Wednesday, April 4, 2018

දේශපාලනයට පිවිසීමේ කිසිම අරමුණක් මට නැහැ – මළාලා

මළාලා යූසුෆ්සායි වසර හයකට පසු ඊයේ (31) දිනයේදී සිය මව්රට වූ පාකිස්ථානයට නැවතත් පැමිණියාය. 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදා පාසල නිමා වී සිය නිවෙස වෙත පැමිණෙමින් සිටින අතරතුර මළාලා තලිබාන් ත්‍රස්තයින්ගේ මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඒ සිදුවීමෙන් පසු එක්සත් ජනපදයේ රැකවරණ ලබමින් සිටියාය. පාකිස්ථානයේ, මින්ගෝරාහි පිහිටි සිය නිවෙස වෙත පැමිණි මළාලා, එහි පාසලකදී ඇයව පිළිගැනීමට පැමිණි සිටි පිරිස ද ආමන්ත්‍රණය කළාය. එහිදී ඇය පවසා තිබෙන්නේ, ‘‘අද මගේ හීනය හැබෑවක් වුණා. මගේ සහෝදර, සහෝදරියන් සිදුකරපු අප්‍රමාණ කැපකිරීම් නිසා පාකිස්ථානයට අද සාමය ළඟාවෙලා තියෙනවා.‘ යන්නයි. මේ හමුවෙන් පසු, පාකිස්ථානයේ බීබීසී වාර්තාකරු වන සිකන්දර් කාර්මනි සමග කෙටි පිළිසඳරක් පවත්වමින් මළාලා පැවසූවේ,
‘‘මං මුල්වරට ඊයේ පාකිස්ථානයට ගිහිං කතා කළා. ඒ වෙලාවෙදී මගේ ඇසින් වැටුණු කඳුළු කොහොමටවත් නවත්වගන්න නොහැකි වුණා. ඒ අවස්ථාව හරිම හැඟීම්බරයි. මං දැකපු හැමදෙයක්ම හරිම වටිනවා. ආපහු ගෙදරට ආව එක ගැන හරිම සතුටුයි. මේ භූමිය මත නැවත වතාවක් පය තැබීමට හැකිවීම පවා සතුටට කරුණක්. මළාලාගේ පාකිස්ථානු ගමන ගැන සමාජ මාධ්‍ය වල පළවූ විරෝධතාව ගැන මෙහිදී සිකන්දර් ප්‍රශ්නකර සිටියේය. ‘ඔවුන්ට මට විරෝධතාව දැක්වූයේ ඇයි ? ඒ විරෝධතාවට හේතුවුණු කාරණේ මොකක්ද ? මේ විරෝධතාව හුදෙක් එක් අයෙකුට විරුද්ධව පමණක් නැගෙන්නක් නම්, කිසිම හේතුවක් නැතිව විරෝධය දක්වනවා නම් මට මාව සාධාරණීකරණය කිරීමේ වුවමනාවක් නැහැ. මං පාකිස්ථානයට ආදරය කරන බව පමණයි මට කියන්න තියෙන එකම උත්තරය. මං පාකිස්ථානු ජාතිකයෙක්. මේ රටේ අනාගතය සුබදායී වනු දැකීම මගේ බලාපොරොත්තුවයි. ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මං කතාකරන්න ගත්තේ ඒ නිසයි. මාව ඉලක්ක කරලා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණත් මං ඒ කිසිදේකට බය වුණේ නැහැ. ඒ කිසිම ප්‍රහාරයක් මගේ හඬ යටපත් කරන්න සමත් වුණේ නැහැ. මං ඉදිරියටත් මේ ගැන කතාකරනවා. ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දියත් කරන ව්‍යාපාරය අඛණ්ඩව සිද්ධ කරනවා. මගේ අරමුණ වෙන්නේ හොඳ දේවල් වෙනුවෙන් කතා කිරීම පමණයි. සමාජ මාධ්‍ය හරහා මට එල්ල වෙන කමෙන්ට්ස් ගැන වත් සැලකිලිමත් වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා එවැනි අභූත චෝදනා නගන පිරිස් හිතනවා ඇත්තේ මං ඒ දේවල් බලන බව විය හැකියි. ඒත්, මං ඒ කිසිදෙයක් බලන්නේ වත් නැහැ.
පාකිස්ථානය තුළ දේශපාලනයේ නිරත වීමේ අදහසක් ඇයට තිබෙනවාද යන්න විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඇය පවසන්නේ, ‘‘මගේ වයස අවුරුදු 11, 12 විතර වෙද්දි අන්තවාදී අදහස් පැතිරිලා තිබ්බා. ස්වැට් නිම්නයේ බොහොම දරුණු ගැටුම් සිද්ධ වුණා. මං දවසක පාකිස්ථානු අගමැති වුණොත් මට ඒ හැම ගැටළුවක්ම විසඳන්නට හැකිවේවි යැයි, මේ හැම අන්තවාදයක්ම නවතා දමලා හැම ගැටළුවකටම විසඳුමක් හොයාගන්නට හැකිවේ යැයි මං ඒ කාලේ විශ්වාස කළා. ලෝකයේ ඉන්න නායකයින් බොහෝ දෙනෙකු, දේශපාලඥයින්, අගමැතිවරු වගේ දේශපාලනයට සම්බන්ධ විවිධ පිරිස් මේ වනවිට මට හමුවෙලා තිබෙනවා. ඒ තනතුරු හෙබවීම පවා අපි හිතන තරම් ලේසිදෙයක් නොවෙයි. මේ මොහොතේදී මං අවධානය යොමුකරන්නේ ‘මළාලා අරමුදල‘ මගින් මගේ වැඩකටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන්නයි. ලෝකයේ ඉන්න ගැහැණු ළමුන් දස දහස් ගාණක් වෙත මේ හරහා ළඟාවෙන්නට හැකියි. අද වෙද්දි ලෝකයේ ඉන්න ගැහැණු ළමුන් මිලියන 130 කට අධික ප්‍රමාණයකට පාසල් වෙත යාමේ හැකියාවක් නැහැ. ඔවුන්ට ගුණාත්මක තත්ත්වයෙන් යුතු අධ්‍යාපනයක් ලබාදීම සහතික කිරීම මගේ අරමුණයි. දේශපාලනයට ඒමේ කිසිදු අරමුණක් මට මේ වෙද්දි නැහැ.‘‘
2014 දී නොබෙල් සාම සම්මානය හිමිකරගත් ඇය මේ සම්මානය දිනූ ළාබාතම තැනැත්තිය බවට පත්වූ අතර මළාලා පදනම හරහා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් ඇය කැපවී කටයුතු කරයි.
https://www.facebook.com/slguardian/videos/1802776319783319/

No comments:

Post a Comment