Wednesday, May 16, 2018

# Pakatan Harapan අන්වර් මහතීර් Anwar Ibrahim Mahathir Bin Mohamad Malaysia Sri Lanka Guardian Sodomy

මහතීර් මොහොමඩ් පොරොන්දු ඉටුකරයි – සොඩොමි චෝදනා ලැබූ අන්වර් ඊබ්‍රාහිම් නිදහස්

පසුගිය සතියේදී මැලේසියානු අගමැතිවරයා බවට පත්වෙමින් මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ ඒ වනවිට සිරදඬුවම් විඳිමින් සිටි මැලේසියාවේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ අන්වර් ඊබ්‍රාහිම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. මැලේසියානු රජු සමග මේ ගැන සාකච්ඡා කරන බව ද ඔහු එහිදී පවසා සිටියේය. එම පොරොන්දුව ඉටුකරමින් අද (16) දින උදෑසන 11.30 ට අන්වර්ව නිදහස් කිරීමට අගමැතිවරයා කටයුතු කළේය. අන්වර් මැලේසියාවේ අනාගත දේශපාලන නායකයෙකු වනු ඇති බවට දේශපාලන විචාරකයින් අදහස් දක්වන අතර නිදහස ලබන විට ඔහු සිටියේ‍ ක්වාලාලාම්පූර්හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමිනි. ඔහු මීට වසර තුනකට පෙර දෙවන වතාවටත් සිරගත කරනු ලැබූවේ සොඩොමි (පිරිමි සහයකයෙකු සමග ගුද මාර්ගික ලිංගික ක්‍රියාවේ නිරත වීම) චෝදනා යටතේය. කෙසේවුවත්, ඔහුට එරෙහිව එල්ල කරන ලද සියලු චෝදනා අසත්‍ය බව එකල ඔහු මෙන්ම ඔහුගේ දේශපාලන සගයන් ද පවසා තිබුණි. මේ වනවිට මැලේසියාවේ නියෝජ්‍ය අගමැති ධූරය දරන්නේ ද අන්වර්ගේ බිරිඳ වන වාන් අසීසා ඉස්මයිල් ය.
සිරෙන් නිදහස් වීමෙන් අනතුරුව අගමැතිවරයා හමුවීමට ස්තානා නෙගාරා මන්දිරය වෙත ගිය අන්වර් සමගින් ඔහුගේ ආධාරකරුවන් ද එක්ව සිටි අතර ‘අන්වර් දිගුකල් දිනේවා‘ යනුවෙන් කෑගසමින් ඔවුහු ප්‍රීතිඝෝෂා නැගූහ. ‘‘මැලේසියාවයට නව යුගයක් උදා වී තිබෙනවා. මැලේ, චීන, ඉන්දීය, කැඩසන්ස්, ඉබාන් ආදී මැලේසියාවේ දිවි ගෙවන සියලු වැසියන්ට හද පිරි ස්තුතිය පුදකර සිටින්නට කැමතියි. ප්‍රජානත්ත්‍රවාදයේ හා නිදහසේ මූලිකාංගයන් ඉස්මතු වූ අවස්ථාවක් ලෙස මෙය දක්වන්නට හැකියි. වෙනසක් ඉල්ලා සිටි ජනතාව Pakatan Harapan පක්ෂය බලයට පත්කර තිබෙන අවස්ථාවක ඔවුන් වෙනුවෙන් අප කැපවන බව සිහිපත් කරන්නට කැමතියි‘‘ බව දක්වමින් මැලේසියානු ජනතාවට පෙරළා ඔහු ස්තුති කර සිටියේය. කලෙක දේශපාලන පිටියේ සතුරන් වී සිටි මේ දෙපළ අද දින වන විට සමීපතම සගයන් බවට පත්වී ඇති අතර අන්වර් මැලේසියාවේ අගමැති තනතුරට පත්කිරීමට මහතීර් මොහොමඩ් පොරොන්දුවක් ද ලබාදී ඇත. People’s Justice පක්ෂයේ නිර්මාතෘ වන අන්වර් Pakatan Harapan සභාගයේ නායකයා ද වේ. මේ වනවිට ඔහු 70 වන වියේ පසුවෙයි. මහතීර් මොහොමඩ් අගමැති ධූරය දරන සමයේදී 1993 – 1998 දක්වා කාලයේදී නියෝජ්‍ය අගමැතිවරයා ලෙස ද කටයුතු කළේ අන්වර්ය. එකල අන්වර්ව සියලු තනතුරු වලින් ඉවත්කර 1999 අප්‍රේල් මස ඔහු සිරගත කිරීමට කටයුතු කළේද මහතීර් මොහොමඩ්ය.
ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ බලය අයුතු ලෙස භාවිත කිරීමය. 2000 වසරේදී ඔහුට එරෙහිව එල්ල වූ සොඩොමි චෝදනා එල්ල වූ අතර තවත් වසර 9 කට ඔහුව සිරගත කෙරුණේය. 2004 වසරේදී ඔහුගේ තීන්දුව අවලංගු කෙරුණු අතර 2008 හා 2013 මහ මැතිවරණ වලදී ආණ්ඩු බලය ලබාගැනීමට නොහැකි වුවද විපක්ෂයට පෙර නොවූ විරූ ජයග්‍රහණයක් අත්පත් කරදීමට ද සමත් වූවේය. ඉන් වසරක් ගෙවී ගිය තැන ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමින් සිටි අතර පැහැදිලි ජයක් ලැබෙනු ඇති බවට ඔහුගේ විරුද්ධවාදීන්ට පෙනී ගිය අතර නැවත වරක් ඔහුව සිරගත කෙරුණි. BBC හා The Guardian ඇසුරිනි

No comments:

Post a Comment