Tuesday, September 11, 2018

සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් පණ පිටින් පුළුස්සා මරාදමලා

September 11, 2018 0 Comments
පාකිස්ථානයේ දිවි ගෙවූ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට පුරුෂයින් සිව් දෙනෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට ගත් උත්සහයේදී ඊට විරෝධය පළකිරීම නිසා ඇය පණපිටින් පුළුස්සා දමා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (6) මෙම ඝාතනය සිදුවී ඇති අතර පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන Trans Action Pakistan මේ හා සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. පාකිස්ථානයේ සහිවාල් දිස්ත්‍රික්කයේ කුලී රථගාලක් ආසන්නයේදී මේ සිදුවීම වී ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇගේ සිරුරින් 80 % ක් පමණ පිළිස්සී ගොස් තිබූ අතර එ් වනවිටත් මියගොස් සිට ඇත. පාකිස්ථානය තුළ දිනෙන් දින සිදුවන පසුගිය අගෝස්තුවේදී ද පෙශාවර්හිදී සංක්‍රාන්ති ලිංගිකයෙකු ඝාතනය කෙරුණි. කෙසේවුවත්, මේ වසර ආරම්භයේදී පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිමය පියවර ගෙන තිබෙන පසුබිමක LGBT ප්‍රජාවට එරෙහිව මෙවැනි අඩන්තේට්ටම් සිදුවීම මහත් ඛේදවාචකයක් වී ඇත. https://www.slguardian.org/si/wp-content/uploads/2018/09/41087610_269096883926754_7486503198583865352_n.mp4 Trans Action Pakistan හා Pink News ඇසුරිනි

ලී රිග්බි ඝාතනය මාව සසල කළා – ගයි ගුණරත්න

September 11, 2018 0 Comments
In our Mad and Furirous City ශ්‍රී ලාංකීය හා බ්‍රිතාන්‍ය සම්භවයකින් යුතු තරුණ ලේඛකයෙකු වන ගයි ගුණරත්න විසින් රචිත කුළුඳුල් නවකතාවයි. මෙවර ‘ද මෑන් බුකර්’ සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තු ගත කෘති අතරට මේ කෘතිය ඇතුළත්වී තිබේ. උතුරු එංගලන්තයේ පිහිටි ස්ටෝන් නිවාස සංකීර්ණයේ හැදී වැඩෙන සෙල්වන්, ආර්දන් සහ යූසුෆ් යන තරුණයින් තිදෙනෙකු වටා මෙම නවකතාව ගොඩනැගී ඇති අතර මේ ප්‍රදේශය මුල්කරගනිමින් ඇවිලී යන ගැටුම්කාරී වාතාවරණයක් පදනම් කරගත් In our Mad and Furirous City හි රාජකාරිය නිමවී යන සොල්දාදුවෙකු කළු මිනිසෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සත්‍ය සිද්ධිදාමය ගැන සනිටුහන් වී ඇත. ලන්ඩනයේ නෙස්ඩන් හි ඉපදුණු ගයි මේ වනවිට දිවිගෙවන්නේ ස්වීඩනයේ ය. මේ The Guardian ඔහු සමග පවත්වන ලද සාකච්ඡාවක අනුවර්තනයකි. In our Mad and Furirous City කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ හැදී වැඩුණු ලන්ඩන් නගරයද ? ඇත්තටම, මං හැදී වැඩුණේ මේ කෘතියේදී තරුණ පිරිස් කතාබහ කරන උප භාෂාව, ඒවගේම මෙහි දිගහැරෙන භාෂා විලාසය සමගිනුයි. මේ ප්‍රදේශයට ආවේණික වී තිබූ රිද්මය හා ශක්තිය පුබුදුවාලන්න මට වුවමනා වී තිබුණා. බොරුව නැති නමුත් සත්‍යය ගැබ්වුණු දේවල් මෙහි තිබෙනවා. කෘතිය තුළ ඇසෙන සංවාද හරහා මට දැනෙන්නේ ලන්ඩනයේ ජීවත්වෙන බවයි. මේ වචන වල දෝංකාරය හා එහෙන් මෙහෙන් ඇහෙන සද්දත් එක්ක මගේ අදහස වී තිබුණේ නගර මැද ඉඳන් මේ කෘතිය කියවන බව පාඨකයාට දැනවීමයි. බහුතාල නාදය කෘතිය තුළින් ඇහෙන බව In our Mad and Furirous City ගැන ලියැවී තිබෙන එක් විචාරයක සටහන් වී තිබෙනවා. ඇත්තටම, ඔබට වුවමනා කළෙත් එයද ? බහුතාල නාදයක් බව කීම බොහොම සුන්දර කතාවක් වුණත් සමහර විට තරමක් මෘදු වෙන්න පුළුවන්. නෙස්ඩන් හා වෙම්බ්ලි වලින් ඇවිදන් යද්දි ඒ වටපිටාව හරිම ඝෝෂාකාරී බව දැනෙනවා. මේ නගරය සමහර මිනිස්සුන්ට අකාරුණික වෙන්න පුළුවන්, ගැටීම් හා බෙදීම් වලින් පිරී තිබෙන්න හැකියි. නමුත්, සමහරවිට මේ අමිහිරි බව අත්‍යවශ්‍ය බව දැනෙනවා. ලන්ඩනය කියන්නේ විවිධාකාර තැන් වල සිට පැමිණුනු ජනයා එකට එකතුවන තැනක්. ඉතිං, මේ හැමදෙනාම ඔවුන්ට අනන්‍ය වූ ස්වභාෂාව, උච්චාරණ, සංස්කෘතිය, ඉතිහාසය හා උනන්දුව අතහැරලා එකම විදියට කතා කරාවි යැයි මට හිතාගන්නත් බැහැ.
මේ කෘතියේ සමහර අවස්ථාවලදී අව්‍යක්ත යැයි සැලකෙන යෙදුම් සන්දර්භානුගත නොකර ලියද්දි ඔබට ඔබ ගැනම විශ්වාසයක් දැනුණද ? කා වෙනුවෙන් සන්දර්භානුගත කරන්නද ? ඒක හරිම අමනකමක් නේ. සංවේදීතාව නිසා මොකක් හරි දෙයක් අපහසුතාවට ලක් නොකර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් මට දැනිලා නැහැ. යමක් ඒ විදියටම ප්‍රකාශ කිරීම හරිම අවංකයි. සාමාන්‍යයෙන් කිසිම බුරුලක් නොදක්වන ලේඛකයින්ගේ ලේඛනයන්ට මං ඉබේම ආකර්ශණය වෙනවා. ස්කොට්ලන්ත උප භාෂාවෙන් ලියන ජේම්ස් කෙල්මන් මගේ ප්‍රියතම ලේඛකයෙක්. මං මේ ලියන්නේ ඇත්තම බව දන්නවා නම් එවැනි අවස්ථාවකදී සංවේදීතාව ගැන හිතන්න වුවමනා වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයින්ගෙන් ඔබ්බට ගිහිං මං හිතන්නේ නැහැ. ලේඛනයේ යෙදෙන විට මං බෝලයක් අතට ගත්තා වගේ. අන්තවාදී බව හා ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් මට බාධාවක් වෙන දෙයක් ගැන හොයනවා වගෙයි මේ කෘතිය ලියැවීමේ මූලාරම්භය වෙන්නේ ලී රිග්බි ඝාතනයද ? ලී රිග්බි සිද්ධිය මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළා. මේ සිද්ධිය වෙද්දි මං හිටියේ පින්ලන්තයේ. ලේ පෙරාගෙන වැටී සිටි ලී වගේම ඔහුව මරා දැමූ මයිකල් අදේබොලාජෝගේ දර්ශනත් මං දුටුවා. නමුත්, මං දැඩි කම්පනයට පත්වුණේ මේ සිද්ධිය නිසා නොවෙයි, මං කතාකරන විදියටම ඔහුත් කතාකරන නිසයි, මගේ පාසලේ දරුවන් අඳින විදියටම ඔහුත් ඇඳගෙන හිටිය නිසයි. ඒ වගේම ඔහුගේ විලාසය, ඔහු දුටුවම දැනෙන මොකක්දෝ සමීප බවක් හිතේ තියෙනවා. තමන්ගේ නිවසට පෙනෙන මායිමේදී මේ විදියට ක්‍රියාත්මක වුණේ ත්‍රස්තවාදයයි. මට මේ සිද්ධිය ගැන කරන්න පුළුවන් වෙලා තිබුණු ඉතාම නරකම දෙය නැත්නම් නීරස දේ වුණේ ඒ සිද්ධිය පදනම් කරගෙන කතාවක් රචනා කිරීමයි. තරුණ කොල්ලෙක් රැඩිකල් වුණේ කොහොමද කියන එකයි. මොකද මට වදයක් වුණේ ඒ කාරණේ නෙමේ, වදයක් වුණේ ඔහුව හඳුනාගැනීමයි. අතිදුෂ්ටයෝ දැනහඳුනාගැනීම වෙනුවට එකිනෙකට වෙනස් හඬවල් පහකින් වර්තනය වන අන්දම හඳුනාගන්න මට වුවමනා වුණා. මේ නිසා කෘතියේ ඉන්න හැම චරිතයක්ම ඔවුන්ගේම වූ අන්තවාදයක් ඉදිරිපත් කරනවා. බුකර් සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තුගත කෘතීන් අතර ඔබේ කෘතිය තිබෙන බව දැනගත්තම මොකක්ද දැනුණේ ? මේ ගැන නිළ වශයෙන් නිවේදනය කරන්න දින කීපයකට කලින් ඒ බව මට දැනගන්න ලැබුණා. මගේ කෘතිය ප්‍රකාශනය කළ කාර්යාලයෙන් මේ ගැන සඳහන් කරපු බොහොම සතුටු හිතෙන ඊමේල් පණිවිඩයක් එවා තිබුණා. කුස්සිහේ එහේ මෙහේ දුවමින් උඩ පැනපු මම ඒ ගැන මුලින්ම කිව්වේ බිරිඳටයි. එදා මම කොහෙවත් ගියේ නැහැ. ලේඛන ජීවිතේ සම්බන්ධයෙන් කිසිදිනක මං වෙන කිසිම ලේඛකයෙකු එක්ක කිසිම සංවාදයක් කරලා තිබුණෙත් නැහැ. නමුත්, මගේ ජීවිතයේදී මට කරන්න පුළුවන් වෙන කිසිම සුන්දර දෙයක් ගැන මට දැන් හිතාගන්න වත් බැහැ. බුකර් සම්මානයට නිර්දේශිත දිගු ලැයිස්තුවේ කෘති අතරට පැමිණීම පවා ලේඛනයේදී කළයුතු දේවල් අතරේදී අපිට කාලයක් හා අවකාශයක් ලබාදීමක් වගේ. මං කාලය හා අවකාශය පස්සේ යන කෙනෙකු නිසා මේ අවස්ථාව මට හරිම වැදගත්.
ඔබ දැන් ජීවත්වෙන්නේ මැල්මෝ වල. ඔබේ දෙවැනි නවකතාවට පදනම්වී තියෙන්නෙත් ලන්ඩනයමද ? මේ නවකතාව ආරම්භ වෙන්නේ ලන්ඩනයෙන් පිටතදීයි. නමුත්, ඇත්තටම මේක ස්ථානය පදනම් කරගත්තු නවකතාවක් නෙමෙයි. භාෂාව පදනම් කරගත්තු එකක්. අරාබි කාව්‍ය, සිරියාවේ ඉන්න පියෙකු හා පුතෙකු වටා ලියැවුණු කෘතියක්. මැල්මෝ නගරය බොහොම නිහඬ අවකාශයක් හා හිතට තැන්පත් බවක් ලබාදෙනවා. පළවෙනි කෘතිය හා දෙවැනි කෘතිය අතර තරමක භූගෝලීය වටිනාකමක් තිබීම විශිෂ්ටයි. ඔබේ පියා In our Mad and Furirous Cityකෘතිය මිලදීගත් අවස්ථාවේදී ඔබ ඒ ගැන පළකරපු ට්වීටර් පණිවිඩය රැල්ලක් වගේ පැතිරිලා ගියා. 40,000 රිට්වීට් වෙලා තිබුණා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද ? ලංකාවේ ඉඳන් මෙහේ ආව මුල් කාලයේදී තාත්තා කිසිම ඉංග්‍රීසි වචනයක් කතා නොකළ බව නිතරම ඔහු මට කියලා තියෙනවා. ඔහු රෑ කාලේ තියෙන පාසල් වලට ගියත් චාර්ජින් හරස් වීදියේ තියෙන Foyles කඩේට ගිහිං පොත් රාක්ක වල තියෙන පොත් කියවලා ස්වයං අධ්‍යයනක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඔහු එහෙම ගිහිං තියෙන්නේ දවල් කෑම වෙලාවේදීයි. පොත් කඩේ බිම ඉඳගෙන ඔහු පොත් කියවලා තියෙනවා. මං දැනුම් තේරුම් තියෙන වයසට එනතෙක්ම තාත්තා මේ කතාව ඉවරයක් නැතුව කියලා තියෙනවා. මගේ අම්මයි, තාත්තයි එක්ක ආයෙමත් පාරක් Foyles වලට ගිහිං, මගේ අතින් රචනා වුණු කෘතිය තෝරන්න මගේ තාත්තට පුළුවන් වුණා නම්, අනිවාර්යයෙන්ම, ඒක අපූරු අවස්ථාව මගේ ඇස් ඉදිරිපිටම දකිමින් ඒ ගැන ට්වීටර් එකේ ඡායාරූපයක් පළකරපු වෙලාවේ ඒ වටා මුළු ලෝකේම එකතු වුණා. මේ මොහොතේදී ඔබේ පොත් මේසේ තියෙන පොත් ගැන සිහිපත් කළොත් ? අරාබි කාව්‍ය හා ප්‍රබන්ධ කෘති ගොඩක් තියෙනවා. සිරියානු කවියෙකු වෙන අදොනිස්ගේ ඒවා විශේෂයි, ඔටේසා මොෂ්ෆෙග් අතින් නිර්මාණය වුණු My Year of Rest and Relaxation කෘතිය. හිතන්නවත් බැරි තරමට භ්‍රාන්තිය දනවන කෘතියක් වෙන අහමඩ් බොනානිගේ The Hospital කෘතිය තිබෙනවා. ඇත්තටම, මේ කෘතිය එඩිතර බව දනවන්නක්. ඔබේ හිත්ගත්තු ලේඛකයින් කවුද ? මං එඩිතර බව දැනෙන විදියේ ප්‍රබන්ධ රචනා කරන ලේඛකයින්ට කැමතියි. අලි ස්මිත්, ගුන්තර් ග්‍රාස්, සැමුවෙල් බෙකට් හා නිකොලා පාකර් වගේ අය ඔබේ කුඩා අවදියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලටද ? හැම දරුවෙක්ම සාමාන්‍යයෙන් තෝරගන්න කෘතීන්, රෝල්ඩ් ඩාර්ල්ගේ කතා වලට දැඩි ඇල්මක් දැක්වුවා. නිසි විදියට කියවන්න යොමුවුණේ ගැටවර අවදියේදීයි. සල්ලිකාර අය ගැවසෙන ප්‍රදේශ වල තියෙන පුණ්‍ය ආයතන මට්ටමින් පවත්වාගෙන යන පොත් කඩ වලට නිතරම ගියා. බ්ලූම්ස්බරි හෝ මියුස්වෙල් හිල් වල පිහිටි ඔක්ස්ෆර්ම් පොත් කඩේට ගියා, එහෙන් පොත් අරගෙන ආපහු නෙස්ඩන් වලට ආවා. මං වඩාත් ආදරය කරපු ලේඛකයින්ව මුණගැහුණේ එහෙමයි. සැමුවෙල් බෙකට් කියන්නේ මාර චරිතයක්. ඔහු බොහොම දැඩි තැනැත්තෙක්. ලේඛනය කියන්නේ සුවපහසු බව හෝ සැහැල්ලු බව දැනෙන්න අඳින ඇඳුමක් නොවෙයි. වර්ජිනියා වුල්ෆ් කියන්නේ වෙනමම චරිතයක්. යුදෙව් – ඇමරිකන් සම්භවයක් තියෙන ලේඛකයින් මාව උත්තේජනය කළා. චිකාගෝවේ වීදි අතරින් ඇවිද යමින් යුදෙව් උරුමය ගැන සිත් වසඟ කරවන කතා ලියූ ඉෂාක් බෂෙවිස් සිංගර්, සෝල් බෙලෝ වගේ අය අති සමීප බවක් දැනෙනවා. (2018.09.09 දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි – The Guardian ඇසුරිනි)

නන්දිතා දාස් – මන්තෝ ගැන කියයි

September 11, 2018 0 Comments
මන්තෝ කියන්නේ කවුද ? පංජාබයේ ඉපදුණු සාදත් හසන් මන්තෝ සුවිශේෂී ලේඛකයෙකු විය. සමාජය තුළ තැලී පොඩිවුණු මිනිසුන් විඳි ජීවිතය ගැන ඔහු ලියූ කම්පිත කෙටිකතා ඉන්දියාවේ සැබෑ චිත්‍රය ලෝකය හමුවට ගෙන ආවේය. මන්තෝගේ බොහෝ කෘතීන් වලට මුල්වූයේ 1936 සිට 1948 දක්වා කාලයේදී මුම්බායේ ගෙවූ ජීවිතයයි. සිය දිවියේ සතුටින් ගෙවූ කාලය ලෙස නම්කරන්නේ මේ සමයයි. ඉන්දියාවේ ගෙවුණු සමයේදී ඔහු අත්විඳි සුන්දර මෙන්ම අසුන්දර අත්දැකීම්ද ලේඛන ලෙස එළිදක්වා ඇත. හඬක් නැති මිනිසුන්ට හඬක් වූ මන්තෝට සිය කෙටිකතා අශෝභන බවට එල්ල වූ අසත්‍ය චෝදනා හයක් හමුවේ නීතියේ ඉදිරියේ පෙනී සිටින්නට සිදුවූවේය. නන්දිතා දාස් සිනමාව තුළ මැවූ මන්තෝ නන්දිතා දාස් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ මන්තෝ (Manto) සිනමාපටය තුළ දිගහැරෙන්නේ ඔහුගේ ජීවන කතාවයි. විශේෂයෙන්ම, මේ සිනමාපටයේ අවධානයට ලක්කර තිබෙන්නේ මන්තෝ පාකිස්ථානයට යාමට පෙර බොම්බේ හි ගතකළ අවසන් අවුරුදු කිහිපයයි. නන්දිතා දාස් අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන වෘත්තාන්ත සිනමාපටය මෙය වන අතර එය එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා ලන්ඩන් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය වීමට නියමිතය. පසුගිය මැයි 13 වැනිදා කෑන්ස් උළෙලේදී මේ සිනමාපටය මුල් වරට ප්‍රදර්ශනය විය. නව්සුදීන් සිද්ධික් මෙහි මන්තෝගේ චරිතයට පණදෙයි. තාහිර් රාජ් බාසින්, රසිකා දූගල් ද මෙහි රංගනයෙන් දායක වේ.
‘‘මන්තෝ තමන් වටා සිද්ධ වෙන දේවල් වලට අපූරු ප්‍රතිචාර ලබාදුන්නු කෙනෙක්. ඔහු කරපු කියපු දේවල් අදට පවා වලංගුයි. කාන්තාවන් හා ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් බොහොම සංවේදීව කටයුතු කරපු කෙනෙක්. ඉන්දියාවේ කිසිම ලේඛකයෙකු ඒ සමයේදී මෙවැනි තේමාවන් තෝරාගත්තේ නැහැ ‘‘ මන්තෝ ගැන පවසන නන්දිතා දාස් අදහස් දක්වන්නීය. සමස්ත සිනමාපටය පුරාවටම මන්තෝ විසින් රචිත කෘතීන් පහක් ගැන මතකය නන්දිතා දාස් විදහා දක්වන අතර මන්තෝගේ නිර්මාණ මෙන්ම ප්‍රබන්ධ හා කරුණු අතර ඇති රේඛාව මේ සිනමාපටය තුළ බොඳකර හරින බව විචාරක මතය වී ඇත. ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති මිත්‍රත්වය විදහා දැක්වූ “Toba Tek Singh” නමින් ඔහු ලියූ කෙටිකතා පෙළ අතිශයින් ජනප්‍රියත්වය පත්වුණි. පාකිස්ථානය ස්වාධීනත්වය ලැබූ සමයේදී ලාහෝරයේ දිවි ගෙවූ තැනැත්තෙකු පදනම් කරගෙන මේ කෘතිය ලියැවී ඇති අතර ඊට යටින් ලාහෝර් නගරයේ සිටි පිම්පියන්, මැරයින්, රූපලාවන්‍යගාර පවත්වාගෙන යන ස්ත්‍රීන් සහ මුඩුක්කු පෙදෙස් වල ජීවත් වූ ලිංගික ශ්‍රමිකයින් ගැන ද සදහන් කර ඇත. මන්තෝ (Manto) සිනමා නිර්මාණය හා නන්දිතා දාස් මන්තෝ ගැන අදහස් දක්වන සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි පවසන්නේ, ‘‘මන්තෝ ඔහුගේ යුගයේ දිවි ගෙවු අසමසම ලේඛකයා යි. ඉන්දියාව හා පාකිස්ථානය ගැන දෙගිඩියාවෙන් සිටි මෙන්ම දෙරට අතර පැවති දරුණුතම ගැටළු වලට මැදිහත් වුණු තැනැත්තා ඔහුයි. බොම්බේ නගරය මන්තෝගේ නිර්මාණයන් පුබුදුවා ලු තැනයි‘‘ යන්නයි. මේ සත්‍යය මන්තෝ ගැන නිර්මාණය වු සිනමාපටයෙන් ද දිගහැරේ. 1940 දශකයේදී මන්තෝ නගරය නියෝජනය කළ හඬ බවට පත්ව සිටියේය. සත දෙකකින් මෙන්ම රුපියල් 10,000 ක් අතේ තබාගෙන නගරයේ ජීවත් විය හැකි අන්දම ගැන සංචාරක මඟපෙන්වන්නෙකුගේ විලාසයෙන් මන්තෝ කියාදුන්නේය. 40 දශකයට පෙර හා පසු බොම්බාය තුළ පැවති සංකීර්ණත්වය සම්බන්ධයෙන් මන්තෝ මෙන්ම නන්දිතා දාස් ද බියට පත්නොවන බව සිනමා විචාරක අදහසයි. ‘‘බොම්බායේ සුවිශේෂී සංධිස්ථාන වන ඉන්දියාවේ පිවිසුම් දොරටුව, චිත්‍රාපති ශිවාජි දුම්රියපොළ වැනි ස්ථාන ගැන කියලා සුලභ කතා කියන්න මට වුවමනා වුණේ නැහැ. සාමාන්‍ය මිනිස්සු ඉන්දියාව දකින්නේ කොහොමද යන්න අවධානයට බඳුන් කරන්න මට වුවමනා වුණා.‘‘ මන්තෝ ඔහුගේ ජීවිත කාලය පුරාම සිය අනන්‍යතාවය සම්බන්ධයෙන් දැවැන්ත අරගලයක නිරත වූ බවත් මේ සිනමාපටය නිර්මාණය කිරීමට පෙළඹවු මූලික සංසිද්ධිය වුයේ එය බව ඇගේ අදහසයි. සික්, ක්‍රිස්තියානි හා යුදෙව් පිරිස් වෙසෙන ජනාකීර්ණ නගරයක ජීවත් වූ මන්තෝ මුස්ලිම් ජාතිකයෙකු වූවේය.
නව්සුදීන් – මන්තෝ ලෙස මන්තෝ දුටු ඉන්දියාව එක ගොඩේ ජීවත් වූ රෙදිපිළි කර්මාන්ත ශාලා වල රැකියාවේ නියැලුණු කම්කරුවෝ ද තවත් පසෙකින් සුඛෝපභෝගී ජීවිත ගෙවු සිනමා ශිල්පීන් ද මන්තෝගේ ඇසට හසුවූවේය. මේ ප්‍රතිවිරෝධතා හා අසමානතා මැද හුස්ම ගත් මන්තෝ තුළ බුම්බායි හි නුතන වෘත්තාන්තය පිළිබිඹු වේ. මේ පරිසරය මන්තෝගේ අනන්‍යතාව මූර්තිමත් කිරීමට හැකිවිය. නමුත්, සිය ආගමික අනන්‍යතාවය හමුවේ අභියෝග වලට ද මුහුණදෙන්නට සිදුවූවේය. ‘‘අනන්‍යතාව, ජාතිකවාදය හා ආගම ගැන වූ ගැටළුව සමග අදටත් අප පොරබදිනවා. මේ ප්‍රශ්න ඉන්දියාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විසිරී තිබෙනවා. අනන්‍යතා දේශපාලනයේදී එදා මෙන්ම අදත් මන්තෝගේ වචන රැව් පිළිරැව් දෙනවා‘‘ යැයි නන්දිතා දාස් පවසන්නීය. ‘‘මන්තෝගේ නිර්මාණ බිහිවූවේ ඔහුගේ අත්දැකීම් තුළිනුයි. තමන් දුටු සත්‍යය කොයිතරම් තිත්ත වුණත් ඒ ගැන ඇත්ත කියන්න මන්තෝ කිසිදාක බිය වුණේ නැහැ. සදාචාරය, මනුෂ්‍යත්වය හා සත්‍යය ගැන ඔහු තුළ තිබූ හැඟීම අද ලෝකයටත් වැදගත්. ‘පසු සත්‍යය හා අසත්‍ය පුවත්‘ වැනි සංකල්ප ගැන නූතන ලෝකය තුළත් කතාබහ සිද්ධවෙනවා. සත්‍යය පැවසීමේ අවකාශය හැකිලෙමින් තිබෙන බව අප පවසනවා‘ ඔහු එදා මේ ගැන කතා කළා සැබෑ මන්තෝ ‘‘මේ සිනමාපටයේදී සිද්ධවෙන්නේ හුදෙක් ඉන්දීය ලේඛකයෙකුගේ ජීවිත කතාව පැවසීම නොවේ. ඉන්දීය සමාජය මෙන්ම සමස්ත ලෝකය තුළම තිබෙන සීමා මායිම් ගැන කතාබහට ලක්කෙරෙනවා. අප හා ඔවුන්, එක් මනුෂ්‍ය කොට්ඨාසයක් හා තවත් මිනිස් කොට්ඨාසයක් අතර පවතින බෙදීම් ගැන මෙහිදී කතාබහට ලක්කරනවා. සත්‍යය ගැන වෙන වැදගත්කම අපෙන් ගිලිහෙමින් යනවා, අපි අවංක වීම නතරකර දමා තිබෙනවාද ?‘‘ නන්දිතා දාස් සිය නිර්මාණය හරහා ඉදිරිපත් කරන මන්තෝ නිදහස් සිතුවිලි වලින් පිරි තැනැත්තෙකුය. පාකිස්ථානය මෙන්ම ඉන්දියාව යන දෙරටටම මුහුණදෙන්නට සිදුවන අභියෝග ගැන දැන සිටි මන්තෝ අනාගත වක්තෘවරයෙකුද ? යන්න ඇය ප්‍රශ්න කරයි. ‘‘සිනමා නිර්මාණයක් හරහා මේ තමයි හැබෑ ඉන්දියාව යැයි කියන්න කිසිවෙකුට බැහැ. ජිග්සෝ ප්‍රහේලිකාවක් වගේ එකිනෙක කෑලි එකතු කරලා අවසානේදී සම්පූර්ණ රූපය එකතු වුණාම ඉන්දියාව මොනවගේද කියලා දැකගන්න හැකිවෙනවා. මොකද එකිනෙකා ඉන්දියාව ගැන තේරුම් ගන්නේ විවිධාකාරයටයි. ඔහු එදා සමාජයේ හෘද සාක්ෂිය බවට පත්වුණා. එකල ඔහු රචනා කළ දේවල් මේ සමයේදී ලිව්වා නම් බොහෝ දුරට ඔහුගේ නිර්මාණ තහනම් වෙන්න තිබුණා‘‘ මන්තෝ අද ජීවත් වුවහොත් ඔහුට අත්වන ඉරණම ගැන නන්දිතා පවසන්නේ එලෙසිනි. The Guardian ඇසුරිනි

සමලිංගිකත්වය තවදුරටත් අපරාධයක් නොවේ – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඵෙතිහාසික තීන්දුවක්

September 11, 2018 0 Comments
යටත් විජිත සමයේ සිට පැවත එන ඉන්දීය නීතිය වෙනස් කරමින් සමලිංගිකත්වය අපරාධයක් නොවන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) නිවේදනය කළේය. ‘‘ලිංගික සංසර්ගය සාපරාධී කිරීම අපරාධකාරී, අත්තනෝමතික හා පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධීයි‘‘ සිය තීන්දුව ලබාදෙමින් ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්‍රා පැවසුවේය. නව්ටෙජ් ජවුහාර්, සුනිල් මෙහ්රා, රිතු ඩල්මියා, අමාන් නාත්, කේශව් සුරි හා අයේෂා කපූර් විසින් පවරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම්වලට ප්‍රතිචාරයක් ලෙස මේ තීන්දුව ලබාදී ඇත. 1861 දී සැකසූ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකේ. සමරිසි පුද්ගලයින් ‘අපරාධකරුවන්, අසාමාන්‍ය ලිංගික චර්යාවල යෙදෙන්නන්ය’ යනුවෙන් මෙහි සඳහන්ය. නීතියට පටහැනි මෙම ක්‍රියාකාරකම් අසාමාන්‍ය චර්යා ලෙස මෙතෙක් කල් සැලකුණි. මේ ජයග්‍රහණය අපට විශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය ද ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය හා සමාන වීම නිසාවෙනි. 1883 දී සංග්‍රහ කරන ලද මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 (අ) යන වගන්ති මගින් අනුව අසාමාන්‍ය ලිංගික චර්යා වරදක් ලෙස සැලකේ. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සමලිංගිකත්වය අපරාධයක් කොට සලකන වගන්ති දෙකම එක හා සමාන වන අතර වෙනස් වන්නේ වගන්ති අංකයන් පමණි. ඉන්දීය සමාජ ක්‍රියාකාරීන් වසර ගණනාවක් පුරා සිදුකළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය ලැබීමට හැකිවිය. https://youtu.be/r8eTrdCL5to BBC, CNN, AFP, NDTV ඇසුරිනි

ස්වයං අධ්‍යයනයේ නියැලුණු කලාකරුවන් සිව්දෙනෙකුගේ කතාව

September 11, 2018 0 Comments
ඕනෑම විෂයක් සම්බන්ධව නිසි අධ්‍යයනයක නියැලීම ඒ කටයුත්ත පහසු කරලනු ඇත. නමුත්, මේ සඳහන ස්වයං අධ්‍යයනයේ නියැලී පසුකලෙක අතිවිශිෂ්ඨයන් බවට පත්වුණු කලාකරුවන් ගැනයි. මේ ඔවුන් ගැන වූ ලිපි පෙළේ පළමු කොටසයි
හෙන්රි රොසෙයු
ප්‍රංශ උපස්ථිතිවාදී හා පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර කලා සමයේදී දිවිගෙවූවකි. කලාකරුවෙකු ලෙස නිසි අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාව ඔහුට අහිමි විය. සිය 40 හැවිරිදි වියේදී එනම් 1884 දී සිට දැඩි උනන්දුවෙන් කලාවට පිවිසුණු හෙන්රි ලිපිකරුවකු ලෙස සේවයේ යෙදුණෙකි. ඔහු ගැන විචාරයේ යෙදුණු පිරිස් හෙන්රි කිසිදු හැදෑරීමක් නැති අවිදග්ධ නිර්මාණ ශිල්පියෙකු බව පෙන්වා ඔහුව පහත හෙලීමට ‘Le Douanier‘ (රේගු නිළධාරියා) යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබුණි. හෙන්රිට කිසිදිනක රේගු නිළධාරියෙකු බවට පත්වීමට නොහැකි වූ නිසා ඔහුව අවතක්සේරුවට ලක්කිරීමට මෙවැනි වදනක් යෙදූ බව ද පැවසේ. නමුත්, ඔහු සිය රැකියාවේ නියැලෙන අතරතුරදී චිත්‍ර ශිල්පයට යොමුවී ඇත. ලිපිකරුවෙකු ලෙස රාජකාරි වල නොයෙදුණු අවස්ථා වලදී ලූවර් හි තිබූ කලා එකතුව අධ්‍යනය කළ ඔහු ඒවායේ දළ සටහන් ඇඳ ඇත. චිත්‍ර ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයක් වී සිටි හෙන්රිගේ නිර්මාණ තුළ සෘජුභාවය හා චිත්‍රයෙන් පිළිබිඹු කළ අර්ථ වල අඩුවක් පැවති බව විචාරක අදහසයි. නමුත්, ශාස්ත්‍රීය මට්ටමින් පිළිගත් සම්මතයන් අභිබවා යාමට ඔහු කළ නිර්මාණ සමත් විය. ප්‍රාණවත්, අපූර්ව භූමි දර්ශන හරහා හෙන්රි ඉතා පිරිසිදුවට සිහිනයන් මෙන් වූ දර්ශන නිර්මාණය කළ අතර අධියතාර්ථවාදී නිර්මාණකරුවෝ ඒවාට දැඩිව ඇළුම් කරන්නට විය. හෙන්රිගේ දිවියේ අවසාන සමයේදී ඔහු කළ නිර්මාණ වැන්ගෝර්ගේ චිත්‍ර සමගින් ප්‍රදර්ශනය කිරීමේ භාග්‍යය හිමිවුණි. වින්සන්ට් වැන්ගෝර්
වින්සන්ට් වැන්ගෝර් අද්‍යතන යුගයේ සුවිශේෂී කලාකරුවෙකු වේ. ඔහු ස්වයං අධ්‍යනයේ නියැළුණෙකි. අඩුවෙන් කතාබහ කළ තරමක වෙනස් අන්දමේ තැනැත්තෙකු වූ වැන්ගෝර් පන්ති කාමරයක අධ්‍යයන කටයුතු සිදුකිරීමට කිසිසේත්ම ඇල්මක් දැක්වූවේ නැත. https://youtu.be/FvWHOj79vrw මවගෙන් හා පවුලේ ගුරුවරියගේ අනුදැනුම මත කුඩා වියේදී අධ්‍යාපනය ලත් වැන්ගෝර් නිවසින් පිටතට ගොස් අධ්‍යාපනය ලැබීමට දැරූ උත්සහයන් ව්‍යර්ථ විය. බෝඩිම් පාසලක ගෙවූ අසාර්ථක කාලයකින් පසුව වසර දෙකක් පාඨශාලාවේ අධ්‍යාපනය හැදෑරුවේය. වයස අවුරුදු 16 දී කලා නිර්මාණ අලෙවි කරන වෙළෙන්ඳෙකුගේ සහයකයා ලෙස රැකියාවට පිවිසෙන්නේ ඉන් පසුවය. මේ රැකියාවෙන් කලකිරුණු වැන්ගෝර් ඉන්පසුව පාදිලිවරයකු වීමේ අභිලාෂයෙන් සෙමනේරියට ඇතුළු වූවේය. නමුත්, මෙහි ආරම්භක පරීක්ෂණය අසමත් වන ඔහු මිෂනාරි පාසලේ එක් සෙමෙස්ටරයක් අධ්‍යාපන කටයුතු සිදුකළ ද එය ද අසමත් විය. කෙසේ හෝ අවසානයේදී මිෂනාරි ව්‍යාපාරයේ රැකියාවක් හිමිකරගැනීමට 1879 වසරේදී හැකියාව ලැබුණි. වැන්ගෝර්ගේ තෙළිතුඩින් පිටිසරබද වැසියන් නිරූපණය වී තිබෙන අන්දම ගැන තෙඕ ඇසගසාගෙන සිටියේය. වැන්ගෝර් චිත්‍ර කලාව ප්‍රගුණ කළයුතු බව ඔහු අයැද ඉල්ලා සිටියේය. ඒ අනුව බ්‍රසල්ස් හි Académie Royale des Beaux-Arts හිදී ඉතා කෙටි කලක් චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීමේ අවස්ථාව 1880 දී උදාවිය. ඉන්පසුව උදාවූ ඔහුගේ දුක්ඛදායක දිවියේ ඉතිරි කෙටි කාලය පුරාම චිත්‍ර ශිල්පයේ නියැලෙන අන්දම වැන්ගෝර් තනිවම උගත්තේය. ලී මත කැටයම් කෙරුණු ජපානයේ මුද්‍රණ කලාව හා සිය සගයින්ගේ නවෝත්පාදන ඔස්සේ ඔහු ආභාසය ලැබුවේය. කෙසේවුවත්, තමන්ට අනන්‍ය ශෛලියක් නිර්මාණය කරගැනීමට වැන්ගෝර් සමත්වූවේය. ඔහුගේ නිර්මාණ වල ගැබ්වී තිබූ භාවාත්මක ගතිය රසිකයින් ඔහු වෙත ආකර්ශණය වීමට හේතුවිය. සුළි ආකාර රටාවන්, සජීවී නිරූපණයන් කෙරුණු පින්සල් රටා නිදහසේ නිර්මාණකරණයේ නිරත වූ වැන්ගෝර්ගේ සුවිශේෂී කුසලතා විය. ෆ්‍රීඩා කාර්ලෝ
ඡායාරූප ශිල්පියෙකු වූ ෆ්‍රීඩාගේ පියා සිය දියණියගේ කලා හැකියාවන් හඳුනාගන්නේ ඇගේ කුඩා අවදියේදීමය. ඇයට ඡායාරූප ශිල්පය උගන්වන ඔහු සිය මිතුරෙකු ලවා මුද්‍රණකරණය ගැන ඉගැන්වීමට උත්සුක වූවේ ග්‍රැෆික් කලාවන් ගැන ඈ තුළ උනන්දුවක් ඇතිකරවීමේ අභිලාෂයෙනි. වෛද්‍යවරියක වීමේ සිහිනයෙන් සිටි කාර්ලෝට 18 හැවිරිදි වියේදී හදිසියේ මුහුණදෙන්නට සිදුවූ රිය අනතුරක් නිසා ඇඳටම සීමා වූ දිවියක් ගෙවන්නට සිදුවිය.
යළි සුවපත් වීමේ කාලසීමාව අතරතුරදී වෛද්‍ය සන්නිදර්ශක ඇඳීමේ නිරත වූ ඇය මේ විනෝදාංශය දියුණු කරගැනීමට උත්සහ කළාය. පියා ඇය වෙනුවෙන්ම නිර්මාණය කරදුන් චිත්‍ර ආධාරකයක් හා කණ්ණාඩියක් උපයෝගී කරගෙන ස්ව-ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කිරීමට ෆ්‍රීඩා පෙළඹුණාය. තවත් කල්ගතවන විට සිය හැකියාව වැඩිදියුණු කරගත් ඇය රූප සටහන් වෙනුවට තමන් විඳි භාවයන් චිත්‍ර හරහා ප්‍රකාශ කළාය. අද්‍යතන ලෝකයේ අංගයන් හා මෙක්සිකානු සාම්ප්‍රදායික සමාජයේ අංගයන් නුපුහුණු නැති ගමේ ගොඩේ කලාකරුවන් ඇඳි කතෝලික සංකේතයන් සමග බද්ධ කළ වෙනස් අන්දමේ කලාවක් නිර්මාණය කරන්නට ඈ සමත්වූවාය. මෙක්සිකානු අනන්‍යාව ප්‍රශ්න කිරීමට ෆ්‍රීඩා දැරූ උත්සහය තුළ ආකර්ශණීය විලාසිතාවන් බිහිවිය. ඇය ඇඳි චිත්‍ර අතරින් වැඩි ප්‍රමාණයක් ස්ව ආලේඛ්‍ය චිත්‍ර වේ. බිල් ට්‍රේලර් බිල් පිළිබඳ ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වෙනුවෙන් 2013 වසරේදී සටහනක් තබන රොබර්ටා ස්මිත් පවසන්නේ, ‘බිල් ටේලර්ගේ හැකියාව හදිසියේම මෙන් ඉස්මතු වූයේ ඔහුට වසර 85 ක් ගතවී තිබූ, ජීවත්වන්නට තවත් වසර 10 ක් ඉතිරිව තිබූ 1939 වසරේදීය.‘ බිල් මෙලොව එළිය දකින්නේ වහල්මෙහෙය උදෙසාය. ඒ 1854 දී ය. කිසිලෙසකින්වත් නිසි අධ්‍යාපනයක් හිමිකරගන්නට වරම් නොලැබෙන බිල් සතුව නිතැතින්ම සහජ කුසලතා පැවතුණි. සිවිල් යුද්ධයේ අගභාගයේදී වහල් සේවයෙන් නිදහස ලැබූවද ඔහුට අස්වනු නෙලන ගොවියෙකු ලෙස අඛණ්ඩ සේවයේ නිරතවන්නට සිදුවුණි. ඔහු සිය මුල් ගම්බිම් අත්හැර ගියේ ජීවිතයේ අගභාගය ගෙවී ගිය 1935 වසරේදීය. ‘මගේ නෑදෑයෝ ජීවිතයෙන් සමුගත්තා, දරුවන් තැන තැන විසිරී ගියා‘ යනුවෙන් ඒ සමය සිහිපත් කරන බිල් පවසයි. සන්ධි ඉදිමීමේ රෝගයෙන් පීඩා විඳි බිල් ජීවත්වන්නට නිවහනක් නොමැතිව අවමංගල උත්සව පවත්වන ශාලාවක පිටුපස කාමරයක වැතිරී ගෙන මරණය එනතුරු බලා සිටින අතරතුරදී කලා නිර්මාණ වලට යොමුවූවේය. සිය අවට පරිසරයෙන් සොයාගන්නට හැකිවූ දේවල් වලින් කුඩා ප්‍රමාණයේ චිත්‍ර අඳින්නට පටන්ගත්තේය. බිල් කළ මේ නිර්මාණ එවක තරුණ නිර්මාණකරුවෙකු වූ චාල්ස් ෂැනොන්ගේ නෙත ගැටෙන්නේ අහම්බෙන් මෙනි. ඒ 1939 වසරේදීය. චිත්‍ර අඳින්නට අවශ්‍ය කලමනා ලබාදෙමින් බිල් ව තව තවත් උනන්දු කළ චාල්ස් ඔහුගේ නිර්මාණ වලට අවශ්‍ය මෙවලම් මෙන්ම චිත්ත ධෛර්යය ද නොඅඩුව ලබාදුන්නේය. බිල් සිය හැකියාවන් අතිවිශිෂ්ට ලෙස විදහා දැක්වූවේය. ඔහුගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ වී තිබෙන පුද්ගල රූප, ස්ථාන මෙන්ම වෙනත් සංකේත හා අත්දැකීම් මේ නිර්මාණ තුළින් විදහා දැක්වුණි. කිසිදු ගුරුවරයෙකු යටතේ පුරුදු පුහුණු නොවූ හැකියාව නවෝත්පාදන අපූරු සෞන්දර්යත්වයක් කැටිකරගනිමින් එළිදුටුවේය. ඕනෑම විෂයක් සම්බන්ධව නිසි අධ්‍යයනයක නියැලීම ඒ කටයුත්ත පහසු කරලනු ඇත. නමුත්, මේ සඳහන ස්වයං අධ්‍යයනයේ නියැලී පසුකලෙක අතිවිශිෂ්ඨයන් බවට පත්වුණු කලාකරුවන් ගැනයි. මේ ඔවුන් ගැන වූ ලිපි පෙළේ අවසන් කොටසයි. ග්‍රෑන්ඩ්මා මෝසස්
ඇනා මේරි රොබර්ට්සන් නැතිනම් ‘ග්‍රෑන්ඩ්මා‘ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නේ වයස අවුරුදු 78 දී ය. කිසිදිනක සම්මත අධ්‍යාපනයක් නොලද ඇය ගැන ඇගේ මරණයෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1961 දී පළකල මරණ දැන්වීමේ දක්වන්නේ ‘ස්වයං ඉගෙනුම ලද ආදිතමයෙකු‘ ලෙස ය. ඇගේ කුඩා අවදියේදී ‘lambscapes’ නමින් ඇගේම චිත්‍ර ශෛලියක් වර්ධනය කළාය. මිදි හා දොඩම් යුෂ වල වර්ණක යොදාගනිමින් මේ නිර්මාණ සැකසුණි. ‘ඇය සිය තුරුණු වියේදී හා වැඩිහිටි සමයේදී American printmaking firm Currier හා Ives වල තිබුණු දර්ශන පිටපත් කළාය.‘ ක්‍රම ක්‍රමයෙන් මෝසස්ගේ කලා හැකියාවන් වැඩිදියුණු වන්නට වූවේය. ඇගේ පවුල ක්‍රමයෙන් වර්ධනය වෙත්ම නිවස පුරාවට ඇගේ අතින් ඇඳි චිත්‍ර දිස්වන්නට වූවේය. එමෙන්ම, ඇගේ මිණිබිරියන් වෙනුවෙන් බෝනික්කන් පවා නිර්මාණය කරදුණි. මහළු වීමත් සමග ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි ඇය කිසිවිටක සිය අතරැඳි පින්සල අත්නොහැරියාය. තමන් පසුකර පැමිණි යුගයේදී අත්දුටු වර්ණයෙන් පිරි, යථාර්තවාදී අත්දැකීම් 1500 කටත් අධික නිර්මාණ ඔස්සේ කරළියට පැමිණුනි. 1939 වසරේදී ඇය ඇඳි සිතුවම් Museum of Modern Art හි “Contemporary Unknown American Painters” ප්‍රදර්ශනය කෙරුණි. මින් වසරකට පසු ඇය සිය ඒකපුද්ගල ප්‍රසංගය දියත් කළාය. ඇය මියගිය 1961 වසර වනවිට ඇමරිකානු ගැමි කලාව ස්වයං අධ්‍යනය කළ වයස්ගත ආච්චි බවට පත්වූවාය. කලා හා සැලසුම් නිර්මාණ කොලිජීයේ ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට පවා ග්‍රෑන්ඩ්මා සමත් වූවාය. හෙන්රි ඩර්ගර් චිකාගෝ රෝහලේ භාරකරු ලෙස 1930 දී සිට 1973 දක්වා කාලසීමාවේදී සේවය කළ හෙන්රි ඩර්ගර් සිය විවේක කාලයෙන් වැඩි කොටසක් ගතකළේ වාසස්ථානයේ ය. උද්යෝගිමත්ව හා කාර්යශූර ලෙස ලේඛනයේ හා චිත්‍ර ඇඳීම ඔහුගේ එකම අභිලාෂය බවට පත්ව තිබුණි. පිටු 15 සිට 145 දක්වා වූ ප්‍රමාණයක් තුළ රූප සටහන් සීයකට අධික ප්‍රමාණයක් ඔහුගේ අතින් නිර්මාණය විය. ක්‍රිස්තියානි දහමේ එන දුෂ්ඨ අධිරාජයා විසින් දියත් කළ වහල් ක්‍රමය වෙනස් කිරීමට දායක වූ ළදරු වියේ පසුවූ Vivian Girls නම් රැජිණියන්ගේ කතාව In the Realms of the Unreal නම් චිත්‍රයෙන් නිරූපණය කර ඇත. දිය සායම් හා කොලාජ් යොදාගනිමින් ඔහු සිය චිත්‍ර පාට කළේය. කාන්තා වීරවරියන්ගේ වීර ක්‍රියාවන් නිරූපණය කරන චිත්‍ර නිර්මාණය කෙරුණු අතර මේ ක්‍රියාවන් තුළ ඔවුන් අත්විඳින දුක, වේදනාව ද ගැබ්වී තිබුණි. මෙවැනි අසිරිමත් නිර්මාණ තුළින් Vivian Girls කතෝලික සාහිත්‍යයේ එන බිහිසුණු කතාවන් නිරූපණය වුවද ඒවා හාසයෝත්පාදක පොත් වල සිටින චරිත හෝ දැන්වීම් වල දකින තරුණියන් මෙන් දිස්විය. කලා පාසල් තුළින් කිසිලෙසකින්වත් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හෙන්රිට නොලැබුණි. ජනප්‍රිය සංස්කෘතියේ දක්නට ලැබෙන ද්‍රෘෂ්‍ය මෙවලම් හා තේමා හරහා ඔහුගේ කලා හැකියාවන් දියුණු කරගැනීමට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 8 දී සිට කතෝලික අනාථ නිවාසයක හැදී වැඩුණු හෙන්රි අවුරුදු 13 දී මානසිකව දුබල දරුවෙකු බව හඳුනාගැනුණු අතර ඉන් පසු ඔහු Illinois Asylum වෙත යැවුණි. කලාකරුවෙකු ලෙස මෙන්ම දරුවන් ආරක්ෂා කිරීමට කැපවුණු තැනැත්තෙකු ලෙස ද හඳුනාගත හැක. වයස අවුරුදු 81 දී දිවියෙන් සමුගත් ඔහුගේ සොහොන් කොත මත ‘කලාකරුවෙකු හා දරුවන්ගේ ආරක්ෂකයා‘ යන නාමයන් දෙකම සනිටුහන් කර තිබුණි. යොකෝ ඔනෝ
යොකෝගේ පියා සංගීතඥයෙකු වූ අතර ඔහුගේ අභිලාෂය වූවේ දිනෙක ඇය පියානෝ වාදන ශිල්පිනියක වනු ඇති බවයි. කිසිදිනෙක ද්‍රෘෂ්‍ය කලාව විධිමත් ලෙස හදාරා නොතිබූ යොකෝ ප්‍රථම උපාධියෙන් පසු තෝකියෝවේ පිහිටි ගකුෂින් හි දර්ශනය හැදෑරීමට අයදුම් කළාය. මෙහි වසර දෙකක අධ්‍යාපනය හැදෑරූ ඇය සිය පවුලේ උදවිය සිටි නිව්යෝර්ක් වෙත ගියාය. ඇය තුළ සහජයෙන්ම තිබූ සංගීත සංරචන හැකියාව ද උරගා බලමින් 1950 දී සාරා ලෝරන්ස් කොලීජියට ඇය ඇතුල් වූවාය. කවියන්, ද්‍රෘෂ්‍ය කලාකරුවන්, සංගීතඥයින්, නර්තන රචකයින් ආදී පිරිස් නිරන්තරයෙන් මෙහි ගැවසුණු අතර බහු මාධ්‍ය සම්බන්ධ නව අත්හදාබැලීම් ද සිදුකෙරුණි. New School for Social Research හි පර්යේෂණාත්මක සංගීත සංයෝජනය පිළිබඳ පාඨමාලාවකට දායක වූවාය. ඇගේ සංගීත පසුබිම පෙරටුගාමී පරපුරට ඇතුළත් වීමට දැඩි රුකුලක් විය. විධිමත් කලා අධ්‍යාපනයක් නොතිබීම නව අත්හදාබැලීම් වලට ඇයව යොමුකළ සුවිශේෂී කරුණක් විය හැක. ඔනෝගේ ද්‍රෘෂ්‍ය කලා හා ප්‍රාසාංගික කලා ගෙනහැර බැලූවිට ඒ තුළ න්‍යායාත්මක කරුණු ගැබ්ව ඇතිබව හඳුනාගත හැකිය. එමෙන්ම, ඇය 1969 දී විවාහ දිවියට ඇතුළත්වුණේ සුප්‍රකට සංගීතඥයෙකු වූ ජෝන් ලෙනන් සමගය. මේ විවාහ දිවියද ඇගේ නිර්මාණ දිවියට සුවිශේෂී රුකුලක් විය. විධිමත් කලා අධ්‍යාපනයක් ලැබීමට උත්සහ නොකළාක් මෙන් ඔනෝ කිසිවිටෙක ඔහුගේ සහයක් බලාපොරොත්තු නොවී ස්වයං හැදෑරීමක් කළ කලා ශිල්පිනියක ලෙස ප්‍රකට වූවාය. තෝර්න්ටන් ඩයල් ඇලබාමාවේ ජීවත් වූ කළු ජාතික ගොවි පවුලකට දාව ව ඩයල් ඉපදුණේ 1928 දී ය. වයස අවුරුදු 13 වන තෙක් පාසලකට ඇතුල් වීමේ අවස්ථාව ඔහුට හිමිනොවුණි. දෙවන වසරට ඇතුළත් වූ පසුවද අනෙක් ළමුන්ට වඩා වැඩිමහල් තැනැත්තෙකු මෙන්ම කම්කරුවකු ලෙස සේවයේ නිරතවීම නිසා පාසල් ජීවිතය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඔහුට නොතිබුණි. ඩයල් පාසලෙන් පැනගොස් කුලී රැකියාවන්හි නිරත වෙමින් මුදල් උපයන්නට වූවේය. වැඩිහිටියෙකු වූ පසුවද දුම්රිය මැදිරි නිපද වූ කම්හලක සේවයේ නිරත වූවේය. ඔහු මෙම කම්හල 1981 දී වසා දමන තෙක්ම එහි රැඳුණු අතර මින් ලබාගත් අත්දැකීම් ඔස්සේ කලා නිර්මාණ වලට යොමුවූවේය. විවිධ මෙවලම් හා තාක්ෂණික උපයෝගී කරගනිමින් නිර්මාණකරණයේ නිරත වීමට මෙහිදී අනුබලයක් ලැබුණි. මෙහිදී ඔහු නිමකළ අර්ධ රූපික, අර්ධ අමූර්ත දෑ පසුකාලීනව අතිවිශාල එකලස් නිර්මාණ බවට පත්විය. ‘මගේ කලා නිර්මාණ කියන්නේ මා අත්විඳින නිදහසේ සාක්ෂියයි‘ 1990 මැදභාගයේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩයල් පැවසුවේය. ‘මං මොනවිදියේ කලා නිර්මාණයක් ආරම්භ කළත් ඊට වුවමනා කරන ඕනම දෙයක් සම්බන්ධ කරන්නට හැකියි. මගේ හිතේ තියෙන අදහසට ගැළපෙන ඕනම දේකින් නිර්මාණයක් පටන් අරන් ඊට ගැළපෙන ඕනම දෙයක් කොහෙන් හරි හොයාගන්නවා.‘‘ ඇමරිකානු සමාජය තුළ දක්නට ලැබුණු වියවුල් පිළිබඳ මනා අවබෝධයක් තිබුණු ඩයල් සංජනනාත්මක විශේෂඥයකු වූවේය. ජාතිවාදය, ලිංගිකත්වය නිසා සිදුවන වෙනස් කොට සැලකීම්, දුප්පත්කම නිසා මිනිසුන්ට අවම පහසුකම් යටතේ ජීවත්වීමට සිදුවීම, දේශපාලන සංසිද්ධි, ඵෙතිහාසික ස්ථාන, ක්‍රිස්තියානි දේශනා ආදිය ඔහුගේ නිර්මාණ වලට හසු වූ තේමාවන් විය. ඔහු සතුවූ සුවිශේෂී කෞශල්‍යය හා විනිවිද දැකීමේ භාවාත්මක ශක්තිය ආදිය ඔහුටම අනන්‍යය. එදිනෙදා ජීවිතයේදී ඇස ගැටෙන විවිධ වස්තු වලින් අසාමාන්‍ය නිර්මාණ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඩයල් සතුවිය. Artsy ඇසුරිනි

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට

September 11, 2018 0 Comments
මියන්මාරයේ රෝහින්යාවරුන්ට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන වා ලෝන් හා කියෙව් සෝ හට එරට අධිකරණය ඊයේ (3) දිනයේදී වසර හතක සිරදඬුවම් නියම කළේය. මියන්මාරයේ රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී එරට රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ බවට මෙහිදී ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණි. මියන්මාරයේ රාජ්‍ය රහස් පනත යටත් විජිත සමයේදී සිට (1923) පැවත එන අතර මෙමගින් උපරිම වශයෙන් වසර 14 ක සිරදඬුවම් නියම කළ හැකිය. මාධ්‍යවේදීන් දෙදෙනා වෙනුවෙන් රොයිටර් පුවත් සේවය පෙනී සිටි අතර අදාළ සමූල ඝාතනයේ ඡායාරූප සාක්ෂි පවතින බව ද ඔවුන් පෙන්වා දී තිබුණි.
රොයිටර් පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ වන ස්ටීවන් ඇඩ්ලර් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ, මේ පුවත පසුගිය පෙබරවාරියේදී ප්‍රකාශයට පත්වීමට ප්‍රථමයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ‘‘ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය ඉටු කළා පමණයි. නිර්ව්‍යාජත්වයෙන් හා පක්ෂපාතී නොවී මොවුන් කටයුතු කරනවා‘‘ යන්නයි. රෝහින්යා අර්බුදය තුළ දැකගැනීමට හැකි සුවිශේෂී ගැටළුවක් වී තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන අදහස් පළකරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ‘වාර්ගික පිරිසිදු බව‘ ඇතිකිරීමට රෝහින්යාවරුන්ට එරෙහිව මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කෙරෙන බවයි. මියන්මාරයේ සිටින 700,000 කටත් අධික සුළුතර ජනකොටසක් වන රෝහින්යාවරු බංග්ලාදේශයට පලවා හැරීමට මිලිටරි සහයෙන් මෙහෙයුම් දියත් වෙමින් තිබේ.
අවුං සාං සුකී ප්‍රමුඛ මියන්මාරය රජය සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිය යුතු බව පවසමින් ලොව පුරා සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන් හඬ නගයි. කෙසේවුවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලි බැච්ලට් මහත්මිය පවසන්නේ, ‘‘මේ වනවිට රඳවා තබාගෙන හා රැඳවුම් භාරයේ සිටින මාධ්‍යවේදීන් මුදා හැර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළයුතුයි‘‘ යන්නයි. CNN, Reuters හා New York Times ඇසුරිනි

‘ලේඛන හැකියාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ – හරුකි මුරකාමි

September 11, 2018 0 Comments
මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මිනිස්සු වැරදි වලින් මුදවන්නට බැහැ ‘‘මං මරණ දඬුවමට විරුද්ධයි. මනුස්සයෙක්ව මරාදැමීම කියන්නේ කිසිදා සමාව දිය නොහැකි බරපතල අපරාධයක්. එක් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුව මරාදැමීම නැත්නම් එක් පද්ධතියක් හෝ ආයතනයක් විසින් පුද්ගලයෙකුව මරාදැමීම සම්බන්ධයෙන් මූලික වශයෙන් වෙනසක් පැවතිය යුතුයි. වරදට සමාව දීමට හැකි එකම මඟ මරණය බව ලෝකයේ විශ්වාසය වී තිබුණත් ඒ ගැන පවතින සම්මුතිය නැතිවෙමින් යනවා. පවත්නා නීති පද්ධතිය ඇතුළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මිනිසුන් වැරදි ක්‍රියා වල නිරතවීම නවත්වන්නට හැකි බව දිනෙන් දින වැඩිවන අපරාධ දුටු විට කිසිසේත්ම විශ්වාස කරන්නට බැහැ. මේ වගේ කාරණා සලකා බලද්දි ඇත්තටම මරණ දඬුවම පැනවීම මාරාන්තික අන්තරායක්.‘‘ න්රික්යෝ ආගමික කල්ලියේ ඝාතනයන් ගැන සටහන් තැබූ හරුකි හරුකි මුරකාමි නම් සුප්‍රකට ජපන් ලේඛකයා පසුගිය ජූලි 29 වැනිදා ඉරිදා The Mainichi පුවත්පතට ලිපියක් යොමුකරමින් මරණ දඬුවම ගැන සටහන් තබන්නේ එලෙසයි. මේ සටහනේ නිමිත්ත වෙන්නේ 1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin) මුදාහැර පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු එල්ලා මරාදැමීමයි. පහුගිය ජූලි මසදී මේ පිරිස එල්ලා මරාදැමීමෙන් අනතුරුව ඒ පිළිබඳව හරුකි මුරකාමි විසින් සටහන් තබන්නට හේතු වුණු කරුණක් තිබුණා. ඒ ඔහු රචනා කළ Underground –The Tokyo Gas Attack and the Japanese Psyche (1997) කෘතියට පාදක වී තිබෙන්නේ මේ විෂ දුමින් මියගිය පවුල් වල පිරිස් මෙන්ම ඒ අපරාධයට හවුල් වූ පිරිසගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡාවන් වීමයි. Underground – තෝකියේවේ විෂ වායු සිද්ධියට ගොදුරු වුණු පුද්ගලයින්ගේ ඥාතීන් හා එහි වැරදිකරුවන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියැවුණු කෘතියක් මේ ගැන පවසන හරුකි වැඩිදුරටත් පවසන්නේ, ‘‘තෝකියෝවේදී විෂ වායු මුදාහැර පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව මින් ජීවිත අහිමිවූවන්ගේ ඥාතීන් Underground කෘතිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ තැනැත්තෙකු ලෙස ඔවුන් එකල අත්විඳි දුක, වේදනාව මෙන්ම කෝපය ද මා දැක තිබෙනවා. මවිසින් රචනා කෙරුණු කෘතියක් මා නැවත කියවන්නේ බොහොම කලාතුරකිනුයි. නමුත්, Underground කෘතියේ සමහර තැන් කියවන විට අදටත් මගේ නෙතගින් කඳුළු කඩාවැටෙනවා. එකල මේ කෘතිය වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවන් වා තලයට මුසුවී, ඒ හැඟීම්, හඬවල් වා තලයේ සැරිසරා මවෙත විත් විටෙක මගේ හුස්ම සිරකර දමනවා. මා භාවාතිශය තැනැත්තෙකු බව ඔබ කියාවි. නමුත්, පොත් ලියන මනුස්සයෙකු විදියට ඒ වගේ ස්වභාවික හැඟීම් මැඩපැවැත්වීමේ වුවමනාවක් මට නැහැ, ඒ හැඟීම් එලෙසින්ම පාඨකයින්ට පවසන්නට මට හැකියාවක් තිබෙනවා නම් එය නොපැකිලිව සිදුකරන්න මා කැමැතියි. ඇත්තටම, Underground කෘතිය රචනා කරන සමයේදී ඇතුළතින් වෙනස් වූ බවක් මට හැඟුණා.‘‘ යන්නයි.
හරුකිගේ සීයා බෞද්ධ හිමිනමක වූ අතර ඔහුගේ පියා ජපන් සාහිත්‍යය ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. කුඩාවියේදී සිටම ජපන් සාහිත්‍යය, කලාව හා සංගීතය ප්‍රතික්ෂේප කරමින් එතෙක් කලක් ජෑස් පටි, හොලිවුඩ් සිනමාපට තුළින් පමණක් හඳුනාගෙන සිටි ජපානයට එපිටින් සිටි ලෝකය දැන හඳුනාගැනීමට ඔහු තුළ දැඩි බලපෑමක් ඇතිකළේ නිරන්තරයෙන් ඇමරිකානු නාවිකයින් පැමිණි කෝබිහි ගෙවීගිය ජීවිතයයි. තෝකියෝවේ සිසුවෙකු ලෙස ගතකළ අවදියේදී ද පශ්චාත් නූතන ප්‍රබන්ධ කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හරුකි සිය දිවියේ 23 හැවිරිදි කඩඉමේදී විවාහ දිවියට ඇතුළත් වූ අතර තෝකියෝවේ Peter Cat නම් ජෑස් සමාජ ශාලාවක් පවත්වාගෙන ගියා. මේ අතරතුරදී තමන්ට ලේඛකයෙකු විය හැකියැයි සිහියට නැගෙන්නේ බේස්බෝල් තරගයක් නරඹමින් සිටින අවස්ථාවේදීයි.
ලේඛනය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ – හරුකි මුරකාමි ‘‘මා බුද්ධිමතෙකු නොවේ. ආඩම්බරයෙන් දිවිගෙවන තැනැත්තෙකු ද නොවේ. මා, මගේ කෘතීන් කියවන පාඨකයන් මෙන්ම වුණු තැනැත්තෙකි. මට ජෑස් ක්ලබ් එකක් තිබුණා. එහි කොක්ටේල්, සැන්ඩ්විච් ආදිය පිළියෙල කළේ මමයි. කිසිසේත්ම ලේඛකයෙකු වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. ඒක සිද්ධ වුණේ ඉබේටමයි. ලේඛනය දෙවියන්ගෙන් මා ලැබූ තෑග්ගක් වෙන්න ඇති. ඒ නිසාම මං බොහොම නිරහංකාර විය යුතු බව මගේ විශ්වාසයයි‘‘ Hear the Wind Sing නවකතාව හරහා 1979 දී ලේඛනයට පිවිසෙන මේ ලේඛකයා සිය කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළද එය ජපානයේ අලෙවි නොකළ යුතු යැයි ඉල්ලීමක් කරනවා. මේ නවකතාව උදෙසා ඔහුට Gunzo සාහිත්‍යය සම්මානය ද හිමිකරගන්නා හරුකි ඔහු විසින් රචිත සෑම කෘතියකින්ම ජනප්‍රියත්වය හා පිළිගැනීම හිමිකරගන්නට සමත් වෙනවා. 1987 දී ඔහු විසින් රචිත Norwegian Wood කෘතිය හරුකි සුවිශේෂී සාහිත්‍යධරයකු බවට පත්කරන්නට සමත් වෙනවා. ’80 පරපුරේ හඬ, ජපානයේ ජේ.ඩී. ස්ලින්ගර්‘ යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුව හැඳින්වෙන අතර ජපානයේ පමණක් මේ කෘතියේ පිටපත් මිලියන දෙකක් අලෙවි කෙරෙනවා. පසුකලෙක මෙය සිනමාපටයකටත් නැගෙනවා. ද පැරිස් රිවීව් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන හරුකි ඒ ගැන පවසන්නේ, ‘‘මං අධියථාර්තවාදී නවකතා නොලීවා නම් ධර්මය ගැන ලියන ලේඛකයෙකු වේවි. නමුත්, මට ප්‍රධාන ධාරාව බිඳදැමීමට වුවමනා වුණු නිසා යථාර්තවාදී පොත් රචනා කිරීමට හැකි බව පෙන්වන්න සිද්ධ වුණා. මගේ අතින් Norwegian Wood කෘතිය රචනා වුණේ ඒ නිසයි. අපේක්ෂා නොකළ අන්දමේ ප්‍රතිචාර මේ කෘතියට හිමිවුණා පමණක් නොව ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතියක් බවටත් එය පත්වුණා.‘‘ යන්නයි. A Wild Sheep Chase (1982), The Wind-Up Bird Chronicle (1994–95), Kafka on the Shore (2002), 1Q84 (2009) ඔහු විසින් රචිත විශිෂ්ට කෘතීන් කීපයක් වන අතර හරුකිගේ පොත් ලොව පුරා භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙනවා. Killing Commendatore නමින් 2017 වසරේදී ඔහු ලියූ නවකතාව අශෝභන යැයි පවසා පසුගියදා හොංකොං හි විරෝධතා පැවැත්වුණා. අතිවිශිෂ්ට කෘති රචනා කළ මේ ලේඛකයා විකල්ප නොබෙල් සම්මානය අබියස හිඳිමින් පවසන්නේ මෙවැනි කතාවකි. ‘‘ඔබ කියවන්නේ හැමෝම කියවන පොත් නම්, ඔබට සිතිය හැක්කේද හැමෝම හිතන දේවල් පමණි.‘‘

කාන්තාවක් නිරුවත් වුණොත් වැඩි වැඩියෙන් මුදල් ගලා ඒවි – නවාල් අල් සඩාවි

September 11, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ තෙවැනි කොටසයි. ඊජිප්තු කාන්තාවන් ඇත්තටම නිදහස්ද ? මේ නවීන ලෝකයේ දිවිගෙවන කාන්තාවන් දිහා බැලුවම, විශේෂයෙන්ම ඊජිප්තු කාන්තාවන් ගත්විට ඔවුන් තවදුරටත් නිදහස් ජීවිතයක් ගතකරන බව ඔබ විශ්වාස කරනවාද ? ඔව්, අනිවාර්යයෙන්ම. පුද්ගලයින් කණ්ඩායම් තුනකට වර්ග කළොත් නිදහස් ජීවිත ගතකරන කාන්තාවන් වගේම පිරිමින් ද ඉන්නවා. දෙවැනි කණ්ඩායම නිදහසේ ජීවිත ගෙවාදැමීම හා නැවත ආපස්සට යාම අතර ඉන්න පිරිසයි. ඒවගේම නිදහස් නැති ජීවිත ගතකරන තෙවැනි කණ්ඩායමක්ද ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් ඊජිප්තුවේ ජීවත්වන සමහර කාන්තාවන් ලිංගික භාණ්ඩයක් විදියට සලකන පිරිසක් ඉන්නවා. මේක දැවැන්ත ප්‍රතික්‍රමණයක්. සමාජය තුළ මෙලෙස ජීවත්වන බොහෝ දෙනකු හඳුනගන්නට හැකියි. ඊජිප්තුවේ පමණක් නෙවෙයි මෙවැනි තැනැත්තන් ලෝකයේ හැමතැනම ජීවත්වෙනවා නේද ? ඔව්, ඔව්. මේ පුද්ගලයින් දේශීය හා ගෝලීය වශයෙන් වෙන්වීමක් නොකළේ ඒකයි. දේශීය කියන වචනේ ගැන අපි කතාකරමු. නමුත්, බොහෝ දෙනෙකු ඔබත් එක්ක තර්ක කරන්නේ ඔවුන්, ඔවුන්ව ලිංගික භාණ්ඩ විදියට දකින බව පවසමිනුයි. ඔවුන් කියන්නේ ‘නැහැ, මෙමගින් අප සවිබල ගැන්වෙනවා කියලයි‘. ඔවුන් තර්ක කරන්නේ එලෙසයි ? ඔව්, මං එවැනි අය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔළුව වහගෙන ඉන්න මේ ආවරණය නිසා ඔවුන් රෝගී වුණාම මගේ සායන වලට එනවා. මං හොයාගත්ත විදියට නම් ඔවුන් ඔළුව වහගෙන ඉන්න අකමැතියි. මේක බොහොම කුහක වැඩක්. ඒවගේම ඔවුන්ගේ මොළේට විස පොවලා තියෙන්නේ, මේ විතරක් නෙමෙයි පීඩාවටත් පත්කරලා තියෙනවා. මේක මානසික ප්‍රශ්නයක්. ‘මගේ සැමියාට බිරින්ඳෑවරු හතර දෙනෙක් විවාහ කරගන්න පුළුවන් කියන කාරණේට මං එකඟයි‘ කියලත් සමහරදෙනෙකුගේ හිත් වලට දනවලා තියෙනවා. බහු විවාහ කරගත්තොත් අපායේ යාවි – ආගමේ නාමයෙන් නැගෙන අනියත බිය තවත් කාන්තාවක් ඔබට මේ වගේ ප්‍රකාශයක් කළාම එය දැනෙන්නේ කොහොමද ? තමන්ගේ සැමියට කාන්තාවන් හතර දෙනෙකුව විවාහ කරගන්න පුළුවන් කියලා ඇය එකඟ වෙනවා කියන කාරණේට එකඟ නම් මං ඇගෙන් පෙරළා විමසන්නේ, ‘ඔයා ස්වාමියන් හතරදෙනෙකුව විවාහ කරගන්නවට සැමියා කැමතිද කියලා ?‘, ‘අපෝ නැහැ, කොහොමටවත් නැහැ‘ කියලා ඇය උත්තර දෙනවා. ඇගෙන් ‘ඔයාගේ සැමියට කාන්තාවන් හතරදෙනෙකුව විවාහ කරගන්නත්, ඔබට එවැනි විවාහයක් නොකරගන්නත් අයිතියක් නැතිවෙන්නේ කොහොමද ?‘ කියලා ඇහුවම, නිරුත්තර වෙනවා. දෙවියන්ට තියෙන බිය නිසා, අපායේ ගින්දරට බිය නිසා ඔවුන් ඒ ගැන හිතන්නේ නැහැ. ‘නැහැ, මං එහෙම කලොත් අපායේ ගිනිදැල් වලට අහුවේවි‘, ‘මං අපායට යාවි‘ යැයි කියනවා. මේ අදහස එන්නේ ළමාවියේදී ඉඳන්මයි. සිත හා කය නිදහස් කරගත්ත මගේ දුව වගේ නිදහසේ ජීවත්වන තවත් පිරිසක් ඉන්නවා. නමුත්, ඔවුන් ඇමරිකානුකරණය වෙලා නැහැ. ඇමරිකානුකරණය හා ඉස්ලාම්කරණය අතර ඉන්න තවත් පිරිසක් ඉන්නවා. මේ පිරිස ඔවුන්ගේ හිස වසාගෙන හිටියත් බඩ වසාගෙන ඉන්නේ නැහැ. මේක ඇමරිකානුකරණය. ඉස්ලාම්කරණය කියන්නේ අපේ ආගමයි. ඉතිං, කාන්තාවන් මේ විදියට දිවිගෙවනවා.
මෙවැන්නක් සිද්ධවෙන්නේ ඇයි ? බටහිර රටවලත් මෙවැනි කාන්තාවන් ජීවත්වෙන බව ඔබ හිතනවාද ? නිදහසේ ජීවත්වීම කියන කාරණය ඇතුළේ ඔවුන් ඉන්නේ කොතැනකද ? අපි එක ලෝකයක ජීවත්වෙන බව මුලින්ම කිවයුතුයි. මේ ලෝකය වෙළඳපලකරණය, ප්‍රාග්ධනවාදයෙන් නිර්මාණය වූ තැනක්. කාන්තාවන් ඒ ලෝකය ඇතුළේ භාණ්ඩයක් බවට පත්වෙනවා. මේ ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද භාණ්ඩ බවට පත්වී ඉන්නවා. කාන්තාවන් වසානොගත් තැන් මේ ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ වසාගත යුතුයි. මොකද නිරුවත් වීම හරහා ලොකු මුදලක් ගලා ආ හැකියි. මේ සමාජය, ආණ්ඩුව, මාධ්‍ය නිරුවත්කරණයට වගේම සිරුර සඟවා තබාගන්නටත් වෙළඳපලක් නිර්මාණය කරදෙනවා. නිරුවත් වීම හා සිරුර සගවාගැනීම එකම කාසියේ දෙපැත්තයි. මේ දෙකේම තියෙන්නේ එකම පණිවිඩයක්. කාන්තාවක් වසාගත්තම ඇය නිකං වසාගත් සිරුරක් බවට පමණක් පත්වෙනවා. මොකද මෙහිදී ඇය සගවාගන්නේ ඇගේ මනස නොව සිරුරයි. ඇය නිරුවත් වුණාම එහි අර්ථය වෙන්නේ ඇය සිරුරක් බවට පත්වූ බවයි. මොකද මනසක් වසාගන්න හෝ නිරුවත් කරන්න අප කටයුතු කරන්නේ නැහැ. කාන්තාව හුදෙක් සිරුරක් පමණක් බවට වුණු මේ සංකල්පනාව, පිරිමින්ට ඇයව භාණ්ඩයක් බවට පමණක් බවට වූ අදහස දනවනවා. ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ මෙමගින් ලාභ ගලා ඒවි. කාන්තාවක් නිරුවත් කළොත් වැඩි වැඩියෙන් ලාභ උපයාගන්නට හැකිවේවි. ඊට පස්සේ මේක්අප්, හැමතැනම මේක්අප් ගල්වනවා. පශ්චාත් නව්‍ය සමාජයේ ජීවත්වෙන කාන්තාව වෙළඳපලට වැඩි වැඩියෙන් ලාභ උපයා දෙනවා. ආගම, නූතනත්වය හෝ පශ්චාත් නූතනවාදය මගින් වෙළඳපලේදී කාන්තාව පාවිච්චි වෙන්නේ මේ විදියටයි මේ කාන්තාවන් හා අනෙක් කාන්තාවන් අතර තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද ? ඔව්, ඔබ මෙහිදී අදහස් කළේ මවක් තමන්ගේ දියණියට අයුතු අන්දමේ බර පටවන බවද ?. ඔව්, අනිවාර්යයෙන්ම. ඒවගේම අනෙක් කාන්තාවන්ට ? ඔව්, ඔව්. මේක වහල් මනෝභාවයක්. සාමාන්‍යයෙන් වහල්ලු තමන්ගේ ස්වාමියාව සතුටු කරන්න එකිනෙකාට වෛර කරනවා, එකිනෙකා සමග සටන් කරනවා. ඉතිං, කාන්තාවන්ටත් ඔවුන්ගේ ස්වාමියා වන පිරිමියාව සතුටු කරන්න ඕන. ගැහැණු ළමුන් මත ඔවුන් අයුතු බරක් පවරන්නේ ඒ නිසයි. ඔබේ ජීවිතය ඇතුළේදී භින්නමතික දේවල් ගොඩනගන්න බොහෝ වෙර දරා තිබෙනවා. කාන්තාවන් හා සංගම් පිහිටුවා, ඔබ වෛද්‍යවරියක ලෙස දුප්පත් කාන්තාවන්ට උදව් කරන්න උත්සහ කර තිබෙනවා. ඒවගේම ලේඛිකාවක් බවටත් පත්වෙනවා. ඔබේ හැඟීම් ලේඛනයන් තුළින් හෙළිදරව් කළ යුතු බව දැනුණේ ඇයි. භින්නමිතිකභාවය හා ලේඛනය අතර තියෙන සම්බන්ධය මොකක්ද ? මං ලියන්න පටන් ගත්තේ අක්ෂර මාලාව දැනගත්ත කාලේදී ඉඳන්මයි. මගේ අම්මා තමයි අක්ෂර මාලාව කියාදුන්නේ, එය ලියන්න දැනගත් විනාඩියේ ඉඳන්ම මං ලියන්න ගත්තා. මොකක්දෝ දෙයක් රහසේම පවසන්න මට වුවමනා වුණා. මගේ අම්මා, තාත්තා වගේම පාසලේ ගුරුවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මොකක්දෝ දෙයක් කියන්න වුවමනා වූ නිසා ලියන්න ගත්තත් මගේ සිහින රජදහන ඇතුළේ වැඩිහිටියෙක් බවට පත්වෙන්න ඕන වුණා. නර්තන ශිල්පිනියක් වීම මගේ හීනය වී තිබුණා. අනික් හැම ළමයෙක්ම වගේ නටන්න, පියානෝව වාදනය කරන්න කැමති වුණා. නමුත්, මට පියානෝවක් අරන් දෙන්න තරම් වත්කමක් තාත්තාට තිබුණේ නැහැ. ඉතිං, මට ඉතුරු වුණේ ලියන්න පුළුවන් කොළ කෑලි ටිකක් හා පෑනක් විතරයි. සංගීතය තරමටම ලේඛනය මාව ප්‍රමෝදයට පත් කළා. ලේඛනය හිතට තදින් වැදුණා. මේ සිස්ටම් එක අවුල් මං යන හැමතැනකදීම මේ සිස්ටම් එක සම්බන්ධයෙන් මට පැහැදීමක් නොතිබුණු නිසා මට තරහ ගියා. මගේ සොහොයුරිය එක්ක රණ්ඩු කළා. සමාජය ඉදිරියේ ඇය මාව හාස්‍යයට ලක්කළ නිසා කොහේ ගියත් ඇයත් එක්ක රණ්ඩු වෙනවා. ගැහැණු ළමයෙක්, කාන්තාවක් වගේම මනුස්සයෙක් විදියට මං කැරලි ගහන්න පටන් ගත්තා. භින්නමතිකවාදියෙකු වෙන්න ගත්තා. ඒක හරිම ස්වභාවිකයි. මං කිසිදෙයක් නොකළත් එය මා සොයා ආවා.
ඒත් ඔබ නවකතා රචනා කරන්නේ ඇයි ? මා ස්වයං චරිතාපදානයක් හෝ නවකතාවක් වෙන්කරන්නේ නැහැ. කරුණු හා ප්‍රබන්ධ වෙන්කරන්නේ නැහැ. මේ දෙකම එකක්. ප්‍රබන්ධ කතා අතිශය බලසම්පන්න බව ඔබ හිතනවද ? ඔබ ඒක තීරණය වෙන්නේ ලියන්නේ කොහොමද යන්න මතයි. සමහරවෙලාවට ප්‍රබන්ධ නොවන ලේඛන බොහොම බලසම්පන්නයි. මා රචනා කළ The Hiden Face of Eve හා Woman at Point Zero වැනි කෘතීන් කෘතිය බොහොම බලසම්පන්නයි. මගේ ස්වයං චරිතාපදානය මවිසින් රචිත විද්‍යාත්මක ලියවිලි තරමටම බලසම්පන්නයි. මේක තීරණය වෙන්නේ ලියන අන්දම මතයි. මේක ප්‍රකාශයට පත්කිරීමේ අරමුණින්ම පමණක් නොව අවංකව ලියනවා නම්, තවත් කෙනෙක්ට දැනගන්න ලියනවා නම්. ලේඛනය හුස්ම ගන්නවා වගේ දෙයක්. මං ලියද්දි මට දැනෙන්නේ හුස්ම ගන්නවා වගේ. මං ලිවීම අත්හැරියොත් හුස්ම හිරවුණු බවක් දැනෙනවා. (සිනාසෙමින්). තරුණ දැරිවියක් ලෙස ඔබ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් ස්ත්‍රී ලිංග අංගඡේදනය ගැන ලියා තිබෙනවා. ලේඛනය තුළින් ඔබ, ඔබ ගැනම, ඔබ විඳි අත්දැකීම් ගැන අනාවරණය කිරීම කෙතරම් වැදගත්ද ? මේක අතිශයින්ම වැදගත්. ලේඛකයින් ඔවුන්ගේ පුද්ගලික ජීවිත ගැන ලියනවා. නවකතාව හා ස්වයංචරිතාපදානය එකිනෙකින් වෙන්නොකරන්නේ ඒ නිසයි. ඔබ වෙනත් ලේඛකයින්ගේ කෘති කියෙව්වොත් මේ බව දැනහඳුනාගන්නට හැකිවේවි. නමුත්, ඔවුන් සමහර තොරතුරු වසන් කරනවා. එහෙම කළත් ඔවුන් ඔවුන්මයි. මා ස්ත්‍රී ලිංග අංගඡේදනය ගැන ලිව්වේ මාත් ඒ අත්දැකීමට මුහුණදුන්නු නිසයි. කාන්තාවෝ මේ අත්දැකීමට මුහුණදෙනවා. මා පිරිමියෙකු නොවුණත් පිරිමින්ගේ අංගඡේදනය ගැන ලිව්වේ කුඩා පිරිමි දරුවොත් මීට මුහුණදෙන නිසයි. මේ අත්දැකීම පුද්ගල ජීවිතයට බොහොම දරුණු විදියට බලපානවා, මානසිකව, සමාජයීය වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් බලපානවා. මෙවැනි අන්දමේ අත්දැකීමකට පෞද්ගලිකව මට මුහුණදෙන්නට සිද්ධවුණා යන්න ප්‍රශ්නයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ අත්දැකීමට පෞද්ගලිකව මට මුහුණදෙන්නට සිද්ධවුණා නම් මීට වඩා අරගල කරාවි. මේ පුද්ගලයින් අංගඡේදනය නොකළ යුතු බව ඔබ විශ්වාස කරනවාද ? ඔව්, 2011 දී වුණු ඊජිප්තු විප්ලවයෙන් පස්සේ මගේ පොත් අරාබියේ ඉන්න ජනතාවට හා ඊජිප්තු ජනතාවට කෙතරම් බලපෑවාද යන්න හොයාබලන්න වුවමනා වුණා. මොකද මගේ පොත් බොහොමයක් විවිධ රටවල පැතිරී ගොස් තිබුණා. ඉන්දියාවේ පවා. මගේ කෘති පරිහරණය කළ මායා කියන ඉන්දීය තරුණියක් මා ඇමරිකාවේදී කළ පාඨමාලාවකට සහභාගී වුණා මට මතකයි. නිර්මාණාත්මක බව හා විරුද්ධවාදය ගැන මා පාඨමාලාවක් කළා. ‘ඔබ ලියූ Woman at Point Zero කෘතිය මා කියෙව්වා‘ කියලා මායා කිව්වා. ‘මං මේ පාඨමාලාවට ආවෙත් ඒ නිසයි‘ කියලා ඇය කිව්වා. අනිවාර්යයෙන්ම මා ලියූ දේවල් වලින් බලපෑමක් ඇතිවුණා මිනිස්සු තවමත් තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද ? ඒක ඵෙතිහාසිකයි. දරුවන්ගේ ජනනේන්ද්‍ර පද්ධතියේ කොටසක් කපාදමන්නේ ඇයි ?, නොවන්නේ ඇයි ? දරුවන්ගේ කන් නොකපා ඔවුන්ගේ පුරුෂලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. ලිංගික අවයවයේ කොටසක් කපාදමන්නේ ඇයි ? මේක ඵෙතිහාසිකයි, ඒ වගේම පුරුෂ මූලික සමාජයට සම්බන්ධයි. පුරුෂ මූලික සමාජයේ සාරයන් වෙන්නේ මොනවද ? පුරුෂ මූලික සමාජය ගැන වචන දෙකකින් කිව්වොත්, කාන්තාවකට විවාහ කරගන්නට හැකිවෙන්නේ එක සැමියෙකු එක්ක විතරයි. පිරිමියෙකුට කාන්තාවන් කීපදෙනෙකුව විවාහ කරගන්නට හැකියි. නමුත්, එක් පිරිමියෙකු පමණක් විවාහ කරගන්නට නීතිය, බලය මගින් ඇයට බලකර සිටිනවා. හැම සංස්කෘතියක්, ආගමක් යටතේම ඇයව මීට පොළඹනවා. ඒක විවාහය අනිවාර්ය කරුණක් බවට පත්කරනවා. නමුත්, මේ ආගමික කාරණා, නීතිමය කාරණා පැමිණෙන්නට කලින් කාන්තාවන් ද පිරිමින් වගේම බහු විවාහකයි. Channel 4 News සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි

Monday, September 10, 2018

ෆ්‍රීඩා කාර්ලෝ ගැන ඔබ දැනගත යුතුම දේවල්

September 10, 2018 0 Comments
20 වන සියවසේ විශිෂ්ටතම කලා ශිල්පිනියක වූ ෆ්‍රීඩා කාර්ලෝ ගේ කලා නිර්මාණයන් තරමින්ම සුප්‍රසිද්ධ වූ ජීවන වෘත්තාන්තයක් තිබේ. ඇගේ දිවිය පදනම් කරගත් කෘතීන් මෙන්ම ඔස්කාර් සම්මාන ලැබූ සිනමා නිර්මාණ පවා ඇත. ඇය අනුගමනය කළ සුවිශේෂී විලාසිතා මෙන්ම ඇයට වඩා වසර 21 කින් වැඩිමහල් දියෝගු රිවේරා සමග ගතකළ දිවිය ගැන අදටත් කතාබහට ලක්වේ. ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණ තුළින් විදහා දැක්වෙන්නේ ඇගේම ජීවිතයයි. මේ ෆ්‍රීඩා ගැන එතරම් ජනප්‍රිය නොවුණු කරුණු කීපයකි. ෆ්‍රීඩා ස්ව ආලේඛ්‍ය චිත්‍ර වලට දැඩි ඇල්මක් දැක්වූවාය ෆ්‍රීඩා ඇඳ තිබෙන චිත්‍ර 143 න් 55 ක්ම ස්ව ආලේඛ්‍ය ඒවාය. සිය ජීවිතය තුළ මුහුණදුන් හදිසි අනතුර හා ඒ හේතුවෙන් සදාකල් විඳින්නට වූ වේදනාව සමනය කරගන්නට ඇය, ඇයවම චිත්‍රයට නැගූ බව පැවසේ. ඇය විඳි ශාරීරික මෙන්ම මානසික වේදනාව ද මේ හරහා මුදාහැර ඇත.
තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීම ෆ්‍රීඩා ට වයස අවුරුදු 6 දී ඇයට පෝළියෝ වැළඳුණු අතර මේ නිසා ඇගේ දකුණු කකුල වම් කකුලට වඩා කුඩා හා සිහින්වට දිස්විය. මේ නිසා නිතරම පාහේ දිගු සායවල් වලින් සැරසුණු ෆ්‍රීඩා ‍මේ පෙනුම ලෝකයෙන් වසන් කරගැනීමට උත්සහ දැරුවාය. නමුත්, ඇය පාසලේදී මේ බව අනාවරණය නොකර සිටියා. 1922 දී National Preparatory පාසලට සම්බන්ධ වූ ඇය මෙක්සිකානු සංස්කෘතිය සම්බන්ධයෙන් එකල ඇතිවූ නව ප්‍රබෝධයත් (indigenismo) සමග ගමන් ගත්තාය. මෙක්සිකන් සංස්කෘතියට ඇති නැඹුරුතාව පෙන්වීමට ඇය සිය සැබෑ වයසින් වසර තුනක් අඩුකර එය තම උපන් වර්ෂය බව පැවසුවාය. මෙක්සිකානු විප්ලවය පටන්ගත් 1910 වසරේ ජූලි 7 වැනිදා තමන් උපත ලැබූ බව ඇය පැවසුවාය. නමුත්, හැබෑවටම ඇය ඉපදුණේ 1907 ජූලි 6 වැනිදාය. ෆ්‍රීඩාගේ සිහිනය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි කුඩා වියේදී සිටම ෆ්‍රීඩාගේ දැඩි අභිලාෂය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි. කලාව ඇගේ විනෝදාංශයක් වී තිබූ අතර එය ඡායාරූප ශිල්පියෙකු වූ ඇගේ පියාගෙන් උරුමවූවකි. මේ සිහිනය බිඳවැටෙන්නේ වයස අවුරුදු 18 දී ඇය හා ඇගේ පෙම්වතා මුහුණදුන් මාරාන්තික අනතුරෙන් පසුවය. ඔවුන් ගමන් කරමින් තිබූ බස් රථය අනතුරකට ලක්වූ අවස්ථාවේදී බස් රථයේ තිබූ යකඩ අත්වැල ඇගේ සිරුර හරහා ගොස් උකුල ප්‍රදේශයෙන් පිටතට මතුවිය. මාස ගාණක් පුරා රෝහල් ඇඳට සීමා වූ ජීවිතයක් ගතකරන්නට ඇයට සිදුවිණි. ඉන්පසු ඇගේ පියා ඇඳේ සිටම චිත්‍ර ඇඳිය හැකි චිත්‍ර තබන විශේෂ ආධාරකයක් නිර්මාණය කරදුන් අතර මේ සමයේදී ෆ්‍රීඩා සිය කුසලතා එළිදක්වන්නට වූවාය. අනතුරින් පසුවද වරින්වර සිරුරේ ඇතිවූ නිදන්ගත වේදනාව මතුවූ අතර කශේරුකාව ආශ්‍රිත ශල්‍යකර්ම කීපයකට ඉන්පසුවද මුහුණදීමට සිදුවුණි. ෆ්‍රීඩා VOGUE සඟරාවේ කවරයට පෙනී සිටියාය Vogue පැරිස් සඟරාවට ඇය 1939 දී පෙනී සිටි බවට කටකතා පැතිරී ඇත. නමුත්, සැබෑවටම ෆ්‍රීඩා පළමුවරට මේ සඟරාවට පෙනී සිටියේ 1937 Vogue ඇමරිකානු සඟරාවේ ඔක්තෝබර් කලාපයටය. Senoras of Mexico නමින් ඇගේ රුවමෙහි පළවිය. එවක ඇගේ රුව සේයාරුවට නැගුවේ ටෝනි ෆ්‍රිසල් වන අතර මේ ඡායාරූප කවරයේ පළනොවුණි. 1939 දී ඇගේ රුව නිකොලොස් මුරෛ විසින් සේයාරුවට නැගූ අතර එය ආලේඛ්‍ය ඡායාරූපයක් ලෙස පළවිය. නිකොලොස් හා ෆ්‍රීඩා අතර සුවිශේෂී මිතුදමක් පැවතුණි. ෆ්‍රීඩාගේ මරණයෙන් පසුව වුවද ඇගේ රුව මේ සඟරාවේ පළනොවූ අතර 2012 වසරේදී Vogue මෙක්සිකානු සඟරාව නිකොලොස් විසින් ගත් ඇගේ ඡායාරූපය කවරයේ ඡායාරූපය ලෙස පළකෙරුණි. ඒ ඇගේ මරණයෙන් අවුරුදු 60 ක් ඉක්මවා ගිය පසුවය.
ලියොන් ට්‍රොට්ස්කිගේ මරණයට සැකපිට ෆ්‍රීඩා ට සිරගෙයි පසුවන්නට සිදුවිය ෆ්‍රීඩා හා ඇගේ සැමියා වූ දියෝගු රිවේරා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ දිගු කාලීන සාමාජිකයින් ය. සෝවියට් නායකයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කිට රැකවරණය ලබාදෙන මෙන් ඔවුහු 1937 දී මෙක්සිකානු රජයෙන් ඉල්ලා සිටියහ. ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ මේ දෙපළගේ නිවස වූ La Casa Azul හි වසර කීපයක් ලැගුම් ගත්හ. එමෙන්ම, ෆ්‍රීඩා හා ට්‍රොට්ස්කි අතර සමීප ඇසුරක් ද තිබුණු බව පැවසේ. රිවේරා, ෆ්‍රීඩාගේ සොහොයුරිය සමග ඇතිකරගත් ඇසුරක් නිසා ඇය මෙවැන්නකට පෙළඹුණු බව පැවසේ. රිවේරාගේ දේශපාලන බලාධිකාරය බිඳවැටීමත් සමග ට්‍රොට්ස්කි මෙම නිවහනින් නික්මී ගිය අතර 1940 දී ඔහු ඝාතනයට ලක්විය. මේ සිදුවීම නිසා ෆ්‍රීඩා මෙන්ම ඇගේ සොහොයුරියට ද සිරගතවීමට සිදුවූ අතර දින දෙකකට පසු ඔවුන් නිදහස් කෙරුණි. ෆ්‍රීඩා සිය ඒකපුද්ගල ප්‍රසංගයට සහභාගීවීමට යන්නේ ගිලන් රථයකිනි වරින්වර ඇගේ අසනීප තත්ත්වය උග්‍ර වීමත් සමග ජීවිතයේ අවසාන සමයේදී නිතර නිතර රෝහලට ඇතුළත් වීමට ෆ්‍රීඩාට සිදුවිය. සිය නිවහන වූ La Casa Azul වෙත සීමාවූ දිවියක් ගත කළ ෆ්‍රීඩා රෝද පුටුවක් හා කිහිලිකරුවක් ද ආධාරක ලෙස පාවිච්චි කළාය. නමුත්, කිසිවිටක නිර්මාණකරණයෙන් බැහැර නොවූවාය.
ඇගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මෙක්සිකෝවේ Galería Arte Contemporaneo හි 1953 අප්‍රේල් මස දී පැවැත්විණි. මේ සමයේදී ඇඳෙහි හිඳ විවේක සුව විඳිමින් සිටි ෆ්‍රීඩාට ඇඳෙන් නොබසින ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි. ඒ නියමය ද කඩනොකරමින් සිය නිදන ඇඳ ගිලන් රථයකට ඇතුළත් කළ ඇය එලෙසින්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණු ස්ථානයට පැමිණියාය. ගිලන් මැස්සක සිටි ෆ්‍රීඩා තමාගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු අයුරු සියැසින් දුටුවාය. මේ සිදුවීමෙන් මාස කීපයකට පසු ඇගේ දකුණු පාදයේ මස් කුණුවීමට පටන්ගත් නිසා එම පාදය දණහිසින් වෙන්කෙරුණි. චිත්‍ර ප්‍රදර්ශනයෙන් වසරක් ගතවූ තැන ඇයට වයස අවුරුදු 47 දී ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ කලා නිර්මාණ වාර්තාපිට වාර්තා තබන්නට සමත් විය The Frame නම් ඇගේ චිත්‍රය 1939 දී සිට ලූවර් හි ප්‍රදර්ශනය කිරීමත් සමග 20 වන සියවසේ ජීවත් වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පීන් අතරින් පළමුවරට ජාත්‍යන්තරයට ගිය කලාකාරිනිය බවට ඇය පත්වූවාය. ෆ්‍රීඩා 1938 දී චිත්‍රණය කළ ස්ව ආලේඛ්‍ය චිත්‍රය Musée National d’Art Moderne කොටසක් ලෙස ප්‍රංශයේ Pompidou Center හි ප්‍රදර්ශනයට තබා ඇත. ෆ්‍රීඩා බෙඳහෙළු එකම වාර්තාව එය නොවේ. ඇගේ චිත්‍ර ප්‍රසිද්ධ වෙන්දේසි වලදී ද වාර්තා තබන්නට සමත් විය. The Tree of Hope Stands Firm (1944) නම් ඇය ඇඳි සිතුවම 1977 දී Sotheby හි වෙන්දේසියේදී ඩොලර් 19,000 ක මිලකට අලෙවි විය. ඇගේ චිත්‍ර වලට හිමිව තිබූ වටිනාකම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට වූවේය. ෆ්‍රීඩාගේ චිත්‍ර මෙක්සිකෝවේ සංස්කෘතික උරුමයක් ලෙස 1984 දී ප්‍රකාශයට පත්කෙරුණු අතර ජාත්‍යන්තර චිත්‍ර වෙන්දේසි වලදී පවා ඇගේ චිත්‍ර සොයාගැනීම අතිදුර්ලභ විය. 1990 වන විටත් ඩොලර් මිලියනයකට වැඩි මිලකට වෙන්දේසි වටිනාකමක් හිමිවූ එකම ලතින් ඇමරිකානු චිත්‍ර ශිල්පිනිය ඇය වූවාය. මෙකලදී දියෝගුගේ චිත්‍ර ඩොලර් මිලියන 1.4 කට වැඩි මිලකට අලෙවි කෙරුණු අතර ෆ්‍රීඩාගේ චිත්‍ර වලට සුවිශේෂී වටිනාකමක් ක්‍රමයෙන් හිමිවන්නට විය. Two Lovers in a Forest නම් චිත්‍රය 2016 දී අලෙවි කෙරුණේ ඩොලර් මිලියන 8 කට ය.
ඇය ස්ත්‍රීවාදිනියක්, මෙක්සිකානු අනන්‍යතාව වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියක හා LGBT අයිතීන් වෙනුවෙන් වූ ව්‍යාපාරයේ සුවිශේෂී චරිතයකි ෆ්‍රීඩා ජනප්‍රිය සංස්කෘතියේ සුවිශේෂී චරිතයක් බවට පත්වන්නේ 1970 දී සිට පමණය. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙන් බටහිර නොවන කලාකාරිනියන් ඉවත් කර තිබීම ගැන ප්‍රශ්න කරන විද්වතුන් ෆ්‍රීඩා ගැන විශේෂ අවධානයක් යොමුකරයි. ලිංගික අනන්‍යතාව ගැන ඇය තුළ තිබූ විවෘතභාවය මෙහිදී විශේෂය. ෆ්‍රීඩා ද්විලිංගික තැනැත්තියකි. ඇය සැරසී සිටි සුවිශේෂී ඇඳුම්, පැළඳුම් LGBT සමාජයේ සංකේතයක් විය. මෙක්සිකානු අනන්‍යතාව හා මෙක්සිකානු සංස්කෘතියට කොලනිකරණයෙන් ලැබුණු දෑ ගැන නොසලකා හැරීම තුළ ෆ්‍රීඩා සිය මෙක්සිකානු අනන්‍යතාව විදහා දැක්වූවාය. ‘ෆ්‍රීඩාමේනියා‘ (Fridamania) නම් වදන ඇය හරහා බිහිවූවකි. කලාව සම්බන්ධයෙන් හැදෑරීම් කරන ඉතිහාසඥවරියක වන ඔරියානා බෑඩ්ලේ පවසන්නේ, ’ෆ්‍රීඩා 21 වන සියවසේ දී පවා තරුවක් ලෙස හඳුනාගන්නට හැකියි. රසික සමාජ හා වෙළඳ භාණ්ඩ තුළ ඇය වාණිජ සම්පතක් ලෙස හැඳින්විය හැකි බවයි‘