Tuesday, October 3, 2017

අවුං සාං සුකී ගැන සටහනක්

October 03, 2017 0 Comments
‘හැබෑ හිරගෙය වෙන්නේ බයයි. ඉතිං හැබෑ නිදහස භුක්ති විඳින්න හැකිවෙන්නේ ඒ බයෙන් නිදහස් වුණු දවසටයි‘ අවුරුදු 15ක් තිස්සේ නිවාස අඩස්සියේ හිටි ඇය සැබෑ නිදහස හා බිය ගැන කියන්නේ ඒ වගේ කතාවක්. අවුං සාං සුකී. ආසියානු කලාපයේ ගැහැණියක් ලෙස මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන තැනැත්තිය ඇයයි. රෝහින්යා සරණාගතයින්ගේ අර්බුදය, මියන්මාරය තුළදී රෝහින්යා වැසියන්ට එල්ල වන අමානුෂික ප්‍රහාර මෙන්ම නොබෙල් සාම ත්‍යාගය දිනාගත් තැනැත්තියක් ලෙස පමණක් නොව වගකිවයුතු බලධාරිනියක ලෙස රෝහින්යා අර්බුදය පිටුපස ඇයද සිටින බවට වුණු මතයක් මේ දිනවල ලෝක ජනමාධ්‍ය තුළින් දැකගන්නට හැකියි. මේ මතය කෙතරම් දුරදිග ගිහිං තිබෙනවාද කිව්වොත්, සුකීට හිමිවුණු නොබෙල් සාම සම්මානය පවා නැවත ලබාගතයුතු බව ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කරනවා. මේ කතාවේ ඇත්ත නැත්ත සොයාබැලීමට ප්‍රථම අවුං සාං සුකී දේශපාලන චරිතයක් ලෙසින් කළඑළි බැසීමට හේතුවුණු වටපිටාව ගැන පැවසිය යුතුයි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජාතික ලීගයේ නායිකාව වන සුකී මේ වනවිට අගමැති ධූරයට සමාන තනතුරක් වන රාජ්‍ය කොන්සාල්ධූරය හොබවනවා. මියන්මාරයේ පළමු විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරිය වන සුකී නූතන මියන්මාරයේ නිර්මාතෘ වුණු අවුං සාංගේ බාලම දියණියයි. බුරුමය බ්‍රිතාන්‍ය ආධිපත්‍යට යටත්ව පැවති 1945 ජූනි 19 වැනිදා ඇය මෙලොව එළිය දකිනවා. දිල්ලි විශ්වවිද්‍යාලයෙන් 1964 දී සිය ප්‍රථම උපාධිය හිමිකරගත් ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යායේද අධ්‍යාපනය ලබනවා. මයිකල් අරිස් සමග 1972 වසරේදී විවාහ දිවියට එළඹෙන තරුණ සුකී පුතුන් දෙදෙනෙකුගේ මවක්.
අතීතය මිලිටරි පාලනය හමුවේ 1989 දී නිවාස අඩස්සියට ලක්වන සුකී 2010 වසර වනතෙක් සිය ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගතකරනවා. අවසානයේදී සුකී නිවාස අඩස්සියෙන් නිදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමත් සමගයි. මේ වසර 21 ක කාලයෙන් වසර 15ක්ම ඇයට රැඳී සිටින්නට සිද්ධවෙන්නේ දැඩි රැකවල් මධ්‍යයේයි. ඇය මේ සමයේදී Freedom from Fear (1991) හා Letters from Burma (1991) කෘතීන් රචනා කරනවා. අවසානයේදී 1999 වසරේදී සුකීගේ ආදරණීය සැමියා වූ මයිකල් මියගිය අවස්ථාවේදී නිවාස අඩස්සියෙන් තාවකාලික නිදහසක් ලබා ඔහුගේ මළගමට සහභාගී වන්නට සීමිත ඉඩක් ලබාදුන්නත් ඇයට නැවතත් මියන්මාරයට පැමිණෙන්නට දුෂ්ට මිලිටරි පාලනය ඉඩ නොදෙනු ඇති බවට වූ සැකය නිසා සිය රටේම රැඳී සිටින්නට තීරණය කරනවා. ‘අසරණකමක් ඔබේ හිතට දැනෙද්දි කාටහරි උදව් කරන්න‘. සිය ජීවිතයෙන් පාඩම් ඉගෙනගනිද්දි ඇගේ මුවින් මෙවැනි වදන් නිරායාසයෙන්ම පිටවෙනවා. සුකීගේ දරුවන් ඇමරිකාවේ රැඳී සිටි අතර දරුවන්ට සිය මව දැකබලාගන්නට ලැබෙන්නේ 2011 වසරේදී සිටයි. කොහොම වුණත් නිවාස අඩස්සියේ පසුවුණු 1990 වසරේදී සිය පක්ෂයේ ජයග්‍රහණය දැක දැක මිලිටරි පාලනය හමුවේ නිහඬව සිටින්නට සුකීට සිද්ධවෙනවා. 2008 වසරේදී හැමූ නාර්ගීස් සුළි සුළඟ නිසා සුකී එතෙක් ජීවත් වුණු නිවසේ විදුලිබලය ඇණහිටි අවස්ථාවේදී මිලිටරි පාලනය විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කිරීමට සුකීට ඉඩනොදෙන පසුබිමක ඇය දිගු රාත්‍රීන් ගෙවාදමන්නේ ඉටිපන්දම් එළියෙනුයි. හැබෑවටම ඒ කාලය සුකීගේ දිවියේ ගෙවූ අඳුරුතම කාලපරිච්ඡේදයක් වන්නට ඇති. ආසියානු කාන්තාවක් ලෙස ඇය ගතකළ ඒ දුෂ්කර කාලපරිච්ඡේදය පසුකලෙක ඇගේ ජීවිතයට ආශිර්වාදයක් වන්නට ඇති. නමුත්, මේ කිසිවකින් ඇයව බියගුළු ගැහැණියක් බවට පත්කරන්නට කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඇය තව තවත් ශක්තිමත් වෙනවා. ‘රාජ්‍ය නායකයන්ගේ ගතිගුණ නම් හරි පුදුමයි. ඇත්තටම, මිනිස්සුන්ට වුවමනා දේවල් අවසානෙටම දැනගන්න එකම පිරිස ඒ අයයි.‘ දුෂ්ට පාලකයින් ගැන උපහාසයෙන් යුතුව ඇය පවසන්නේ එවැනි කතාවක්. මහත්මා ගාන්ධිතුමාගේ අවිහිංසාවාදය හා ගෞතම බුදුරදුන් දේශනා කළ ධර්මය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සිය ගමන් මගේ උත්තම මං සලකුණු කරගන්න සුකී දිගටම සටන් කරනවා. සුකීට 1991 දී නොබෙල් සාම සම්මානය හිමිවෙද්දි ඇය වෙනුවට සම්මානය ලබාගන්න යන්නේ ඇගේ ඇලෙක්සැන්ඩර් හා කිම් පුතණුවන් දෙදෙනායි. මෙමගින් හිමිවුණු ඇ.ඩො. 1.3 ක මුදල මියන්මාරයේ ජනතාවගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් යොදවන්නට තරම් සුකී ත්‍යාගශීලී වෙනවා.
අත්මිදීම නිවාස අඩස්සියෙන් නිදහස් වී සිය නොබෙල් සාම සම්මානය වෙනුවෙන් වූ පිළිගැනීමේ කතාව 2012 වසරේදී නෝර්වේ හි දී සිදුකරන සුකී ‘මට නොබෙල් සම්මානයක් හිමිවෙන්න යන බව එක දවසක් රේඩියෝව අහගෙන ඉද්දි අහම්බෙන් වගේ ඇහුණා. මේ නිවේදනය ඇහුණම මං මොනවිදියට ප්‍රතිචාර දක්වන්න ඕනද කියලාවත් හිතාගන්න බැරිවුණා. ඉතිං ඔවුන් අවසානේදී මට සම්මානේ දෙන්න යනවා කියලා මට හිතුණා. නිවාස අඩස්සියේ ගතකරපු කාල පරිච්ඡේදයේදී මට දැනුණේ මං මේ ලෝකේ කොටසක් නෙමේ කියලා. ඒ කාලේ මගේ මුළු ලෝකයම වෙලා තිබුණේ මගේ නිවහනයි. ඒ ලෝකෙන් පිටත හිටි අය හැබෑවටම නිදහස භූක්ති වින්ඳේ නැති වුණත් සමාජයක් විදියට ඔවුන් සිරගත වෙලා තිබුණා. ඒ වගේම නිදහස් මිනිස්සු හිටිය ලෝකයකුත් තිබුණා. නොවැදගත් විශ්වයක මේ හැම මිනිහෙක්ම තමන්ටම වෙන්වුණු හීන හොයාගෙන යනවා. මගේ ලෝකයෙන් පිටත ඉන්න මිනිස්සු එක්ක මාව බද්ධ කරවන යථාර්තවත් බවක් මට හිමිබව මේ නොබෙල් සම්මානයෙන් දැනේවි. කොහොම වුණත් ඒ බැඳීම එක දවසින් ඇතිකරන්න හැකිවෙන්නේ නැහැ. දින,සති, මාස ගණන් ගෙවී ගිහින් මේ සම්මානයත් සමගින් මට ලැබෙන ප්‍රතිචාරත් සමගින් නොබෙල් සම්මානය හිමිකරගැනීමේ වැදගත්කම දැනෙන්න පටන් අරන් තියෙනවා. මං හැබෑම කෙනෙක් බව ඉන් මට දැනේවි. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන් වෙනුවෙන් බුරුමය කරන සටන නොබෙල් සම්මානය හිමිවුණාට පස්සේ මට වඩාත් හොඳින් දැනෙන්නට පටන් අරන් තිබෙනවා. නිරන්තර ගැටුම් වලට ලක්වෙන බුරුමයත්, ලෝකයේම කොටසක් බව, මානුෂික බව අමතක තවමත් අපිට අමතක වී නැති බව මට නොබෙල් කමිටුව මට සාම සම්මානය ලබාදෙද්දි අමතක කරලා නැහැ. සත්තකින්ම, මට හිමිවුණු නොබෙල් සාම සම්මානය මගේ හදවතේ දොරගුළු විවර කරදීලා තියෙනවා‘ 2016 වසරේදී විදේශ කටයුතු ඇමතිවරිය හා රාජ්‍ය කොන්සාල් ධූරයට පත්වූ පසුව මේ දිනවල නිතර අහන්නට ලැබෙන රක්හින් ප්‍රදේශයේ රෝහින්යා වැසියන් ගැන සොයාබැලීමට ඇය වෙනම කමිටුවක් පවා පත්කරනවා. කෙසේවුවත්, ලෝක ජනමතය වෙලා වී තිබෙන්නේ මෙහිදී ඇය අසාර්ථක වී ඇති බවයි. රෝහින්යා ගැටළුව ගැන පැහැදිලි කරන සුකී පවසන්නේ, ‘‘රක්හින් ප්‍රදේශයේ තත්ත්වය ගැන කිව්වොත් මේ වගේ සිද්ධියක් මීට පෙර කවදාවත් වෙලා නැහැ. ඒක එතරම් හොඳ දෙයක් නෙමෙයි. කොහොම වුණත්, මේ වගේ සිද්ධියක් ගැන විමසා බලන්න ඕන බොහොම සියුම්වයි. මේ සිද්ධියත් සමග ජාත්‍යන්තරය අවධානය වැඩි වැඩියෙන් මියන්මාරය දෙසට යොමුවුණා. හැමෝම බලාගෙන ඉද්දි ප්‍රශ්නයක් විසඳීම බොහොම අසීරුයි. මේක දිගු කාලයක් තිස්සේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්නයක්. මේ වෙද්දි ඒක මානුෂික ප්‍රශ්නයක් දක්වා දුරදිග ගිහිං තියෙනවා. රක්හින් ප්‍රදේශයේ ඇතිවෙලා තියෙන මේ ගැටළුව 19 වන සියවස දක්වා දිවෙනවා. කාලයත් එක්ක මුස්ලිම් සමාජය හා රක්හින් වල ජනතාව අතර ඇතිවුණු ප්‍රශ්නයක් දක්වා මේක වර්ධනය වුණා. ඉතිං මේ සංකීර්ණ සමාජ තත්ත්වයත් එක්ක ඇතිවෙන ප්‍රශ්න වලට මුහුණදීලා ඒ ප්‍රශ්න විසඳන්න සිද්ධ වුණත් කොහොමටවත්, මේ ගැටළුවට එක රැයින් විසඳුම් හොයන්න හැකිවෙන්නේ නැහැ. ඔවුන් ගැන කියන්න විවිධාකාරයේ භාවාත්මක වචන භාවිත කරනවා වෙනුවට මුස්ලිම්වරුන් ලෙස ඒ පිරිස ආමන්ත්‍රණය කිරීම වඩාත් සුදුසුයි. අහිංසකයින්ට රිදවන්න වුවමනා නැති වුණත් ත්‍රස්තවාදීන්ට තවදුරටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න බැහැ. වෛරයට උඩගෙඩි දීම බුදුදහමට හාත්පසින්ම විරුද්ධයි, ඒ නිසා කිසිවිටක කිසිවෙකුට කෙලෙසකවත් වෛර නොකළ යුතු බව මගේ විශ්වාසයයි.‘ රෝහින්යා අර්බුදයත් සමග සුකී හැබෑවටම අවිහිංසාවාදය වෙනුවට ආගමික ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට උඩි ගෙඩි දෙන චරිතයක් බවට වූ මතවාදයත් පැතිරෙනවා. මේ වෙද්දි ඔක්ස්ෆර්ඩ් සරසවියේ තිබුණු ඇගේ ආලේඛ්‍ය චිත්‍රයකුත් ඉන් ඉවත්කර ඇති බව වාර්තා වෙනවා. සුකී සිය බලය අයුතු ලෙස යොදවනවාද ? නැත්නම් මියන්මාරයේ නැවතත් මිලිටරි පාලනයක් ඇතිකරවීමේ වුවමනාව නිසා සුකීව විවේචනය කරනවද ? යන ගැටළුව මේ තත්ත්වය දෙස විමසිල්ලෙන් බලන විට දැකගන්නට හැකියි. කෙසේවුවත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ සුකී දූෂණය, බලය ගැන කළ මේ ප්‍රකාශයෙන් සටහන නිමා කරන්නම්. ‘මිනිස්සු දූෂණයේ යෙදෙන්නේ බලය නිසා නෙමෙයි, බය නිසයි.‘

Friday, August 25, 2017

ස්පර්ශය ගැන කියවීමක්

August 25, 2017 0 Comments
EliasCanetti ගැන මොකෝ බස් එකේ එද්දි මූණට වෙලා තිබ්බේ. නිකං එකපාරම තක්කු මුක්කු වෙලා වගේ හිටියේ. වෙන කාගෙද අතක් මගේ අතේ ගෑවුණා. ඒකයි ම්හ්, ඔය කතාව අහද්දි මට මතක් වුණේ EliasCanetti ඒ කවුද ඒ නොබෙල් සම්මාන ගත්තු ලේඛකයෙක්. Canetti එයාගේ CrowdsandPower පොතේ කියන්නේ, නන්නාඳුනන කෙනෙක්ගේ #ස්පර්ශය තරම් මිනිහෙක්ව බයකරන වෙන කිසිම දෙයක් නැහැ කියලා. මිනිහෙක් දිහාට නාඳුනන දෙයක් එද්දි එහෙම වෙන්නේ ඇයි ? මේ නාඳුනන දේ මොකක්ද කියලා හොයන්න, අඩුතරමේ ඒ මොකක්ද කියලා අනුමාන කරන්න හරි මිනිස්සු ට්‍රයි කරනවා කියලා එයා කියනවා. ඒකනම්, ටිකක් හිතන්න ඕන කාරණාවක්. එතකොට මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා ඉන්න ට්‍රයි කරන්නේ ඇයි ? ම්හ්. ඒකට හේතුව වෙන්නෙත් ඔය බයම තමයි. ඇත්තටම, මිනිස්සු තමන් වටේ නිර්මාණය කරගන්න පරතරයට හේතුවන්නේ මේ බය. කාටවත් ඇතුල්වෙන්න බැරිවෙන විදියට මිනිස්සු ගෙවල් වලට වැදිලා ජීවත්වෙන්නේ තමන්ට ආරක්ෂාව සැලසෙන්නේ මේකෙන් බව දැනෙන නිසයි. ඒවගේම මිනිස්සුන්ට හොරබිය දැනෙන්නේ තමන්ගේ වස්තුව හොරකම් කරාවි කියන නිසා විතරක් නෙමෙයි. අඳුරෙදී නොහිතුව විදියට තමන්ව දැඩිව අල්ලාගනීවී කියන භීතිය නිසයි. ටච් වෙනවට බය ඇයි ? අපෝ ඔව්. ඒත් මිනිස්සු මේ තරමටම ටච් වෙනවට බය ඇයි ? Canetti කියන විදිහට මිනිස්සු ස්පර්ශයට දක්වන මේ බය පොදු සමාජයේ සැරිසරද්දි තදින්ම බලපානවා. ගොඩක් මිනිස්සු පාරේ යද්දි එද්දි, අවන්හල් නැත්නම් බස්, ට්‍රේන් වල වල යද්දි පවා මේ බිය බලපවත්වනවා. කෙනෙක් ළඟට ගිහිං රැඳිලා ඉද්දී, ළඟ ඉන්න කෙනාව දැකබලාගන්න ට්‍රයි කරද්දී සාමාන්‍යයෙන් මිනිස්සු එකඑල්ලේ කෙලින් බලන එක පවා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුවෙන්නේ සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට ආකර්ශණය වෙන බව දැනෙන නිසා වගේම තවත් කෙනෙක්ව ළඟට ගෙන්නගන්න අපි පෙළඹවීමක් දෙන නිසයි‘ බලාගෙන ගියාම මේ කතා ඔක්කොම ඇත්තනේ. අපි නොදැනුවත්වම වුණත් අපේ අතින් ඉබේම වෙන දේවල් ගැනනේ මනුස්සයා කතාකරලා තියෙන්නේ. හොඳම කතාව ඒක නෙමෙයි. ස්පර්ශයට ලක්වීම ගැන මිනිස්සුන්ට තියෙන බයෙන් නිදහස් වෙන්න පුළුවන් එකම විදිය කණ්ඩායම්ගතවීම විතරයි. බය කියන දේ නීර්භීතකම නැත්නම් නිර්භයක් බවට පත්වෙන්නේ ඒ වගේ වෙලාවකදී විතරයි. ස්පර්ශයට තියෙන මේ බය නැතිවෙන්න නම් සිරුරකට තවත් සිරුරක් ඇලිලා තියෙන්න ඕන, ඇඟේ පිහිටීම තදට දැනෙන නැත්නම් තමන්ගේ ඇඟට තදවෙලා ඉන්නේ කවුද කියලවත් පේන්නේ නැතිව තදින් හිරවෙලා තියෙන තරමේ සෙනඟක් අතරේ ඉන්න ඕන. මිනිහෙක් තමන් විසින්ම සෙනඟකට යටත්වෙද්දි සෙනඟට තියෙන බයත් ඒ මිනිහා විහින්ම නවත්වගන්නවා. මෙතනදී හැමෝම එකවගේ සමානයි. කිසිම වෙනසක් නැහැ. අඩුතරමේ ලිංගිකත්වයෙන් පවා වෙනස්වෙන්නේ නැහැ. මේ අතරතුරදී මිනිහෙක්ට දැනෙන මේ තෙරපීම තමන්, තමන් විසින්ම කරගන්න දෙයක් වගෙයි. මේ හැම දැනීමක්ම වෙන්නේ එකම සිරුරක් තුළ බව ඒ මොහොතේදී මිනිස්සුන්ට දැනෙනවා. නොහික්මුණු මිනිස්සු කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා වල ඉඳන් ආගමික සමූහයන් වෙනතෙක්ම කණ්ඩායම් වල හැසිරීම ගැන මේ Crowds and Power පොතේ අධ්‍යයනය කරලා තියෙනවා. ‘හැම ආගමකම වගේ අතිශය වැදගත් වෙන්නේ නොපෙනෙන සමූහයක්. ඒත්, ලෝකේ තියෙන අනික් හැම ආගමකටම වඩා අතිශය ශක්තිසම්පන්න විදියට ඉස්ලාම් ආගමේදී අද්‍රෘෂ්‍යමාන ආකාරයේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධව නැගී ඉන්න ද්විත්ව සමූහයක් දැකගන්නට හැකි බව මේ පොතේ #IslamasaReligionofWar කියන පරිච්ඡේදයේදී Canetti කියනවා...... කතාව ටිකක් නතරවුණා විතරයි. මොනාද ඔය දාගෙන සර්ච් කරන්නේ ? Canetti ගැන ටිකක් හොයන්න හිතුණා. මේකේ තියෙන විදියට සමූහය ගැන තියෙන විරෝධාභාසී මනෝවිද්‍යාව හොඳටම ග්‍රහණය කරගත්තු ලේඛකයෙක් විදියට විචාරකයෝ එයා ගැන කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නාට්‍ය පිටපත් වගේම ස්වයංචරිතාපදා රචකයෙක් විදියටත් එයාව අඳුන්වලා තියෙනවා. ගොඩක් දෙනෙක් Canetti ගැන දන්නේ එයාගේ කුඩාකාලේ මතකය කැටිවුණු ස්වයං චරිතාපදාන තුනක් වුණු #DieGeretteteZungeDieFackelimOhr හා #DasAugenspiel පොත් වලිනුයි. කියලා තියෙන හැටියට නම් අවුරුදු 6 ඉඳන්ම රටවල් ගණනාවකට සංක්‍රමණය වුණු Canetti අවුරුදු 19 දී වියානාවේ පදිංචිවෙනවා. හැබැයි වයස අවුරුදු 89 දී Canetti මියයද්දී ඉඳලා තියෙන්නේ සූරිච් වල. හ්ම්. මං දන්න තරමින් Canetti පොත් ලියලා තියෙන්නේ ජර්මන් වලිනුයි ඔව්. Canetti සාහිත්‍යය වෙනුවෙන් වුණු නොබෙල් සම්මානය 1981 දී ගන්නේ ‘පුළුල් පරාසයක විහිදී ගිය රචනාවන්, සාරගර්භ අදහස් හා කලාත්මක කුසලතා‘ වල පෙන්නුම් කළ විශේෂත්වය වෙනුවෙන් කියලා මේ ලිපියේ තියෙනවා. ඒවගේම නොබෙල් සම්මානයක් ගත්තු පළවෙනි බල්ගේරියානු ජාතිකයා වෙන්නෙත් Canetti. Crowds and Power ලියැවෙන්නේ 1960 දීයි. සමූහය යනු කවුරුන්ද ? අපි ඒ වගේ සමූහයන්ට එකතුවෙන්නේ ඇයි ? කියන දේ වගේම බලයේ අරුත, සමූහය මගින් අර්ථගන්වන ආකාරය ගැනත් සාකච්ඡාවට ලක්කරනවා කියලා තියෙනවා. ම්ම්, ඒ විතරක් නෙමෙයි මේකේ කියලා තියෙන විදියට පාලකයෝ හා පීඩනෝන්මාදය ගැන සමාන්තර කතාබහකුත් මේ පොතේ දිවයනවා. කණ්ඩායම්ගත වෙන්න මිනිස්සුන්ට බලපාන ගැටුම්කාරී ආකල්පය යටින් දිවෙන ගැඹුරු මනෝවිද්‍යාත්මක සාධකයන් හොයාබලන්න Canetti මෙහිදී උත්සහ අරන් තියෙනවා. කණ්ඩායම් ගැන අපි තුළ තියෙන අකමැත්තේ වගේම ආකර්ශණයේ පොදු මූලයන් ගැනත් හොයාබැලීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. කෝ බලන්න. Crowds and Power ගැන මොනවගේ කතාවක්ද? කියලා තියෙන්නේ කියලා. ‘අසාමාන්‍ය සටහන් පෙළගැස්ම, ප්‍රඥාව අතින් පෙන්නුම් කළ පුළුල්භාවය මෙන්ම ශාස්ත්‍රීය ලේඛනයක් නොවීම නිසා මෙය අතිසුවිශේෂ වේ. මානව සමාජයෙන් පිටත සිටින අයෙකු තවත් අමුත්තෙකුට සිදුකරන පැහැදිලි කිරීමක ස්වරූපයෙන් මේ කෘතිය ලියැවී ඇත. නොහික්මුණු සමූහය හා බලය ප්‍රබල වන්නේ කෙසේද යන්න ද මෙහි සඳහන්ය.‘ #TheHumanProvince පොතේ Canetti අපූරු කතාවක් කියලා තියෙනවා ඇති ඇති...පරක්කු වෙනවා. පස්සේ බලමු. නැහැ, මේක කියවලාම යමු. ‘නිතරම අතේ තියාගෙන ඉන්න, යන නගරයක් නගරයක්, රටක් පාසාම පරිස්සමින් ඔතාගෙන අරන් යන, පුංචි කාමරේක සීරුවට වහලා තියෙන පෙට්ටියෙන් එළියට ගනිද්දි සමහරවිට කොළයක් දෙකක් එළියට පැනලා තියෙන, ඒත් එක වැකියක් වත් නොකියවා ඉන්න වගබලාගන්න අවුරුදු 20 ක් ගියත් නොකියවා ඔහේ තියාගෙන ඉන්න පොතක් අපි ළඟ තියෙනවා. ඉතිං, අවුරුදු 20 ක් ගතවෙලා ගිහිං බලහත්කාරයෙන් වගේ හදිස්සියේම එක හුස්මට මේ පොතේ මුල ඉඳන් අග දක්වා නොකියවා ඉන්න බැරි මොහොතක් උදාවෙනවා. ඒ මොහොත හරියට රහසක් එළිදරව් කරනවා වගේ. හිටිහැටියේම මේ තරම් කුලප්පුවක් ඇතිවුණේ ඇයි කියලා දන්නවා. මේ පොතට දිගු කාලයක් ඔහේ බලාගෙන ඉන්න වුණා, එහෙ මෙහෙ යන්න වුණා, එක තැනක වැඩඉන්න වුණා. ගමනාන්තය දකින්න ඒ තරම් වෙහෙසක් දරන්න වුණා. ඉතිං, පොත පිටු අතරේ ගැබ් වෙලා තියෙන දේවල් ටිකින් ටික අනාවරණය කරන්න පටන්ගන්නවා. නිහඬව ගතකරපු අවුරුදු 20 ක ජීවිතය ගැන පැහැදිලි කරන්න පටන්ගන්නවා. අවුරුදු විස්සක්, ඔව්, ඒ තරම් කාලයක් නිහඬව හිටියේ නැත්නම් මේ තරම් දේවල් කියන්නේ කොහොමද ? ඇත්තටම, මේ පොතේ තිබ්බේ එකම දේවල් කියලා තර්ජනය කරන්නේ මොන මෝඩයද ?