Tuesday, September 11, 2018

ස්වයං අධ්‍යයනයේ නියැලුණු කලාකරුවන් සිව්දෙනෙකුගේ කතාව

ඕනෑම විෂයක් සම්බන්ධව නිසි අධ්‍යයනයක නියැලීම ඒ කටයුත්ත පහසු කරලනු ඇත. නමුත්, මේ සඳහන ස්වයං අධ්‍යයනයේ නියැලී පසුකලෙක අතිවිශිෂ්ඨයන් බවට පත්වුණු කලාකරුවන් ගැනයි. මේ ඔවුන් ගැන වූ ලිපි පෙළේ පළමු කොටසයි
හෙන්රි රොසෙයු
ප්‍රංශ උපස්ථිතිවාදී හා පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර කලා සමයේදී දිවිගෙවූවකි. කලාකරුවෙකු ලෙස නිසි අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාව ඔහුට අහිමි විය. සිය 40 හැවිරිදි වියේදී එනම් 1884 දී සිට දැඩි උනන්දුවෙන් කලාවට පිවිසුණු හෙන්රි ලිපිකරුවකු ලෙස සේවයේ යෙදුණෙකි. ඔහු ගැන විචාරයේ යෙදුණු පිරිස් හෙන්රි කිසිදු හැදෑරීමක් නැති අවිදග්ධ නිර්මාණ ශිල්පියෙකු බව පෙන්වා ඔහුව පහත හෙලීමට ‘Le Douanier‘ (රේගු නිළධාරියා) යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබුණි. හෙන්රිට කිසිදිනක රේගු නිළධාරියෙකු බවට පත්වීමට නොහැකි වූ නිසා ඔහුව අවතක්සේරුවට ලක්කිරීමට මෙවැනි වදනක් යෙදූ බව ද පැවසේ. නමුත්, ඔහු සිය රැකියාවේ නියැලෙන අතරතුරදී චිත්‍ර ශිල්පයට යොමුවී ඇත. ලිපිකරුවෙකු ලෙස රාජකාරි වල නොයෙදුණු අවස්ථා වලදී ලූවර් හි තිබූ කලා එකතුව අධ්‍යනය කළ ඔහු ඒවායේ දළ සටහන් ඇඳ ඇත. චිත්‍ර ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයක් වී සිටි හෙන්රිගේ නිර්මාණ තුළ සෘජුභාවය හා චිත්‍රයෙන් පිළිබිඹු කළ අර්ථ වල අඩුවක් පැවති බව විචාරක අදහසයි. නමුත්, ශාස්ත්‍රීය මට්ටමින් පිළිගත් සම්මතයන් අභිබවා යාමට ඔහු කළ නිර්මාණ සමත් විය. ප්‍රාණවත්, අපූර්ව භූමි දර්ශන හරහා හෙන්රි ඉතා පිරිසිදුවට සිහිනයන් මෙන් වූ දර්ශන නිර්මාණය කළ අතර අධියතාර්ථවාදී නිර්මාණකරුවෝ ඒවාට දැඩිව ඇළුම් කරන්නට විය. හෙන්රිගේ දිවියේ අවසාන සමයේදී ඔහු කළ නිර්මාණ වැන්ගෝර්ගේ චිත්‍ර සමගින් ප්‍රදර්ශනය කිරීමේ භාග්‍යය හිමිවුණි. වින්සන්ට් වැන්ගෝර්
වින්සන්ට් වැන්ගෝර් අද්‍යතන යුගයේ සුවිශේෂී කලාකරුවෙකු වේ. ඔහු ස්වයං අධ්‍යනයේ නියැළුණෙකි. අඩුවෙන් කතාබහ කළ තරමක වෙනස් අන්දමේ තැනැත්තෙකු වූ වැන්ගෝර් පන්ති කාමරයක අධ්‍යයන කටයුතු සිදුකිරීමට කිසිසේත්ම ඇල්මක් දැක්වූවේ නැත. https://youtu.be/FvWHOj79vrw මවගෙන් හා පවුලේ ගුරුවරියගේ අනුදැනුම මත කුඩා වියේදී අධ්‍යාපනය ලත් වැන්ගෝර් නිවසින් පිටතට ගොස් අධ්‍යාපනය ලැබීමට දැරූ උත්සහයන් ව්‍යර්ථ විය. බෝඩිම් පාසලක ගෙවූ අසාර්ථක කාලයකින් පසුව වසර දෙකක් පාඨශාලාවේ අධ්‍යාපනය හැදෑරුවේය. වයස අවුරුදු 16 දී කලා නිර්මාණ අලෙවි කරන වෙළෙන්ඳෙකුගේ සහයකයා ලෙස රැකියාවට පිවිසෙන්නේ ඉන් පසුවය. මේ රැකියාවෙන් කලකිරුණු වැන්ගෝර් ඉන්පසුව පාදිලිවරයකු වීමේ අභිලාෂයෙන් සෙමනේරියට ඇතුළු වූවේය. නමුත්, මෙහි ආරම්භක පරීක්ෂණය අසමත් වන ඔහු මිෂනාරි පාසලේ එක් සෙමෙස්ටරයක් අධ්‍යාපන කටයුතු සිදුකළ ද එය ද අසමත් විය. කෙසේ හෝ අවසානයේදී මිෂනාරි ව්‍යාපාරයේ රැකියාවක් හිමිකරගැනීමට 1879 වසරේදී හැකියාව ලැබුණි. වැන්ගෝර්ගේ තෙළිතුඩින් පිටිසරබද වැසියන් නිරූපණය වී තිබෙන අන්දම ගැන තෙඕ ඇසගසාගෙන සිටියේය. වැන්ගෝර් චිත්‍ර කලාව ප්‍රගුණ කළයුතු බව ඔහු අයැද ඉල්ලා සිටියේය. ඒ අනුව බ්‍රසල්ස් හි Académie Royale des Beaux-Arts හිදී ඉතා කෙටි කලක් චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීමේ අවස්ථාව 1880 දී උදාවිය. ඉන්පසුව උදාවූ ඔහුගේ දුක්ඛදායක දිවියේ ඉතිරි කෙටි කාලය පුරාම චිත්‍ර ශිල්පයේ නියැලෙන අන්දම වැන්ගෝර් තනිවම උගත්තේය. ලී මත කැටයම් කෙරුණු ජපානයේ මුද්‍රණ කලාව හා සිය සගයින්ගේ නවෝත්පාදන ඔස්සේ ඔහු ආභාසය ලැබුවේය. කෙසේවුවත්, තමන්ට අනන්‍ය ශෛලියක් නිර්මාණය කරගැනීමට වැන්ගෝර් සමත්වූවේය. ඔහුගේ නිර්මාණ වල ගැබ්වී තිබූ භාවාත්මක ගතිය රසිකයින් ඔහු වෙත ආකර්ශණය වීමට හේතුවිය. සුළි ආකාර රටාවන්, සජීවී නිරූපණයන් කෙරුණු පින්සල් රටා නිදහසේ නිර්මාණකරණයේ නිරත වූ වැන්ගෝර්ගේ සුවිශේෂී කුසලතා විය. ෆ්‍රීඩා කාර්ලෝ
ඡායාරූප ශිල්පියෙකු වූ ෆ්‍රීඩාගේ පියා සිය දියණියගේ කලා හැකියාවන් හඳුනාගන්නේ ඇගේ කුඩා අවදියේදීමය. ඇයට ඡායාරූප ශිල්පය උගන්වන ඔහු සිය මිතුරෙකු ලවා මුද්‍රණකරණය ගැන ඉගැන්වීමට උත්සුක වූවේ ග්‍රැෆික් කලාවන් ගැන ඈ තුළ උනන්දුවක් ඇතිකරවීමේ අභිලාෂයෙනි. වෛද්‍යවරියක වීමේ සිහිනයෙන් සිටි කාර්ලෝට 18 හැවිරිදි වියේදී හදිසියේ මුහුණදෙන්නට සිදුවූ රිය අනතුරක් නිසා ඇඳටම සීමා වූ දිවියක් ගෙවන්නට සිදුවිය.
යළි සුවපත් වීමේ කාලසීමාව අතරතුරදී වෛද්‍ය සන්නිදර්ශක ඇඳීමේ නිරත වූ ඇය මේ විනෝදාංශය දියුණු කරගැනීමට උත්සහ කළාය. පියා ඇය වෙනුවෙන්ම නිර්මාණය කරදුන් චිත්‍ර ආධාරකයක් හා කණ්ණාඩියක් උපයෝගී කරගෙන ස්ව-ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කිරීමට ෆ්‍රීඩා පෙළඹුණාය. තවත් කල්ගතවන විට සිය හැකියාව වැඩිදියුණු කරගත් ඇය රූප සටහන් වෙනුවට තමන් විඳි භාවයන් චිත්‍ර හරහා ප්‍රකාශ කළාය. අද්‍යතන ලෝකයේ අංගයන් හා මෙක්සිකානු සාම්ප්‍රදායික සමාජයේ අංගයන් නුපුහුණු නැති ගමේ ගොඩේ කලාකරුවන් ඇඳි කතෝලික සංකේතයන් සමග බද්ධ කළ වෙනස් අන්දමේ කලාවක් නිර්මාණය කරන්නට ඈ සමත්වූවාය. මෙක්සිකානු අනන්‍යාව ප්‍රශ්න කිරීමට ෆ්‍රීඩා දැරූ උත්සහය තුළ ආකර්ශණීය විලාසිතාවන් බිහිවිය. ඇය ඇඳි චිත්‍ර අතරින් වැඩි ප්‍රමාණයක් ස්ව ආලේඛ්‍ය චිත්‍ර වේ. බිල් ට්‍රේලර් බිල් පිළිබඳ ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වෙනුවෙන් 2013 වසරේදී සටහනක් තබන රොබර්ටා ස්මිත් පවසන්නේ, ‘බිල් ටේලර්ගේ හැකියාව හදිසියේම මෙන් ඉස්මතු වූයේ ඔහුට වසර 85 ක් ගතවී තිබූ, ජීවත්වන්නට තවත් වසර 10 ක් ඉතිරිව තිබූ 1939 වසරේදීය.‘ බිල් මෙලොව එළිය දකින්නේ වහල්මෙහෙය උදෙසාය. ඒ 1854 දී ය. කිසිලෙසකින්වත් නිසි අධ්‍යාපනයක් හිමිකරගන්නට වරම් නොලැබෙන බිල් සතුව නිතැතින්ම සහජ කුසලතා පැවතුණි. සිවිල් යුද්ධයේ අගභාගයේදී වහල් සේවයෙන් නිදහස ලැබූවද ඔහුට අස්වනු නෙලන ගොවියෙකු ලෙස අඛණ්ඩ සේවයේ නිරතවන්නට සිදුවුණි. ඔහු සිය මුල් ගම්බිම් අත්හැර ගියේ ජීවිතයේ අගභාගය ගෙවී ගිය 1935 වසරේදීය. ‘මගේ නෑදෑයෝ ජීවිතයෙන් සමුගත්තා, දරුවන් තැන තැන විසිරී ගියා‘ යනුවෙන් ඒ සමය සිහිපත් කරන බිල් පවසයි. සන්ධි ඉදිමීමේ රෝගයෙන් පීඩා විඳි බිල් ජීවත්වන්නට නිවහනක් නොමැතිව අවමංගල උත්සව පවත්වන ශාලාවක පිටුපස කාමරයක වැතිරී ගෙන මරණය එනතුරු බලා සිටින අතරතුරදී කලා නිර්මාණ වලට යොමුවූවේය. සිය අවට පරිසරයෙන් සොයාගන්නට හැකිවූ දේවල් වලින් කුඩා ප්‍රමාණයේ චිත්‍ර අඳින්නට පටන්ගත්තේය. බිල් කළ මේ නිර්මාණ එවක තරුණ නිර්මාණකරුවෙකු වූ චාල්ස් ෂැනොන්ගේ නෙත ගැටෙන්නේ අහම්බෙන් මෙනි. ඒ 1939 වසරේදීය. චිත්‍ර අඳින්නට අවශ්‍ය කලමනා ලබාදෙමින් බිල් ව තව තවත් උනන්දු කළ චාල්ස් ඔහුගේ නිර්මාණ වලට අවශ්‍ය මෙවලම් මෙන්ම චිත්ත ධෛර්යය ද නොඅඩුව ලබාදුන්නේය. බිල් සිය හැකියාවන් අතිවිශිෂ්ට ලෙස විදහා දැක්වූවේය. ඔහුගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ වී තිබෙන පුද්ගල රූප, ස්ථාන මෙන්ම වෙනත් සංකේත හා අත්දැකීම් මේ නිර්මාණ තුළින් විදහා දැක්වුණි. කිසිදු ගුරුවරයෙකු යටතේ පුරුදු පුහුණු නොවූ හැකියාව නවෝත්පාදන අපූරු සෞන්දර්යත්වයක් කැටිකරගනිමින් එළිදුටුවේය. ඕනෑම විෂයක් සම්බන්ධව නිසි අධ්‍යයනයක නියැලීම ඒ කටයුත්ත පහසු කරලනු ඇත. නමුත්, මේ සඳහන ස්වයං අධ්‍යයනයේ නියැලී පසුකලෙක අතිවිශිෂ්ඨයන් බවට පත්වුණු කලාකරුවන් ගැනයි. මේ ඔවුන් ගැන වූ ලිපි පෙළේ අවසන් කොටසයි. ග්‍රෑන්ඩ්මා මෝසස්
ඇනා මේරි රොබර්ට්සන් නැතිනම් ‘ග්‍රෑන්ඩ්මා‘ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නේ වයස අවුරුදු 78 දී ය. කිසිදිනක සම්මත අධ්‍යාපනයක් නොලද ඇය ගැන ඇගේ මරණයෙන් පසුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ 1961 දී පළකල මරණ දැන්වීමේ දක්වන්නේ ‘ස්වයං ඉගෙනුම ලද ආදිතමයෙකු‘ ලෙස ය. ඇගේ කුඩා අවදියේදී ‘lambscapes’ නමින් ඇගේම චිත්‍ර ශෛලියක් වර්ධනය කළාය. මිදි හා දොඩම් යුෂ වල වර්ණක යොදාගනිමින් මේ නිර්මාණ සැකසුණි. ‘ඇය සිය තුරුණු වියේදී හා වැඩිහිටි සමයේදී American printmaking firm Currier හා Ives වල තිබුණු දර්ශන පිටපත් කළාය.‘ ක්‍රම ක්‍රමයෙන් මෝසස්ගේ කලා හැකියාවන් වැඩිදියුණු වන්නට වූවේය. ඇගේ පවුල ක්‍රමයෙන් වර්ධනය වෙත්ම නිවස පුරාවට ඇගේ අතින් ඇඳි චිත්‍ර දිස්වන්නට වූවේය. එමෙන්ම, ඇගේ මිණිබිරියන් වෙනුවෙන් බෝනික්කන් පවා නිර්මාණය කරදුණි. මහළු වීමත් සමග ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි ඇය කිසිවිටක සිය අතරැඳි පින්සල අත්නොහැරියාය. තමන් පසුකර පැමිණි යුගයේදී අත්දුටු වර්ණයෙන් පිරි, යථාර්තවාදී අත්දැකීම් 1500 කටත් අධික නිර්මාණ ඔස්සේ කරළියට පැමිණුනි. 1939 වසරේදී ඇය ඇඳි සිතුවම් Museum of Modern Art හි “Contemporary Unknown American Painters” ප්‍රදර්ශනය කෙරුණි. මින් වසරකට පසු ඇය සිය ඒකපුද්ගල ප්‍රසංගය දියත් කළාය. ඇය මියගිය 1961 වසර වනවිට ඇමරිකානු ගැමි කලාව ස්වයං අධ්‍යනය කළ වයස්ගත ආච්චි බවට පත්වූවාය. කලා හා සැලසුම් නිර්මාණ කොලිජීයේ ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට පවා ග්‍රෑන්ඩ්මා සමත් වූවාය. හෙන්රි ඩර්ගර් චිකාගෝ රෝහලේ භාරකරු ලෙස 1930 දී සිට 1973 දක්වා කාලසීමාවේදී සේවය කළ හෙන්රි ඩර්ගර් සිය විවේක කාලයෙන් වැඩි කොටසක් ගතකළේ වාසස්ථානයේ ය. උද්යෝගිමත්ව හා කාර්යශූර ලෙස ලේඛනයේ හා චිත්‍ර ඇඳීම ඔහුගේ එකම අභිලාෂය බවට පත්ව තිබුණි. පිටු 15 සිට 145 දක්වා වූ ප්‍රමාණයක් තුළ රූප සටහන් සීයකට අධික ප්‍රමාණයක් ඔහුගේ අතින් නිර්මාණය විය. ක්‍රිස්තියානි දහමේ එන දුෂ්ඨ අධිරාජයා විසින් දියත් කළ වහල් ක්‍රමය වෙනස් කිරීමට දායක වූ ළදරු වියේ පසුවූ Vivian Girls නම් රැජිණියන්ගේ කතාව In the Realms of the Unreal නම් චිත්‍රයෙන් නිරූපණය කර ඇත. දිය සායම් හා කොලාජ් යොදාගනිමින් ඔහු සිය චිත්‍ර පාට කළේය. කාන්තා වීරවරියන්ගේ වීර ක්‍රියාවන් නිරූපණය කරන චිත්‍ර නිර්මාණය කෙරුණු අතර මේ ක්‍රියාවන් තුළ ඔවුන් අත්විඳින දුක, වේදනාව ද ගැබ්වී තිබුණි. මෙවැනි අසිරිමත් නිර්මාණ තුළින් Vivian Girls කතෝලික සාහිත්‍යයේ එන බිහිසුණු කතාවන් නිරූපණය වුවද ඒවා හාසයෝත්පාදක පොත් වල සිටින චරිත හෝ දැන්වීම් වල දකින තරුණියන් මෙන් දිස්විය. කලා පාසල් තුළින් කිසිලෙසකින්වත් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හෙන්රිට නොලැබුණි. ජනප්‍රිය සංස්කෘතියේ දක්නට ලැබෙන ද්‍රෘෂ්‍ය මෙවලම් හා තේමා හරහා ඔහුගේ කලා හැකියාවන් දියුණු කරගැනීමට අවස්ථාව ලැබුණි. වයස අවුරුදු 8 දී සිට කතෝලික අනාථ නිවාසයක හැදී වැඩුණු හෙන්රි අවුරුදු 13 දී මානසිකව දුබල දරුවෙකු බව හඳුනාගැනුණු අතර ඉන් පසු ඔහු Illinois Asylum වෙත යැවුණි. කලාකරුවෙකු ලෙස මෙන්ම දරුවන් ආරක්ෂා කිරීමට කැපවුණු තැනැත්තෙකු ලෙස ද හඳුනාගත හැක. වයස අවුරුදු 81 දී දිවියෙන් සමුගත් ඔහුගේ සොහොන් කොත මත ‘කලාකරුවෙකු හා දරුවන්ගේ ආරක්ෂකයා‘ යන නාමයන් දෙකම සනිටුහන් කර තිබුණි. යොකෝ ඔනෝ
යොකෝගේ පියා සංගීතඥයෙකු වූ අතර ඔහුගේ අභිලාෂය වූවේ දිනෙක ඇය පියානෝ වාදන ශිල්පිනියක වනු ඇති බවයි. කිසිදිනෙක ද්‍රෘෂ්‍ය කලාව විධිමත් ලෙස හදාරා නොතිබූ යොකෝ ප්‍රථම උපාධියෙන් පසු තෝකියෝවේ පිහිටි ගකුෂින් හි දර්ශනය හැදෑරීමට අයදුම් කළාය. මෙහි වසර දෙකක අධ්‍යාපනය හැදෑරූ ඇය සිය පවුලේ උදවිය සිටි නිව්යෝර්ක් වෙත ගියාය. ඇය තුළ සහජයෙන්ම තිබූ සංගීත සංරචන හැකියාව ද උරගා බලමින් 1950 දී සාරා ලෝරන්ස් කොලීජියට ඇය ඇතුල් වූවාය. කවියන්, ද්‍රෘෂ්‍ය කලාකරුවන්, සංගීතඥයින්, නර්තන රචකයින් ආදී පිරිස් නිරන්තරයෙන් මෙහි ගැවසුණු අතර බහු මාධ්‍ය සම්බන්ධ නව අත්හදාබැලීම් ද සිදුකෙරුණි. New School for Social Research හි පර්යේෂණාත්මක සංගීත සංයෝජනය පිළිබඳ පාඨමාලාවකට දායක වූවාය. ඇගේ සංගීත පසුබිම පෙරටුගාමී පරපුරට ඇතුළත් වීමට දැඩි රුකුලක් විය. විධිමත් කලා අධ්‍යාපනයක් නොතිබීම නව අත්හදාබැලීම් වලට ඇයව යොමුකළ සුවිශේෂී කරුණක් විය හැක. ඔනෝගේ ද්‍රෘෂ්‍ය කලා හා ප්‍රාසාංගික කලා ගෙනහැර බැලූවිට ඒ තුළ න්‍යායාත්මක කරුණු ගැබ්ව ඇතිබව හඳුනාගත හැකිය. එමෙන්ම, ඇය 1969 දී විවාහ දිවියට ඇතුළත්වුණේ සුප්‍රකට සංගීතඥයෙකු වූ ජෝන් ලෙනන් සමගය. මේ විවාහ දිවියද ඇගේ නිර්මාණ දිවියට සුවිශේෂී රුකුලක් විය. විධිමත් කලා අධ්‍යාපනයක් ලැබීමට උත්සහ නොකළාක් මෙන් ඔනෝ කිසිවිටෙක ඔහුගේ සහයක් බලාපොරොත්තු නොවී ස්වයං හැදෑරීමක් කළ කලා ශිල්පිනියක ලෙස ප්‍රකට වූවාය. තෝර්න්ටන් ඩයල් ඇලබාමාවේ ජීවත් වූ කළු ජාතික ගොවි පවුලකට දාව ව ඩයල් ඉපදුණේ 1928 දී ය. වයස අවුරුදු 13 වන තෙක් පාසලකට ඇතුල් වීමේ අවස්ථාව ඔහුට හිමිනොවුණි. දෙවන වසරට ඇතුළත් වූ පසුවද අනෙක් ළමුන්ට වඩා වැඩිමහල් තැනැත්තෙකු මෙන්ම කම්කරුවකු ලෙස සේවයේ නිරතවීම නිසා පාසල් ජීවිතය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් ඔහුට නොතිබුණි. ඩයල් පාසලෙන් පැනගොස් කුලී රැකියාවන්හි නිරත වෙමින් මුදල් උපයන්නට වූවේය. වැඩිහිටියෙකු වූ පසුවද දුම්රිය මැදිරි නිපද වූ කම්හලක සේවයේ නිරත වූවේය. ඔහු මෙම කම්හල 1981 දී වසා දමන තෙක්ම එහි රැඳුණු අතර මින් ලබාගත් අත්දැකීම් ඔස්සේ කලා නිර්මාණ වලට යොමුවූවේය. විවිධ මෙවලම් හා තාක්ෂණික උපයෝගී කරගනිමින් නිර්මාණකරණයේ නිරත වීමට මෙහිදී අනුබලයක් ලැබුණි. මෙහිදී ඔහු නිමකළ අර්ධ රූපික, අර්ධ අමූර්ත දෑ පසුකාලීනව අතිවිශාල එකලස් නිර්මාණ බවට පත්විය. ‘මගේ කලා නිර්මාණ කියන්නේ මා අත්විඳින නිදහසේ සාක්ෂියයි‘ 1990 මැදභාගයේදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩයල් පැවසුවේය. ‘මං මොනවිදියේ කලා නිර්මාණයක් ආරම්භ කළත් ඊට වුවමනා කරන ඕනම දෙයක් සම්බන්ධ කරන්නට හැකියි. මගේ හිතේ තියෙන අදහසට ගැළපෙන ඕනම දේකින් නිර්මාණයක් පටන් අරන් ඊට ගැළපෙන ඕනම දෙයක් කොහෙන් හරි හොයාගන්නවා.‘‘ ඇමරිකානු සමාජය තුළ දක්නට ලැබුණු වියවුල් පිළිබඳ මනා අවබෝධයක් තිබුණු ඩයල් සංජනනාත්මක විශේෂඥයකු වූවේය. ජාතිවාදය, ලිංගිකත්වය නිසා සිදුවන වෙනස් කොට සැලකීම්, දුප්පත්කම නිසා මිනිසුන්ට අවම පහසුකම් යටතේ ජීවත්වීමට සිදුවීම, දේශපාලන සංසිද්ධි, ඵෙතිහාසික ස්ථාන, ක්‍රිස්තියානි දේශනා ආදිය ඔහුගේ නිර්මාණ වලට හසු වූ තේමාවන් විය. ඔහු සතුවූ සුවිශේෂී කෞශල්‍යය හා විනිවිද දැකීමේ භාවාත්මක ශක්තිය ආදිය ඔහුටම අනන්‍යය. එදිනෙදා ජීවිතයේදී ඇස ගැටෙන විවිධ වස්තු වලින් අසාමාන්‍ය නිර්මාණ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඩයල් සතුවිය. Artsy ඇසුරිනි

No comments:

Post a Comment