Thursday, October 4, 2018

# demons in paradise # film

Demons in Paradise – හැබෑම ඩීමන්ලා කවුද ?

Demons in Paradise සිනමාපටයට යාපනය සිනමා උළෙලේදී වුණේ මොකක්ද ? ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන ‘‘පාරාදීසයේ යක්‍ෂයෝ‘‘(Demons in Paradise) සිනමාපටය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔක්තෝබර් 5 වැනිදා දින ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් අත්හිටුවා ඇති බව පසුගියදා (ඔක්තෝබර් 1) ජූඩ් රත්නම් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබෙයි. ජූඩ් රත්නම් අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ, අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයින් තීරණය කලේ ඇයිදැයි තමන් හරි හැටි නොදන්නා නිසා ඔවුන් මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කළයුතු බවත්ය. මෙය ප්‍රදර්ශනයට එරෙහිව හඬ නගන ‘ප්‍රජාව‘ යනු කවුරුන්දැයි යන්නත් ඔහු විමසා සිටියි. කෙසේවුවත්, මේ ගැන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කළ යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය සම්බන්ධයෙන් ජූඩ් රත්නම් පවසන අදහස් නිවැරදි නොවන බවයි. කෙසේවුවත්, සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන අතර එහිදී වැඩි වශයෙන් අවධාරණය කර තිබෙන්නේ ජූඩ් රත්නම්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් මෙහිදී භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් යන්නයි. Demons in Paradise සිනමාපටය 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) හි දී පළමුවරට තිරගත වූ Demons in Paradise චිත්‍රපටය එහිදී Camera d’Or හා Golden Eye සම්මාන සඳහා නිර්දේශ වූ අතර තවත් ජාත්‍යන්තර උළෙලයන් වලට ද මෙය තරඟ වැදී ඇත. ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන Demons in Paradise ජූලි පරාටියන්ගේ නිෂ්පාදනයක් වන අතර මෙහි කැමරාකරණය චින්තක සෝමකීර්ති හා මහින්ද අබේසිංහ ගෙනි. එසේම පසුගිය වසර පුරාවට ලොව පුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක්ම හිමි කරගෙන ඇත. The Hindu මේ ගැන සටහන් කර ඇති අයුරු මේ සම්බන්ධයෙන් The Hindu පළකර ඇති ලිපියේ (ඔක්තෝබර් 2) දක්වා තිබෙන කරුණු මෙසේය. ”ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ Demons in Paradise සිනමාපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේදී මේ සතියේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, අදාළ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමාපට ඇතුළත් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර පශ්චාත් යුද සමයක් පවතින ලාංකීය සමාජයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ පහරක් ලෙස මෙය හඳුන්වයි. ජූඩ් රත්නම් පවසන පරිදි මේ සිනමාපටය උළෙලෙන් වාරණය කිරීමට හේතුවී ඇති කරුණ බවට සිනමා උළෙලේ සංවිධායකයින් පවසන්නේ, ‘ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම‘ යන්නයි. ඊට අදාළව ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙන්නේ, ‘මගේ සිනමාපටය ලැයිස්තුවෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයින් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැත. මෙය භාෂණයේ හා ප්‍රකාශනය පිළිබඳ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් නිදහසට එල්ල වූ බාධාවක් හා වාරණයක් බවත්‘ ඔහු පසුගියදා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත. යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂිකාව වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය වාරණය කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැති බවයි…. මේ පිළිබඳ අදහස් දක්වන ජූඩ් රත්නම් පවසන්නේ ‘මේ සිනමාපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. LTTE සංවිධානය දමිළ සමාජය තුළම විවේචනය කිරීම හරහා මේ සිනමාපටය හරහා විවේචන මෙන්ම විවේචනාත්මක පිළිගැනීම් ද ඉදිරිපත් කර තිබෙනවා. ලංකාවේ සමාජය තුළ ඵෙතිහාසික වශයෙන් පැවත ගෙන එන වෙනස්කොට සැලකීම මෙන්ම දමිළ සුළුතරය වෙත එල්ල කළ කෘරත්වය LTTE අරගලය තුළ තවමත් මුල්බැසගත් අදහස් බවට පත්වී තිබෙනවා. කෙසේවෙතත්, LTTEයේ අධිපතිවාදී ආකල්පය මෙන්ම විසම්මුතිකභාවය සම්බන්ධ නොඉවසිලිවන්ත බව ගැන දමිළ සමාජයේ ඉන්න පිරිසක් දිගු කලක් තිස්සේ ප්‍රශ්න කරනවා. ඔවුන් LTTE ය ‘දේශද්‍රෝහීන්‘ ලෙස හංවඩු ගහන අතර එවැනි හඬවල් ඉවත් කරදමා තිබෙනවා. උළෙලේ සංවිධායකයින් පවසන්නේ මේ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ‘ප්‍රජාවෙන්‘ බලපෑමක් පැමිණි බවයි. මේ කියන ප්‍රජාව කවුද ?. ප්‍රධාන දේශපාලන ආධිපත්‍යයට සම්බන්ධ කතිකාවට විරුද්ධව අදහස් පළකරන ඕනෑම දේකට විරුද්ධව යන අවතාරයක් වසර ගාණක් තිස්සේ අප අතර ඉන්නවා. මේ සිදුවීමෙන් නැවතත් තහවුරු කරන්නේ ඒ අවතාරය අප අතර පවතින බවයි‘‘ යන්නයි. යහපාලනය භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරාවිද ? සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි වරෙක පවසන්නේ, ‘‘ඕනෑම විවෘත සමාජයක පදනමට හේතුවන සුවිශේෂී කරුණු ද්විත්වය වන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා නීතියේ ආධිපත්‍යයයි. මේ පදනම නැති තැන නිදහස් රටක් බිහිවන්නේ නැත‘‘ යන්නයි. රාජපක්ෂ රෙජීම් පාලනය පරදවා වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ස්ථාපිත කරන බවට වූ පොරොන්දුව මතය. එවැනි පසුබිමක Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී අසාධාරණයට ලක්වන්නේ රජයේ බලධාරීන්ගේ උපදෙස් වල දායකත්වයෙන් ද යුතුව නම් භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති බාධාව තරයේ හෙළාදකිමු. https://youtu.be/E8N-Esvj--0 https://youtu.be/quJTd3Asag0

No comments:

Post a Comment