Tuesday, November 6, 2018

# akil kumarasamy # books

”ආණ්ඩුවේ එක් නියෝජිතයෙකුවත් යුධ අපරාධ වලට අභිචෝදනා ලබා තිබෙනවාද ?” – අකිල් කුමාරස්වාමි

අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීය HarperCollins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඉන්දීය, දමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි. මෙහි පළවන්නේ Half Gods කෘතිය සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකා ගාර්ඩියන් සමග පළකල අදහස්ය. (Half Gods කෘතිය මිලදී ගැනීමට පිවිසෙන්න). ඔබේ Half Gods කෘතියෙන් වසර 30 කට ආසන්න කාලයක් පුරා ලංකාවේ දියත් වුණු යුද්ධය ගැන කියැවෙන බවත්, ලංකාවේ යුද්ධය ගැන නොදන්නා අයට එය එක්තරා අන්දමේ ඉතිහාස පාඩමක් වූ බවත් The New Yorker සටහන් කර තිබෙනවා. ඔබ මේ ඵෙතිහාසික කරුණු මතුකළේ කොහොමද ? යුද්ධය නිසා විවිධ අත්දැකීම් වලට මුහුණදෙන්න වුණු මෙහි ජීවත්වෙන චරිත හරහා ඉතිහාසය එළිදරව් කිරීමට මා කටයුතු කළා. නමුත්, ඉතිහාසය එළිදරව් කරන අතරතුරදීම හැමදේම එලෙසින්ම ග්‍රහණය කරගෙන ඉදිරිපත් කරන්න හැකිවුණේ නැහැ. 1983 දී ලංකාවේ දමිළ පිරිස් සමූල ඝාතනය වූ අන්දමින්ම 1937 දී ඩොමීනිකන් ජනරජයේදී හයිටි පිරිස් සමූල ඝාතනයට ලක්වූ බව සඳහන් කළා. නිදහස් දවසේ හැන්දෑවේ ඇතිවුණු සිද්ධියක් පදනම් කරගෙන කතාවක් නිර්මාණය කිරීම හරහා ජාතිකත්වය ගැන අධිරාජ්‍යවාදී මතය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද යන්න මට කතාබහ කරන්නට හැකියි. මේ කෘතිය ඉතිහාස පාඩමක් කිරීමේ වුවමනාවක් මට තිබුණේ නැති වුණත් මෙහි ගොඩනැගූ චරිත වල පුද්ගලිකත්වයට දේශපාලනය බලපා තිබෙනවා. මා ඉතිහාසය ගැන පැහැදිලි කිරීම් සිදුකරන්න කිසිදින උත්සහ නොකළත් කතාවේ ආඛ්‍යානයට ස්වභාවයෙන්ම බලපෑ දේවල් බෙදාහදා ගෙන තිබෙනවා. Half Gods කෘතිය ‘අනන්‍යතා‘ අරගලය සම්බන්ධයෙන් ලියැවුණු කෘතියක් බව ඔබ මීට පෙර සඳහන් කර තිබෙනවා. අද අපි ජීවත්වෙන්නේ විශ්ව ගම්මානයක, මේ සන්දර්භය ඇතුළේ ‘අනන්‍යතාව‘ යන්න කොයිතරම් වැදගත් වෙනවද ? අනන්‍යතාව කියන්නේ අප, අප ගැනම කියන කතාවක් වුණත් එය අපේ පාලනයෙන් ගිලිහුණු දැවැන්ත ආඛ්‍යානයක් ලෙසත් ස්ථාපිත වී තිබෙනවා. මේ ‘අනන්‍යතාව‘ කෙතරම් වියවුල් ද ? , අපවිත්‍ර ද ? යන්න හොයා බලන්න මට වුවමනා වුණා. ‘ශ්‍රී ලාංකිකයෙකු‘ යැයි පැවසීමේ අරුත මොකක්ද ?, අද වනතෙක් ඇතිවී තිබෙන ජාතිවාදී අර්බුද හා ප්‍රචණ්ඩත්වය ගැන සලකා බැලුවොත් මේ යෙදුම බොහොම පිරිපුන් එකක් විය හැකියි. දමිළයෙකු වීම නිසා රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වුණා නම් ඔබ, ඔබව ලාංකිකයෙකු විදියට ආමන්ත්‍රණය කරගන්නවාද ? නැත්නම්, මේ රටට කියන සිංහල නම වෙනුවට ‘ඊළාම්‘ කියන දමිළ නම කියනවද ?. ආසියාවේ තිබුණු දැවැන්තම පුස්තකාල වලින් එකක් වුණු යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කරද්දී දමිළ පිරිසට දැනුණේ මොකක්ද ?. දස දහස් ගාණක් දමිළ සිවිල්වැසියෝ රජයේ ආරක්ෂක අංශ වලින් ඝාතනය කරද්දි මොකද වුණේ ? මේවට වගවෙන්නේ නැද්ද ?. පුරවැසියන්ගේ අයිතීන් නොදී ඉඳිද්දී, අප – අපව හඳුනාගන්නේ කොහොමද ? මේ නිසා අපට අහන්න වෙන්නේ මොනවගේ කතාද ? Half Gods කෘතිය රචනා කරද්දි මෙරට යුද්ධය ගැන ලියැවුණු පොත පත, ලිපි ලේඛන ආදිය කියවා මේ හා සම්බන්ධ පර්යේෂණයක නියැළුණාද ? රැකවරණ පතා ඇමරිකාවට සරණාගතයින් විදියට පැමිණි, යුද්ධයේ ගොදුරු බවට පත්වූවන් මුණගැහිලා තියෙනවද ? මං දමිළ පිරිස් ගැන දැනගත්තේ යුද්ධය හේතුවෙනුයි. යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය මං ඉපදෙන්න පෙර ඇතිවූ සිද්ධියක් වුණත් 1983 දී ඇතිවුණු ප්‍රචණ්ඩ කාල පරිච්ඡේදයේදී රැකවරණ පතා පැමිණුනු සරණාගත පවුල් වලින් ඒ ගැන අහලා දැනගත්ත මතකය තියෙනවා. උතුරු – නැගෙනහිර සම්බන්ධව පැතිරුණු පුවත් විකල්ප මාධ්‍යයන් තුළ හුවමාරු වුණා. රජය මගින්ම ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවන විට රාජ්‍ය මාධ්‍ය මගින් ලබාදෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද ?. පුළුල් දැක්මක් ඇතිව පුවත් වාර්තා නොකරමින් හා සමහර කණ්ඩායම් ගැන නිසි දැනුමක් නැතිව යුද්ධය ගැන විවිධ මාධ්‍ය හා කණ්ඩායම් වාර්තා කළේ කොහොමද යන්න ඉන්දියානු දමිළ හා ලාංකීය දමිළ ප්‍රජාව මිශ්‍ර සමාජයක් තුළ හැදී වැඩෙද්දි මට මනාව දැනගන්න ලැබුණා. භාෂාවට අනුගතවී තිබෙන බල ව්‍යුහයන් සම්බන්ධයෙන් මං දැඩි උනන්දුවක් දක්වනවා. උදාහරණයක් විදියට සරණාගතයින් අතරින් බොහෝ දෙනෙකු දමිළ කියන කාරණේ වසන් කරමින් ‘ශ්‍රී ලාංකීය සරණාගතයින්‘ යන යෙදුම භාවිත කිරීම තුළ පවා මේ බල ව්‍යුහය ගැන තේරුම්ගන්න හැකියි. පර්යේෂණ සම්බන්ධයෙන් කතා කළොත්, තේ වත්තක් පදනම් කරගෙන නිදහස් දවසේ හැන්දෑවේ වුණු සිද්ධියක් ගැන ලියැවුණු කතාවක් මෙහි තිබෙනවා. මගේ සීයා මැලේසියාවේ රබර් වත්තක වැඩකරපු කම්කරුවෙකු වුණත් තේ වගාව ගැන ලියැවුණු නිශ්චිත තොරතුරු සොයා බලන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම, ඔබ යුද්ධයෙන් විනාශ වී ගිය ගම්මාන, විශ්වවිද්‍යාල හා තේ වතු ආශ්‍රිතව ගත වෙන ලංකාවේ ජීවිත ගැන ලියද්දි මුහුණදෙන්න සිද්ධ වුණේ මොනවගේ අභියෝග වලට ද ? කිසි දවසක දෑසින් දැක නැති තැන් ගැන ලියද්දි දුෂ්කරතා වලට වගේම අභියෝග වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැබෑවට අත්විඳ නැති පරිකල්පනයට පමණක් හසුවුණු ප්‍රචණ්ඩත්වය ගැන රචනා කරන්නේ කොහොමද යන්නත් තරමක අභියෝගයක් වෙනවා. යුද්ධය ගැන ලියද්දී ඕනෑම දෙයක් පරිකල්පනය කරන දෑ නියත වශයෙන්ම ප්‍රයෝජනවත් බව ඉරාක ලේඛකයෙකු වෙන හසාන් බ්ලාසිම් වරෙක පවසා තිබෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන දැක්ම පාඨකයා තුළ අනුනාද දෙනවාදැයි යන්න ගැන හැමවිටම ගැටළුවක් පවතිනවා. ඔබ කෙදිනක හෝ යුද්ධය අත්විඳ තිබෙනවාද ? ලංකාවට ඇවිත් තිබෙනවාද ? මං කවදාවත් ලංකාවට ඇවිත් නැති වුණත් මේ අරගලය ගැන වැටහීමක් මගේ කුඩා වියේදී ඉඳන්ම පැවතුණා. යුද්ධයෙන් වසර ගාණක් ගතවී ගිහිං අද අපි ජීවත්වෙන්නේ 2018 වසරේදී වුණත් තාමත් සමාජය සංහිඳියා මාවතට ගමන් කරන්න රජය විවිධ උත්සහයන් දරනවා. (අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, හානිපූරණ කාර්යාලය වැනි ආයතන). මේ කෘතියේදී මෙවැනි ආයතන බොහොම නිර්දය විවේචනයන්ට ලක්කර තිබෙන බව ඔබේ කෘතිය ගැන ලියැවුණු විචාර කීපයක් කියවද්දි මා දුටුවා. මේ ආයතන හුදෙක් මාධ්‍ය අවධානය ලබාගන්න පමණක් ස්ථාපිත කළ ඒවා බවත් එහි සඳහන් කර තිබුණා. ලේඛිකාවක් විදියට මේ ආයතන විවේචනය කරන්න නිර්භය වුණේ කොහොමද ? අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට ගියපු මිනිස්සු කී දෙනෙක් නැවත ඇවිල්ලා තියෙනවද ? ආණ්ඩුව නියෝජනය එක් අයෙකු වත් යුධ අපරාධ සම්බන්ධයෙන් අභිචෝදනා ලබා තිබෙනවාද ?. මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීමට පෙර පැවති මැතිවරණයේදී සංහිඳියාව හා වගවීම ගැන ප්‍රතිඥා දුන්නා. සිරිසේනගේ ආණ්ඩුව මේ ප්‍රතිඥා වලට පයින් ගැහුවා, දැන් මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට නම්කර තිබෙනවා, ඒ ප්‍රතිඥා වල එකඟතාව අතිශය කටුක විදියට පළුදු වී තිබෙන බවත් උතුරු – නැගෙනහිර ජීවත් වෙන දමිළ පිරිස් බොහොම දුෂ්කර ඉරණමකට මුහුණ පා ඇති බවත් මින් අදහස් වෙනවා. අතුරුදහන් වුණු තමන්ගේ ආදරණීයයන් නැවත එනතුරු බලා හිඳිමින්, ඔවුන්ට සිද්ධ වුණේ මොකක්දැයි දැනගන්න, මව්වරුන් අවුරුද්දකටත් අධික කාලයක් තිස්සේ තවමත් විරෝධතා දියත් කරනවා. උතුරු-නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන වාර්තා කරන්න, සටහන් තබන්න මාධ්‍යවේදීන් වගේම සමාජ ක්‍රියාකාරීන් පවා තමන්ගේ ජීවිත පරදුවට තබන පසුබිමක් තුළ ආණ්ඩුව විචේචනය කරන්න මට ඒ තරම් ධෛර්යයක් වුවමනා වුණේ නැහැ. මිලිටරීකරණය වුණු උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල ජීවත් වෙන දමිළ ජාතිකයින්ගේ ජීවිත, රාජපක්ෂගේ නායක්වයෙන් යුතුව උතුරේ ජනයා ඝාතනයට ලක්කරමින් පහරදෙන්න අණකරපු 2009 දී පටන්ම අනතුරේ වැටුණා.
ලේඛිකාවක් විදියට ඔබේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අරමුණ මොකක්ද ? ලේඛනය තුළින් ලෝකය හසුරුවන්න උත්සහ ගත්තත් ඒ වෙනුවෙන්ම වූ විශේෂ අභිප්‍රායකින් යුතුව පොතක් ලියන්නට පිවිසෙන්නේ නැහැ. මගේ කෘති හරහා මිනිස් අත්දැකීම් වල තිබෙන සත්‍යතාව පරිකල්පනීය මගකින් දනවන්න උත්සහ ගන්නවා. නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය කොහොමද කියන එක මට පාලනය කරන්න බැහැ. නමුත්, නිර්මාණය හරහා කියලා තියෙන්නේ මොනවද යන්න අවබෝධ කරගෙන ලෝකය දිහා වෙනස් එළියකින් බලන්න ඔවුන්ට හැකිවෙන බව මගේ විශ්වාසයයි. ලංකාවේ ජීවත්වෙන පාඨකයින්ට කිවයුතු විශේෂ යමක් තිබෙනවාද ? මේ සම්මුඛ සාකච්ඡාව සිංහල හා ඉංග්‍රීසි බසින් පමණක් පළවන නිසා මං පාඨකයින්ගේ විමසන්න කැමතියි මෙහි කොටස්කරුවෝ වෙන්නේ කවුද කියලා. දමිළ බසින් කියවන පාඨකයින්ට මෙය කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ඉන් අදහස් වෙන්නේ මොකක්ද ?. දශක ගණනාවක් තිස්සේ දමිළ ජනතාව සංහාරයට ලක්කිරීම හා ඔවුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන තත්ත්වය අතිශය මතභේදකාරී වී තිබෙන්නේ ඇයි ? උතුරු – නැගෙනහිර ප්‍රදේශ අඛණ්ඩ මිලිටරිකරණයත් සමග දමිළ මව්වරුන් පාරවල් වලට බැහැලා අතුරුදහන් වී ගිය තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා, අතීතයේ සිද්ධ වුණු අපරාධ වලට හෝ උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා වල වරද භාරගන්නේ නැත්නම් සංහිඳියා මාවතක් පවතින්නේ කොහොමද ?

No comments:

Post a Comment