Friday, April 6, 2018

හිටපු ජනපතිනිය අවුරුදු 24 කට හිරගෙට නියම වේ

හිටපු දකුණු කොරියානු ජනපතිනි පාක් ජුන් හයි ට සෝල් නුවර අධිකරණය මගින් අද (6) වසර 24 ක සිර දඬුවම් නියම කරනු ලැබුණි. ඇය වෙත එල්ල වූ චෝදනා 18 න් 16 කට වැරදිකාරිය බව තීන්දු කෙරුණි. විනිසුරු කිම් සී යුන් තීන්දුව ලබාදෙමින් පවසා සිටියේ ජනතාව ලබාදුන් බලය පාක් අයුතු ලෙස භාවිත කර ඇති බවත් ඇය විසින් සිදුකළ අපරාධ වලට වගකිවයුතු බවත්ය. අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාක් වැරදිකරු බව මෙම තීන්දුවේදී පවසා තිබුණි. සිරදඬුවමට අමතරව පාක් හට ඩො.මි. 16.8 ක දඩයක් ද ගෙවීමට නියම විය. කෙසේවුවත්, අද (6) දිනයේදී පැවති නඩු තීන්දුව ලබාදීමේ අවස්ථාවට ද අසනීප බව දන්වමින් පාක් නොපැමිණ සිටි අතර අදාළ තීන්දුව රජයේ රූපවාහිනී නාලිකා මගින් විසුරුවා හරිනු ලැබුණි. කෙසේවුවත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ගොනුකිරීමට පාක්ට සතියක කාලයක් ලබාදී ඇත. පසුගිය පෙබරවාරියේදී ද ඇයට වසර 30 ක සිරදඬුවමක් නියම වූ අවස්ථාවේදී ඇය නිර්දෝශීභාවය ඔප්පු කිරීමට කටයුතු කළාය. තමන්ට එල්ල වන චෝදනා ගැන පවසමින් පාක් පවසා තිබුණේ තමාව දේශපාලන පලිගැනීම් වල ගොදුරක් බවට පත්වී ඇති බවයි. මේ නිසාම ඇය පසුගිය ඔක්තෝබරයේ සිට අධිකරණයේ හමුවේ පෙනී සිටීමට පවා පැමිණියේ නැත.
පාක් බලයෙන් පහකිරීමෙන් වසරකට පසු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ගැනීම සිදුකළ අතර ඇයව නිදහස් කරන ලෙස ඉල්ලූ ජනතාව වීදි බසිමින් උද්ඝෝෂණ වලද නිරත විය. පාක් 2013 දී සිට දකුණු කොරියානු ජනපතිනිය ලෙස කටයුතු කළ අතර 2016 දෙසැම්බර් 9 වැනිදා ඇයට එරෙහිව දෝශාභියෝගයක් එල්ල වීමත් සමග ජනපති බලතල ද අහිමි වී ගියේය. පාක්ගේ නිළ කාර්යාලයෙන් ඇයව ඉවත් කළ අතර ව්‍යවස්ථාදායක අධිකරණය මගින් මේ දෝශාභියෝග පිළිබඳ විමර්ශන කටයුතු සිදුකෙරුණි. මේ වනවිටත් සියොල් හි යූවින් වල පිහිටි බන්ධනාගාරයක ඇයව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකරයි. මේ වනවිට 66 වන වියේ පසුවන පාක් දකුණු කොරියාවේ ප්‍රථම ජනපතිනිය වන අතර මැතිවරණ ජයග්‍රහණයේදී ඇය දැක්වූ විශිෂ්ඨත්වය හේතුවෙන් මාධ්‍ය ඇයව හඳුන්වනු ලැබුවේ ‘මැතිවරණ රැජිණ‘ ලෙසිනි. පාක් වරෙක නායකත්වය ගැන පවසන්නේ, ‘විවිධ යුග වලදී විවිධාකාරයේ නායකයෝ රටකට ඕන වෙනවා‘ යන්නයි.

No comments:

Post a Comment