Wednesday, May 16, 2018

# Mahathir Bin Mohamad Malaysia New Prime Minister Anwar Ibrahim Najib Razak Corruption Democracy

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා මැලේසියාවෙන්

‘‘අපි වැරැද්දක් කරනවා නම් ඒ බව සිහිපත් කර දෙන්නට විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි. ඔබට විරෝධය දක්වන්නට කිසිවෙකු නොසිටින විටදී ඔබ කරන, කියන හැමදේම නිවැරදි බව සිතේවි‘‘ – මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් නව මැලේසියානු අගමැති ලෙස තේරීපත්වූ මහතීර් මොහොමඩ් ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ය. මේ වනවිට 92 වන වියේ පසුවන ඔහු මැලේසියාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ද දැවැන්ත දායකත්වයක් ලබාදුන්නේය. මීට පෙර වසර 1981 – 2003 අතර කාලසීමාවේදී ද මැලේසියානු අගමැති ලෙස කටයුතු කළ මහතීර් නූතන මැලේසියාවේ පියා යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වේ. පසුගිය මැයි 9 වැනිදා 14 වන මැලේසියානු මහ මැතිවරණය පැවැත්වුණි. මහතීර් මොහොමඩ් නියෝජනය කළ Pakatan Harapan (the Alliance of Hope) පක්ෂයට ආසන 121 ක් හිමිවූ අතර හිටපු අගමැති නජීබ් රාසක්ගේ United Malays National Organisation පක්ෂයට ලැබුණේ ආසන 79 ක් පමණි. මහතීර්ගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ජනතාව වීදි බසිමින් සිය ප්‍රීතිය බෙදාහදාගත් අතර සිය ධූරයෙන් නික්ම යන අවස්ථාවේදී ‘‘ජනතාවගේ තීන්දුව පිළිගන්නවා‘‘ යනුවෙන් හිටපු අගමැති නජීබ් පැවසුවේය. මහතීර් මොහොමඩ් නැවතත් අගමැති සිය ජයග්‍රහණයෙන් අනතුරුව ඊයේ (10) දිනයේදී මැලේසියාවේ ෂෙරටොන් පෙටලින් ඡායා හෝටලයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහතීර් සිනාමුසු මුහුණින් පැවසුවේ, ‘‘ඔව්, ඔව්. මං තාමත් ජීවත්වෙනවා‘ යන්නයි. සිය නායකත්වයෙන් යුතුව පිහිටුවන සභාගය කිසිවෙකුගෙන් පලිගැනීමේ චේතනාවන් යුතුව කටයුතු නොකිරීමට වගබලාගන්නා බව මෙහිදී අවධාරණය කර සිටියේය. ‘රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ක්‍රියා කරනවා‘‘ යනුවෙන් මහතීර් මෙහිදී ප්‍රතිඥා දුන්නේය. තමන්ට සහය පළකල ජනතාව වෙත සිය හද පිරි ස්තුතිය පුදකළ මහතීර් මොහොමඩ් දින දෙකක නිවාඩුවක් ද ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ ‘ජයග්‍රාහකයින්ට මේ කිසිම නිවාඩුවක් අදාළ වෙන්නේ නැහැ‘ යන්නයි. ඊයේ දිනයේදී මැලේසියාවේ හත් වන අගමැති ලෙස දිවුරුම් දෙමින් මැලේසියාව තුළ දූෂණයට එරෙහිව සටන් කිරීමට, දූෂිතයින්ට දඬුවම් පැමිණවීමට ද ඔහු ප්‍රතිඥා දුන්නේය. ‘‘අද මේ රට තියෙන්නේ මඩගොහොරුවක. මේ අවුලින් රට ගොඩගත යුතුයි. නිතියේ ආධිපත්‍යය ස්ථාපිත කළයුතුයි. නජීබ් වැරැද්දක් සිදුකර තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහු ඒවායේ ප්‍රතිවිපාක වලට මුහුණදිය යුතුයි‘‘ යන්න ද ඔහු අවධාරණය කළේය. මහතීර් මොහොමඩ් Barisan Nasional හවුලේ නායකයා ලෙස වසර 22 ක කාලයක් කටයුතු කළේය. ඒ 1981 වසරේ සිට 2003 වසර තෙක් කාලයේදීය. ඔහුගේ නායකත්වය යටතේ මැලේසියාව ආසියානු කලාපයේ ප්‍රබලයෙකු ලෙස නැගී සිටියේය. වි‍ශේෂයෙන්ම 1990 පමණ කාල සීමාවේදී මැලේසියානු ආර්ථිකය ශක්තිමත්ව නැගී සිටීමට බලපෑවේද මහතීර් මොහොමඩ් සතුවූ සුවිශේෂී ආර්ථික දැක්මයි. නමුත්, ඔහුට එරෙහිව නැගී සිටි කවර ආකාරයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වුවද මර්දනය කිරීමෙහිලා මහතීර් අති දක්ෂයෙකු වූ බව පැවසේ. මේ සමයේදී ආන්දෝලනයට තුඩු දෙන නීති සම්පාදනය කරමින් ඒකාධිපතිකු ලෙස කටයුතු කළ බවට ද චෝදනා නැගේ. මහතීර් මොහොමඩ්ගේ පාලන සමයේදී ඔහු විසින් දියත් කළ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට එවකට නියෝජ්‍ය අගමැති ලෙස කටයුතු කළ අන්වර් ඊබ්‍රාහිම් කටයුතු කළේය. මේ සමයේදී මහතීර් මොහොමඩ් ඔහුව නිහඬ කරවීමට දූෂණ චෝදනා නැගූ බව ද පැවසේ. හිටපු අගමැති නජීබ් රාසක් දූෂිතයිද ? මැලේසියානු අගමැති ලෙස කටයුතු කළ නජීබ් රාසක් 1Malaysia Development Berhad නම් රජයේ අරමුදලින් ඇ.ඩො.බි. 3.5 කට ආසන්න මුදල් සොරාගෙන දේපළ ඉඩකඩම්, ස්වර්ණාභරණ හා කලා කෘති මිලදීගැනීමට මෙන්ම ඇ.ඩො.මි. 731 ක් සිය පෞද්ගලික ගිණුම් වලට ද යොදාගෙන ඇත. නජීබ්ගේ බිරිඳ වන රෝස්මා මන්සෝ හට ඇ.ඩො.බි. 27.3 ක වටිනාකමකින් යුතු දියමන්ති මාලයක් මිලදීගෙන ඇති අතර මිල අධික යාත්‍රාවක් ද මිලදීගෙන ඇත. නජීබ් මැලේසියාවේ 6 වන අගමැති බවට පත්වූයේ 2009 අප්‍රේල් 3 වැනිදාය. මැලේසියාවේ Barisan Nasional (BN) සභාගයට නායකත්වය ලබාදුන්නේද ඔහුය. මහතීර් මොහොමඩ්ගේ මිතුරෙකු ද වන නජීබ් මැලේසියාව නිදහස ලැබීමෙන් අනතුරුව ගතවී ගිය වසර 60 ක කාලසීමාව තුළ ජනතා ඡන්දයෙන් බලයෙන් පහකළ පළමු පක්ෂ නායකයා ද වෙයි. 1957 දී United Malays National සංවිධාන‍යේ නායකත්වයෙන් යුතුව මැලේසියාව නිදහස හිමිකරගැනීමට සමත්විය. United Malays National සංවිධානයේ මූලික දැක්ම වී තිබුණේ මැලේ ජාතික සිසුන්ට වෙනම විශ්වවිද්‍යාල ඉදිකිරීම වැනි සුවිශේෂී වරප්‍රසාද ලබාදෙමින් කටයුතු කිරීමයි. මැලේසියාවේ හය වන අගමැති ලෙස කටයුතු කළ නජීබ්ගේ පියා මෙන්ම මාමා ද මෙම පක්ෂයේ නායකයින් වී සිටියහ. පසුකාලීනව ඔවුන් මැලේසියාවේ අගමැතිවරු ලෙස කටයුතු කළහ. ඉන් අනතුරුව නජීබ් බලයට පත්වන්නේ ද ඔහුගේ මිතුරෙකු වූ මහතීර්ගේ ද උදව් උපකාර ඇතිවය. මීට පෙර අගමැතිවරයා බවට පත්වූ මහතීර් The United Malays National Organisation (U.M.N.O) හි නායකයා ලෙස 1981 – 2003 අතර කාලසීමාවේදී මැලේ ජාතිකයින්ගේ බහුතර බලය හිමිකරගැනීමට සමත් වූවේය. මේ වනවිට ඉන්දියානුවන්, චීන ජාතිකයින් හා මුස්ලිම් මැලේ පිරිස් මැලේසියාවේ දිවි ගෙවයි. ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වී සිටින්නේ මැලේ ජාතිකයින්ගෙනි. මේ සියලු පිරිස් වල පැතුම් ඉටුකිරීම මෙන්ම නජීබ්ගේ පාලන සමයේදී බිඳ වැටුණු මැලේසියානු ආර්ථික නැවත ශක්තිමත් කිරීමේ වගකීම ද මහතීර්ට පැවරී ඇති වගකීම් අතරින් මූලික වේ. මහතීර් මොහොමඩ් හා නජීබ් රාසක් මහතීර් හා නජීබ් හිතවතුන් බව පැවසුණද පසුගිය සතියේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ ‘‘මගේ ජීවිතේ කරපු ලොකුම වැරැද්ද නජීබ්ව තෝරාගැනීමයි‘‘ යන්නයි. පසුගිය බදාදා දින වන තෙක්ම National Front පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගනිමින් සිය බලය ස්ථාවරව පවත්වා ගනිමින් තිබුණි. 92 වන වියේ පසුවුව ද මහතීර් ගැන මැලේසියානු ජනතාව විශ්වාසය තැබීමට සුවිශේෂී හේතු පවතියි. අදටද ලෝක සිතියමේ සුවිශේෂී සටහනක් තබන මැලේසියාවේ Petronas කුළුණ මගින් සංකේතවත් කරන්නේ ද මහතීර් මොහොමඩ් මැලේසියාව ලොව අංක එකේ රටක් බවට පත්කරන්නට ගත් උත්සහයයි. මෙම ගොඩනැගිල්ල 1998 සිට 2004 දක්වා කාල සීමාවේදී ලොව උසම කුළුණ ලෙස නම් දරා සිටීමට සමත් විය. 1Malaysia Development Berhad හි මුදල් අපහරණයට ලක්කළ නජීබ් විකෘති කළ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මහතීර්ගේ උර මත පැවරී ඇත.
අභිනව අගමැති පත්කිරීම නිළ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ගතවූ කාලය මහතීර්ට තීරණාත්මක සමයක් වී තිබුණි. ඊයේ උදෑසන දී මැතිවරණ ජයග්‍රහණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි. මැලේසියානු ව්‍යවස්ථාවට අනුව මැලේසියානු අගමැතිවරයා එරට රජු හමුවේ දිවුරුම් දිය යුතුය. පසුගිය බ්‍රහස්පතින්දා දින උදෑසනදී මැතිවරණ ජයග්‍රහණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබුණද මැලේසියානු රජු වන සුල්තාන් මොහොමඩ් අගමැති පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තීරණයක් නොගෙන සිටියේය. ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහතීර් ප්‍රකාශ කළේ එදින සවස 5 ට තමා හා රජු අතර හමුවක් පැවැත්වීමට නියමිත බවයි. ‘‘තවත් ප්‍රමාද වෙනවා කියන්නේ අපිට ආණ්ඩුවක් නැති බව පෙන්වීමයි. ආණ්ඩුවක් නැති තැන නීතියක් වත් ව්‍යවස්ථාවක් නැහැ. මේ රටේ ආණ්ඩුවට සවිබල දෙන්න තියෙන ආයතන සියල්ලම මේ වනවිට අඩපණයි ‘‘ යන්න එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙදින රාත්‍රී 9.30 වනතුරුත් මහතීර් මොහොමඩ් අගමැති ලෙස දිවුරුම් නොදුන් අතර මැලේසියානු රජු හා ඔහු අතර පැය කිහිපයක් තිස්සේ පැවති සාකච්ඡා කීපයක් පැවැත්වුණි. අනෙක් දේශපාලන පක්ෂ වල නායකයින් හා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රවීණ දැනුමක් තිබෙන නීතිඥයින් පිරිසක් ද මහතීර්ට උපදෙස් ලබාදීමට එක්වී තිබුණි. මේ අතරතුර 2008- 2015 අතර කාලසීමාවේදී People’s Justice Party පක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායකයා ලෙස කටයුතු කර මේ වනවිට සිරදඬුවම් ලබමින් සිටින අන්වර් ඊබ්‍රාහිම් හට රජුගේ සමාව ලබාදීමට ඉල්ලීමක් කරන බවට ද ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී මහතීර් විශේෂයෙන් අවධාරණය කර තිබුණි. කෙසේවුවත්, එළඹෙන ජූනි මසදී අන්වර් නිදහස් කිරීමට නියමිත ය. අන්වර්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන් බොහොමයක් දේශපාලන වශයෙන් ඔහුව අපහසුතාවට ලක්කිරීමට එල්ල කළ චෝදනාවන් බව පැවසේ.
අන්වර් කලක් මහතීර් මොහොමඩ්ගේ පාලන සමයේදී නියෝජ්‍ය අගමැති ලෙස ද සේවය කළේය. අධිකරණ නියෝගයක් මත අන්වර්ට සිරදඬුවම් නියම කෙරුණු අතර එලෙස ඔහුව සිරගත කිරීමට මහතීර් ද උදව් දුන් බව පැවසේ. අන්වර්ගේ බිරිඳ වන වාන් අසීසා ඉස්මයිල් ඊයේ (10) දිනයේදී සිට මැලේසියාවේ නියෝජ්‍ය අගමැති බවට පත්වූවාය. උප අගමැති ධූරය මැලේසියානු පාලන තන්ත්‍රය තුළ දෙවැනියට බලවත් ධූරයයි. චීනය – මැලේසියාව තුළ සිදුකර තිබෙන ආයෝජන ගැන ද ඉදිරියේදී විශේෂයෙන් සලකා බලන බව මාධ්‍ය හමුවේදී අනාවරණය කළ මහතීර් වැඩිදුරටත් පවසන්නේ නජීබ්ගේ පාලන සමයේදී චීනයෙන් ණයට ගත් මුදල් නැවත ගෙවාදැමීම ගැන ද සලකා බලන බවයි. චීනය මගින් දියත් කරන විදෙස් රටවල යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය වන Belt and Road වැඩසටහනට තමා විරුද්ධ නැති බව ද ඔහු පවසා ඇත. නූතන මැලේසියාවේ නිර්මාතෘවරයා වසර 15 කට පසුව අගමැති ධූරයට පත්වුණු අවස්ථාවේදී මැලේසියාව කුමන දිශාවකට රැගෙන යනු ඇත්දැයි ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇත. BBC හා The New York Times ඇසුරිනි

No comments:

Post a Comment