Tuesday, July 17, 2018

# film # polonski

‘සතුටින් ඉන්න හැම මොහොතකම අදටත් මට වරදකාරී හැඟීමක් දැනෙනවා’ – රෝමන් පොලන්ස්කි

’අතිශය සාමාන්‍ය අන්දමේ ප්‍රේමයක් යනු රසවත් අත්දැකීමක් නොව අතිශය නීරස අත්දැකීමක්‘‘ – රෝමන් පොලන්ස්කි
ලන්ඩනයේ ඉන්න පොලන්ස්කිට නොහිතුව විදියේ දුරකතන ඇමතුමක් ලැබෙනවා. දවස හරියටම 1969 අගෝස්තු 9 වැනිදා. ඔව්, ඒක ආන්ස්වර් කරන්නම ඕන ඇමතුමක්. පොලන්ස්කිව අමතන ඔහුගේ නිවසේ මෙහෙකාරිය භීතිය මුසු වුණු හඬින් කියන්නේ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් මිතුරන් සිව්දෙනෙක් සෙලෝ ඩ්‍රයිව් හි පිහිටි ඔවුන්ගේ නිවස තුළදී අති අමානුෂික විදියට මරා දමා තිබෙන බවයි. මරා දමන මොහොත වෙද්දි පොලන්ස්කිගේ ආදරණීය බිරිඳ වගේම එකල තරුණ රංගන ශිල්පිනියක වුණු ෂැරොන් ටේට් මාස අටහමාරක ගැබිණියක්. ඝාතකයා තියුණු ආයුධයක් පාවිච්චි කරමින් ඇගේ සිරුර දාසය වතාවක් කපා කොටා තිබුණු අතර නිවසේ ඉදිරිපස දොරටුවේ ඇගේ සිරුරෙන් වෑහුණු ලේ යොදාගනිමින් ‘පිග්‘ යන වදන ලියා තිබුණා. ඒ භීතිය මුසු වුණු සිනමාපටයක දර්ශනයක් නම් නොවෙයි. ඔස්කාර් සම්මාන දිනූ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ රෝමන් පොලන්ස්කිගේ කතාව. ‘‘ෂැරොන්ගේ මරණය මගේ ජීවිතය ඇතුළේ තවමත් හොල්මන් කරනවා. මං සතුටින් ඉන්න හැම මොහොතකම අදටත් මට වරදකාරී හැඟීමක් දැනෙනවා.‘‘ සිය ජීවිතයේ අසූ හතර වැනි කඩඉම පසුකරන මේ නිර්මාණ ශිල්පියා චාල්ස් මැන්සන් පවුලේ සාමාජිකයින් විසින් මරාදැමුණු ෂැරොන් ගැන සිහිපත් කරන්නේ එලෙසයි.
1933 දී පැරීසියේ දී උපත ලබන පොලන්ස්කිගේ ජීවිතය බේරෙන්නේ ආශ්චර්යයකින් බව ඔහු ගැන පවසන බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා. පෝලන්තයේ සිට පැමිණි යුදෙව් සංක්‍රමණිකයෙකු වුණු පොලන්ස්කිගේ තාත්තා අතිශය අසාමාන්‍ය තීරණයක් ගනිමින් තමන්ගේ පවුලේ උදවියව පෝලන්තයේ, ක්‍රකොව් නගරය වෙත රැගෙන යනවා. ඒ 1936 දී යි. හිට්ලර්ගේ ආක්‍රමණත් එක්ක මේ පිරිස යුදෙව් ජනාවාසයට කොටුවෙනවා. මේ වෙද්දි මාස හතරක ගැබිණියක් වුණු පොලන්ස්කිගේ අම්මා ඔස්ට්විච්හි ගෑස් කඳවුරු තුළදී ඝාතනයට ලක්වෙනවා. පසුකලෙක දෙවන ලෝකය යුද්ධය සමයේදී යුදෙව් – පෝලන්ත සම්භවයකින් යුතු සංගීතඥයෙකු වූ ව්ලැඩ්ස්ලෝ සිස්පිල්මන් මුහුණදුන් සැබෑ අත්දැකීම් තේමාකරගනිමින් නිර්මාණය වූ The Pianist (2002) සිනමාපටය තුළ පොලන්ස්කි වැනිම වූ යුදෙව් ජනතාවට මුහුණදෙන්නට සිද්ධ වුණු ඛේදජනක සිදුවීම් ප්‍රතිනිර්මාණය වෙනවා. The Pianist නමින් ව්ලැඩ්ස්ලෝගේ රචනා කළ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරින් නිර්මාණය කෙරුණු මේ සිනමාපටය එම වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී පොලන්ස්කි හොඳම අධ්‍යක්ෂවරයා බවට පත්කරමින් තවත් ඔස්කාර් සම්මාන දෙකකින් පිදුම් ලබනවා. අසීරුවෙන් ජර්මන් හමුදාවන්ගෙන් ජීවිතය බේරාගත් පොලන්ස්කි සිය ළමා වියේදී දුටු අඳුරු අත්දැකීම් ගැන සිහිපත් කරනවා. ඔහුගේ පියා හා තවත් මිනිසුන් පිරිසක් ජර්මන් හමුදාවන් වල අඩන්තේට්ටම් වලට ලක්වෙමින් ගමන් කරන අයුරු දකින කුඩා පොලන්ස්කි ඔවුන් මේ යන්නේ කොතැනටදැයි විමසා සිටිනවා. තමන්ට අඩි කීපයක් දුරින් සිටගෙන ප්‍රශ්න කරන මේ පුංචි කොළුවා ජර්මන් හමුදාවන්ට හසුවේයැයි බියවෙන පොලන්ස්කිගේ තාත්තා පෝලන්ත භාෂාවෙන් ‘ඉක්මනට මෙතනින් පැනගන්න‘ යනුවෙන් මුමුණනවා. 1943 දී තමන් ජීවත්වුණු යුදෙව් ජනාවාසයෙන් පැනගන්න මේ දරුවා පෝලන්ත රෝමන් කතෝලික පවුලක් සමගින් හැදී වැඩෙන්නේ ඔහුගේ පියා කර තිබුණු ඉල්ලීමකට අනුවයි. අවසානයේදී දිවි ගලවාගන්න පොලන්ස්කිගේ පියාට තමන්ගේ දරුවාව සොයාගන්නට හැකිවෙනවා
තරුණ පොලන්ස්කි සිනමාව ගැන වඩ වඩාත් උනන්දු වෙනවා. වෙනත් වෘත්තීන් වල නියැලීමට අවකාශ තිබියදී සිනමා අධ්‍යක්ෂවරයෙකු වූවේ ඇයිදැයි පොලන්ස්කිගෙන් විමසන ලද අවස්ථාවේදී ඔහු පවසන්නේ, ‘‘සිනමා අධ්‍යක්ෂණයට පිවිසීමේ දැඩි උනන්දුව මගේ තරුණ වියේ සිටම පැවතුණා. මා හැදෑරුවේ වගේම මට හොඳින්ම කළ හැකි කාර්යයත් අධ්‍යක්ෂණයයි. ඉතිං, මං වෙන දෙයක් තෝරාගන්නේ ඇයි ?’’ යන්නයි. හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ පොලන්ස්කිට සිය වෘත්තීය ජීවිතය ගැන කලකිරීමක් ඇතිවුණු අවස්ථාවන් නැතුවාම නොවෙයි. ඔහු වරෙක පවසන්නේ, Tess (1979) සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමෙන් පසු එය උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට දීර්ඝ කාලයක් ගතවීම හා විචාරක ප්‍රතිචාර ලබන්නට දීර්ඝ කාලයක් ගතවීමත් සිනමාවෙන් ඈත්විය යුතුයැයි සිතට දැනුණු බවයි. නමුත්, අවසානයේදී දිගු කාලයක් ගතවී ගොස් වුවද මේ සිනමාපටය ඔස්කාර් සම්මාන ත්‍රිත්වයකින් මෙන්ම ප්‍රංශයේ දී ද ඇගයීමට ලක්වෙනවා. මෙකලදී වෙනත් රැකියාවකට යොමුවිය යුතු යැයි තමන් තදින් තීරණය කළ බව පොලන්ස්කි පසුකාලීනව පවසනවා. නමුත්, එලෙස තෝරාගන්නා වෙනත් වෘත්තියකින් සිනමා නිර්මාණයකින් තමන් ලබන තෘප්තිය නොලබන බව තමාට තේරුම්ගිය නිසා නැවතත් සිනමාවට පිවිසුණු බව ද ඔහුගේ අදහස වී තිබෙනවා. සමන්තා ගෙයිලි සම්බන්ධ සිදුවීම පොලන්ස්කිගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත්වෙනවා. වයස අවුරුදු 13 ක දැරියක වුණු සමන්තා පොලන්සිකි අතින් අතවරයට ලක්වීමත් සමග ඔහු දින 42 ක කාලයක් සිර මැදිරියක ගෙවන්නට සිද්ධවෙනවා. 1978 පෙබරවාරි 1 වැනිදා නිදහස ලබන ඔහු නඩුවේ අවසන් තීන්දුව ලැබෙන්නට එක් දිනක් තිබියදී ඇමරිකාවේ සිට ලන්ඩනයට පලායනවා. පසුදා ප්‍රංශයට යන පොලන්ස්කි ප්‍රංශ පුරවැසිභාවය ලැබුව ද ඔහුට එරෙහිව ලබාදීමට නියමිත දඬුවම් තවමත් එලෙසම පවතිනවා. ඇමරිකාවේ ඉල්ලීම මත 2009 වසරේදී ස්විට්සර්ලන්ත ආරක්ෂක අංශ වල අත්අඩංගුවට ලක්වෙන ඔහු මාස දෙකක කාලයක් රඳවා තබාගැනීමෙන් අනතුරුව නිදහස් වෙන්නේ ඇමරිකාවෙන් කළ ඉල්ලීම් ස්විට්සර්ලන්ත ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කළ නිසාවෙනුයි. 2015 පෝලන්ත අධිකරණය පවසන්නෙත් පොලන්ස්කි නැවතත් ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී නොසිටිය යුතු බවයි. කාන්තාවන් තිදෙනෙකු සමගින් දිවි ගෙවූ පොලන්ස්කි අද ප්‍රංශයේ දිවිගෙවනවා. කෙසේවුවත්, කලෙක ඔහුව සාදරයෙන් පිළිගත් ලෝකයම සමහර අවස්ථාවලදී පොලන්ස්කිට චෝදනා කරන තැනට අද පත්වී සිටිනවා. Motion Picture Arts and Sciences ඇකඩමිය පසුගිය මැයි 3 වැනිදා පොලන්ස්කිව එහි සාමාජිකත්වයෙන් නෙරපා හරින්නේ ඔහුට එරෙහිව ඇති නඩු විභාග නිසාවෙනුයි සිය ජීවිතය තුළ භීතිය, බුහුමන මෙන්ම අපවාද වලට ද ලක්වී තිබෙන පොලන්ස්කි පවසන්නේ, ”අතිශය සාමාන්‍ය අන්දමේ ප්‍රේමයක් යනු රසවත් අත්දැකීමක් නොව අතිශය නීරස අත්දැකීමක්‘‘ යන්නයි.

No comments:

Post a Comment