Thursday, July 19, 2018

# කාර්ලෝ Frida kahlo My Birth දියෝගෝ රිවේරා mexico paint Diego Rivera

උමතුව ම‍ගේ ජීවිතයයි – ෆ්‍රීඩා කාර්ලෝ

\ ෆ්‍රීඩා කාර්ලෝ මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක ද වේ. 1970 දී නැගී ආ ස්ත්‍රීවාදී ව්‍යාපාරය‍ ඇයව හඳුන්වන්නේ නිර්මාණශීලී හැකියාවන්ගේ සංකේතයක් ලෙසිනුයි. සිය හය හැවිරිදි වියේදී පෝලියෝ රෝගයෙන් පීඩා විඳි ෆ්‍රීඩා සිය දිවියේ 18 වන කඩඉමේදී මාරාන්තික අනතුරකට මුහුණපාන අතර මෙය ඇගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්ද විය. ජීවිතයේ වැඩි කලක් ඇඳටම සීමා වී සිටිය ද ක්‍රමයෙන් චිත්‍ර ශිල්පයට නැඹුරු වන ඇය ඒ හරහා සිය දස්කම් එළිදැක්වීමට සමත් වූවාය. My Birth (1932), Memory – the Heart (1937), Henry Ford Hospital (1932), What the Water Gave me (1938), The Two Fridas (1939), Self-Portrait with Thorn Necklace and Hummingbird (1940) හා The Broken Column (1944) ඇය අතින් සිතුවම් කෙරුණු විශිෂ්ඨතම සිතුවම්ය. ජීවිතයේ විසි දෙවැනි කඩඉමේදී මෙක්සිකෝවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ බිතු සිතුවම් ශිල්පියෙකු වුණු දියෝගෝ රිවේරා සමග අතිනත ගන්නා ඇය 1954 දී මියයන්නේ දිවියේ 47 වන කඩඉමේදී ය. මේ ඇය The World සඟරාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත්තකි.
ෆ්‍රීඩා ඔබේ පියා චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ඔහුගෙන් ඔබට ලැබුණු ආභාසය ගැන කිව්වොත් ? චිත්‍ර ශිල්පයට මා දැක්වූ කැමැත්ත වැඩිවුණේ කාලයක් ගතවුණාට පස්සෙයි. මට අත්විඳින්න වුණු අනතුරත් එක්ක මුල්කාලයේදී බෙහෙත් හේත් වගේ ප්‍රතිකාර ගන්න ඕන වුණා. මිනිස්සු විඳින වේදනාවන් අමතක කරවලා ඔවුන්ව සුවපත් කරන්න කැමතියි. ඇත්තටම මගේ කලාත්මක හැකියාවන් උද්දීපනය වෙන්න ගත්තේ කාලයක් ගතවුණාට පස්සෙයි. ඇත්තටම, ඔබේ ජීවිත ගමන හාත්පසින්ම වෙනස් කළේ පෙර කී රිය අනතුර නේද ? ඔව්, ඇත්තටම මේ සිද්ධිය මගේ ජීවිතේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා. මං සුවපත් වීමේ ක්‍රියාවලියේ කොටසක් විදියට අනික් හැමදේකටම වඩා මං විඳපු පීඩාව නිදහස් කරගන්න වුවමනා වුණා. චිත්‍ර අඳින්න යොමුවෙන්නේ ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් විදියටයි. එය මගේ වේදනාව අඩුකරන්න විශේෂඥ වෛද්‍යවරුන් දුන්නු වේදනා නාශක වගේ නොවෙයි. ඒ වේදනා නාශක දරාගන්න බැරි තරමට අසීරු ඒවා වුණා වගේම ඒ නිසා දැඩි වේදනා වින්ඳා. අවුරුද්දක් ගතවෙන කල් ඇඳෙන් බහින්න හැකිවුණේ නැහැ. ඒත්, මං පුංචි මාර්ගයක් හොයාගෙන ඒ ඔස්සේ ඉස්සරහට ගියා. වාසනාවකට වගේ මගේ චිත්‍ර නිසාම ජීවිතේ බේරුණා.
\ ඔබ චරිතයක් විදියට ගත්විට සමස්ත කාන්තා පරපුරේම පරිකල්පනය ග්‍රහණය කරගෙන ඇති බව පේනවා. ස්ත්‍රීවාදී ව්‍යාපාර වල සුවිශේෂී චරිතයක් බවට ඔබ පත්වෙනවා. මේ ගැනත් කියමු ? මේ තුළ මගේ විෂයට වඩා වැඩි දෙයක් නැති බව දක්වන්නට හැකියි. මගේ චිත්‍ර බොහොමයක් තුළ ප්‍රතිමූර්තිමත් වී තිබෙන්නේ මාවමයි. මගේ ජීවිතයේදී මුහුණ දුන් බොහෝ දේවල් මේ චිත්‍ර තුළ ප්‍රතිනිර්මාණය වී තිබෙනවා. මං වේදනාවෙන් පෙළෙනවා නම් එය පවා මම චිත්‍රණය කරනවා. මේ විදියට පෙන්වන දුෂ්කරතා වලින් අනෙක් කාන්තාවන් පෙළෙන බව මගේ විශ්වාසයයි. නමුත්, එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් මුහුණදෙන ඒ වගේ ගැටළු ගැන පවසද්දී කාන්තාවන්ට දුෂ්කරතා ගණනාවකට මුහුණදෙන්නට සිදුවෙන බව අනිවාර්යයි. විශේෂයෙන්ම, තමන්ගේ පවුල් ව්‍යුහය ඇතුළේදී කාන්තාවන්ට මුහුණදෙන්නට වෙන අභියෝග හමුවේදී ඔවුන් මර්දනයට ලක්වෙනවා. මං හිතන්නේ මගේ චිත්‍ර කාන්තාවන් සමගින් දැඩිව බැඳී තිබෙන්නේ ඒවා කාන්තාවන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන අර්බුද සමගින් දැඩිව බැඳී පවතින නිසාවෙන් බවයි. මගේ නිර්මාණ පවා මනුස්සයෙක් විදියට මා මුහුණදෙන අර්බුද වලින් සවිමත් වී තිබෙන බව දැකගන්නට හැකියි. දියෝගුට මං දැක්වූ ආදරය පවා මේ නිර්මාණ වල තිබෙනවා. ඒ වගේම, බස් රථ අනතුරින් පසුව මං මුහුණදුන් අඛණ්ඩ වේදනාවෙන් පවා මගේ නිර්මාණ සවිබල ගැන්වී තිබෙනවා. මට දරුවන් ලබන්නට නොහැකියි කියන කාරණයත් සමගින් මේ සිතුවම් අත්‍යන්තයෙන්ම වර්ණවත් වී තිබෙනවා. ගැහැණියකට තමන්ගේ ජීවිතයේදී මුහුණදෙන්නට සිද්ධවෙන අතිශය දරුණුතම අත්දැකීම වෙන්නේ එයයි. ඇයට කෙදිනකවත් මවක් වෙන්නට නොහැකි බව දැන දැනත් ජීවත් වීම කෙතරම් අසීරුද යන්න වටහාගන්නට හැකිවෙන්නේ තවත් ගැහැණියක්ටම පමණයි. ඒ හැඟීම හදවතින්ම නැගෙන ප්‍රබල ආශාවක්. මං තාමත් දෙවියන්ගෙන් අහන්නේ මට ඒ අයිතිය නොලැබුණේ ඇයි දැයි කියලා. ඒත්, සමහරවිට මං එවැනි අභියෝග, බාධක වලට මුහුණනොදුන්නා නම් මගේ අතින් අගනා නිර්මාණ බිහිනොවෙන්න ඉඩ තිබුණා. ආපහු අතීතය දිහා හැරිලා බැලුවොත් ඔබේ ජීවිතයට අතිශයින් බලපෑ සාධක තුන විදියට නම් කරන්නට හැකිවෙන්නේ මොනවද ? දියෝගු වෙනුවෙන් මගේ හිතේ තිබුණු ආදරය, මට මුහුණදෙන්නට වුණු බස් රථ අනතුරින් පස්සේ කකුලේ ඇතිවුණු බකල් ගැහීමත් සමග දැනෙන්න ගත්ත තදබල වේදනවා හා මගේම දරුවෙකු හැදීමේ නොහැකියාව
ඔබ නිදහසේ ඉන්න වෙලාවට වඩාත්ම සතුවෙන්නේ මොනවගේ වැඩවල යෙදිලද ? හැමවිටම පිස්සු වැඩකරන්න මං කැමතියි. මල් වලින් සැරසිලි කරන්න, ආදරය, වේදනාව හා මොළොක් බව චිත්‍රණය කරන්න, අනික් අයට මෝඩයෙක් වගේ පේන විදියට හිනාවෙන්න කැමතියි. එතකොට, ‘එයාට පිස්සු‘ කියලා මාව දකින අනික් හැමෝම කියාවි. අනික් හැමදේටමත් වැඩියෙන් මං, මගේ මෝඩකම් ගැන හිත හිත හිනාවෙන්න කැමතියි. ජීවත්වෙන අතරතුරදීම මගේ ලෝකය ගොඩනගමින් ලෝකයේ ඉන්න අනික් හැමෝම සමග එකඟතාවකට පැමිණෙන්නට කැමතියි. දින, පැය, මිනිත්තු විදියට ගෙවීයන හැම මොහොතක්ම මට වගේම අනික් හැමෝටමත් අයිතියි. ඉතිං, මගේ මේ උමතුව ‘යථාර්තයෙන්‘ නික්මී නොයාවි

No comments:

Post a Comment