Tuesday, March 15, 2016


මරණය දෑතින් දරා දිවිගෙවන ලීසා

ඒඞ්ස්, පාසලක් හා පුංචි පුතෙකු පිළිබඳ වුණූ තුන්කොන් කතාවක් පසුගිය මාසය තුළ අතිශය කතාබහට ලක්වුණා. කොහොමින් කොහොම වුණත් මේ කතාවේ උණුසුම මේ වනවිට මැකී ගොස් අවසන්.
මාපියන්ගේ වැරදි හෝ වෙනත් අත්වැරදීම් හේතුවෙන් ලොවපුරා මිලියන ගණනකට අධික දරුවන් පිරිසකට මරණය දෑතින් දරාගෙන ජීවත්වීමට සිදුව තිබෙනවා. සමහර දරුවන් මරණයේ ලේබලය ඇලවෙන්නේ  මෙලොව එළිය දකින්නටත් පෙරමයි.


තවමත් දහසය හැවිරි ලීසා යොරසෙන්කෝ කියන්නෙත් ඒඞ්ස් නිසා මරණය අතේ දරාගෙන ජීවත්වන යුක්රේන දැරියක්.  ඇය ගැන ලෝකයක් කතාබහ කරන්නට ගත්තේ 2013 වසරේදීයි. 2013 දී යුක්රේන රජය ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙන් එච්අයිවී වෛරසය ආසාදිතවූවන්ගේ රෝගී තත්වය මැඩපවත්වන්න දරන සෞඛ්‍ය වියදම් කප්පාදු කිරීමට යාමේදී ඇය නොබියව යුක්රේන පාර්ලිමේන්තුවට ගොස් හඬනැගූ නිසයි.
ලීසා එහිදී පවසන්නේ ‘‘මේ අයවැය සම්මත වුණොත් ඒඞ්ස් ආසාදිත බොහෝ මාපියන් මෙන්ම දරුවන් ද නිසි ප‍්‍රතිකාර නැතිකමින් මියයාවි. මේ අයවැයට ඡුන්දය ලබානොදෙන ලෙස මම ඉතා බැගෑපත්ව ඔබෙන් ඉල්ලා සිටිනවා. මට සිදුවුණු දේ අනෙක් දරුවන්ට ද සිදුනොවිය යුතුයි’’ යන්නයි.

කොහොමවුණත් ඇගේ කතාවෙන් පස්සේ එච්අයිවී ආසාදිතවූවන් වෙනුවෙන් දරන වෛද්‍ය වියදම් පිළිබද සුවිශේෂී අවධානයක් යොමුකරන්නට යුක්රේන රජය එකගවුණා.

ලීසාගේ මව මත්ද්‍රව්‍යය එන්නත් කරගැනීමට යෑමේදී සිදුවූ අත්වැරැුද්දක් ලීසාටත් එච්අයිවී ආසාදිත වී ඇති බව දැනගන්නේ වයස අවුරුදු 6 දීයි. මත්ද්‍රව්‍ය ළගතබාගත් වරදට වසර තුනක් හිරබත් කන ලීසාගේ මව නැවතත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ ඇගේ සැමියාගේ බලකිරීමත් සමගයි. කොහොම වුණත් ඇය 27 වියේදී මියයෑමත් සමග ලීසා වෙනත් මාපියන් දෙදෙනෙකු යටතේ හැදී වැඩෙනවා.


ස්පර්ශයෙන් එච්අයිවී ආසාදනය වන බව කී ගුරුවරියට පාඩමක් ඉගැන්වූ ලීසා

ලීසාගේ මිතුරන් නිරන්තරයෙන් ඇය වටා සිටියත් ලීසාගේ පාසලේ උගන්වන එක් ගුරුවරියක් පවසා තිබුණේ අත් ඇල්ලීමෙන් හා කිවිසුම් මගින් වුවත් ඒඞ්ස් ශරීරගත විය හැකි බවයි. යුක්රේන පාර්ලිමේන්තුවේ දී පවා නොබියව තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරලා තිබුණු ලීසා මෙය විකාර කතාවක්යැයි පවසා  ගුරුවරියට නිසි පිළිතුරක් ලබාදී විදුහල්පති කාර්යාලයට ගමන් කිරීමට පවා පැකිළුණේ නැහැ.


ලීසාගේ කතාව එතැනින් නිමා නොවී සමාජයේ අනෙක් දරුවන්ට මෙන් සාමන්‍ය ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව ඇයට උදාවෙන්නේ එච්අයිවී ගැන නිසි අවබෝධයක්  ඇති සමානාත්මතාව අගයන කුහකත්වයෙන් තොර බහුතර මිනිසුන් සිටින සමාජයක ලීසා ජීවත්වන නිසා බව ද මතක තබාගත යුතුයි. 



No comments:

Post a Comment