Tuesday, May 3, 2016

May 03, 2016 0 Comments


ලේඛිකාවක වූ අභිසාරිකාව 



සමාජයේ ගැරහුමට ලක්වන වීදි සරන්නියක් පසුකලෙක ඒ සමාජයේම පැසසුමට ලක්වුණු ගැහැණියක් වූවානම් ඒ ඇයම වන්නට ඇත. මායා ඇන්ජිලෝ.

කැලිප්සෝ නර්තන ශිල්පිනියක ලෙස 50 දශකයේදී අතිශය ජනප‍්‍රියත්වයට පත්වන ඇය කලක් වෛශ්‍යාවක් ලෙස ද කටයුතු කරනවා. මාග‍්‍රට් ඇනී ජොන්සන් ලෙස ඉපදුණු ඇගේ නම, මායා ඇන්ජිලෝ බවට පත්වෙන්නේ ඇය වෘත්තීය කැලිප්සෝ නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන සමයේදී යි. මාර්ටින් ලූතර් කිං හා මැල්කම් එක්ස් සමග එක්වී කටයුතු කළ ඇය ඇමරිකාවේ ජීවත් වූ කළු ජාතික පිරිස් වල අයිතීන් වෙනුවෙන් නිරතුරු පෙනී සිටි සමාජ ක‍්‍රියාකාරිනියක් ලෙසින් ද නම්කළ හැකියි. ඒ සියල්ල ඉක්මවා ගිය කල ලේඛිකාවක, කිවිඳියක ලෙස මෙන්ම සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ද මායා ව හඳුන්වාදීමට හැකියි.



මායා ඇන්ජිලෝ ලේඛිකාවක ලෙස හඳුනාගැනීම විශේෂ වන්නේ ඇය විසින් රචිත ස්වයං චරිතාපදාන කෘති හත නිසාවෙනුයි. ඒ අතරින් පළමුවැන්න බවට පත්වෙන්නේ 1969 දී රචිත I Know Why the Caged Bird Sings කෘතියයි.

'නොපැවසූ කතාවක් සිත තුළ සිරකරගෙන හිඳීම තරම් කටුක දුකක් මෙළොව තවත් නැත''
මායා ඇන්ජිලෝ 


මායා සිය අට හැවිරිදි වියේදී මවගේ අනියම් සැමියා අතින් දූෂණයට ලක්වූ අයුරු හා ඇගේ දිවියේ 17 හැවිරිදි වියේදී ඇය මවක් බවට පත් වනතෙක් වූ ජීවන අත්දැකීම් මේ කෘතියේ සඳහන් වී තිබෙනවා. මායාගේ මාමා විසින් ඇයව දූෂණය කළ තැනැත්තා ඝාතනයට ලක්කෙරෙනවා. 

ඉන්පසු ඇය වසර පහක කාලයක තාවකාලික ගොළු බවට පත්වෙනවා.ඒ ගැන පසුකලෙක I Know Why the Caged Bird Sings කෘතියේදී ඇය සඳහන් කරන්නේ



‘‘මම හිතුවේ ඔහුව මැරුවේ මගේ කටහඬ කියලා. මම ඔහුගේ නම කීව නිසා ඔහු මැරුණා. මම කතාකළොත්  ඕනම කෙනෙක් මැරෙන්න පුළුවන් නිසා මම ආයේ කවදාවත් කතා නොකරාවි කියලා හිතුවා’’ යන්නයි.

1974 දී Gather Together in My Name,1976 දී රචිත Singin’ and Swingin’ and Getting’ Merry Like Christmas කෘතිය, 1981 දී The Heart of a Woman කෘතිය, 1986 දී රචිත All God’s Children Need Travelling Shoes, 2002 දී රචිත A Song Flung Up to Heaven හා 2013 දී රචිත Mom & Me & Mom කෘති පෙළ ස්වයං චරිතාපදාන අතරට අයත් අනෙකුත් කෘතීන්ය.

මෙම කෘති පෙළ විශේෂ වන්නේ හුදෙක් එක් තැනැත්තෙකුගේ ජීවිතය පදනම් කරගෙන රචනා වූ ස්වයං චරිතාපදාන වන නිසාවෙන් පමණක් නොව ස්වයං චරිතාපදානයක් ඉදිරිපත් කිරීමේදී නව අත්හදාබැලීම් සිදුකිරීමට උත්සහ කළ කෘති පෙළක් ද වන බැවිනි.

කිසිදු විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා උපාධියක් හිමිකරගැනීමට මායාට නොහැකි වුවද ලොව ප‍්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාල ගණනාවකින් ඇයට ගෞරව උපාධි 50 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදානය කර ඇත. එමෙන්ම, විශ්වවිද්‍යාල ගණනාවක ආරාධිත දේශකවරියක ලෙස මායා සිය දිවියේ අවසන්භාගය තෙක්ම කටයුතු කළ අතර ඇය රචනා කළ කවි හා කෘතීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යයනයට ලක්වෙයි.

වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගූ කළු ජාතික ලේඛිකාවක හා කිවිඳියක ලෙස ඇය ලැබූ ඉහළම ගෞරවය වන්නේ 1993 බිල් ක්ලින්ටන් ජනාධිපති ලෙස දිවුරුම්දුන් අවස්ථාවේදී ඇගේ On the Pulse of Morning කවිය ඉදිරිපත් කරන්නට ලැබුණු ආරාධනාව විය හැකියි. මේ භාග්‍යය නිසාවෙන්ම වර්ගවාදයේ නාමයෙන් පැවති අධ්‍යාපනික, ආර්ථික සීමා මායිම් සමාජයෙන් අතුගා දැමිය යුතුයි යන පණිවිඩය ලෝකයේ අවධානයට ලක්කිරීමට ද ඇයට හැකිවිය. මීටපෙර මෙවැනි ඇරයුමක් ලැබ තිබෙන එකම කවියා වන්නේ රොබර්ට් ෆ්රොස්ට් පමණි. ජෝන් එෆ් කෙනඩි දිවුරුම්දුන් අවස්ථාවේදී ඔහුට මේ ගෞරවය හිමිවිය.

ඇය සිය පළමු කෘතියේදී සිටම ලේඛනයට පිවිසීමේ දී සුවිශේෂී ක‍්‍රමවේදයක් අනුගමනය කළාය. 

උදෑසනම අවදි වන ඇය හෝටල් කාමරයක නවාතැන් ගන්නීය. ඒ වනවිටත් ඇය ඇගේ උපදෙස් පරිදි හෝටල් කාමරයේ බිත්තියේ එල්ලා තිබෙන සියළුම ඡායාරූප ඉවත්කර තිබෙනවා. ෂෙරි බෝතලයක් පමණක් සමීපයට ගෙන සයනයේ වැතිරෙන ඇය දවස පුරාවටම ලේඛනයේ යෙදෙනවා. ඇයට කම්මැලි වුණු විට කෙටි විවේකයක් ගන්නට කාඞ් කුට්ටමක් හා බයිබලය ද පසෙකින් තබාගන්නා බව පසුකලෙක ඇය සම්මුඛ සාකච්ඡාවකට අදහස් දක්වමින් පවසා තිබුණි.  


සිය ජීවන රඟමඬලේ විවිධ භූමිකාවන් නිරූපණය කළ ඇය මියගොස් එළඹෙන මැයි 28 වන දිනට වසර දෙකක් සපිරෙයි.


‘‘නුඹලාගේ කටුක වදන් වලින් මට වෙඩි තබනු ඇත, නුඹලාගේ දෑස් වලින් මා කෑලි කෑලි වලට කපා දමනු ඇත, නුඹලාගේ ද්වේශයෙන් මා මරා දමනු ඇත, නමුත් සුළං පොදක් සේ මා නැවතත් නැගී සිටීවි’’ මායා ඇන්ජිලෝ