Thursday, October 4, 2018

# feminist # nawal egypt

ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ – නවාල් අල් සඩාවි

ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ අවසන් කොටසයි. මිනිස්සු තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ කාන්තාවන්ගේ ලිංගික සතුට මුලිනුපුටා දැමීමක් විදියටද ? ඔව්, අනිවාර්යයෙන්ම. කාන්තාවන්ගේ ලිංගික සතුට දුර්වල කරදමන්න හා හීන කරන්නයි. සිරුරේ තියෙන අති සංවේදී චර්ම කොටසක් කපාදමන්නේ ඇයි ?. පුරුෂයින්ගේ ලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. යුදෙව් ආගම හා බැඳුණු ඉතිහාසයක් වගේම ලිංගිකත්වයට නැඹුරු වූ ඉතිහාසයක් මේකට තියෙනවා. ඒ මිනිස්සුන්ට ගැරහීමයි. එය අවහිර කිරීමක්. මිනිසෙකුගේ සිරුරේ තියෙන අතිශය සංවේදී තැනක් කපාදමන්නේ ඇයි ?. දෙවියන් ඉදිරියේ මිනිසුන්ව හාස්‍යයට ලක්කරන්නටයි. මිනිස්සු කෙරේ ආධිපත්‍යය පැතිරවීමේ අවශ්‍යතාවක් දෙවියන්ට තිබීම ඊට හේතුවයි. ඔබ, ඔබේ රටින් පිටවී ගොස් ස්වයං පිටුවහල් සමයක් ගත කළා ? ඔව්, අවුරුදු 20 ක් මේකට හේතු වුණේ මොකක්ද ? මට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවුණා. රජය මගේ ගෙදර ඉදිරිපිට ආරක්ෂක නිළධාරීන් යොදවා තිබුණා. නමුත්, ලේඛකයෝ හා වෙනත් වැදගත් පුද්ගලයින් මරාදැමුණේ මෙවැනි ආරක්ෂකයින් අතින්මයි. ඉතිං, මේ ආරක්ෂක නිළධාරීන් හෝ රජය ගැන ප්‍රමාණවත් තරම් විශ්වාසයක් මට තිබුණේ නැහැ. ඒ මොහොතේ මගේ සැමියා කියා හිටියා ‘ඔයා මේ රටින් යන්න ඕන‘ කියලා. මං රටින් පිටවුණේ ඒ හේතුව නිසයි. නිකරුණේ ඝාතනය වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. නමුත්, ඔබ කිසිම වෙලාවක සටන අත්හැරියේ නැහැ ? ඔව්, මේ සමයේදී මං නිර්මාණාත්මක කුසලතාව හා භින්නමතික බව ගැන පාසල් හා විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් සිදුකළා. ලේඛනය, ප්‍රකාශනය නැවැත්වූවේ නැහැ, මගේ වෑයම කිසිලෙසකින්වත් අත්හිටවූවේ නැහැ. ඔබ රටින් පිටවී හිටියත් ඊජිප්තුව සමග පැවති සබඳතා අඛණ්ඩව පවත්වාගත්තද ? හ්ම්, ඒ වගේ ලෝකයක් ඇතුළේ ජීවත්වෙද්දි පහසුවෙන්ම ඊ මේල් වගේ ක්‍රම වලින් පහසුවෙන්ම සන්නිවේදන කටයුතු කරගන්න පුළුවන්. කොහොමටවත් මගේ සබඳතා ජාලය බිඳවැටුණේ නැහැ. මිනිස්සු එක්ක බොහොම තදින් බැඳී හිටියා. අවුරුදු ගාණක් ගතවෙලා ගිහිං ආපහු මගේ රටටම ගියාම මා ලියූ, කියූ දේවල් ගැන මනාව දැනගෙන හිටි පුද්ගලයන් තහීර් චතුරස්‍රයේදී මුණගැහුණේ මේ හේතුව නිසයි. ඉතිං, ඇත්තටම මං කවදාවත් හැබෑවටම මං ස්වයං පිටුවහලක පසුවුණේ නැහැ. ඔබ ආපහු ඊජිප්තුවට යන්නේ හරියටම අරාබි වසන්තයට කලින් නේද ? ඔව්. ඔබ අරාබි වසන්තය දකින්නේ මොන විදියටද ? මේ ගැන දැක්මවල් දෙකක් තිබෙනවා. අරාබි ලෝකයේ ඇතිවුණු විප්ලවය කළේ ඇමරිකානුවන් බව එක් පිරිසක් කියනවා. (සිනාසෙමින්). ඔවුන් කියන්නේ මුබාරක්ට එරෙහිව මිනිස්සු මිලියන ගාණක් පාරට බස්සන්න ඇමරිකාවට හැකිවුණු කතාවක්. මේක විකාර කතාවක්. මොකද තහීර් චතුරස්‍රයට මිලියන ගණනින් මිනිස්සු එක්රොක් වෙලා හිටියා. මේක ඇමරිකාව උසිගැන්වුව දෙයක් කියනවා නම් ?. නැහැ. මේක විප්ලවයක්. ඇත්තටම, මේක නැවැත්තුවේ ඇමරිකාව, ඊශ්‍රායලය හා ඊජිප්තු ආණ්ඩුවයි. මේ පිරිස මිනිස්සුන්ට බය වුණු නිසා මේක නවත්වන්න සිද්ධවුණා. හැබැයි අරාබි විප්ලවය නවත්වන්න මේ කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැහැ. සමස්ත අරාබි ලෝකයේ හා ඊජිප්තුව ඇතුළේ කරපු විප්ලවයේ ශක්තිය මෙහිදී දැකබලාගන්න හැකිවුණා. මිනිස්සුන්ව මොනම බලවේගයකින්වත් වළක්වන්නට නොහැකි නිසා මෙය ඉදිරියටත් අඛණ්ඩව සිද්ධ වේවි. ඔබ හිතන විදියට අරාබි වසන්තය නවත්වන්න උත්සහ කළේ ඇයි ? ඔවුන් මොහොමඩ් මුර්සිව බලයට පත්කරන්න උත්සහ ගත්තා. මුර්සි හෝ මුස්ලිම් සහෝදරයින් ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් දේශපාලනයට තේරීපත්විය යුතු බව ඔවුන් පැවසුවා. මේ කතාව මඟහැරයාමක් එහෙම කියන්නේ ඇයි ? ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. මං වසර 20 ක් තිස්සේ ජීවත් වුණේ ඇමරිකාවේ. එහි පවා කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. බිල් ක්ලින්ටන්, ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන් පවා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරීපත්වුණේ නැහැ. මොවුන් අරමුදල් එකතු කළා. ඊජිප්තුවට ආවත් මුර්සි ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරී පත්වුණු බව දැකගන්න ලැබේබි. ඇත්ත ඒක නෙමෙයි, තහීර් චතුරස්‍රයේදී මං හිලරි ක්ලින්ටන්ව දුටුවා. නමුත් මේ සියල්ලටම ඔවුන් මුදල් යට කළා. හිලරි ක්ලින්ටන් – ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ දේ කළා. මුස්ලිම් සහෝදරයින් බලයට පත්කරවන්න ඔවුන්ට වුවමනා වුණා. මේ විප්ලවය හරහා බිහිවන ආණ්ඩු විප්ලවවාදී වේවි කියන බය ඔවුන් තුළ තිබුණා. මේ පිරිස දිගින් දිගටම කිව්වේ මුස්ලිම් සහෝදරයින් හොඳයි කියන කතාවයි. ‘අපි මේ මුස්ලිම් සොහොයුරන්ට සහයෝගය දෙමු‘ කියන ස්ථාවරයේ ඔවුන් හිටියා. අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී බලය මෙහිදී දැකගන්නට හැකියි. මේ බලය වැඩි කැමැත්තක් දැක්වූවේ සමාජවාදී විප්ලවයකට වඩා ඉස්ලාම් ආගම මුල්කරගෙන සිදුවන විප්ලවයකටයි. ලෝකයේ කිසිම රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙකු තේරී පත්වෙන්නේ නැහැ. මං මේ කියන්නේ හැබෑවක්. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති කවුද ?. ට්‍රම්ප්, ඔබාමා ගත් විට පවා මේ තත්ත්වය දැකගන්නට හැකිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිරිඟුවක්. ප්‍රාග්ධනවාදී, අධිරාජ්‍යවාදී, පුරුෂ මූලික ආගමික පද්ධතියක් ඇතුළේ කොහොමටවත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය දකින්න බැහැ. ඒ ඇයි ? ඔවුන්ට මුදල් ඕන. ආගම, ප්‍රාග්ධනය, අධිරාජ්‍යවාදය මකා දැමුවොත් එතැන ඉතිරිවෙන්නේ සමාජවාදය පමණයි. එතැන තවදුරටත් ආණ්ඩුවක් ඉතිරිවෙන්නේ නැහැ. මිනිස්සු සතුව තිබෙන හැබෑ බලයට ඔවුන් දැඩි ලෙස බිය වෙනවා. ඉතිං, කොහොමටවත් ප්‍රජාතන්ත්‍රවාදයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද ?. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැබෑම, හැබෑ නිදහසයි. අප ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන දේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැත්නම් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ජීවත්වෙන්නේ ඇයි ? ඒකට හේතු වෙන්නේ මිනිස්සු දැඩි පීඩනයෙන් හා කිසිදු සංවිධානාත්මක ගතියකින් තොරව ජීවත්වීමයි. සංවිධානගත වීමෙන් අපව වළක්වා තිබෙනවා. මං තනිව ලේඛනයේ යෙදෙන කාලයේදී අතිශය ජනප්‍රිය තරුවක් වුණත් මේ පිරිස කොහොමටවත් සංවිධාන ගතවුණේ නැහැ. මම කාන්තාවන් වගේම පිරිමින් ද එකසේ සංවිධාන ගතකිරීම ආරම්භ කරපු නිමේෂයේදී, අතිශය අන්තරායදායක කෙනෙකු බවට මං පත්වුණා. ඇත්තටම, මෙහේ ඉන්න මිනිස්සු සංවිධාන ගතවෙලා නැහැ මිනිස්සු මේ විදියට සංවිධානගතවීම කිසිම ආණ්ඩුවක් නවතා දමන්නේ නැහැනේ ? මිනිස්සු සංවිධානගතවු පමණින් කිසිම ආණ්ඩුවක් ඇවිත් මීට සම්බන්ධ පිරිස් සිරගත කරන්න කටයුතු කරන්නේ නැහැනේ. අපි ජීවත්වෙන බ්‍රිතාන්‍යයේ පවා එහෙම දේවල් වෙන්නේ නැහැ ? නමුත්, බොහොම සියුම් විදියට ඒ දේ කරනවා. ඇමරිකාව එය කරන විදිය මම දන්නවා. ඇමරිකාව තුළ සංවිධානගත වෙන්න බැහැ. ඔවුන් එය නවතාදමන්නේ කොහොමද ? ආණ්ඩුව විරුද්ධ වෙනවා. ධනවාදී ලෝකය නවතාදමන්න කිසිම ආණ්ඩුවකට බැහැ. ඇමරිකාවේදී සමාජවාදී විප්ලවයක් කරන්න බැහැ. ඔවුන් ඔබව මරාදමාවි. මරාදමාවි සමහරවිට සමාජවාදී ක්‍රමයකට ගමන් කරන්න තරමේ ප්‍රමාණවත් පුද්ගලයින් සංඛ්‍යාවක් නැහැ නේද ? ඇමරිකාවේ සමාජවාදීන් ඉන්න බව ඔබ හිතනවාද ? ගොඩක් මිනිස්සු ඉන්නවා. බහුතරයක් වන ජනතාව, මගේ හැම මිතුරෙක්ම පවා සමාජවාදීන්. ඔවුන් ට්‍රම්ප්ට දැඩි ලෙස විරුද්ධයි. ඔහුට එරෙහිව මිලියන ගාණක ජනතාවක් ඉදිරියට එනවා. නමුත්, ඔවුන්ට කිසිමදෙයක් කරගන්න බැහැ. ඇයි ඒ. මිලියන ගාණක මිනිස්සු ට්‍රම්ප්ට එරෙහිව, ඉරාක යුද්ධයට එරෙහිව, පලස්තීන යුද්ධයට එරෙහිව පෙරට එන්නේ ඇයි ?. මිනිස්සු මෙහෙම ඉදිරියට ආවත් ඔවුන්ට කිසිවක් වළක්වාගන්න පුළුවන්කමක් තිබුණද ?. ඒ ඇයි ? මේ හැමෝටම ඔබ දෙන පණිවිඩය මොකක්ද ? මේ පිරිස එක්වෙලා ලෝකය වෙනස් කරන්න දැරිය යුතු උත්සහය මොකක්ද ? කරුණු දෙකක් වැදගත්වෙනවා. සංවිධානගත වීම හා මිනිස්සුන්ව නැවත දැනුමින් සවිබල ගැන්වීම නැත්නම් දැනුවත් කිරීම යන්න අතිශය වැදගත් වෙනවා. මාධ්‍ය මගින් මිනිස්සුන්ගේ අදහස් දැඩි ලෙස වෙනස්කර තිබෙන නිසාම ඔවුන්ට ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මං මහාචාර්යවරියක ලෙස ඇමරිකාවේදී උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වුවා. මේ පිරිස දේශපාලනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් දැනුමින් සන්නද්ධ අය නොවෙයි. මොවුන් තුළ නූගත් බව තිබුණත් දැනුම තිබුණේ නැහැ. මිනිස්සුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. සාම්ප්‍රදායික අධ්‍යාපනය පසෙක දැමිය යුතුයි. නිර්මාණාත්මක ගුණාංග ඉගැන්විය යුතුයි. මං ඔවුන්ට කියාදුන්නේ එයයි. නිර්මාණාත්මක ගුණාංග තමා තුළ ඇතිකරගැනීම හා නිසි ඉගෙනුමක් නැති අය දැනුමින් සවිබල ගැන්වීම හරහා කාන්තාවන් වගේම පිරිමින් ද ඔවුන්ගේ අයිතීන් ගැන ඉගෙනගෙන සංවිධානගත වෙන්න පටන්ගනීවි. පුරුෂ මූලික සමාජය, ධනවාදය, ආගමික පීඩනය ගැන ඔබ කතාකළා. මේ අදහස් වලට එරෙහිව එකවර සටන් කිරීම හෝ එකින් එක මේ අදහස් වලට එරෙහිව සටන් කිරීමට හැකියාවක් තිබෙනවාද ? පළවෙනි දේ දැනුවත්වීම, මොකද බලාහිඳීම අපව නොදැනුවත් අය බවට පත්කරනවා. අධ්‍යාපනය රැඳී තිබෙන්නේ යථාර්තය සරළ කිරීම මතයි. මේ දේවල් අපේ ඔළුවේ තියෙනවා. ආගම, ලිංගිකත්වය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය මේ හැමදේම අපේ ඔළු ගෙඩි වලට ඇතුල් කරවනවා. කිසිම දෙයක් නොදැන අපි මැරිලා යන්නේ ඒ නිසයි. නමුත්, නිර්මාණාත්මක බව කියන්නේ අපට පෙරගමන් පෙන්වන, සාමූහිකත්වය ඇතිකරවන, මේ හැමදේම එකිනෙකට සම්බන්ධ කරන දේවල්. අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා මීට අනුබල දෙනවා දැකගන්නට හැකියි. මිනිස්සුන්ව එකිනෙකාගෙන් වෙන් කිරීමේ අවශ්‍යතාවය ධනවාදීන්ට තිබෙනවා සමාජ මාධ්‍ය මිනිස්සු එකිනෙකාගෙන් වෙන්කරන්නේ ඇයි ? හිතාමතා නොවුණත් මිනිස්සු හිරගත කිරීම සිදුකරනවා. තවදුරටත් ඔවුන් එකිනෙකා සමග මුණගැහෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය මිනිස්සුන්ට සංවිධානගත වෙන්න වැදගත් වෙන්නේ නැද්ද ? සමහර අවස්ථාවලදී වැදගත් වෙනවා. ෆේස්බුක්, ට්විටර් වගේ මාධ්‍යයන් මිනිස්සු ඒකරාශී කරන්න වැදගත් වුණත් ඔවුන්ව දැනුම්වත් කරන්න වැදගත් වෙන්නේ නැහැ. මේක අතිශය අසීරු කාර්යයක් වන නිසා දැඩි කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. මිනිස්සු තමන්ගේ ජීව විද්‍යාත්මක පවුලට පමණක් වාසි සැලසීම ගැන නොසිතිය යුතුයි. දරුවන්, පවුල එකිනෙකාගේ ආශාවන් බවට පත්වෙනවා. පවුල ගැන යාඥාවන් කරන්නේ ඒ නිසයි. රජය තුළ පවා පවුල යන්න වැඳුම් පිදුම් වලට ලක්වෙනවා. හැමකෙනාම අමාරුවෙන් වැඩ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්න වෙහෙසෙනවා. තමන් ගැන විතරක් හිතන පවුලක් වුණත් මේ පවුල සමාජයට විවෘත නැහැ. ඒවගේම සමාජවාදී සංවිධානයකුත් නෙවෙයි. අපිට මේ ගැන කතාකරන්න බැහැ. ඔබ සර්ව අශුභවාදියෙක්ද ? නැහැ, කොහොමටවත් නැහැ. කවුද කිව්වේ ? ඔබ කිව්වා මේවා කිසි දිනක සිද්ධවෙන්නේ නැහැ කියලා. ඒකයි ? නැහැ, නැහැ. මේවා සිද්ධවෙන්න පුළුවන්, නමුත් අපි දැනුවත්වීම අත්‍යවශ්‍යයි. අපි හැමෝම සාමූහිකව අරගල කරන්න ඕන. මං තදබල විදියේ සර්ව සුබවාදීයෙක්. මං කොහොමටවත් අශුභවාදය ගැන විශ්වාස කරන්නේ නැහැ. සිරගෙයි ගතකළ අවදියේදී පවා මං දැඩිව බලාපොරොත්තු තබාගත් කෙනෙක් වුණා. අති දරුණුම අත්දැකීම් වලදී පවා මං බලාපොරොත්තු කඩකරගත්තේ නැහැ. ඉතිං අපි මේ අරගලය ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද අඛණ්ඩව රැගෙන යා යුතුයි. අපිට තනිව ඊජිප්තුව ඇතුළේ පමණක් සටන් කරන්න බැහැ. මේක විශ්වීය අරගලයක්. විශ්වීය අරගලයක්. දේශීය වශයෙන් මීට දායක විය යුතුයි. එකිනෙකා එකම අරමුණක් වෙත ගමන් කිරීම තුළින් මෙය සාර්ථක කරගන්නට හැකියි. මෙය සදාකාලික අරගලයක්ද ? ඔව්, අනිවාර්යයෙන්ම. ඔබට දකින්නට වුවමනා ලෝකය කවදා හෝ එළඹේවිද ? ඔව්, අනිවාර්යයෙන්ම. කවද්ද ? ඒ දවස උදාවේවි. මං ලෝකය ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඉතිහාසය දිහා බැලුවොතින් මේවා වෙන්නේ කවද්ද කියලා කියන්න බැහැ. ඉතිහාසය කියන්නේ ඉතිහාසයටයි. ජීවිතය වෙනස් වෙනවා. අද අපි ගෙවන්නේ මීට වසර 100 කට එහා ගතකරපු ජීවිතේට වඩා හොඳ ජීවිතයක්. ඉතිහාසය දිහා බලන්න, සර්වශුභවාදී විය යුතු බව එවිට ඔබට වැටහේවි. https://youtu.be/djMfFU7DIB8

No comments:

Post a Comment