Thursday, August 23, 2018

# bangladesh # ict act

ෂහිදුල් අලාම් ට යුක්තිය අකැපද ?

‘‘බැංකු කොල්ලකෑම්, මාධ්‍ය මර්දනය හා ඝාතනයන් මෙන්ම අතුරුදහන් කිරීම් දිනෙන් දින වැඩිවෙලා. වංචාව දූෂණය රටේ හැමතැනම පැතිරිලා. හැමතැනකදීම සල්ලි මුල් වෙනවා. මේවාගේ අවසානයක් දකින්න බැහැ‘‘ බංග්ලාදේශයේ රජයන දූෂණය ගැන සිය හඬ අවදි කළ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන ෂහිදුල් අලාම් මේ වනවිට පසුවන්නේ සිරගෙහි ය. මීට හේතුවූයේ මාර්ග ආරක්ෂාව හා ගමනාගමන ක්ෂේත්‍රයේ නිසි යටිතල පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් හඬ නැගූ (සීඝ්‍රයෙන් ධාවනය කළ බස් රථයක් නිසා දරුවන් දෙදෙනෙකු ජූලි මසදී මරු මුවට පත්වීම මීට හේතුවිය) බංග්ලාදේශ සිසුන් පසුගිය අගෝස්තු 5 වැනිදා සිට දින හතක් පුරාවට ඩකා නගරයේදී පැවැත්වූ උද්ඝෝෂණයට පක්ෂව අලාම් Al Jazeera වෙත පසුගිය 5 වැනිදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවයි. මෙහිදී ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටියේ සිසුන්ට තම සහයෝගය ලබාදෙන බවත් ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවන්ට විරුද්ධ වන බවත්ය. අලාම්ව අත්අඩංගුවට ගත්තේ ඇයි ? එමෙන්ම, ඔහු ෆේස්බුක් වෙත යොමුකළ වීඩියෝ පට මගින් ආණ්ඩුව විවේචනය කිරීම හා සිසුන්ව මර්දනය කිරීමට පොලීසිය දියත් කළ මර්දනකාරී පිළිවෙත ද හෙලා දුටුවේය. රබර් උණ්ඩ, ලී බැටන් පොලු හා කඳුළු ගෑස් ඔවුන් වෙත යොමුකළ බව අලාම් වැඩිදුරටත් පැවසුවේය. Al Jazeera වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව ඩන්මොන්ඩි හිදී පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අලාම් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව රඳවා තබාගත් රැයේදී දරුණු වධහිංසා වලට ලක්කළ බවත් ඉන් නොනැවතී පරුෂ වචනයෙන් තමන්ට බැණ වැදුණු බව ද අලාම් පවසා ඇති අතර පසුදිනයේදී ඔහුව උසාවියට ඉදිරිපත් කළ අතර එදින ලේ වැකී තිබූ ඔහුගේ ඇඳුම් සෝදා පිළිවෙලට සකස් කර ඔහුට කිසිදු හිංසනයක් නොවූ බව පෙන්වීමට පොලීසිය උත්සහ කළ බව ද පැවසුවේය. අලාම්ගේ නිවසට පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බංග්ලාදේශ පොලීසියේ විශේෂ ඒකකයක් වන රහස් පරීක්ෂණ අංශයේ නිළධාරීන් විසිනි. සිවිල් ඇඳුමින් සැරසී සිටි නිළධාරීන් 30 දෙනෙකු පමණ මේ අවස්ථාවට සහභාගී වී ඇත. බංග්ලාදේශ නීතිය කා වෙනුවෙන්ද ? මේ සිදුවීමෙන් දින 7 ක් ගතවී ගිය පසුගිය 12 වන ඉරිදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අලාම්ව උසාවිය හමුවට පමුණුවනු ලැබුණි. මේ අතරතුර කිසි අවස්ථාවකදී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට අලාම්ව හමුවීමට අවකාශ ලබාදී නැත. තවමත් නිසි ලෙස හෙළිදරව් කර නැති ස්ථානයක ඔහුව සිරකරුවෙකු ලෙස රඳවා තබා සිටින අතර එලෙස රඳවා තබා සිටින කාලය පවා නිසිලෙස හෙළිදරව් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ 57 වන වගන්තිය යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු සපයන අතර ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් බව දක්වයි. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවේ. මෙමගින් අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු බන්ධනාගාරයේ රඳවා තබාගත හැකිවන අතර අලාම්ට දඬුවම් පැමිණවීමට අවස්ථාව තිබෙන්නේ මේ යටතේය. අලාම් නම් ඡායාරූප ශිල්පියා ‘මගේ කැමරාවට හසුවුණු ඡායාරූප අතිවිශිෂ්ට ඒවා නොවුණත් ඒවා කලින් නොතිබුණු අන්දමේ ඒවා වුණා‘. අහඹුවකින් මෙන් ඡායාරූප කලාවට පිවිසි අලාම් ‘With Photography as my Guide’ නමින් 2013 වසරේදී සම්පාදනය කළ ලිපියෙන් තමා වෘත්තීය දිවියට පිවිසුණු අන්දම ගැන සටහන් තැබුවේ එලෙසිනි. අලාම් සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ මිලිටරි ආඥාදායකයෙකු වූ මොහොමඩ් අර්ෂාඩ්ට විරුද්ධව 1982 දී සිදුකළ විරෝධතාවක් ඡායාරූපයට නගමිනි. කාන්තාවක් සිය ඡන්දය රහසේ ලබාදෙන අවස්ථාවක් 1990 දී ඡායාරූපයට නගන ඔහු බංග්ලාදේශයට බලපෑ අතිදරුණු සුළි සුළඟ හා ඉන් ඇතිවූ බලපෑම සිය කැමරා කාචයේ වෙනස්ම මුහුණුවරකින් යුතුව සනිටුහන් කරගන්නට සමත්වූවේය. ‘‘හදිසියේම බටහිර මාධ්‍ය වල වැඩකළ සාමාජිකයින් දැඩි ගිජුබවින් හා මහත් අභිරුචියෙන් යුතුව අප වෙත එන්න පටන්ගත්තා. කුසගින්නෙන් යුතුව දුර්වල වූ සිරුරින් අත්පා විදහාගෙන හිටිය බංග්ලාදේශ ජාතිකයින් වෙත සුදු මිනිස්සු ආවේ ගැළවුම්කරුවන් වගෙයි. මගේ සටන මේ මොහොතේදී ආරම්භ වී තිබුණා පමණයි‘‘. සිය රටට පැමිණි ආගන්තුකයින් තම දේශය කැමරා කාචයට හසුකරගත් අන්දම වෙනුවෙට අලාම් යළි ගොඩනැගෙන බංග්ලාදේශය ගැන අවට ලෝකයට පැවසුවේය. නැවත බෝට්ටු ගොඩනගන මිනිස්සු, නැවුම් බීජ වගා කරන ගොවීන් මෙන්ම ආපදාවට හසුවූවන්ට සහන සලසන වෛද්‍ය පිරිස් ඔහුගේ කැමරා කාචයේ සනිටුහන් විය. ඡායාරූප කලාවෙන් ඔබ්බට මේ උපමහාද්වීපයටම අනන්‍ය වූ නව වචන මාලාවක් සම්පාදනය කිරීමට අලාම් දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඩකා හි Drik Picture පුස්තකාලය ආරම්භ කිරීමට 1989 දී ඔහුට හැකියාව ලැබුණි. මේ හරහා සමාජ සාධාරණත්වය හා පුද්ගල අයිතීන් සම්බන්ධ ගැටළු වලට ආමන්ත්‍රණය කිරීමට ඔහුට හැකිවිය. ‘‘අපි ඡායාරූප ගැනීම පමණක් සිදුකළේ නැහැ. භාෂාව භාවිත කළා, ‘බහුතරයෙන් සැදුම්ලත් ලෝකය‘ යන වදන වෙනුවට ‘තුන්වන ලෝකය හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්‘ වැනි සුචක යොදාගත්තා. අලාම් ඡායාරූප කලාවෙන් ඔබ්බට වූ සිය ලෝකය ගැන පවසන්නේ එලෙසිනි. දකුණු ආසියානු කලාපය තුළ ඡායාරූප කලාව සම්බන්ධයෙන් නව ප්‍රබෝදයක් ඇතිකිරීමට දායකත්වය දෙමින් සිසුන්ට පුළුල් දැනුම ලබාදෙන සම්පත් මධ්‍යස්ථානයක් පාත්ශාලා ඡායාරූප පාසල ඩකාහි ආරම්භ කිරීමට ඔහුට හැකිවිය. Drik හා පාත්ශාලා හි සාමාජිකයින්ගේ හවුල්කාරීත්වයෙන් චෝබි මේලා නමින් ඡායාරූප උළෙලක් සංවිධානය කිරීමට ද 2000 වසරේදී ඔහු මූලික වූ අතර දකුණු ආසියානු කලාපයේ ඡායාරූප සම්බන්ධ ප්‍රබෝධයක් මෙමගින් ඇතිවිය. මෙහි 10 වැනි උළෙල එළඹෙන 2019 වසරේ පෙබරවාරි මසදී පැවැත්වීමට කටයුතු නියමකර තිබුණි. අලාම්ව රඳවා තබාගැනීම වැරදියි අත්අඩංගුවේ පසුවන අතරතුරදී පහරකෑමට ලක්වූ අලාම් ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, කලාකරුවන්, ලේඛකයින්, ඡායාරූප ශිල්පීන් ද සිය හඬ අවදි කරයි. අරුන්දතී රෝයි, ඊව් ඇන්ස්ලර්, නයෝමි ක්ලීන්, නොම් චොම්ස්කි හා විජේ ප්‍රශාද් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අලාම් වහාම නිදහස් කරන ලෙසත් සියලු චෝදනා වලින් ඔහුව නිදහස් කරන ලෙසත්ය. ‘‘තොරතුරු දැක්වීම හා විවේචනය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. තමන්ගේ රට තුළ සිදුවන දේ ගැන පුරවැසියෙකු දක්වන අදහස් ප්‍රතික්ෂේප කිරීම තුළ මූලික මානව අයිතීන් ද ප්‍රතික්ෂේප කර තිබෙනවා‘‘ යන්න මේ නිවේදනයේ දක්වා ඇත. මීට අමතරව අලාම්ව රඳවා තබාගැනීමට විරුද්ධව කල්කටා, ලන්ඩන් හා කත්මණ්ඩු හිදී උද්ඝෝෂණ මාලාවක් දියත් විය. ඔහුට අත්වූ ඉරණමත් සමග ඇමනෙස්ටි ජාත්‍යන්තරය අගෝස්තු 9 වැනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ‘ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා මේ ඉරණම අත්වූ බවත් බොහෝවිට අලාම්ව වසර 14 ක් සිරගත කිරීමට ඉඩ ඇති බවත් වහාම ඔහු නිදහස් කරන ලෙස‘යි. ‘අපි පියාඹා යන්නට ඉගෙනගත් ආකාසය ඔහුයි. ෂහීදුල් ගැන නොදන්නා අයට ඔහු ගැන කියාදිය හැකි හොඳම කතාව මෙයයි‘ යන්න කල්කටාවේ වෙසෙන ඡායාරූප ශිල්පියෙකු වන රොනී සෙන් සටහන් කරයි. අලාම්ව රඳවා තබාගැනීම තුළ භාෂණයේ නිදහස, ආණ්ඩුවේ මර්දනය මෙන්ම අවදිව සිටින මිනිසුන්ගේ හඬ යටපත් කරදැමීම සම්බන්ධයෙන් කලාපය තුළ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබිඹු වන බව ජාත්‍යන්තරයේ අදහස වී ඇත. බංග්ලාදේශය හා මානව හිමිකම් වල තත්ත්වය බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරය වඩාත් ක්‍රියාශීලී ෆේස්බුක් පරිශීලකයින් සිටින ලොව දෙවැනි විශාලතම නගරය වේ. නමුත්, එරට තුළ සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය ද සමගින් දේශපාලන මර්දනය ද වැඩිවන බව දැකගත හැකිය. බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසිනාගේ විකට රූප වලට ශෙයාර් හා ලයික් කිරීම නිසා දකුණු දිග ප්‍රදේශයේ දිවි ගෙවන මොනිරුල් ඉස්ලාම් පසුගිය වසරේ අප්‍රේල් මසදී අත්අඩංගුවට ගැනුණි. මොහු රබර් කම්හලක වැඩකරන සේවකයෙකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ 57 වන වගන්තිය යටතේ පෙර කී මොනිරුල් ඉස්ලාම්ට දඬුවම් නියම කෙරුණු අතර ‘රටට ද්‍රෝහීවීමක්‘ ලෙස මේ සිදුවීම විස්තර වී ඇත. ඉස්ලාම්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර මීට අදාළ ලියවිලි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට මාස තුනකට අධික කාලයක් ගතවිය. මේ කාලය තුළ ඉස්ලාම් රඳවා තබාගෙන සිටිනු ලැබුණි. ඉස්ලාම් විසින් ශෙයාර් කෙරුණු සැබෑ ෆේස්බුක් පෝස්ටුව අන්තර්ජාලයට නිකුත් කළ තැනැත්තා ඉස්ලාම් අත්අඩංගුවට පත්වීමත් සමග සැගවුණේය. අලාම්ගේ ඉරණම විසඳිමට බලපාන බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ මේ නීතිය ඕනෑකමින්ම ඇතිකළ ද්වේෂ සහගත නීතියක් වන අතර අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු මෙමගින් සපයයි. ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් වේ. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවන අතර මේ යටතේ අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු බන්ධනාගාරයේ රඳවා තබාගත හැකිවේ. මෑතකදී නිකුත් කළ හියුමන් රයිට්ස් වොච් වාර්තාවට අනුව මේ පනත යටතේ 1271 දෙනෙකුට 2013 වසරේදී සිට දඬුවම් පමුණුවා ඇත. මේ වසරේ පළමු මාස තුන තුළ පමණක් මේ පනත යටතේ දඬුවම් ලැබූ සංඛ්‍යාව 282 කි. ෆේස්බුක් මාධ්‍ය තුළ ආණ්ඩුව සම්බන්ධයෙන් ඝෘණාත්මක මතවාද දනවන පෝස්ට් වල හුවමාරු කිරීම හා ඒවාට ලයික් කිරීම නිසා සිවිල් වැසියන් රඳවා තබාගැනීම මෙන්ම ඔවුන්ට දඬුවම් පැමිණවීම ද බංග්ලාදේශය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතියි. මේ පනතේ අලුත්ම ගොදුර බවට පත්වූයේ අලාම් ය. ඔහුගේ ඉරණම කෙලෙස විසඳෙනු ඇතිද ? යන්න තවමත් ගැටළුවකි.

No comments:

Post a Comment