යනයකි. 1966 දී නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව සිලෝන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ ඔහුට 1969 දී කොළඹ විශ්වවිද්‍යාලයට මාරුවක් ලැබුණි. 1974 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නැතිනම් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හින්දු සභ්‍යත්වය පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස පත්වීමක් හිමිකරගත්තේය. මේ සමයේදී බාහිර කටයුතු ගණනාවකට සිය දායකත්වය ලබාදීමට කෛලාසපති මහතාට හැකියාව ලැබුණි. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයකු (1970), ශ්‍රී ලංකා පෙළපොත් සම්පාදන මණ්ඩලයේ උපදේශක ධූරය (1970), ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන පර්යේෂණ මණ්ඩලයේ සාමාජිකයකු (1971-1974), කලා සංගමයේ සාමාජිකත්වය (1970-1975), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දමිළ වැඩසටහන් අංශයේ උපදේශකත්වය (1973) මෙකල ඔහු විසින් දරනු ලැබුණි. 1974 දී යාපනය විශ්වවිද්‍යාලය පිහිටුවන විට කෛලාසපති මහතා එහි සභාපති හා දමිළ අංශයේ මහාචාර්යවරයකු ලෙස පත්කෙරුණි. මරණය සිය දිවියේ 49 වැනි විය පසුකළ 1982 වසරේදී ඔහු මියයන්නේ කොළඹ දී ය. මාධ්‍ය හා ලේඛන ජීවිතය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන අතරතුරදී වීරකේසරී හා තෝල්කප්පියම් ආදී පුවත්පත් වලට ලිපි රචනා කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් වෙත 1957 වසරේදී ‘තිනකරන්‘ පුවත්පතට එක්වන කෛලාසපති මහතා එහි උප කර්තෘවරයකු ලෙස සේවයේ යෙදුණේය. වසරක් තුළදී එහි ප්‍රධාන කර්තෘවරයා බවට පත්වීමට කෛලාසපති මහතාට හැකිවුණේය. ඔහුගේ දායකත්වය ඔස්සේ ලේඛනය ගැන උනන්දුවක් දැක්වූ දක්ෂයින් රැසක් මාධ්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමට හැකිවුණි. තිනකරන් කර්තෘවරයා ලෙස ජනප්‍රිය චරිතයක් බවට පත්වූ කෛලාසපති මේ සමයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දමිළ සාහිත්‍යයේ ද සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. 1961 දී ඔහු තිනකරන් පුවත්පතේ කර්තෘධූරයෙන් නික්මෙන්නේ සිලෝන් සරසවියේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවයේ යෙදීමටය. කෛලාසපති මහතා පුවත්පත් වෙත රචනා කරන ලද ලිපි හා කෘතීන් අතරින් නාට්‍ය අළලා රචනා කළ ලිපි හා කෘතීන් කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකිය. ඔහු විසින් රචනා කළ එක් කෘතියක ‘ආකල්‍ය‘ සුන්දරත්වය ගැන සඳහන් වී ඇති තැනක දෙව්ලොව දෙවියන් සුන්දරත්වයෙන් මත්වී ඇති අවස්ථාවක් ගැන සඳහන් වී තිබෙන එක් පරිච්ඡේදයක පැරණි සාහිත්‍යයේ හෝ පුරාණ සිද්ධි වල තිබෙන තේමාවන් නූතනත්වය හා ගළපාලීමේ ශිල්පීය ධර්ම අත්හදා බැලීමට කෛලාසපති උත්සහ දරා ඇති බව සාහිත්‍ය විචාරකයින්ගේ අදහසයි. Thamil Naval Illakkiyam නමින් ඔහු රචනා කළ කෘතියේදී මතාවියා විසින් රචනා කළ මුල්කාලීන නවකතාවන් වල ආභාසය ලබාගනිමින් එය කෛලාසපති ජීවත් වූ සමාජය හා ගලපාලීමට උත්සහ ගෙන ඇත. කෛලාසපති මහතාගේ කෘතීන් ගැන විස්තරාත්මක අධ්‍යනයක් සිදුකළ විට හඳුනාගත හැකිවන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පැවති දමිළ නාට්‍ය මෙන්ම ජන නාට්‍ය ගැන ද නිසි අවබෝධයකින් යුතුව ඔහු සිය කෘතීන් රචනාකර ඇති බවයි. කෛලාසපති මහතාගේ ලේඛන දිවිය පුරාවටම ඔහු නාට්‍ය කලාවට දැක්වූ ඇල්ම නොනැසී පැවතුණි. සුබායර් ඉලන්කීරන් මහතා විසින් රචිත පිටපතක් මුල්කරගෙන නාට්‍යයේ විකාශනය අළලා නිර්මාණය කෙරුණු නාට්‍යයක් 1982 දෙසැම්බර් 10 වැනිදා දමිළ මහා කවි භාරතීගේ 100 වන ජන්ම දිනය අළලා සංවිධානය වී තිබුණු සංස්කෘතික උළෙලේදී රඟදැක්වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, එදිනට පෙර කෛලාසපති මහතා මෙලොව හැරගියේය. කෛලාසපති මහතා මාධ්‍ය, කාව්‍ය, නාට්‍ය හා දේශපාලන අධ්‍යයන ක්ෂේත්‍රයට කළ සුවිශේෂී මෙහෙවර මෙන්ම සුප්‍රකට මහාචාර්යවරයකු ලෙස අධ්‍යාපනික ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය එතුමා පිළිබඳ වෙනත් පිරිස් කරන සඳහන් වලින් හඳුනාගත හැකිය. මෙහි ඉදිරි පරිච්ඡේද කීපයේදී ඒ පිළිබඳ විවරණය කර ඇත. මහාචාර්ය කෛලාසපති විසින් රචිත කෘතීන් දමිළ බසින් රචනා කළ කෘතීන් 1. Two Magicians (1962) 2. Ancient Tamil life and worship (1966) 3. Tamil novel literature (1968) 4. Comparative literature (1969) 5. Beating (1970) 6. Poetry hymn (co-authored with E. Murugan), (1970) 7. Literature and criticism (1972) 8. Bharathi Books and Study Research (1973) 9. People view the Chinese view (collaboration with Mrs Sarvamangalam Kailasapati), (1979) 10. Sociology and Literature (1979) 11. Critical Issues (1980) 12. Basics of Modern Literature (1980) 13. Literary ideas (1983) 14. Bharati studies (1984) 15. Eelam literary pioneers (1986) 16. International Political Events 1979-1982 (1992) 17. Precedents (2004) 18. Kailashapathy about the noveler (2005) ඉංග්‍රීසි බසින් රචනා කළ කෘතීන් 1. Tamil Heroic Poetry (1968) 2. The Relation of Tamil and Western Literature ( 1984) 3. On Art and Literature (1986) 4. On Bharathi (1987) ජර්නල් සඳහා ලියූ ලිපි 1. The Tamil Purist Movement - A Re - Evaluation, 1979 2. Arumuga Navalar - the Central Years 1834-1848, 1979 3. The Impact of the Visit of Swami Vivekananda on Hinduism in Sri Lanka, 1980 4. Arnold Sathasivam Pillai and Tamil Renaissance 1981 1978 දී ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුරදී පවුලේ පිරිස සමග ඔහු චීනයට ගිය අතර ඒ අත්දැකීම් අළලා Makkal Cheenam-Kaadchiyum Karuththum කෘතිය සම්පාදනය කළේය. මේ කෘතිය රචනා කිරීමට කෛලාසපති මහතාගේ බිරිඳ ද දායක වූවේය. කෛලාසපති මහතා හා ඔහුගේ නිර්මාණ කාර්යය පිළිබඳ වෙනත් පිරිස් තබා ඇති විශේෂ සටහන් කෛලාසපති මහතා පිළිබඳ වෙනත් පිරිස් ලියා ඇති සටහන් තුළින් එතුමා ලේඛනයට, නාට්‍ය ක්ෂේත්‍රයට හා මාක්ස්වාදයට දැක්වූ සුවිශේෂී දායකත්වය ගැන හඳුනාගත හැකිය. පහතින් දැක්වෙන්නේ කෛලාසපති මහතා ගැන විශේෂයෙන් සඳහන් කළයුතු වන කරුණ පෙළකි • Ilankai Tamil Sangam නම් වූ සංවිධානය පළකල ‘ශ්‍රී ලංකාවේ දමිළ කාව්‍යයට වසර 100ක්‘ ලිපියේ පළකරන ලද අදහස් ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය දමිළ පිරිස් වල එකතුවෙන් පිහිටුවාගෙන තිබෙන Ilankai Tamil Sangam නම් වූ සංවිධානය කෛලාසපති මහාචාර්යතුමා විසින් 1980 ජූලි මසදී යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සංගමය විසින් පළකරන ලද ලිපියක් එතුමන්ව සිහිකරමින් 2008 ජූනි 11වැනිදා නැවත පළකරන ලද අතර මෙය නම්කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ දමිළ කාව්‍යයට වසර 100ක්‘ නමිනි. මෙරට ඉපදී දැනට ජපානයේ ජීවත් වන ජීවවිද්‍යාඥයකු මෙන්ම කතුවරයකු ද වන සචී ශ්‍රී කාන්ත මහතා මේ ලිපියට පෙරවදනක් පළකරමින් කෛලාසපති මහාචාර්යතුමා පිළිබඳ සටහනක් යොදමින් මෙලෙස සඳහන් කරයි. ‘‘1975 දී ලියැවුණු මේ රචනයෙන් කෛලාසපති මහතා විසින් පාවලර් තරෛයියප්පා පිල්ලෛයි (1872-1929) මහතාගෙන් හා නාවලයි සෝමසුන්දර පුලාවර් යන මහත්වරුන්ගෙන් සිදුවූ සුවිශේෂී මෙහෙවර දමිළ නොවන පිරිසට හඳුන්වාදීම සිදුවේ. කාව්‍ය ශාස්ත්‍රයේ සුවිශේෂී චරිත දෙකක් වූ මේ දෙපළ යාපනයේ ඉපදුණි. එමෙන්ම, මොවුන් ඉන්දීය මහාකවි රවීන්ද්‍රතාන් තාගෝර්තුමාගේ හා (1861-1941) සුබ්‍රමන්යා භාරතී පඬිවරයා (1882-1921)ගේ සමකාලීන චරිතයන් වූ බව සඳහන් කරයි. කෛලාසපති ආචාර්යතුමා යාපනය විශ්වවිද්‍යාලයේ සභාපති ධූරය 1975 වසරේදී හෙබවීය. 1974 ඔක්තෝබර් 6 වැනිදා යාපනය විශ්වවිද්‍යාලය විවෘත කෙරුණේ 1970 දී බලයට පත්වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එක්සත් පෙරමුණු රජයේ තීරණයක් ලෙසිනි. (මෙය ශ්‍රීලනිප හා කොමියුනිස්ට් පක්ෂ ප්‍රමුඛ කරගත් ආණ්ඩුවක් විය). කෛලාසපති මහතාගේ පත්වීම දේශපාලන පත්වීමක් වුවද ඔහුට අතිශය අසීරු කාර්යභාර්යක් පැවරී තිබුණි. ඒ ‘දමිළ ඊළාම්‘ පිරිස් අතර ජනප්‍රිය නොවූ රජයක් ඒ පිරිස් අතර ජනප්‍රිය කරවීමේ වගකීමයි. ‘එක්සත් මව්බිමක් වෙනුවෙන් සාමූහික දැක්මක්‘‘ යන තේමාව ඔස්සේ ඔහු සිය සාහිත්‍යය කාර්යයේ නිරතවූවේය. මේ නිසාම සමහර අවස්ථා වලදී සිය දේශපාලන දැක්මෙන් ඔබ්බට ගොස් කටයුතු කරන්නට කෛලාසපති මහතාට සිදුවූවේය. මේ නිසාම කෛලාසපති කවියෙන් ‘නැවුම් ආරක් ඇරඹූ‘ අයකු ලෙස දැක්විය හැකිය. Sachi Sri Kantha පසු සටහනක් යොදමින් මේ බව පවසයි. (A Century of Tamil Poetry in Sri Lanka An introductory note by K. Kailasapathy, University of Ceylon, Jaffna Campus • K.S.Sivakumaran - Lankan Tamil Writing තීරු ලිපිය වෙනුවෙන් සටහනක් ‘‘Daily News පුවත්පතට An Incomplete Compilation on Kailasapathy නමින් යුතුව මාධ්‍යවේදී K.S.Sivakumaran - Lankan Tamil Writing තීරු ලිපිය වෙනුවෙන් සටහනක් තබමින් පළකරන අදහස් කිහිපයක් මෙහිදී දැක්විය යුතුය. ‘Kanagasabapathy Kailasapathy යන නාමය මෙරට මෙන්ම විදෙස් රටවල වෙසෙන දමිළ ප්‍රජාව අනිවාර්යයෙන්ම නාමයක්ය. තත්කාලීන ලාංකීය මෙන්ම තමිල්නාඩු සාහිත්‍යය කැටයම් කළ සුවිශේෂී චරිතයක් ලෙස ඔහුව නම්කළ හැක. දමිළ භාෂාව හා සාහිත්‍ය අධ්‍යයනයේ තවත් වැදගත් චරිතයක් වූවේ Karthigesu Sivathamby ද පසුගියදා සිය දිවියෙන් නික්ම ගියේය. මේ චරිත ද්විත්වයටම විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ සුවිශේෂී පිළිගැනීමක් හිමිවූවා මෙන්ම බුද්ධිමතුන් අතරද දැවැන්ත පිළිගැනීමක් හිමිවිය. මෙම කෘතිය තුළ අවධානයට ලක්වන්නේ මාක්ස්වාදියකු වන Lenin Mathivaanam විසින් රචනා කරන ලද Professor K Kailasapathy- Samuka Maattathitkaana Iyankaattal පිළිබඳවය. සමාජ ප්‍රගමනයට කැපවූ සුවිශේෂී චරිතයක් ලෙස කයිලාසපති මහතාව නම්කළ හැකිය. ‘ කෛලාසපති මහතාගේ ජීවිතය, ලේඛන කටයුතු, ජනමාධ්‍යවේදියෙකු ලෙස ගතකළ දිවිය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඔහු විසින් හොබවන ලද විවිධ තනතුරු, දේශපාලන ජීවිතය හා සාහිත්‍ය විචාරකයකු ලෙස ගතකළ ජීවිතය පිළිබඳ අවධානයට ලක්කර ඇත. ඔහු විසින් සිදුකළ සාහිත්‍ය මෙහෙවරට සමකළ හැකි අන්කිසිදු සේවාවක් කිසිවෙකු විසින් සිදුකර නැති බව මෙහිදී දක්වයි. දමිළ භාෂාවෙන් කවි හා ප්‍රබන්ධ රචනා කරන ලේඛක, ලේඛිකාවන් රැසක් මෙරට තුළ සිටිය ද සාහිත්‍ය විචාරයන් තුළ රැල්ලක් ඇතිකිරීමට සමත් විචාරකයකු වූවේ නම් ඒ ඔහුම බව දක්වයි. • Early Historic Tamil Nadu c.300 BC – 300 CE කෘතිය පිළිබඳ ‘ශ්‍රී ලංකා ගාර්ඩියන්‘ වෙත බන්දු ද සිල්වා මහතා පළකල ලිපියකි Early Historic Tamil Nadu c.300 BC – 300 CE කෘතිය කේ. කෛලාසපති මහතාට උපහාරයක් ලෙස කේ. මහාචාර්ය ඉන්ද්‍රපාල රචනා කරන ලද්දකි. එතුමා යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු විය. මෙම කෘතිය පිළිබඳ ‘ශ්‍රී ලංකා ගාර්ඩියන්‘ වෙත ලිපියක් බන්දු ද සිල්වා මහතා සම්පාදනය කර ඇති අතර එහි කෛලාසපති මහතා පිළිබඳ දක්වා තිබෙන කරුණු කීපයක් උපුටා දැක්විය යුතුය. ‘‘දමිළ භාෂා දෙපාර්තමේන්තුවේ පැවති Sangam සාහිත්‍යය පිළිබඳ දේශන වලට සහභාගී වන විට කෛලාසපති මහතා මට වඩා වසර දෙකකින් පහළ ශිෂ්‍ය කණ්ඩායමේ සිටියේය. කෛලාසපති මහතා ලේඛකයකු ලෙස ‘අසාමාන්‍ය‘ හැකියාවෙන් යුතු අයකුය. Tamil Heroic Poetry කෘතිය 1968 දී ප්‍රකාශයට පත්කෙරෙන විට දමිළ සාහිත්‍යය පිළිබඳ හසල දැනුමෙන් යුතු අයකු වූවේය. මේ කෘතිය ආරම්භ වන්නේ ‘Cankam කාව්‍යය යන්න වැරදි නාමයක්ය‘ යන වැකියෙනි. එමෙන්ම, පැරණි දමිළ කාව්‍ය වීර කාව්‍ය යන සීමාව තුළ හිඳගෙන මුඛ පරම්පරාගත සාහිත්‍යයේ ශිල්ප ක්‍රම යොදාගනිමින් දමිළ සාහිත්‍යය යන්න විශ්ලේෂණය කිරීම සාර්ථක බව ද ඔහුගේ අදහසයි. H.M. Chadwick හා N.K. Chadwick විසින් සම්පාදනය කළ The Growth of Literature කෘතිය තුළ මෙන්ම සංස්කෘත, සුමේරියන්, අප්‍රිකානු, අයිස්ලන්ත, ටියුටොනික්, ග්‍රික, ස්ලෝවියානු සාහිත්‍යය තුළ කටින් කට එන කවි අධ්‍යනය කළ කෛලාසපති මූලික වශයෙන් පැරණි දමිළ කවි මුඛ පරම්පරාගතව පැවති බව නිගමනය කළේය. හෝමර්ගේ කවි පිළිබඳ Milman Parry කළ විශ්ලේෂණය තුළ වීර කාව්‍ය විශ්ලේෂණය කිරීමේ ‘විශ්වීය න්‍යාය‘ක් නිර්මාණය කළේය. Sangam සාහිත්‍යය සම්බන්ධයෙන් කෛලාසපති මහතා ඉදිරිපත් කළ ස්වාධීන වූ සංවර්ධන න්‍යාය ලාංකීය දමිළ උගතුන්ගේ ඇසට පිළිලයක් විය. නාග, යක්ක, Vaddoid සම්භවය මූලික කරගනිමින් ලාංකීය දමිළ ප්‍රජාව අළලා ඔහු මේ න්‍යාය ඉදිරිපත් කළ අතර මෙරට සිටි දමිළ උගතුන්ට මෙන්ම ජාතිකත්වය පෙරටු කරගත් දකුණු ඉන්දියාවේ සිටි දමිළ පිරිසට මේ න්‍යාය වියවුලක් වූයේ සැබෑවටම ලංකාවට අනන්‍ය දමිළ සාහිත්‍යයේ අක්මුල් සොයා යා යුත්තේ දකුණු ඉන්දියාවට ද නැත්නම් ස්වදේශීය දමිළ ජනතාව ගැන අවධානය යොමුකළ යුතුදැයි යන්න සම්බන්ධව ඔවුන්ට නිසි හැඟීමක් නොතිබූ නිසාවෙනි. • ආර්.එස්. පෙරින්බානයගම් මහතා විසින් ‘ලංකා ගාර්ඩියන්‘ වෙත සැපයූ ලිපිය නිව්යෝර්ක්හි සිටි විශ්වවිද්‍යාලයේ ආර්.එස්. පෙරින්බානයගම් 1983 මාර්තු 15 වැනිදා ‘ලංකා ගාර්ඩියන්‘ වෙත ලිපියක් සම්පාදනය කරමින් පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘සිය කෙටි ජීවිත කාලය තුළ කෛලාසපති ලේඛකයකු ලෙස මෙන්ම චින්තකයකු ලෙස ද සුවිශේෂී ප්‍රතිභාවක් ප්‍රකට කළ අතර අනෙක් පිරිස ද ලේඛනයේ යෙදවීමට තරම් වූ සුවිශේෂී උනන්දුවක් ඔහු තුළ පැවතුණේය. තිනකරන් පුවත්පතේ කර්තෘවරයා ලෙස දමිළ සාහිත්‍යය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇතිකිරීමට ඔහුට හැකියාව ලැබුණි. කෙසේවුවත්, ඔහුට තවත් දිගු කලක් මෙළොව ජීවත්වන්නට හැකියාව ලැබුණේ නම් ඔහුට තවත් නිර්මාණ රැසක් දායාද කිරීමට හැකියාව ලැබෙන බව නිසැකය. ‘තිනකරන්‘ පුවත්පතේ කර්තෘ ලෙස තරුණ ලේඛකයින් මෙන්ම විචාරකයින් රැසක් මාධ්‍ය ක්ෂේත්‍රයට දායාද කිරීමට හැකියාව ලැබුණි. ජනප්‍රිය මදුරාසි ජර්නල් වල පළවූ බොළඳ ප්‍රේම උන්මාදයෙන් තරුණයින් මෑත්කර තබා විදග්ධ කතා ශෛලිය වෙත තරුණ, තරුණයින්ව රැගෙන ඒමේ හැකියාව ඔහුට හිමිවිය. ඔහු සිසුවෙකු ලෙස යාපනය හින්දු විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ විඳි අත්දැකීම් ඔස්සේ නිර්මාණකරණයේ නිරත වූ කෛලාසපති සිය ජීවන අත්දැකීම් ද තිනකරන් පුවත්පතේ සේවය කරන සමයේදී ලේඛනයට රැගෙන ආවේය. පාසල් සමයේ සිටම විකල්ප ලේඛනයේ නිරතවීම ඔහුගේ උත්සහය වී තිබුණි. 50-60 දශකයේදී කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් මුද්‍රණය වූ පුවත්පතක වාමාංශික අදහස් ගැබ්වී තිබීම මෙන්ම වාමාංශික අදහස් දැරූ අයකු කර්තෘවරයකු ලෙස පත්කර තිබීම ද විශේෂය. ඔහුගේ අසහාය ධෛර්යය ඔස්සේ දමිළ සාහිත්‍යය තුළ නොමැකෙන සටහනක් තැබීමට කෛලාසපති මහතාට හැකියාව ලැබුණේය. දමිළ සාහිත්‍යය පිළිබඳ කෛලාසපති මහතා දැරූ විවිධත්වයෙන් යුතු අදහස් ඔස්සේ සාහිත්‍ය විචාරය පිළිබඳ සිය පළමු කෘතිය රචනා කළේය. යාපනය මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි සාහිත්‍යය පිළිබඳ ප්‍රායෝගික විචාරය ඉගැන්වීමෙහිලා දැනුම ද මෙහිදී අත්වැලක් වන්නට ඇති බව මගේ විශ්වාසයයි. මහාචාර්ය කෛලාසපතිගේ බොහෝ නිර්මාණයන් රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක් ඔස්සේය. යථාර්තවාදී නොවන යුතෝපියානු මතවාදයන් ගැන පෙළඹුමක් ඇතිකිරීමට ඵෙතිහාසික සංකල්පයන් ද උපයෝගී කරගෙන ඇති බව හඳුනාගත හැකිය. කෙසේවුවත්, සමාජමය වෙනසක් ඇතිකිරීමට මූලිකත්වය ලබාදීම, එමගින් සමාජයේ පාර්ශ්වයන් තුළ නිදහස් මතවාද පැතිරවීමට හැකියාව ලැබුණේය. ඔහු විසින් ඉදිරිපත් කළ ඵෙතිහාසික දර්ශනය ලෝකයේ විවිධ කලාපයන්හි ජනතාව අතර කතාබහට ලක්වන අතර මෙහිදී සාහිත්‍ය විචාරය මෙන්ම සංස්කෘතික විචාරය ද අවධානයට යොමුවී ඇති ප්‍රධාන තේමාවන් බවට පත්වී ඇත. කෛලාසපතිගේ නිර්මාණාංග රාශියක් තුළ විශේෂයෙන්ම අවධානයට ලක්වී තිබෙන්නේ ඵෙතිහාසික සංකල්පයන්ය..... පැරණි දමිළ පෙළ විශ්ලේෂණය කරමින් නූතනවාදී විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට කෛලාසපතිට හැකිවුණේය. නමුත්, කෛලාසපති දැරූ මේ කැපවීම් සහගත වෑයම සම්භාව්‍ය සම්ප්‍රදාය තුළ අත්පත් කරගෙන නැත. පුරාණ දමිළ කෘතීන් ලේඛන සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ දැනුම නිසාවෙන්ම නූතනත්වය මුසුකරගනිමින් විශ්වාසදායී සංකල්ප ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව ලැබුණි. දමිළ වීර කාව්‍ය අළලා ඔහු සකස් කළ නිබන්ධය හුදෙක් කාව්‍ය ගැන කළ අධ්‍යනයක්ම පමණක් නොව එකල සමාජ ආර්ථික පසුබිම ද අළලා සිදුකරන ලද්දකි. මේ ක්‍රමවේදය වෙනත් අධ්‍යයන වලට ද භාවිත කළ හැකිය. අදියුම් මුදියුම් (Foot and Head) යනු දාර්ශනික හා සමාජයීය පදනමක සිට ආගම පිළිබඳ රචිත දමිළ පෙළ අධ්‍යයන කිරීමේ සුවිශේෂී විශ්ලේෂණ ක්‍රමයකි.‘‘ • K. Kailasapathy Intoduced unorthodox and critical thinking in anlysing Sangam Literature නමින් Kesavan Veluthat සිහිගන්වමින් පළකල ලිපියකි ‘‘මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ද දමිළ සාහිත්‍යය පිළිබඳ නව උනන්දුවක් ඇතිවෙමින් පවතියි. මේ තුළ දකුණු ඉන්දීය ඉතිහාසයේ හා සාහිත්‍යය පිළිබඳ අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් ද නව පරිච්ඡේදයක් ලියැවෙමින් පවතියි. එමෙන්ම, සංස්කෘත, ග්‍රීක හා ලතින් ආදී අනෙකුත් සම්භාව්‍ය සාහිත්‍යයට හිමිවෙන තැන ද සාකච්ඡාවට ලක්වන්නට විය. දේශප්‍රේමය හා දැඩිව බැඳී පවතින නිර්මාණකරණයට විසඳුමක් ලෙස විකල්ප නිර්මාණකරණයේ යෙදීමට කේ. කෛලාසපති මහතා උත්සහ දැරුවේය. මෙහිදී Sangam සාහිත්‍යය හරහා විප්ලවීය වෙනසක් සිදුකිරීමට ඔහු කළ පර්යේෂණයන් හේතුවිය. මෙහි මූලිකාංග පිළිබඳ දීර්ඝ ලෙස අධ්‍යයනය කෙරුණු අතර සමහරවිට කෛාලසපති මහතාට ලාංකීය සම්භාවයක් පැවතීම මෙන්ම කාතිගේසු සිවතම්බි හෝ මෙහි සංස්කාරක වන සුදර්ශන සෙනෙවිරත්න වැන්නවුන් Sangam සාහිත්‍යයේ ප්‍රවීණයින් නොවීම ද මීට දැක්වූ දායකත්වය විශේෂ වෙයි. පුරාතන දමිළ සාහිත්‍යය පිළිබඳ කෛලාසපති මහතා කළ සටහන ගැන ද විශේෂ අවධානයක් යොමුවිය යුතුය. මේ තුළ මුල්කාලීන දමිළ සාහිත්‍යය ගැන කෛලාසපති සිය අවධානය යොමුකරයි. මෙහි දක්වා තිබෙන ‘Bards හා Bardic සම්ප්‍රදාය (තුන්වන පරිච්ඡේදය), මුඛ පරම්පරාගත ප්‍රබන්ධ රචනයේ ශිල්පීය ක්‍රම (සිව්වන පරිච්ඡේදය), වීරවරුන්ගේ ලෝකය (හයවන පරිච්ඡේදය) ආදිය තුළ ශ්‍රේෂ්ඨයින් කළ සුවිශේෂී කාර්යභාරය ගැන වූ දැනුම පාඨකයින්ට ලබාදී ඇත. Tolkappiam හා Purapporul Venpamalai ගැනවූ සංවාදය අත්හැරීම ද සාධාරණීකරණය කළ නොහැක. • භගව්දාස් ශ්‍රීස්කාන්තදාස් ‘Kailasapathy and his interest in theatre‘ නමින් පළකල ලිපිය ‘මහාචාර්ය කෛලාසපති දමිළ වීරකාව්‍ය හා ග්‍රීක වීරකාව්‍ය පිළිබඳ සිදුකළ සංසන්දනාත්මක අධ්‍යනය ගැන අදහස් පළකරමින් සඳහන් කරන්නේ ‘මෙය දිගුකාලයක සිට දමිළ සාහිත්‍යයේ අවශ්‍යතාවක්ව පැවති අතර මහාචාර්ය කෛලාසපති එය යථාවක් කළ බව‘ යි. නැගෙනහිර යුරෝපයේ ජීවත් වන පෙරදිග අධ්‍යනය පිළිබඳ විද්වතකු වන කමිල් වී සවාබිල් සිය කෘතියකදී කෛලාසපති මහතා ගැන හඳුන්වන්නේ ‘මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයකු, ඉතිහාසඥයකු, විද්වතකු හා නිර්මාණකරුවකු‘ ලෙසයි. • මහාචාර්ය තිලෛයිනාදන් මහතා - කෛලාසපති සැමරුමේදී ඔහු ගැන මතකය අවදි කර ඇති අන්දම ‘මහාචාර්ය කෛලාසපති පිළිබඳ කරන හැදෑරීම් දිනෙන් දින වැඩිවෙනවා. කොහොම වුණත් මේ අධ්‍යනයන් වලදී ඔහු සතුව පැවති ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය දැක්ම ගැන කරන විශ්ලේෂණ හා අධ්‍යනයන් හරිම අඩුයි. කෛලාසපති මහත්තයා ජනප්‍රිය සමාජයේ අනෙක් පාර්ශ්ව එක්ක උරෙන් උර ගැටුණු කෙනෙක් විදියට අඳුනගනනට බැහැ. නමුත්, ඔහු හිතූ පැතූ විදිය වගේම ක්‍රියා කරපු ආකාරයත් මහජනතාව අතරින් පැනනැගුණු හැබෑ චරිතයක් ලෙසින් අඳුනගන්නට හැකියි. එතුමා කළ පර්යේෂණ හා අධ්‍යයන ක්ෂේත්‍රයට එක්කළ නව මතවාද අද ලෝකයටත් ගැළපෙනවා. මහාචාර්යවරයකු, සාහිත්‍යය විචාරකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස මහාචාර්ය කෛලාසපති සමාජයේ අද්විතීය චරිතයක් ලෙස නැගී හිටියා. එදා ඉඳන් අද දක්වාම ඔහු ඊළාම් දමිළ සාහිත්‍යය ගැන ලොවට කියාදුන් අද්විතීය චරිතයක් ලෙස හඳුනාගන්නට හැකියි. මේ සියවසේ අග භාගයේ දිවිගෙවන අය විදියට මේ සියවස තුළ දමිළ සාහිත්‍යයේ උන්නතිය ගැන මහාචාර්ය කෛලාසපතිගෙන් වියුක්ත වෙලා කතාකරන්නට බැහැ. පර්යේෂකයකු විදියට කෛලාසපති මහතා ආදර්ශමත් චරිතයක් වුණා වගේම පුවත්පත් සංස්කාරකවරයකු විදියටත් ඔහු ආදර්ශමත් තැනැත්තකු වුණා. පාඨකයින්ට නිසි තොරතුරු ලබාදී, ඔවුන්ට නිවැරදිව හිතන්නට මඟ විවර කරදුන් අයුරු ඔහුගේ පුවත්පත් ලේඛන නිරීක්ෂණයේදී දැකගන්නට හැකියි. පණිවිඩ රැසක් අතරින් අතිශය වැදගත් පණිවිඩ තෝරාබේරාගෙන ඒවා නිවැරදි පිටු තුළට ගොනුකරගන්නා ආකාරය ඔහු මනාව දැනහිටියා. ඒවගේම දමිළ සාහිත්‍යයේ උන්නතියටත් ඔහු සක්‍රිය දායකත්වයක් ලබාදුන්නා. ඒවගේම විවිධ පර්යේෂණ කටයුතු ගැනත් ඔහු දැඩිව උනන්දු වුණා. සමාජය සංවර්ධනය විය යුතු බව කෛලාසපති මහතා දැඩිව විශ්වාස කළා. ලේඛනයේදී මෙන්ම විශ්වවිද්‍යාලය තුළ කතාබහ කරන විට පවා සමාජ උන්නතිය ගැන ඔහු නිතරම උනන්දු වුණා. දමිළ ජාතිකයින් ජීවත් වුණු පරිසරය ගැන නිරන්තර අවදියෙන් සිටි කෛලාසපති මහතා ඒ සමාජය විශ්ලේෂණය කිරීමේ විශේෂඥයකු වුණා. 1950-1960 දශකය මහාචාර්ය කෛලාසපතිගේ පර්යේෂණ දිවියේ හොඳම කාලයයි. මේ පර්යේෂණයන් දමිළ සාහිත්‍යයේ සුවිශේෂී සංධිස්ථාන බව දැක්විය හැකියි. කලාත්මක සාහිත්‍යය ගැන කතාබහ කළ ඵෙතිහාසික සමාජයීය තත්ත්වයන් හා දේශපාලන ඉතිහාසය ගැන මනා අවබෝධයක් තිබුණු ශ්‍රේෂ්ඨ චින්තකයකු ලෙසත් කෛලාසපති මහතා හැඳින්විය හැකියි. ඔහු මියගිහින් මේ වෙද්දි වසර 31ක් ගතවෙලා තිබුණත් අදටත් ඔහු ගැන මෙහෙම කතා කරන්නේ ඔහුගේ අද්විතීයත්වය නිසයි. එපමණක්ම නොවෙයි නූතන වෙබ් මාධ්‍යයේ පවා ඔහු ගැන කතාබහ කරනවා. පසුගිය සියවසේ අගභාගයේදී නූතනවාදී සාහිත්‍යය ගැන කතාබහ කරන්න ගත්තා. නූතනවාදී සාහිත්‍යය, ප්‍රගතිශීලී සාහිත්‍යය, ජනප්‍රිය සාහිත්‍යයට පවා මහාචාර්ය කෛලාසපති දැක්වූ දායකත්වය අදටත් ශේෂ වී තිබෙනවා. කෛලාසපති මහාචාර්යතුමාගේ විශ්වාසය වුණේ නව්‍යවාදය අඛණ්ඩව සිදුවුණු බවයි. ඒවගේම මහාචාර්යතුමා චිත්‍ර කලාව, සාහිත්‍යය හා අනෙකුත් කලාංගයන් මෙන්ම ඒ කලාංගයන්හි නව්‍යතාවන් ගැන ද කතාබහේ යෙදුණා. අදටත් ඔහු පළකල අදහස් ගැන විද්වත් සංවාද ඇතිවෙයි. පසුගිය අඩ සියවසක කාලය තුළ මහාචාර්ය කෛලාසපති පළකල අදහස් විද්වතුන්ගේ අවධානයට ලක්වී ඇති අතර ඔහු කළ සංසන්දනාත්මක අධ්‍යනයන් තවමත් කළඑළි බැස නැත. සාහිත්‍යය මෙන්ම කර්ණාටක සංගීතය, භරත නාට්‍යම් හා නාට්‍යය ආදිය ගැන ද සුවිශේෂී උනන්දුවක් කෛලාසපති මහතා තුළ පැවතුණි. දෙවන ලෝක සංග්‍රාමයේ සුවිශේෂී සංධිස්ථාන ගැන ලේඛනයේ යෙදීමට කෛලාසපති මහතා තුළ දැඩි උනන්දුවක් පැවතුණු අතර භාරතය ගැන විශේෂ සටහන් පෙළක් සිදුකිරීමේ අභිලාෂයක් ද ඔහු තුළ පැවතුණු බව කියවේ. අති දක්ෂ කළමනාකාරවරයෙකු ලෙස ද කෛලාසපති මහතාව හඳුනාගත හැක. කුමන හෝ ප්‍රශ්නයක් එළඹුණු කලක ඒ ගැන විවිධ මානයන්ගෙන් සොයාබලා තීරණ ගැනීමේ හැකියාව එතුමාට පැවති බව එක්ව කටයුතු කළ අයගේ අදහසයි.‘‘ (https://www.youtube.com/watch?v=4OyFWUMcc2c - වීඩියෝ පටය අමුණා ඇත) • ධර්මසේන පතිරාජ, මංජුල වෙඩිවර්ධන සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී පළකල අදහස් (JDS වෙබ් අඩවියේ පළවූවකි) ‘‘මහාචාර්ය ගම්ලතුයි, සුනිල් ආරියරත්නයි, මමයි යාපනේ විශ්වවිද්‍යාලයේ වැඩ භාර අරගෙන සුමානෙකින් විතර අපිව හොයාගෙන නාග විහාරෙ හිටපු හාමුදුරුවෝ ආවේ ළමයි බෞද්ධ කරන්න. අපි සිංහල අංශයක් පිහිටෙව්වේ බෞද්ධාගම පතුරවන්න කියලා තමයි හාමුදුරුවෝ හිතුවේ. මහාචාර්ය ගම්ලත් කෙලින්ම ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වුණාට හමුදාවෙන් ළමයින්ව දිරි ගැන්නුවා මහ පිරිතකට. ඒ කාලේ කුලපතිධූරයේ හිටපු මහාචාර්ය කෛලාසපති කිව්වා ළමයින්ට ඕනෙ නම් ඒක එහෙම කරගත්තාට කමක් නෑ කියලා. එයා දන්නවා අපි බොහොම නිදහස් ඇති අය මිසක් ආගම්වාදියෝ, බෞද්ධයෝ හැටියට නෙමෙයි එහි ගියේ කියලා.‘‘ පවුලේ පිරිස් කෛලාසපති මහතා ගැන පළකරන අදහස් • කෛලාසපති මහතාගේ බිරිඳ සර්වාමංගලම් කෛලාසපති මහත්මිය සිය සැමියා ගැන මතකය අවදිකරන අයුරු සර්වාමංගලම් කෛලාසපති මහත්මිය වරෙක කළු ජූලියේ මතකයන් පිළිබඳ ආවර්ජනය කර ඇති අවස්ථාවක කෛලාසපති මහතාගේ කෘතීන් ගැන සිදුකළ ප්‍රකාශයක් මෙහි උපුටා දක්වා ඇත. සර්වම් කෛලාසපතිගේ කොළඹ, වැල්ලවත්ත පිහිටි නිවහන 1983 දී ගිනිබත් කෙරුණු අතර නිවසේ පිහිටි ගෘහභාණ්ඩ පවා අළු බවට පත්වී තිබුණි. අවසානයේ ශේෂ වී තිබුණේ බිත්ති හතර පමණකි. ඔවුන් වසර 30ක් පුරා දිවිගෙවා තිබුණේ එම නිවහනේය. ගිනිබත් වී ගිය නිවහන වෙත ඇය නැවත පැමිණ බලන විට මාළු ටැංකියේ සිටි මසුන් ද බිම මැරී වැටී සිටින අයුරු දැකගත හැකිවිය. මේ සිද්ධියෙන් පසුවද කෛලාසපති නිවස කිහිපවරක්ම මංකොල්ලකෑමට ද ලක්විය. මේ ගැන සිය මතකය අවදි කරන කෛලාසපති මහත්මිය පවසන්නේ, ‘කවදාවත් ආයෙත් හොයාගන්නට නොහැකි ගෙදර තිබුණු වටිනා බඩු බොහොමයක් නැතිවෙලා ගිහිං තිබුණා. මගේ පවුලේ සමූහ ඡායාරූප පමණක් නෙවෙයි වටිනා කියන බොහොමයක් ලිපිගොනු පවා නැතිවී තිබුණා. නමුත්, මගේ සැමියාට අයිති වෙලා තිබුණු පොත් 1000ක් සුරක්ෂිත කරගන්නට රාජ්‍ය නොවන බ්‍රිතාන්‍ය සමාගමක් මට උදව් කළා. මේ නැතිවෙලා ගිය අවුරුදු 30 දිහා මට අහිමිවී ගිය දෑ ගැන ආපහු හැරිලා බලද්දි මට දැනෙන එකම සතුට වටින කියන ඒ පොත් දහස ආරක්ෂා කරගන්නට හැකිවීමයි‘ කෛලාසපති මහත්මිය පවසන මේ ප්‍රකාශයෙන් ද දැකගත හැකිවන්නේ කෛලාසපති මහතා පොතට පතට දැක්වූ දැඩි ඇල්මයි. • කෛලාසපති මහතාගේ දියණිය පවිත්‍රා කෛලාසපති මහත්මිය සිය පියා ගැන මතකය අවදි කරන අයුරු ‘තාත්තා ගැන මට තියෙන මතකය අවදි කළොත් ගොඩක් වෙලාවට පොතටපත, ලේඛනයට ආදරය කළ චරිතයක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. සමහර වෙලාවට අපිත් එක්ක ගතකළ කාලයට වඩා ඔහු ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් කැපවුණු කෙනෙක් වුණත්, මොනම වෙලාවකවත් අපිව අමතක නොකළ කෙනෙක්‘ මහාචාර්ය කෛලාසපති මහතාගේ ඡායාරූප බිරිද හා දියණියන් දෙදෙනා බිරිද සුමී කෛලාසපති පවිත්‍රා කෛලාසපති කෛලාසපති මහතා විසින් රචිත කෘතීන් හා ඔහු ගැන ලියැවුණු කෘතීන් වල ඡායාරූප