Sunday, July 8, 2018

# Victor Jara # මරණය

වික්ටර් හාරා මරා දැමූ ලොක්කන්ට වස ර 18 ක සිරදඬුවම්

චිලියේ ජීවත්වූ ගායකයෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වූ වික්ටර් හාරාගේ ඝාතනය සමබන්ධ බවට හෙළිදරව් වූ පුද්ගලයින් 8 දෙනෙකුට පසුගිය අඟහරුවාදා (3) දින සන්තියාගෝ අධිකරණය වසර 18 ක සිරදඬුවම් නියම කෙරුණි. ඒ වික්ටර් හාරා ඝාතනය කිරීම වෙනුවෙන් වසර 15 ක් ද ඔහුව පැහැරගෙන යාමේ වරදට තවත් වසර 3 ක් ද ලෙසිනි. හාරාගේ ඝාතනයෙන් වසර 45 කට පසුව ඔහුගේ පවුලේ පිරිසට සාධාරණය ඉටුකරමින් මෙම දඬුවම ලබාදුන්නේ විනිසුරු මිගෙල් වස්කෝස් විසිනි. චිලියේ පැවති මිලිටරි ආඥාදායකත්ව පාලන සමයේදී මොවුන් හමුදා රාජකාරියේ නියැලුණු අතර එකල මේ පිරිස් අමානුෂික වධහිංසා කිරීමට සම්බන්ධ වූ බව හෙළිදරව් වී ඇත. ලතින් ඇමරිකානු කලාපය තුළ පත්වූ පළමු මාක්ස්වාදී ජනාධිපතිවරයා වූ සැල්වදෝර් අයියන්දේට සිය සහය ලබාදුන් වික්ටර් හාරා ඝාතනයට ලක්වන්නේ ආඥාදායක ඕගස්ටෝ පිනෝචේගේ සහචරයින් අතිනි. 1973 සැප්තැම්බර් 11 වැනිදා ජනාධිපති මැදුරට ඇතුළු වන පිනෝචේගේ සහයකයින් විසින් අයියන්දේව බලයෙන් පහ කර දැමුණි. සිරකරුවන් දහසකට අධික පිරිසක් රඳවා සිටි ක්‍රීඩාංගණයකට වික්ටර් හාරාව රැගෙන යන පිනෝචේගේ සගයින් ඔහුගේ අතපය බැඳ දමා පහරදී අනතුරුව ඔහුව ඝාතනය කර තිබුණි. මේ වධ බන්ධන වලින් නොනැවතී හාරාගේ සිරුරට වෙඩි උණ්ඩ 44 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබුණු අතර පිනෝචේට එරෙහි වන අයට මෙවැනි දඬුවමක් ලබාදෙන බවට ඉන් අනතුරු ඇඟවීය. අයියන්දේගේ පාලන සමයේදී බන්ධනාගාර ප්‍රධානී ලෙස කටයුතු කළ ලිට්රේ කෝරා ද මේ අවස්ථාවේදී ඝාතනයට ලක්විය. වාමාංශිකයින් යැයි සැකකෙරුණු පුද්ගලයින් 3000 කට අධික ප්‍රමාණයක් අතරින් මුල්වරට ඝාතනය වන්නේ මේ දෙපළ වීම ද විශේෂය. මොවුන් දෙදෙනාගේ මළ සිරුරු නගරයේ සුසාන භූමිය ආසන්නයේ වීථියක දමාගොස් තිබියදී හාරාගේ මළ සිරුර හඳුනාගත් තැනැත්තෙකු ඒ බව ඔහුගේ බිරිඳ වූ ජොන් ටර්නර් හාරා හට දන්වා තිබුණි. 2009 වසරේදී හාරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරෙන්නේ ඔහුගේ පවුල පිරිස මෙහි වග උත්තරකරුවන් සොයාගැනීමට දරන ලද වෑයමත් සමගය. හාරාගේ ඝාතනයෙන් වසර 45 කට පසුව ඔහුගේ ඝාතකයින් නීතියේ රැහැනට හසුවීම විශේෂය.

No comments:

Post a Comment