Sunday, May 27, 2018

# ෆ්‍රීඩා කාර්ලෝ චිත්‍ර ජීවිතය කලාව මෙක්සිකෝව Frida Kahlo Life Painting Mexico

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි – ෆ්‍රීඩා කාර්ලෝ

තමන්ගේ කුසින් බිහිවෙන්නට ඉඳපු, නමක් නොතිබුණු පුංචි සිඟිත්තාගේ කළලය ඉදිරිපිට අසීරුවෙන් මෙන් හිඳගෙන පින්සල් තුඩින් සීරුවට චිත්‍රයක් මවන ගැහැණියක්. ඒ නෙත් කොණින් ගලායන්නට තවත් කඳුළු නම් ඉතිරි වෙලා නැහැ. මේ රෝහල් සයනය දැනටමත් ඇගේ කලාගාරය බවට පත්වී හමාරයි. ඇසිල්ලක විරාමයක් නැතිවම ඇය, ඇය වැනිම වුණු තවත් සුවහසක් ගැහැණුන්ගේ කතාව චිත්‍රණය කරනවා. එකිනෙක යා වුණු දෙබැම ඇගේ මුහුණට රෞද්‍ර බවක් එක්කළත් කොහේ දෝ තැනක වසන් වී තිබෙන ශෝකයක සේයාවක් ඒ දෙනෙතේ කොතැනක හෝ සනිටුහන් වී තිබෙන බව නම් නිසැකවම කිව හැකියි. ඇය ෆ්‍රීඩා කාර්ලෝ.
ඇගේ අතින් සිතුවම් වුණු ඒ චිත්‍රය Henry Ford Hospital (1932) නමින් හැඳින්වෙනවා. ලෙයින් තෙත් වී ගිය රෝහල් සයනයක වැතිරී හිඳින නිරුවත් ගැහැණියක්, රතු පැහැ කම්බි පහකින් ඇගේ ගැබට සම්බන්ධ වී තිබෙන කළලයක්, ගොළුබෙල්ලෙකු ඇතුළු වස්තූන් කීපයක් හා කාර්මීකරණයෙන් සවිබල ගැන්වුණු මෙක්සිකෝව එහි පසුබිමින් දැකගන්නට හැකියි.
ලොව එළිය දකින්නටත් මත්තෙන් අකාලයේදී අහිමි වී ගිය දරුවා ගැන පසුකලෙක ඇය සිහිපත් කරන්නේ, ‘‘මං දස දහස් වාරයක් ඇඬුවා. ඒත්, ඒක ඉවරයි. දරා සිටි කළලය අතහැරීම හැර වෙන කිසිම විසඳුමක් මට තිබුණේ නැහැ. මං ගැන හොඳින්ම දන්නේ මා පමණයි. බොහෝවිට මං ගතකළේ හුදකලා ජීවිතයක්. මම මාවම චිත්‍රණය කළේ ඒ නිසයි. මගේ නිර්මාණ වල නිරූපණය වී තිබෙන්නේ මගේ ජීවිතයේ යථාර්තයයි. මා දන්නා එකම දේත් එයම පමණයි. සිහියට නැගුණු විවිධාකාර සිතුවිලි මගේ නිර්මාණ තුළින් දැකගන්නට හැකියි‘‘ යන්නයි. මෙක්සිකෝවේ ඉපදෙන ෆ්‍රීඩා හය හැවිරිදි වියේදී පෝලියෝ රෝගයෙන් පීඩා විඳින්නට වුණු අතර දිවියේ 18 වන කඩඉමේදී මාරාන්තික අනතුරකට මුහුණපානවා. ජීවිත කාලය පුරාම වරින් වර ශල්‍යකර්ම ගණනාවකට මුහුණ දුන්නත් මේ අනතුරින් පසුව ඇතිවුණු ආබාධයන් ඇගේ ජීවිතයේ අවසානය තෙක්ම විඳ දරාගෙන හිඳින්නට සිද්ධවෙනවා. ෆ්‍රීඩාගේ ජීවිතයේ අවසාන භාගය ඇඳටම පමණක් සීමා වෙන්නෙත් ඒ නිසයි. වෛද්‍ය උපදෙස් පවා නොතකමින් තමන්ගේ දුර්වල සිරුර අමාරුවෙන් වුණත් ඇඳකට වාත්තු කරගෙන ජීවිතයේ අවසාන භාගයේදී ඇගේ උපන් බිම වුණු මෙක්සිකෝවේ පැවැත්වුණු ඇගේම චිත්‍ර ප්‍රදර්ශනයට පවා යන්නේ ගිලන් රථයකින් රැගෙන ගිය ඇඳක වැතිරීගෙනයි. ෆ්‍රීඩාගේ ජීවිතයේ තරුණ අවදියේදී මුහුණදෙන්නට සිද්ධ වුණු රිය අනතුර ජීවිතයේ වැඩි කලක් ඇයව ඇඳකට සීමා කර තැබුවත් ෆ්‍රීඩා ලොවක් හැඳිනගත් චිත්‍ර ශිල්පිනියක් බවට පත්කරන්න සමත් වෙන්නෙත් මේ අත්දැකීමමයි. ලෝක සම්භාවනාවට පාත්‍ර වුණු කලා කෘති 50 කට අධික ප්‍රමාණයක් ඇගේ අතින් නිර්මාණය වෙනවා.
‘ඔව්, ඇත්තටම මේ සිද්ධිය මගේ ජීවිතේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා. මං සුවපත් වීමේ ක්‍රියාවලියේ කොටසක් විදියට අනික් හැමදේකටම වඩා මං විඳපු පීඩාව නිදහස් කරගන්න වුවමනා වුණා. චිත්‍ර අඳින්න යොමුවෙන්නේ ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් විදියටයි. එය මගේ වේදනාව අඩුකරන්න විශේෂඥ වෛද්‍යවරුන් දුන්නු වේදනා නාශක වගේ නොවෙයි. ඒ වේදනා නාශක දරාගන්න බැරි තරමට අසීරු ඒවා වුණා වගේම ඒ නිසා දැඩි වේදනා විඳින්නත් සිද්ධ වුණා. අවුරුද්දක් ගතවෙන කල් ඇඳෙන් බහින්න හැකිවුණේ නැහැ. ඒත්, මං පුංචි මාර්ගයක් හොයාගෙන ඒ ඔස්සේ ඉස්සරහට ගියා. වාසනාවකට වගේ මගේ චිත්‍ර නිසාම ජීවිතේ බේරුණා
බස් රථ අනතුරින් පසුව මං මුහුණදුන් අඛණ්ඩ වේදනාවෙන් පවා මගේ නිර්මාණ සවිබල ගැන්වී තිබෙනවා. මට දරුවන් ලබන්නට නොහැකියි කියන කාරණයත් සමගින් මේ සිතුවම් අත්‍යන්තයෙන්ම වර්ණවත් වී තිබෙනවා. ගැහැණියකට තමන්ගේ ජීවිතයේදී මුහුණදෙන්නට සිද්ධවෙන අතිශය දරුණුතම අත්දැකීම වෙන්නේ එයයි. ඇයට කෙදිනකවත් මවක් වෙන්නට නොහැකි බව දැන දැනත් ජීවත් වීම කෙතරම් අසීරුද යන්න වටහාගන්නට හැකිවෙන්නේ තවත් ගැහැණියක්ටම පමණයි. ඒ හැඟීම හදවතින්ම නැගෙන ප්‍රබල ආශාවක්. මං තාමත් දෙවියන්ගෙන් අහන්නේ මට ඒ අයිතිය නොලැබුණේ ඇයි කියලා. ඒත්, සමහරවිට මං එවැනි අභියෝග, බාධක වලට මුහුණනොදුන්නා නම් මගේ අතින් නිර්මාණ බිහිනොවෙන්න ඉඩ තිබුණා.‘‘ ෆ්‍රීඩා ඇගේ අතීතය සිහිපත් කරන්නේ එලෙසයි. ජීවිතයේ විසි දෙවැනි කඩඉමේදී මෙක්සිකෝවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ බිතු සිතුවම් ශිල්පියෙකු වුණු දියෝගෝ රිවේරා සමගින් ඇය විවාහ වෙනවා. විවාහ දිවියට ඇතුළත් වෙද්දි දියෝගෝ පසුවුණේ 42 හැවිරිදි වියේ යි. දියෝගෝගේ වෙනත් සම්බන්ධකම් නිසාවෙන් ෆ්‍රීඩාට කඳුළු සලන්නට සිද්ධ වුණු අවස්ථා ද නැතිවාම නොවෙයි. ඇයව දැඩි කම්පනයකට ලක්කරන්නේ ඇගේම සොහොයුරිය හා දියෝගෝ අතර පැවති සම්බන්ධයයි. කෙසේවුවත්, ෆ්‍රීඩා – දියෝගෝ අපූරු සුසංයෝගයෙන් ඵෙතිහාසික අධියථාර්තවාදී චිත්‍ර නිර්මාණ වල වෙනසක් ඇතිවෙන්නට පටන්ගන්නවා. පූර්ව කොළොම්බියානු යුගයේදී පැවති මිත්‍යා කථා හා ආගමික සංකේත ඔවුන්ගේ නිර්මාණ වල තේමාව බවට පත්වෙද්දී ෆ්‍රීඩා ඇඳි චිත්‍ර පැරීසියේ පවා සම්භාවනාවට ලක්වෙනවා. බොහෝ විට ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණය සංකේතාත්මක හා අවිදග්ධ අධිතාත්විකවාදයේ නැගීමක් ලෙසින් නම්කෙරෙනවා. 20 වන සියවසේ පහළ වූ විශිෂ්ඨතම ආලේඛ්‍ය චිත්‍ර ශිල්පිනිය ලෙස නම් ලබන්නේ ද ෆ්‍රීඩා. My Birth (1932), Memory – the Heart (1937), What the Water Gave me (1938), The Two Fridas (1939), Self-Portrait with Thorn Necklace and Hummingbird (1940) හා The Broken Column (1944) ඇය අතින් හැඩගැන්වුණු සිතුවම් කීපයක්.
ජීවිතයට තදින් බලපෑ සිද්ධි මොනවාදැයි ඇගෙන් විමසන ලද අවස්ථාවකදී ‘‘දියෝගු වෙනුවෙන් මගේ හිතේ තිබුණු ආදරය, මට මුහුණදෙන්නට වුණු බස් රථ අනතුරින් පස්සේ කකුලේ ඇතිවුණු බකල් ගැහීමත් සමග දැනෙන්න ගත්ත තදබල වේදනවා හා මගේම දරුවෙකු හැදීමේ නොහැකියාව‘‘ යැයි ඇය පවසන්නේ ජීවිතයේ හිමිවීම් වලට වඩා අහිමිවීම් මිනිහෙක්ව තව තවත් ශක්තිමත් කරන බව සිහිපත් කරමිනුයි. 1907 ජූලි 6 වැනිදා මෙලොව එළිය දුටු ඈ ජීවිතයේ 47 වන කඩඉම පසුකර සතියක් ඉක්ම ගිය තැන 1954 ජූලි 13 වැනිදා සිය ජීවිතය හැරයනවා. 1970 දී නැගී ආ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ෆ්‍රීඩාව හඳුන්වන්නේ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන් සංකේතයක් ලෙසිනුයි. මිය යන මොහොතෙදිත් මුහුණේ හිනාවක සේයාවක් ඉතිරි කරමින් නික්මී ගිය ෆ්‍රීඩා ජීවිතයේ වැඩි කාලයක් දෙපයින් ඇවිදිනවට වඩා එක් තැනකට සීමා වෙලා හිටියත් ජීවිතයේ උමතුව ගැන කියන්නේ මෙලෙසයි.
‘‘හැමවිටම පිස්සු වැඩකරන්න මං කැමතියි. මල් වලින් සැරසිලි කරන්න, ආදරය, වේදනාව හා මොළොක් බව චිත්‍රණය කරන්න, අනික් අයට මෝඩයෙක් වගේ පේන විදියට හිනාවෙන්න කැමතියි. එතකොට, ‘එයාට පිස්සු‘ කියලා මාව දකින අනික් හැමෝම කියාවි. අනික් හැමදේටමත් වැඩියෙන් මං, මගේ මෝඩකම් ගැන හිත හිත හිනාවෙන්න කැමතියි. ජීවත්වෙන අතරතුරදීම මගේ ලෝකය ගොඩනගමින් ලෝකයේ ඉන්න අනික් හැමෝම සමග එකඟතාවකට පැමිණෙන්නට කැමතියි. දින, පැය, මිනිත්තු විදියට ගෙවීයන හැම මොහොතක්ම මට වගේම අනික් හැමෝටමත් අයිතියි. ඉතිං, මගේ මේ උමතුව ‘යථාර්තයෙන්‘ නික්මී නොයාවි‘‘ යන්නයි.

No comments:

Post a Comment