Thursday, May 31, 2018

2019 වසරේදීත් නොබෙල් සාහිත්‍ය සම්මානය ලබානොදෙන ලකුණු

May 31, 2018 0 Comments
අපකීර්තියට පත්ව ඇති ස්වීඩන ඇකඩමිය තුළ යළි විශ්වාසය ස්ථාපිත නොකළහොත් 2019 වසරේ සාහිත්‍ය වෙනුවෙන් වූ නොබෙල් සම්මානය ලබානොදීමට ඉඩ ඇති බව නොබෙල් සම්මාන කමිටුවේ විධායක අධ්‍යක්ෂවරයා වන ලාර්ස් හේකින්ස්ටන් අනාවරණය කර ඇත. ස්වීඩන් ඇකඩමිය පසුගිය මැයි 4 වැනිදා තීරණය කළේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභියෙකුගේ නම නිවේදනය කළ ද 2018 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබානොදෙන බවයි. ස්වීඩන් ඇකඩමියේ සාමාජිකාවක වන කත්‍රිනා ෆ්‍රොස්ටෙන්සන්ගේ සැමියා වන ඡායාරූප ශිල්පී ජීන් ක්ලෝඩ් ආර්නෝල්ඩ් විසින් සිදුකරන ලද ලිංගික අපචාර ක්‍රියා, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනාවන් මෙම තීරණය ගැනීමට හේතු වුණි.
කත්‍රිනා හා ආර්නෝල්ඩ් ආර්නෝල්ඩ් සම්බන්ධයෙන් ස්වීඩන් ඇකඩමිය කටයුතු කළ ආකාරයත් සමගින් ස්වීඩන් ඇකඩමියේ සාමාජිකයින් දෙදෙනෙකු සිය ඉල්ලා අස්වීම භාරදුන් අතර අවසානයේදී සාමාජිකයින් 12 දෙනෙකු සිටිය යුතු සාමාජික පිරිසෙන් 10 දෙනෙකු පමණක් ඉතිරි විය. නොබෙල් සාහිත්‍ය සම්මානය පිළිබඳ ජනතාව අතර ඇති විශ්වාසය පළුදු වීමට යා නොදී 2019 වසරේදී නොබෙල් සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාපත් කිරීමට නියමිත බව ප්‍රකාශ විය. එය ද මේ වනවිට අවිනිශ්චිතය. The Guardian ඇසුරිනි

Sunday, May 27, 2018

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි – ෆ්‍රීඩා කාර්ලෝ

May 27, 2018 0 Comments
තමන්ගේ කුසින් බිහිවෙන්නට ඉඳපු, නමක් නොතිබුණු පුංචි සිඟිත්තාගේ කළලය ඉදිරිපිට අසීරුවෙන් මෙන් හිඳගෙන පින්සල් තුඩින් සීරුවට චිත්‍රයක් මවන ගැහැණියක්. ඒ නෙත් කොණින් ගලායන්නට තවත් කඳුළු නම් ඉතිරි වෙලා නැහැ. මේ රෝහල් සයනය දැනටමත් ඇගේ කලාගාරය බවට පත්වී හමාරයි. ඇසිල්ලක විරාමයක් නැතිවම ඇය, ඇය වැනිම වුණු තවත් සුවහසක් ගැහැණුන්ගේ කතාව චිත්‍රණය කරනවා. එකිනෙක යා වුණු දෙබැම ඇගේ මුහුණට රෞද්‍ර බවක් එක්කළත් කොහේ දෝ තැනක වසන් වී තිබෙන ශෝකයක සේයාවක් ඒ දෙනෙතේ කොතැනක හෝ සනිටුහන් වී තිබෙන බව නම් නිසැකවම කිව හැකියි. ඇය ෆ්‍රීඩා කාර්ලෝ.
ඇගේ අතින් සිතුවම් වුණු ඒ චිත්‍රය Henry Ford Hospital (1932) නමින් හැඳින්වෙනවා. ලෙයින් තෙත් වී ගිය රෝහල් සයනයක වැතිරී හිඳින නිරුවත් ගැහැණියක්, රතු පැහැ කම්බි පහකින් ඇගේ ගැබට සම්බන්ධ වී තිබෙන කළලයක්, ගොළුබෙල්ලෙකු ඇතුළු වස්තූන් කීපයක් හා කාර්මීකරණයෙන් සවිබල ගැන්වුණු මෙක්සිකෝව එහි පසුබිමින් දැකගන්නට හැකියි.
ලොව එළිය දකින්නටත් මත්තෙන් අකාලයේදී අහිමි වී ගිය දරුවා ගැන පසුකලෙක ඇය සිහිපත් කරන්නේ, ‘‘මං දස දහස් වාරයක් ඇඬුවා. ඒත්, ඒක ඉවරයි. දරා සිටි කළලය අතහැරීම හැර වෙන කිසිම විසඳුමක් මට තිබුණේ නැහැ. මං ගැන හොඳින්ම දන්නේ මා පමණයි. බොහෝවිට මං ගතකළේ හුදකලා ජීවිතයක්. මම මාවම චිත්‍රණය කළේ ඒ නිසයි. මගේ නිර්මාණ වල නිරූපණය වී තිබෙන්නේ මගේ ජීවිතයේ යථාර්තයයි. මා දන්නා එකම දේත් එයම පමණයි. සිහියට නැගුණු විවිධාකාර සිතුවිලි මගේ නිර්මාණ තුළින් දැකගන්නට හැකියි‘‘ යන්නයි. මෙක්සිකෝවේ ඉපදෙන ෆ්‍රීඩා හය හැවිරිදි වියේදී පෝලියෝ රෝගයෙන් පීඩා විඳින්නට වුණු අතර දිවියේ 18 වන කඩඉමේදී මාරාන්තික අනතුරකට මුහුණපානවා. ජීවිත කාලය පුරාම වරින් වර ශල්‍යකර්ම ගණනාවකට මුහුණ දුන්නත් මේ අනතුරින් පසුව ඇතිවුණු ආබාධයන් ඇගේ ජීවිතයේ අවසානය තෙක්ම විඳ දරාගෙන හිඳින්නට සිද්ධවෙනවා. ෆ්‍රීඩාගේ ජීවිතයේ අවසාන භාගය ඇඳටම පමණක් සීමා වෙන්නෙත් ඒ නිසයි. වෛද්‍ය උපදෙස් පවා නොතකමින් තමන්ගේ දුර්වල සිරුර අමාරුවෙන් වුණත් ඇඳකට වාත්තු කරගෙන ජීවිතයේ අවසාන භාගයේදී ඇගේ උපන් බිම වුණු මෙක්සිකෝවේ පැවැත්වුණු ඇගේම චිත්‍ර ප්‍රදර්ශනයට පවා යන්නේ ගිලන් රථයකින් රැගෙන ගිය ඇඳක වැතිරීගෙනයි. ෆ්‍රීඩාගේ ජීවිතයේ තරුණ අවදියේදී මුහුණදෙන්නට සිද්ධ වුණු රිය අනතුර ජීවිතයේ වැඩි කලක් ඇයව ඇඳකට සීමා කර තැබුවත් ෆ්‍රීඩා ලොවක් හැඳිනගත් චිත්‍ර ශිල්පිනියක් බවට පත්කරන්න සමත් වෙන්නෙත් මේ අත්දැකීමමයි. ලෝක සම්භාවනාවට පාත්‍ර වුණු කලා කෘති 50 කට අධික ප්‍රමාණයක් ඇගේ අතින් නිර්මාණය වෙනවා.
‘ඔව්, ඇත්තටම මේ සිද්ධිය මගේ ජීවිතේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා. මං සුවපත් වීමේ ක්‍රියාවලියේ කොටසක් විදියට අනික් හැමදේකටම වඩා මං විඳපු පීඩාව නිදහස් කරගන්න වුවමනා වුණා. චිත්‍ර අඳින්න යොමුවෙන්නේ ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් විදියටයි. එය මගේ වේදනාව අඩුකරන්න විශේෂඥ වෛද්‍යවරුන් දුන්නු වේදනා නාශක වගේ නොවෙයි. ඒ වේදනා නාශක දරාගන්න බැරි තරමට අසීරු ඒවා වුණා වගේම ඒ නිසා දැඩි වේදනා විඳින්නත් සිද්ධ වුණා. අවුරුද්දක් ගතවෙන කල් ඇඳෙන් බහින්න හැකිවුණේ නැහැ. ඒත්, මං පුංචි මාර්ගයක් හොයාගෙන ඒ ඔස්සේ ඉස්සරහට ගියා. වාසනාවකට වගේ මගේ චිත්‍ර නිසාම ජීවිතේ බේරුණා
බස් රථ අනතුරින් පසුව මං මුහුණදුන් අඛණ්ඩ වේදනාවෙන් පවා මගේ නිර්මාණ සවිබල ගැන්වී තිබෙනවා. මට දරුවන් ලබන්නට නොහැකියි කියන කාරණයත් සමගින් මේ සිතුවම් අත්‍යන්තයෙන්ම වර්ණවත් වී තිබෙනවා. ගැහැණියකට තමන්ගේ ජීවිතයේදී මුහුණදෙන්නට සිද්ධවෙන අතිශය දරුණුතම අත්දැකීම වෙන්නේ එයයි. ඇයට කෙදිනකවත් මවක් වෙන්නට නොහැකි බව දැන දැනත් ජීවත් වීම කෙතරම් අසීරුද යන්න වටහාගන්නට හැකිවෙන්නේ තවත් ගැහැණියක්ටම පමණයි. ඒ හැඟීම හදවතින්ම නැගෙන ප්‍රබල ආශාවක්. මං තාමත් දෙවියන්ගෙන් අහන්නේ මට ඒ අයිතිය නොලැබුණේ ඇයි කියලා. ඒත්, සමහරවිට මං එවැනි අභියෝග, බාධක වලට මුහුණනොදුන්නා නම් මගේ අතින් නිර්මාණ බිහිනොවෙන්න ඉඩ තිබුණා.‘‘ ෆ්‍රීඩා ඇගේ අතීතය සිහිපත් කරන්නේ එලෙසයි. ජීවිතයේ විසි දෙවැනි කඩඉමේදී මෙක්සිකෝවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ බිතු සිතුවම් ශිල්පියෙකු වුණු දියෝගෝ රිවේරා සමගින් ඇය විවාහ වෙනවා. විවාහ දිවියට ඇතුළත් වෙද්දි දියෝගෝ පසුවුණේ 42 හැවිරිදි වියේ යි. දියෝගෝගේ වෙනත් සම්බන්ධකම් නිසාවෙන් ෆ්‍රීඩාට කඳුළු සලන්නට සිද්ධ වුණු අවස්ථා ද නැතිවාම නොවෙයි. ඇයව දැඩි කම්පනයකට ලක්කරන්නේ ඇගේම සොහොයුරිය හා දියෝගෝ අතර පැවති සම්බන්ධයයි. කෙසේවුවත්, ෆ්‍රීඩා – දියෝගෝ අපූරු සුසංයෝගයෙන් ඵෙතිහාසික අධියථාර්තවාදී චිත්‍ර නිර්මාණ වල වෙනසක් ඇතිවෙන්නට පටන්ගන්නවා. පූර්ව කොළොම්බියානු යුගයේදී පැවති මිත්‍යා කථා හා ආගමික සංකේත ඔවුන්ගේ නිර්මාණ වල තේමාව බවට පත්වෙද්දී ෆ්‍රීඩා ඇඳි චිත්‍ර පැරීසියේ පවා සම්භාවනාවට ලක්වෙනවා. බොහෝ විට ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණය සංකේතාත්මක හා අවිදග්ධ අධිතාත්විකවාදයේ නැගීමක් ලෙසින් නම්කෙරෙනවා. 20 වන සියවසේ පහළ වූ විශිෂ්ඨතම ආලේඛ්‍ය චිත්‍ර ශිල්පිනිය ලෙස නම් ලබන්නේ ද ෆ්‍රීඩා. My Birth (1932), Memory – the Heart (1937), What the Water Gave me (1938), The Two Fridas (1939), Self-Portrait with Thorn Necklace and Hummingbird (1940) හා The Broken Column (1944) ඇය අතින් හැඩගැන්වුණු සිතුවම් කීපයක්.
ජීවිතයට තදින් බලපෑ සිද්ධි මොනවාදැයි ඇගෙන් විමසන ලද අවස්ථාවකදී ‘‘දියෝගු වෙනුවෙන් මගේ හිතේ තිබුණු ආදරය, මට මුහුණදෙන්නට වුණු බස් රථ අනතුරින් පස්සේ කකුලේ ඇතිවුණු බකල් ගැහීමත් සමග දැනෙන්න ගත්ත තදබල වේදනවා හා මගේම දරුවෙකු හැදීමේ නොහැකියාව‘‘ යැයි ඇය පවසන්නේ ජීවිතයේ හිමිවීම් වලට වඩා අහිමිවීම් මිනිහෙක්ව තව තවත් ශක්තිමත් කරන බව සිහිපත් කරමිනුයි. 1907 ජූලි 6 වැනිදා මෙලොව එළිය දුටු ඈ ජීවිතයේ 47 වන කඩඉම පසුකර සතියක් ඉක්ම ගිය තැන 1954 ජූලි 13 වැනිදා සිය ජීවිතය හැරයනවා. 1970 දී නැගී ආ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ෆ්‍රීඩාව හඳුන්වන්නේ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන් සංකේතයක් ලෙසිනුයි. මිය යන මොහොතෙදිත් මුහුණේ හිනාවක සේයාවක් ඉතිරි කරමින් නික්මී ගිය ෆ්‍රීඩා ජීවිතයේ වැඩි කාලයක් දෙපයින් ඇවිදිනවට වඩා එක් තැනකට සීමා වෙලා හිටියත් ජීවිතයේ උමතුව ගැන කියන්නේ මෙලෙසයි.
‘‘හැමවිටම පිස්සු වැඩකරන්න මං කැමතියි. මල් වලින් සැරසිලි කරන්න, ආදරය, වේදනාව හා මොළොක් බව චිත්‍රණය කරන්න, අනික් අයට මෝඩයෙක් වගේ පේන විදියට හිනාවෙන්න කැමතියි. එතකොට, ‘එයාට පිස්සු‘ කියලා මාව දකින අනික් හැමෝම කියාවි. අනික් හැමදේටමත් වැඩියෙන් මං, මගේ මෝඩකම් ගැන හිත හිත හිනාවෙන්න කැමතියි. ජීවත්වෙන අතරතුරදීම මගේ ලෝකය ගොඩනගමින් ලෝකයේ ඉන්න අනික් හැමෝම සමග එකඟතාවකට පැමිණෙන්නට කැමතියි. දින, පැය, මිනිත්තු විදියට ගෙවීයන හැම මොහොතක්ම මට වගේම අනික් හැමෝටමත් අයිතියි. ඉතිං, මගේ මේ උමතුව ‘යථාර්තයෙන්‘ නික්මී නොයාවි‘‘ යන්නයි.

Friday, May 25, 2018

පරිකල්පනය එක්තරා විදියක පුහුණුවක්, සමහර විට මානසික රිදවාගැනීමක් - Stephen King

May 25, 2018 0 Comments
සුප්‍රකට The Dark Tower කතා මාලාව, Stand by Me,The Shawshank Redemption, and The Mistආදියේ රචකයා වන ස්ටීවන් වයස අවුරුදු 18 දී පමණ ඉඳන් මත්පැන් වලට දැඩි ඇල්මක් දැක්වූවෙකි. මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ඔහු විසින් නවකතා 54 ක්, කෙටිකතා 200 කට අධික සංඛ්‍යාවක් ලියැවී ඇත. කලාවට කළ මෙහෙවර අගයමින් ඇමරිකාවෙන් පිදෙන ජාතික පදක්කම ද, ලෝක ෆැන්ටසි සම්මානය, බ්‍රෑම් ස්ටෝර්කර් සම්මානය ආදිය හිමිකරගන්නට සමත් වුණු ස්ටීවන්‘‘මරිජුවානා නීතිගත කළ යුතු අතරම එය කර්මාන්තයක් බවට ද පත්කළ යුතුය‘ යන ස්ථාවරයේ පසුවූවේය. ලොව වැඩිම අලෙවියක් ඇති ලේඛකයෙකු ලෙස පසුකාලීනව දැඩි මත්ද්‍රව්‍ය ලෝලියෙකු බවට පත්වෙන ස්ටීවන් සිය අතීතය ගැන ප්‍රසිද්ධියේ අනාවරණය කරන්නේ 2014 වසරේදී රෝලින් ස්ටෝන් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදීය. පහතින් පළවන්නේ ඉන් උපුටාගත් කොටස් කීපයකි. උදේ අවදි වුණු වෙලාවේ ඉඳන් ඔබ ලේඛනයේ යෙදෙන්නේ කොහොමද ? සාමාන්‍යයෙන් මං උදේ කෑම අරගෙන හැතැප්ම තුනහමාරක් විතර ඇවිදිනවා. ආපහු ඇවිල්ලා මගේ ඔෆිස් කාමරයට වැදෙනවා. මං ලියන හැම ලේඛනයක්ම තියෙන්නේ මේ කාමරයෙයි. අවසානෙටම යොදපු සටහන මේ ලිපි ගොනුවේ උඩින්ම තියෙනවා. බොහොම ආසාවෙන් මේ කඩදාසි කොළේ දිහා බැලුවත් ඒ හැඟීම හරියට ටැක්සියක ගමනක් යනවා වගෙයි. ලියලා නවත්වපු දේවල් ආපහු කියවලා ඒකේ සමහර තැන් සංස්කරණය කරලා රසිකයින් අතට පත්කරන්නට උත්සහ ගන්නවා. මුළු දවසෙම ලේඛනය වෙනුවෙන් යොදවන්නේ නැහැ. සමහරවිට පැය දෙකක් විතර ලියලා ඒක කපලා කොටලා මුද්‍රණය කරලා තියාගන්නවා. දිනපතාම ලේඛනයේ යෙදෙනවාද ? ඔව්, හැමදාම. ඒ වගේම හැම සති අන්තයකමත් ලේඛන කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මම වේගයෙන් ලියනවා. වයස්ගත වීමත් සමග ලියන වේගය අඩු වෙනවා ලේඛනය ඇබ්බැහියක් බව ඔබට දැනෙනවද ? ඔව්, ඇත්තටම. මේ වෙද්දි බොහොම අඩුවෙන් කරලා නමුත් හොඳ ප්‍රතිඵලයක් කාර්යයන් කීපය අතරින් එකක්. සාමාන්‍යයෙන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරලා ටික වෙලාවක් ගතවෙද්දි ඒ බව දැනෙන්නේ අඩුවෙන්. ඒකත් හොඳ දෙයක් වුණාට ඇත්තටම ඒක හිතට තදින් බලපාන අතහරින්නට නොහැකි හැසිරීමක්. මාස හයක් තිස්සේ එකම දේ ලියලා ඒකෙන් පුංචි දෙයක් එළියට ගන්නට හැකියි. ඊට පස්සේ දවස් 10-12 ඇතුළත හැමදේම ඉවරයක් කරන්න උත්සහ ගන්නවා. ඒත්, මේ කාලය ඇතුළතදී මගේ බිරිඳත් පිස්සු වැටෙනවා. ‘ගෙදරින් එළියට යන්න, එළියට ගිහිං මොනාහරි කරන්න කියලා ඇය කෑගහනවා. ඉතිං මම ටීවී බලනවා. ගිටාර් එක ප්ලේ කරනවා. අවසානේ රෑට නින්දට ගියාම පිස්සු විකාර හීන පේන්න ගන්නවා. කතන්දර ලියන්න අපි ළග තියෙන යාන්ත්‍රික ක්‍රියාවලිය නතර වෙලා නැතිනිසා ඒවා බොහොම සුන්දර විදියේ හීන වෙන්නේ නැහැ පරිකල්පනය මිනිස්සුන්ට වඩා සක්‍රීය බව ඔබ හිතනවාද ? මං දන්නේ නැහැ. ඒක එක්තරා විදියක පුහුණුවක්. පරිකල්පනය කරන සමහර දේවල් නිසා රිදෙන්න ගන්නවා. සමහරවිට, අපේ ඔළුව වුණත් රිදෙන තත්ත්වෙට පත්වෙනවා. ශාරීරික වේදනාවන් නැතිවුණත් මානසික වශයෙන් රිදවීම් වලට ලක්වෙනවා. හැම මිනිහෙක්ටම ඒ දරාගැනීමේ හැකියාව තිබුණත් හැම කෙනෙක්ම ඒ තරම් දියුණු තත්ත්වෙක ඉන්න බව විශ්වාස කරන්නේ නැහැ. ඔබ කියන කතාව ඇත්ත වුණත් ඔබ තරම් අපූරු පරිකල්පන හැකියාවක් අන් අයට නැහැ ? කොලේජ් යන කාලේ ඉඳන් නවකතා හා වෙනත් කතා ලිව්වා මට මතකයි. මේ අතරින් සමහර ඒවා මුද්‍රණය කෙරුණා. සමහර ඒවා කවදාවත් මුද්‍රණය වුණේ නැහැ. සමහර වෙලාවට කියාගන්න ගොඩක් දේවල් මගේ ඔළුව ඇතුලේ තිබුණා, ඒ වගේ අවස්ථාවකදී ඔළුව පුපුරාවි කියලත් හිතුණු අවස්ථා තියෙනවා. මේ හිතුවිලි වලට එළියට එන්න අවසරයක් ඕන බව වගේ හැඟීමක් හැඟුණා. ඔළුවේ හිරකරගෙන ඉන්න කතන්දර එක පාර එළියට ආ යුතු බවත් තව බොහෝ දෑ හිතේ තිබුණත් ඒවා එළියට නොආ බව හැඟුණා. ඔබ නිර්මාණය කළ Jamie චරිතය ගැන සිහිපත් කළොත් ? Jamie මෝටර් සයිකල් අනතුරකින් පස්සේ මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙනවා. මටත් ඒ විදියේ දැඩි ඇබ්බැහියක් තිබුණා. මට මතක විදියට කොලේජ් කාලේ ඉඳන්ම මට මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න තිබුණා. මං බොන්න පටන්ගත්තේ අවුරුදු18 දී යි. ආපසු ලබාදිය හැකි මත්පැන් ටින් හා බෝතල් සම්බන්ධ නීතිය ඉදිරිපත් කළ පළවෙනි ප්‍රාන්ත රජය Maine බවට පත්වුණු කාලේ ඉඳන්ම මේ දැඩි ඇබ්බැහිය තිබුණා. ගෙදර වෙන කිසිම කෙනෙක් බොන්න ඇබ්බැහි වෙලා තිබුණේ නැහැ. මං විතරයි. මගේ බිරිඳ පානය කළේ වයින් විතරයි. ඒ 78 – 79 විතර කාලේදී. මොකද ඒ කාලේ අලුත් නීතියක් ගෙනාවා හිස් වුණු මත්පැන් බෝතල් ආපහු අරගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දානවා කියලා. ඉතිං, මං එක දවසක් බියර් කෑන් ගොඩගහලා තියෙන ගැරේජ් එකට මහ රෑ ගිහිං බියර් කේස් එකක් විතර බිව්වා. ‘මං බේබද්දෙක් නේද ? ‘කියලා මට හිතුණා. කවුරු හරි මට කිව්වා නම් මං වැඩියෙන් බොනවා කියලා ඒ කතාව නවත්තලා දාලා මං කියාවි මට ඔය පුරුද්ද අතෑගන්න බැහැ කියලා.
මේ ඇබ්බැහිය අතරට සැර මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද ? 1978 දී හෝ ඊට ආසන්න කාලයේදී මට තේරුම් ගියා බොද්දි මට පාලනයක් නැති බව. මගේ විශ්වාසය වුණේ මේ ඇබ්බැහිය මට පාලනය කරගන්නට හැකි වේවි කියලා. නමුත්,ඇත්ත වුණේ මට කොහොමටත් මේක පාලනය කරගන්න නොහැකි වුණු එකයි. ඔය ඔබ කියන්නේ කොකේන් ගැන ? ඔව්, කෝක්. 1978-1986 කාලේ විතර වෙන තෙක්ම මං දැඩිව ඇබ්බැහි වෙලා හිටියා ඔබ කොකේන් ගැන ලිව්වද ? ඔව් ඇත්තටම. වෙරිවෙනතෙක් බීම හා කෝක් අතර වෙනසක් තියෙනවා. බීලා වෙරිවෙනකල් මට ඉන්න පුළුවන්. නැත්නම්, කිසිම දෙයක් නොබී ඉන්නත් පුළුවන්. ඒත්, මං නිතරම කෝක් පාවිච්චි කළා. ඒ කාලේ ඔබේ දරුවන්ගේ කුඩා අවදිය. ඔබේ හැම වගකීමක්ම ඉටුකරන අතරතුරදී මේ රහස රැකගෙන හැමදේම සමබරව කරගෙන යන්න ඔබේ හිසට වදයක් වෙන්න ඇති ? මට මතක නැහැ. ඇත්තද ? මොකද ඒ කාලේ ගැන පැහැදිලි මතකයක් මට නැහැ. ගොඩක් මිනිස්සු එක්ක කාලය ගතකළේ නැහැ. ඒ වගේම මම කල්ලි ගැහිලා බොන කෙනෙක් නෙමෙයි. මං වගේම බූරුවන්ගෙන් බාර් පිරී ඉතිරී ගිහිං තිබුණු නිසා මං ඒවට ගියෙත් නැහැ. මං තාමත් උත්සහ ගන්නේ ඔබ මීට පෙර පැහැදිලි කරපු මත්පැන්, මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වී හිටිය වසර 8 ක කාලය ගැන තේරුම්ගන්නයි. හොඳම අලෙවියක් ඇති කෘතීන් රචනා කරන අතරතුර පවුල ගැන නිතරම හොයා බලන කෙනෙක් විදියට මේ කාලය ගතවුණු අන්දම ගැන ආයෙත් සිහිපත් කළොත් ? ඔව්, ඇත්තටම මට ඒ ගැන මේ මොහොතේදී නිශ්චිතව කියන්න බැහැ. නමුත්, එවැනි අවස්ථාවකදී ඔබ ඔබට අවැසි දේ කරනවා. නමුත්, ඊට ඇබ්බැහි වෙද්දි තව තවත් ඒවා පාවිච්චි කරන්න හිතෙනවා. පුළුවන් හොඳම විදියට මේ දේවල් සමබර කරන්න ටිකෙන් ටික උත්සහ ගන්නවා. පවුල් ජීවිතේ පළුදු වෙන්න ගන්නවා. ඒත්, මං සෑහෙන තරමින් හොඳ කෙනෙක් වුණා. උදේ නැගිටලා දරුවන්ගේ කෑම හදලා ඔවුන්ව පාසලට රැගෙන යනවා. ඒ කාලේ මං බොහොම ශක්තිමත්. දැවැන්ත ශක්තියක් මට තිබුණේ නැත්නම් සමහරවිටත් මං සියදිවි නසාගෙන. ඒත්, ලේඛනය සිද්ධවෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. මා ලියූ Misery කෘතියට පදනම් වෙන්නේ එවැනි කොකේන් ගැන කතාවක්. ජනප්‍රිය ලේඛකයෙකුව සිරකරුවෙකු විදියට රඳවාගෙන සිටින Annie Wilkes කියන රසිකාවියක් ගැන මේ කෘතියේ ලියැවී තිබෙනවා. ඔබේ කෘතීන් ඇසුරින් නිර්මාණය වූ සිනමාපට වලින් වඩාත් ඇළුම් කරන නිර්මාණ ගැන අවසාන වශයෙන් දැනගන්න කැමතියි ? මං හිතන්නේ Stand by Me. මෙහි තිබුණු භාවාත්මක ගතිය නිසා මගේ කෘතියට මින් සාධාරණයක් ඉටු කළ බව විශ්වාස කරනවා. මං වෙන කටයුත්තකට බෙවර්ලි හිල්ස් හෝටලයට ගිය අතරතුරදී රොබ් රේනර් මේ චිත්‍රපටය මට පෙන්නුවා. ඔහු මගේ කතාව විකෘති කරලා ඇති බව හිතා මං මුලින් බියවුණා. හෝටලයේ ඉන්න අතරතුර මං ළඟට ආව රොබ් ‘ඔබට මේ සිනමාපටය බලන්න එන්න පුළුවන්ද ?‘ කියලා මගෙන් ඇහුවා. සිනමා ශාලා හයක පමණක් ප්‍රදර්ශනය වෙන්න තිබුණු මේ සිනමාපටය නොහිතුව විදියට පැතිරිලා ගියා. මේ සිනමාපටයේ තිබුණු ස්වයංචරිතාපදාන ස්වරූපය නිසාම රොබ්ව වැළඳගත්ත මට ඇඬුම් ආවා. ඒත්, Stand by Me, Shawshank Redemption වගේම Green Mile සිනමාපටයත් අතිවිශිෂ්ටයි. Misery වගේම Delores Claiborne හා Cujo චිත්‍රපටත් විශේෂයි. 2014 ඔක්තෝබර් මස දී රෝලින් ස්ටෝන් (Rolling Stone) සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්

හොලිවුඩ් වලින් භාගයක්ම ඉන්නේ සමලිංගිකයින් – ඉයන් මැක්ක්ලීන්

May 25, 2018 0 Comments
Time Out සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජනප්‍රිය රංගන ශිල්පී ඉයන්ගෙන් මැක්ක්ලීන්ගෙන් Fantastic Beasts and where to find them සිනමාපට මාලාවේ සිටින තරුණ වියේ පසුවන Dumbledore ගේ චරිතය ‘සමලිංගික චරිතයක්‘ ලෙස නොපෙන්වීම සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද ගැන විමසා තිබුණි. ඉයන් එහිදී උපහාසයෙන් මෙන් පවසා සිටියේ, ‘‘කවුරුවත් හොලිවුඩය දිහා බලන්නේ එහි සමාජය ගැන විවරණයක් දෙන අදහසින් නොවෙයි. එහෙම විවරණ ඉදිරිපත් කරන මිනිස්සු මෑතකදී හොයාගත්ත හොඳම දේ ලෝකයේ කළු මිනිස්සුත් ජීවත්වෙනවා යන්නයි. ඉතිහාසය පුරාවටම නිසි සැලකීම් වලට ලක්නොවුණු කාන්තාවන් හොලිවුඩයේ ඉන්නවා. ඉතිං, සමලිංගික මිනිස්සු හොලිවුඩයේ ජීවත් වෙන්නේ නැහැ. “Gods and Monsters” [1998] සිනමාපටයේ හිටියා. අද වෙද්දි හොලිවුඩයේ ඉන්න පිරිසෙන් භාගයක්ම සමලිංගිකයින් වුණත් හොලිවුඩයේ ආරම්භයේදී එවැනි පිරිස් පාගා දැමූ බව පිළිගන්නවාද ?‘‘ යන්නයි. ඉයන් මේ බව අනාවරණය කළේ එළඹෙන ඉරිදා දිනයේදී (27) සිනමා ශාලා වල තිරගත කිරීමට නියමිත McKellen: Playing the Part වෘත්තාන්ත සිනමාපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු අතරතුරය. මෙය Joe A. Stephenson ගේ අධ්‍යක්ෂණයක් වන අතර Graham Norton සමග කෙරෙන සම්මුඛ සාකච්ඡාවක් ලෙස මෙය දිග හැරී ඇත
සිනමාපට වලින් LGBTQ පිරිස් නිරූපණය කිරීම ගැන විවිධ මත පළවේ. පසුගිය අඟහරුවාදා (22) දින GLAAD සංවිධානය කළ පර්යේෂණයකින් අනාවරණය කළේ ප්‍රධාන ධාරාවේ සිනමාපට වලින් 12.8% ක පමණක් LGBTQ චරිත අනාවරණය කරන බවයි. 2024 වන විට මේ ප්‍රමාණය 50% කින් වර්ධනය වනු ඇති බවට ඔවුන් අනාවැකි පළකර ඇත. ඉයන් මෑක්ක්ලීන් හොලිවුඩයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අතර තමන් සමලිංගිකයෙකු බව ප්‍රසිද්ධියේ අනාවරණය කළේ 1988 දී ය. හැරී පෝටර් කතා මාලාවේ Dumbledore චරිතය නිරූපණය කරමින් ජනාදරයට පත්වූ ඔහු මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවෙයි. මීට පෙර ද Time Out සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඉයන්ගෙන් විමසා තිබුණේ සිය 50 හැවිරිදි වියේදී තමා සමලිංගිකයෙකු බව ලෝකයට අනාවරණය කිරීම අතිශය අසීරු තීරණයක් වුණි දැයි යන්නයි. ඊට පෙරළා පිළිතුරු දුන් ඔහු දැක්වූයේ, ‘‘නැහැ ඇත්තටම නැහැ, Stonewall විරෝධයත් ((LGBT) පිරිස් විසින් මෙම විරෝධය 1969 ජූනි 28 වැනිදා ග්‍රීන්විච් හිදී දියත් කරනු ලැබුණි.) සමගින්මයි මා ගැන අනාවරණය යෙදුණේ. සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට බලධාරීන් කිසිලෙසකින්වත් අනුබල නොදිය යුතු බව ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තියේ දක්වා තිබෙනවා. මං ඊට තදින් විරුද්ධ වුණා.‘‘ යන්නයි. ලොරන්ස් ඔලිවර් සම්මාන 6 කින් පිදුම් ලබා ඇති ඉයන් ගෝල්ඩන් ග්ලොබ් සම්මානය මෙන්ම Screen Actors Guild ,BIF සම්මාන ද දිනා ඇත. The Lord of the Rings: The Fellowship of the Ring, X-Men , Beauty and the Beast, Mr. Holmes ආදිය ඔහු රංගනයෙන් දායක වූ සිනමාපට අතරින් කීපයකි. Time Out (London) හා The Guardian ඇසුරිනි

මෑන් බුකර් සම්මාන දිනූ පිලිප් රොත් ජීවිතය හැරයයි

May 25, 2018 0 Comments
‘‘සමස්ත ලෝ වැසියන්ම දෙවියන් ගැන විශ්වාස කිරීම අතහැර දැමූ දිනයට මේ ලෝකය අතිසුන්දර තැනක් වනු ඇත‘‘ – පිලිප් රොත් 20 වන සියවසේ ජීවත් වූ විශිෂ්ට ලේඛකයෙකු වන පිලිප් රොත් ඊයේ (22) රාත්‍රියේදී මැන් හැටන් හි රෝහලකදී මියගොස් ඇත. රොත්ගේ මරණය ගැන පැවසූ ඔහුගේ සමීප හිතවතියක වන ලේඛිකා, ජුඩිත් තර්මන් ‘ද නිව්යෝර්ක් ටයිම්ස්‘ වෙත පවසා තිබෙන්නේ හදිසි හෘදයාබාදයක් මේ මරණයට හේතුවූ බවයි. පුලිට්සර් සම්මානයෙන් මෙන්ම මෑන් බුකර් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති රොත් මිය යන විට 85 හැවිරිදි වියේ පසුවූවේය. යුදෙව් පවුල් වල ජීවිතය කේන්ද්‍ර කරගත් කතා පුවත් හා ලිංගිකත්වය යන තේමාවන් සිය ලේඛනයේදී කතාබහට ලක්කළ රොත්, විශේෂයෙන්ම, පුරුෂයින්ගේ පැතිකඩෙන් ලිංගිකත්වය ගැන දැනෙන හැඟීම් සිය නිර්මාණ තුළට හසුකර ගත්තේය. පුරුෂයින්ගේ ලිංගික කලකිරීම, බලාපොරොත්තු කඩවීම යන්න එහිදී විශේෂයෙන් අවධානයට ලක්කළේය. ඔහු රචනා කළ Goodbye, Columbus (1959) නවකතාවට නවකතා උදෙසා පිදෙන ඇමරිකානු ජාතික සම්මානය හිමිවිය. තෙවතාවක් PEN/Faulkner Award සම්මානයෙන් පිදුම් ලැබූ රොත් American Pastoral නවකතාව වෙනුවෙන් 1998 දී පුලිට්සර් සම්මානය දිනාගත්තේය. පසුකාලීනව මෙය සිනමා කෘතියක් ලෙස ද නිර්මාණය කෙරුණි. ඔහුගේ The Human Stain (2000) කෘතියට ඇමරිකා එක්සත් ජනපදයෙන් පිදෙන WH Smith සම්මානය දිනාගත්තේය. 2001 වසරේදී ෆ්‍රාන්ස් කෆ්කා සම්මානයෙන් පිදුම් ලැබීමට ද රොත් සමත් වූවේය. රොත්ගේ Portnoy’s Complaint (1969)කෘතිය ඔහුව ලේඛකයෙකු ලෙස වෙනස්ම තලයකට ඔසවා තැබීමට සමත්විය. ඇලෙක්සැන්ඩර් පෝර්ට්නෝයි නම් මෙහි සිටින කතා නායකයා සිය වෛද්‍යවරයා හමුවේ අනාවරණය කරන තොරතුරු මේ කෘතියේදී දිග හැරේ. ස්වයං වින්දනයේ යෙදන ඇලෙක්සැන්ඩර් අක්මා කෑල්ලක් පවා යොදාගනිමින් සිය ලිංගික ආශාවන් මුදුන්පත් කරගත් අයුරු මෙහි නිරූපණය කර ඇත.
ඔහු ලියූ කෘතීන් කීපයක්. Letting Go (1962), When She Was Good (1967), Portnoy’s Complaint (1969), Our Gang (1971), The Great American Novel (1973), My Life as a Man (1974), Sabbath’s Theater (1995), The Counterlife (1986), American Pastoral (1997), I Married a Communist (1998), The Human Stain (2000), Exit Ghost (2007), Everyman (2006), Indignation (2008), The Humbling (2009), Nemesis (2010) Zuckerman නම් චරිතය පාදක කරගනිමින් ලියැවුණු කෘතීන් The Ghost Writer (1979), Zuckerman Unbound (1981), The Anatomy Lesson (1983) හා The Prague Orgy (1985) The New York Times ඇසුරිනි https://www.youtube.com/watch?v=viWILmFHNvc https://www.youtube.com/watch?v=5yHcniemxQI https://www.youtube.com/watch?v=SAAqiO_Z9Vs

Tuesday, May 22, 2018

මදුරෝගේ ජයග්‍රහණය වෙනිසියුලාව අරාජික රාජ්‍යයක් කරන ලකුණු

May 22, 2018 0 Comments
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ දෙවන වතාවටත් ජනපතිධූරයට පත්වීමෙන් අනතුරුව එරට ජාත්‍යන්තර පසුබෑමකට මුහුණ දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඉරිදා (20) පැවති මැතිවරණයේදී එක්සත් සමාජවාදී පක්ෂයෙන් දෙවන වරටත් තරඟ කර තවත් වසර 6 ක කාලසීමාවක් ජනපතිධූරය දැරීමේ අවස්ථාව ඔහුට හිමිවිය.  මදුරෝට මිලියන 5.8 ක  (67.7 %) ඡන්දයක් හිමිවූ අතර ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදියා වූ හෙන්රි ෆෝල්කන්ට මිලියන 1.8 ක (21.2%) ක ඡන්ද ප්‍රමාණයක් හිමිවුණි. කරකාස්හි පිහිටි ජනපති මැඳුරේ සිට සිය සගයින් සමග ජයග්‍රහණයේ සතුට බෙදාගත් මදුරෝ පවසා සිටියේ ‘ඔවුන් මාව තේරුම්ගත්තා‘ යන්නයි. මේ වනවිට 55 හැවිරිදි වියේ පසුවන මදුරෝ සිය ජීවිතය අරඹන්නේ බස් රථ රියදුරෙකු ලෙසිනි. අනතුරුව වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඔහු දේශපාලනයට සම්බන්ධ වූවේය. කෙසේවුවත්, මේ වනවිට වෙනිසියුලාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි ආහාර හිඟයක් රට තුළ හටගෙන ඇති අතර මෙය මැතිවරණයට ද බලපෑවේය. මේ අර්බුද හමුවේ වෙනිසියුලානු ජනතාව ඡන්දය ලබාදීමට දුන් සක්‍රිය දායකත්වය ද අඩු බව දක්නට ලැබුණි. මදුරෝගේ ජයග්‍රහණයත් සමගින්  කරකාස්හි සිටින සිය තානාපතිවරුන් නැවත සිය රටවලට කැඳවීමට රටවල් 14 ක් ඇති අතර ඒ අතරට ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා කැනඩාව ද ඇතුළත්ය. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මදුරෝට සිය විරෝධය පෑමටය. ඇමරිකා එක්සත් ජනපදය ද පසුගිය ඉරිදා දින පැවති වෙනිසියුලානු මැතිවරණයෙන් අනතුරුව නව ආර්ථික සම්බාධක ද පනවා ඇත. මෙහි අරමුණ වී තිබෙන්නේ වෙනිසියුලානු රජය සතු තෙල් සම්පත විකුණා දැමීමයි. ඇමරිකානු ජනපති වෙනිසියුලාව මැතිවරණය ගැන නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ‘රට තුළ පවතින මර්දනකාරී තත්ත්වය‘ අවම කිරීමට මැතිවරණයෙන් පසුව හැකිවනු බවයි. ‘‘රට තුළ නැවත ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට, සාධාරණ මැතිවරණ පැවැත්වීමට, දේශපාලන සිරුකරුවන් කඩිනමින් මෙන්ම කොන්දේසි විරහිතව නිදහස් කිරීමට හා වෙනිසියුලානු ජනතාව පෙළන දැඩි ආර්ථික දුෂ්කරතා වලට විසඳුම් ලබාදෙන ලෙස මදුරෝට පවසනවා‘‘ යන්නයි. කෙසේ වුවත්, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මදුරෝගේ ජයග්‍රහණයට ඊයේ (21) දිනයේදී සුබ පැතූ රුසියානු ජනපති බ්ලැද්මීර් පුටින් පැවසූවේ, ‘මේ වනවිට වෙනිසියුලාව තුළ පවතින ආර්ථික හා සමාජීය ගැටළු විසඳීමට පියවර ගැනීම ඔබ ලබන ඉහළම සාර්ථකත්වය‘ වනු ඇති බවයි. BBC ඇසුරිනි

හාවේ වින්ස්ටන් කෑන්ස් උළෙලේදී මාව දූෂණය කළා – ඒෂියා ආර්ජන්ටෝ

May 22, 2018 0 Comments
“හාවේ වින්ස්ටන් 1997 දී පැවැත්වුණු කෑන්ස් උළෙල්දී මාව දූෂණය කළා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 21 යි. මේ උත්සවය ඔහුගේ දඩබිමක් වුණා. ඔහුව ආයේ නැවත කිසිදිනක මේ උළෙලට සාදරයෙන් පිළිගන්නේ නැතිවෙයි. නින්දාසහගත මිනිහෙක් විදියට ජීවත් වේවි. එක කලෙක ඔහුව ආදරයෙන් වැළඳගත්ත සිනමාවේ ඉන්න උදවිය ඔහු කරපු අපරාධ වසන් කරගෙන හිටියා. ඒ පිරිස මින් ඉදිරියට ඔහුව මඟහැර හිඳීවි. ඒවගේම මේ අද රැයේදී ඔබ අතර අසුන්ගෙන සිටින අය අතර කාන්තාවන්ට එරෙහිව මෙවැනි අපරාධකර ඊට වන්දිගෙවිය යුතු අය පවා තවමත් සුවෙන් සිටින බව සිහිපත් කළ යුතුයි. මේ කතාව හුදෙක් සිනමා කර්මාන්තයටම පමණක් අදාළ වූවක් නොවේ. ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම සේවා ස්ථානයක මෙවැනි පිරිස් සිටිනවා. ඔබ කවුරුන්දැයි යන්න ඔබ හොඳාකාරවම දන්නවා. ඔබ කවුරුන්දැයි යන්න අප දැනහිඳීම හා තවදුරටත් මෙවැනි පිරිස් වලට එලෙසින්ම කටයුතු කිරීමට අවස්ථාව ලබානොදීම අතිශයින්ම වැදගත් වෙනවා.හාවේ ඔබ, කවුරුන්දැයි යන්න ඔබ හොඳින් දන්නවා. ඒ වගේම මෙවැනි කටයුතු තවදුරටත් කරන්න අපි ඔබට කොහොමටවත් ඉඩදෙන්නේ නැහැ ‘‘ ඉතාලි ජාතික රංගන ශිල්පිනියක මෙන්ම සිනමා අධ්‍යක්ෂවරියක ද වන ඒෂියා ආර්ජන්ටෝ විසින් හාවේ වින්ස්ටන්ට එරෙහි මෙම චෝදනා එල්ල කර සිටියේ පසුගිය සෙනසුරාදා (19) නිමාවට පත්වූ කෑන්ස් උළෙලේදීය. Ayka සිනමාපටයේ රඟපෑ Samal Esljamova හට හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ලබාදීමට පෙර වේදිකාවට එක්වූ ඒෂියා මෙලෙස චෝදනා ගොනුකර සිටියේ ඇය කලක් අතිශය සමීපව ඇසුරු කළ සිනමා ක්ෂේත්‍රයේම මිතුරෙකුටය. කාන්තාවන් වීම හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයේදී මුහුණදීමට සිදුවන වෙනස් කොට සැලකීම පිළිබඳ කෑන්ස් සිනමා උළෙළ පැවැත්වෙන Palais des වෙත පැමිණි සිනමා නිර්මාණ ශිල්පිනියන් 82 කු රතු පලස මතදී සිය විරෝධතාව ප්‍රකාශ කර සිටියහ. මේ සිද්ධියෙන් සතියක් ගෙවී ගිය තැන (මැයි 19) කෑන්ස් උළෙලේ සමාරම්භය සනිටුහන් කළ රැයේදී ඒෂියා ආර්ජන්ටෝ මෙම ප්‍රකාශය සිදුකළාය. මෙහිදී අදහස් දැක්වූ ආර්ජන්ටිනෝගේ ප්‍රකාශය ලොව පුරා මහත් ප්‍රබෝධයක් ඇතිකළ #MeToo ව්‍යාපාරයේම තවත් එක් විශේෂ අවස්ථාවක් ලෙස දැකගත හැකිය. 2006 දී ආරම්භ කළ #MeToo ව්‍යාපාරය ලිංගික පීඩාවන්ට පත්වී තවමත් දිවිගෙවන තරුණියන් හා කාන්තාවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන්නකි. මෑතකාලීනව මාස හයකටත් අඩු කාලයක් තුළදී සමාජ ජාලා හරහා ව්‍යාප්ත වූ #MeToo ව්‍යාපාරය තුළින් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් ලෝකය පුරා දැවැන්ත කතාබහක් ඇතිකිරීමට හැකිවුණි. කෙසේවුවත්, ඉතාලියේ සිටින වින්ස්ටන්ගේ නීතිඥවරයා වන ෆිලෝමෙනා කුසානෝ පැවසුවේ ආර්ජන්ටෝගේ ප්‍රකාශ අසත්‍යයක් බවත් එය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත්ය.
කෙසේවුවත්, සිය ට්විටර් ගිණුමට ඊයේ (20) දින පණිවිඩයක් එක්කළ ඒෂියා පවසන්නේ ‘‘මගේ කතාවෙන් පස්සේ මගේ ළඟට ඇවිත් සුබ පතපු එකම කෙනා ස්පයික් ලී විතරයි‘‘ යන්නයි. එමෙන්ම, ඇය හා හාවේ අතර සමීප සම්බන්ධයක් පවතින බවට කෙරෙන මාධ්‍ය වාර්තා කිරීම් ද ඇය ප්‍රතික්ෂේප කර ඇති අතර ලිංගිකත්වය හා ලිංගික අඩන්තේට්ටම් ගැන පැවසීමේදී පමණක් මාධ්‍ය අනුවණ ලෙස ක්‍රියාකරන බවද ඇය සඳහන් කරයි. ඇමරිකන් ජාතියෙකු වන හාවේ වින්ස්ටන් සුප්‍රකට ඇමරිකානු සිනමාපට අධ්‍යක්ෂවරයෙකි. මේ වනවිට 66 හැවිරිදි වියේ පසුවන හාවේ හා ඔහුගේ සොහොයුරා විසින් සුප්‍රකට Miramax නිෂ්පාදන සමාගම ආරම්භ කෙරුණි. Sex, Lies, and Videotape (1989), The Crying Game (1992), Pulp Fiction (1994), Heavenly Creatures (1994), Flirting with Disaster (1996), හොඳම නිෂ්පාදනය වෙනුවෙන් ඇකඩමි සම්මාන හිමිකරගත් Shakespeare in Love (1998) ආදිය ඔහු විසින් කරන ලද සිනමා නිෂ්පාදන අතරින් කීපයකි. ඒෂියා මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන අතර XXX (2002), Scarlet Diva (2000), Dracula 3D (2012),Marie Antointte (2006) හාThe Last Mistress (2007) ආදිය ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතරින් කීපයකි.

Wednesday, May 16, 2018

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා මැලේසියාවෙන්

May 16, 2018 0 Comments
‘‘අපි වැරැද්දක් කරනවා නම් ඒ බව සිහිපත් කර දෙන්නට විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි. ඔබට විරෝධය දක්වන්නට කිසිවෙකු නොසිටින විටදී ඔබ කරන, කියන හැමදේම නිවැරදි බව සිතේවි‘‘ – මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් නව මැලේසියානු අගමැති ලෙස තේරීපත්වූ මහතීර් මොහොමඩ් ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ය. මේ වනවිට 92 වන වියේ පසුවන ඔහු මැලේසියාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ද දැවැන්ත දායකත්වයක් ලබාදුන්නේය. මීට පෙර වසර 1981 – 2003 අතර කාලසීමාවේදී ද මැලේසියානු අගමැති ලෙස කටයුතු කළ මහතීර් නූතන මැලේසියාවේ පියා යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වේ. පසුගිය මැයි 9 වැනිදා 14 වන මැලේසියානු මහ මැතිවරණය පැවැත්වුණි. මහතීර් මොහොමඩ් නියෝජනය කළ Pakatan Harapan (the Alliance of Hope) පක්ෂයට ආසන 121 ක් හිමිවූ අතර හිටපු අගමැති නජීබ් රාසක්ගේ United Malays National Organisation පක්ෂයට ලැබුණේ ආසන 79 ක් පමණි. මහතීර්ගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ජනතාව වීදි බසිමින් සිය ප්‍රීතිය බෙදාහදාගත් අතර සිය ධූරයෙන් නික්ම යන අවස්ථාවේදී ‘‘ජනතාවගේ තීන්දුව පිළිගන්නවා‘‘ යනුවෙන් හිටපු අගමැති නජීබ් පැවසුවේය. මහතීර් මොහොමඩ් නැවතත් අගමැති සිය ජයග්‍රහණයෙන් අනතුරුව ඊයේ (10) දිනයේදී මැලේසියාවේ ෂෙරටොන් පෙටලින් ඡායා හෝටලයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහතීර් සිනාමුසු මුහුණින් පැවසුවේ, ‘‘ඔව්, ඔව්. මං තාමත් ජීවත්වෙනවා‘ යන්නයි. සිය නායකත්වයෙන් යුතුව පිහිටුවන සභාගය කිසිවෙකුගෙන් පලිගැනීමේ චේතනාවන් යුතුව කටයුතු නොකිරීමට වගබලාගන්නා බව මෙහිදී අවධාරණය කර සිටියේය. ‘රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ක්‍රියා කරනවා‘‘ යනුවෙන් මහතීර් මෙහිදී ප්‍රතිඥා දුන්නේය. තමන්ට සහය පළකල ජනතාව වෙත සිය හද පිරි ස්තුතිය පුදකළ මහතීර් මොහොමඩ් දින දෙකක නිවාඩුවක් ද ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ ‘ජයග්‍රාහකයින්ට මේ කිසිම නිවාඩුවක් අදාළ වෙන්නේ නැහැ‘ යන්නයි. ඊයේ දිනයේදී මැලේසියාවේ හත් වන අගමැති ලෙස දිවුරුම් දෙමින් මැලේසියාව තුළ දූෂණයට එරෙහිව සටන් කිරීමට, දූෂිතයින්ට දඬුවම් පැමිණවීමට ද ඔහු ප්‍රතිඥා දුන්නේය. ‘‘අද මේ රට තියෙන්නේ මඩගොහොරුවක. මේ අවුලින් රට ගොඩගත යුතුයි. නිතියේ ආධිපත්‍යය ස්ථාපිත කළයුතුයි. නජීබ් වැරැද්දක් සිදුකර තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහු ඒවායේ ප්‍රතිවිපාක වලට මුහුණදිය යුතුයි‘‘ යන්න ද ඔහු අවධාරණය කළේය. මහතීර් මොහොමඩ් Barisan Nasional හවුලේ නායකයා ලෙස වසර 22 ක කාලයක් කටයුතු කළේය. ඒ 1981 වසරේ සිට 2003 වසර තෙක් කාලයේදීය. ඔහුගේ නායකත්වය යටතේ මැලේසියාව ආසියානු කලාපයේ ප්‍රබලයෙකු ලෙස නැගී සිටියේය. වි‍ශේෂයෙන්ම 1990 පමණ කාල සීමාවේදී මැලේසියානු ආර්ථිකය ශක්තිමත්ව නැගී සිටීමට බලපෑවේද මහතීර් මොහොමඩ් සතුවූ සුවිශේෂී ආර්ථික දැක්මයි. නමුත්, ඔහුට එරෙහිව නැගී සිටි කවර ආකාරයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වුවද මර්දනය කිරීමෙහිලා මහතීර් අති දක්ෂයෙකු වූ බව පැවසේ. මේ සමයේදී ආන්දෝලනයට තුඩු දෙන නීති සම්පාදනය කරමින් ඒකාධිපතිකු ලෙස කටයුතු කළ බවට ද චෝදනා නැගේ. මහතීර් මොහොමඩ්ගේ පාලන සමයේදී ඔහු විසින් දියත් කළ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට එවකට නියෝජ්‍ය අගමැති ලෙස කටයුතු කළ අන්වර් ඊබ්‍රාහිම් කටයුතු කළේය. මේ සමයේදී මහතීර් මොහොමඩ් ඔහුව නිහඬ කරවීමට දූෂණ චෝදනා නැගූ බව ද පැවසේ. හිටපු අගමැති නජීබ් රාසක් දූෂිතයිද ? මැලේසියානු අගමැති ලෙස කටයුතු කළ නජීබ් රාසක් 1Malaysia Development Berhad නම් රජයේ අරමුදලින් ඇ.ඩො.බි. 3.5 කට ආසන්න මුදල් සොරාගෙන දේපළ ඉඩකඩම්, ස්වර්ණාභරණ හා කලා කෘති මිලදීගැනීමට මෙන්ම ඇ.ඩො.මි. 731 ක් සිය පෞද්ගලික ගිණුම් වලට ද යොදාගෙන ඇත. නජීබ්ගේ බිරිඳ වන රෝස්මා මන්සෝ හට ඇ.ඩො.බි. 27.3 ක වටිනාකමකින් යුතු දියමන්ති මාලයක් මිලදීගෙන ඇති අතර මිල අධික යාත්‍රාවක් ද මිලදීගෙන ඇත. නජීබ් මැලේසියාවේ 6 වන අගමැති බවට පත්වූයේ 2009 අප්‍රේල් 3 වැනිදාය. මැලේසියාවේ Barisan Nasional (BN) සභාගයට නායකත්වය ලබාදුන්නේද ඔහුය. මහතීර් මොහොමඩ්ගේ මිතුරෙකු ද වන නජීබ් මැලේසියාව නිදහස ලැබීමෙන් අනතුරුව ගතවී ගිය වසර 60 ක කාලසීමාව තුළ ජනතා ඡන්දයෙන් බලයෙන් පහකළ පළමු පක්ෂ නායකයා ද වෙයි. 1957 දී United Malays National සංවිධාන‍යේ නායකත්වයෙන් යුතුව මැලේසියාව නිදහස හිමිකරගැනීමට සමත්විය. United Malays National සංවිධානයේ මූලික දැක්ම වී තිබුණේ මැලේ ජාතික සිසුන්ට වෙනම විශ්වවිද්‍යාල ඉදිකිරීම වැනි සුවිශේෂී වරප්‍රසාද ලබාදෙමින් කටයුතු කිරීමයි. මැලේසියාවේ හය වන අගමැති ලෙස කටයුතු කළ නජීබ්ගේ පියා මෙන්ම මාමා ද මෙම පක්ෂයේ නායකයින් වී සිටියහ. පසුකාලීනව ඔවුන් මැලේසියාවේ අගමැතිවරු ලෙස කටයුතු කළහ. ඉන් අනතුරුව නජීබ් බලයට පත්වන්නේ ද ඔහුගේ මිතුරෙකු වූ මහතීර්ගේ ද උදව් උපකාර ඇතිවය. මීට පෙර අගමැතිවරයා බවට පත්වූ මහතීර් The United Malays National Organisation (U.M.N.O) හි නායකයා ලෙස 1981 – 2003 අතර කාලසීමාවේදී මැලේ ජාතිකයින්ගේ බහුතර බලය හිමිකරගැනීමට සමත් වූවේය. මේ වනවිට ඉන්දියානුවන්, චීන ජාතිකයින් හා මුස්ලිම් මැලේ පිරිස් මැලේසියාවේ දිවි ගෙවයි. ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වී සිටින්නේ මැලේ ජාතිකයින්ගෙනි. මේ සියලු පිරිස් වල පැතුම් ඉටුකිරීම මෙන්ම නජීබ්ගේ පාලන සමයේදී බිඳ වැටුණු මැලේසියානු ආර්ථික නැවත ශක්තිමත් කිරීමේ වගකීම ද මහතීර්ට පැවරී ඇති වගකීම් අතරින් මූලික වේ. මහතීර් මොහොමඩ් හා නජීබ් රාසක් මහතීර් හා නජීබ් හිතවතුන් බව පැවසුණද පසුගිය සතියේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ ‘‘මගේ ජීවිතේ කරපු ලොකුම වැරැද්ද නජීබ්ව තෝරාගැනීමයි‘‘ යන්නයි. පසුගිය බදාදා දින වන තෙක්ම National Front පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගනිමින් සිය බලය ස්ථාවරව පවත්වා ගනිමින් තිබුණි. 92 වන වියේ පසුවුව ද මහතීර් ගැන මැලේසියානු ජනතාව විශ්වාසය තැබීමට සුවිශේෂී හේතු පවතියි. අදටද ලෝක සිතියමේ සුවිශේෂී සටහනක් තබන මැලේසියාවේ Petronas කුළුණ මගින් සංකේතවත් කරන්නේ ද මහතීර් මොහොමඩ් මැලේසියාව ලොව අංක එකේ රටක් බවට පත්කරන්නට ගත් උත්සහයයි. මෙම ගොඩනැගිල්ල 1998 සිට 2004 දක්වා කාල සීමාවේදී ලොව උසම කුළුණ ලෙස නම් දරා සිටීමට සමත් විය. 1Malaysia Development Berhad හි මුදල් අපහරණයට ලක්කළ නජීබ් විකෘති කළ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මහතීර්ගේ උර මත පැවරී ඇත.
අභිනව අගමැති පත්කිරීම නිළ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ගතවූ කාලය මහතීර්ට තීරණාත්මක සමයක් වී තිබුණි. ඊයේ උදෑසන දී මැතිවරණ ජයග්‍රහණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි. මැලේසියානු ව්‍යවස්ථාවට අනුව මැලේසියානු අගමැතිවරයා එරට රජු හමුවේ දිවුරුම් දිය යුතුය. පසුගිය බ්‍රහස්පතින්දා දින උදෑසනදී මැතිවරණ ජයග්‍රහණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණද මැලේසියානු රජු වන සුල්තාන් මොහොමඩ් අගමැති පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තීරණයක් නොගෙන සිටියේය. ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහතීර් ප්‍රකාශ කළේ එදින සවස 5 ට තමා හා රජු අතර හමුවක් පැවැත්වීමට නියමිත බවයි. ‘‘තවත් ප්‍රමාද වෙනවා කියන්නේ අපිට ආණ්ඩුවක් නැති බව පෙන්වීමයි. ආණ්ඩුවක් නැති තැන නීතියක් වත් ව්‍යවස්ථාවක් නැහැ. මේ රටේ ආණ්ඩුවට සවිබල දෙන්න තියෙන ආයතන සියල්ලම මේ වනවිට අඩපණයි ‘‘ යන්න එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙදින රාත්‍රී 9.30 වනතුරුත් මහතීර් මොහොමඩ් අගමැති ලෙස දිවුරුම් නොදුන් අතර මැලේසියානු රජු හා ඔහු අතර පැය කිහිපයක් තිස්සේ පැවති සාකච්ඡා කීපයක් පැවැත්වුණි. අනෙක් දේශපාලන පක්ෂ වල නායකයින් හා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රවීණ දැනුමක් තිබෙන නීතිඥයින් පිරිසක් ද මහතීර්ට උපදෙස් ලබාදීමට එක්වී තිබුණි. මේ අතරතුර 2008- 2015 අතර කාලසීමාවේදී People’s Justice Party පක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායකයා ලෙස කටයුතු කර මේ වනවිට සිරදඬුවම් ලබමින් සිටින අන්වර් ඊබ්‍රාහිම් හට රජුගේ සමාව ලබාදීමට ඉල්ලීමක් කරන බවට ද ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී මහතීර් විශේෂයෙන් අවධාරණය කර තිබුණි. කෙසේවුවත්, එළඹෙන ජූනි මසදී අන්වර් නිදහස් කිරීමට නියමිත ය. අන්වර්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන් බොහොමයක් දේශපාලන වශයෙන් ඔහුව අපහසුතාවට ලක්කිරීමට එල්ල කළ චෝදනාවන් බව පැවසේ.
අන්වර් කලක් මහතීර් මොහොමඩ්ගේ පාලන සමයේදී නියෝජ්‍ය අගමැති ලෙස ද සේවය කළේය. අධිකරණ නියෝගයක් මත අන්වර්ට සිරදඬුවම් නියම කෙරුණු අතර එලෙස ඔහුව සිරගත කිරීමට මහතීර් ද උදව් දුන් බව පැවසේ. අන්වර්ගේ බිරිඳ වන වාන් අසීසා ඉස්මයිල් ඊයේ (10) දිනයේදී සිට මැලේසියාවේ නියෝජ්‍ය අගමැති බවට පත්වූවාය. උප අගමැති ධූරය මැලේසියානු පාලන තන්ත්‍රය තුළ දෙවැනියට බලවත් ධූරයයි. චීනය – මැලේසියාව තුළ සිදුකර තිබෙන ආයෝජන ගැන ද ඉදිරියේදී විශේෂයෙන් සලකා බලන බව මාධ්‍ය හමුවේදී අනාවරණය කළ මහතීර් වැඩිදුරටත් පවසන්නේ නජීබ්ගේ පාලන සමයේදී චීනයෙන් ණයට ගත් මුදල් නැවත ගෙවාදැමීම ගැන ද සලකා බලන බවයි. චීනය මගින් දියත් කරන විදෙස් රටවල යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය වන Belt and Road වැඩසටහනට තමා විරුද්ධ නැති බව ද ඔහු පවසා ඇත. නූතන මැලේසියාවේ නිර්මාතෘවරයා වසර 15 කට පසුව අගමැති ධූරයට පත්වුණු අවස්ථාවේදී මැලේසියාව කුමන දිශාවකට රැගෙන යනු ඇත්දැයි ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇත. BBC හා The New York Times ඇසුරිනි

මහතීර් මොහොමඩ් පොරොන්දු ඉටුකරයි – සොඩොමි චෝදනා ලැබූ අන්වර් ඊබ්‍රාහිම් නිදහස්

May 16, 2018 0 Comments
පසුගිය සතියේදී මැලේසියානු අගමැතිවරයා බවට පත්වෙමින් මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ ඒ වනවිට සිරදඬුවම් විඳිමින් සිටි මැලේසියාවේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ අන්වර් ඊබ්‍රාහිම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. මැලේසියානු රජු සමග මේ ගැන සාකච්ඡා කරන බව ද ඔහු එහිදී පවසා සිටියේය. එම පොරොන්දුව ඉටුකරමින් අද (16) දින උදෑසන 11.30 ට අන්වර්ව නිදහස් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය. අන්වර් මැලේසියාවේ අනාගත දේශපාලන නායකයෙකු වනු ඇති බවට දේශපාලන විචාරකයින් අදහස් දක්වන අතර නිදහස ලබන විට ඔහු සිටියේ‍ ක්වාලාලාම්පූර්හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමිනි. ඔහු මීට වසර තුනකට පෙර දෙවන වතාවටත් සිරගත කරනු ලැබූවේ සොඩොමි (පිරිමි සහයකයෙකු සමග ගුද මාර්ගික ලිංගික ක්‍රියාවේ නිරත වීම) චෝදනා යටතේය. කෙසේවුවත්, ඔහුට එරෙහිව එල්ල කරන ලද සියලු චෝදනා අසත්‍ය බව එකල ඔහු මෙන්ම ඔහුගේ දේශපාලන සගයන් ද පවසා තිබුණි. මේ වනවිට මැලේසියාවේ නියෝජ්‍ය අගමැති ධූරය දරන්නේ ද අන්වර්ගේ බිරිඳ වන වාන් අසීසා ඉස්මයිල් ය.
සිරෙන් නිදහස් වීමෙන් අනතුරුව අගමැතිවරයා හමුවීමට ස්තානා නෙගාරා මන්දිරය වෙත ගිය අන්වර් සමගින් ඔහුගේ ආධාරකරුවන් ද එක්ව සිටි අතර ‘අන්වර් දිගුකල් දිනේවා‘ යනුවෙන් කෑගසමින් ඔවුහු ප්‍රීතිඝෝෂා නැගූහ. ‘‘මැලේසියාවයට නව යුගයක් උදා වී තිබෙනවා. මැලේ, චීන, ඉන්දීය, කැඩසන්ස්, ඉබාන් ආදී මැලේසියාවේ දිවි ගෙවන සියලු වැසියන්ට හද පිරි ස්තුතිය පුදකර සිටින්නට කැමතියි. ප්‍රජානත්ත්‍රවාදයේ හා නිදහසේ මූලිකාංගයන් ඉස්මතු වූ අවස්ථාවක් ලෙස මෙය දක්වන්නට හැකියි. වෙනසක් ඉල්ලා සිටි ජනතාව Pakatan Harapan පක්ෂය බලයට පත්කර තිබෙන අවස්ථාවක ඔවුන් වෙනුවෙන් අප කැපවන බව සිහිපත් කරන්නට කැමතියි‘‘ බව දක්වමින් මැලේසියානු ජනතාවට පෙරළා ඔහු ස්තුති කර සිටියේය. කලෙක දේශපාලන පිටියේ සතුරන් වී සිටි මේ දෙපළ අද දින වන විට සමීපතම සගයන් බවට පත්වී ඇති අතර අන්වර් මැලේසියාවේ අගමැති තනතුරට පත්කිරීමට මහතීර් මොහොමඩ් පොරොන්දුවක් ද ලබාදී ඇත. People’s Justice පක්ෂයේ නිර්මාතෘ වන අන්වර් Pakatan Harapan සභාගයේ නායකයා ද වේ. මේ වනවිට ඔහු 70 වන වියේ පසුවෙයි. මහතීර් මොහොමඩ් අගමැති ධූරය දරන සමයේදී 1993 – 1998 දක්වා කාලයේදී නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ද කටයුතු කළේ අන්වර්ය. එකල අන්වර්ව සියලු තනතුරු වලින් ඉවත්කර 1999 අප්‍රේල් මස ඔහු සිරගත කිරීමට කටයුතු කළේද මහතීර් මොහොමඩ්ය.
ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ බලය අයුතු ලෙස භාවිත කිරීමය. 2000 වසරේදී ඔහුට එරෙහිව එල්ල වූ සොඩොමි චෝදනා එල්ල වූ අතර තවත් වසර 9 කට ඔහුව සිරගත කෙරුණේය. 2004 වසරේදී ඔහුගේ තීන්දුව අවලංගු කෙරුණු අතර 2008 හා 2013 මහ මැතිවරණ වලදී ආණ්ඩු බලය ලබාගැනීමට නොහැකි වුවද විපක්ෂයට පෙර නොවූ විරූ ජයග්‍රහණයක් අත්පත් කරදීමට ද සමත් වූවේය. ඉන් වසරක් ගෙවී ගිය තැන ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමින් සිටි අතර පැහැදිලි ජයක් ලැබෙනු ඇති බවට ඔහුගේ විරුද්ධවාදීන්ට පෙනී ගිය අතර නැවත වරක් ඔහුව සිරගත කෙරුණි. BBC හා The Guardian ඇසුරිනි

Thursday, May 3, 2018

ලේඛනය සූදුවක් – Ahmed Saadawi

May 03, 2018 0 Comments
‘’අප සෑම කෙනෙකුටම සාපරාධී මිනුම් දඬු ඇත’’ – Ahmed Saadawi, Frankenstein in Baghdad
ඉරාක ලේඛකයකු, කවියෙකු, තිර රචකයකු මෙන්ම වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන Ahmed Saadawi – International Prize for Arabic Fiction (2014) වලින් පුද ලද පළමු ඉරාක ජාතිකයා ය. අහමඩ් හට මෙම සම්මානය හිමිවූයේ ඔහු රචනා කළ Frankenstein in Baghdad කෘතිය වෙනුවෙනි. International Prize for Arabic Fiction සම්මානය ලන්ඩනයේ පිහිටි බුකර් සම්මාන කවුන්සිලයේ සහයෝගීතාවයෙන් ලබාදෙන්නකි. මේ වනවිට සිය ජීවිතයේ 45 වන කඩඉමේ පසුවන ඔහු බැග්ඩෑඩයේ දිවිගෙවයි. ඔහු විසින් රචිත නවකතා අතරට The Beautiful Country (2004), Indeed He Dreams or Plays or Dies (2008) හා Frankenstein in Baghdad (2013) අයත් අතර Anniversary of Bad Songs (2000) කාව්‍ය කෘතියකි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා බල ඇණි 2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු ඉරාක ජන ජීවිතයට බාධා එල්ල වුණු අයුරු පදනම් කරගෙන Frankenstein in Baghdad කෘතිය ලියැවී ඇත. 2018 බුකර් සම්මාන උළෙලේදී නිර්දේශිත අවසන් වටයේ කෘතීන් අතරට ද මෙය පැමිණුනි. Hadi නම් කතා නායකයා බැග්ඩෑඩ් නගරයේ වීදි පුරා තැනින් තැන විසිරී තිබෙන මළ කඳන් එකතු කර මළවුන්ට ගෞරවාන්විත අවසානයක් ලබාදීමට උත්සහ දරයි. තමන් එක්කළ මස් වැදලි වලින් රෞද්‍ර සත්වයෙකු නිර්මාණය වී ඇති බව අවසානයේදී ඔහු වටහාගන්නා විට ප්‍රමාදය. Ahmed මේ කෘතිය හරහා මවන්නේ සමකාලීන බැග්ඩෑඩයේ යථාර්තයයි. මේ ඔහු Courage in Creativity සමග පැවති සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි. ඔබ දුටු බැග්ඩෑඩ් නගරය ගැන සිහිපත් කළොත් ? ඒවගේම බැග්ඩෑඩය නැවත ගොඩනගන්නට අවස්ථාව හිමිවුණොත් කරන්නේ මොකක්ද ? බැග්ඩෑඩය ලොව පැරණිතම නගර අතරින් එකක්. ගෝලීය නගරයක් වූ මේ වෙත චීන වෙළෙන්ඳුන් වගේම ඉස්ලාම් දහමේ හරය අවබෝධ කරගන්නට පුද්ගලයින් ගණනාවක් මේ වෙත පැමිණියා. කිසිවකුට මේ ඉතිහාසය මකා දමන්නට හැකිවෙන්නේ නැහැ වගේම අදටත් ඒ නගරයේ සුවිශේෂීත්වය ගැන ආඩම්බරයෙන් සිහිපත් කළ හැකියි. මං මුලින්ම ගොඩනගන්නේ අබ්බාසිද් හා ඔටෝමාන් යුගයේදී පැවති ඵෙතිහාසික ගොඩනැගිලියි. ඒ වගේම Syriac ක්‍රිස්තියානි පල්ලියත් නැවත ගොඩනගනවා. මොකද බැග්ඩෑඩ් නගරයේ සංස්කෘතික අනන්‍යතාව හා සංචාරක ආකර්ශණය ගෙන දෙන්නේ මේ ස්ථානයටයි. සුප්‍රකට කලාකරුවන්, ලේඛකයින්, මූර්ති නිර්මාණ ශිල්පීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් හා සංගීතඥයින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් පත්කරනවා. මේ පිරිස හරහා බැග්ඩෑඩයේ අභීතකම ගැන මුළු මහත් ලොවටම කියාදෙනවා. පරිවර්තනයකදී සාහිත්‍යමය වටිනාකම අහිමි වී යන්නේ කොහොමද ? සෑම භාෂාවකටම ඊට අනන්‍ය වූ ස්වචාරයන් හා දේශීය වාග් සම්ප්‍රදායන් තිබෙනවා. පරිවර්තනයකදී එක් භාෂාවකට පමණක් අනන්‍ය වී තිබෙන ඒ අංග අහිමිවී යාම ස්වභාවිකයි. Frankenstein in Baghdad කෘතියට සිද්ධවුණෙත් එයයි. සම්භාව්‍ය අරාබි භාෂාව වගේම බැග්ඩෑඩයේ භාවිත වෙන ස්වදේශීය උප භාෂාවන් ද මේ කෘතියේදී භාවිත කළා. ඒවගේම අපේ භාෂාවටම අනන්‍ය වූ වාක්‍ය ඛණ්ඩ ද භාවිත කළා. නවකතා වලින් ආඛ්‍යාන මෙන්ම අදාළ ස්ථානය ගැනත් ඉඟි ලබාදෙන නිසා කවි වලට වඩා පහසුවෙන්ම පරිවර්තන කටයුතු කරන්නටත් හැකියි. කොහොම වුණත්, අනෙක් සංස්කෘතීන් වලට පිවිසෙන්නට අවස්ථාව ලබාදෙන නිසා පරිවර්තන අතිශය වැදගත් වෙනවා.
අර්නස්ට් හෙමිංවේ හා ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් ඔබේ නිර්මාණ ජීවිතයට දැඩි ලෙස බලපෑ චරිත බව පවසා තිබෙනවා. මෙයට හේතුවුණේ මොකක්ද ? මේ ලේඛකයින් දෙදෙනාම මට සමීපයි. ජනමාධ්‍යවේදීන් විදියට කටයුතු කළ මේ පිරිස පසුකාලීනව නවකතාකරුවන් බවට පත්වෙනවා. අලංකාරයක් නැති හෙමිංවේගේ ලේඛන ශෛලිය මෙන්ම ඔහුගේ කර්කශ ගද්‍ය රචනාවන් ද මං අගය කරනවා. ඒ වගේම මේ ලේඛනයන් බොහොම සුන්දරයි. හෙමිංවේ සමකාලීන හා නූතන අරාබි සාහිත්‍යය තුළ සුවිශේෂී පෙළඹවීමක් ඇතිකර තිබෙනවා. මාකේස්ගේ ලේඛන තුළ පෙරදිගට සමීප බවක් තිබෙනවා. කැරිබියානු හා ලතින් ඇමරිකානු ජන සාහිත්‍යයේ ආභාසය ලබාගනිමින් පශ්චාත් – නූතන ආකෘතියට පිවිස තිබෙනවා. Frankenstein in Baghdad කෘතිය ගැන පළවුණු විචාර වලදී එය සාර්ථක පශ්චාත් නූතන අරාබිය නවකතාවක් ලෙස නම්කර තිබෙනවා. මාකේස්ගේ ජීවන චරිතය, ඔහු සිය දිවිය තුළදි විඳි විවිධ කම්කටොළු, ලේඛකයකු ලෙස ඔහු විශ්වාස කළ දේවල් තුළින් මං සුවිශේෂී ආභාසයක් ලබාගත්තා. ඔබව ලේඛකයකු බවට පත්කළේ මොකක්ද ? ඇත්තටම, මේ ප්‍රශ්නෙට දෙන්න කිසිම තාර්කික උත්තරයක් මට නැහැ. මං කුඩා අවදියේ ඉඳන්ම කලාවට වගේම සාහිත්‍යයටත් දැඩි ඇල්මක් දැක්වූවා. මං ඉපදුණේ පහළ මධ්‍යම පාංතික පවුලක යි. මගේ තාත්තා රාජ්‍ය සේවකයෙක් ලෙස කටයුතු කළා. පුංචි කාලේ ඉඳන්ම කතන්දර පොත්, නෝට් පොත්, කටු සටහන් අඳින පොත් වගේ දේවල් පවුලේ උදවියගෙන් ලැබුණා ඒ වගේම ලියන්න, කියන්න වගේම අඳින්නත් මං පුරුදු පුහුණු වුණා. වැඩිහිටි අවදියේදීත් හුදකලාව පොත පත කියවන්න දැඩි ඇල්මක් දැක්වූවා. ගෙදරට කෙනෙක් ඇවිල්ලා මං කොහෙද කියලා ඇහුවම තාත්තා කියන්නේ, ‘එයා පොත් කියවනවා‘ යන්නයි. සල්ලි හොයන්න පුරුදු පුහුණු වෙලා හිටිය, මගේ වයසේ පසුවුණු අනෙක් අයට වඩා මං වෙනස් කෙනෙක් බව තාත්තා තේරුම්ගත්තා. මා, මගේම ලෝකයක තනිවුණා. ලේඛනය කියන්නේ කිසිම ඇපවීමක් නැති සූදුවක්. කිසිම ආර්ථික ආරක්ෂාවක්, වාසනාවක් ගැන ඉදිරි අනාගතය ගැන තිබුණේ නැහැ. සමහරවිට, මගේ නවකතා වලින් කීයක් හරි හොයාගන්න හැකිවේයැයි විශ්වාස කළා. මාධ්‍යවේදියෙකු විදියට ඔබ ලැබූ අත්දැකීම් ලේඛන දිවිය ආලෝකමත් කළේ කොහොමද ? මං සාහිත්‍යය සඟරා වලට ලියන්න පටන්ගත්ත කාලේදී ජීවිතේ හුදකලාව ගෙවන්න දැඩි ආශාවක් දැක්වූවා. ඉරාකය, මැදපෙරදිග වගේ අලුත් රටවල් වෙත ගිහිල්ලා විවිධාකාරයේ මිනිස්සු මුණගැහිලා නව ලෝකයට පිවිසුණා. මාධ්‍යවේදියෙක් විදියට අලුත් තැන් වෙත ගමන් කරලා කවදහරි දවසක එහි සුන්දරත්වය සංකල්පනාවක් බවට පත්කරන්න අදිටන් කරගත්තා. අපි පරිණත අය බව පරිකල්පනය කළ විට ලේඛකයින් බවට පත්වෙනවා. ලේඛනයේ හතුරා වෙන්නෙත් ලේඛනයම බව මං හැමවිටම කියනවා. මාධ්‍යවේදයට කාලයක් ගතවෙනවා, ඒ වගේම නවකතා රචනා කරන්නට තරමක අවකාශයක් ඉතුරු වෙනවා. නවක නවකතාකරුවන්ට මං දෙන අවවාදයත් එයයි. නවකතාව කියන්නේ ජීවිතය ගැන තවත් අයෙකුට කියාදෙන්නට තියෙන කලාවයි. ලෝකයෙන් හුදකලා වුණු කෙනෙක්ට සාර්ථක නවකතාවක් රචනා කරන්නට හැකි බව මා විශ්වාස කරන්නේ නැහැ. වචන වල තිබෙන අපූරු බලය ගැන කිව්වොත් ? ගොඩක් ප්‍රශ්න පටන්ගන්නේ වචන වලිනුයි. දේශපාලඥයින් වචන වලින් හරඹ කරන්නේ ඒ හරහා දැවැන්ත ප්‍රතික්‍රියාවක් ඇතිකළ හැකි නිසාවෙනුයි. හැබෑ ලෝකය නිර්මාණය කරන්නේ මාධ්‍යයෙනුයි. අවාසනාවකට, මාධ්‍යයෙන් පවසන දේවල් ඇත්ත වුණත් ඒ ප්‍රකාශ කළ දේවල් පවතින්නේ නැහැ. නවකතා – කවි මෙන්ම හාසයෝත්පාදක කෘතීන් හා ළමා කෘතීන් වලට ඔබ රූප සටහන් පවා අඳිනවා. ඔබට පැවසිය යුතු දේවල් ලේඛනයෙන් සීමා කර තිබෙන බව හැඟෙනවද ? අතිශය වැදගත් වෙන්නේ කිසිවකට සීමා නොවී නිදහසේ නිර්මාණශීලීත්වය විඳගැනීමයි කුඩා අවදියේ ඉඳන් මං ගැන දන්න බොහෝ දෙනෙකු චිත්‍ර අඳින්නට හැකි අයෙකු ලෙස මාව දැනහිඳිනවා. මා ලේඛනයේ යෙදෙන බව දැනගෙන ඉරාකය අතැර ගිය පිරිස් පුදුමයට පත්වුණා. කාටූන් වගේම රූපවාහිනියත් මාව දැඩි ලෙස පෙළඹවූ මාධ්‍යයන් වූවා. ළමයින් වෙනුවෙන් වූ සංස්කෘතික නිවහනක කාටූන් ශිල්පියකු ලෙස 1989 දී මා වැඩකළා. ඔළුව හා සිරුරේ සබඳතාව පදනම් කරගත් My Head නම් කතා මාලාව රචනා කළේ මේ සමයේදීයි. ඊජිප්තු සඟරාවක් වුණු Akhbarak හි 1999 දී මේ කතා මාලාව ප්‍රකාශයට පත්වුණා. මෑතකාලීනව නවකතා වලට වැඩි කාලයක් යෙදුවත් කාව්‍ය රචනා වගේම මෙවැනි චිත්‍රණ කටයුතු වල තවමත් යෙදෙනවා. ලේඛනයේදී මෙන්ම පර්යේෂණ වල නිරත වෙන්න, වැඩිදුර කරුණු හොයන්න බොහෝ වේලාවක් ගතවෙනවා. නවකතාවක් රචනා කරන්නට පෙරාතුව එහි කතා තේමාව ගැන හිතන්න මං බොහෝ කාලයක් ගත කරනවා. අවසාන වශයෙන් ඔබ ඇසුරු කළ සාහිත්‍ය කෘති වලින් දැන හඳුනාගත් ප්‍රියතම චරිතය ගැන සිහිපත් කළොත් ? එක් දහස් එක් රැය (Thousand and One Nights) කෘතියේ ඉන්න සුලෙයිමාන් රජතුමා. ඔහුගේ ආඩම්බරකම නිසා බලය හා අධිකාරීත්වය අහිමිවී ගිහිං නන්තාරේ වීදි දිගේ ඇවිදින්නට සිදුවුණා. බුද්ධිමත්ව හා නිහතමානීව ජීවත් විය යුතු බව නැවත බලය ලබාගත්විට ඔහුට අවබෝධ වුණා. මනුස්සයෙක් අධිමානයෙන් හෝ අනෙකාට අසාධාරණකම් නොකර ජීවත් විය යුතු බව මෙමගින් කියාදෙන නිසා ඊට ඇළුම් කරනවා. ඒවගේම, මිනිහෙක්ට ජීවිතයේදී මුහුණදෙන්නට සිද්ධ වෙන නැගීම් හා අභියෝග ගැනත් මේ කතාවෙන් කියාදෙනවා. Courage in Creativity ඇසුරිනි