Sunday, April 22, 2018

වීරවරියන් ගැන කියවන්න මිනිස්සු කැමතියි – ජින් යොන්

April 22, 2018 0 Comments
‘ඔබේ ආශිර්වාදයන් එකිනෙකා සමග බෙදාහදා ගන්න. එවිට ඔබේ දුක්ගැහැට ද සමනය වී යනු ඇත‘ Jin Yong, A Hero Born කෘතියෙනි ඔහු Louis Cha, බොහෝ දෙනෙකු ඔහුව දැන හඳුනාගෙන සිටින්නේ Jin Yong යන නමිනුයි. මේ වනවිට ජීවතුන් අතර හිඳින කතුවරුන් අතරින් වැඩිම අලෙවියක් සහිත කෘතීන් රචනා කර ඇති ලේඛකයින් අතර ඔහු ද ප්‍රමුඛයෙකි. හැරී පෝටර්, ස්ටාර් වෝස් වැනි ලොව සුප්‍රකට කතා මාලාවන්ට හිමිව තිබෙන ජනප්‍රියත්වය එලෙසින්ම චීන බසින් රචිත Louisගේ කෘතීන් වලට ද හිමිවී ඇත. ඔහු සිය ලේඛන කටයුතු අරඹන්නේ ඵෙතිහාසික සටන්කරුවන්ගේ චරිත කේන්ද්‍ර කරගත් (wuxia) කතාංගයන් හා කුංෆු ෆැන්ටසි කතන්දර පුවත්පත් වලට රචනා කරමිනි. ඒ 1950 දශකයේදී පමණ ය. පසුකාලීනව හොංකොං හි දිනපතා පුවත්පතක් වන Ming Pao හි සමාරම්භකයකු ද වන Louis 1959 දී එහි ප්‍රධාන කර්තෘ බවට ද පත්වුණේය Louis ට බොහෝ ප්‍රතිචාර හිමිවන්නේ කාන්තා පාඨකයින්ගෙන් වන අතර එවැනි ප්‍රතිචාර වෙනත් කිසිදු wuxia ලේඛකයෙකුට හිමිනොවන බව ද සැලකේ. මේ වනවිට සිය දිවියේ 94 වන කඩඉමද පසුකර සිටින Louis Cha හොංකොං හි දිවිගෙවයි. ඔහුගේ කෘතීන් ඇසුරින් සිනමාපට, රූපවාහිනී කතා මාලාවන් මෙන්ම වීඩියෝ ක්‍රීඩා පවා නිර්මාණය වී ඇත. Louis විසින් රචිත කතා මාලාවන් ත්‍රිත්වයකින් සමන්විත සුවිශේෂී කෘතියක් වන Legends of the Condor Heroes කෘති පෙළ Anna Holmwood විසින් ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තිතය. Little Dragon Maiden, Ashes of Time, Swordsman II, The Eagle Shooting Heroes වැනි සිනමාපට මෙන්ම The Legend of the Condor Heroes රූපවාහිනී කතාංගයන් ද ඔහුගේ කෘතීන් ඇසුරින් නිර්මාණය වී ඇත. සුප්‍රකට Alibaba සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී වන ජැක් මා Louisගේ කෘතීන් තුළ නිරූපණය කර තිබෙන චරිත සිය සමාගමේ සේවකයින්ගේ පෞරෂයත්වය පෙන්වන අනුරුවක් ලෙස තෝරාගෙන එම චරිත වල යහගුණාංගයන් අනුගමනය කිරීමට ද උපදෙස් දී ඇත. මෙහි පළවන්නේ ‘ද ඩොන් අ ඉල්බෝ‘ වෙබ් අඩවිය Louis සමගින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි. ඔබ වීරත්වය හා රණ සටන් පදනම් වූ නවකතාවන් රචනා කළාට මිනිස්සුන්ගේ චිත්ත සන්තානයේ ඉපදෙන ගැඹුරු සිතුවිලි මෙන්ම විවිධිකාර මිනිස්සු ගැනත් රචනා කොට තිබෙනවා. මේ ගැන සඳහනක් කළොත් ? ඇත්තටම, රණකෙළි මෙන්ම ඒ ගණයට අයත් නොවන තේමාවන් ගැනත් මා රචනා කොට තිබෙනවා. මගේ කුඩා වියේදී සිටම රණකෙළි වලට දැඩිව ඇළුම් කළා. ඒ හේතුව නිසාම මගේ ලේඛනයන් තුළ පවා ඒ ගැන සටහන් තබන්නට නිරන්තරයෙන් උත්සහ කළා. මේ උත්සහය හේතුවෙන් රණකෙළි වලට ලැබුණු සාම්ප්‍රදායික පිළිගැනීම හා විචාරය තරමක් වෙනස් වුණා. ඔබ රචනා කළ සමහර නවකතාවන් සාහිත්‍ය කෘතීන් නොව අශීලාචාර නවකතාවන් බවට නම් කෙරුණා මේ වගේ අදහස් සමගින් මා එකඟ වෙන්නේ නැහැ. මෙවැනි කතා සම්බන්ධයෙන් වාද විවාද රැසක් සිද්ධ වෙලා තිබෙනවා. අශීලාචාර යැයි සැලකෙන නවකතාවන් හා සාහිත්‍ය කෘතීන් එකිනෙකට සම්බන්ධ කරන්නට මිනිස්සු වෑයම් කරනවා. කොරියානු සංස්කෘතික රැල්ල පැතිරුණු අන්දම මා අත්දුටුවා. Christmas in August (1998) නාට්‍යය, Milyang (2007), Sympathy for Lady Vengeance (2005) සිනමාපටය, Winter Sonata හා Daejanggeum වැනි රූපවාහිනී කතා මාලාවන් දැක තිබෙනවා. මේ නිර්මාණ ගත්විට ඒවා බෙහෙවින් කලාත්මක හා රසවත් නිර්මාණයන් බව හඳුනාගන්නට හැකියි. ලෝකය පුරා ඉන්න මිනිස්සු බලන්නට කැමති මේ වගේ නිර්මාණයි. ඔබ රචනා කළ Heaven Sword and Dragon Sabre (The Sword and the Knife) කෘතියේ ඉන්න Cheung Mo-kei කියන චරිතය නිසි තීරණයක් ගන්නට නොහැකි කෙනෙකු ලෙස හඳුනාගන්නට හැකියි. මේ කෘතියේ ඉන්න සෙසු ගැහැණු චරිත බොහොම ආකර්ශණීයව කටයුතු කළත් මෙහි ඉන්න අනෙකුත් පිරිමි චරිත නිශ්චිත තීරණයක් ගන්නට නොහැකිව වැනෙන චරිත ලෙසින් හඳුනාගන්නට හැකියි. මේ ගැන සඳහනක් කළොත් ? හැමකෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස්, ඉතිං මේ කෘතීන් තුළ නිරූපණය කර තිබෙන්නෙත් එවැනි වෙනස් චරිතයි. මානුෂීය ගුණාංග කැටිවුණු වීරයෙකු මගේ නවකතා තුළ නිරූපණය කරන්නට උත්සහ ගත්තා. මගේ කෘතීන් වල ඉන්න කාන්තා චරිත බොහොම බුද්ධිමත් හා දක්ෂ ලෙසින් නිරූපණය කර තිබෙන්නට බලපා තිබෙන මූලික කරුණු තුනක් තිබෙනවා. පළවෙනි කාරණේ වෙන්නේ කාන්තා චරිත පිරිමින්ට වඩා අතිදක්ෂ පිරිස් වීමයි. අනිත් කාරණේ වෙන්නේ ඔවුන් ගැන රචනා කිරීම අතිශය සරළ හා රසවත් කටයුත්තක් වීමයි. අවසාන කාරණේ වෙන්නේ පාඨකයින්ට අවැසි වෙන්නෙත් මෙවැන්නක් වීමයි. කොරියානු සම්භාව්‍ය කෘතියක් වන Chunhyangjeon ගත්විට එහි ඉන්න Chunhyang කියන ගැහැණු චරිතය ගත්විට ඇය මෙහි ඉන්න Lee Mong-ryong ට වඩා බුද්ධිමත් තැනැත්තෙකු ලෙසින් හඳුනාගන්නට හැකියි. ඔබේ කෘති වල කතා තේමාව ගත්විට ඒවා හරිම සංකීර්ණ බව දැකගන්නට හැකියි. ඇත්තටම, ඔබේ ලේඛන ශෛලිය මොකක්ද ? ලේඛනයේ යෙදෙන්නට කලින් චීන ඉතිහාසය ගැන හැදෑරුවා. බොහෝ සාම්ප්‍රදායික කෘතීන් හා ලේඛනයන් උපුටා දැක්වූවා. මං කතාවක් රචනා කරන්නට පිවිසෙද්දි ඒ කතාව ඉබේම මෙන් ගලා යනවා. දකුණු කොරියානු නාට්‍ය රචකයකු වන Lee Baekගේ රචනා ශෛලිය මං අනුගමනය කරනවා. ඔබේ නවකතාවක් වන Demi Gods and Semi Devils මෑතකදී චීනයේ මධ්‍යම හා උසස් පාසල් වල අත්පොතක් ලෙස නිර්දේශ කළා. මේ ගැන සිහිපත් කළොත් ? මාර්ෂල් ආර්ට් පදනම් කරගනිමින් රචිත නවකතා මහජනතාවට අහිතකර බව සලකා මගේ නවකතා චීනයේ හා තායිවානයේ තහනම් කළා. මගේ නවකතා අනෙක් රටවල ජනප්‍රිය වුණාට පස්සේ මේ තහනම අවසන් කෙරුණා. මගේ ලේඛන ශෛලිය නිසා මේ කෘතිය නිර්දේශ කරන්නට ඇති බව විශ්වාස කරනවා. මොකද ? විදෙස් ලේඛන ශෛලියට වඩා සාම්ප්‍රදායික චීන ව්‍යාකරණ මේ කෘතීන් වලදී යොදාගන්නට උත්සහ කළා. ‘ද ඩොන් අ ඉල්බෝ‘ හා ‘ද නිව්යෝර්කර්‘ වෙබ් අඩවි ඇසුරිනි

කැස්ත්‍රෝවරයෙකු නොවූ නව කියුබානු ජනපති – ඩයස් කානල්

April 22, 2018 0 Comments
මිගල් ඩයස් කානල් නව කියුබානු ජනපතිවරයා ය. වසර 60 කට පසු පළමුවරට කැස්ත්‍රෝවරයෙකු නොවන තැනැත්තෙකු කියුබානු ජනපතිධූරයට පත්වී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා (19) කියුබානු ජාතික සංගමය ඔහුව නව ජනපති ලෙස තෝරාපත්කරගෙන ඇත. ජනපතිධූරයට පත්වීමෙන් අනතුරුව හවානා වේදී අදහස් දක්වමින් නව ජනපතිවරයා පැවසුවේ, තමන් ජනතාව වෙත කිසිදු පොරොන්දුවක් ලබානොදෙන බවත් කියුබාවට අතිශය වැදගත් වන තීරණ වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද රාවුල් කැස්ත්‍රෝ විසින් ගනු ලබනු ඇති බවත් ය. ධනවාදී ආර්ථික රැල්ලට පිවිසීමේ වුවමනාවක් නැති වුවද කියුබානු සමාජය මෙන්ම ආර්ථික දැක්ම ද නව මඟකට ගැනීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී පැවසුවේය. ‘සමාජවාදය නැත්නම් මරණය – අපි ජයග්‍රහණය කරමු‘ යන කියුබාවට සුපුරුදු වැකියෙන් ඔහු සිය කෙටි දෙසුම අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. නව නායකයා ලෙස කියුබාවේ දේශපාලන ගමන් මඟ සමබරව පවත්වාගෙන යාමේ වගකීම ඩයස් හට පැවරී ඇත. රාවුල් කැස්ත්‍රෝගේ සහයෙන් යුතුව නව ජනපති ලෙස තව දිගු කලක් ඩයස් කටයුතු කරනු ඇති බව පැවසේ. කෙසේවුවත්, කියුබාවේ අතිශය ශක්තිමත් ක්ෂේත්‍ර ලෙස පවතින ආරක්ෂක අංශය මෙන්ම කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ බලතල රාවුල් කැස්ත්‍රෝ සතුව පවතිනු ඇති බවට විශ්වාස කෙරේ. එමෙන්ම, කියුබානු ජනතාව පෙළා දමා ඇති අපේක්ෂා භංගත්වයට විසඳුමක් සොයාගැනීමට ද ඔහුට සිදුවනු ඇත. පෞද්ගලික අංශයට ආයෝජනය කිරීමට හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සලසාදීම, දිගු කාලයක් පුරා කියුබාව සමග විරසකයෙන් පසුවූ ඇමරිකා එක්සත් ජනපදය සමග යළි අත්වැල් බැඳගත් රාවුල් කැස්ත්‍රෝ තමන්ගෙන් පසුව කියුබාව පාලනය කිරීමට ඩයස් කැනල් තෝරා පත්කරගැනීමත් සමග කියුබාවේ ඉදිරි දේශපාලන ගමන් මඟ තුළ සුවිශේෂී වෙනස්කම් සිදුවනු ඇති බවට විශ්වාස පළ කෙරේ.
1959 දී පිදෙල් කැස්ත්‍රෝ කියුබානු ජනරජයේ අගමැති ධූරයට පත්වූ අතර ඔහු 1976 දක්වා එම ධූරය හෙබවූවේය. 1976 සිට 2008 වන තෙක් ඔහු ජනාධිපති ලෙස ද කටයුතු කළේය. පිදෙල් කැස්ත්‍රෝ සිය බලය 2006 දී සොහොයුරා වූ රාවුල් කැස්ත්‍රෝ වෙත ලබාදීමෙන් අනතුරුව 2008 වසරේ දී සිට ඔහු කියුබානු ජනපති ධූරය හෙබවූවේය. ඩයස්ගේ පත්වීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා (19) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කළේ, ඩයස් වසර 10 ක කාලයක් එනම්, දෙවරක් කියුබානු ජනපති ධූරය දරනු ඇති බවයි. එමෙන්ම, 2021 වන විට පක්ෂ නායකත්වය ඩයස්ට දී තමා එම ධූරයෙන් අස්වනු ඇති බව ද රාවුල් පවසා සිටියේය. ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් පසුගිය 2015 වසරේදී කියුබාවේ සංචාරය කළ අවස්ථාවේදී ඩයස් කැනල්ගෙන් කියුබානු විප්ලවය ගැන විමසා සිටි අවස්ථාවේදී ‘මං ඉපදුණේ විප්ලවයෙන් අනතුරුවයි. ඒ 1960 දී. ඒ ප්‍රශ්නේට උත්තර දෙන්න පුළුවන් හොඳම කෙනා මම නොවෙයි‘ යන්න පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි. කෙසේවුවත්, අභිනව ජනාධිපතිවරයා ලෙස කියුබානු ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කිරීමට හා කියුබාව සෙසු ලෝකය සමග සම්බන්ධ කිරීමේ කාර්යයයේදී ඩයස් සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව පැහැදිලිය. අද දිනයේදී සිය දිවියේ 58 වන කඩඉමට පිවිසෙන ඩයස් සිය කුඩා විය ගතකර ඇත්තේ විලා ක්ලාරා හිදීය. ඔහුගේ මව ගුරුවරියක වූ අතර පියා කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇත. ලාස් විලාස් හි විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව හදාරා ඇති ඩයස් 1982 දී සිය උපාධිය හිමිකරගත්තේය. ඒ සමයේදී සිට කියුබානු කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට එක් වී ඇත. තරුණ කොමියුනිස්ට්වාදීන්ගේ සංගමය හා සම්බන්ධ වී ඇති ඩයස් පසුකාලීනව රාවුල් කැස්ත්‍රෝගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇත. ඩයස් පිදෙල්ගේ මෙන්ම රාවුල්ගේ ද හිතවතෙකු බවට පත්වන්නේ ද මේ හඳුනාගැනීම තුළිනි. ඉන් පසු වසර තුනක කාලයක් යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කරන ඩයස් නැවතත් පක්ෂය සමග ශක්තිමත් සබඳතා ඇතිකරගත්තේය. තරුණ වියේදී දිගු කෙස් කළඹකින් යුතු තරුණයෙකු වූ ඩයස් රොක් සංගීතයට ද ප්‍රිය කරන්නෙකු බව පැවසේ. ඩයස් 2013 වසරේදී කියුබානු උප ජනාධිපතිධූරයට පත්වූ අතර පසුකාලීනව කියුබානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. තරමක නිහඬ තැනැත්තෙකු වුවද අනෙකාට සවන් දෙන ඔහු මනා නායකයකු මෙන්ම අනාගත කියුබාව වෙනස් කිරීමට හැකි තැනැත්තෙකු වනු ඇති බව ජනතා විශ්වාසය වී ඇත. කියුබාවේ වත්මන් ජනපති පිළිබඳ පවසන එරට දේශපාලන විචාරකයන් ඔහු විසින් සිදුකළ යහපත් කාර්යයන් ගණනාවක් ගැන සිහිපත් කරයි. කියුබාවේ ගෑස් හිඟයක් උද්ගත වූ අවස්ථාවේදී ඔහු සිය පාපැදියෙන් ගමන් කළ බවත්, සැන්ටා ක්ලෙරාහි පැවති සමලිංගිකයින්ගේ සමාජ ශාලාවකට දැඩි විරෝධතා එල්ල වූ අවස්ථාවේදී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත්, උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස විද්වතුන් දැක්වූ අදහස් වලට වුවමනාවෙන් සවන් දුන් බවත් පැවසේ. එමෙන්ම, කියුබානු වැසියන්ට අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව උදාකිරීම සම්බන්ධයෙන් හඬ අවදි කළ කීපදෙනා අතරින් ඩයස් ද සුවිශේෂී චරිතයක් වී සිට ඇත. මෙහිදී ඔහු අවධාරණය කර ඇත්තේ කියුබානු ජාතිකයින් අනෙක් ලෝක වැසියන්ගෙන් වෙන්කර තැබිය යුතු නොවන බවයි. මේ වනවිටත් සිය නිවසේ හිඳිමින් අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව ඇත්තේ කියුබානු වැසියන්ගෙන් 5 % ක පමණ පිරිසකට පමණි. කෙසේවුවත්, ඩයස් සිය පක්ෂයේ ප්‍රතිපත්ති දැඩිව විශ්වාස කරන බවත් කියුබානු ආර්ථිකය – ගෝලීය ආර්ථිකයට දායකවීමට අවශ්‍ය නවීකරණයෙන් නිදහස් වීමට හැකි බවට වූ මතය දැඩිව විශ්වාස නොකරන බව ද පැවසේ. අභිනව ජනපති කියුබාවේ ඉදිරි ගමන් මඟ කෙලෙස තීරණය කරනු ඇති ද යන්න ගැන විවිධ කතාබහ ජාත්‍යන්තර මාධ්‍ය තුළ සටහන් වුවද අනාගත විදේශ ප්‍රතිපත්තිය ගැන ඔහු දරන මතය ගැන ඉඟියක් මේ ප්‍රකාශයෙන් විද්‍යමාන වේ. ‘මේ රටෙන් එපිට තිබෙන ලෝකය අප දිහා බලාගෙන ඉන්නේ, ගරිල්ලා කැරලිකරුවන්ගෙන් පසුව විප්ලවය අවසන් කෙරුණු බවට වූ නිසැක කතාවට වඩා වෙනත් ප්‍රශ්න ගණනාවකුත් අහන්නට බලාගෙනයි.‘ ඩයස් – කැස්ත්‍රෝවරුන්ගෙන් වෙනස් වූ නායකයකු ද යන්න ඉදිරි කාලයේදී දැකබලාගැනීමට හැකිවනු ඇත.
ද නිව්යෝර්ක් ටයිම්ස් හා ද ගාර්ඩියන් ඇසුරිනි

Friday, April 6, 2018

හිටපු ජනපතිනිය අවුරුදු 24 කට හිරගෙට නියම වේ

April 06, 2018 0 Comments
හිටපු දකුණු කොරියානු ජනපතිනි පාක් ජුන් හයි ට සෝල් නුවර අධිකරණය මගින් අද (6) වසර 24 ක සිර දඬුවම් නියම කරනු ලැබුණි. ඇය වෙත එල්ල වූ චෝදනා 18 න් 16 කට වැරදිකාරිය බව තීන්දු කෙරුණි. විනිසුරු කිම් සී යුන් තීන්දුව ලබාදෙමින් පවසා සිටියේ ජනතාව ලබාදුන් බලය පාක් අයුතු ලෙස භාවිත කර ඇති බවත් ඇය විසින් සිදුකළ අපරාධ වලට වගකිවයුතු බවත්ය. අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාක් වැරදිකරු බව මෙම තීන්දුවේදී පවසා තිබුණි. සිරදඬුවමට අමතරව පාක් හට ඩො.මි. 16.8 ක දඩයක් ද ගෙවීමට නියම විය. කෙසේවුවත්, අද (6) දිනයේදී පැවති නඩු තීන්දුව ලබාදීමේ අවස්ථාවට ද අසනීප බව දන්වමින් පාක් නොපැමිණ සිටි අතර අදාළ තීන්දුව රජයේ රූපවාහිනී නාලිකා මගින් විසුරුවා හරිනු ලැබුණි. කෙසේවුවත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ගොනුකිරීමට පාක්ට සතියක කාලයක් ලබාදී ඇත. පසුගිය පෙබරවාරියේදී ද ඇයට වසර 30 ක සිරදඬුවමක් නියම වූ අවස්ථාවේදී ඇය නිර්දෝශීභාවය ඔප්පු කිරීමට කටයුතු කළාය. තමන්ට එල්ල වන චෝදනා ගැන පවසමින් පාක් පවසා තිබුණේ තමාව දේශපාලන පලිගැනීම් වල ගොදුරක් බවට පත්වී ඇති බවයි. මේ නිසාම ඇය පසුගිය ඔක්තෝබරයේ සිට අධිකරණයේ හමුවේ පෙනී සිටීමට පවා පැමිණියේ නැත.
පාක් බලයෙන් පහකිරීමෙන් වසරකට පසු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ගැනීම සිදුකළ අතර ඇයව නිදහස් කරන ලෙස ඉල්ලූ ජනතාව වීදි බසිමින් උද්ඝෝෂණ වලද නිරත විය. පාක් 2013 දී සිට දකුණු කොරියානු ජනපතිනිය ලෙස කටයුතු කළ අතර 2016 දෙසැම්බර් 9 වැනිදා ඇයට එරෙහිව දෝශාභියෝගයක් එල්ල වීමත් සමග ජනපති බලතල ද අහිමි වී ගියේය. පාක්ගේ නිළ කාර්යාලයෙන් ඇයව ඉවත් කළ අතර ව්‍යවස්ථාදායක අධිකරණය මගින් මේ දෝශාභියෝග පිළිබඳ විමර්ශන කටයුතු සිදුකෙරුණි. මේ වනවිටත් සියොල් හි යූවින් වල පිහිටි බන්ධනාගාරයක ඇයව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකරයි. මේ වනවිට 66 වන වියේ පසුවන පාක් දකුණු කොරියාවේ ප්‍රථම ජනපතිනිය වන අතර මැතිවරණ ජයග්‍රහණයේදී ඇය දැක්වූ විශිෂ්ඨත්වය හේතුවෙන් මාධ්‍ය ඇයව හඳුන්වනු ලැබුවේ ‘මැතිවරණ රැජිණ‘ ලෙසිනි. පාක් වරෙක නායකත්වය ගැන පවසන්නේ, ‘විවිධ යුග වලදී විවිධාකාරයේ නායකයෝ රටකට ඕන වෙනවා‘ යන්නයි.

හිටපු ජනපති වසර 12 කට සිරගෙට

April 06, 2018 0 Comments
බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ඩි සිල්වා හට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 12 ක සිර දඬුවමක් නියම කර ඇත. ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වී ඇත්තේ දූෂණයයි. තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ලූලා ඩි සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ඊයේ (5) දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස සිර දඬුවම් නියම කර ඇත. අදාළ සිරදඬුවම අද (6) සවස සිට පටන් ගැනීමට නියමිත අතර විනිසුරු සර්ජියෝ මොරෝ, ලූලා ඩි සිල්වාට නියෝග කර තිබෙන්නේ අද (6) සවස 5 වන විට කිවුරිටිබා හි පිහිටි පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙසටය. කෙසේවුවත්, ලූලා ඩි සිල්වා පවසන්නේ, තමන්ට එරෙහිව එල්ල කරන මේ සියලු චෝදනා දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵල බවත් එළඹෙන ඔක්තෝබරයේදී ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණින් මෙවැනි චෝදනා එල්ල කරන බවත්ය. විනිසුරුවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ අනෙක් සිරකරුවන්ගෙන් වෙන් වූ සිරමැදිරියක් හිටපු ජනපතිවරයාට ලබාදෙන බවත් අනෙක් සිරකරුවන්ගෙන් ඔහුට කිසිදු බලපෑමක් නොවීමට වග බලා ගන්නා බවත්ය. විනිසුරු සර්ජියෝ මොරෝගේ තීන්දුවෙන් අනතුරුව ලූලා ඩි සිල්වාගේ ආධාරකරුවන් සාඕ පෝලෝ නගරයට රැස්වී සිය විරෝධතාව ද දක්වා ඇත. ලොව මෙතෙක් සිදුවී තිබෙන දැවැන්තම වංචාව ලෙස සැලකෙන Operation Car Wash නම් වූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ලූලා ඩි සිල්වාට චෝදනා එල්ල වී ඇති අතර මෙහිදී ඩො.බි. 3.6 ක් අයුතු ලෙස භාවිත කර ඇති බව පැවසේ. Operation Car Wash සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 232 ගෙන් ප්‍රශ්න කර ඇති අතර සමාගම් 16 ක් අදාළ සිද්ධියට සම්බන්ධ බව පැවසේ. මෙම අක්‍රමිකතාවට සම්බන්ධ පුද්ගලයින් 160 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 93 දෙනෙකු ඊට වරදකරුවන් වී ඇත. 179 කට මේ සම්බන්ධව අධි චෝදනා ඉදිරිපත් වී ඇත.
72 හැවිරිදි වියේ පසුවන ලූලා ඩි සිල්වා වෘත්තීය සංගම් නායකයකු දේශපාලනයට අවතීර්ණ වූ අතර බ්‍රසීල ජනපති ධූරයට පත්වූ පළමු වාමාංශික නායකයා වන්නේ ද ඔහුය. 2001 ජනවාරි 1 වැනිදා සිට 2011 ජනවාරි 1 වැනිදා දක්වා බ්‍රසීල ජනපති ලෙස කටයුතු කළ ඔහු බ්‍රසීල ආර්ථිකය ශක්තිමත් කළ නායකයා ලෙස ද සැලකේ.
වරෙක ඔහු පවසන්නේ, ‘හොරකම් කරන දුප්පත් මිනිස්සු බ්‍රසීලයේ දී හිරගෙට යද්ද හොරකම් කරන පොහොසත් මිනිස්සු මැති ඇමතිවරු වෙනවා‘ යන්නයි.

Wednesday, April 4, 2018

දේශපාලනයට පිවිසීමේ කිසිම අරමුණක් මට නැහැ – මළාලා

April 04, 2018 0 Comments
මළාලා යූසුෆ්සායි වසර හයකට පසු ඊයේ (31) දිනයේදී සිය මව්රට වූ පාකිස්ථානයට නැවතත් පැමිණියාය. 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදා පාසල නිමා වී සිය නිවෙස වෙත පැමිණෙමින් සිටින අතරතුර මළාලා තලිබාන් ත්‍රස්තයින්ගේ මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඒ සිදුවීමෙන් පසු එක්සත් ජනපදයේ රැකවරණ ලබමින් සිටියාය. පාකිස්ථානයේ, මින්ගෝරාහි පිහිටි සිය නිවෙස වෙත පැමිණි මළාලා, එහි පාසලකදී ඇයව පිළිගැනීමට පැමිණි සිටි පිරිස ද ආමන්ත්‍රණය කළාය. එහිදී ඇය පවසා තිබෙන්නේ, ‘‘අද මගේ හීනය හැබෑවක් වුණා. මගේ සහෝදර, සහෝදරියන් සිදුකරපු අප්‍රමාණ කැපකිරීම් නිසා පාකිස්ථානයට අද සාමය ළඟාවෙලා තියෙනවා.‘ යන්නයි. මේ හමුවෙන් පසු, පාකිස්ථානයේ බීබීසී වාර්තාකරු වන සිකන්දර් කාර්මනි සමග කෙටි පිළිසඳරක් පවත්වමින් මළාලා පැවසූවේ,
‘‘මං මුල්වරට ඊයේ පාකිස්ථානයට ගිහිං කතා කළා. ඒ වෙලාවෙදී මගේ ඇසින් වැටුණු කඳුළු කොහොමටවත් නවත්වගන්න නොහැකි වුණා. ඒ අවස්ථාව හරිම හැඟීම්බරයි. මං දැකපු හැමදෙයක්ම හරිම වටිනවා. ආපහු ගෙදරට ආව එක ගැන හරිම සතුටුයි. මේ භූමිය මත නැවත වතාවක් පය තැබීමට හැකිවීම පවා සතුටට කරුණක්. මළාලාගේ පාකිස්ථානු ගමන ගැන සමාජ මාධ්‍ය වල පළවූ විරෝධතාව ගැන මෙහිදී සිකන්දර් ප්‍රශ්නකර සිටියේය. ‘ඔවුන්ට මට විරෝධතාව දැක්වූයේ ඇයි ? ඒ විරෝධතාවට හේතුවුණු කාරණේ මොකක්ද ? මේ විරෝධතාව හුදෙක් එක් අයෙකුට විරුද්ධව පමණක් නැගෙන්නක් නම්, කිසිම හේතුවක් නැතිව විරෝධය දක්වනවා නම් මට මාව සාධාරණීකරණය කිරීමේ වුවමනාවක් නැහැ. මං පාකිස්ථානයට ආදරය කරන බව පමණයි මට කියන්න තියෙන එකම උත්තරය. මං පාකිස්ථානු ජාතිකයෙක්. මේ රටේ අනාගතය සුබදායී වනු දැකීම මගේ බලාපොරොත්තුවයි. ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මං කතාකරන්න ගත්තේ ඒ නිසයි. මාව ඉලක්ක කරලා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණත් මං ඒ කිසිදේකට බය වුණේ නැහැ. ඒ කිසිම ප්‍රහාරයක් මගේ හඬ යටපත් කරන්න සමත් වුණේ නැහැ. මං ඉදිරියටත් මේ ගැන කතාකරනවා. ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දියත් කරන ව්‍යාපාරය අඛණ්ඩව සිද්ධ කරනවා. මගේ අරමුණ වෙන්නේ හොඳ දේවල් වෙනුවෙන් කතා කිරීම පමණයි. සමාජ මාධ්‍ය හරහා මට එල්ල වෙන කමෙන්ට්ස් ගැන වත් සැලකිලිමත් වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා එවැනි අභූත චෝදනා නගන පිරිස් හිතනවා ඇත්තේ මං ඒ දේවල් බලන බව විය හැකියි. ඒත්, මං ඒ කිසිදෙයක් බලන්නේ වත් නැහැ.
පාකිස්ථානය තුළ දේශපාලනයේ නිරත වීමේ අදහසක් ඇයට තිබෙනවාද යන්න විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඇය පවසන්නේ, ‘‘මගේ වයස අවුරුදු 11, 12 විතර වෙද්දි අන්තවාදී අදහස් පැතිරිලා තිබ්බා. ස්වැට් නිම්නයේ බොහොම දරුණු ගැටුම් සිද්ධ වුණා. මං දවසක පාකිස්ථානු අගමැති වුණොත් මට ඒ හැම ගැටළුවක්ම විසඳන්නට හැකිවේවි යැයි, මේ හැම අන්තවාදයක්ම නවතා දමලා හැම ගැටළුවකටම විසඳුමක් හොයාගන්නට හැකිවේ යැයි මං ඒ කාලේ විශ්වාස කළා. ලෝකයේ ඉන්න නායකයින් බොහෝ දෙනෙකු, දේශපාලඥයින්, අගමැතිවරු වගේ දේශපාලනයට සම්බන්ධ විවිධ පිරිස් මේ වනවිට මට හමුවෙලා තිබෙනවා. ඒ තනතුරු හෙබවීම පවා අපි හිතන තරම් ලේසිදෙයක් නොවෙයි. මේ මොහොතේදී මං අවධානය යොමුකරන්නේ ‘මළාලා අරමුදල‘ මගින් මගේ වැඩකටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන්නයි. ලෝකයේ ඉන්න ගැහැණු ළමුන් දස දහස් ගාණක් වෙත මේ හරහා ළඟාවෙන්නට හැකියි. අද වෙද්දි ලෝකයේ ඉන්න ගැහැණු ළමුන් මිලියන 130 කට අධික ප්‍රමාණයකට පාසල් වෙත යාමේ හැකියාවක් නැහැ. ඔවුන්ට ගුණාත්මක තත්ත්වයෙන් යුතු අධ්‍යාපනයක් ලබාදීම සහතික කිරීම මගේ අරමුණයි. දේශපාලනයට ඒමේ කිසිදු අරමුණක් මට මේ වෙද්දි නැහැ.‘‘
2014 දී නොබෙල් සාම සම්මානය හිමිකරගත් ඇය මේ සම්මානය දිනූ ළාබාතම තැනැත්තිය බවට පත්වූ අතර මළාලා පදනම හරහා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් ඇය කැපවී කටයුතු කරයි.
https://www.facebook.com/slguardian/videos/1802776319783319/

Tuesday, April 3, 2018

ඇය විනී මැන්ඩෙලා නම් වූවාය

April 03, 2018 0 Comments
”මගේ සැමියාව හුදකලා දූපතක සිරගත කළ පමණින් මිනිසුන්ට ඔහුව හසුවෙන්ම අමතක වී යනු ඇතැයි ඔවුන් හිතාවි. නැහැ, ඔවුන්ගේ අදහස සහමුලින්ම වැරදියි. මාව නිහඬ කරවීමට උත්සහ දරන වාරයක් වාරයක් පාසාම මගේ හඬ තව තවත් සද්දෙට ඇහෙනවා‘‘ විනී මැන්ඩෙලා ඇය වීනී මැඩිකිසෙලා. නැත්නම්, බොහෝ දෙනෙකු දන්නා අන්දමින් නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ වන විනී මැන්ඩෙලා. සිය දිවියේ 81 වන කඩඉමේදී ඇය සිය ජීවිතය හැරයන්නේ ජොහැනනස්බර්ග් හි පිහිටි නෙට්කෙයාර් මිල්පාර්ක් රෝහලේදී යි. ඊයේ (2) දිනයේදී මේ බව නිවේදනය කරන ලද්දේ ඇගේ ප්‍රකාශකයා වූ වික්ටර් ඩැල්මිනි ය. ඒ බව පවසමින් ඔහු මාධ්‍යට අදහස් දැක්වූවේ, ‘මේ වසරේ මුල් භාගයේදී සිටම වරින්වර ඇය රෝහල්ගත කළා. මේ අසනීප තත්ත්වයන් සමගින් ඇය මියගියා‘ විනී ගැන බොහෝ දෙනෙකු දැනසිටියේ නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ ලෙසිනි. 1958 ජූනි මසදී මැන්ඩෙලා සමග යුගදිවියට පත්වූ ඇය නිරතුරුව ඔහුගේ පසුපසින් හිඳ ඔහුට ශක්තිය, ධෛර්යය ලබාදුන් අතර 1996 දී ඔහු සමග පැවති විවාහ දිවියෙන් නීතියෙන් වෙන්වූවද මැන්ඩෙලා මියයන මොහොත වන තෙක්ම ඔහු අසළින් සිටියාය. 2013 දී මැන්ඩෙලා මියගිය අවස්ථාවේදී ඔහුගේ නිසළ දේහය පසකෙින් හිඳ ඔහුගේ සැබෑ බිරිඳ මෙන් වැළපුණේ ද විනීය.
මැන්ඩෙලාගේ සිරගත ජීවිතය අතරතුරදී කිසිදු විටක ඔවුන්ට සමීපව කතාබහ කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර විනී ඔහුව බැලීමට පැමිණීම පවා අති දුර්ලභ දසුනක් වූ බව පැවසේ. එසේ වුවත්, මැන්ඩෙලා වසර 27 ක් පුරාවට සිරගත කර සිටින අතරතුරදී ඔහු ගෙන ගිය වර්ණභේදවාදයට විරුද්ධ සටන අඛණ්ඩව ගෙනයාමට උරදුන්නේ ද විනී ය. ඇය ‘ජාතියේ මව‘ යන නාමයෙන් ද හඳුන්වන්නේ එබැවිනි. ‘‘මැන්ඩෙලා ගැන මා තරම් දැන සිටි අන් කිසිවෙකු නැහැ. ඒත්, මං මැන්ඩෙලාගේ නිර්මාණයක් නොවෙයි. මා, මේ රටේ වෙසෙන බහුතර ජනයාගේ මෙන්ම මගේ සතුරන්ගේ ද නිර්මාණයක්‘‘ යැයි ඇය සම්මුඛ සාකච්ඡාවකදී වරෙක පවසා සිටියාය. විනීව පළමුවරට දුටු මොහොත ගැන සටහන් කරන මැන්ඩෙලා සිය Long Walk to Freedom ස්වයං චරිතාපදානයේ දී පවසන්නේ ‘ඇගේ සුන්දරත්වයෙන් මං වික්ෂිප්ත වුණා‘ යන්නයි. 1957 වසරේ දිනක විනී බස් නැවතුම්පළක් අසළ රැඳී සිටින විට මැන්ඩෙලා ඇයව ප්‍රථම වරට දැක ඇත. ‘මේ සිද්ධියෙන් සති කීපයක් ගතවුණාට පස්සේ මං ඔලිවර් මුණගැහෙන්න යන වෙලාවේදීත් ඇයව මුණගැහුණා‘ යනුවෙන් ඔහු මේ සිද්ධිය ගැන සටහන් තබයි.
මේ අවස්ථාව වන විටත් දරුවන් තිදෙනෙකුගේ පියා වූ මැන්ඩෙලා සිය 40 හැවිරිදි වියේදී සිට විනීව හමුවී ඇයට ඇති ආදරය ප්‍රකාශ කළේය. මේ සමගම සිය බිරිඳ වූ Evelyn Ntoko Maseගෙන් වෙන්වන මැන්ඩෙලා 1958 ජූනි 4 වැනිදා විනී සමග විවාහ දිවියට පත්වෙයි. මැන්ඩෙලා සිරගත කර වසර පහක් ඉක්ම ගිය තැන 1969 මැයි මසදී විනීව ද අත්අඩංගුවට ගන්නා අතර ඇය, මාස 17 ක් හා දින 13 ක කාලයක් හුදකලා සිර මැදිරියක තැබුවාය. මේ සිරගත ජීවිතයේදී පහරදීම් හා වදහිංසා වලට ලක්වන ඇය අභීත ගැහැණියක් ලෙස සිය දිවියට මුහුණදුන්නාය ‘‘මාව වෙනස් කළේ, මා තිරිසනකු බවට පත්කළේ වෛරයයි. මේ රටට සිද්ධවෙන හැමදේකම ජීවමාන සංකේතයක් විදියට මට, මාව හඳුන්වන්නට හැකියි. සුදු මිනිස්සුන්ගේ අනියත බියේ සංකේතයක් ලෙස මාව දැක්විය හැකියි. මං බ්‍රැන්ඩ්ෆර්ට් වෙත එනතෙක්ම මේ භය මාව කෙතරම් දරුණු විදියට බියට පත්කළාද යන්න කිසිදිනක අවබෝධ වී තිබුණේ නැහැ‘‘ යනුවෙන් 1984 දී ඇය රචනා කළ Part of My Soul Went With Him මතක සටහන් එකතුවේ සටහන් කළාය. Nomzamo Winifred Zanyiwe Madikizela නමින් 1936 සැප්තැම්බර් 26 දින පොහොසත් පවුලකට දාව ඉපදුණු ඇගේ මව ඇයට වයස අවුරුදු අටක් සපිරෙන විට මියගියාය. Soweto හි පිහිටි Baragwanath රෝහලේ සමාජ සේවයේ නිරත පළමු කළු ජාතික කාන්තාව ලෙස ඇය සිය තරුණ වියේදී සේවයට එක්වන විනීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ මැන්ඩෙලාව මුණගැසීමෙන් පසුවය. නෙල්සන් Zenani හා Zindzwa ඔවුන් දෙදෙනාගේ දියණියන් ය. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකයෙකු ලෙස 2009 මැයි 9 සිට මියයන මොාහොත තෙක්ම කටයුතු කළ ඇය 1994- 1996 සමයේදී අමාත්‍යධූරයක් ද හෙබවූවාය. ප්‍රජානත්ත්‍රවාදය උදෙසා ඇය දැක්වූ දායකත්වය අගයමින් ජනාධිපති ජේකොබ් සුමාගේ රජය Order of Luthuli ගෞරව සම්මානය 2016 දී ඇය වෙත ලබාදුන්නාය.
තරුණ වියේදී සිට සිය සැමියා සමග එක්වෙමින් වර්ණභේදවාදය වෙනුවෙන් අරගල කරන මේ අභීත ගැහැණිය 2017 දී මාධ්‍ය හමුවේ පවසන්නේ ‘‘අප සාධාරණය ඉල්ලා සටන් කළ හැමදේම මේ මොහොතේ නිවැරදි දේවල් නොවෙයි. මැන්ඩෙලා අද ජීවත් වුණොත් අද මේ සිද්ධ වෙන දේවල් දැකලා ඔහු කම්පාවට පත්වේවි. දකුණු අප්‍රිකාවේ අර්බුද නැහැ කියලා බොරු කියන්නට අපට බැහැ. ඇත්තටම, අපේ රට අද දැවැන්ත අර්බුදයකට මුහුණදී හිටියත් හැමෝම රැවටිලි කතා කියමින් තමන්වම රවටා ගන්නවා.‘‘ යන්නයි.
(ඡායාරූප ‘ද නිව්යෝර්ක් ටයිම්ස්‘ ඇසුරිනි) https://www.youtube.com/watch?v=hqPsq2uL2_U&app=desktop https://www.youtube.com/watch?v=W_-khKN0cC4&feature=youtu.be&t=9

ගැරී ඕල්ඩ්මන් චර්චිල් ගැන කියයි

April 03, 2018 0 Comments
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම රංගන ශිල්පියා ලෙස පිදුම් ලැබුවේ The Darkest Hour සිනමාපටයේ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය නිරූපණය කළ ගැරී ඕල්ඩ්මන් ය. මේ වනවිට සිය දිවියේ 60 වන කඩඉම පසුකරන ගැරී, හොලිවුඩ්හි ඩොල්බි තියටර්හි පසුගිය මාර්තු 4 වැනිදා පැවැත්වුණු 90 ඔස්කාර් උළෙලේදී සිය සම්මානය ලබාගනිමින් පැවසුවේ, ‘’ඇකඩමි හා එහි සාමාජිකයින් වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පුදකරනවා. අද මා මේ ලැබූ සම්මානය වෙනුවෙන් මං බොහෝ දෙනෙකුට ණයගැතියි. මං බොහොම දිගු කාලයක් තිස්සේ ඇමරිකාවේ ජීවත් වෙනවා. ඇමරිකානු සගයින් හා රසිකයින්ගෙන් ලැබෙන ආදරය ඒ වගේම ලැබුණු තෑගි වෙනුවෙන් මේ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. මගේ ගෙදර, වෘත්තිය, පවුල ඒ වගේම ඔස්කාර් මේ හැමදෙයක් ගැනම බොහොම ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි. සර් වින්ස්ටන් චර්චිල්ට මගේ ආචාරය පුදකළ යුතුයි. ඒ වගේම ජීවිතේ මේ දිගු ගමන පුරාවට මගේ ළඟින් හිටිය මගේ බිරිඳටත් ස්තුතිවන්ත වෙනවා. ඔස්කාර් උළෙලටත් වඩා වයස මගේ අම්මාටත් ස්තුතිය පුදකරනවා. ගෙදර සැප පහසු සෝෆාවේ හිඳගෙන ඔස්කාර් උළෙල සජීවීව නරඹන මගේ අම්මා ඊළඟට සමරන්න සූදානම් වෙලා ඉන්නේ ඇගේ 99 වන උපන් දිනයයි. අම්මේ, ඔයා මට දුන්නු ආදරය, සහයෝගය මේ හැමදේටම ස්තුතියි. මං ඔස්කාර් සම්මානේ ගෙදරට ගේනවා. කේතලේ ඔන් කරන්න‘‘ යන්නයි. ලන්ඩනයේ හැදී වැඩෙන ගැරී ඕල්ඩ්මන් නාට්‍යකරණය පිළිබඳ හැදෑරීමෙන් අනතුරුව සිය 20 හැවිරිදි වියේදී පමණ රංගනයට අවතීර්ණ වූවේය. ඒ 1986 දී පමණය. Sid and Nancy සිනමාපටයේ ප්‍රධාන ශිල්පියා ලෙස පණ පොවන ඔහු පසුකාලීනව අධික මුදලක් දරා නිර්මාණය වූ සිනමාපට වලට දායක වූවේය. JFK (1991), Dracula (1992, The Professional (1994), The Fifth Element (1997) ආදිය ඔහු දායක වූ සිනමාපට අතරින් කීපයකි. Tinker Tailor Soldier Spy (2011) සිනමාපටය වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මානය උදෙසා ද නිර්දේශ වූවේය. මේ ගැරී ඕල්ඩ්මන් ‘ද ඉන්ටර්වීව්‘ සඟරාව වෙනුවෙන් ජැක් වයිට් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි. (ජැක් සංගීතඥයකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන අතර ඔහු THE WHITE STRIPES නම් රොක් සංගීත හවුලේ ආරම්භක සාමාජිකයෙකු ද වේ) මුලින්ම The Darkest Hour සිනමාපටයේදී ඔබ නිරූපණය කළ වින්ස්ටන් චර්චිල්ගේ චරිතය ගැන කිව්වොත් ? රංගන ශිල්පියෙකු විදියට චර්චිල්ගේ චරිතය නිරූපණය කරන්නට හැකිවීම මා ලැබූ භාග්‍යයක් ලෙස සැලකිය හැකියි. ඒ හැඟීම හරියට ශේක්ෂ්පියර්ගේ නාට්‍ය වල ඉන්න ලොකු බඩක් තියෙන Falstaff නැත්නම් King Learගේ චරිතය නිරූපණය කරන්නට ඉල්ලා හිටියා වගෙයි. Kazuhiro Tsuji, David Malinowski හා Lucy Sibbick මේ සිනමාපටය වෙනුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම වේෂ නිරූපණය හා හිසකේ සැකසුම වෙනුවෙන් වූ සම්මානයත් දිනාගත්තා. මේ චරිතය උදෙසා ඔබේ බාහිර පෙනුම වෙනස් කරගත් අයුරු ගැන සිහිපත් කළොත් ? මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක පවතින තත්ත්වය වියවුලක් කරගන්නට මට වුවමනාවක් නැහැ. දැන් මට අවුරුදු 60 ක් වෙන්නත් ළඟයි. මගේ බර 50-60 දක්වා වැඩිකරගන්න වුවමනාවක් නැහැ. මේක් අප් හරහා වෙනසක් කරගන්න බලාපොරොත්තු වෙනවා. Kazuhiro Tsuji මේ සිනමාපටයට සම්බන්ධ කරගත යුතු බව අධ්‍යක්ෂ වෙන Joe Wright ට මං කෙළින්ම කිව්වා. මේ චරිතය හොඳටම මවන්නට හැකි එකම එක කෙනයි ලෝකයේ ඉන්නේ කියලා මං ඔහුට කිව්වා. ඒ තමයි Kazuhiro. Tsujiගේ අපූරු වේශ නිරූපණයේ විශේෂත්වයක් තිබෙනවා. මේ වේශ නිරූපණයේදී ඔබේ බඩ මැද්දට යොදා තිබුණු පැඩින් වලින් ඔබව තවත් මහතට පෙනුණා. මේ වෙනස දැනෙන්නේ කොහොමද ? බොහොම ඉවසිල්ලෙන් හා හාස්‍යයෙන් යුතුව අපි මේ වෙස් ගැන්වීමේ අවසානයක් දකින්න බලාගෙන හිටියා. ඉතිං, ඒ වෙස් ගැන්වීම නිමාවුණාම බොහොම වෙහෙස වෙලා ඉන්න දඩයම් බල්ලෙක් වගේ මාව පෙනෙන්න ගත්තා. රූගත කරන තැනට යනකල් ඉවසිල්ලක් නැතිව හිටියේ. ඇත්තටම, මං ඒ චරිතයට ඇළුම් කළා. ඒ වගේම මං ඒ චරිතය වින්ඳා. ඇත්තටම, රංගනය කියන්නේ ස්වයං වෛරයට තියෙන හොඳ ප්‍රතිවිෂක්
චර්චිල් වගේ චරිතයක් නිරූපණය කිරීමට ඔබට දැනුණේ කොහොමද ? වින්ස්ටන් චර්චිල් වැන්නෙකුගේ චරිතය නිරූපණය කිරීම ඇත්තටම එක්තරා අන්දමක හාස්‍යජනක දෙයක් වුණා. මගෙන් මිදිලා තවත් කෙනෙකුගේ චරිතයක ලක්ෂණ හා ගුණාංග ආරෝපණය කරගැනීම වෙනස්ම විදියේ අත්දැකීමක්. අනික චර්චිල් පෙනී ඉන්න වීඩියෝ ගණනාවක් තියෙනවා.ඒ වගේම ඔහු ගැන කියවන්න දේවලුත් බොහොමයක් තියෙනවා. ජෝර්ජ් වොෂිංටන්ට පසුව බොහොමයක් චරිතාපදාන ලියා තිබෙන්නෙත් ඔහු ගැනයි. ඒ වගේම චර්චිල් ඔහුගේ අත්දැකීම් හා ඔහු ගැන කෘතීන් 50 කට අධික ප්‍රමාණයක් ලියා තියෙනවා. ඒ කෘතීන් 50 න් හැම කෘතියක්ම මා කියවා නැති වුණත්, මේ කෘතීන් පරිශීලනය කිරීම පවා අතිශය වටිනා කටයුත්තක් බව පැවසිය යුතුයි. අද ඉන්න නායකයෝ එක්ක බලද්දි චර්චිල් විශිෂ්ඨ චරිතයක් බව දැකගත හැකියි. අද එවැන්නන් නැතිවීම අඩුවක් නොවේද ? අවුරුදු 50 ක් පුරාවට දේශපාලනයට දායක වුණු චර්චිල් තමන්ගේ දේශපාලන පක්ෂ දෙවරක් වෙනස් කළා. යුද්ධ හතරකට මැදිහත් වුණා. ඒ වගේම දේශපාලන කටයුතු වලට දායක වුණා. 1953 දී සාහිත්‍ය උදෙසා වූ නොබෙල් සම්මානය දිනාගත්තු ඔහු, චිත්‍ර 500 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරලා ඒවා රාජකීය ඇකඩමියේ ප්‍රදර්ශනය කළා. ඇත්තටම, මේ වගේ වැඩක් කරලා තිබෙන වෙන කෙනෙක් මේ ලෝකයේ ඉන්නවද ? ඩන්කර්ක් හෝ කියුබානු මිසයිල අර්බුදය වගේ සිද්ධියකදී මානුෂිකත්වය ඒ තරම් වැදගත් වෙලා නැති බව දැකගන්නට හැකියි. අද වෙද්දි උතුරු කොරියාව හා ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ තැනැත්තෙකු ගැන සැලකිලිමත් වූ විටත් මේ බව හඳුනගන්නට හැකියි. ඇමරිකානු තාරකා විද්‍යාඥයකු වන Carl Sagan නිරන්තරයෙන් පවසන්නේ ‘අහස අපට කතාකරනවා. අප අපවම විනාශ කරනොගත්තොත්, අපිත් දවසක තරු වෙත යාමේ අති දුෂ්කර කටයුත්ත කරාවි‘ කියලයි. මේ කතාවලින් ආකර්ශණය වුණු මිනිස්සු කියන්නේ ‘අපි වෙන ලෝකයන් වලටත් යනවා‘ කියලා. හැබැයි, වැදගත්ම දේ ඔවුන්ට අමතකයි. ඒ ‘අප, අපවම විනාශ කරනොගත්තොත්‘ යන්නයි. මේ කතාව ඔබට දැනෙන්නේ කොහොමද ? ඇත්තටම, අනාගත වක්තෘවරයෙකු වගේ චර්චිල් මේ හැමදේම ගැන මනාව දැනගෙන හිටියා. තාක්ෂණය අවි බවට පරිවර්තනය වන බව ඔහු දුටුවා. 1924 දී ඔහු රචනා කළ ලිපියක දී ප්‍රශ්න කරන්නේ, ‘අපි හැමෝම සියදිවිනසාගනිමුද ?‘ යන්නයි. ‘‘මරණය අපේ කීකරු බව, බලාපොරොත්තුව හා සේවය ලබාගෙන අවධානය දිනාගන්නවා. ඒ විතරක් නොවෙයි මිනිස් කැළ විනාශ කිරීමේ සූදානමින් පසුවෙනවා.‘‘ යුද්ධය නිමා වුණාට පස්සේ ඒ ගැන සටහනක් තබන චර්චිල්, න්‍යෂ්ටික අවි ගැන සටහනක් තබමින් පවසන්නේ, ‘අපි නිර්මාණය කරන හැමදේම රබර් බෝලයක් වගේ වැදිලා ආපහු අප වෙතටම එනවා.‘‘ යන්නයි.
යුද්ධයේ සදාකාලික නිමාවක් වෙනුවෙන් ඔහු හැකි සෑම ප්‍රයත්නයක්ම දැරුවත් අපි තාමත් යුද්ධය අත්විඳිනවා. Darkest Hour සිනමාපටය තුළ ඒ සමයේ මිනිස්සු කුමන අන්දමින් තමන්ගේ ජීවිතය හා රාජකාරි කටයුුතු සිදුකළාද යන්න අපූරුවට නිරූපණය කර තිබෙනවා. චර්චිල් මොනවගේ අරුම පුදුම කෙනෙක් වුණා ද යන්න ඔබේ රංගන ප්‍රතිභාව හරහා දැකබලාගන්නට හැකියි. සමහර වෙලාවට ඔහු අපූරු කථිකයෙක්, තවත් වෙලාවකට ඔහු ඉක්මනින් කුපිත වන බොහොම වයසක කෙනෙක්. ඔබ නිරූපණය කළ චර්චිල් ගැන කතා කළොත් ? ඇත්තටම, චර්චිල් කියන්නේ මිනිස්සුන්ව බොහොම සමීපව ඇසුරු කළ චරිතයක්. ඒ වගේම බොහොම අවංක, නිහතමානී කෙනෙක්. වරෙක චර්චිල් තමන්ගේ කතාවකදී කියන්නේ, ‘එළඹෙන මාස කිහිපයේදී අපිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙන්නට සිදුවේවි‘ යන්නයි. නමුත්, අපිට කන්න බොන්න නොලැබේබි, කියලා මේ කතාවේ කොතැනකදී වත් ඔහු නොකීවත්, ‘මේ ඉදිරි කාලය අඳුරු කාලපරිච්ඡේදයක් වන බව‘ ඔහු නොකියා කියනවා. මිනිස්සු ඔහුට ආදරය කළේ අන්න ඒ නිසයි. මං අහලා තියෙන කතාවක් මෙහිදී සිහිපත් කරන්න කැමතියි. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන්ගේ හමුවකදී චර්චිල් ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘චර්චිල්ගේ කතා ලිව්වේ කවුද?‘ කියලා එහි හිටපු අගමැතිවරයෙකු අහලා තියෙනවා. ‘චර්චිල්ගේ කතා ලිව්වේ ඔහුමයි‘ කියලා චර්චිල් ගැන හදාරලා තිබුණු නැතැත්තෙකු එහිදී පවසා තිබෙනවා. මේ අතර හිටිය හිටපු අගමැතිවරයෙකු පුදුමයෙන් වගේ අහලා තියෙන්නේ ‘චර්චිල් තමන්ගේම කතා ලිව්වේ කොහොමද ?. ඒ වගේ මනුස්සයෙක්ට කතා ලියන්න වෙලාවක් වත් තිබ්බද ?‘ කියලා. ‘ඔබට අහන්න වුවමනා උත්තරේ මේක නොවුණත්, චර්චිල් කියන්නේ ඇත්තටම බුද්ධිමතෙක්‘ කියලා පෙරළා උත්තර දුන්නු පෙර කී තැනැත්තා පවසලා තිබෙනවා. ඇත්තටම, අරුම පුදුම බුද්ධියක් තියෙන වෙනස්ම විදියේ මිනිස්සු අතරින් කෙනෙක් විදියට චර්චිල්ව හඳුන්වන්නට පුළුවන්.