Tuesday, October 9, 2018

මට ආයෙත් පොත් ලියන්න නොහැකි වේයැයි බයක් දැනෙනවා – යැන් ලියැන්කේ

October 09, 2018 0 Comments
චීන ජාතික ලේඛකයෙකු වෙන යැන් ලියැන්කේ සිය පළමු නවකතාව රචනා කරන්නේ වයස අවුරුදු 21 දී. ඒ 1979 දී ය. ඉන්පසුව, සුවිශේෂී කෘතීන් ගණනාවක් ඔහු අතින් රචනා වෙන්නට පටන් ගන්නවා. යැන්ගේ කෘතීන් තුළ හාස්‍යය දැඩි ලෙස ගැබ්වී තිබෙන අතර ඔහුගේ කෘතීන් බොහොමයක් චීනයේදී තහනමට ද ලක්වෙනවා. Serve the People (2005) හා The Explosion Chronicles (2013) ඒ අතරින් කීපයක්. Xia Riluo (夏日落), Serve the People! (为人民服务), Enjoyment (受活), හා Dream of Ding Village (丁庄梦) ලියැන්කේ විසින් රචිත සෙසු කෘතීන් අතරට ඇතුළත් වී තිබෙනවා. The Day the Sun Died ඔහු ලියූ නවතම කෘතිය වන අතර මෙය තායිවානයේදී එළිදුටුවා. ලී නියනියන් නම් වයස අවුරුදු 14 ක දරුවෙකු පදනම් කරගෙන ලියැවුණු මේ කෘතියේදී ඔහු සිහිනෙන් ඇවිද යන අතරතුර සිය මිතුරෙකු බේරාගැනීමට දරන උත්සහයක් ගැන කියැවෙනවා. කෙසේවුවත්, මේ කෘතිය ගැන විචාරයේ යෙදෙන බටහිර පිරිස් මෙය හඳුන්වා තිබෙන්නේ ෂී ජින්පින්ගේ ‘චීන සිහිනය‘ ගැන ලියැවුණු කෘතියක් ලෙසිනුයි. ලියැන්කේ Man Asian සාහිත්‍යය සම්මානයෙන් Franz Kafka සම්මානයෙන් පිදුම් ලබා තිබෙන අතර බුකර් සම්මානය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ කෙටි නම් ලැයිස්තුවට අතරට ද පැමිණ තිබෙනවා. මෙහි පළවන්නේ The Day the Sun Died කෘතිය පිළිබඳ The Guardian සමග කළ සංවාදයේ අනුවර්තනයයි. ‍ෆ්‍රාන්ස් කෆ්කා සම්මානය අතැතිව මේ නවකතාව රචනා කරන්න හේතුවුණේ මොකක්ද ? නින්දෙන් ඇවිදින පුරුද්දක් මට තිබුණා. ඒ වගේම අනෙක් අය නින්දෙන් ඇවිදින දර්ශන මගේ දුරකතනයෙන් දැක තිබෙනවා. මේ නවකතාවේ මූලික අදහස පහළ වුණේ ඒ විදියටයි. මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තියෙන ලෝකය වගේම ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන අතිශය රහසිගත දේවල්, ආශාවන් ආදියට අනුව ජීවත්වීම ප්‍රකාශ වෙන්නේ කොහොමද යන්න ගැන රචනා කරන්න මට වුවමනා වුණා. මේ කතාව දිගහරින්න වයස අවුරුදු 14 ක දරුවෙකු තෝරාගත්තේ ඇයි ? මේ වගේ කතාවකදී අහඹු බව හා පූර්ව අනාවැකි නොකියා හිඳීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. යම් හෙයකින් කතාව දිගහරින්න වැඩිහිටියෙකු තෝරගත්තා නම් ඒක තරමක් විශ්වාස කරන්න අසීරු කතාවක් වෙන්න තිබුණා. නමුත්, බුද්ධිය වර්ධනය වෙලා නැති යෞවනයෙක් කතාව කියන නිසා මේක මිනිස්සුන්ට පහසුවෙන්ම විශ්වාස කරන්න හැකිවී තිබෙනවා. අනෙක් හැමදෙනාම කියන විදියට මේ නවකතාව හරහා චීන සමාජය විවේචනය කරනවා නම් එවැනි විවේචනාත්මක විග්‍රහයක් රචනා කිරීම අතිශය අඥාන හෝ සරළ දෙයකට වඩා ලේසි පහසු කාර්යයක් වුණාද ? ඔව්, ඇත්තටම. චීන මිනිසුන්ගේ හදවතේ ගැඹුරුම තැනට කාවැදී තිබෙන අතිශය අසීරු දේවල් අවිහිංසක හා පැහැදිලි හඬක් තෝරාගැනීම හරහා අනාවරණය කරන්න හැකිවී තිබෙනවා. එවැනි කෙනෙකුගේ ඇහින් සමාජය දිහා බැලුවම මිනිස්සු හැසිරෙන්නේ නිතරම අඳුරු අන්දමින් බොහොම ප්‍රාථමික විදියට බව විස්තර කරන්න මට හැකිවුණා. නමුත්, මට අවධාරණය කරන්න හැකිවුණා වගේම හොඳ දේවල් ගැනත් අනාවරණය කරන්න හැකිවුණා. මේ නවකතාව ගැන විචාර සම්පාදනය කරන බ්‍රිතාන්‍යය විචාරකයින් මේ ගැන විවරණය කරන්නේ මෙය හුදෙක් ‘සමාජ විවරණයක්‘ වශයෙන් පමණක් නොව දේශපාලන මුහුණුවරක්ද ඊට එක්කරමින් වන අතර මේ කෘතියේදී අවධානයට ලක්කරන්නේ ෂී. ජින්පින්ගේ ‘චීන සිහිනය‘ බව දක්වා තිබෙනවා. මේ කෘතිය බ්‍රිතාන්‍යයට හඳුන්වා දුන් එහි පරිවර්තක වන කාර්ලෝස් රොජ්ර්ස් පවා සිය හැඳින්වීමේදී ඒ අදහස ඉදිරිපත් කර තිබෙනවා. ඇත්තටම, මෙමගින් ෂී. ජින්පින්ගේ ‘චීන සිහිනය‘ ගැන පැවසීමේ වුවමනාවක් ඔබට තිබුණද ? ඇත්තටම. මේ ගැන ලියැවුණු විචාරයන් කියවූවාම මගේ හැබෑ අභිලාෂය ආසන්නයටවත් ඔවුන් ළඟාවී නොසිටිය නිසා මං දැඩි පුදුමයට පත්වුණා. නින්දෙන් ඇවිදින සිද්ධියක් ගැන රචනා කර මිනිස් සන්තානය ගැන මූලික සත්‍යයන් පිළිබිඹු කිරීම මගේ වුවමනාව වුණා. චීන හීනය ගැන සෘජු සම්බන්ධයක් ඇතිකිරීම මගේ අභිලාෂය වී තිබුණේ නැහැ. මේ ගැන මං විචාරයක් රචනා කිරීමත් තරමක අසීරු කටයුත්තක් බව හැඟුණා. මිනිස්සුන්ගේ හිතැඟි තුළ තිබෙන නමුත් හැබෑවක් කර නොගත්තු දේවල් ගැන කියන්න ‘නින්දෙන් ඇවිදීම‘ කියන දේ යොදාගැනීම මගේ අභිලාෂය වුණා. මේ හිතැඟි වල තියෙන දේවල් හොඳ වුණත් නරක වුණත් නමුත්, ‘හැබෑ ජීවිතයේදී‘ මේ දේවල් කරන්න හැකිවෙන්නේ නැහැ. ඇත්තටම ඒ දේවල් මර්දනය කරනු ලැබූ ආශාවන් පමණයි. ඔබට තවදුරටත් ලේඛනයේ යෙදෙන්න නොහැකි බව මේ නවකතාවේ සඳහන් වී තිබෙන එක හීනයක තියෙනවා. ඔබේ චරිතය නවකතාවට මුසුකරේ ඇයි ? ලේඛකයෙකු විදියට ඔබ මුහුණදෙන දැවැන්ත බිය මේ තුළ පිළිබිඹු වී තිබෙනවාද ? ඊළඟ අවුරුදු 10 ටම මට කිසිම පොතක් ලියන්න නොහැකි වේවි යන බිය නවකතාවක් රචනා කරලා ඉවර වෙන හැම අවස්ථාවකදීම මට ඇතිවෙනවා. ලියන්න නොහැකි වේවි යනුවෙන් ඇති වෙන බිය අතිදරුණු භයානක තත්ත්වයක්. මට නැවතත් ලියන්න නොහැකි වේවි කියන අදහසත් එක්ක දැඩි කනස්සල්ලක් හැමවිටම දැනෙනවා. සමකාලීන චීනයේ වඩාත්ම කීර්තිමත් ලේඛකයෙකු බවට පත්වීම ඔබේ හිසට බරක් විදියට දැනෙනවද ? ඒක හරිම සංකීර්ණයි. වාරණය නිසා නොවුණත් චීනයේ ඉන්න ලේඛකයින්ට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන තත්ත්වය අතිශය සංකීර්ණයි. මගේ කෘතීන් චීනයේදී ප්‍රකාශයට පත්කරගන්න යද්දි දුෂ්කරතා ගණනාවකට මුහුණදෙන්න වූ බව ඇත්තත්. ප්‍රකාශකයෙක් නැති නිසාම අපිට ඕන දෙයක් ලියන්න හැකියාව තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක එක්තරා විදියක නිදහසක්, සහනයක්. ප්‍රකාශකයෝ නිසා ලේඛකයින්ට යම් යම් සීමාවන් වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඔවුන්ට අවශ්‍ය දේ ලිව්වේ නැත්නම් ඒ කෘතිය ප්‍රකාශයට පත්වෙන්නෙත් නැහැ. ඔබේ ලේඛන කටයුතුත් එක්ක දවස ගතවෙන්නේ කොහොමද ? මට තියෙන්නේ බොහොම සංවිධානාත්මක දින චර්යාවක්. උදේ 6 – 7 අතරේ අවදිවෙනවා. ඊට පස්සේ පැය දෙකක් හෝ දෙක හමාරක් එකදිගට අකුරු 2000 ක් විතර ලියනවා. ආයේ හවස මගේ යාළුවෝ මුණගැහිලා, කෑම ටිකක් කාලා රිලැක්ස් වෙනවා. ඔබේ ලේඛන කටයුතුත් සමග දවස ගතවෙන්නේ කොහොමද ? බොහොම සංවිධානාත්මකව මගේ දවස ගතවෙනවා. මං උදේ හයට නැත්නම් හතට නැගිටිනවා. ඊට පස්සේ පැය දෙකක් හෝ දෙක හමාරක කාලයක් ඇතුළත අකුරු 2000 ක් විතර ලියනවා. ආයේ හවස යාළුවෝ මුණගැහිලා නැත්නම් කෑමබීම අරගෙන නිදහසේ ගතකරනවා. ඔබේ පොත් රාක්කයේ තියෙන දේවල් වලින් පුදුමයට පත්වෙන්නේ මොකකින්ද ? එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. අවුරුදු 10 විතර ඉන්න දරුවෙකු කියවන විදියේ ජනකතා, සුරංගනා කතා, මැජික් ගැන ලියවුණු කතා ගොඩක් තියෙනවා. බ්‍රිතාන්‍යය ලේඛකයෙකු වෙන ග්‍රැහැම් ග්‍රීන්ගේ කෘතීන් කියවන්නත් මං ගොඩක් කැමතියි. ඔහු රචනා කරපු The Power and the Glory කෘතිය මේ දවස් වල කියවමින් ඉන්නවා. ආගමික කරුණු සම්බන්ධයෙන් ලිවීමේ බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ලෝකේ පුරා විසිරී ඉන්න ආගමික කරුණු ගැන ලියන ලේඛකයින්ගේ රචනා කියවමින් ඉන්නවා. ඔබේ කුඩා අවදියේදී ඇසුරු කරපු කෘතීන් මොනවද ? අවුරුදු 10 -20 විතර වෙනකල් පොත් කියවන්න ලොකු ඇබ්බැහියක් දැක්වූවේ නැති වුණත් විප්ලවය ගැන ලියැවී තිබෙන කෘතීන් කියෙව්වා. අවුරුදු 20 දී විතර ගමෙන් නික්මුණාම විදෙස් සාහිත්‍යය වගේම චීන සාහිත්‍යයත් ඇසුරු කරන්න ගත්තා. අවුරුදු 20 පහුකළාම විවිධ ලේඛකයින්ගේ කෘතීන් ඇසුරු කරන්න පටන්ගත්තා. මගේ ජීවිත කාලයේදී ඇසුරු කරන විශේෂ කෘතියක් හෝ ලේඛකයෙකු නැහැ. වෙනසක් නැතිව විවිධ ලේඛකයින්ගේ කෘතීන් කියවන්න කැමතියි.

මාධ්‍යවේදී ජමාල් තුර්කියේදී මරා දැමුවාද ?

October 09, 2018 0 Comments
ජමාල්ට මොකද වුණේ ? සෞදි අරාබි ජාතික මාධ්‍යවේදියෙකු මෙන්ම The Washington Post පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන ජමාල් කෂොගී පසුගිය ඔක්තෝබර් 2 වැනිදා සිට අතුරුදහන් වී ඇත. පසුගිය ඔක්තෝබර් 2 වැනිදා හා 7 වැනිදා අතර දිනයකදී ඔහු ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සාල්ජනරාල් කාර්යාලය ඉදිරියට පැමිණ ඇති ජනතාව ජමාල්ගේ අතුරුදහන්වීම ගැන සිය විරෝධය පළකරමින් සිටියි. ජමාල් සිය උපන්බිම වූ සෞදිය විවේචනය කරන ලිපි අඛණ්ඩව පළකළ අතර එම ලිපි හරහා සෞදි අරාබියේ කිරුළ හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන්ගේ දැඩිව විවේචනයට ලක්කළේය. විශේෂයෙන්ම, සෞදිය යේමනයට මැදිහත්වීම ද දැඩිව විවේචනය කළේය. කලක් Al Arab පුවත් සේවාවේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද සේවය කළ ජමාල් 2017 සැප්තැම්බර් 18 වැනිදා සෞදි අරාබියෙන් ඇමරිකාවට පලා ගිය අතර ස්වයං පිටුවහලක ගතකළේය. අවසන් වරට ගියේ තුර්කියේ පිිහිටි සෞදි කොන්සාල් කාර්යාලටයයි ජමාල් මේ වනවිට 59 හැවිරිදි වියේ පසුවු අතර අතුරුදහන් වීමට පෙර අවසන් වරට ඔහු මුණගැසී තිබෙන්නේ ඔහුගේ පෙම්වතිය වන හටීස් සෙන්ගිස් ය. ඔහු ඇය සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටි අතර එම විවාහ ගිවිස ගැනීම ඔක්තෝබර් 2 වැනිදා සවස යෙදී තිබුණි. සිය විවාහයට අදාළ ලියකියවිලි කීපයක් ලබාගැනීමේ අරමුණින් තුර්කියේ පිිහිටි සෞදි කොන්සාල් කාර්යාලයට ගොස් ඇත. ඉන්පසු තුර්කි බලධාරීන් මෙන්ම හටීස් ද පවසන්නේ ජමාල් කිසිදු අවස්ථාවක ගොඩනැගිල්ලෙන් පිටව ගියේ නැති බවයි. නමුත්, සෞදි බලධාරීන් දිගින් දිගටම පවසන්නේ ජමාල් ගොඩනැගිල්ලෙන් නික්මී ගිය බවයි. ජමාල් ඝාතනය වූයේ සෞදි කොන්සාල් කාර්යාලයේදීයි – තුර්කි බලධාරීන් මේ ගොඩනැගිල්ල තුළදී ජමාල් ඝාතනයට ලක්කෙරුණු බව තුර්කි බලධාරීන් පවසයි. කෙසේවුවත්, රියාද් බලධාරීන් මේ චෝදනාවට විරුද්ධ වෙමින් පවසා සිටින්නේ ජමාල් මෙම සංකීර්ණයෙන් නික්මී ගිය බවයි. ඇමරිකාව මේ ගැන කියන්නේ මොනවද ? මේ පිළිබඳ අදහස් දැක්වූ ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ‘‘මම මේ ගැන අතිශය කණගාටුවට පත්වෙනවා. මේ ප්‍රශ්නය විසඳේයැයි විශ්වාසයක් තියෙනවා. ජමාල්ට සිද්ධ වුණේ මොකක්දැයි කිසිවෙකු දන්නේ නැහැ. මේ ගැන අතිශය කණගාටුවට පත්වෙනවා. ඔහු ගැන බොහොම නරක ආරංචි පැතිරෙනවා. ඔහුට එහෙම ඉරණමක් අත්වුණා නම් මා එවැනි දේකට කැමැත්ත පළකරන්නේ නැහැ‘‘ එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබෙන්නේ, ‘සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් ගැන අහන්න ලැබුණු පුවත අතිශය සංවේදීයි. මේ කතාව ඇත්තක් නම් එය අතිශය ඛේදජනක පුවතක් වෙන බව නිසැකයි. ලොව පුරා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය ජනමාධ්‍යට මෙන්ම මානව හිමිකම් වලට එල්ල වන බරපතල තර්ජනයක් වී තිබෙනවා. නිදහසින් පිරුණු ලෝකයට පිළිතුරක් ලබාදිය යුතුයි.‘ යන්නයි. සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සෞදි අරාබිය විසින් පැවැත්විය යුතු බව එක්සත් ජනපද මයික් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. ජමාල්ගේ අතුරුදහන් වීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සෞදි අරාබිය විසින් පැවැත්විය යුතු බවත් මේ පරීක්ෂණය විනිවිදභාවයෙන් යුතුව දියත් කළයුතු බවත් ඔහු පවසයි. ජමාල්ගේ පෙම්වතිය තුර්කි ජනපතිගෙන් සෞදියට චෝදනා තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන්, මේ ගැන ඊයේ (8) දිනයේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ, ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සාල් කාර්යාලයෙන් ජමාල් නික්ම ගිය බව සෞදි බලධාරීන් සනාථ කළයුතු බවයි. ‘මේ සිද්ධිය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් දියත් කරලා එහි ප්‍රතිඵල ඉදිරිපත් අනාවරණය කළයුතුයි. ‘ඔහු අපේ කාර්යාලයෙන් ඉවත් වී ගියා‘ යැයි කියලා කොන්සාල් කාර්යාලයේ නිළධාරීන්ට තමන්ගේ ඇඟ බේරාගන්න බැහැ.‘ යන්න එර්ඩෝගන් වැඩිදුරටත් පවසයි. ජමාල්ගේ අතුරුදහන් වීම ගැන අදහස් පළකල තුර්කි රජයේ උපදේශකයෙකු වන යසීන් අක්තර් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ, ‘‘ජමාල් අතුරුදහන්වූ බවට සැලකෙන මොහොතේදී සෞදි අරාබි ජාතිකයින් 15 දෙනෙකු රැගත් කළු පැහැ වෑන් රථයක් ගුවන්තොටුපළ වෙත ගියා. තුර්කි ආරක්ෂක කැමරා වලින් මේ ගැන වැඩිදුර සොයාබලන්න නියමිතයි. ජමාල් කාර්යාලයට ඇතුළු වුණාට පස්සේ කොන්සාල් ජනරාල් කාර්යාලයේ සේවකයෙකුට අයිති තවත් වාහනයක පෙට්ටි කීපයක් තැන්පත් කර තිබෙන බව කැමරා වලින් දැකගන්නට හැකියි. වාහන දෙකක් ගැන මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා. මේ ගැන නොවිසඳුණු කරුණු දෙකක් තියෙනවා. එකක් කොන්සාල් කාර්යාලයෙන් පිටතට ජමාල් රැගෙන ගිය බව, අනෙක් කාරණේ ජමාල්ට මේ ගොඩනැගිල්ල තුළදී අපරාධයක් කළා නම් ඒ අපරාධයට සම්බන්ධ අය මේ වාහන වලින් පිටමං කළ බවයි‘ යන්නයි. Al Jazeera,The Guardian, CBC News හා The Independent අැසුරිනි

Thursday, October 4, 2018

මං නිර්දය ප්‍රහසනයන්ට කැමතියි – සල්මන් රුෂ්ඩි

October 04, 2018 0 Comments
ඉන්දියාවේ ඉපිද පසුකලෙක බ්‍රිතාන්‍යයට යන සල්මන් රුෂ්ඩි අතිශය සාර්ථක වෙන්නේ ඔහුගේ දෙවැනි නවකතාව වූ Midnight’s Children (1981) කෘතියෙනි. මේ වෙනුවෙන් බුකර් සම්මානය දිනාගන්නා ඔහු සාහිත්‍ය ලොව විශිෂ්ටයෙකු බවට පත්වෙනවා. The Satanic Verses (1988) කෘතිය රචනා කිරීමේ වරදට ඉරාන රජය විසින් රුෂ්ඩිට මරණ දඬුවම නියම කර තිබුණු අවස්ථාවක සිය ජීවිත රැකවරණය පවා බටහිරට පලා යන ඔහු ඉන්පසු බ්‍රිතාන්‍යයේ දිවිගෙවන්නට පටන්ගන්නවා. 2007 වසරේදී නයිට් ධූරයකින් පිදුම් ලැබූ මේ ලේඛකයා මේ වනවිට පසුකරමින් සිටින්නේ සිය දිවියේ 71 වන කඩඉමයි. The Guardian විසින් රුෂ්ඩි සමග සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාවට පදනම් වී තිබෙන්නේ පසුගිය වසරේදී ඔහු රචනා කළ The Golden House (2017) කෘතිය හා ලේඛන දිවියයි. The Golden House කෘතියේදී මෑතකාලීනව කතාබහට ලක්වුණු සුවිශේෂී සිද්ධි වන ඇමරිකානු ජනපතිවරණය, ඉන් පසුව ඇතිවූ දේශපාලනික තත්ත්වය හා ලිංගික අනන්‍යතාව ගැන තිබෙන විවාදය වගේ කරුණු ගැන අවධානය යොමුවෙනවා. ප්‍රබන්ධ රචනයෙහිලා නව ප්‍රවේශයක් මේ කෘතියේදී දැකගන්නට හැකිවෙනවාද ? ඔව්, එක් අතකින් ගත්තොත්, ද්‍රෘෂ්ටිකෝණයක් හා පරතරයක් තිබෙනවා නම් ඒ දිහා බලා හිඳීම හොඳ බව කියැවෙනවා. හිතාමතාම මීට පරස්පර අදහසක් ඉදිරිපත් වෙන කෘතියක් ලියන්න මට වුවමනා වුණා. එක්තරා අන්දමකට මේක අවදානමක්. අපි අතින් වැරැද්දක් වුණොත් ඒක හරියට ඊයේ දවසේ නිකුත් වුණු පත්තරයක් වගේ කිසිසේත්ම නොගැළපෙන දෙයක් වීමේ ඉඩ වැඩියි. නමුත්, හොඳ දෙයක් කළොත් අනාගතයටත් අදාළ වෙන යථාර්තවාදී මොහොතක් හසුකරගන්නට හැකිවේවි. කාලයත් සමගින් නිරන්තර වෙනස්වීම් වලට හසුවෙන යථාර්තයට නවකතාවක ඉඩලබාදීම අතිශය අසීරු කටයුත්තක් වුණත් විශ්වාස කරන්න බැරි තරමේ විතැන් වීම් එක්ක මං පොරබැදුවා. The Golden House කෘතිය ඇරඹෙන්නේ ඔබාමා ජනාධිපති විදියට දිවුරුම්දීමත් සමගයි. මෙය අවසන් වෙන්නේ ‘කවටයා‘ තරඟ වදින මැතිවරණයෙනුයි. මේ ‘කවටයා‘ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසාත්මක ප්‍රතිමූර්තිය වගේ පේනවා. ඔබ මේ නවකතාව රචනා කරන්න පටන්ගත්තේ ට්‍රම්ප් ඇමරිකන් ජනපති විදියට තේරීපත්වුණු දින උදෑසන ඉඳන්ද ? නැහැ, නැහැ. කොහෙත්ම නැහැ. ට්‍රම්ප් ජනපති වෙද්දිත් මං මේ කෘතිය හමාර කරලා තිබුණා. මේකට අළුතෙන් දේවල් එක්කිරීම පමණයි ඒ වෙද්දි ඉතුරු වෙලා තිබුණේ. නමුත්, ට්‍රම්ප් ගැන තියෙන කොටස ද්විතික කාරණයක්. ඔබාමාගේ ඉඳන් ට්‍රම්ප් දක්වා ගතවුණු දශකයක කාලපරිච්ඡේදයේදී සිද්ධ වුණු දේවල් හසුකරගන්න මට වුවමනා වුණා. ජනපතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජයගනීවි යැයි බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණත් අවසානයේදී කෘතිය නිමාවෙන්නේ ඇත්තටම සිද්ධ වුණු දේවල් දිහාවට වීම මෙහි ගැබ්වුණු අපූර්වත්වයයි. සමහර වෙලාවට කලාකරුවාට වඩා ප්‍රබන්ධ බුද්ධිමත් විය හැකියි. The Golden House අතිශය දේශපාලනික කෘතියක් වුණත් මෙහි හාස්‍යයත් ගැබ්වී තිබෙනවා. මෙවැනි උපක්‍රමයක් අනුගමනය කළේ පාඨකයින්ව හිනාගස්වන්නද ? මං නිර්දය ප්‍රහසනයට කැමතියි. විශේෂයෙන්ම, අඳුරු කාල පරිච්ඡේද වලදී මෙවැනි නිර්දය ප්‍රහසනයන් ඉදිරිපත් කරන්න කැමතියි. හාස්‍යය නිර්දය වෙන්න, නිර්දය වෙන්න එය තවදුරටත් සත්‍යයක් බවට පත්වෙනවා. හාස්‍යය කියන්නේ බොහොම සියුම් මෙවලමක් වන අතර බොහෝ විට එය අසීරු කාල පරිච්ඡේද වලදී පාවිච්චි වෙනවා, ඒ නිසා මේ වගේ කාලයකදී වැඩි වැඩියෙන් හාස්‍යය පැවතිය යුතුයි. සෝවියට් රුසියාවේ පැවති සාහිත්‍යය සෝවියට් රුසියාව බිඳවැටුණාට පස්සේ පැවතුණු සාහිත්‍යයට වඩා සියුම් හා අතිවිශිෂ්ට වෙන්නේ ඔවුන්ට නිශ්චිත අරමුණක් තිබුණු නිසයි. අතිදුෂ්කර අතීතයක් තිබුණු නීරෝ ගෝල්ඩන් කියන මෙහි ප්‍රධාන චරිතය පසුකාලීනව ඇමරිකාවේදී බිලියනපතියෙක් බවට පත්වෙනවා. ඔබ මෙහි මවන ප්‍රධාන චරිතය තුළින් ඇමරිකානු සිහිනය ප්‍රශ්න කරනවා වගේම එහි කොටස් වෙන් වෙන්ව පෙන්වන්න උත්සහ දරනවා. අද ඇමරිකානු සිහිනය වී තිබෙන්නේ මොකක්ද ? ඇමරිකානු හීනයේ බොහෝ දේවල් දැන් ඉතුරු වෙලා නැහැ. ඔබ නිව්යෝර්ක් වල ජීවත් වෙන කෙනෙකු නම් මෑතකාලීනව සිද්ධ වෙන දේවල් වගේම දේශපාලනයත් තැතිගන්වන සුළුයි. ජෙරුසෙලම නැත්නම් කන්දක් මුදුනේ තියෙන නගරයක් වගේ හැඟීමක් නිව්යෝර්ක් වලදී දැනෙන්නේ නැහැ. ගෝල්ඩන් වගේ අඳුරු චරිතයක් නිර්මාණය කරලා, ඔහු මොනදේ කළත්, ආදරණීය පියෙකු විදියට මවලා ඔහු කෙරේ පාඨක අනුකම්පාව දනවන්න හැකිවේවි ද කියා මම, මගෙන්ම ඇහුවා. ඇමරිකන් හීනයේ කොටස් ගැන එකිනෙක පවසද්දි පිලිප් රොත් හා ඔබ අතර පවතින ඇසුර ගැන කිව්වොත් ? ඔව්, අනිවාර්යයෙන්ම. පිලිප්ගේ අවංකකමට මං කැමතියි. ඔහු කිසි දෙයක් සඟවාගෙන ඉන්න කෙනෙක් නොවෙයි, හැමදේම විවෘතව කියනවා. ඔහු මියයන්න මාස තුන හතරකට කලින් මට කතා කළා. වාර්ෂිකව නෙවාර්ක් පුස්තකාලයේදී පවත්වන පිලිප් රොත් දේශනය ගැන අපි කතාබහ කළා. මේ සැප්තැම්බරයේදී ඒ දේශනය ඔහුට එවන්න පුළුවන්ද කියලා ඇහුවා, මං කිව්වා පුළුවන් කියලා. The Golden House කෘතිය කියවූ බව කී ඔහු රටේ පවතින තත්ත්වය මනාව ඉදිරිපත් කර තිබෙන බවත් කීවා. ඇත්තටම ඒ වෙලාවේදී පුදුම සතුටක් දැනුණා. සාහිත්‍යය ලෝකේ මගේ වීරයා කිසිදාක මගේ කෘතීන් කියවාවි යැයි මං හිතුවේ නැහැ. මේ කෘතියේ ඉන්න නීරෝගේ බාල පුතා නිශ්චිත ලිංගික අනන්‍යතාවක් නැති කෙනෙකු විදියට හඳුනාගන්නට හැකියි. ඔබ මෙය සංවාදයට ලක්කරන්න භීතියක් දැක්වූවාද ? සම්පූර්ණයෙන්ම සංක්‍රාන්ති බවට පත්වූ පුද්ගලයින් දෙදෙනකු බොහොම සතුටින් පිරි ජීවිත ගතකරන බව මම දන්නවා. ඔවුන් දෙදෙනා මගේ සමාරම්භක ස්ථානය වුණත් මගේ දැනුම අබිභවා යන්න වුවමනා වුණා. බොහෝදෙනෙකු එක්ක කතාබහ කරලා නොදන්නා දේවල් දැනගන්න හැකිවුණා. ‘මේක හරි, මේදේ වැරදියි‘ කියනවට වඩා ‘මෙන්න මේ දේ තමා සිද්ධවෙන්නේ, මේ නිසා බෙහෙවින් කම්පනයට පුද්ගලයා මොහුයි, අපි මේ කම්පිත මිනිසා දෙස බලමු වගේ‘ දේවල් කෘතිය තුළ පවසන්න උත්සහ දැරීම මේ කෘතියේ සාර්ථකත්වයට බලපෑ බව මගේ විශ්වාසයයි. ඔබ වැඩිපුර කියවන්න කැමති මොන ශානරයන්ට අයත්‍ කෘතීන්ද ? මගේ තරුණ කාලේදී විද්‍යා ප්‍රබන්ධ වලට දැඩිව ඇළුම් කළා. කර්ට් වොනගර්ට් හා රේ බ්‍රැඩ්බරිගේ කෘතීන් කියෙව්වා, Astounding හා Amazing වගේ විද්‍යා ප්‍රබන්ධ සඟරා වල තිබුණු කියවන්න තරමක් අසීරු ලිපි වලටත් දැඩිව ඇළුම් කළා. මේ දවස් වල බොහෝ දුරට කියවන්න පෙළඹිලා ඉන්නේ විකල්ප ධාරාවේ ප්‍රබන්ධයන්. මේ වසරේදී එළිදුටු අතිශය ජනාදරයට පත්වූ කෘතීන් වලට වඩා Madame Bovary හා Lolita වගේ කෘතීන් කියවන්න කැමතියි. ත්‍රාසජනක නවකතා වලට වැඩි කැමැත්තක් නැති වුණත් ජෝන් ලී කේරී රචනා කළ රහස් පරීක්ෂක කතා කියවන්න කැමතියි. ඔබ වැඩියෙන්ම කැමති මුද්‍රිත කොළයක සටහන් වී තිබෙන අන්දමින් කියවන්නද ? නැත්නම් තිරයකින් කියවන්නද ? කොහේ හරි යන විටදි අයි පෑඩයෙන් කියවන්න මං හුරුවෙලා ඉන්නවා. අනික් වෙලාවට නම් පොතක් අතට අරන් කියවනවා තවම නොකියවූ සම්භාව්‍ය කෘතියක් නිසා ලැජ්ජා හිතෙන්නේ මොනවද ? ජෝර්ජ් එලියට් ගේ Middlemarch කියවන්න ආසාවෙන් ඉන්නවා. සාහිත්‍යය ලෝකේ ඔබේ වීරයා කවුද ? Ulysses වල ඉන්න ලියෝපොල්ඩ් බ්ලූම් චරිතය. හරක් මස් වගේ මට කන්න බැරි තරමේ කෑම කෑවත් ඔහු සාහිත්‍යයේ ඉන්න අතිවිශිෂ්ඨ චරිතයක්. ඔබේ කුඩා වියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලට ද ? ඒ කාලේ වැඩියෙන්ම කියෙව්වේ කාගේ කෘතීන්ද ? ‘හොඳ‘ පොත් විතරක් කියවන්න කියලා මගේ අම්මා වත් තාත්තා වත් කිසිම වෙලාවක කිව්වේ නැහැ. බැට්මෑන් පොත් කියෙව්වා. විශිෂ්ට පාඨකයෙකු බවට පත්වීමේ ක්‍රියාවලියේදී ලේඛකයින් රැසකගේ කෘතීන් පරිශීලනය කරන්න හැකිවුණා. මුම්බායේ හැදී වැඩුණු නිසාම බටහිර ළමා සාහිත්‍යය අතර අපිට ලැබුණු හැමදේම කියෙව්වා, විනී ද පූහ් වගේ චරිත ගැන ඒ කාලේ කියවන්න නොලැබුණු නිසා ඒවා ගැන දැනගත්තේ පසුකාලීනවයි. ලුවිස් කැරොල්ගේ Alice වගේ චරිත වගේම රැන්සම්ගේ Swallows and Amazons කෘතියත් කියෙව්වා. නැවත නැවත කියවන්න කැමති කාගේ කෘතීන්ද ? සෝල් බෙලෝගේ The Adventure of Augie March හා Humboldt’s Gift කෘතීන් නැවත නැවත කියවන්න කැමතියි. ඒවගේම චාර්ල්ස් ඩිකන්ස්ගේ කෘතීන් වලටත් කැමතියි

ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ – නවාල් අල් සඩාවි

October 04, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ අවසන් කොටසයි. මිනිස්සු තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ කාන්තාවන්ගේ ලිංගික සතුට මුලිනුපුටා දැමීමක් විදියටද ? ඔව්, අනිවාර්යයෙන්ම. කාන්තාවන්ගේ ලිංගික සතුට දුර්වල කරදමන්න හා හීන කරන්නයි. සිරුරේ තියෙන අති සංවේදී චර්ම කොටසක් කපාදමන්නේ ඇයි ?. පුරුෂයින්ගේ ලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. යුදෙව් ආගම හා බැඳුණු ඉතිහාසයක් වගේම ලිංගිකත්වයට නැඹුරු වූ ඉතිහාසයක් මේකට තියෙනවා. ඒ මිනිස්සුන්ට ගැරහීමයි. එය අවහිර කිරීමක්. මිනිසෙකුගේ සිරුරේ තියෙන අතිශය සංවේදී තැනක් කපාදමන්නේ ඇයි ?. දෙවියන් ඉදිරියේ මිනිසුන්ව හාස්‍යයට ලක්කරන්නටයි. මිනිස්සු කෙරේ ආධිපත්‍යය පැතිරවීමේ අවශ්‍යතාවක් දෙවියන්ට තිබීම ඊට හේතුවයි. ඔබ, ඔබේ රටින් පිටවී ගොස් ස්වයං පිටුවහල් සමයක් ගත කළා ? ඔව්, අවුරුදු 20 ක් මේකට හේතු වුණේ මොකක්ද ? මට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවුණා. රජය මගේ ගෙදර ඉදිරිපිට ආරක්ෂක නිළධාරීන් යොදවා තිබුණා. නමුත්, ලේඛකයෝ හා වෙනත් වැදගත් පුද්ගලයින් මරාදැමුණේ මෙවැනි ආරක්ෂකයින් අතින්මයි. ඉතිං, මේ ආරක්ෂක නිළධාරීන් හෝ රජය ගැන ප්‍රමාණවත් තරම් විශ්වාසයක් මට තිබුණේ නැහැ. ඒ මොහොතේ මගේ සැමියා කියා හිටියා ‘ඔයා මේ රටින් යන්න ඕන‘ කියලා. මං රටින් පිටවුණේ ඒ හේතුව නිසයි. නිකරුණේ ඝාතනය වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. නමුත්, ඔබ කිසිම වෙලාවක සටන අත්හැරියේ නැහැ ? ඔව්, මේ සමයේදී මං නිර්මාණාත්මක කුසලතාව හා භින්නමතික බව ගැන පාසල් හා විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් සිදුකළා. ලේඛනය, ප්‍රකාශනය නැවැත්වූවේ නැහැ, මගේ වෑයම කිසිලෙසකින්වත් අත්හිටවූවේ නැහැ. ඔබ රටින් පිටවී හිටියත් ඊජිප්තුව සමග පැවති සබඳතා අඛණ්ඩව පවත්වාගත්තද ? හ්ම්, ඒ වගේ ලෝකයක් ඇතුළේ ජීවත්වෙද්දි පහසුවෙන්ම ඊ මේල් වගේ ක්‍රම වලින් පහසුවෙන්ම සන්නිවේදන කටයුතු කරගන්න පුළුවන්. කොහොමටවත් මගේ සබඳතා ජාලය බිඳවැටුණේ නැහැ. මිනිස්සු එක්ක බොහොම තදින් බැඳී හිටියා. අවුරුදු ගාණක් ගතවෙලා ගිහිං ආපහු මගේ රටටම ගියාම මා ලියූ, කියූ දේවල් ගැන මනාව දැනගෙන හිටි පුද්ගලයන් තහීර් චතුරස්‍රයේදී මුණගැහුණේ මේ හේතුව නිසයි. ඉතිං, ඇත්තටම මං කවදාවත් හැබෑවටම මං ස්වයං පිටුවහලක පසුවුණේ නැහැ. ඔබ ආපහු ඊජිප්තුවට යන්නේ හරියටම අරාබි වසන්තයට කලින් නේද ? ඔව්. ඔබ අරාබි වසන්තය දකින්නේ මොන විදියටද ? මේ ගැන දැක්මවල් දෙකක් තිබෙනවා. අරාබි ලෝකයේ ඇතිවුණු විප්ලවය කළේ ඇමරිකානුවන් බව එක් පිරිසක් කියනවා. (සිනාසෙමින්). ඔවුන් කියන්නේ මුබාරක්ට එරෙහිව මිනිස්සු මිලියන ගාණක් පාරට බස්සන්න ඇමරිකාවට හැකිවුණු කතාවක්. මේක විකාර කතාවක්. මොකද තහීර් චතුරස්‍රයට මිලියන ගණනින් මිනිස්සු එක්රොක් වෙලා හිටියා. මේක ඇමරිකාව උසිගැන්වුව දෙයක් කියනවා නම් ?. නැහැ. මේක විප්ලවයක්. ඇත්තටම, මේක නැවැත්තුවේ ඇමරිකාව, ඊශ්‍රායලය හා ඊජිප්තු ආණ්ඩුවයි. මේ පිරිස මිනිස්සුන්ට බය වුණු නිසා මේක නවත්වන්න සිද්ධවුණා. හැබැයි අරාබි විප්ලවය නවත්වන්න මේ කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැහැ. සමස්ත අරාබි ලෝකයේ හා ඊජිප්තුව ඇතුළේ කරපු විප්ලවයේ ශක්තිය මෙහිදී දැකබලාගන්න හැකිවුණා. මිනිස්සුන්ව මොනම බලවේගයකින්වත් වළක්වන්නට නොහැකි නිසා මෙය ඉදිරියටත් අඛණ්ඩව සිද්ධ වේවි. ඔබ හිතන විදියට අරාබි වසන්තය නවත්වන්න උත්සහ කළේ ඇයි ? ඔවුන් මොහොමඩ් මුර්සිව බලයට පත්කරන්න උත්සහ ගත්තා. මුර්සි හෝ මුස්ලිම් සහෝදරයින් ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් දේශපාලනයට තේරීපත්විය යුතු බව ඔවුන් පැවසුවා. මේ කතාව මඟහැරයාමක් එහෙම කියන්නේ ඇයි ? ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. මං වසර 20 ක් තිස්සේ ජීවත් වුණේ ඇමරිකාවේ. එහි පවා කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. බිල් ක්ලින්ටන්, ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන් පවා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරීපත්වුණේ නැහැ. මොවුන් අරමුදල් එකතු කළා. ඊජිප්තුවට ආවත් මුර්සි ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරී පත්වුණු බව දැකගන්න ලැබේබි. ඇත්ත ඒක නෙමෙයි, තහීර් චතුරස්‍රයේදී මං හිලරි ක්ලින්ටන්ව දුටුවා. නමුත් මේ සියල්ලටම ඔවුන් මුදල් යට කළා. හිලරි ක්ලින්ටන් – ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ දේ කළා. මුස්ලිම් සහෝදරයින් බලයට පත්කරවන්න ඔවුන්ට වුවමනා වුණා. මේ විප්ලවය හරහා බිහිවන ආණ්ඩු විප්ලවවාදී වේවි කියන බය ඔවුන් තුළ තිබුණා. මේ පිරිස දිගින් දිගටම කිව්වේ මුස්ලිම් සහෝදරයින් හොඳයි කියන කතාවයි. ‘අපි මේ මුස්ලිම් සොහොයුරන්ට සහයෝගය දෙමු‘ කියන ස්ථාවරයේ ඔවුන් හිටියා. අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී බලය මෙහිදී දැකගන්නට හැකියි. මේ බලය වැඩි කැමැත්තක් දැක්වූවේ සමාජවාදී විප්ලවයකට වඩා ඉස්ලාම් ආගම මුල්කරගෙන සිදුවන විප්ලවයකටයි. ලෝකයේ කිසිම රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙකු තේරී පත්වෙන්නේ නැහැ. මං මේ කියන්නේ හැබෑවක්. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති කවුද ?. ට්‍රම්ප්, ඔබාමා ගත් විට පවා මේ තත්ත්වය දැකගන්නට හැකිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිරිඟුවක්. ප්‍රාග්ධනවාදී, අධිරාජ්‍යවාදී, පුරුෂ මූලික ආගමික පද්ධතියක් ඇතුළේ කොහොමටවත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය දකින්න බැහැ. ඒ ඇයි ? ඔවුන්ට මුදල් ඕන. ආගම, ප්‍රාග්ධනය, අධිරාජ්‍යවාදය මකා දැමුවොත් එතැන ඉතිරිවෙන්නේ සමාජවාදය පමණයි. එතැන තවදුරටත් ආණ්ඩුවක් ඉතිරිවෙන්නේ නැහැ. මිනිස්සු සතුව තිබෙන හැබෑ බලයට ඔවුන් දැඩි ලෙස බිය වෙනවා. ඉතිං, කොහොමටවත් ප්‍රජාතන්ත්‍රවාදයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද ?. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැබෑම, හැබෑ නිදහසයි. අප ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන දේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැත්නම් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ජීවත්වෙන්නේ ඇයි ? ඒකට හේතු වෙන්නේ මිනිස්සු දැඩි පීඩනයෙන් හා කිසිදු සංවිධානාත්මක ගතියකින් තොරව ජීවත්වීමයි. සංවිධානගත වීමෙන් අපව වළක්වා තිබෙනවා. මං තනිව ලේඛනයේ යෙදෙන කාලයේදී අතිශය ජනප්‍රිය තරුවක් වුණත් මේ පිරිස කොහොමටවත් සංවිධාන ගතවුණේ නැහැ. මම කාන්තාවන් වගේම පිරිමින් ද එකසේ සංවිධාන ගතකිරීම ආරම්භ කරපු නිමේෂයේදී, අතිශය අන්තරායදායක කෙනෙකු බවට මං පත්වුණා. ඇත්තටම, මෙහේ ඉන්න මිනිස්සු සංවිධාන ගතවෙලා නැහැ මිනිස්සු මේ විදියට සංවිධානගතවීම කිසිම ආණ්ඩුවක් නවතා දමන්නේ නැහැනේ ? මිනිස්සු සංවිධානගතවු පමණින් කිසිම ආණ්ඩුවක් ඇවිත් මීට සම්බන්ධ පිරිස් සිරගත කරන්න කටයුතු කරන්නේ නැහැනේ. අපි ජීවත්වෙන බ්‍රිතාන්‍යයේ පවා එහෙම දේවල් වෙන්නේ නැහැ ? නමුත්, බොහොම සියුම් විදියට ඒ දේ කරනවා. ඇමරිකාව එය කරන විදිය මම දන්නවා. ඇමරිකාව තුළ සංවිධානගත වෙන්න බැහැ. ඔවුන් එය නවතාදමන්නේ කොහොමද ? ආණ්ඩුව විරුද්ධ වෙනවා. ධනවාදී ලෝකය නවතාදමන්න කිසිම ආණ්ඩුවකට බැහැ. ඇමරිකාවේදී සමාජවාදී විප්ලවයක් කරන්න බැහැ. ඔවුන් ඔබව මරාදමාවි. මරාදමාවි සමහරවිට සමාජවාදී ක්‍රමයකට ගමන් කරන්න තරමේ ප්‍රමාණවත් පුද්ගලයින් සංඛ්‍යාවක් නැහැ නේද ? ඇමරිකාවේ සමාජවාදීන් ඉන්න බව ඔබ හිතනවාද ? ගොඩක් මිනිස්සු ඉන්නවා. බහුතරයක් වන ජනතාව, මගේ හැම මිතුරෙක්ම පවා සමාජවාදීන්. ඔවුන් ට්‍රම්ප්ට දැඩි ලෙස විරුද්ධයි. ඔහුට එරෙහිව මිලියන ගාණක ජනතාවක් ඉදිරියට එනවා. නමුත්, ඔවුන්ට කිසිමදෙයක් කරගන්න බැහැ. ඇයි ඒ. මිලියන ගාණක මිනිස්සු ට්‍රම්ප්ට එරෙහිව, ඉරාක යුද්ධයට එරෙහිව, පලස්තීන යුද්ධයට එරෙහිව පෙරට එන්නේ ඇයි ?. මිනිස්සු මෙහෙම ඉදිරියට ආවත් ඔවුන්ට කිසිවක් වළක්වාගන්න පුළුවන්කමක් තිබුණද ?. ඒ ඇයි ? මේ හැමෝටම ඔබ දෙන පණිවිඩය මොකක්ද ? මේ පිරිස එක්වෙලා ලෝකය වෙනස් කරන්න දැරිය යුතු උත්සහය මොකක්ද ? කරුණු දෙකක් වැදගත්වෙනවා. සංවිධානගත වීම හා මිනිස්සුන්ව නැවත දැනුමින් සවිබල ගැන්වීම නැත්නම් දැනුවත් කිරීම යන්න අතිශය වැදගත් වෙනවා. මාධ්‍ය මගින් මිනිස්සුන්ගේ අදහස් දැඩි ලෙස වෙනස්කර තිබෙන නිසාම ඔවුන්ට ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මං මහාචාර්යවරියක ලෙස ඇමරිකාවේදී උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වුවා. මේ පිරිස දේශපාලනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් දැනුමින් සන්නද්ධ අය නොවෙයි. මොවුන් තුළ නූගත් බව තිබුණත් දැනුම තිබුණේ නැහැ. මිනිස්සුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. සාම්ප්‍රදායික අධ්‍යාපනය පසෙක දැමිය යුතුයි. නිර්මාණාත්මක ගුණාංග ඉගැන්විය යුතුයි. මං ඔවුන්ට කියාදුන්නේ එයයි. නිර්මාණාත්මක ගුණාංග තමා තුළ ඇතිකරගැනීම හා නිසි ඉගෙනුමක් නැති අය දැනුමින් සවිබල ගැන්වීම හරහා කාන්තාවන් වගේම පිරිමින් ද ඔවුන්ගේ අයිතීන් ගැන ඉගෙනගෙන සංවිධානගත වෙන්න පටන්ගනීවි. පුරුෂ මූලික සමාජය, ධනවාදය, ආගමික පීඩනය ගැන ඔබ කතාකළා. මේ අදහස් වලට එරෙහිව එකවර සටන් කිරීම හෝ එකින් එක මේ අදහස් වලට එරෙහිව සටන් කිරීමට හැකියාවක් තිබෙනවාද ? පළවෙනි දේ දැනුවත්වීම, මොකද බලාහිඳීම අපව නොදැනුවත් අය බවට පත්කරනවා. අධ්‍යාපනය රැඳී තිබෙන්නේ යථාර්තය සරළ කිරීම මතයි. මේ දේවල් අපේ ඔළුවේ තියෙනවා. ආගම, ලිංගිකත්වය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය මේ හැමදේම අපේ ඔළු ගෙඩි වලට ඇතුල් කරවනවා. කිසිම දෙයක් නොදැන අපි මැරිලා යන්නේ ඒ නිසයි. නමුත්, නිර්මාණාත්මක බව කියන්නේ අපට පෙරගමන් පෙන්වන, සාමූහිකත්වය ඇතිකරවන, මේ හැමදේම එකිනෙකට සම්බන්ධ කරන දේවල්. අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා මීට අනුබල දෙනවා දැකගන්නට හැකියි. මිනිස්සුන්ව එකිනෙකාගෙන් වෙන් කිරීමේ අවශ්‍යතාවය ධනවාදීන්ට තිබෙනවා සමාජ මාධ්‍ය මිනිස්සු එකිනෙකාගෙන් වෙන්කරන්නේ ඇයි ? හිතාමතා නොවුණත් මිනිස්සු හිරගත කිරීම සිදුකරනවා. තවදුරටත් ඔවුන් එකිනෙකා සමග මුණගැහෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය මිනිස්සුන්ට සංවිධානගත වෙන්න වැදගත් වෙන්නේ නැද්ද ? සමහර අවස්ථාවලදී වැදගත් වෙනවා. ෆේස්බුක්, ට්විටර් වගේ මාධ්‍යයන් මිනිස්සු ඒකරාශී කරන්න වැදගත් වුණත් ඔවුන්ව දැනුම්වත් කරන්න වැදගත් වෙන්නේ නැහැ. මේක අතිශය අසීරු කාර්යයක් වන නිසා දැඩි කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. මිනිස්සු තමන්ගේ ජීව විද්‍යාත්මක පවුලට පමණක් වාසි සැලසීම ගැන නොසිතිය යුතුයි. දරුවන්, පවුල එකිනෙකාගේ ආශාවන් බවට පත්වෙනවා. පවුල ගැන යාඥාවන් කරන්නේ ඒ නිසයි. රජය තුළ පවා පවුල යන්න වැඳුම් පිදුම් වලට ලක්වෙනවා. හැමකෙනාම අමාරුවෙන් වැඩ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්න වෙහෙසෙනවා. තමන් ගැන විතරක් හිතන පවුලක් වුණත් මේ පවුල සමාජයට විවෘත නැහැ. ඒවගේම සමාජවාදී සංවිධානයකුත් නෙවෙයි. අපිට මේ ගැන කතාකරන්න බැහැ. ඔබ සර්ව අශුභවාදියෙක්ද ? නැහැ, කොහොමටවත් නැහැ. කවුද කිව්වේ ? ඔබ කිව්වා මේවා කිසි දිනක සිද්ධවෙන්නේ නැහැ කියලා. ඒකයි ? නැහැ, නැහැ. මේවා සිද්ධවෙන්න පුළුවන්, නමුත් අපි දැනුවත්වීම අත්‍යවශ්‍යයි. අපි හැමෝම සාමූහිකව අරගල කරන්න ඕන. මං තදබල විදියේ සර්ව සුබවාදීයෙක්. මං කොහොමටවත් අශුභවාදය ගැන විශ්වාස කරන්නේ නැහැ. සිරගෙයි ගතකළ අවදියේදී පවා මං දැඩිව බලාපොරොත්තු තබාගත් කෙනෙක් වුණා. අති දරුණුම අත්දැකීම් වලදී පවා මං බලාපොරොත්තු කඩකරගත්තේ නැහැ. ඉතිං අපි මේ අරගලය ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද අඛණ්ඩව රැගෙන යා යුතුයි. අපිට තනිව ඊජිප්තුව ඇතුළේ පමණක් සටන් කරන්න බැහැ. මේක විශ්වීය අරගලයක්. විශ්වීය අරගලයක්. දේශීය වශයෙන් මීට දායක විය යුතුයි. එකිනෙකා එකම අරමුණක් වෙත ගමන් කිරීම තුළින් මෙය සාර්ථක කරගන්නට හැකියි. මෙය සදාකාලික අරගලයක්ද ? ඔව්, අනිවාර්යයෙන්ම. ඔබට දකින්නට වුවමනා ලෝකය කවදා හෝ එළඹේවිද ? ඔව්, අනිවාර්යයෙන්ම. කවද්ද ? ඒ දවස උදාවේවි. මං ලෝකය ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඉතිහාසය දිහා බැලුවොතින් මේවා වෙන්නේ කවද්ද කියලා කියන්න බැහැ. ඉතිහාසය කියන්නේ ඉතිහාසයටයි. ජීවිතය වෙනස් වෙනවා. අද අපි ගෙවන්නේ මීට වසර 100 කට එහා ගතකරපු ජීවිතේට වඩා හොඳ ජීවිතයක්. ඉතිහාසය දිහා බලන්න, සර්වශුභවාදී විය යුතු බව එවිට ඔබට වැටහේවි. https://youtu.be/djMfFU7DIB8

‘නවීන දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ‘ – ෆ්‍රැන්සිස් ෆුකුයමා

October 04, 2018 0 Comments
End of History and the Last Man (1992) කෘතිය හරහා ජනාදරයට පත් ෆ්‍රැන්සිස් ෆුකුයමා දේශපාලන විද්‍යාඥයෙකු මෙන්ම කකතුවරයෙකු ද වේ. ලෝකය පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැතිර යාම හා ධනවාදයේ පැතිර යාමත් සමග මානව හිතවාදී සමාජ සංස්කෘතික පරිණාමයේ අවසානය ගැන මෙහි කරුණු දක්වයි. සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ආර්ථිකයෙන් වියුක්ත කළ නොහැකි බවට වු අදහස ඉන්වසර කීපයකට පසු ඔහු රචනා කළ Trust: Social Virtues and Creation of Prosperity (1995) කෘතියෙන් යාවත්කාලීන කළේය. ෆුකුයමා රචනා කළ නවතම කෘතිය වන Identity: The Demand for Dignity and the Politics of Resentment පසුගියදා ජනගත කෙරුණු අතර මෙමගින් අන්තවාදී බව නැවත පැමිණීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වයි. මෙහි පළවන්නේ ෆ්‍රැන්සිස් ෆුකුයමා ‘ද ගාර්ඩියන්‘ හි ටිම් ඇඩම්ස් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සම්පාදනය කළ ලිපියේ සිංහල අනුවර්තනයයි. “Thymos” – දේශපාලන ව්‍යාපාර ගැන තේරුම් ගන්න ෆුකුයාමා සිය Identity කෘතිය හරහා “thymos” යන ග්‍රීක යෙදුම ඉදිරිපත් කරන අතර අධෛර්යයට පත්ව සිටින දේශපාලන ව්‍යාපාර ගැන තේරුම් ගැනීමට ඔහු මෙම යෙදුම යොදාගනියි. “Thymos” යන යෙදුම ප්ලේටෝ ගේ Republic කෘතිය හරහා අවධානයට ලක්වූවකි. ආත්මය නිසැගයෙන්ම ‘හේතුව හා කැමැත්ත‘ වශයෙන් බෙදීමට ලක්වීම ගැන ඔහු මෙහි පවසන අතර සොක්‍රටීස් මේ අදහස ප්‍රථමයෙන් භාවිත කරන ලද දාර්ශනිකයා වූවේය. “thymos” යන්නෙන් විස්තර කෙරෙන මූලික කාරණා දෙකින් පළමු කරුණ වන ‘හේතුව‘ යන්න තුළ අප මනුෂ්‍යයන් බවට පත්වන අතර දෙවැනි කරුණ වන ‘කැමැත්ත‘ යන්න තුළ අපව සත්වයින් බවට පත්කරන බව ෆුකුයමාගේ අදහසයි. “Thymos” යනු මේ දෙකට අතරමැදි තත්ත්වයකි. The Republic කෘතියේ බොහෝ පරිවර්තන තුළ දක්වා තිබෙන්නේ මෙය ප්ලේටෝ තුළ පැවති ‘මහත් ලැදි බවක්‘ යන්න වුවත් ෆුකුයමා මේ අදහස භාවිත කරන්නේ ‘වටිනාකම විනිශ්චය කිරීම‘ යන අර්ථයෙනි. සෙසු දේශපාලන න්‍යායචාරීන් “Thymos” යන්න පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කොට නැත. සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් ලෝකය විස්තර කරන්නේ තනි පුද්ගලයින් හෝ ආයතනය සිය මූල්‍ය ලාභ උපරිම කරගැනීමට දක්වන ස්වයං කැමැත්ත ලෙසිනි, චර්යාවාදීන් පවසන්නේ වේගයෙන් හා සෙමින් සිතීම යන්නයි. සමහරවිට, මේ අතරින් වඩාත් බලසම්පන්න වන්නේ ෆුකුයාමා පවසන අන්දමින් ගෞරවය ලැබීමට ඇති ආශාව විය හැකි බව මේ ගැන තර්ක කරන්නන්ගේ අදහස වී ඇත. හැමදෙනාම සමාන සැලකුම් ලබන්න කැමති ඇයි ? – “isothymia” මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන ෆුකුයමා පෙන්වා දෙන්නේ, ‘‘Thymos යන්නෙන් අදහස් වෙන්නේ ආත්මය තුළ ගැබ්වී තිබෙන පිළිගැනීම හෝ ගෞරවය ප්‍රාර්ථනා කරන කොටසයි.‘‘ යන්නයි. මෙය සමබරව පැවති විට එය “isothymia” යනුවෙන් හඳුන්වයි. අනෙක් හැම මිනිසෙකුම මෙන් සමාන සැලකුම් ලබාගැනීමට ඇති අපේක්ෂාව “isothymia” වේ. ස්ත්‍රීවාදයේ සිට සිවිල් අයිතීන් ව්‍යාපාරය මෙන්ම සමලිංගික පිරිස් වල නිදහස ඉල්ලන සියලුදෙනා දක්වාම සිට ජාතික ගීය ලෙස අරිතා ෆ්‍රෑන්ක්ලින්ගේ “R.E.S.P.E.C.T.” ගීතය අහන්නට කැමති ඒ නිසයි. මේ අපේක්ෂාව පාලනයෙන් ගිලිහී ගිය විට එය “megalothymia” නම් වන අතර ඉන් අදහස් වන්නේ අනෙකාට වඩා තමන් උසස් කොට හඳුනාගැනීමයි. Megalothymic පුද්ගලයෙකු හෝ සමූහයක් ලිබරල්වාදය තුළ පවතින සරළ සමාන සැලකුම් ලැබීම හා එකිනෙකා සමබර කරන බලකායන් වලින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ‘දැවැන්ත අභියෝග වලට මුහුණදීම, දැවැන්ත අරගලයන්ට සක්‍රීයව සම්බන්ධවීම, දැවැන්ත බලපෑම් ගැන බලාපොරොත්තු වීම ආදිය මේ පිරිසගේ අභිලාෂයන් වෙනවා. ඊට හේතුවන්නේ මෙවැනි කටයුතු වලදී අනෙකාට වඩා තමන්ට දැවැන්ත පිළිගැනීමක් හිමිවීමයි.‘‘ ෆුකුයමා පෙන්වා දෙන මේ සංකල්පය අපට සමීප නොවේද ?. මමත්වය, අනන්‍යතාව යන වචන වෙනුවට වත්මන් දේශපාලනික පරිසරය තුළ අතාර්කික බලකායන් ගැන පැහැදිලි කිරීමේදී Thymos යන්න ඵලදායී ලෙස යොදාගන්නේ ඇයි දැයි ෆුකුයමාගේ කෘතියේ සෘජුව පැහැදිලි නොකළද මෑතකාලීනව දියත් වූ ක්‍රියාදාමයන් ගැන පවසන්නට ඔහු එය උත්ප්‍රේරකයක් ලෙස යොදාගනී. ව්ලැදිමීර් පුටින්ගේ ව්‍යාජ උපක්‍රම හා #MeToo වැනි ව්‍යාපාරය එහිලා උදාහරණ ලෙස දක්වයි. බහු සංස්කෘතිකවාදය හා ජාත්‍යන්තර වශයෙන් පවතින හොඳ හිත සම්බන්ධයෙන් ගත්කල ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රෙක්සිට් “isothymic” බලවේග වලට උදාහරණ ලෙස දැක්විය හැකිවේ. The End of History and the Last Man කෘතිය අන්තවාදී අදහස් රැසක් මැද ලිබරල්වාදයේ ජයග්‍රහණය පැහැදිලි කරන කෘතියක් බව ෆුකුයමාගේ විශ්වාසය වී ඇත. සෝවියට් රුසියාවේ බිඳවැටීම හා දෙවන ලෝක යුද්ධයේ පරාජයත් සමග ෆැසිස්ට්වාදී අදහස පරාජයට පත්කරන ලද්දක් බව පිළිගනී. මේ වනවිට ඉතිරිවී තිබෙන්නේ ප්‍රායෝගික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් බව ඔහුගේ අදහසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ විට ෆුකුයමා පැවසුවේ, වත්මනේ කිසිවක් අලුතින් සිදුනොවූවද megalothymia ක්‍රියාවට නැංවෙන බවට වු උදාහරණ ගණනාවක් මේ දශකය තුළ දැකගැනීමට හැකි බවයි. එහිලා උදාහරණ ලෙස ඔහු දක්වන්නේ, ‘‘බ්‍රෙක්සිට් – බ්‍රිතාන්‍යය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිකරන සාධකයක් බවට පත්වේවි. ඒ නිසා බ්‍රෙක්සිට් වලට උදව් කිරීම අනුවණ කටයුත්තක් වේවි. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බොහෝ දෙනෙකු සිය ඡන්දය පළකිරීමෙන් පමණක් මෙය ඔප්පු වුණේ නැහැ, ඒ වගේම බ්‍රිතාන්‍යයේ සමෘද්ධිමත් බව නැවත හිමිකරගන්න ඔවුන් කැමතියි. මෙය සංස්කෘතික ගැටළුවක් වන නිසාම ඔවුන් නැවත වටිනාකමක් ගෙවන්න කැමතියි. සංක්‍රමණය දැඩි ලෙස පාලනය කිරීම වගේ දෙයක් මෙහිලා නිදසුන් ලෙස දැක්විය හැකියි. බොහෝ විදග්ධයින් මෙහිදී වරදාගත්තු කාරණේ වුණේ දේශපාලනයේදී ආර්ථිකමය සහේතුක බව ජාතික අනන්‍යතාව වැනි හැඟීම් වලින් වියුක්ත කර දියත් කළ හැකි බවයි. ‘‘මිනිසුන් බොහෝ ගාණක් පිටුපසින් තබා ගෝලීයකරණය ඉදිරියට පැමිණෙනවා. ස්වයංක්‍රීයකරණය දැවැන්ත වශයෙන් ක්‍රියාත්මක වෙනවා, දැඩි විෂමභාවයක් දියත්වෙනවා. නමුත්, මිනිස්සු ඡන්දේ දීලා තියෙන රටාව බැලුවොත් ඇමරිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ට්‍රම්ප් සමගත් එක්සත් රාජධානියේ ඉන්න බොහෝ දෙනෙකු බ්‍රෙක්සිට් සමගත් ඉන්න බව හඳුනාගන්නට හැකියි. ට්‍රම්ප් වගේම බ්‍රෙක්සිට් වලිනුත් බැට නොකෑ මිනිස්සු මේ කිසිම කෙනෙකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා නැහැ. පසුගිය දශකයේදී විදේශයන්හි ඉපදුණු අයගෙන් දැන් බ්‍රිතාන්‍යය වාස භූමිය කරගෙන ඉන්න සංඛ්‍යාව ගැන බැලුවොත් මේ පිරිසේ වර්ධනය අතිවිශාලයි. මෙවැනි විපාකයක් නැතිව සමාජ වෙනසක් වුණානම් අනිවාර්යයෙන්ම මා පුදුමයට පත්වෙන්න තිබ්බා.‘‘ “අනන්‍යතා දේශපාලනය තුළ වාමාංශික හා දක්ෂිණාංශික යනුවෙන් දෙපැත්තක් දැකගන්නට හැකියි. තමන් ප්‍රධාන ධාරාවේ සංස්කෘතියෙන් වෙනස් බවත් තම පිරිසට විවිධාකාරයෙන් ගෞරවය අවශ්‍ය බවත් කියන මේ වාමාංශික පිරිස දිගු කලක සිට විවිධ සමාජ ව්‍යාපාරයන්හි නිරත වී සිටිනවා. අපි ගැන මොකද කියන්නේ ?, අපිටත් විශේෂ සැලකිලි ඕන‘ කියලා දක්ෂිණාංශික පාර්ශ්වයෙන් මේකට ප්‍රතිචාර එල්ල වෙනවා. පුරවැසිබව ගැන පහත් බවක් මතුකරන මේ අවස්ථාව තරමක් ප්‍රශ්න සහගතයි. දැන් දෙපැත්තෙන්ම අන්තවාදය මතුවෙන්න ගන්නවා. වාමාංශික දේශපාලනය ජනප්‍රිය වෙන්න සෘජුවම බලපාන්නේ මූල්‍ය බිඳවැටීම් බව මගේ අදහසයි. මේ දැවැන්ත බිඳවැටීම නිර්මාණය කළේ වෝර්ල් ස්ට්‍රීට් හි ඉන්න ධනපති පිරිසයි. මෙහි ප්‍රතිඵලයක් විදියට Tea Party හා දක්ෂිණාංශික ක්‍රියාකාරීත්වය ප්‍රබලව ඇතිවෙන්න ගත්තා. 1930 ගණන් වල ඉඳන්ම මෙවැනි අනන්‍යතා සාධකයන් පරිණාමය වී තිබෙන බව කෘතිය තුළ වෙනම කොටසක් ලෙස විස්තර කර තිබෙනවා. දැවැන්ත මට්ටමින් සිද්ධවෙන පංති අරගලයන්ට වඩා කුඩාවට සිද්ධවෙන විෂමතාවන් ගැන මිනිස්සු වැඩිපුර හිතනවා.‘‘ ඇමරිකානු ජනතාව අතර ඉන්න තුන්වැනි පාර්ශ්වය ට්‍රම්ප්ව අනුමත කරනවා ෆුකුයමා – ට්‍රම්ප්ව දකිනේ කෙලෙසින්දැයි යන්න පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, “ට්‍රම්ප් උග්‍ර ජාතිවාදියෙකු විදියට හැසිරෙද්දී, ආර්ථිකය විනාශ කරද්දී පවා ඔහුට දැවැන්ත සහයෝගයක් හිමිවෙන අයුරු දැකගන්නට හැකියි. ඇමරිකාවේ ජනගහණය තුළ ඉන්න තුන්වැනි පාර්ශ්වයක් හැමවිටම ට්‍රම්ප් කරන කියන දේවල් අනුමත කරන්න බලාගෙන ඉන්නවා. ඒවගේම 10 % හෝ 15 % ක් වැනි ප්‍රමාණයක් ට්‍රම්ප් කරන මේ විකාර දිහා සන්සුන්ව බලාගෙන ඉන්නේ බදු කපාදැමූ නිසයි. ඩිමොක්‍රටික් පක්ෂය තවදුරටත් වාමාංශික කරන්න අනෙක් උත්සහයන් හේතුවුණා වගේම මධ්‍යගත වී තිබුණු බලය අහිමි වෙලා ගියා. ට්‍රම්ප් මෙවැනි ජාතිවාදී තේමාවන් තෝරාගත්තේ වාමාංශික පැත්තේ ඉන්න පිරිස උමතුකරවලා ඔවුන් දක්වන ප්‍රතිචාර හරහා අන්තවාදී අදහස් පතුරවන්න ඉඩ දෙන්නයි. මිනිස්සු බෙදීමට ලක්කරන්න අවස්ථාවක් ලබාගෙන ප්‍රජාතාන්ත්‍රීය පිරිස තුළ තරඟකරුවන් හැටියට අඩු සහයෝගීතාවක් ඇතිකරන්නයි.‘‘ වත්මන් දේශපාලන තත්ත්වය ගැන පවසන ෆුකුයමා දක්වන්නේ ‘‘නවීන දේශපාලනය තුළ ඊළඟට සිද්ධවෙන්නේ කුමක්දැයි අනාවැකි පැවසීම අතිශය අපහසු‘‘ බවයි. සාම්ප්‍රදායික මාධ්‍ය සමාජ මාධ්‍යට වඩා ප්‍රයෝජනවත් වත්මන් ලෝකය හා අන්තර්ජාල මාධ්‍ය ගැන ෆුකුයමාගෙන් විමසු විට ඔහු අදහස් දැක්වූවේ මෙලෙසිනි. ‘‘අද ලෝකය තුල අන්තර්ජාලය අපේ ජීවිත වලට දැඩි බලපෑමක් ඇතිකරන්නට සමත්වී තිබෙනවා. මේ ගැන පැහැදිලි කරන ෆුකුයමා පවසන්නේ, ‘අන්තර්ජාලය එක්තරා අන්දමකින් ප්‍රජාතන්ත්‍රවාදයට ළඟාවීමට ඉඩ සලසන මෙවලමක් ලෙස ක්‍රියා කරමින් තොරතුරු ලබාදෙන අතර මිනිසුන්ව සවිබල ගන්වනවා. නමුත් මගේ අදහස වෙන්නේ සංස්කාරකවරුන්, දොරටුපාලකයින් වැනි පිරිස් හිටිය පැරණි සාම්ප්‍රදායික මාධ්‍ය අතිශය ප්‍රයෝජනවත් බවයි. මොකද, පළවන කරුණු නිවැරදි ද නැද්ද යන්න එවැනි පිරිස් හොයාබැලූ නිසා වැරදි තොරතුරු සමාජගත වෙන්න තියෙන අවකාශය අඩුවෙන අතර ගුණාත්මක තොරතුරු සමාජගත වෙනවා. මේ යුගය දැන් අවසන් වී හමාරයි. ‘අන්තර්ජාලය තුළ අප දකින ඕනම දෙයක් අන්තර්ජාලයේ පෙනෙන වෙනත් ඕනම දෙයක් තරම් හොඳයි‘ ෆුකුයාමාගේ පවුල් පසුබිම හා ඇමරිකාව ෆුකුයමා ඇමරිකාවට සංක්‍රමණය වූ පරම්පරාවක තුන්වැනි පුරුකයි. ඔහුගේ පියා පල්ලියේ සභාවේ සේවය කළ අතර ඔහු චිකාගෝ සරසවියේ සමාජවිද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිධාරියෙකි. ෆුකයාමාගේ මව කියෝතෝ උපන් තැනැත්තියක වූ අතර කියෝතෝ සරසවියේ ආර්ථික විද්‍යා අංශය ආරම්භ වූයේ ඇගේ පියා විසිනි. ෆුකුයමා ජපන් සම්භවයකින් යුතු ඇමරිකානුවෙකු දැයි විමසූ විට පැවසුවේ, ‘මට කවදාවත් මං ගැන එහෙම හිතිලා නැහැ. මං කවදාවත් ජපන් සමාජයේ හැදී වැඩුණු කෙනෙකු නොවෙයි‘ යන්නයි. ජපන් බස නොදන්න ෆුකුයමා කිසිදිනක ජපන් බස කතාකිරීමට ඉගෙන නොගත් ඔහු එය කෙදිනක වත් තමන්ට අවශ්‍ය වනු ඇතැයි නොසිතුවේය.‘‘කිසිකෙනෙකුට තමන්ගේ වාර්ගික අනන්‍යතාව නිසා කිසිදු බාධාවකට මුහුණනොදී ඉදිරියට යන්න හැකි නිසා ඇමරිකාව අති ශ්‍රේෂ්ඨ රටක් බව මං හිතුවා. මගේ තාත්තා ජපන් බස කතා කළත් ඔහුට එය හොඳින් හැසිරවීමේ හැකියාවක් තිබුණේ නැහැ. 1930 -1940 අතර සමයේදී ලොස් ඇන්ජලීස් වල අධ්‍යාපනය හදාරපු කෙනෙක්. මගේ අම්මා ඉපදුණේ ජපානයේ වුණත් ඇය යුද්ධෙන් පස්සේ ඇමරිකාවට සංක්‍රමණය වුණු කෙනෙක්. ඇය ඉංග්‍රීසි කතා කළේ වෙනස් හුරුවකට. නමුත්, මගේ තාත්තා අතිදක්ෂ විදියට ඉංග්‍රීසි හැසිරවූවා. ඇමරිකානුවන් ජාතිවාදීන් බවට වුණු හැඟීමක් වගේම ඔවුන් අහංකාර පිරිසක්ය යන හැඟීම මගේ අම්මා තුළ පැවතියා. නමුත්, මගේ තාත්තා කිව්වේ තමන්ට ජපන් සම්භවයක් තිබුණු නිසා කොන්කිරීම අත්විඳින්නට වූ අවස්ථා ජීවිතයේ කවදාවත් තිබුණේ නැහැ කියලා. ‘ඇමරිකානුවෙකු වගේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් නම් ඔබට පිළිගැනීමක් හිමිවේවි‘ කියන දේ මේ කතාබහ සමගින් මගේ හිතේ දැඩිව බලපෑවා. මගේ අම්මට කරන්න නොහැකි වුණෙත් එයයි. සුදු ජාතිකයින්ට වඩා ආසියානු ඇමරිකානු සම්භවයක් තියෙන අය බොහොම දක්ෂ බව හඳුනාගන්නට හැකියි.‘‘ යන්නයි.

ජෙමී හා ශාබාගේ ආදර කතාව

October 04, 2018 0 Comments
තමන්ට උපතින් උරුම වී ඇති සිරුර තවදුරටත් තමන්ගේ සිරුර නොවන බව වැටහෙන විට සිය සිරුරින් වෙනත් සිරුරකට නික්මීමට තීරණය කිරීම හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු ලෙස දිවිගෙවීම පුද්ගලයෙකුට මුහුණදීමට සිදුවන දැවැන්ත අභියෝගයකි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු බවට පත්වීම අතිශය අසීරු ක්‍රියාවලියක් වනු ඇති බව නිසැකය. ජෙමී රේන්ස් කාන්තාවක් ලෙසින් ඉපිද පසුකලෙක සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයෙකු බවට පත්වුණු තරුණයෙකි. ජෙමී මේ වනවිට 24 හැවිරිදි වියේ පසුවෙයි. ඔහුගේ සිතගත් පෙම්වතිය බවට පත්වන්නේ කලෙක සමීපතම මිතුරිය වී සිටි ඔහුගේම වයසේ පසුවන ශාබා ලූටන් ය. ශාබා මුස්ලිම් ජාතික තරුණියක් වන අතර සංස්කෘතික සීමාකම් හේතුවෙන් සිය ජාතියෙන් පිට අය සමග විවාහ වීම බාධාවක් වී ඇත. LGBTQ ප්‍රජාව නියෝජනය කරන අයෙකු සමග විවාහ වීමද සමාජ සම්මතයට අනුව බාධාවක් වී ඇත. අනෙක් සියලු තරුණයින් මෙන්ම ජෙමී ද අතිශය සාමාන්‍ය තරුණයෙකුගේ ස්වභාවය දැරුව ද ශාබාගේ ආදරය පිළිගන්නට ඇගේ පවුලේ පිරිස් සූදානම් නැත. සසෙක්ස්හි දිවිගෙවන මේ පෙම් යුවළ නුදුරේදීම විවාහ වීමේ සූදානමින් පසුවෙයි. මේ ඔවුන්ගේ කතාවයි. ජෙමී ව මුණගැහුණේ කොහොමද ? අපේ කොලේජ් කාලේදී. අවුරුදු 17 දී වගේ. මේ කාලේ ජෙමී සංක්‍රාන්ති තරුණයෙකු වෙලා හිටියේ නැහැ. එයාගේ අනික් ගැහැණු යාළුවෝ එක්ක ඉද්දි මං ජෙමීව ගණන් ගත්තේ වත් නැහැ. කොහොම හරි අහම්බෙන් වගේ අපි දෙන්නම දන්න යාළුවෙක් නිසා මුණගැහිලා කතාකරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේදී අපි දෙන්නම එකිනෙකා ගැන දැනහඳුනාගෙන එදා ඉඳන් හොඳම යාළුවෝ බවට පත්වුණා. සංක්‍රාන්ති සමාජභාවී තරුණයෙකු එක්ක ඉද්දි ශාබා ට මුහුණදෙන්න වුණේ මොනවගේ අභියෝග වලට ද ? මගේ අම්මගේ පැත්තේ අයගෙන් ආවා බාධා වලට ජෙමී වගේම මටත් මුහුණදෙන්න වුණා. මගේ පවුලේ අයව තෝරාගන්නවද ? නැත්නම් මගේ පෙම්වතා ව තෝරාගන්නවද ? කියලා හැමවෙලේම හිතන්න වුණා ? අනෙක් කාරණේ වුණේ මම ගන්න ඕන තීරණේ බොහෝවිට ගත්තේ මගේ පවුලේ අයයි. මේ වගේ හතුරුකම් වලට දිගින් දිගටම මුහුණදුන්නා. මේ කාලය බොහොම අසීරු කාලයක් වුණත් අපි කොහොම හරි ඒ දේවල් වලට මුහුණදුන්නා. මගේ අම්මා සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාව ගැන දැනගෙන හිටියා. ඒත්, ජෙමී එක්ක තිබුණු මගේ සම්බන්ධතාවය පිළිගන්න ඒක පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. අනිත් කාරණේ මේ දේවල් වලට මුහුණදීම මට වගේම ජෙමීටත් දුෂ්කර වුණා. අපේ ආදරේ පටන්ගත්තු මුල් කාලේදී ජෙමී එයාගේ පෙනුම ගැන සතුටු වුණේ නැහැ. එයාට එයා ගැනම කිසි විශ්වාසයක් තිබුණේ නැති නිසා ගොඩක් සතුටෙන් ඒ කාලේ ජීවත් වෙන්නත් අමාරු වුණා. ටික කාලෙකට පස්සේ ජෙමී සංක්‍රාන්ති ක්‍රියාවලියට මුහුණදෙන්න ගත්තම එයා තුළ ආත්ම විශ්වාසයක් ඇතිවෙන්න ගත්තා. එයාට උපරිම සහයෝගය ලබාදීලා දවසින් දවස එයා දියුණු වෙනවා දකින්න හැකිවුණු නිසා ජෙමී ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්න ගත්තා. ජෙමී ඔහු ගැන ඔබට පැවසුවේ කොහොමද ? කොලේජ් එකේ ඉන්න කාලේදිමයි. ජෙමී ඒ වෙද්දිත් අපේ අනික් යාළුවන්ට මේ ගැන කියලා තිබුණා. මං ජෙමී ව මුණගැහෙන්න ගියාම තරමක චකිතයෙන් වගේ ඇහුවේ LGBT කියන එකේ තේරුම ඔයා දන්නවද ? කියලා. මේ කියන්නේ ලිංගිකත්වය සම්බන්ධ මොකක්දෝ දෙයක් බව මට තේරුණා. ‘ඔව් මං දන්නවා‘ කියලා මම කිව්වා. ‘හරි, මම T කෙනෙක්‘ කියලා එයා කිව්වා. මේකේ තේරුම නොදැන හිටපු නිසා මං, මහ මෝඩයෙක් වගේ දැනෙන්න ගත්තා. ඒත්, අපි ඒ ගැන කතාකරන්න පටන් ගත්තට පස්සේ මෙහි තේරුම වගේම සංක්‍රාන්ති ක්‍රියාවලිය ගැන දැනගත්තට පස්සේ අවබෝධයක් ආවා. සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවකින් යුතු පුද්ගලයෙකු විදියට ප්‍රේම සම්බන්ධතාවකදී මුහුණදෙන්න සිද්ධවෙන අභියෝග මොනවද ? සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් නිරන්තරයෙන්ම අනෙක් අයගේ විනිශ්චයට බඳුන්වීම දැවැන්තම අභියෝගයක්. අපි දෙන්නා අතර තියෙන සංවාද වලදී මුහුණදෙන්න වෙන දැවැන්තම අභියෝගය වෙන්නේ අනික් හැමෝම වගේ, අපි දවසක දරුවෝ හදාවඩා ගන්නේ කොහොමද ? යන්නයි. ශාබා මං ඔබෙන් දැනගන්න කැමතියි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් සමාජයෙන් පිළිගන්නවාද ? මම හිතන විදියට නම් ජෙමී බොහොම සාමාන්‍ය කෙනෙකු විදියට ජීවිතේ ගෙවමින් දවසින් දවස ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවත් වෙනවා. ඒවගේම අපි අනෙක් අයටත් උදව් කරමින් ජීවත් වෙනවා. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවකින් යුක්ත පුද්ගලයෙකු සමග ජීවත් වීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවයි. ඇත්තටම, සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාව අපේ ආදරයට බලපාන්නේ නැහැ. ජෙමී සම්පූර්ණයෙන්ම එයාගේ සිරුර වෙනස් කරගෙන තියෙනවා, අපි දෙදෙනාගේම පවුලේ අය එක්ක කතාබහ කරනවා, අපි දැන් සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාව ගැන කතා කරන එකම මොහොත වෙන්නේ LGBT ප්‍රජාව ගැන අධ්‍යාපනික දැනුවත් කිරීම් කරන අවස්ථාව පමණයි. අනික් කාරණේ අන් කිසි කලකට වඩා සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවෙන් යුතු පුද්ගලයින් පිළිගන්නා මට්ටමට අද සමාජය පත්වෙලා තියෙනවා. මීට වසර 20 කට කලින් සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවෙන් යුතු පුද්ගලයකුට සමාජයේ හිමිවුණු තැන හා අද ඔවුන්ට හිමි වී ඇති තැන ගැන බැලුවොත් අද තත්ත්වය හොඳ බව හඳුනාගන්නට හැකි වුණත් අපිට තවත් බොහෝ දුර යන්න තියෙනවා. නමුත්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් අනාරක්ෂිතව ජීවත් වෙන රටවල් තියෙනවා, ඔවුන්ට හිමිවිය යුතු අයිතීන් පවා හිමිවී නැහැ. ජෙමී, ඔබ හා ශාබා අතර තියෙන මේ ආදරය හා ඉදිරියේදී සිද්ධවෙන විවාහ ගිවිස ගැනීමේදී තියෙන සුවිශේෂ බලාපොරොත්තු මොනවද ? ඇත්තටම කිව්වොත් ඉදිරියේදී ජීවිතයේ ඇතුළේ මොනවගේ අභියෝග වලට මුහුණදෙන්න වේවිදැයි යන්න ගැන වික්ෂිප්තභාවයක් තියෙනවා. අපේම දරුවෝ හදාගෙන ජීවත්වෙන්න සිද්ධවෙන දවස ගැන තරමක වික්ෂිප්ත බවකින් ඉන්නේ. අපි දෙන්නා ගොඩක් ඇවිදින්න, ඒ වගේම අපේ පවුල් ජීවිතේ සතුටින් ගෙවන්න කැමතියි. ශාබාට ඒ ගැන කියන්න තියෙන්නේ මොනාද ? අපේ විවාහ උත්සවය සැලසුම් කරගන්න කටයුතු අතරෙදී ටිකක් කලබලකාරී ගතියක් දැනෙනවා. මගේ පවුලේ අය ජෙමී ව පිළිගන්න මට්ටමට දැන් ඇවිත් තියෙනවා. https://youtu.be/0mp2qlImuuQ Metro.co.uk ඇසුරිනි

Demons in Paradise – හැබෑම ඩීමන්ලා කවුද ?

October 04, 2018 0 Comments
Demons in Paradise සිනමාපටයට යාපනය සිනමා උළෙලේදී වුණේ මොකක්ද ? ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන ‘‘පාරාදීසයේ යක්‍ෂයෝ‘‘(Demons in Paradise) සිනමාපටය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔක්තෝබර් 5 වැනිදා දින ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් අත්හිටුවා ඇති බව පසුගියදා (ඔක්තෝබර් 1) ජූඩ් රත්නම් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබෙයි. ජූඩ් රත්නම් අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ, අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයින් තීරණය කලේ ඇයිදැයි තමන් හරි හැටි නොදන්නා නිසා ඔවුන් මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කළයුතු බවත්ය. මෙය ප්‍රදර්ශනයට එරෙහිව හඬ නගන ‘ප්‍රජාව‘ යනු කවුරුන්දැයි යන්නත් ඔහු විමසා සිටියි. කෙසේවුවත්, මේ ගැන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කළ යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය සම්බන්ධයෙන් ජූඩ් රත්නම් පවසන අදහස් නිවැරදි නොවන බවයි. කෙසේවුවත්, සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන අතර එහිදී වැඩි වශයෙන් අවධාරණය කර තිබෙන්නේ ජූඩ් රත්නම්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් මෙහිදී භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් යන්නයි. Demons in Paradise සිනමාපටය 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) හි දී පළමුවරට තිරගත වූ Demons in Paradise චිත්‍රපටය එහිදී Camera d’Or හා Golden Eye සම්මාන සඳහා නිර්දේශ වූ අතර තවත් ජාත්‍යන්තර උළෙලයන් වලට ද මෙය තරඟ වැදී ඇත. ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන Demons in Paradise ජූලි පරාටියන්ගේ නිෂ්පාදනයක් වන අතර මෙහි කැමරාකරණය චින්තක සෝමකීර්ති හා මහින්ද අබේසිංහ ගෙනි. එසේම පසුගිය වසර පුරාවට ලොව පුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක්ම හිමි කරගෙන ඇත. The Hindu මේ ගැන සටහන් කර ඇති අයුරු මේ සම්බන්ධයෙන් The Hindu පළකර ඇති ලිපියේ (ඔක්තෝබර් 2) දක්වා තිබෙන කරුණු මෙසේය. ”ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ Demons in Paradise සිනමාපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේදී මේ සතියේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, අදාළ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමාපට ඇතුළත් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර පශ්චාත් යුද සමයක් පවතින ලාංකීය සමාජයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ පහරක් ලෙස මෙය හඳුන්වයි. ජූඩ් රත්නම් පවසන පරිදි මේ සිනමාපටය උළෙලෙන් වාරණය කිරීමට හේතුවී ඇති කරුණ බවට සිනමා උළෙලේ සංවිධායකයින් පවසන්නේ, ‘ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම‘ යන්නයි. ඊට අදාළව ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙන්නේ, ‘මගේ සිනමාපටය ලැයිස්තුවෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයින් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැත. මෙය භාෂණයේ හා ප්‍රකාශනය පිළිබඳ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් නිදහසට එල්ල වූ බාධාවක් හා වාරණයක් බවත්‘ ඔහු පසුගියදා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත. යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂිකාව වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය වාරණය කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැති බවයි…. මේ පිළිබඳ අදහස් දක්වන ජූඩ් රත්නම් පවසන්නේ ‘මේ සිනමාපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. LTTE සංවිධානය දමිළ සමාජය තුළම විවේචනය කිරීම හරහා මේ සිනමාපටය හරහා විවේචන මෙන්ම විවේචනාත්මක පිළිගැනීම් ද ඉදිරිපත් කර තිබෙනවා. ලංකාවේ සමාජය තුළ ඵෙතිහාසික වශයෙන් පැවත ගෙන එන වෙනස්කොට සැලකීම මෙන්ම දමිළ සුළුතරය වෙත එල්ල කළ කෘරත්වය LTTE අරගලය තුළ තවමත් මුල්බැසගත් අදහස් බවට පත්වී තිබෙනවා. කෙසේවෙතත්, LTTEයේ අධිපතිවාදී ආකල්පය මෙන්ම විසම්මුතිකභාවය සම්බන්ධ නොඉවසිලිවන්ත බව ගැන දමිළ සමාජයේ ඉන්න පිරිසක් දිගු කලක් තිස්සේ ප්‍රශ්න කරනවා. ඔවුන් LTTE ය ‘දේශද්‍රෝහීන්‘ ලෙස හංවඩු ගහන අතර එවැනි හඬවල් ඉවත් කරදමා තිබෙනවා. උළෙලේ සංවිධායකයින් පවසන්නේ මේ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ‘ප්‍රජාවෙන්‘ බලපෑමක් පැමිණි බවයි. මේ කියන ප්‍රජාව කවුද ?. ප්‍රධාන දේශපාලන ආධිපත්‍යයට සම්බන්ධ කතිකාවට විරුද්ධව අදහස් පළකරන ඕනෑම දේකට විරුද්ධව යන අවතාරයක් වසර ගාණක් තිස්සේ අප අතර ඉන්නවා. මේ සිදුවීමෙන් නැවතත් තහවුරු කරන්නේ ඒ අවතාරය අප අතර පවතින බවයි‘‘ යන්නයි. යහපාලනය භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරාවිද ? සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි වරෙක පවසන්නේ, ‘‘ඕනෑම විවෘත සමාජයක පදනමට හේතුවන සුවිශේෂී කරුණු ද්විත්වය වන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා නීතියේ ආධිපත්‍යයයි. මේ පදනම නැති තැන නිදහස් රටක් බිහිවන්නේ නැත‘‘ යන්නයි. රාජපක්ෂ රෙජීම් පාලනය පරදවා වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ස්ථාපිත කරන බවට වූ පොරොන්දුව මතය. එවැනි පසුබිමක Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී අසාධාරණයට ලක්වන්නේ රජයේ බලධාරීන්ගේ උපදෙස් වල දායකත්වයෙන් ද යුතුව නම් භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති බාධාව තරයේ හෙළාදකිමු. https://youtu.be/E8N-Esvj--0 https://youtu.be/quJTd3Asag0

චාර්ල්ස් අස්නවූර් මතකය

October 04, 2018 0 Comments
අද ජීවත්වෙන්න, හෙට මොනා වේවිදැයි දන්නේ කවුද ?‘ – චාර්ල්ස් අස්නවූර් අස්නවූර් යනු කවුද ? චාර්ල්ස් අස්නවූර් 1924 මැයි 22 වැනිදා මෙළොව එළිය දකින්නේ ආර්මේනියානු කලා පවුලකට දාව ය. වයස අවුරුදු නවය සම්පූර්ණ වීමත් සමගම පාසල හැරයන අස්නවූර්ගේ හීනය වී තිබුණේ ළමා රංගන ශිල්පියෙකු වීමය. ඔහුගේ මාපියන් දෙවන ලෝක යුද සමයේදී කැබරේ ශාලා වල ගායනයේ යෙදුණු අතර යුදෙව් හා කොමියුනිස්ට් පිරිසට ඔවුන්ගේ නිවසේ රහසිගතව නවාතැන් සැපයීය. සිය පවුලේ උදවිය ගැන පවස ඔහු ‘ප්‍රංශ බස මගේ එදිනෙදා කටයුතු වලදී භාවිත කරන බස වුණත් මගේ පවුලේ අය කතාබහ කළේ ආර්මේනියන් බසයි‘ යන්න පවසා ඇත. පියා සමඟ නව රැල්ලේ සිනමා නිර්මාණකරුවෙකු වූ ප්‍රංශුවා ටෘෆෝගේ සම්භාව්‍ය ගණයේ සිනමාපටයක් වූ Tirez Sur le Pianiste (Shoot the Piano Player) මෙන්ම ක්ලෝඩ් චාර්බ්‍රොල්ගේ Fantômes du Chapelier (The Hatter’s Ghost) ආදී නිර්මාණ වලට ද මෙන්ම ගුන්තර් ග්‍රාස් රචනා කළ The Tin Drum ඇසුරින් නිර්මාණය වූ 1979 ඔස්කාර් සම්මාන ලබාගත් සිනමාපටයට ද දායක වූවේය. එවක සමාජය ප්‍රසිද්ධියේ කතාබහ කිරීමට අකමැති තේමාවන් වූ විවාහ ජීවිතයේ දී මුහුණදීමට වන අභියෝග, පිරිමින්ගේ හැඟීම් හා ආශාවන්, ලිංගික අපචාර මෙන්ම සමලිංගිකත්වය ගැන ද ඔහු ගී ගැයුවේය. Comme Ils Disent / What Makes a Man නම් ගීතය 1973 දී බිහිවූ අතර මෙහි තේමාව වී තිබෙන්නේ සමරිසි පුරුෂයෙකු පිළිබඳවයි. මේ ගැන පසුකලෙක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු පැවසුවේ, ‘‘සමරිසි බව ගැන ප්‍රංශයේදී මුලින්ම ගීතයක් රචනා කළේ මමයි. මගේ සමරිසි මිතුරන් මුහුණදෙන ඔවුන්ටම අනන්‍ය ප්‍රශ්න ගැන කියන්න මට වුවමනා වුණා. මේ පිරිස නිරන්තරයෙන් සමාජයේ කොන්වීමට ලක්වුණා. ඔවුන් ගැන වෙනස් විදියට දකින්න මේ හරහා හැකියාව ලැබුණා.‘‘ සිය ගායනය ගැන ස්වයං විවේචනයක නිරත වූ අස්නවූර් වරෙක පැවසුවේ, ‘‘මං සම්භාව්‍ය තලයේ අතිදක්ෂ ගායකයෙකු දැයි මා දන්නේ නැහැ. නමුත්, කටහඬක රැඳී තිබෙන සුන්දරත්වයට වඩා අතිශය වැදගත් වන්නේ භාවාත්මකව ගීතයක් ඉදිරිපත් කරන අන්දම හා ඒ තුළ ජීවිතය චිත්‍රණය කරන අයුරුයි. මගේ හැම ගීතයකින්ම කියන්න උත්සහ කළේ පෞද්ගලික හා අපිට අතිශය සමීප අත්දැකීම් ගැනයි‘ යන්නයි. ගීත 1400 කට අධික ප්‍රමාණයක් ගායනා කළ ඔහුගේ ගීත ඇල්බම් ලොව පුරා රටවල් 80 ක අලෙවි වී ඇත. සංඛ්‍යාත්මකව ගතහොත් එය මිලියන 100 කට අධිකය. අස්නවෝර් ගායනා කළ ගීත 1400 න් 1300 ක් පමණම ලියැවුණේ ඔහු විසින්ම වීම විශේෂය. තෙවරක් විවාහ වූ ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. ප්‍රංශයේ සිනෙට්‍රා යන නමින් හැඳින්වුණු මේ අපූරු ගායන ශිල්පියා පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිය දිවියෙන් නික්මී යනවිට 94 හැවිරිදි වියේ පසුවූවේය. තරුණ වියේදී මගේ ජීවිතය වේදිකාවයි ‘‘මං ජීවත්වෙන්නේ වේදිකාව මතයි. අනිවාර්යයෙන්ම වේදිකාව මතදී මං දැඩි ප්‍රමෝදයට පත්වෙනවා. මගේ සොහොයුරිය හා මා අවුරුදු 100 ක් ජීවත්විය යුතු බව තීරණය කළා. ඒ තරම් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබුණොත් අපිට වාර්තාවක් තබන්නට හැකිවේවි. මේ ගමන අතරතුරදී මට වගේම ඇයටත් නවතින්න බැහැ ‘‘ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සවස ප්‍රංශ රූපවාහිනියේ විකාශය වූ ඔහු සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය. මෙහිදී චාර්ල්ස් පැවසුවේ තවදුරටත් තමන්ට ගී ගැයීමට අවස්ථාව නොලැබුණොත් තමා මියයාවි යන්නයි. මනාව සංකලනය වූ ආකර්ශණීය ගී පද මෙන්ම රසවත් ගී ගැයූ ශිල්පියෙකු ලෙස ප්‍රකටය. ඔහු ගැයූ Après l’Amour නම් ගීතය ප්‍රංශ ගුවන්විදුලිය 1955 තහනම් කළ අතර ලිංගික එක්වීමෙන් පසුව සතුටට පත්වූ යුවළක් සතුටින් ඉපිලෙන අන්දම ‍මේ ගීයේ නිරූපණය කර තිබීම ඊට හේතුවිය. ප්‍රේමයේ සුන්දරත්වය ගැන ගැයුණු She නම් ගීතය 1974 දී නිර්මාණය වූ අතර පෙම්වතුන්ට දැනෙන සතුට මෙන්ම ඔවුන් අතර ඇතිවන සුළු සුළු ගැටුම් ගැන ද මින් පැවසේ. ‘මගේ ජීවිතයේ අරුත ඇයයි‘ යන්න මේ ගීතයෙන් කියැවේ. මේ ගීතය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ දී ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර එක්සත් ජනපදයේ ගීත දර්ශකයන්හි සති හතරක් පුරා අංක එකේ රැඳී තිබුණි. සිනෙට්‍රා, එල්ටන් ජෝන්, සෙලීන් ඩියොන්, බ්‍රයන් ෆෙරී හා ස්ටින් සමග එක්ව ගීත නිර්මාණ ද සිදුකර ඇත. සහෝදර ජනයා වෙනුවෙන් සහන සැලසීමට ද ඔහු නිරන්තරයෙන් එක්වී ඇත. හයිටියේ ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට ප්‍රංශයේ සිටින තරුණ රැප් තරු සමග එක්වී Un Geste pour Haiti Chérie ගීතය 2010 දී ගායනා කළේය. ඔහු හා ලීසා මිනෙලි නම් ගායන ශිල්පිනිය සමග කලක් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර 2014 දී ඒ ගැන Telegraph වෙත අදහස් දක්වමින් පැවසුවේ, ‘ඇය මගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. කොයි මොහොතක හරි ඇයට හෝ මට කටවහන්න සිද්ධවෙන බව ඈ කිව්වා‘ යන්නයි. ඔහු නැති සොවින් තැවෙන අය ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, ‘චාර්ල්ස් අස්නවෝර් සිය ආර්මේනියානු අක්මුල් අමතක නොකළ අතිශය හෘදයාංගම ප්‍රංශ ජාතියෙක් වුණා පමණක් නොවේ මුළු ලොවක් ඔහු ගැන දැන හිටියා. පරම්පරා තුනක් අත්විඳි ප්‍රමෝදය මෙන්ම දුක, වේදනාව ද ඔහු අත්දුටුවා. චාර්ල්ස්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයන් තුළ රැඳී තිබෙන්නේ ඔහුගේ කටහඬේ ගැබ්වී තිබෙන අපූර්ව ස්වරය මෙන්ම ඔහුටම අනන්‍ය වූ ප්‍රභාවයි.‘‘ යන්නයි. අස්නවූර් ජීවිතය ගැන කළ සඳහනකින් මේ සටහනට නිමාව තබන්නම්. ‘‘ජීවිතයේදී කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති බවට මිනිස්සු විශ්වාස කළත්, අපි හැමවිටම කිසිවෙකු හෝ කිසිවක් බලාපොරොත්තු වෙනවා‘‘ Xtra, The Guardian, BBC හා The New York Times ඇසුරිනි https://youtu.be/Ts7zVUy0Sd0