Thursday, October 4, 2018

# aznour # chrles

චාර්ල්ස් අස්නවූර් මතකය

අද ජීවත්වෙන්න, හෙට මොනා වේවිදැයි දන්නේ කවුද ?‘ – චාර්ල්ස් අස්නවූර් අස්නවූර් යනු කවුද ? චාර්ල්ස් අස්නවූර් 1924 මැයි 22 වැනිදා මෙළොව එළිය දකින්නේ ආර්මේනියානු කලා පවුලකට දාව ය. වයස අවුරුදු නවය සම්පූර්ණ වීමත් සමගම පාසල හැරයන අස්නවූර්ගේ හීනය වී තිබුණේ ළමා රංගන ශිල්පියෙකු වීමය. ඔහුගේ මාපියන් දෙවන ලෝක යුද සමයේදී කැබරේ ශාලා වල ගායනයේ යෙදුණු අතර යුදෙව් හා කොමියුනිස්ට් පිරිසට ඔවුන්ගේ නිවසේ රහසිගතව නවාතැන් සැපයීය. සිය පවුලේ උදවිය ගැන පවස ඔහු ‘ප්‍රංශ බස මගේ එදිනෙදා කටයුතු වලදී භාවිත කරන බස වුණත් මගේ පවුලේ අය කතාබහ කළේ ආර්මේනියන් බසයි‘ යන්න පවසා ඇත. පියා සමඟ නව රැල්ලේ සිනමා නිර්මාණකරුවෙකු වූ ප්‍රංශුවා ටෘෆෝගේ සම්භාව්‍ය ගණයේ සිනමාපටයක් වූ Tirez Sur le Pianiste (Shoot the Piano Player) මෙන්ම ක්ලෝඩ් චාර්බ්‍රොල්ගේ Fantômes du Chapelier (The Hatter’s Ghost) ආදී නිර්මාණ වලට ද මෙන්ම ගුන්තර් ග්‍රාස් රචනා කළ The Tin Drum ඇසුරින් නිර්මාණය වූ 1979 ඔස්කාර් සම්මාන ලබාගත් සිනමාපටයට ද දායක වූවේය. එවක සමාජය ප්‍රසිද්ධියේ කතාබහ කිරීමට අකමැති තේමාවන් වූ විවාහ ජීවිතයේ දී මුහුණදීමට වන අභියෝග, පිරිමින්ගේ හැඟීම් හා ආශාවන්, ලිංගික අපචාර මෙන්ම සමලිංගිකත්වය ගැන ද ඔහු ගී ගැයුවේය. Comme Ils Disent / What Makes a Man නම් ගීතය 1973 දී බිහිවූ අතර මෙහි තේමාව වී තිබෙන්නේ සමරිසි පුරුෂයෙකු පිළිබඳවයි. මේ ගැන පසුකලෙක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු පැවසුවේ, ‘‘සමරිසි බව ගැන ප්‍රංශයේදී මුලින්ම ගීතයක් රචනා කළේ මමයි. මගේ සමරිසි මිතුරන් මුහුණදෙන ඔවුන්ටම අනන්‍ය ප්‍රශ්න ගැන කියන්න මට වුවමනා වුණා. මේ පිරිස නිරන්තරයෙන් සමාජයේ කොන්වීමට ලක්වුණා. ඔවුන් ගැන වෙනස් විදියට දකින්න මේ හරහා හැකියාව ලැබුණා.‘‘ සිය ගායනය ගැන ස්වයං විවේචනයක නිරත වූ අස්නවූර් වරෙක පැවසුවේ, ‘‘මං සම්භාව්‍ය තලයේ අතිදක්ෂ ගායකයෙකු දැයි මා දන්නේ නැහැ. නමුත්, කටහඬක රැඳී තිබෙන සුන්දරත්වයට වඩා අතිශය වැදගත් වන්නේ භාවාත්මකව ගීතයක් ඉදිරිපත් කරන අන්දම හා ඒ තුළ ජීවිතය චිත්‍රණය කරන අයුරුයි. මගේ හැම ගීතයකින්ම කියන්න උත්සහ කළේ පෞද්ගලික හා අපිට අතිශය සමීප අත්දැකීම් ගැනයි‘ යන්නයි. ගීත 1400 කට අධික ප්‍රමාණයක් ගායනා කළ ඔහුගේ ගීත ඇල්බම් ලොව පුරා රටවල් 80 ක අලෙවි වී ඇත. සංඛ්‍යාත්මකව ගතහොත් එය මිලියන 100 කට අධිකය. අස්නවෝර් ගායනා කළ ගීත 1400 න් 1300 ක් පමණම ලියැවුණේ ඔහු විසින්ම වීම විශේෂය. තෙවරක් විවාහ වූ ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. ප්‍රංශයේ සිනෙට්‍රා යන නමින් හැඳින්වුණු මේ අපූරු ගායන ශිල්පියා පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිය දිවියෙන් නික්මී යනවිට 94 හැවිරිදි වියේ පසුවූවේය. තරුණ වියේදී මගේ ජීවිතය වේදිකාවයි ‘‘මං ජීවත්වෙන්නේ වේදිකාව මතයි. අනිවාර්යයෙන්ම වේදිකාව මතදී මං දැඩි ප්‍රමෝදයට පත්වෙනවා. මගේ සොහොයුරිය හා මා අවුරුදු 100 ක් ජීවත්විය යුතු බව තීරණය කළා. ඒ තරම් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබුණොත් අපිට වාර්තාවක් තබන්නට හැකිවේවි. මේ ගමන අතරතුරදී මට වගේම ඇයටත් නවතින්න බැහැ ‘‘ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සවස ප්‍රංශ රූපවාහිනියේ විකාශය වූ ඔහු සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය. මෙහිදී චාර්ල්ස් පැවසුවේ තවදුරටත් තමන්ට ගී ගැයීමට අවස්ථාව නොලැබුණොත් තමා මියයාවි යන්නයි. මනාව සංකලනය වූ ආකර්ශණීය ගී පද මෙන්ම රසවත් ගී ගැයූ ශිල්පියෙකු ලෙස ප්‍රකටය. ඔහු ගැයූ Après l’Amour නම් ගීතය ප්‍රංශ ගුවන්විදුලිය 1955 තහනම් කළ අතර ලිංගික එක්වීමෙන් පසුව සතුටට පත්වූ යුවළක් සතුටින් ඉපිලෙන අන්දම ‍මේ ගීයේ නිරූපණය කර තිබීම ඊට හේතුවිය. ප්‍රේමයේ සුන්දරත්වය ගැන ගැයුණු She නම් ගීතය 1974 දී නිර්මාණය වූ අතර පෙම්වතුන්ට දැනෙන සතුට මෙන්ම ඔවුන් අතර ඇතිවන සුළු සුළු ගැටුම් ගැන ද මින් පැවසේ. ‘මගේ ජීවිතයේ අරුත ඇයයි‘ යන්න මේ ගීතයෙන් කියැවේ. මේ ගීතය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ දී ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර එක්සත් ජනපදයේ ගීත දර්ශකයන්හි සති හතරක් පුරා අංක එකේ රැඳී තිබුණි. සිනෙට්‍රා, එල්ටන් ජෝන්, සෙලීන් ඩියොන්, බ්‍රයන් ෆෙරී හා ස්ටින් සමග එක්ව ගීත නිර්මාණ ද සිදුකර ඇත. සහෝදර ජනයා වෙනුවෙන් සහන සැලසීමට ද ඔහු නිරන්තරයෙන් එක්වී ඇත. හයිටියේ ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට ප්‍රංශයේ සිටින තරුණ රැප් තරු සමග එක්වී Un Geste pour Haiti Chérie ගීතය 2010 දී ගායනා කළේය. ඔහු හා ලීසා මිනෙලි නම් ගායන ශිල්පිනිය සමග කලක් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර 2014 දී ඒ ගැන Telegraph වෙත අදහස් දක්වමින් පැවසුවේ, ‘ඇය මගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. කොයි මොහොතක හරි ඇයට හෝ මට කටවහන්න සිද්ධවෙන බව ඈ කිව්වා‘ යන්නයි. ඔහු නැති සොවින් තැවෙන අය ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, ‘චාර්ල්ස් අස්නවෝර් සිය ආර්මේනියානු අක්මුල් අමතක නොකළ අතිශය හෘදයාංගම ප්‍රංශ ජාතියෙක් වුණා පමණක් නොවේ මුළු ලොවක් ඔහු ගැන දැන හිටියා. පරම්පරා තුනක් අත්විඳි ප්‍රමෝදය මෙන්ම දුක, වේදනාව ද ඔහු අත්දුටුවා. චාර්ල්ස්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයන් තුළ රැඳී තිබෙන්නේ ඔහුගේ කටහඬේ ගැබ්වී තිබෙන අපූර්ව ස්වරය මෙන්ම ඔහුටම අනන්‍ය වූ ප්‍රභාවයි.‘‘ යන්නයි. අස්නවූර් ජීවිතය ගැන කළ සඳහනකින් මේ සටහනට නිමාව තබන්නම්. ‘‘ජීවිතයේදී කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති බවට මිනිස්සු විශ්වාස කළත්, අපි හැමවිටම කිසිවෙකු හෝ කිසිවක් බලාපොරොත්තු වෙනවා‘‘ Xtra, The Guardian, BBC හා The New York Times ඇසුරිනි https://youtu.be/Ts7zVUy0Sd0

No comments:

Post a Comment