Monday, July 23, 2018

# human rights # liu xiaboo

‘ජීවිතය යනු කුහුඹුවෙකුට වුවත් අමිල, අගනා වස්තුවකි‘ – ලියු ෂියාබෝ

මේසයේ තැනින් තැන විසිරී ගිය පොත් ගොඩවල් අතරේ යන්තමින් සොයාගත් පුංචි ඉඩක තබා තිබෙන ලැප්ටොප් පරිගණක තිරය මත 1989 දී චීනයේ ටියැන්මන් චතුරස්‍රයේ දී වුණු සිදුවීම් පෙළක් දිගහැරෙනවා. මර්දනකාරී පොලිස් බාධක උඩින් පැන යන ජවයෙන් පිරුණු තරුණ, තරුණියන්, ගිලන් ඇඳන් මත හොවා කඩිමුඩියේ ගෙන යන ලේ වැකුණු සිරුරු, තැනින් තැන මතුවෙන ගිනිදැල් අතරින් හිටිහැටියේම රයිෆලයක් අතින් ගෙන එය කීතු කීතු කර දැමීමට උත්සහ දරන කණ්ණාඩි පැළඳ පුංචි මිනිසෙක් මතුවෙනවා. මේසය ඉදිරිපිට ඇති අසුනකට බරවී සිනහව පිරුණු මුහුණින් වසර 20 කටත් එහා ගිය මේ සිදුවීම් පෙළ දෙස බලාහිඳින්නේ පෙර කී පුංචි මිනිසාමයි. ‘ඒ රයිෆලේ. ඒ රයිෆලේ එහෙන් මෙහෙන් කඩා දාන්න ලොකු වෙහෙසක් දරන්න වුණා. මොකද ඒක හරිම බරයි. මගේ අත් රිදුම් දෙන්න ගත්තා. එහෙන් මෙහෙන් පොඩ්ඩක් කඩාදැම්මට පස්සේ ශිෂ්‍යයෝ පිරිසක් ඇවිත් රයිෆලේ විනාශ කරන වැඩේ භාරගත්තා‘. මේ අපූරු මිනිසා ලියු ෂියාබෝ. ඒ දර්ශන දිගහැරෙන්නේ 2008 දෙසැම්බර් 25 වැනිදා චීන රජය ඔහුව අත්අඩංගුවට ගෙන 2008 දෙසැම්බර් 8 වැනිදා වසර 11 කට සිරගෙට නියම වී 2017 ජූලි 13 වැනිදා සිරගෙයිදීම සිය හුස්ම යන්නට මත්තෙන් නිදහස් මිනිසෙකු ලෙස ලබාදුන් අවසන් සම්මුඛ සාකච්ඡාවේදීයි. 1980 දශකයේ සිට සාහිත්‍ය විචාරකයෙකු, කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ලියු ෂියාබෝ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ප්‍රකටයි. කොළොම්බියා සරසවියේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී ටියැන්මන් චතුරස්‍රයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් වන බව කණ වැකුණු විගස 1989 අප්‍රේල් මසදී නැවතත් චීනයට පැමිණෙන ලියු ඒ වසරේ ජූනි 2 වැනිදා චීනයේ හමුදා ආක්‍රමණයක් ඇතිවීමට පෙර සිය මිතුරන් සමග එක්වී මාරාන්තික උපවාසයක් ප්‍රකාශයට පත්කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා කැරලි ගසන ලියු සිය ජීවිතය පවා කැපකරන්නේ ඔහු විශ්වාස කළ ප්‍රජාතන්ත්‍රවාදී චීනය උදාකරලීමේ උතුම් අභිලාෂය වෙනුවෙනුයි. මේ අභිලාෂය වෙනුවෙන් 8 වන සම්මුතිය ඇතිකිරීම වෙනුවෙන් චීන විද්වතුන් එකට ද ඒකරාශී කරන්නට ඔහු කටයුතු කරනවා. පසුකලෙක මේ ලියැවිල්ල වෙනුවෙන් ලියු නායකත්වය ගැනීම ඔහුගේ ජීවිතය නිකරුණේ අහිමිවන්නට ද හේතුවෙනවා. 2008 දෙසැම්බර් 25 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙන්ම වසර 11 කට ඔහුව සිරගෙට නියම කිරීමට හේතුවුණේ ද මේ සම්මුතිය ඇතිකිරීමට ලියු දැක්වූ දායකත්වයයි. ‘බල පෙරලියක් ඇතිකිරීමට පොළඹවා ලීම‘ යන වැකිය ලියු ට සිරදඬුවම් ලබාදීමට හේතුවෙන පාඨය බවට පත්වෙන්නේ ද එබැවිනි.
1950 දී ඇතිවූ දක්ෂිණාංශික විරෝධී ව්‍යාපාරය, 1958 -1961 දක්වා ක්‍රියාත්මක වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආර්ථීක වැඩසටහන වු Great Leap Forward, චීන සංස්කෘතික විප්ලවය හා 1989 ජූනි 3-4 ටියැන්මන් චතුරස්‍රයේදී ඇතිවූ කලහකාරී තත්ත්වය ගැන සැබෑ කරුණු මේ ප්‍රඥප්තියේ ඇති බවට ලියු සිය නඩු විභාගයේදී පවසනවා. මේ සිදුවීම් චීනය සංවර්ධනය වෙත යන මාවත තුළ දැවැන්ත වශයෙන් මානව හිමිකම් කඩුවුණු අවස්ථාවන් ලෙස අදටත් ලෝකය පිළිගන්නවා. චීනයේ නෙල්සන් මැන්ඩෙලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලියු ට ද ඔහුගේම වූ ජීවිතයක් පැවතියත් ප්‍රජාතන්ත්‍රවාදී චීනයක් උදෙසා ඔහු දියත් කළ සටන වෙනුවෙන් සිය පළමු බිරිඳ හා එකම පුතු අත්හැරි බව පැවසෙනවා. ටාඕ ලී, ලියු ගේ පළමු බිරිඳ වුණු වුණු අතර පසුකලෙක ඔහුට හමුවූ ලියු ෂියා හට නිවාස අඩස්සියේ රැඳී සිටින්නට සිදුවන්නේ ඔහු කළ සටනට වන්දි ගෙවීමක් ලෙසිනුයි. ලියු ගේ මරණයෙන් පසුව ද නිදහස් නොකෙරුණු ඇය ඉන් නිදහස් වී ජර්මනිය වෙත ගියේ පසුගිය ජුලි 10 වැනිදාය. සිරගත කර සිටින සමයේදී එවකට නිවාස අඩස්සියේ පසුවුණු සිය ආදරණීය බිරිඳ වෙත ඔහු කවි ලියනවා. ‘‘ආදරණීය ෂියා වෙත ළබැඳියේ මේ පීඩකයින්ගෙන් නිදහස ගන්නට දරන වෑයම කිසිදිනක අතනොහරිමි අද දඟගෙයි සිටියද – දිවිතුරා මම ඔබේ සිරකරුවා වෙමි මා ළබැඳියේ – ඔව්, දිවි තිබෙන තුරා මා නුඹේ සිරකරුවා නුඹේ ලේ කැටි වල ගුලිවී දිවි රැකගනිමින් අඳුරේ දිවි ගෙවන්නට ඇත්නම්‘‘
තමන් නොබෙල් සාම සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ බව ලියු දැනගන්නේ ඔහුව බලන්නට සිරගෙට එන බිරිඳගෙනුයි. 2010 වසරේදී නොබෙල් සාම සම්මානයෙන් පිදුම් ලබන්නේ තමා බව දැනගන්නා ලියු හඬාවැටෙනවා. 1989 වසරේදී මිලිටරි මැදිහත් වීමෙන් මියගිය දහසකට අධික චීන මිනිසුන් වෙනුවෙන් ලියු මේ සම්මානය පුදදෙනවා. ටියැන්මන් චතුරස්‍රයේදී සිය දෑස් ඉදිරිපිට දුටු රාජ්‍යයේ මර්දන පිළිවෙත හමුවේ අහිමි වී ගිය ජීවිත වලට තමන් ද වගකිවයුතු බව පවසමින් වරදකාරී හැඟීමෙන් යුතුව 2003 දී Using Truth to Undermine a System of Lies සටහන් තබන ලියු පවසන්නේ, ‘ලෙයින් වැකී ගිය ඒ දිනය, නැවත නැවතත් මට සිහිපත් කර දෙන්නේ මා කෙතරම් අඥාන, ආත්මාර්ථකාමී අයෙකු ද යන්නයි. ඒ සැඳෑ කාලය ආදරයේ උණුසුම මෙන්ම සැබෑ ආදරයක ශක්තිය ගැන ද මට කියාදුන් අතර ජීවිතයට අතිශයින්ම වැදගත් වන්නේ කුමක්ද යන්න ගැනත් මට වටහා දුණි. අසීරුවෙන් වුවත් මා ජීවිතය ගලවාගන්නට හැකිවුණු නිසා ඒ වරදකාරී හැඟීමෙන් මෙන්ම මළවුන්ගේ ආත්මයන්ට ඇති බියෙන් දිවි ඇති තෙක් මිදෙන්නට මට නොහැකි වනු ඇත.‘ යන්නයි. ලියු නොබෙල් සම්මානයට නිර්දේශ වන අවස්ථාව වන විටත් ඔහු සිරගෙයි සිටි නිසා නොබෙල් සම්මාන උළෙලේදී ඔහු වෙනුවෙන් තැබූ හිස් පුටුවකින් ඔහුව නියෝජනය කෙරෙනවා. දෛවයෝ සරදමකට මෙන් ලියු ට නොබෙල් සම්මානය හිමි වන දිනයේදීම ඔහුගේ බිරිඳ වන ලියු ෂියා නිවාස අඩස්සියට පත්වෙනවා. ‘චීනය තුළ මූලික මිනිස් අයිතිවාසිකම් ස්ථාපිත කිරීම උදෙසා ඔහු දැරූ නොනවතින සාමකාමී අරගලය වෙනුවෙනුයි.‘ යන්න ලියු ට සම්මානය පුද දුන් නොබෙල් උළෙලේ නිර්දේශිත වැකිය වනවා. ලියු සිදුකරන්නට තිබුණු කතාව ඉදිරිපත් කෙරුණේ ද නෝර්වීජියානු රංගන ශිල්පිනියක මෙන්ම අධ්‍යක්ෂිකාවක ද වූ ලිව් උල්මාන් විසිනුයි. 2009 වසරේදී පවත්වන්නට තිබූ සිය නඩු විභාගයේදී ඔහු ප්‍රකාශ කිරීමට සූදානම් කොට තිබුණු ප්‍රකාශය නොබෙල් උළෙලේදී ඇය විසින් ඉදිරිපත් කෙරෙනවා. ‘මට කිසිදු සතුරෙකු නැහැ – මගේ අවසන් ප්‍රකාශය‘ නම්වූ මේ කතාව තුළ අන්තර්ගත වී තිබෙන්නේ ඔහුගේ බිරිඳ වූ ලියු ෂියාට දැක්වූ අසීමිත ආදරය හා චීනය දේශපාලනික වශයෙන් ලිබරල්කරණය කිරීමේදී පොලීසිය මෙන්ම චෝදකයින් කෙරෙහි ලියු දැක්වූ උපේක්ෂා සහගත ආකල්පයයි. අනාගතයේ එළඹිය යුතු සුබ දිනයක් ගැන ඔහු මෙහිදී පවසනවා. ‘’මෙරට තුළ ප්‍රකාශන නිදහස තහවුරු වන දිනයක්, විවිධ විශ්වාස, අදහස්, දේශපාලන දැක්මෙන් යුතු සෑම පුරවැසියෙකුටම එක හා සමාන සැලකුම් හිමිවන රටක්, එකිනෙකා සමග තරඟ කරමින් වුවත් සාමකාමීව ජීවත්විය හැකි රටක්, බහුතරයේ මෙන්ම සුළුතරයේ ද අදහස් සමානව සලකා බලන දිනයක්, වර්තමානයේ රාජ්‍ය පාලනය කරන දේශපාලන බලාධිකාරය වෙනුවට සෑම දේශපාලන දැක්මක්ම සුරක්ෂිත වන දිනයක්, ඕනෑම අයෙකුට තමන් කැමති දේශපාලන දැක්මක් රිසි සේ තෝරාගත ගත හැකි දිනක් සෑම පුරවැසියෙකුටම කිසිදු බියක් සැකක් නැතිව සිය දේශපාලන දැක්ම ගැන පැවසිය හැකි දිනක්, එකිනෙකට වෙනස් දේශපාලන දැක්ම ගැන හඬ අවදි කළ නිසාවෙන් දේශපාලන වශයෙන් වධ හිංසා පැමිණවීම් වලින් කිසිවෙකුට පීඩා විඳීමට සිදුනොවන දිනයක් උදාවන තෙක් බලා හිඳිමි. චීනය තුළ සාහිත්‍යය නිර්මාණකරුවන්ට එල්ල වන නොනවතින බලපෑම් වල අවසන් ගොදුර මා වනු ඇති බවත් සිය හඬ අවදි කළ නිසාවෙන් යළි කිසිදිනක කිසිවෙකුට ඒ උදෙසා දඬුවම් විඳීමට සිදුනොවනු ඇති බවත් අපේක්ෂා කරමි.‘‘ නමුත්, අවාසනාවකට ලියු පැතූ ලෝකය තවමත් එළඹී නැහැ.
Criticism of the Choice: Dialogues with Li Zehou (1987) නමින් පළමුවරට විචාර කෘතියක් රචනා කරන ඔහු ඉන්පසුව, ටියැන්මන් හි දී අත්විඳි අත්දැකීම් අළලා The Monologues of a Doomsday’s Survivor (1992) කෘතිය රචනා කරනවා. A Nation That Lies to Conscience (2000), The Beauty Offers Me Drug: Literary Dialogues between Wang Shuo and Lao Xia මෙන්ම ආචාර්ය උපාධිය වෙනුවෙන් සිදුකළ පර්යේෂණය Aesthetic and Human Freedom ලියු විසින් රචිත කෘතීන් අතරින් කීපයක්. තමන්ගේම මිනිසුන් උදෙසා සටන් වැද ඊට දඬුවම් විඳිමින් සිටි අවස්ථාවේදී අක්මා පිළිකාවකින් පෙළෙමින් සිටියදී ජීවිතය හැර යන ලියු පවසන්නේ, ‘ජීවිතය යනු කුහුඹුවෙකුට වුවත් අමිල, අගනා වස්තුවක්‘ බවයි. (2018.07.20 වැනිදා ‘අනිද්දා‘ පුවත්පතේ පළවූ ලිපිය)

No comments:

Post a Comment