Monday, February 12, 2018

# Oriana Fallaci Alexandros Panagoulis ඔරියානා ෆලසි ඇලෙක්සැන්ඩ්‍රස් පනාගෝලිස් ඇලොකස්

Alexandros Panagoulis සටන්කරුවෙකු ගැන සටහනක්

මං, මේ නිහඬ බිත්ති වලට හඬ දුන්නා, ජීවය දුන්නා ඉතිං, ඒ බිත්ති මගේ ළබැඳියන් වුණා ‘තීන්ත හොයාගන්නේ කොතැනින්ද ?‘ ගාර්ඩ් මහත්තුරුන්ට දැනගන්න ඕන වුණා මේ සීතල සිරමැදිරි බිත්ති මගේ රහස සදාකල් රැක්කා හිටිහැටියේ කඩාවැදුණු කුලීහේවායෝ අහුමුළු වලට ඉව කර කර තීන්ත හොයන්න ගත්තා එක මොහොතකටවත් මගේ ශිරා වල තීන්ත සැඟව ඇතැයි උන්ට කොහොමටවත් හිතාගන්නට නොහැකි වූ නිසා ඒ ‘තීන්ත‘ මෙහෙයුම නිශ්ඵල වුණා (Alexandros Panagoulisගේ The Paint කවියෙනි. Vi scrivo da un carcere in Grecia, 1974)
සොයායන්නෙමි. ග්‍රීසියේ අඳුරු සිරකුටියක සැඟව ඇති ඔහුගේ රුධිරයෙන් ලියැවුණු කවි කොහිදැයි කියා. නොයෙක් වධ බන්ධන වලට ලක්වුණු ඔහුගේ සිරුරේ විඩාව බිඳකට හෝ මඟහරවා ගන්නට සැතපුණු සීතල පොළෝ තලයේ තවමත් ඒ උණුසුම රැඳී ඇතැයිද කියා. නැත, හමුවුණේ ඔහුගේ රුධිරයෙන් ලියවුණු කවි වැල් වල අඳුරු ඡායාවන් පමණක්මය. ........................................................................................................................ Alexandros Panagoulisගේ ග්‍රීසියේ දිවිගෙවූ දේශපාලඥයකු මෙන්ම කවියකු වෙනවා. ඒත්, බොහෝදෙනෙකු Panagoulis ව හඳුනන්නේ ආඥාදායක පාලනයක් ගෙන ගිය Georgios Papadopoulosගේ සැහැසිකම් මෙන්ම දූෂණ, වංචා වලට එරෙහිව හඬ නැගූ තැනැත්තෙකු ලෙසිනුයි. මෙහි කූට ප්‍රාප්තිය වූයේ Papadopoulos ව ඝාතනය කිරීමට Panagoulis තනිවම උත්සහ දැරීමත් එය අසාර්ථක වීමත්ය. සියතින්ම හැදූ බෝම්බයක් යොදාගෙන Papadopoulosව ඝාතනය කිරීමට 1968 අගෝස්තු 13 වැනි දා Panagoulis උත්සහ දැරූ අතර ඒ වෑයම අසාර්ථක වී ගිය තැන ඔහු මේ ආඥාදායක පාලකයාගේ රෙජීමයේ තවත් එක් ගොදුරක් බවට පත්වෙනවා. මේ ගැන පසුකලෙක Oriana Fallaci සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ, ‘මට කිසිම මිනිහෙක්ව මරාදමන්න වුවමනා වුණේ නෑ. කොහොමත්, මට කාවවත් මරා දමන්නත් බැහැ. ප්‍රජා පීඩකයෙක්ගේ අවසානය දකින්න මට ඕන වුණා‘ යන්නයි. සිය සිරගත ජීවිතය තුළ කායික මෙන්ම මානසික වධ බන්ධන වලට ද ලක්වන Panagoulis 1968 නොවැම්බර් 3 වැනිදා මිලිටරි උසාවියේදී නඩු විමසීමට භාජනය වෙනවා. කොහොම වුණත් ඔහුට Papadopoulosගේ සැහැසිකම් වලින් ගැළවෙන්නට හැකිවෙන්නේ නැහැ. 1968 නොවැම්බර් 17 වැනිදා National Resistance හි අනෙකුත් සාමාජිකයින් සමග Panagoulis ද මරණයට තීන්දු වනවා. මේ දණ්ඩනය ක්‍රියාත්මක වන තෙක් Aegina වෙත මේ පිරිස ගෙන යනවා. මේ ආඥාදායක පාලනයේ මර්දනකාරී ක්‍රියා පිළිවෙතට ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ල වෙන්නට ගන්නවා. මේ බලපෑම් හමුවේ Panagoulis ව ඝාතනය කිරීම නවතා දමා ඔහුව සිරගත කර තැබීමට නියම කෙරෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1968 නොවැම්බර් 25 වැනි දින Bogiati (S. F. B.) මිලිටරි බන්ධනාගාරයේ ඔහුව සිරගත කර තැබීමට නියම කෙරෙනවා. ජුන්ටාවේ පාලකයින් සමග හොඳ හිත ඇතිකර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන Panagoulis ඒ නිසාම කායික මානසික අඩන්තේට්ටම් වලට දැඩිව ලක්වෙනවා. 1969 ජූනි 5 වැනිදා සිරගෙයින් පලා යන Panagoulisව නැවත අල්ලාගන්නා මේ පාලකයින් Goudi කඳවුරේ ඔහුව තාවකාලිකව රඳවා තබනවා. නැවත කීපවරක්ම සිරගෙයින් පැනයාමට දරන උත්සහය හමුවේ මේ අකීකරු තරුණයාව Bogiati හි හුදකලා සිර මැදිරියක රඳවා තබන්නට ජුන්ටාවේ පාලකයින් තීරණය කරනවා. ඒ අතරතුර කාලයේදී පොදු සමාවක් ලබාගැනීමට ඔහුට අවස්ථාව හිමිවුණත් ඔහු ඒ අවස්ථාවන් සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මේ දරුණු පාලනය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීර්ණ වීමට දැරූ අසාර්ථක උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස වසර හතර හමාරක කාලයක් පුරා කායික මෙන්ම මානසික බධ බන්ධන වලට ද ලක්වන Panagoulis 1973 අගෝස්තු මස දී නිදහස් මිනිසෙකු වනවා. ඔහු වැනිම වුණු අනෙක් දේශපාලන සිරකරුවන් සියලුදෙනා ද මේ අතරට එක්වෙනවා. තමන්ව අතිදරුණු වධ බන්ධන වලට ලක්කළ පාලකයින්ට එරෙහිව අඛණ්ඩව සිය විරෝධතාව ප්‍රකාශ කිරීමේ අදිටනින් ස්වයං පිටුවහල් වීමක් ලෙස ෆ්ලොරන්ස් වෙත ගිය Panagoulisට එහිදී Oriana Fallaci නම් මාධ්‍යවේදිනිය හමුවෙනවා. සමහරවිට ඔවුන් දෙදෙනාගේම ජීවිතයේ සුන්දරම සමය මෙය වන්නට ඇති.
මේ හමුවත් තවත් එක් අහම්බයක් විය හැකි වුවත් Orianaට අනුව නම් ඔහුව හමුවීම සැබැවින්ම අහඹුවක් නොවන්නට ඇති. එවකට L'Europeo සඟරාවේ සේවයේ යෙදුණු Orianaගේ මිතුරියක් ඇයට පවසන්නේ Panagoulis සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකරන්න තමන්ට අවස්ථාව ලැබී තිබෙන බවයි. ‘ඔයා නෙමෙයි, මමයි එයාව ඉන්ටර්වීව් කරන්නේ‘, මාස හයක් තිස්සේ උත්සහ දරලා ජර්මානු චාන්සලර් Willy Brandt සමගින් යොදාගෙන තිබුණු සම්මුඛ සාකච්ඡාව අවලංගු කරන උමතු Oriana, Panagoulisව හමුවෙන්න ඇතැන්ස් වෙත යනවා. මේ දෙදෙනාගේ පළමු හමුවෙන් හරියටම දවස් දෙකකට පස්සේ ඔවුන් පෙම්වතුන් බවට පත්වෙනවා. නොයෙක් කරදර මැද්දේ අවුරුදු තුනක් පුරාවට ඇණුම්, බැණුම් වගේම ආදරය මැද්දේ මේ දෙදෙනා ජීවත් වෙනවා. පසුකලෙක Oriana රචනා කළ A Man චරිතාපදාන ආකෘතියකින් ලියැවුණු කෘතිය තුළ දිගහැරෙන්නේ ඔවුන් දෙදෙනා අතර පැවති සමීප හිතවත්කමේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් ගැනයි. මේ සමයේදී ඇය ගැබ්බර වුවත් මව් පදවිය ලබන්නට හැකිවන්නේ නැහැ. ඒ ඇගේ නොඉපදුණු දරුවාගේ වියෝව හේතුවෙනුයි. සමහර මාධ්‍ය එකල මේ ගැන වාර්තා කර තිබෙන්නේ Panagoulis වෙතින් ඇගේ උදරයට එල්ල වුණු දරුණු පහරක් නිසා දරුවා මිය ගිය බවයි. ඒ කෙසේවුවත්, Letter to a Child Never Born කෘතියේදී Oriana මව්වත්කම ගැන මෙහෙම සඳහනක් කරනවා. ‘මිනිහෙක්ට දරුගැබක් දරන්නට නොහැකි නිසා දරුවෙකු කුසේ හොවාගෙන ඉන්න ගැහැණියක් ගැන මිනිහෙක්ට හරි හැටි තේරුම්ගන්න හැකිවෙන්නේ කොහොමද ?. ගැහැණියෙක්ට දරු ගැබක් දරන්නට හැකිවීම ඇය ලැබූ මහත් භාග්‍යයක්ද ? නැත්නම් ඇගේ ජීවිතයට පැනවෙන සීමාවක්ද ?. හ්ම්...ඊයේ වනතුරු මං ඒ ගැන හිතුවේ එය භාග්‍යයක් නැත්නම් වරප්‍රසාදයක් විදියටයි. අද මං ඒ ගැන හිතන්නේ සීමාවක් නැත්නම් යැදීමක් ලෙසයි. එක් අයෙකු වෙනුවට ඔබ දෙදෙනෙකු බව දැනහිඳීම, ඔබේ සිරුරේ තවත් ජීවිතයක් දරා හිඳීම හැබෑවටම තේජාන්විත බව හැඟෙන කරුණක්. සමහරවෙලාවට මේ අත්දැකීම නිසාම ඔබට විජයග්‍රාහී බවක් දැනේවි. ඒ විජයග්‍රහණයේ අසිරිය විඳගන්නට ඔබට නිතරම දැනෙන කායික පීඩාව වත්, නව ජීවය වෙනුවෙන් කැපකරන්නට සිද්ධවෙන වැඩකටයුතු වත්, අතහැර දමන්නට සිද්ධවෙන නිදහස වත්, මේ කිසිවක් ඔබට බාධාවක් නොවුණු ඇති‘ Panagoulis ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත වුණු ග්‍රීසියේ Center Union - New Forces හි සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. මේ සමයේදී ඔහු ජුන්ටා පාලනය සමග සමීප සබඳතා පැවැත්වූ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයින් කීපදෙනෙකුටම එරෙහිව චෝදනා පෙළක් ගොනුකරන්නට සමත් වෙනවා. අදාළ දේශපාලඥයින් ජුන්ටාව සමග විවෘත හෝ රහස්‍ය සබඳතා පැවතුණු බවට ඔහු මෙහිදී චෝදනා නගනවා. Panagoulis මෙහිදී සෘජුවම චෝදනා එල්ල කර සිටින්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යධූරය ඉසිලූ Evangelos Averoff ඇතුළු කීපදෙනෙකු වෙතයි. පසුකාලීනව ඇතිවූ මතවාදයන් ද සමග සිය පක්ෂයෙන් ඉල්ලා අස්වුවද ඔහු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන නියෝජිතයකු ලෙස කටයුතු කළේය. මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වුණු බව ද පැවසෙනවා. 36 හැවිරියේ වියේ පසුවුණු Panagoulis 1976 මැයි 1 වැනිදා ඇතන්ස්හි වෝලිග්මේන්ස් ආවේහි සිදුවූ මෝටර් රථ අනතුරකින් මියයනවා. හැබෑවටම මෙය මෝටර් රථ අනතුරක් නොවන බවත් සැලසුම් කරන ලද ඝාතනයක් වන බවත් බොහෝදෙනාගේ අදහසයි. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඔහුගේ රථය පිටුපසින් හඹා ආ බවත් එය බලෙන් මෙන් හැපී ඔහුව අනතුරට ලක්කළ බවත් පැවසෙනවා. මෙය හදිසි අනතුරක් බව පිළිගන්නට Oriana අකමැති වෙනවා. මෙය සැලසුම් කරන ලද ඝාතනයක් යැයි පවසන්නට හේතුව වෙන්නේ ඔහු ජුන්ටාවේ මිලිටරි පොලීසිය සම්බන්ධ ලිපි ගොනු (E.A.T - E.S.A) ප්‍රසිද්ධියට පත්කිරීමට පෙර මේ ඝාතනය සිදුවීම නිසයි. මේ සිද්ධිය ග්‍රීසියේ මාධ්‍ය මගින් දැඩි ලෙස කතාබහට ලක්වුණා. පසුකලෙක PEOPLE සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවට එළඹෙමින් Oriana සිය හඬ අවදි කරන්නේ මෙලෙසින්.‘ඔහුව ඝාතනය කරපු වෙලාවේදී ග්‍රීසියේ මිලිටරි පොලීසියේ (ESA) රහස්‍ය ලිපිගොනු ඔහු ළඟ තිබුණා. මේ ලිපිගොනු අද වන විට බලයේ රැඳී සිටින Papadopoulosගේ ජුන්ටාවට සෘජුවම සම්බන්ධයි. මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන දවසේ රැයට කලින් ඝාතනය කළා. ඒක හැමඅතින්ම සංවිධානය කරපු ව්‍යාජ මෝටර් රථ අනතුරක්.‘ සිය යෞවන අවදියේම දිවියෙන් සමුගන්නා Alexandros Panagoulis දේශපාලනයට අවතීර්ණ වීමේ පදනම ගැනත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඇතන්ස් ආසන්නයේ පිහිටි Glyfada හි ඔහු උපත ලබන්නේ ග්‍රීක යුද හමුදාවේ සේවය කළ Vassilios Panagoulisගේ හා ඔහුගේ බිරිඳ වූ ඇතීනාගේ දෙවැනි පුතු ලෙසිනුයි. ඇතන්ස්හි ජාතික තාක්ෂණික සරසවියේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලැබූ Panagoulisගේ සොහොයුරා ග්‍රීක හමුදාවේ නිළධාරියකු ලෙස සේවය කළ අතර ඔහු ද රෙජීමයේ ගොදුරක් බවටත් පත්වුණා. තරුණ අවදියේ ඉඳන්ම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් වලින් ආභාසය ලැබූ ඔහු youth organization of the Center Union පක්ෂය (E. K.), නැතිනම් O.N.E.K සමග සම්බන්ධ වෙනවා. මෙහි නායකත්වය දැරුවේ Georgios Papandreou (Sr.) පසුකාලීනව මෙම සංවිධානය Hellenic Democratic Youth (E.DI.N.) නමින් නම් කෙරුණා. Bogiati හි සිරගත ජීවිතයක් ගතකරන අවදියේදී Panagoulis සිය සිරමැදිරියේ බිත්ති වල හා කුඩා කොළ කෑලි වල සිය කවි රචනා කළ බව පැවසෙනවා. මේ කවි රචනා කරන්න ඔහුගේම රුධිරය තීන්ත විදියට භාවිත කළ බව මේ ලිපියේ මුලින්ම දක්වා තිබෙන The Paint කාව්‍යයේ ද සඳහන් කර තිබෙනවා. මේ කවි නොනැසී ආරක්ෂා කරගන්නට ඔහු අපූරු උපක්‍රමයක් යොදනවා. ඒ සිරමැදිරියේ සිටි අනෙක් සගයින්ට ඔහුගේ කවි නැවත මතක් කරදෙන ලෙසත් ඒවා නැවත බිත්ති මත සටහන් කර ලෙස පැවසීමත් තුළිනුයි. සිරගත දිවිය ගතකරන අවදියේදීම 1972 දී Palermo හිදී Altri seguiranno: poesie e documenti dal carcere di Boyati (Others will Follow: Poetry and Documents of the Prison of Boyati) නමින් සිය පළමු කාව්‍ය සංග්‍රහය පළකළේය. ඉතාලියේ ප්‍රකට දේශපාලඥයකු වූ Ferruccio Parri හා ඉතාලි ජාතික සිනමා අධ්‍යක්ෂවරයකු හා බුද්ධිමතකු වූ Pier Paolo Pasolini මේ කෘතියේ හැඳින්වීම සම්පාදනය කර තිබෙනවා. කාව්‍යය වෙනුවෙන් පිදෙන Viareggio International Prize of Poetry (Premio Viareggio Internazionale) සම්මානය දිනාගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. සිරගත ජීවිතයෙන් මිදෙන Panagoulis සිය දෙවන කාව්‍ය සංග්‍රහය Vi scrivo da un carcere in Grecia (I write you from a prison in Greece) මිලාන් හිදී පළකරන අතර Pasolini මෙහි හැඳින්වීම සම්පාදනය කර තිබෙනවා. ‘ඔබේ ඇසගින් වැටෙන කඳුළු බිඳු බලාපොරොත්තු කඩවූ බවට කරන ඉඟියක් බව කිසිදා විශ්වාස නොකරන්න. නෙතගින් වැටෙන කඳුළු බිඳු කියන්නේ බලාපොරොත්තුයි. ඒ සටන වෙනුවෙන් වූ බලාපොරොත්තුයි‘Alexandros Panagoulis සිය ජීවිත සටන ගැන පවසන්නේ එලෙසිනුයි.
සටහන - වින්ධ්‍යා ගම්ලත්

No comments:

Post a Comment