Friday, April 6, 2018

හිටපු ජනපති වසර 12 කට සිරගෙට

බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ඩි සිල්වා හට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 12 ක සිර දඬුවමක් නියම කර ඇත. ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වී ඇත්තේ දූෂණයයි. තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ලූලා ඩි සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ඊයේ (5) දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස සිර දඬුවම් නියම කර ඇත. අදාළ සිරදඬුවම අද (6) සවස සිට පටන් ගැනීමට නියමිත අතර විනිසුරු සර්ජියෝ මොරෝ, ලූලා ඩි සිල්වාට නියෝග කර තිබෙන්නේ අද (6) සවස 5 වන විට කිවුරිටිබා හි පිහිටි පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙසටය. කෙසේවුවත්, ලූලා ඩි සිල්වා පවසන්නේ, තමන්ට එරෙහිව එල්ල කරන මේ සියලු චෝදනා දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵල බවත් එළඹෙන ඔක්තෝබරයේදී ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණින් මෙවැනි චෝදනා එල්ල කරන බවත්ය. විනිසුරුවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ අනෙක් සිරකරුවන්ගෙන් වෙන් වූ සිරමැදිරියක් හිටපු ජනපතිවරයාට ලබාදෙන බවත් අනෙක් සිරකරුවන්ගෙන් ඔහුට කිසිදු බලපෑමක් නොවීමට වග බලා ගන්නා බවත්ය. විනිසුරු සර්ජියෝ මොරෝගේ තීන්දුවෙන් අනතුරුව ලූලා ඩි සිල්වාගේ ආධාරකරුවන් සාඕ පෝලෝ නගරයට රැස්වී සිය විරෝධතාව ද දක්වා ඇත. ලොව මෙතෙක් සිදුවී තිබෙන දැවැන්තම වංචාව ලෙස සැලකෙන Operation Car Wash නම් වූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ලූලා ඩි සිල්වාට චෝදනා එල්ල වී ඇති අතර මෙහිදී ඩො.බි. 3.6 ක් අයුතු ලෙස භාවිත කර ඇති බව පැවසේ. Operation Car Wash සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 232 ගෙන් ප්‍රශ්න කර ඇති අතර සමාගම් 16 ක් අදාළ සිද්ධියට සම්බන්ධ බව පැවසේ. මෙම අක්‍රමිකතාවට සම්බන්ධ පුද්ගලයින් 160 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 93 දෙනෙකු ඊට වරදකරුවන් වී ඇත. 179 කට මේ සම්බන්ධව අධි චෝදනා ඉදිරිපත් වී ඇත.
72 හැවිරිදි වියේ පසුවන ලූලා ඩි සිල්වා වෘත්තීය සංගම් නායකයකු දේශපාලනයට අවතීර්ණ වූ අතර බ්‍රසීල ජනපති ධූරයට පත්වූ පළමු වාමාංශික නායකයා වන්නේ ද ඔහුය. 2001 ජනවාරි 1 වැනිදා සිට 2011 ජනවාරි 1 වැනිදා දක්වා බ්‍රසීල ජනපති ලෙස කටයුතු කළ ඔහු බ්‍රසීල ආර්ථිකය ශක්තිමත් කළ නායකයා ලෙස ද සැලකේ.
වරෙක ඔහු පවසන්නේ, ‘හොරකම් කරන දුප්පත් මිනිස්සු බ්‍රසීලයේ දී හිරගෙට යද්ද හොරකම් කරන පොහොසත් මිනිස්සු මැති ඇමතිවරු වෙනවා‘ යන්නයි.

No comments:

Post a Comment