Friday, June 24, 2016




ඔහු  Khaled Hosseini 




ඇෆ්ගනිස්තානයේ ඉපදී අවුරුදු 11 දී ප්‍රංශයට ඇවිත් පසුකාලයකදී ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස රැකියාවේ නිරතවුණු තරුණයෙක් වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියලා පූර්ණකාලීන ලේඛකයෙකු වෙන්න තීරණය කරනවා. 


ඔහු  Khaled Hosseini. 


Khaled මේ තීරණය ගන්නේ ඔහුගේ පළමු කෘතිය වුණු The Kite Runner 2003 වසරේදී ප්‍රකාශයට පත්වීමෙන් පසු ඊට හිමිවුණු අසීමිත පාඨක ප්‍රතිචාරයත් සමගිනුයි.The Kite Runner කෘතිය කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මේ  ඇසුරින් 2007 වසරේදී සිනමාපටයකුත් නිර්මාණය වනවා. 


‘මිනිස්සු කියන්නේ ජීවිතයට අරමුණක් හොයාගෙන ඒ වෙනුවෙන්ම ජීවත් වෙන්න කියලයි. නමුත්, ඔබේ හිතේ කවදාවත් රැදී නොතිබුණු  අරමුණක් ඔබේ ජීවිතයට තිබුණු වග දන්නේ දිගු කාලයක් ගතවී ගියාට පසුවයි.‘ 


The Kite Runner කෘතිය ගැන 


The Kite Runner කෘතියේ තේමාව වෙන්නේ මීට විසිහය වසරකට පෙර ඇෆ්ගනිස්තානයේ දී ඇතිවූ සිද්ධිදාමයක්. මේ තුළ පිය පුතු සම්බන්ධතාවය ද විවරණය කර තිබෙන බව විචාරකයින්ගේ අදහස වනවා.

මේ කෘතියේ කතානායකයා බවට පත්වෙන්නේ  අමීර්. ඔහුට සිය පියා සමග පවතින්නේ තරමක සංකීර්ණ 
සම්බන්ධතාවයක්. ඒ වගේම අමීර්ගේ සමීප මිතුරෙකු වුණු හසාන් අනෙක් මිතුරන්ගෙන් අතවරයට ලක්වීමත් මෙය වැළැක්වීමට අමීර් මැදිහත් නොවීමත්  පසුකාලීනව ඔහුගේ ජීවිතයට දැඩිව බලපාන සාධක වනවා. නැවතත් ඇෆ්ගනිස්තානයට පැමිණෙන අමීර් වෙනස් වුණු රටක් තුළ ඔහුගේ මිතුරාව සොයන්නට දරන වෑයමත් මෙහිදී දැකගන්නට හැකිවෙනවා. 


The Kite Runner හා  Khaled

මේ කෘතිය පිළිබද පසුකාලීනව අදහස් දක්වන Khaled පවසන්නේ ඇෆ්ගනිස්තානයට බලපෑ සෝවියට්
ආගමනයට පෙර කාලසීමාවේදී ඔවුන් ගතකළ සාමකාමී ජීවිතය වෙනස් වුණු ආකාරය මේ කෘතිය තුළදී විශේෂයෙන් අවධානයට ලක්කරන්නට උත්සහ කළ බවයි. 

The Kite Runner කෘතියෙන් පසුව 

The Kite Runner කෘතියෙන් අනතුරුව තවදුරටත් ලේඛනයේ නිරතවෙන Khaled, A Thousand Splendid Suns (2007)කෘතිය හා And the Mountains Echoed (2013) දී ප්‍රකාශයට පත්කරනවා. 


The Kite Runner හා  Khaled 


The Kite Runner කෘතියේ නිරූපණය වන අමීර් මෙන්ම Khaled ගේ ජීවිතය තුළදී ද එක හා සමාන අත්දැකීම් වලට මුහුණදීමට සිදුවනවා.මොකද අමීර් වගේම  Khaled ද ඇෆ්ගනිස්ථානයෙන් පිටවී ගොස් වෙනත් රටක ජීවත්වනවා. ඇෆ්ගනිස්ථානයට එල්ලවුණු සෝවියට් ආක්‍රමණ හමුවේ Khaled ට නැවත දිගුකාලයක් යතතෙක් සිය මව් රටට පැමිණීමට නොහැකිවනවා.

තමන්ට සුපුරුදු ඇෆ්ගනිස්තානයේ පරිසරයෙන් මිදෙන  Khaled ප්‍රංශයටත් ඉන් පසුව ඇමරිකාවටත්
පැමිණෙන විට ඔහුට නුපුරුදු සංස්කෘතියකට හුරුවීමට යාමේදී සංස්කෘතිකමය අභියෝගයන්ට පවා 
මුහුණදීමට සිදුවනවා.

සිය 11 හැවිරිදි වියේදී   ඇෆ්ගනිස්ථානයෙන් නික්මී යන   Khaled නැවතත් සිය 36 හැවිරිදි වියේදී සිය මව් රටට පැමිණ හාත්පස පැතිරී තිබෙන කාබුල් නගරය දකින විට ඔහුට ඔහුගේම ඇස් අදහාගන්නට නොහැකි වුණු බව බව පසුකලෙක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසනවා. 

‘මම ඉපදුණේ, ඇවිදින්න බහ තෝරන්න පටන්ගත්තේ මේ නගරයේදීයි.මෙහි ඉන්න මිනිසුන් සමග  ඔවුන්ගේ බසින් කතාබහ කරන්න මටත් පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මම තවමත් ඇෆ්ගනිස්තානෙට ආගන්තුකයෙක්.‘ 

Khaled ව ලේඛනයට උනන්දු කළ ලේඛකයින් 

ඒ කොහොම වුණත් වෛද්‍ය වෘත්තීය අත්හැරලා ලේඛකයකු වුණු Khaled පවසන ආකාරයට ඔහුගේ ජීවිතයට ආලෝකයක් වුණු පර්සියානු කවීන් රැසක් සිටිනවා.ඔවුන් අතරට රූමි, හෆීස්, ඕමාර් කයියාම්, අබ්දුල් කදීර් බෙදිල් වැන්නන් ඇතුළත් වනවා.

ඒ විතරක්ම නොවෙයි ජේ. එම්. කොඑට්සි, ජෙනිෆර් ඊගන්, හෙමිංවේ, එළිසබෙත් ස්ට්‍රවුට්, ජුම්පා ලහිරි, ඩේව් එගර්ස්, ඉයන් මැග්ඊවන් හා ඇලිස් මන්රෝ ආදීන්ද  සිටිනවා. ලේඛකයෙකු ලෙසින් මෙන්ම මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්වී සරණාගතයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහු කටයුතු කරනවා. එහිදී නැවත වතාවක් ඇෆ්ගනිස්තානයේ වෙසෙන සරණාගත පිරිස් හා එක්වී ඔවුන්හා  කතාබහ කිරීමට ද ඔහුට අවස්ථාව හිමිවී තිබෙනවා.


‘ඔබ අතින්  මිනිසෙකුව  ඝාතනය වනවිට ඒ සමගින් ජීවිතයක් ද සොරකම් කෙරෙනවා. ඔහුගේ බිරිදට සිය ස්වාමියාගේ අයිතිය, ඔහුගේ දරුවන්ට සිය පියා  ගැන තිබෙන අයිතිය ඔබ මංකොල්ල කනවා.  තවත් තැනැත්තෙක්ට සත්‍යය ප්‍රකාශ කිරීමට පවතින අයිතිය ඔබ බොරුවක් කියද්දි සොරකමට ලක්වෙනවා. ඒ වගේම ඔබ වංචාවක නියැලෙද්දි සාධාරණත්වයට පවතින අයිතිය ඔබේ අතින් සොරකමට ලක්වෙනවා‘ The Kite Runner කෘතියෙනි.


No comments:

Post a Comment