Tuesday, September 11, 2018

කාන්තාවක් නිරුවත් වුණොත් වැඩි වැඩියෙන් මුදල් ගලා ඒවි – නවාල් අල් සඩාවි

September 11, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ තෙවැනි කොටසයි. ඊජිප්තු කාන්තාවන් ඇත්තටම නිදහස්ද ? මේ නවීන ලෝකයේ දිවිගෙවන කාන්තාවන් දිහා බැලුවම, විශේෂයෙන්ම ඊජිප්තු කාන්තාවන් ගත්විට ඔවුන් තවදුරටත් නිදහස් ජීවිතයක් ගතකරන බව ඔබ විශ්වාස කරනවාද ? ඔව්, අනිවාර්යයෙන්ම. පුද්ගලයින් කණ්ඩායම් තුනකට වර්ග කළොත් නිදහස් ජීවිත ගතකරන කාන්තාවන් වගේම පිරිමින් ද ඉන්නවා. දෙවැනි කණ්ඩායම නිදහසේ ජීවිත ගෙවාදැමීම හා නැවත ආපස්සට යාම අතර ඉන්න පිරිසයි. ඒවගේම නිදහස් නැති ජීවිත ගතකරන තෙවැනි කණ්ඩායමක්ද ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් ඊජිප්තුවේ ජීවත්වන සමහර කාන්තාවන් ලිංගික භාණ්ඩයක් විදියට සලකන පිරිසක් ඉන්නවා. මේක දැවැන්ත ප්‍රතික්‍රමණයක්. සමාජය තුළ මෙලෙස ජීවත්වන බොහෝ දෙනකු හඳුනගන්නට හැකියි. ඊජිප්තුවේ පමණක් නෙවෙයි මෙවැනි තැනැත්තන් ලෝකයේ හැමතැනම ජීවත්වෙනවා නේද ? ඔව්, ඔව්. මේ පුද්ගලයින් දේශීය හා ගෝලීය වශයෙන් වෙන්වීමක් නොකළේ ඒකයි. දේශීය කියන වචනේ ගැන අපි කතාකරමු. නමුත්, බොහෝ දෙනෙකු ඔබත් එක්ක තර්ක කරන්නේ ඔවුන්, ඔවුන්ව ලිංගික භාණ්ඩ විදියට දකින බව පවසමිනුයි. ඔවුන් කියන්නේ ‘නැහැ, මෙමගින් අප සවිබල ගැන්වෙනවා කියලයි‘. ඔවුන් තර්ක කරන්නේ එලෙසයි ? ඔව්, මං එවැනි අය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔළුව වහගෙන ඉන්න මේ ආවරණය නිසා ඔවුන් රෝගී වුණාම මගේ සායන වලට එනවා. මං හොයාගත්ත විදියට නම් ඔවුන් ඔළුව වහගෙන ඉන්න අකමැතියි. මේක බොහොම කුහක වැඩක්. ඒවගේම ඔවුන්ගේ මොළේට විස පොවලා තියෙන්නේ, මේ විතරක් නෙමෙයි පීඩාවටත් පත්කරලා තියෙනවා. මේක මානසික ප්‍රශ්නයක්. ‘මගේ සැමියාට බිරින්ඳෑවරු හතර දෙනෙක් විවාහ කරගන්න පුළුවන් කියන කාරණේට මං එකඟයි‘ කියලත් සමහරදෙනෙකුගේ හිත් වලට දනවලා තියෙනවා. බහු විවාහ කරගත්තොත් අපායේ යාවි – ආගමේ නාමයෙන් නැගෙන අනියත බිය තවත් කාන්තාවක් ඔබට මේ වගේ ප්‍රකාශයක් කළාම එය දැනෙන්නේ කොහොමද ? තමන්ගේ සැමියට කාන්තාවන් හතර දෙනෙකුව විවාහ කරගන්න පුළුවන් කියලා ඇය එකඟ වෙනවා කියන කාරණේට එකඟ නම් මං ඇගෙන් පෙරළා විමසන්නේ, ‘ඔයා ස්වාමියන් හතරදෙනෙකුව විවාහ කරගන්නවට සැමියා කැමතිද කියලා ?‘, ‘අපෝ නැහැ, කොහොමටවත් නැහැ‘ කියලා ඇය උත්තර දෙනවා. ඇගෙන් ‘ඔයාගේ සැමියට කාන්තාවන් හතරදෙනෙකුව විවාහ කරගන්නත්, ඔබට එවැනි විවාහයක් නොකරගන්නත් අයිතියක් නැතිවෙන්නේ කොහොමද ?‘ කියලා ඇහුවම, නිරුත්තර වෙනවා. දෙවියන්ට තියෙන බිය නිසා, අපායේ ගින්දරට බිය නිසා ඔවුන් ඒ ගැන හිතන්නේ නැහැ. ‘නැහැ, මං එහෙම කලොත් අපායේ ගිනිදැල් වලට අහුවේවි‘, ‘මං අපායට යාවි‘ යැයි කියනවා. මේ අදහස එන්නේ ළමාවියේදී ඉඳන්මයි. සිත හා කය නිදහස් කරගත්ත මගේ දුව වගේ නිදහසේ ජීවත්වන තවත් පිරිසක් ඉන්නවා. නමුත්, ඔවුන් ඇමරිකානුකරණය වෙලා නැහැ. ඇමරිකානුකරණය හා ඉස්ලාම්කරණය අතර ඉන්න තවත් පිරිසක් ඉන්නවා. මේ පිරිස ඔවුන්ගේ හිස වසාගෙන හිටියත් බඩ වසාගෙන ඉන්නේ නැහැ. මේක ඇමරිකානුකරණය. ඉස්ලාම්කරණය කියන්නේ අපේ ආගමයි. ඉතිං, කාන්තාවන් මේ විදියට දිවිගෙවනවා.
මෙවැන්නක් සිද්ධවෙන්නේ ඇයි ? බටහිර රටවලත් මෙවැනි කාන්තාවන් ජීවත්වෙන බව ඔබ හිතනවාද ? නිදහසේ ජීවත්වීම කියන කාරණය ඇතුළේ ඔවුන් ඉන්නේ කොතැනකද ? අපි එක ලෝකයක ජීවත්වෙන බව මුලින්ම කිවයුතුයි. මේ ලෝකය වෙළඳපලකරණය, ප්‍රාග්ධනවාදයෙන් නිර්මාණය වූ තැනක්. කාන්තාවන් ඒ ලෝකය ඇතුළේ භාණ්ඩයක් බවට පත්වෙනවා. මේ ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද භාණ්ඩ බවට පත්වී ඉන්නවා. කාන්තාවන් වසානොගත් තැන් මේ ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ වසාගත යුතුයි. මොකද නිරුවත් වීම හරහා ලොකු මුදලක් ගලා ආ හැකියි. මේ සමාජය, ආණ්ඩුව, මාධ්‍ය නිරුවත්කරණයට වගේම සිරුර සඟවා තබාගන්නටත් වෙළඳපලක් නිර්මාණය කරදෙනවා. නිරුවත් වීම හා සිරුර සගවාගැනීම එකම කාසියේ දෙපැත්තයි. මේ දෙකේම තියෙන්නේ එකම පණිවිඩයක්. කාන්තාවක් වසාගත්තම ඇය නිකං වසාගත් සිරුරක් බවට පමණක් පත්වෙනවා. මොකද මෙහිදී ඇය සගවාගන්නේ ඇගේ මනස නොව සිරුරයි. ඇය නිරුවත් වුණාම එහි අර්ථය වෙන්නේ ඇය සිරුරක් බවට පත්වූ බවයි. මොකද මනසක් වසාගන්න හෝ නිරුවත් කරන්න අප කටයුතු කරන්නේ නැහැ. කාන්තාව හුදෙක් සිරුරක් පමණක් බවට වුණු මේ සංකල්පනාව, පිරිමින්ට ඇයව භාණ්ඩයක් බවට පමණක් බවට වූ අදහස දනවනවා. ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ මෙමගින් ලාභ ගලා ඒවි. කාන්තාවක් නිරුවත් කළොත් වැඩි වැඩියෙන් ලාභ උපයාගන්නට හැකිවේවි. ඊට පස්සේ මේක්අප්, හැමතැනම මේක්අප් ගල්වනවා. පශ්චාත් නව්‍ය සමාජයේ ජීවත්වෙන කාන්තාව වෙළඳපලට වැඩි වැඩියෙන් ලාභ උපයා දෙනවා. ආගම, නූතනත්වය හෝ පශ්චාත් නූතනවාදය මගින් වෙළඳපලේදී කාන්තාව පාවිච්චි වෙන්නේ මේ විදියටයි මේ කාන්තාවන් හා අනෙක් කාන්තාවන් අතර තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද ? ඔව්, ඔබ මෙහිදී අදහස් කළේ මවක් තමන්ගේ දියණියට අයුතු අන්දමේ බර පටවන බවද ?. ඔව්, අනිවාර්යයෙන්ම. ඒවගේම අනෙක් කාන්තාවන්ට ? ඔව්, ඔව්. මේක වහල් මනෝභාවයක්. සාමාන්‍යයෙන් වහල්ලු තමන්ගේ ස්වාමියාව සතුටු කරන්න එකිනෙකාට වෛර කරනවා, එකිනෙකා සමග සටන් කරනවා. ඉතිං, කාන්තාවන්ටත් ඔවුන්ගේ ස්වාමියා වන පිරිමියාව සතුටු කරන්න ඕන. ගැහැණු ළමුන් මත ඔවුන් අයුතු බරක් පවරන්නේ ඒ නිසයි. ඔබේ ජීවිතය ඇතුළේදී භින්නමතික දේවල් ගොඩනගන්න බොහෝ වෙර දරා තිබෙනවා. කාන්තාවන් හා සංගම් පිහිටුවා, ඔබ වෛද්‍යවරියක ලෙස දුප්පත් කාන්තාවන්ට උදව් කරන්න උත්සහ කර තිබෙනවා. ඒවගේම ලේඛිකාවක් බවටත් පත්වෙනවා. ඔබේ හැඟීම් ලේඛනයන් තුළින් හෙළිදරව් කළ යුතු බව දැනුණේ ඇයි. භින්නමිතිකභාවය හා ලේඛනය අතර තියෙන සම්බන්ධය මොකක්ද ? මං ලියන්න පටන් ගත්තේ අක්ෂර මාලාව දැනගත්ත කාලේදී ඉඳන්මයි. මගේ අම්මා තමයි අක්ෂර මාලාව කියාදුන්නේ, එය ලියන්න දැනගත් විනාඩියේ ඉඳන්ම මං ලියන්න ගත්තා. මොකක්දෝ දෙයක් රහසේම පවසන්න මට වුවමනා වුණා. මගේ අම්මා, තාත්තා වගේම පාසලේ ගුරුවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මොකක්දෝ දෙයක් කියන්න වුවමනා වූ නිසා ලියන්න ගත්තත් මගේ සිහින රජදහන ඇතුළේ වැඩිහිටියෙක් බවට පත්වෙන්න ඕන වුණා. නර්තන ශිල්පිනියක් වීම මගේ හීනය වී තිබුණා. අනික් හැම ළමයෙක්ම වගේ නටන්න, පියානෝව වාදනය කරන්න කැමති වුණා. නමුත්, මට පියානෝවක් අරන් දෙන්න තරම් වත්කමක් තාත්තාට තිබුණේ නැහැ. ඉතිං, මට ඉතුරු වුණේ ලියන්න පුළුවන් කොළ කෑලි ටිකක් හා පෑනක් විතරයි. සංගීතය තරමටම ලේඛනය මාව ප්‍රමෝදයට පත් කළා. ලේඛනය හිතට තදින් වැදුණා. මේ සිස්ටම් එක අවුල් මං යන හැමතැනකදීම මේ සිස්ටම් එක සම්බන්ධයෙන් මට පැහැදීමක් නොතිබුණු නිසා මට තරහ ගියා. මගේ සොහොයුරිය එක්ක රණ්ඩු කළා. සමාජය ඉදිරියේ ඇය මාව හාස්‍යයට ලක්කළ නිසා කොහේ ගියත් ඇයත් එක්ක රණ්ඩු වෙනවා. ගැහැණු ළමයෙක්, කාන්තාවක් වගේම මනුස්සයෙක් විදියට මං කැරලි ගහන්න පටන් ගත්තා. භින්නමතිකවාදියෙකු වෙන්න ගත්තා. ඒක හරිම ස්වභාවිකයි. මං කිසිදෙයක් නොකළත් එය මා සොයා ආවා.
ඒත් ඔබ නවකතා රචනා කරන්නේ ඇයි ? මා ස්වයං චරිතාපදානයක් හෝ නවකතාවක් වෙන්කරන්නේ නැහැ. කරුණු හා ප්‍රබන්ධ වෙන්කරන්නේ නැහැ. මේ දෙකම එකක්. ප්‍රබන්ධ කතා අතිශය බලසම්පන්න බව ඔබ හිතනවද ? ඔබ ඒක තීරණය වෙන්නේ ලියන්නේ කොහොමද යන්න මතයි. සමහරවෙලාවට ප්‍රබන්ධ නොවන ලේඛන බොහොම බලසම්පන්නයි. මා රචනා කළ The Hiden Face of Eve හා Woman at Point Zero වැනි කෘතීන් කෘතිය බොහොම බලසම්පන්නයි. මගේ ස්වයං චරිතාපදානය මවිසින් රචිත විද්‍යාත්මක ලියවිලි තරමටම බලසම්පන්නයි. මේක තීරණය වෙන්නේ ලියන අන්දම මතයි. මේක ප්‍රකාශයට පත්කිරීමේ අරමුණින්ම පමණක් නොව අවංකව ලියනවා නම්, තවත් කෙනෙක්ට දැනගන්න ලියනවා නම්. ලේඛනය හුස්ම ගන්නවා වගේ දෙයක්. මං ලියද්දි මට දැනෙන්නේ හුස්ම ගන්නවා වගේ. මං ලිවීම අත්හැරියොත් හුස්ම හිරවුණු බවක් දැනෙනවා. (සිනාසෙමින්). තරුණ දැරිවියක් ලෙස ඔබ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් ස්ත්‍රී ලිංග අංගඡේදනය ගැන ලියා තිබෙනවා. ලේඛනය තුළින් ඔබ, ඔබ ගැනම, ඔබ විඳි අත්දැකීම් ගැන අනාවරණය කිරීම කෙතරම් වැදගත්ද ? මේක අතිශයින්ම වැදගත්. ලේඛකයින් ඔවුන්ගේ පුද්ගලික ජීවිත ගැන ලියනවා. නවකතාව හා ස්වයංචරිතාපදානය එකිනෙකින් වෙන්නොකරන්නේ ඒ නිසයි. ඔබ වෙනත් ලේඛකයින්ගේ කෘති කියෙව්වොත් මේ බව දැනහඳුනාගන්නට හැකිවේවි. නමුත්, ඔවුන් සමහර තොරතුරු වසන් කරනවා. එහෙම කළත් ඔවුන් ඔවුන්මයි. මා ස්ත්‍රී ලිංග අංගඡේදනය ගැන ලිව්වේ මාත් ඒ අත්දැකීමට මුහුණදුන්නු නිසයි. කාන්තාවෝ මේ අත්දැකීමට මුහුණදෙනවා. මා පිරිමියෙකු නොවුණත් පිරිමින්ගේ අංගඡේදනය ගැන ලිව්වේ කුඩා පිරිමි දරුවොත් මීට මුහුණදෙන නිසයි. මේ අත්දැකීම පුද්ගල ජීවිතයට බොහොම දරුණු විදියට බලපානවා, මානසිකව, සමාජයීය වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් බලපානවා. මෙවැනි අන්දමේ අත්දැකීමකට පෞද්ගලිකව මට මුහුණදෙන්නට සිද්ධවුණා යන්න ප්‍රශ්නයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ අත්දැකීමට පෞද්ගලිකව මට මුහුණදෙන්නට සිද්ධවුණා නම් මීට වඩා අරගල කරාවි. මේ පුද්ගලයින් අංගඡේදනය නොකළ යුතු බව ඔබ විශ්වාස කරනවාද ? ඔව්, 2011 දී වුණු ඊජිප්තු විප්ලවයෙන් පස්සේ මගේ පොත් අරාබියේ ඉන්න ජනතාවට හා ඊජිප්තු ජනතාවට කෙතරම් බලපෑවාද යන්න හොයාබලන්න වුවමනා වුණා. මොකද මගේ පොත් බොහොමයක් විවිධ රටවල පැතිරී ගොස් තිබුණා. ඉන්දියාවේ පවා. මගේ කෘති පරිහරණය කළ මායා කියන ඉන්දීය තරුණියක් මා ඇමරිකාවේදී කළ පාඨමාලාවකට සහභාගී වුණා මට මතකයි. නිර්මාණාත්මක බව හා විරුද්ධවාදය ගැන මා පාඨමාලාවක් කළා. ‘ඔබ ලියූ Woman at Point Zero කෘතිය මා කියෙව්වා‘ කියලා මායා කිව්වා. ‘මං මේ පාඨමාලාවට ආවෙත් ඒ නිසයි‘ කියලා ඇය කිව්වා. අනිවාර්යයෙන්ම මා ලියූ දේවල් වලින් බලපෑමක් ඇතිවුණා මිනිස්සු තවමත් තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද ? ඒක ඵෙතිහාසිකයි. දරුවන්ගේ ජනනේන්ද්‍ර පද්ධතියේ කොටසක් කපාදමන්නේ ඇයි ?, නොවන්නේ ඇයි ? දරුවන්ගේ කන් නොකපා ඔවුන්ගේ පුරුෂලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. ලිංගික අවයවයේ කොටසක් කපාදමන්නේ ඇයි ? මේක ඵෙතිහාසිකයි, ඒ වගේම පුරුෂ මූලික සමාජයට සම්බන්ධයි. පුරුෂ මූලික සමාජයේ සාරයන් වෙන්නේ මොනවද ? පුරුෂ මූලික සමාජය ගැන වචන දෙකකින් කිව්වොත්, කාන්තාවකට විවාහ කරගන්නට හැකිවෙන්නේ එක සැමියෙකු එක්ක විතරයි. පිරිමියෙකුට කාන්තාවන් කීපදෙනෙකුව විවාහ කරගන්නට හැකියි. නමුත්, එක් පිරිමියෙකු පමණක් විවාහ කරගන්නට නීතිය, බලය මගින් ඇයට බලකර සිටිනවා. හැම සංස්කෘතියක්, ආගමක් යටතේම ඇයව මීට පොළඹනවා. ඒක විවාහය අනිවාර්ය කරුණක් බවට පත්කරනවා. නමුත්, මේ ආගමික කාරණා, නීතිමය කාරණා පැමිණෙන්නට කලින් කාන්තාවන් ද පිරිමින් වගේම බහු විවාහකයි. Channel 4 News සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි

Monday, September 10, 2018

ෆ්‍රීඩා කාර්ලෝ ගැන ඔබ දැනගත යුතුම දේවල්

September 10, 2018 0 Comments
20 වන සියවසේ විශිෂ්ටතම කලා ශිල්පිනියක වූ ෆ්‍රීඩා කාර්ලෝ ගේ කලා නිර්මාණයන් තරමින්ම සුප්‍රසිද්ධ වූ ජීවන වෘත්තාන්තයක් තිබේ. ඇගේ දිවිය පදනම් කරගත් කෘතීන් මෙන්ම ඔස්කාර් සම්මාන ලැබූ සිනමා නිර්මාණ පවා ඇත. ඇය අනුගමනය කළ සුවිශේෂී විලාසිතා මෙන්ම ඇයට වඩා වසර 21 කින් වැඩිමහල් දියෝගු රිවේරා සමග ගතකළ දිවිය ගැන අදටත් කතාබහට ලක්වේ. ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණ තුළින් විදහා දැක්වෙන්නේ ඇගේම ජීවිතයයි. මේ ෆ්‍රීඩා ගැන එතරම් ජනප්‍රිය නොවුණු කරුණු කීපයකි. ෆ්‍රීඩා ස්ව ආලේඛ්‍ය චිත්‍ර වලට දැඩි ඇල්මක් දැක්වූවාය ෆ්‍රීඩා ඇඳ තිබෙන චිත්‍ර 143 න් 55 ක්ම ස්ව ආලේඛ්‍ය ඒවාය. සිය ජීවිතය තුළ මුහුණදුන් හදිසි අනතුර හා ඒ හේතුවෙන් සදාකල් විඳින්නට වූ වේදනාව සමනය කරගන්නට ඇය, ඇයවම චිත්‍රයට නැගූ බව පැවසේ. ඇය විඳි ශාරීරික මෙන්ම මානසික වේදනාව ද මේ හරහා මුදාහැර ඇත.
තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීම ෆ්‍රීඩා ට වයස අවුරුදු 6 දී ඇයට පෝළියෝ වැළඳුණු අතර මේ නිසා ඇගේ දකුණු කකුල වම් කකුලට වඩා කුඩා හා සිහින්වට දිස්විය. මේ නිසා නිතරම පාහේ දිගු සායවල් වලින් සැරසුණු ෆ්‍රීඩා ‍මේ පෙනුම ලෝකයෙන් වසන් කරගැනීමට උත්සහ දැරුවාය. නමුත්, ඇය පාසලේදී මේ බව අනාවරණය නොකර සිටියා. 1922 දී National Preparatory පාසලට සම්බන්ධ වූ ඇය මෙක්සිකානු සංස්කෘතිය සම්බන්ධයෙන් එකල ඇතිවූ නව ප්‍රබෝධයත් (indigenismo) සමග ගමන් ගත්තාය. මෙක්සිකන් සංස්කෘතියට ඇති නැඹුරුතාව පෙන්වීමට ඇය සිය සැබෑ වයසින් වසර තුනක් අඩුකර එය තම උපන් වර්ෂය බව පැවසුවාය. මෙක්සිකානු විප්ලවය පටන්ගත් 1910 වසරේ ජූලි 7 වැනිදා තමන් උපත ලැබූ බව ඇය පැවසුවාය. නමුත්, හැබෑවටම ඇය ඉපදුණේ 1907 ජූලි 6 වැනිදාය. ෆ්‍රීඩාගේ සිහිනය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි කුඩා වියේදී සිටම ෆ්‍රීඩාගේ දැඩි අභිලාෂය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි. කලාව ඇගේ විනෝදාංශයක් වී තිබූ අතර එය ඡායාරූප ශිල්පියෙකු වූ ඇගේ පියාගෙන් උරුමවූවකි. මේ සිහිනය බිඳවැටෙන්නේ වයස අවුරුදු 18 දී ඇය හා ඇගේ පෙම්වතා මුහුණදුන් මාරාන්තික අනතුරෙන් පසුවය. ඔවුන් ගමන් කරමින් තිබූ බස් රථය අනතුරකට ලක්වූ අවස්ථාවේදී බස් රථයේ තිබූ යකඩ අත්වැල ඇගේ සිරුර හරහා ගොස් උකුල ප්‍රදේශයෙන් පිටතට මතුවිය. මාස ගාණක් පුරා රෝහල් ඇඳට සීමා වූ ජීවිතයක් ගතකරන්නට ඇයට සිදුවිණි. ඉන්පසු ඇගේ පියා ඇඳේ සිටම චිත්‍ර ඇඳිය හැකි චිත්‍ර තබන විශේෂ ආධාරකයක් නිර්මාණය කරදුන් අතර මේ සමයේදී ෆ්‍රීඩා සිය කුසලතා එළිදක්වන්නට වූවාය. අනතුරින් පසුවද වරින්වර සිරුරේ ඇතිවූ නිදන්ගත වේදනාව මතුවූ අතර කශේරුකාව ආශ්‍රිත ශල්‍යකර්ම කීපයකට ඉන්පසුවද මුහුණදීමට සිදුවුණි. ෆ්‍රීඩා VOGUE සඟරාවේ කවරයට පෙනී සිටියාය Vogue පැරිස් සඟරාවට ඇය 1939 දී පෙනී සිටි බවට කටකතා පැතිරී ඇත. නමුත්, සැබෑවටම ෆ්‍රීඩා පළමුවරට මේ සඟරාවට පෙනී සිටියේ 1937 Vogue ඇමරිකානු සඟරාවේ ඔක්තෝබර් කලාපයටය. Senoras of Mexico නමින් ඇගේ රුවමෙහි පළවිය. එවක ඇගේ රුව සේයාරුවට නැගුවේ ටෝනි ෆ්‍රිසල් වන අතර මේ ඡායාරූප කවරයේ පළනොවුණි. 1939 දී ඇගේ රුව නිකොලොස් මුරෛ විසින් සේයාරුවට නැගූ අතර එය ආලේඛ්‍ය ඡායාරූපයක් ලෙස පළවිය. නිකොලොස් හා ෆ්‍රීඩා අතර සුවිශේෂී මිතුදමක් පැවතුණි. ෆ්‍රීඩාගේ මරණයෙන් පසුව වුවද ඇගේ රුව මේ සඟරාවේ පළනොවූ අතර 2012 වසරේදී Vogue මෙක්සිකානු සඟරාව නිකොලොස් විසින් ගත් ඇගේ ඡායාරූපය කවරයේ ඡායාරූපය ලෙස පළකෙරුණි. ඒ ඇගේ මරණයෙන් අවුරුදු 60 ක් ඉක්මවා ගිය පසුවය.
ලියොන් ට්‍රොට්ස්කිගේ මරණයට සැකපිට ෆ්‍රීඩා ට සිරගෙයි පසුවන්නට සිදුවිය ෆ්‍රීඩා හා ඇගේ සැමියා වූ දියෝගු රිවේරා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ දිගු කාලීන සාමාජිකයින් ය. සෝවියට් නායකයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කිට රැකවරණය ලබාදෙන මෙන් ඔවුහු 1937 දී මෙක්සිකානු රජයෙන් ඉල්ලා සිටියහ. ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ මේ දෙපළගේ නිවස වූ La Casa Azul හි වසර කීපයක් ලැගුම් ගත්හ. එමෙන්ම, ෆ්‍රීඩා හා ට්‍රොට්ස්කි අතර සමීප ඇසුරක් ද තිබුණු බව පැවසේ. රිවේරා, ෆ්‍රීඩාගේ සොහොයුරිය සමග ඇතිකරගත් ඇසුරක් නිසා ඇය මෙවැන්නකට පෙළඹුණු බව පැවසේ. රිවේරාගේ දේශපාලන බලාධිකාරය බිඳවැටීමත් සමග ට්‍රොට්ස්කි මෙම නිවහනින් නික්මී ගිය අතර 1940 දී ඔහු ඝාතනයට ලක්විය. මේ සිදුවීම නිසා ෆ්‍රීඩා මෙන්ම ඇගේ සොහොයුරියට ද සිරගතවීමට සිදුවූ අතර දින දෙකකට පසු ඔවුන් නිදහස් කෙරුණි. ෆ්‍රීඩා සිය ඒකපුද්ගල ප්‍රසංගයට සහභාගීවීමට යන්නේ ගිලන් රථයකිනි වරින්වර ඇගේ අසනීප තත්ත්වය උග්‍ර වීමත් සමග ජීවිතයේ අවසාන සමයේදී නිතර නිතර රෝහලට ඇතුළත් වීමට ෆ්‍රීඩාට සිදුවිය. සිය නිවහන වූ La Casa Azul වෙත සීමාවූ දිවියක් ගත කළ ෆ්‍රීඩා රෝද පුටුවක් හා කිහිලිකරුවක් ද ආධාරක ලෙස පාවිච්චි කළාය. නමුත්, කිසිවිටක නිර්මාණකරණයෙන් බැහැර නොවූවාය.
ඇගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මෙක්සිකෝවේ Galería Arte Contemporaneo හි 1953 අප්‍රේල් මස දී පැවැත්විණි. මේ සමයේදී ඇඳෙහි හිඳ විවේක සුව විඳිමින් සිටි ෆ්‍රීඩාට ඇඳෙන් නොබසින ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි. ඒ නියමය ද කඩනොකරමින් සිය නිදන ඇඳ ගිලන් රථයකට ඇතුළත් කළ ඇය එලෙසින්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණු ස්ථානයට පැමිණියාය. ගිලන් මැස්සක සිටි ෆ්‍රීඩා තමාගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු අයුරු සියැසින් දුටුවාය. මේ සිදුවීමෙන් මාස කීපයකට පසු ඇගේ දකුණු පාදයේ මස් කුණුවීමට පටන්ගත් නිසා එම පාදය දණහිසින් වෙන්කෙරුණි. චිත්‍ර ප්‍රදර්ශනයෙන් වසරක් ගතවූ තැන ඇයට වයස අවුරුදු 47 දී ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ කලා නිර්මාණ වාර්තාපිට වාර්තා තබන්නට සමත් විය The Frame නම් ඇගේ චිත්‍රය 1939 දී සිට ලූවර් හි ප්‍රදර්ශනය කිරීමත් සමග 20 වන සියවසේ ජීවත් වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පීන් අතරින් පළමුවරට ජාත්‍යන්තරයට ගිය කලාකාරිනිය බවට ඇය පත්වූවාය. ෆ්‍රීඩා 1938 දී චිත්‍රණය කළ ස්ව ආලේඛ්‍ය චිත්‍රය Musée National d’Art Moderne කොටසක් ලෙස ප්‍රංශයේ Pompidou Center හි ප්‍රදර්ශනයට තබා ඇත. ෆ්‍රීඩා බෙඳහෙළු එකම වාර්තාව එය නොවේ. ඇගේ චිත්‍ර ප්‍රසිද්ධ වෙන්දේසි වලදී ද වාර්තා තබන්නට සමත් විය. The Tree of Hope Stands Firm (1944) නම් ඇය ඇඳි සිතුවම 1977 දී Sotheby හි වෙන්දේසියේදී ඩොලර් 19,000 ක මිලකට අලෙවි විය. ඇගේ චිත්‍ර වලට හිමිව තිබූ වටිනාකම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට වූවේය. ෆ්‍රීඩාගේ චිත්‍ර මෙක්සිකෝවේ සංස්කෘතික උරුමයක් ලෙස 1984 දී ප්‍රකාශයට පත්කෙරුණු අතර ජාත්‍යන්තර චිත්‍ර වෙන්දේසි වලදී පවා ඇගේ චිත්‍ර සොයාගැනීම අතිදුර්ලභ විය. 1990 වන විටත් ඩොලර් මිලියනයකට වැඩි මිලකට වෙන්දේසි වටිනාකමක් හිමිවූ එකම ලතින් ඇමරිකානු චිත්‍ර ශිල්පිනිය ඇය වූවාය. මෙකලදී දියෝගුගේ චිත්‍ර ඩොලර් මිලියන 1.4 කට වැඩි මිලකට අලෙවි කෙරුණු අතර ෆ්‍රීඩාගේ චිත්‍ර වලට සුවිශේෂී වටිනාකමක් ක්‍රමයෙන් හිමිවන්නට විය. Two Lovers in a Forest නම් චිත්‍රය 2016 දී අලෙවි කෙරුණේ ඩොලර් මිලියන 8 කට ය.
ඇය ස්ත්‍රීවාදිනියක්, මෙක්සිකානු අනන්‍යතාව වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියක හා LGBT අයිතීන් වෙනුවෙන් වූ ව්‍යාපාරයේ සුවිශේෂී චරිතයකි ෆ්‍රීඩා ජනප්‍රිය සංස්කෘතියේ සුවිශේෂී චරිතයක් බවට පත්වන්නේ 1970 දී සිට පමණය. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙන් බටහිර නොවන කලාකාරිනියන් ඉවත් කර තිබීම ගැන ප්‍රශ්න කරන විද්වතුන් ෆ්‍රීඩා ගැන විශේෂ අවධානයක් යොමුකරයි. ලිංගික අනන්‍යතාව ගැන ඇය තුළ තිබූ විවෘතභාවය මෙහිදී විශේෂය. ෆ්‍රීඩා ද්විලිංගික තැනැත්තියකි. ඇය සැරසී සිටි සුවිශේෂී ඇඳුම්, පැළඳුම් LGBT සමාජයේ සංකේතයක් විය. මෙක්සිකානු අනන්‍යතාව හා මෙක්සිකානු සංස්කෘතියට කොලනිකරණයෙන් ලැබුණු දෑ ගැන නොසලකා හැරීම තුළ ෆ්‍රීඩා සිය මෙක්සිකානු අනන්‍යතාව විදහා දැක්වූවාය. ‘ෆ්‍රීඩාමේනියා‘ (Fridamania) නම් වදන ඇය හරහා බිහිවූවකි. කලාව සම්බන්ධයෙන් හැදෑරීම් කරන ඉතිහාසඥවරියක වන ඔරියානා බෑඩ්ලේ පවසන්නේ, ’ෆ්‍රීඩා 21 වන සියවසේ දී පවා තරුවක් ලෙස හඳුනාගන්නට හැකියි. රසික සමාජ හා වෙළඳ භාණ්ඩ තුළ ඇය වාණිජ සම්පතක් ලෙස හැඳින්විය හැකි බවයි‘

Thursday, August 23, 2018

නිදහස් අදහස් මඩින බංග්ලාදේශයේ ICT පනත

August 23, 2018 0 Comments
සමාජ මාධ්‍ය, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වාරණයෙන් තොර මාධ්‍යයක් වන බැවින් ඕනෑම අයෙකුට සිය මතය නිදහසේ පළකල හැකිවීම සමාජ මාධ්‍යයේ ඇති මූලික ලක්ෂණයක් වන බව විද්වත් මතය වී ඇත. නමුත්, රටක බලපවත්වන නීතියේ ස්වභාවය අනුව සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමාකම් පැනවීම සිදුවේ. මෑතකාලීනව ආසියානු කලාපය තුළ සුවිශේෂී අවධානයට ලක්වූ සිදුවීමක් වූවේ බංග්ලාදේශයේ ෂහිදුල් අලාම් ට එරට තොරතුරු හා සන්නිවේදන පනත යටතේ අත්අඩංගුවට ගැනීමයි. ෂහිදුල් අලාම් ට මොකද වුණේ ? මීට හේතුවූයේ මාර්ග ආරක්ෂාව හා ගමනාගමන ක්ෂේත්‍රයේ නිසි යටිතල පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් හඬ නැගූ (සීඝ්‍රයෙන් ධාවනය කළ බස් රථයක් නිසා දරුවන් දෙදෙනෙකු ජූලි මසදී මරු මුවට පත්වීම මීට හේතුවිය) බංග්ලාදේශ සිසුන් පසුගිය අගෝස්තු 5 වැනිදා සිට දින හතක් පුරාවට ඩකා නගරයේදී පැවැත්වූ උද්ඝෝෂණයට පක්ෂව අලාම් Al Jazeera වෙත පසුගිය 5 වැනිදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවයි. මෙහිදී ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටියේ සිසුන්ට තම සහයෝගය ලබාදෙන බවත් ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවන්ට විරුද්ධ වන බවත්ය. බංග්ලාදේශ ICT පනත යනු බංග්ලාදේශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ (ICT) 57 වන වගන්තිය යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු සපයන අතර ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් බව දක්වයි. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවේ. මෙමගින් අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු බන්ධනාගාරයේ රඳවා තබාගැනීමේ හැකියාව උදාවේ. අලාම්ට දඬුවම් පැමිණවීමට අවස්ථාව තිබෙන්නේ ද මේ යටතේය. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට දැඩි බාධා පමුණුවන මෙම ICT පනත මුල්වරට බංග්ලාදේශයට හඳුන්වාදෙන්නේ 2006 වසරේදී ය. ඉන්පසු 2013 වසරේදී මෙය සංශෝධනය කෙරුණි. අවම වශයෙන් වසර 7 ක සිරදඬුවමක් හා උපරිම වශයෙන් වසර 14 ක සිරදඬුවම් මේ පනත යටතේ නියම කිරීමට අවස්ථාව හිමිවන්නේ 2013 දී කළ සංශෝධනයට අනුව අනුවය. මෙම පනත සංශෝධනයට ලක්කිරීමේ අවශ්‍යතාවය මානව හිමිකම් ක්‍රියාධරයන් මෙන්ම ලේඛකයින් ද වරින් වර පෙන්වා දීමට කටයුතු කළේය. කෙසේවුවත්, දේශපාලන බලාධිකාරය හා නීති සම්පාදන ආයතන අද වනවිට මේ පනත දඩමීමා කරගනිමින් බංග්ලාදේශය තුළ කටයුතු කරන බව ඔවුන්ගේ අදහසයි. මෙම ICT පනත මුල්කරගෙන 2013 වසරේදී සිට 2017 දක්වා අතර කාලය තුළදී පමණක් ආසන්න වශයෙන් නඩු 700 කට ආසන්න ප්‍රමාණයක් පවරා ඇත. බංග්ලා වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කෙසේවුවත්, වාසනාවකට මෙන් මෙරට පවතින අණ පනත් යටතේ ෆේස්බුක් මාධ්‍යයේ හුවමාරු වන අන්තර්ගතයන්ට බංග්ලාදේශයේ තරම් දැඩි නීති රීති බලනොපැවැත්වේ. ජනපතිතුමා මෙන්ම අගමැතිතුමා ද හාස්‍යයට ලක්කරමින් නිර්මාණය කරන විකෘති ඡායාරූප තවමත් ෆේස්බුක් මාධ්‍ය තුළ හුවමාරු වන්නේ එබැවිනි. මෙම ICT පනත යටතේ බොහෝදුරට චෝදනා ලබා ඇත්තේ බංග්ලාදේශ අගමැතිනිය වන ෂීක් හසීනා ව විවේචනය කළ පිරිසය. ඇගේ ඇඳුම් පැළඳුම්, විදේශ ප්‍රතිපත්තිය, අගමැතිවරියගේ සාදයන්, කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ආදිය සම්බන්ධව මත පළකල පිරිස් වලට මෙහිදී දඬුවම් ලැබී ඇත. පොලීසියට මෙවැනි පැමිණිලි එල්ල කරන පාර්ශ්වය බවට පත්වී සිටින්නේ අගමැතිවරියගේ හිතවතුන් හෝ ඇගේ නිළධාරීන්ය. ICT පනත සම්බන්ධ පූර්වාපර සිද්ධි ගැළපීම 2018 අප්‍රේල් මසදී ඩකා නගරයේදී පැවති සිසු උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලිසියේ නිළධාරියෙකු මෙම පනතේ 43 වන වගන්තියේ සඳහන් වී තිබෙන ‘ෆේස්බුක් පෝස්ට් මගින් පුද්ගලයින් කුපිත කිරීම‘ සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොමු කර තිබුණි. අදාළ පෝස්ටුවට බොහෝ පිරිසක් ලයික් හා කමෙන්ට් පළකර තිබුණි. ICT පනතේ 57 වන වගන්තියේ සඳහන් ‘සමාජයට හානියක් විය හැකි හා ගැටුමක් ඇතිකරවන තත්ත්වයක් නිර්මාණය කිරීම‘ යන්න මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළය. 2017 වසරේදී ICT පනතේ ගොදුරු බවට පත්වූවෝ ජූලි 3 – ජමුනා රූපවාහිනී සේවයේ ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවෙකු වූ නස්මුල් හුසේන් ජූනි 23 වැනිදා සිය ෆේස්බුක් ගිණුමේ පළකල පෝස්ටුවක් සම්බන්ධයෙන් නඩු පැවරීම සිදුවිය. ඩිනජ්පූර් නීතිඥ සංගමයේ හසාරත් අලි බිලාල් විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබූ අතර අදාළ පෝස්ටුව ශෙයාර් කළ තිදෙනෙකුගේ නම් ද නඩුවේදී ඉදිරිපත් කර තිබුණි ජූනි 14 – Khulna Somoyer Khobor දිනපතා පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ කාසි මෝතර් රහුමන් බාබු හා එහි හිටපු වාර්තාකරුවෙකු වූ ෂොහාග් දේවන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නිළධාරීන් දෙදෙනෙකු විසින් නඩු ගොනුකර තිබුණි. ඔවුන් නැගූ චෝදනාව වූයේ වැරදි තොරතුරු සමාජගත කරඇති බවයි ජූනි 13 – bdnews24.com හි සේවකයෙකු වන ගොලම් මුජ්තාබා ඩුබ්රා පළකල ලිපියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ජ්‍යෙෂ්ඨ සහකාර විනිසුරුවරයෙකු වන මානික්අග්නි විසින් පැමිණිල්ලක් ගොනුකර තිබුණි ජූනි 6 – බ්‍රැක් සරසවියේ ආචාර්යවරයෙකු හා මාධ්‍යවේදියෙකු වන අෆ්සාන් චෞද්රි විසින් ෆේස්බුක් මාධ්‍යයේ හුවමාරු කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් ලුතිනන් ජනරාල් මසූඩ් උද්දින් විසින් චෞද්රිට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර ඇත. මැයි 16 – Asian Age හි නිපුන් චන්ද්‍ර දාස් හා සංජෝයි බැනර්ජ් ට විරුද්ධව නඩු ගොනු කිරීම සිදුවිය. හින්දු කාන්තාවකට අයිති ඉඩමක් මැරයින් පිරිසක් විසින් අත්පත්කරගැනීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් කළ වාර්තාව මීට හේතුවු අතර අවාමි ලීගයේ පිරිස් ඔවුන්ට එරෙහි චෝදනා ගොනුකර තිබුණි අප්‍රේල් 29 – Natunsomay.com වෙබ් අඩවියේ කර්තෘ වන අහමඩ් රාසු ට විරුද්ධව අප්‍රේල් 29 වැනිදා පෞද්ලික ආයතනයක් නඩු පැවරීම සිදුකළේ මේ වෙබ් අඩවියේ පළකල ලිපි දෙකක් මගින් තම ආයතනයේ ප්‍රතිරූපයට හානි සිදුවී ඇති බව පවසමිනි මාර්තු 30 – Sotto Khabar දිනපතා පුවත්පතේ කර්තෘවරයා හා ප්‍රකාශක වන හසිබර් රහුමාන් රිසූ ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය හරහා පෝස්ට් හුවමාරු කරගත් ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව කුෂීටා පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළේය. මේ අතර Bangla daily Darpan පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන අස්ලාම් අලි ද සිටියේය. මාර්තු 25 – වෙබ් අඩවියේ සංස්කාරක හා ප්‍රකාශක වන මෝර්සලින් බබ්ලාට එරෙහිව ෆටුල්ලා තානා ජූබෝ ලීගය් සභාපති වූ සොහේල් අලි නඩුවක් ගොනු කළේය. බබ්ලා විසින් පළකරන ලද ලිපියක අන්තර්ගත වී තිබූ කරුණු මීට හේතුවිය. මීට අමතරව, රබර් වත්තක කම්කරුවෙකු ලෙස සේවයේ නිරත වූ මොනිරුල් ඉස්ලාම් පසුගිය වසරේ අප්‍රේල් මසදී අත්අඩංගුවට පත්වන්නේ ෆේස්බුක් පෝස්ටුවකට ලයික් කළ බැවිනි. බංග්ලාදේශ අගමැතිවරිය ඉන්දියාවේ සිදුකරන සංචාරයක් ගැන අදාළ පෝස්ටුවේ විවේචනය කර තිබුණි. අගමැතිවරියට සහය පලකළ තැනැත්තෙකු ඉස්ලාම්ට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබුණු අතර මේ සිදුවීමෙන් ඔහු දැඩිව හිංසාවට හා වික්ෂිප්තයට පත්වූ බව එම පුද්ගලයා පවසා තිබුණි. සමාජ මාධ්‍ය මෙන්ම පුවත්පත් මගින් අදහස් ප්‍රකාශනය කිරීමේ අයිතිය 57 වන වගන්තිය යටතේ කඩවන බව හඳුනාගත හැකිය. ඔන්ලයින් මාධ්‍යයේ පළවූ ලිපි මගින් රටේ සිදුවන දූෂණය, නොමනාපාලනය ගැන හෙළිදරව් කිරීම හා පුද්ගල චරිත විවේචනයට ලක්කළ නිසා බංග්ලාදේශ ජනමාධ්‍යවේදීන් හා කර්තෘවරුන් බොහෝදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Habiganj Samachar පුවත්පතේ කර්තෘ තනතුර හෙබවූ ගෝලම් මුස්තාපා රෆීක් 2017 වසරේ ජූනි මසදී අත්අඩංගුවට පත්වන්නේ මෙහි අන්තර්ජාල සංස්කරණයේ පළවූ ලිපියක් හේතුවෙනි. අදාළ ලිපියෙන් පවසා තිබුණේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට නාමයෝජනා නොලැබෙනු ඇති බවයි. රෆීක් අත්අඩංගුවට පත්වූ පසු මීට එරෙහිව මාධ්‍යවේදීන් සිය හඬ අවදි කරන්නට විය. 2017 වසරේදී අවාමි ලීගයේ නීතිවේදියෙකු වන අබ්දුල් මජීඩ් ඛාන් සම්බන්ධයෙන් සිදුකළ වාර්තාකරණයක් පදනම් කරගෙන ජනමාධ්‍යවේදීන් තිදෙනෙකුට නඩු පැවරුණි. එමෙන්ම, ඩකා සරසවියේ ජනසන්නිවේදන හා පුවත්පත් කලා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන අබුල් මන්සූර් අහමඩ් සිය කාර්යමණ්ඩලයේ අයෙකුට විරුද්ධව කටයුතු කිරීමට ගත් පියවරක් වශයෙන් ද 2017 වසරේදී මෙම නීතිය යොදාගෙන ඇත. ඒ සහකාර කථිකාචාර්යවරයෙකු වූ ෆමිදුල් හඛ් ට විරුද්ධවය. ෆමිදුල් විසින් පළකරන ලද ෆේස්බුක් පෝස්ටුවක් මගින් විශ්වවිද්‍යාල රාජකාරි වලට සම්බන්ධ තොරතුරක් අනාවරණය කළ බව මන්සූර් මෙහිදී චෝදනා නගා සිටියේය. කෙසේ වුවත්, ෆමිදුල් සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමට තමන් සූදානම් බව පසුගිය වසරේ ජූලි 17 වැනිදා මන්සූර් තීරණය කළේය. නමුත්, ෆමිදුල් පෙර තමන් සිදුකළ වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලා ෆේස්බුක් පෝස්ටුවක් පළකල යුතු බව ද මන්සූර්ගේ තීරණය විය. The Daily Star, Global Voices හා Amnesty International ඇසුරිනි

බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා

August 23, 2018 0 Comments
කලා නිර්මාණ වලට මෑතකාලීනව පැනවුණු සීමාවන් ගැන සටහන් තබන විට සිහියට නැගෙන ප්‍රධාන නිර්මාණ කීපයකි. ඉන් පළමුවැන්න කේ.කේ. ශ්‍රීනාත් චතුරංග විසින් රචනා කෙරුණු ‘බුදුන්ගේ රස්තියාදුව‘, අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘මං කෙළින් මිනිහෙක්‘ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ (ONUR) අනුග්‍රහයෙන් මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කර ITN FM ඔස්සේ විකාශය කෙරෙන “රේඩියෝ කථා” ගුවන්විදුලි නාට්‍යයයි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙරට ව්‍යවස්ථාව මගින් සනාථ කොට ඇති පසුබිමක මේ නිර්මාණ කීපය කෙරෙහි බලපෑම් එල්ලවීම සිදුවී ඇත. ඉහත සිදුවීම් කීපයත් සමග වාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා රැල්ලක් ලෙස විවිධ ප්‍රකාශන ද පැතිරී යන්නට වූවේය. ‘බුදුන්ගේ රස්තියාදුව‘ ට වුණේ මොකක්ද ? කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පළමුවරට පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ එය එළිදැක්වුණු දිනයේදීම ය. මෙහි ප්‍රකාශක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ මහතා එදින පණිවිඩයක් සටහන් කරමින් පවසන්නේ ‘‘සවස 1.35 ට පමණ මිරිහාන පොලිසියේ CI ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් තුන් දෙනෙක් රෝයල් තැප්‍රොබේනියන් වෙත පැමිණියා. බත්තරමුල්ල තලාහේන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නැමති ස්ථානයක ලිපි ශීර්ෂයකින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට “බුදුන්ගේ රස්තියාදුව” නමින් බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වන බවත්, එය තහනම් කරන ලෙසත් ඉල්ලා ඇති ලිපියක ෆැක්ස් පිටපතක් ඉදිරිපත් කරමින් කෘතියේ කර්තෘ කවුදැයි විමසා සිටියා. කර්තෘව මේ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතු බවත් මුද්‍රිත සියලුම කෘති පොලිස් භාරයට ගන්නා බවත් දන්වා සිටියා.අප සියලු දෙනා ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ඔවුන්ට කරුණු පැහැදිලි කර සිටියා. CI ප්‍රියන්ත කෘතියේ අන්තර්ගතය කුමක්දැයි විමසා සිටිය විට එය කෘතිය කියවා තේරුම් ගත යුතු බව ශ්‍රී කියා සිටියා. “ඕවා කියවන්න වෙලාව නෑ” යනුවෙන් උස් හඬින් පැවසූ CI ප්‍රියන්ත කෘතියේ නමට කීප වතාවක් ඇඟිල්ලෙන් අනිමින් “මේ තියෙන්නෙ අපහාස කරල… මේ තියෙන්නෙ අපහාස කරල….” යනුවෙන් සාහිත්‍ය කෘතිය ගැන ඔහුගේ අදහස පවසා සිටියා. ශ්‍රී වත් මාවත් අත්අඩංගුවට ගැනීමට යම්කිසි නීතිමය ලියවිල්ලක් ඇත්දැයි මා විමසා සිටි විට ඔහු අතේ වූ ෆැක්ස් පත පෙන්වමින් මේක ප්‍රමාණවත් බවත් අපරාධයකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ලේඛන අවශ්‍ය නොවන බවත් පවසා සිටියා. අවසානයේ පොලිස් තර්ජනයටත් ඔවුන්ගේ ආක්‍රමණශීලී භාවයටත් යටත් වීමට අප හට සිදු වුණා. විජයාරාමයේ සිට මිරිහාන පොලිසිය වෙත අප රැගෙන යන කෙටි කාලය තුළ අප මේ සිදුවීම පිළිබඳව හැකි උපරිමයෙන් මිතුරන් දැනුවත් කළා. මිරිහාන පොලිසිය අභ්‍යන්තරයේ පැයක පමණ කාලයක් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් මාවත් ශ්‍රී වත් නිදහස් කළා. යළිත් අප විජයාරාමයට පැමිණෙන විට ඔවුන් විසින් රැගෙන ගිය පොත් සියල්ල නැවත රෝයල් තැප්‍රොබේනියන් ගෙනැවිත් බාර දී තිබුණා. “බුදුන්ගේ රස්තියාදුව” අපි ලෝන්ච් කළා.‘‘ යනුවෙනි. පොත එළිදැක්වීමෙන් පසුවද කෘතියේ නාමය සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක මැවුණු අතර ශ්‍රීනාත් චතුරංග ලේඛකයාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ තිබූ ඡායාරූප යොදාගනිමින් බුද්ධාගම සුරැකීමට එක්රොක් වන පිරිස් ලෙස පෙනී සිටි තැනැත්තන් අභූත චෝදනා නගමින් පවසන්නේ මෙහි කතුවරයා කිතුණුවෙක් වන බවත් ඔහු බුදුදහම විනාශ කිරීමට තැත්දරන බවත්ය. මෙය කෙතරම් සදාචාරවාදී දැයි තීරණය කිරීම ඔබට භාරය. කෙසේවුවත්, කෘතිය ප්‍රකාශයට පත්වී දින කීපයක් ගතවීමෙන් අනතුරුව අදාළ මුද්‍රිත කෘතියේ පිදුම වෙනුවට ව්‍යාජ පිදුමක් යොදාගනිමින් මෙහි PDF සමාජ ජාලා හරහා හුවමාරු වන්නට වූවේය. ‘බුදුන්ගේ රස්තියාදුව‘ රාජපක්ෂ ඇමතිතුමාගේ ඇසින් කෙසේවුවත්, මේ කෘතිය සම්බන්ධයෙන් ප්‍රබලව රාජ්‍ය මැදිහත්වීම සිදුවන බව දැක්වෙන්නේ ඊයේ (20) දිනයේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව පොලිස්පතිතුමා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, බුදුන් වහන්සේට හා බුදුදහමට නිගා කරමින් ‘බුදුන්ගේ රස්තියාදුව‘ නමින් කෘතියක් මුද්‍රණය කර බෙදාහැර ඇති බවත් මෙහි අන්තර්ගතය මගින් ඉතා පහත් ලෙස බුදුන්වහන්සේට නිග්‍රහ කර ඇති බවත්ය. මේ පිළිබඳ වැඩිදුරටත් පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ කෘතියේ කරුණු මගින් ‘එකී කතෘ, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් හා අලෙවිකරන්නන් දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 A, 291 A, 291 B වගන්ති යටතේ සාපරාධී වරදක් සිදුකොට ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එකී කර්තෘට, මුද්‍රණකරුවන්ට, බෙදාහරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි‘ යන්නයි. අමාත්‍යවරයා විසින් පොලිස්පතිතුමාට යොමුකර ඇති ලිපිය ‘මං කෙළින් මිනිහෙක්‘ ගියේ කොහෙටද ? අසංක සායක්කාර මහතාගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍යය පසුගිය අගෝස්තු 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හි දී හා 19 වැනිදා දෙහිවල එස්. ද එස් ජයසිංහ ශාලාවේදී රංගගත වීමට නියමිතව තිබුණි. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙම නාට්‍යයට ලබාදුන් රැඟුම් පාලක මණ්ඩල සහතිකය ආපසු කැඳවා ඇති බවත් ඒ අනුව රඟදැක්වීමට තිබූ දර්ශන වාර ද්විත්වය අවලංගු කිරීමට සිදුවූ බවත් අසංක සායක්කාර මහතා පසුගිය අගෝස්තු 17 වැනිදා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණි. ‘මං කෙළින් මිනිහෙක් නාට්‍යයට එරෙහිව ගෙන ගිය කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල සහතික ආපසු කැඳවා ඇති බව‘ ය. අසංක සායක්කාර මහතා ෆේස්බුක් ගිණුමේ පළකල සටහන සායක්කාර මහතා අදාළ කුමන්ත්‍රණ ගැන කිසිදු හෙළිදරව්වක් කර නොතිබීමද ප්‍රේක්ෂක කුතුහලය වඩවන කරුණකි. කෙසේවුවත්, මේ අවස්ථාවේදී ද බලපෑමට ලක්වී තිබෙන්නේ කලා කෘතියකි. මේ සිදුවීමත් සමග රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට මෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ද චෝදනා එල්ල වුණු නමුත් මේ සටහන ලියැවෙන මොහොත වනවිට මොවුන් දෙදෙනාම කිසිදු පැහැදිලි කිරීමක් සිදුකොට නැතිවීම ද කණගාටුවට කරුණකි. රේඩියෝ කථා – සෝභිත හිමිගේ කතා හා සංහිඳියාව මෙහිදී අවධානයට ලක්කෙරෙන අනෙක් නිර්මාණය මාලක දේවප්‍රිය මහතා විසින් නිර්මාණය කෙරුණු ගුවන්විදුලි නාට්‍ය මාලාවයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ අනුග්‍රහයෙන් ITN FM ඔස්සේ විකාශය කෙරෙන මෙම නාට්‍ය මාලාව බුදුදහමට අපහාසයක් බව ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා නගයි. ඒ ගැන අදහස් පළකරන සෝභිත හිමි පවසන්නේ, ‘‘බුදුදහමට විරුද්ධව, බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව විවිධ ආකාරයෙන් එලඹෙන ප්‍රතිවිරෝධතා මැඩලන්න ප්‍රයත්නයක් අපට තවම නැහැ නේද ? කියලා හිතෙනකොට ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි අපි අසරණ වෙලා වගේ දැනෙනවා. ශ්‍රී ලංකාවේ තියෙනවා ජාතික සමගිය හා සංසිඳියාව ඇතිකිරීමේ කාර්යාංශය. මේ කාර්යංශය මගින් අලුතින් නාට්‍ය නිර්මාණ 10 ක්, කුමටද මේ ජාතික සංහිඳියාව ජාතික සමගිය ඇතිකරන්න. මේ නාට්‍ය වල නම් එකක් තමයි ‘තරුවන් සරණයි, නිහොන් සුව ලැබේවා, නිර්වස්ත්‍රං පරමං සුඛං‘. මේ කුමක්ද අරමුණ රජයේ මාධ්‍ය උපයෝගී කොටගෙන බෞද්ධයන්ට පහරදීමේ ව්‍යායාමය, ව්‍යාපාරය‘‘ යන්නයි. ‘කණේ පහර‘ නමින් අදාළ ගුවන්විදුලි නාට්‍ය මාලාව නම්කර ඇති බවත් මෙමගින් බුදුදහම අපහාසයට ලක්වන බවත් සෝභිත හිමි නගන චෝදනාව වී ඇත. ආන්දෝලනයට තුඩු දී ඇති මෙම කලා කෘති සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි මැදිහත්වීමක් සිදුකරන පිරිසක් ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) හඳුනාගත හැකිය. මීට පෙර ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය එළිදුටු දිනයේදී ද බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට මෙහි නම මගින් බුදුදහමට අපහාස කරන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඉන්පසු, නැවතත් පසුගිය අගෝස්තු 9 වැනිදා මිරිහාන පොලීසිය ඔවුන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. මොවුන්ගේ තර්කය වී තිබෙන්නේ මෙම නම යොදාගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ වරදක් බවයි. මේ සමගම බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) ඊයේ දිනයේදී පොලිස්පතිතුමාට පැමිණිලි කරමින් පවසන්නේ මෙරට සංහිඳියාවට බාධා පමුණුවන සාමය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශය විසුරුවා හිටපු ජනපතිනිය නීතිය හමුවට පැමිණවිය යුතු බවයි. බෞද්ධ සංකල්ප ගර්හාවට ලක් කරන නාට්‍ය මාලාව තහනම් කළයුතු බවට ද ඔවුන් පොලිස්පතිතුමාට පවසා ඇත. බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) ඊයේ දිනයේදී පොලිස්පතිතුමාට කළ පැමිණිල්ල සම්බන්ධ ලිපිය කෙසේවුවත්, සංහිඳියා කාර්යාංශය ඊයේ (20) දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති ‘රේඩියෝ කථා‘ නම් මෙම නාට්‍ය මාලාව ITN FM ඔස්සේ අගෝස්තු 03 දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වන බවත්, කිසිලෙසකින්වත් මෙමගින් බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුනොවන බවයි. කෙසේවුවත්, ‘‘මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට තීරණය කළෙමු‘‘ යන්න ද අදාළ නිවේදනයේ දක්වා ඇත. ප්‍රකාශනයේ නිදහස හා කලාකරුවන්ගේ මැදිහත්වීම මේ සම්බන්ධයෙන් හඬ නැගීමට එක්වූ පිරිස් ඊයේ (20) දිනයේදී සිය අදහස් ප්‍රකාශ කරන්නට එක්වූවෝය. ප්‍රියන්ත කොඩිප්පිලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සියලුදෙනා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. එමෙන්ම, අශෝක හඳගම මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙන්නේ, ‘‘කලාවේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින අප, ප්‍රකාශනයකට එරෙහිව එන ආගමික, දේශපාලනික, සංස්කෘතික ආදී සකලවිධ වාරණයන්ට එරෙහිවන බලවේග සමඟ කොන්දේසි විරහිතව පෙලගැසෙමු. කලාකෘතියක ගුණ නුගුණ විචාර ක්‍රමවේදයක් තුල විමසනු ඇරෙන්න, වාරණය කිරීම එක් අතකින් කලාකරුවාගේ ප්‍රකාශන අයිතියද තව අතකින් එම කලාකෘතිය විඳිනු රිසි අයගේ අයිතියද උල්ලංඝනය කිරීමකි. එහෙයින්, කලාවට තහනම් නියෝග පැනවීම ම අසංස්කෘතික ය. අපි එයට එරෙහි වෙමු. එමෙන්ම පොතක්, නාට්‍යයක්, චිත්‍රපටයක් වාරණය කරන්නැයි කෙරුණු මෑතකාලීන ඉල්ලීම් පිටුපස බොහෝ දුරට සිටියේ ‘රජය’ නොව ආගමික සංස්ථා බව ද සිහිපත් කරගැනීම වැදගත් වෙයි. රාජ්‍යය ආගමික වගකීම් වලින් නිදහස් කරගැනීම සටන් පාඨයක් ලෙස ඉදිරියට ගෙන ඒමට සායක්කාර ගේත්, මාලක ගේත් කෘතීන් ට පැනවෙන තහංචි වෙනුවෙනුවෙන් පෙළගැසෙන අය සුදානම් ද යන්න ද විමසා බැලීම වටී‘‘ යන්නයි. මෙහිදී ඔහු අවධාරණය කර සිටින්නේ මෑතකාලීනව කලා කෘති වාරණය කිරීම පිටුපස සිටියේ රජය නොව ආගමික සංස්ථා බවයි. මෙරට තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇති අන්දම හා ජාත්‍යන්තරය තුළ ඊට ලබාදී තිබෙන වැදගත්කම ද හඳුනාගත හැකිය. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබෙන ලියවිලි භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය තුළ සඳහන් කර තිබෙන්නේ මෙලෙසිනි. ‘‘සෑම පුරවැසියෙක්ම භාෂණයේ යෙදීමේ නිදහස හා මුද්‍රණය කිරීම ඇතුළු ප්‍රකාශන සඳහා නිදහසට අයිතිවාසිකම් ලබයි‘‘ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව සඳහන් වන්නේ, ‘‘සෑම පුද්ගලයෙක්ම අදහස් දැක්වීමේ නිදහසට හා ප්‍රකාශනයට අයිතිවාසිකම් ලබයි. මෙම අයිතිවාසිකම් තුළ මැදිහත්වීම් සහ නිරීක්ෂණයන්ට ලක්වීමෙන් තොරව අදහස් දැරීමටත්, තොරතුරු සහ අදහස් ඕනෑම මාධ්‍යයක් හරහා සීමා මායිම්වලින් තොරව ලබා ගැනීම හා බෙදාහැරීමත් අන්තර්ගත වේ.‘‘ යනුවෙනි. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ 19 වන වගන්තිය තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව දක්වා තිබෙන්නේ, ‘‘සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලුම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම් වලින් තොරව ප්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.‘‘ යන්නයි. එහෙම වෙන්නේ ඇයි ? කේ.කේ. ශ්‍රීනාත් මහතාගේ කෘතියේදී මෙන්ම සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කළ පාර්ශ්වයේ මූලික චෝදනාව වී තිබෙන්නේ මෙමගින් බුදුදහමට නිගා කරන බවයි. පෙර අශෝක හඳගම මහතා විසින් සඳහන් කරන ලද අන්දමට මෙම ක්‍රියා දෙක තුළින්ම ආගමේ නාමයෙන් කලාකෘති වලට සීමා පැනවීමට කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනේ. එහිලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) මෙන්ම ඕමල්පේ සෝභිත වැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම ද ප්‍රබලය. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ ෆෙඩ්රිකෝ ෆෙලනි වරෙක පැවසුවේ ‘‘වාරණය යනු රජයේ අනුග්‍රහයෙන් ලබාදෙන ප්‍රචාරණයයි.‘‘ බවයි. කෙසේවුවත්, යහපාලනයක් රට තුළ ස්ථාපිත කරන බවට පොරොන්දු වී බලයට පත්වූ පිරිසක් ආණ්ඩු කරන සමයක ආගම හෝ දේශපාලන බලාධිකාරයේ මැදිහත්වීමෙන් කලා නිර්මාණ වලට කුමන අයුරින් හෝ සීමා පැනවීම යුක්ති යුක්ත නොවේ.

සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට දිවිගෙවීම ඊටත් වඩා අසීරුයි – ඩේමියන්

August 23, 2018 0 Comments
’ඔබ හැබෑ නිර්මාණකරුවෙකු නම් ඔබේ නිර්මාණයන් කළයුත්තේ ඔබේ අත්දැකීම්, හැඟීම් හා සැබෑ ජීවිතය ඇසුරිනුයි. හැබෑවටම බොහෝ සංගීතඥයින් අපූර්ව දෑ නිර්මාණය කරන්නේ එවැනි අත්දැකීම් ඇසුරිනුයි. හැබෑවටම, ඒ අත්දැකීම අතිශය චිත්තාකර්ෂණීය බව මා දන්නවා.‘‘ La La Land සිනමාපටය හරහා ලොවක් හඳුනාගත් ඔහු 2017 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම සිනමා අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගන්නවා. ඒ මෙම සම්මානය දිනාගත් ළාබාලතම අධ්‍යක්ෂවරයා වෙමිනුයි. ඔහු Damien Chazelle. තවමත් තිස් දෙහැවිරිදි වියේ පසුවන මේ නිර්මාණකරුවා La La Land සිනමාපටයට අමතරව සිදුකළ නිර්මාණ අතර Guy and Madeline on a Park Bench (2009), Whiplash (2014) හා First Man (2018) ප්‍රමුඛයි. මෙහි පළවන්නේ ඔහු විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි. පුංචි කාලේ ඉඳන්ම සිනමා ශිල්පියෙකු වීමේ දැඩි වුවමනාවක් තිබුණා කුඩා කාලේ ඉඳන්ම ඔබට තිබුණේ සංගීතඥයෙකු වීමේ බලාපොරොත්තුවක්ද ? නැහැ, ඇත්තටම මගේ සිහිනය වුණේ සිනමා නිර්මාණකරුවෙකු වෙන්නයි. චිත්‍රපටි හදන්න, ඒවට සංගීතය පැත්තෙන් අත්හදා බැලීම් කරන්නත් වුවමනා වෙලා තිබුණා. ප්‍රින්ස්ටන් වල උසස් පාසලේ ඉන්න කාලේ ප්‍රමුඛ පෙළේ ජෑස් වැඩසටහනක් තිබුණා. පුංචි හෝ සංගීත හැකියාවක් තියෙන ඕනම කෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තුව වුණේ ඒ කණ්ඩායමට ඇතුල් වීමයි. මේක පාසල් සංගීත කණ්ඩායමක් වුණත් විශ්වවිද්‍යාල සංගීත කණ්ඩායමකට වඩා ඉදිරියෙන් තිබුණා. දේශීය මට්ටමින් තිබුණු සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙය හඳුනාගන්නට හැකියි. ඉතිං, මම විනෝදාංශයක් විදියට ඩ්‍රම් ගහන්න පුහුණු වුණා. අවසානයේදී මේ විනෝදාංශය මගේ ජීවන විලාසය වගේම ජීවිතයට දැඩිව බලපෑ අත්දැකීම බවට පත්වුණා. ඒ සංගීත ශිල්පියා පසුකාලෙක සිනමා නිර්මාණකරුවෙකු බවට පත්වෙනවා. ඒ ගැන සිහිපත් කළොත් ? අනිවාර්යයෙන්ම. මං සිනමාවට දැඩිව ඇළුම් කරනවා. ඒ ඇර වෙන කිසිම දෙයක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. හැමදේම සර්වසම්පූර්ණ විය යුතු බව හා මගේ ජීවිතයට සංගීතය දැඩිව බලපෑ ඇති අදටත් මගේ විශ්වාසයයි. ඩ්‍රම්ස් වාදනය මගේ ජීවිතයට කොයිතරම් නම් බලපෑවද කිව්වොත් එය මාව පෞරෂවත් තරුණයෙකු බවට පත්කළා. ඒ වගේම මගේ සංගීත උපදේශකතුමා ඇතිකරපු බලපෑම ගැනත් සිහිපත් කළයුතුයි. වාදන ශිල්පියෙකු විදියට මට වැදගත් වුණේ ප්‍රේක්ෂකයින් හෝ මාව සතුටු කිරීම නොවෙයි. මගේ ගුරුවරයව සතුටු කිරීමයි. මගේ හැම අරමුණක්ම, හීනයක්ම යොමුවී තිබුණේ ඔහු වෙතටයි. ඇත්තටම, මේ හරහා පුද්ගලයකුට දැවැන්ත බලයක් ලබාදෙනවා. මගේ Whiplash සිනමාපටය හරහා පසුකලෙක ඉදිරිපත් කරන්න උත්සහ කළෙත් එයයි. එදා හා අද ගැන කතා කළොත් ? හ්ම්, ඒ පරිසරයේ ඉඳලා අද වෙද්දි වසර 10 ක් ගතවෙලා තිබෙනවා. ආපහු හැරිලා බලද්දි ඇත්තටම දිගු කාලයක්. ඒ අතරතුර කාලයේදී සිද්ධ වුණු දේවල් ගැන පැහැදිලි අදහසක් නැහැ. ඒ වගේම ගතවෙලා ගියපු ඒ කාලය වෙනුවෙන් අපට කිසිවක් කරන්න ලැබෙන්නෙත් නැහැ. ඒ කාලයේදී වාද්‍ය වෘන්දයක් ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. උපදේශකවරයා කාමරයට එන හැමවෙලාවකදීම හදවත ගැහෙන්න ගන්නවා. හැම පුහුණුවකදීම නොමැරී බලා ඉන්නට සිද්ධවෙනවා වගේ හැඟීමක් දැනෙන්න ගත්තා. ඒත්, අද මම ඉන්නේ වෙනමම තැනක. සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට ජීවත්වීම ඊටත් වඩා අසීරුයි ජෑස් වලට කැමති අය බොහෝ විට පුහු වැඩ කරන අය විදියට ප්‍රසිද්ධයි. ඔබ ඔබ සමගම අරගල කරන්නේ ඒ නිසාද ? මං හිතන්නේ එහෙමයි. ජෑස් සංගීතයට සවන්දෙන සාමාන්‍ය මිනිස්සු ඒ වෙනුවෙන් කිසිම සේවයක් කරන්නේ නැහැ. ජෑස් වලට තදින්ම සවන්දෙන පිරිස ඇහුවොත්, ඇයි සාමාන්‍ය මිනිස්සු ජෑස් වලට සවන්නොදෙන්නේ කියලා, ඒකට උත්තර වෙන්නේ ඔවුන් එහෙම කරන්නේ ඔවුන් ගැනම බලන්න වුවමනා නිසයි. ජෑස් වලට සවන් දුන්නු කෙනෙක් විදියට මාත් එවැනි පිරිස් වලට ටිකක් විතර අනුකම්පා කරනවා. ඒත් ඔබටත් සහකම්පනයක් දැනෙන්න ඕන. ජෑස් සංගීතඥයින් අළලා නිර්මාණය වුණු Guy and Madeline on a Park Bench සිනමාපටයේදී බොහොම රසවත් අත්දැකීම් රැසකට මුහුණදුන්නා. සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට ජීවත්වීම ඊටත් වඩා අසීරුයි. පහුගිය පරම්පරාවේ ජෑස් සංගීතඥයින්ට මං දැඩිව ඇළුම් කරනවා. ‘රොක් සංගීතඥයෙකු නෝට්ස් තුනක් වාදනය කරලා මිලියනයක් උපයද්දි ජෑස් සංගීතඥයෙකුට ඩොලර් තුනක් උපයන්න නෝට්ස් මිලියන ගාණක් වාදනය කරන්න වෙනවා.‘ ජීවත්වීම අතිදුෂ්කර වුණත් තමන්ගේ මහන්සිය ගැන ජෑස් සංගීතඥයින් හාස්‍ය මුසු විදියට කතා කළේ එහෙමයි. ඔබ මුලින්ම නැරඹූ සංගීතමය සිනමාපටය කුමක්ද ? මගේ මතකයේ රැඳිලා තියෙන්නේ The Wizard of Oz ඩිස්නි සිනමාපටය. ඇත්තටම, මට වයස අවුරුදු 18 – 19 වනතෙක් සංගීතමය හොලිවුඩ් සිනමාපට ගැන අදහසක් තිබුණේ නැහැ. ඒකත් වයසක් එක්ක දැනෙන දෙයක්. අද ඉන්න තරුණ ළමයෙක්ට Singing in the Rain සිනමාපටය අනිවාර්යයෙන්ම ඔවුන් සතුටු වේවි. ඒත්, එක වයසකට ආවම තවදුරටත් එවැනි සිනමාපටයන් රසවත් නිර්මාණ විදියට දැනෙන්නේ නැති මෙහොතක් එළඹෙනවා. මුල්කාලයේදී සංගීතමය සිනමාපට වලට එතරම් කැමැත්තක් මා තුළ තිබුණේ නැහැ. අතරමැද්දේ සිංදු ඇහෙන එක දැනුණේ වදයක් විදියටයි. නව අත්හදාබැලීම් සමගින් මං චිත්‍රපටි වලට පිවිසුණා. Maya Deren වගේ පර්යේෂණාත්මක නිර්මාණකාරිනියක්, Fred Astaire වගේ නර්තන ශිල්පියෙකු හා Ginger Rogers වැනි නර්තන ශිල්පිනියක් නැත්නම් Busby Berkeley වැනි නිර්මාණකරුවෙක් වගේ අයගේ සිනමාපට ගත්තම එවැනි සිනමාපටයන් පෙරටුගාමී පරපුරේ නිර්මාණ බව හඳුනගන්නට හැකියි. හොලිවුඩ් චිත්‍රාගාර වල බොහොම ලස්සන, අභිමානවත් වගේම ආකර්ශණීය නිර්මාණ පවතිනවා. ඒ නිර්මාණයන් සිනමා ෂානර වලට පවා අභියෝග කරනවා. ඒ අකීකරුකමම තමයි මගේ නිර්මාණ වල මූලාරම්භය වෙන්නෙත් සමහර වෙලාවට මේ නිර්මාණ කිරීමේ දුෂ්කර බව මට නොදැනුණා නොවේ. ඔබේ සියලුම නිර්මාණ වලින් පාහේ කතාබහ කර තිබෙන්නේ සමාජය ගැනයි. ඔබේ නිර්මාණ හරහා ලෝකයට ඉදිරිපත් කරන දේවල් ගැන කවදහරි විශේෂයෙන් සැලකිලිමත් වී තිබෙනවද ? ඔව්, විශේෂයෙන්ම La La Land සිනමාපටය. මේ සිනමාපටය හරහා එහි හිණිපෙත්තටම ගිය බව මට දැනුණා. La La Land සිනමාපටය වගේ අන් කිසිම නිර්මාණයක් ගැන මං වියවුලට පත්වෙලා නැහැ. මෙය පළමු වරට ප්‍රදර්ශනය කරපු සවස ඒ බව මගේ හදවතට දැඩිව දැනෙන්න ගත්තා. අඩු තරමේ මට හරි හැටි නිදාගන්නවත් නොහැකි වුණා. ඒත්, මෙවැනි අත්දැකීම් කියන්නෙම තව තවත් නිර්මාණ කරන්න අපිව පොළඹවන සිදුවීම් බව නම් නොරහසක්. La La Land සිනමාපටය හරහා මූලික වශයෙන් ඔබ කතාබහ කරන්න උත්සහ කළේ මොකක්ද ? ආදරය කරන උදවිය හා අපේ හීන වලට අප දක්වන කැපවීම, ඒ වගේම ඒ තුළ බිහිවෙන කලා නිර්මාණ ගැන මෙහිදී කතාබහ කරන්න උත්සහ ගත්තා. මේ ගැටුම සාම්ප්‍රදායික ජෑස් පියානෝ වාදකයකු වුණු සෙබස්තියන් කියන චරිතය තුළ හඳුනගන්නට හැකියි. La La Land සිනමාපටය සංගීතමය සිනමාපටයක් ලෙස නිර්මාණය කිරීමේදී ඔබේ අරමුණ වුණේ මොකක්ද ? අතීතයේ දේවල් ආයෙත් මතක් කරන්න ගියාම නැතිවුණු දේවල් වගේම හා නොනැසී පවතින දේවල් ඇති බව මට දැනෙනවා. ඒ වගේම ඇත්තටම මගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ඒ දේවල් අලුත් කරන්න උත්සහ දැරීමයි. ඒ සම්ප්‍රදායට අලුත් අර්ථකතනයක් එක්කිරීමයි. මේ නිසා සිනමාපටය නිශ්චිත කාලයකදී දිගහැරෙන ලෙස නිර්මාණය කළා. මීට නවීනත්වයත් එක්කළා. මොකද අද පවතින කැමරා ශිල්ප ක්‍රම හරහා අලුත් දේවල් එකතු කරන්න හැකියාව තියෙනවා. 50 දශකයේ සංගීත ඇසුර ලබාගනිමින් නවීන අංග ද එක්කර අද ලෝකයට ගැළපෙන විදියේ නිර්මාණයක් කළා. La La Land හරහා යථාර්තය නැවත නිෂ්පාදනය කරන්න හැකිවුණා ඔබේ කළ මේ උත්සහය ප්‍රේක්ෂකයින් අතරට ගිය බව හොඳටම විශ්වාසද ? 70 දශකයේ නිර්මාණ ගත්විට ඒ තුළ යථාර්තය දැකගන්නට හැකිවුණා. La La Land හරහා යථාර්තය නැවත නිෂ්පාදනය කරන්න හැකිවුණා. සිනමා නිර්මාණයකදී සිද්ධවෙන්න ඕන එයයි. පරණ හොලිවුඩ් සිනමාපට ගත්තම, දැවැන්ත චිත්‍ර ඇඳ තිබුණු පසුබිම් දර්ශන, හැබෑ ජීවිතේ ඉන්න මිනිස්සුන්ට වඩා වෙනස් විදියට කතාබහ කරන, හැසිරෙන මිනිස්සු දැකගන්නට හැකිවුණා. ඒ වගේම පරණ තාලේ සිනමා තරු කියන අදහස එකල තිබුණා. මේ සිනමාපටය ඊට වඩා වෙනස්. සංගීතමය සිනමාපට හා ඒ මඟ අනුව යමින් නිර්මාණය වුණු La La Land ගැන කිව්වොත් ? වෙනස් අන්දමේ ඕනෑම නිර්මාණයක් සිදුකිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ අතරින් සංගීතය මුසුවුණු නිර්මාණයක් කිරීම මූල්‍යමය වශයෙන් බැලුවත් ඇත්තටම අසීරුයි. කලින් තිබුණු ජනප්‍රියත්වයත් උපයෝගී කරගනිමින් මේ නිර්මාණ දියත් කරන්න අපිට සිද්ධවෙනවා. මේ අතරින් සමහර නිර්මාණ ගත්තම ඒවා අතිවිශිෂ්ඨ නිර්මාණ ලෙස හඳුනගන්නට හැකියි. නමුත්, මේ අදහස නැතිවුණොත් ඒක පොදු කාරණයක් බවට පත්වෙනවා. සංගීතය හා සංගීතමය බව තිරයේදී අනිවාර්යයයෙන්ම තේරුම්ගන්නට සිද්ධවෙනවා. ඇත්තටම මේක දෙකක්. ස්වර සංවාදයේදී මේ ක්ෂේත්‍රයන් සැබැවින්ම නැමෙනවා හරියට Jacques Demyගේ සිනමාපට වලදී වගේ. La La Land මෙන්ම Whiplash සිනමාපටයේ තේමාව බවට පත්වී තිබෙන්නේ සිහින හඹායෑම හා ඒ සිහින සැබෑ නොවුණු විට දැනෙන අසාර්ථකත්වය ගැනයි. නිර්මාණකරුවෙකු විදියට ඇත්තටම ඔබටත් එවැනි හැඟීම් දැනුණු අවස්ථා තිබෙනවද ? ඇත්තටම, මේ තේමාව මට සමීපයි. La La Land සිනමාපටය රචනා කරන විට එය මට ස්පර්ශ කරන්න හැකිවුණා. දෙයක් හොඳට වෙනවද නැද්ද කියන එක තුළ පරාජයක් තියෙනවද ? බලාපොරොත්තු කඩවීමක් තිබෙනවද කියා මට දැනෙනවා. කලාකරුවෙකු විදියට අපි කරන නිර්මාණයක් සමහරවිට අපේ ගැළවීමේ මඟ වෙන්නටත් හැකියි. ඒ වගේම අනික් පැත්තෙන් බැලුවොත් නිර්මාණයක් නිසා අන්ත පරාජයක් අත්වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, ජීවිතයෙන් පලායන්න කාටවත් බැහැ. අනිවාර්යයෙන්ම අපිටත් වාරයක් හිමිවෙන මොහොතක් තියෙනවා. විශේෂයෙන්ම, ලොස් ඇන්ජලීස් වගේ නගරයක් ගත්තොත් කොහොමටවත් පලායන්න හැකිවෙන්නේ නැහැ. ඒ අත්දැකීමේ අකාරුණික බව ග්‍රහණය කරගන්න ඇත්තටම මට වුවමනයි. La La Land හා Whiplash කියන සිනමාපට ගත්තොත් මේ දෙකේම අවසානය අතිඋත්කර්ෂවත් විදියට නිර්මාණය වී තිබෙනවා. සිනමාපටයක අවසානය ගැන ඔබෙන් දැනගන්න කැමතියි ? මේ සිනමාපට දෙකේදීම දැකගන්නට හැකිවෙන්නේ තරමක සංකීර්ණ බවක් තියෙන භාවාත්මක අවසානයක් නිර්මාණය කරන්න ගත්ත උත්සහයයි. ඕනෑවට වඩා ආදරයෙන් පිළිගැනීමත් බොහෝ සිනමාපට වල අවසානය විකෘතියක් වෙන්න හේතුවිය හැකියි. හැමවිටම සිනමාපටයක් ක්‍රමයෙන් අඳුරට හැරිලා අවසන් කරන්න මං කැමතියි. ඒ වගේ වෙලාවකදී මට හිතෙන්නේ ‘මොන විකාරයක්ද ?. තව පැය භාගයක් වත් තියෙන්න ඕන‘ කියලයි. ‘ඒ ෆිල්ම් එක අවසන් වෙන විදිය නම් මරු‘ කියලා හිතෙන සිනමාපට තියෙන්නේ කලාතුරකින්. වැදගත්ම දේ වෙන්නේ අපිට මේ හැඟීම දනවන්නට හැකිවෙන්නේ සිනමාපට වලින් පමණක්මයි. පොතකදී නම් පොතේ අවසාන පිටුව පෙරළා බලන්න අපිට පුළුවන්. ඒත්, සිනමාපටයක අවසානයකදී අපි පුදුමයට පත්වෙන්නට හැකියි. La La Land සිනමාපටයේදී Emma Stoneහා Ryan Gosling අපූරුවට නර්තනයේ හා ගායනයේ යෙදෙන අයුරු දැකගන්නට හැකියි. නමුත්, ඔවුන් Ginger Rogers හා Fred Astaire තරම් විශිෂ්ඨයින් නොවන බව පැවසෙනවා. ඒක ඇත්තටම සැලකිල්ලෙන් කරපු තෝරාගැනීමක්ද ? ඔවුන් දෙදෙනාගේ රංගනය ගැන කතාකරන්න කලින් සංගීමය සිනමාපට ගැන කිව යුතුයි. අපි සංගීතයට එතරම් විවෘත වී නැහැ. සංගීතමය සිනමාපටයකදී ප්‍රේක්ෂකයින්ගෙන් අඩක්ම ඉන්නේ කුමක් හෝ මඟහැරේවි කියන දෙගිඩියාවෙනුයි, ඇත්තටම, සංගීතමය සිනමාපට කියන්නේ වඩාත්ම සැබෑ සිනමා ශානරයයි. මොකද ඒවා භාවාත්මක වශයෙන් සත්‍යයයි. හැබෑම විදිය ඒක නොවුණත් ලෝකය අපට දනවන විදිය වෙන්නේ එයයි. ඒ හැඟීම ගන්න අපිට මායාවන්ගෙන් හා පිට ඔපයන්ගෙන් ගැලවෙන්න සිද්ධවෙනවා. ප්‍රේක්ෂකයෝ විදියට ඔවුන් කරන්නේ මොකක්ද යන්න ගැන දනවන්න මෙහිදී සිද්ධවෙනවා. මේ කාරණයේදී Emma හා Ryan අනිවාර්යයයෙන්ම සියුම් විදියට ඔවුන්ගේ රංගනය ඉදිරිපත් කළ යුතු වෙනවා. සිනමාපටයේ රූගත කිරීම් වලදී වත් මෙහි පුහුණුවීම් පිටස්තර පාර්ශ්වයන් වලට දැකබලාගන්න ඉඩ දෙන්න මට කොහොමටවත් වුවමනා වුණේ නැහැ. මොකද, ඒක ඇත්තටම නාට්‍ය තරඟයක් නොවෙයිනේ. කොහොම වුණත්, La La Land සිනමාපටයේ සුළභත්වය හා අදාළත්වය ගැන සතුටට පත්වෙනවා. සිනමාපටය පුරාවටම Emma Stone හා Ryan Gosling අතර සුවිශේෂී සම්බන්ධතාවකුත් දැකගන්නට හැකියි. ඒ ගැන හිතෙන්නේ මොනවද ? ඇත්තටම ඔවුන් දෙදෙනා අතර එක හා සමාන රංගන විලාසයක් තියෙනවා. ඔවුන් චරිතයකට පිවිසෙන්නේ හා රංගනයේ යෙදෙන්නෙත් එකම අන්දමකටයි, ඒවගේම ඔවුන් ලබා තියෙන පුහුණුවත් එක සමානයි. ඔවුන් දෙදෙනාම එකම අන්දමේ දක්ෂතාවයෙන් යුතුව රංගනයේ යෙදෙන්නත් හේතු වෙන්නේ එයයි. රංගනය තුළ දී ඔවුන් ස්වයං ප්‍රතිභාවන් විදහා පෑවත් ඔවුන් කතාකරන්නේ එකම භාෂාවක්. අතිවිශිෂ්ට හා ප්‍රතිසංවාදමය ස්වභාවයක් ඔවුන්ගේ රංගනය තුළ දැකගන්නට හැකියි. ඒවගේම හැබෑ ජීවිතයේදී මේ දෙන්නා හොඳ මිතුරන්. තිරයෙන් පිටතදීත් හොඳ සබැඳියාවක් තියෙන පුද්ගලයින් එක්ක වැඩකරන්න ලැබීම අමතර වාසියක් විදියට හඳුනගන්නට හැකියි. මේ දෙන්නටම ඕන එකිනෙකාට උදව් කරගන්නටයි. ඒ වගේම ඊට කලින් රඟපෑ සිනමාපට තුළිනුත් ඔවුන් අත්දැකීම් ලබාගෙන තියෙනවා. ප්‍රේක්ෂකයින් පවා ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දැකීමෙන් සතුටක් ලබනවා. එක් කලෙක සිනමා ඉතිහාසයේදී සොඳුරු සැමරුම් තියෙන සිනමා ෂානරයක් නවීන ලෝකය තුළ නිර්මාණය කරද්දී මොනවගේ අභියෝග වලට ද ඔබට මුහුණදෙන්නේ සිදුවුණේ. ? නිර්මාණයක් ඉදිරිපත් කිරීම හා එය රසවිඳීම කියන අභියෝගයට මෙහිදී මුහුණදෙන්න සිද්ධ වුණා. නමුත්, එහිදී ස්වර ගැන අනිවාර්යයෙන්ම දැනසිටිය යුතු වුණා. නැත්නම්, එය අභියෝගයක් විය හැකිව තිබුණා. අපි ආදර්ශයන් ගන්න පරණ සිනමාපට වල ආභාසයත් ලබාගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ. නමුත්, අවසානයේදී, සිනමාපට වලට මං බොහෝ සේ ඇළුම් කළත් ඒ නිර්මාණය එලෙසම තිබෙන්නට හරින්න අපි ඉඩහරින්න ඕන. ලොස් ඇන්ජලීස් නගරයේ තිබුණු හැබෑ දර්ශන තලයන් වල රූපගත කිරීම් සිදුකරන්නට ලැබීමත් මහත් භාග්‍යයක් වුණා, රංගන ශිල්පීන් අනෙකුත් සංගීතමය සිනමාපට වල දකින අන්දමට හැඩ වැඩ වී ඉන්නවා මෙහි දැකගන්නට නැහැ. අපේ නිෂ්පාදන සැලසුම් ශිල්පියාගේ සහයෙන් යුතුව සමහර දේවල් ඉතිරි කරන්න වගබලා ගන්න හැකිවුණා. පාරවල් වල තිබෙන වර්ණ, මඩ වළවල්, ජල කාන්දුවීම්, රථ වාහන තදබදය, නැත්නම් දුරකතන වයර්, රථ ගාල් හෝ ගෑස් ස්ටේෂන් වෙන්න පුළුවන්. අපි මැජික් විදියට නොසිතන එවැනි ඕනම අන්දමේ දෙයක් යොදාගෙන ඒවා මැජික් බවට පත්කරන්න හැකිවුණා. La La Land වලදී හැබෑ නගර වගේම නගරයේ හැබෑ පෙනුමත් තිරය මතට ගෙනඑන්නට අපි උත්සහ ගත්තා. ස්ටුඩියෝහි රූපගත කර තිබෙන දර්ශන සිනමාපටය පුරා දැකගන්නට හැකියි. විශේෂයෙන්ම, මෙවැනි ශිල්ප ක්‍රමයක් යොදාගන්න ඔබට වුවමනා වුණේ ඇයි දැයි යන්න අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමතියි ? මම සිනමාපට වලට දැඩිව ඇළුම් කළ කෙනෙක්. ඉතිං, මං ලොස් ඇන්ජලීස් වලට ගියේ සිනමාපට නිර්මාණය කරන්නයි. ලොස් ඇන්ජලීස් වලට ගිහිං මේ වෙද්දි අවුරුදු 9 ක් විතර වෙනවා. එක පැත්තකින් බැලුවම ලොස් ඇන්ජලීස් කියන්නේ ලොකු ඉතිහාසයක් නැති, තාමත් තරුණ වියේ ඉන්න, තමන් කවුරුන්දැයි යන්න හොයාගන්න උත්සහ දරන නගරයක්. නමුත්, මට අනුව නම් ලොස් ඇන්ජලීස් වල ඉතිහාසය ගැන කියන්න බොහෝ දේ තියෙනවා. ලොස් ඇන්ජලීස් නගරය සිනමාව හා සිහින නිර්මාණය කිරීමේ කාර්යයට දැඩිව සම්බන්ධ වෙලා තියෙනවා. ඉතිං, ඒ නිසාම ලොස් ඇන්ජලීස් වල තියෙන ස්ටුඩියෝ නැත්නම් පරණ සිනමාපට ගැන මං අනිවාර්යයෙන්ම හිතනවා. ඒක පුදුමයක් නෙමෙයි.

දිවි ගමනින් නික්මුණු ‘ආත්මයේ රැජිණ‘ – අරිතා ෆ්‍රෑන්ක්ලින්

August 23, 2018 0 Comments
ඔබ හැබෑම කලාකරුවෙකු වෙන්න, ඔබ කරන කියන දෑ විශ්වාසයෙන් යුතුව සිදුකරන්නට නොහැකි නම් එය නොකර ඉන්න‘ ‘ආත්මයේ රැජිණ‘ යන නමින් හැඳින්වුණු අරිතා ෆ්‍රෑන්ක්ලින් සිය දිවියේ 76 වන කඩඉම පසුකරමින් සිටියදී ඊයේ (16) දින දිවියෙන් සමුගත්තාය. මිචිගන් හි ඩෙට්රොයිට් හි පිහිටි සිය නිවසේදී ජීවිතය හැරගිය අරිතා 2010 වසරේදී සිට අග්න්‍යාෂයේ වැළඳුණු පිළිකාවකින් පීඩා විඳිමින් සිටියාය. අරිතා අවසන් වශයෙන් ප්‍රසංග වේදිකාවේ පෙනී සිටියේ එල්ටන් ජෝන් පදනම විසින් පසුගිය නොවැම්බර්යේදී නිව්යෝර්ක්හි පැවැත්වූ උළෙලේදී ය. ‘අපේ ජීවිත වල අඳුරට මුහුණදුන්නු අවස්ථාවකදී මේ විඳින වේදනාව වචනයෙන් පවසන්නට බැහැ‘ යනුවෙන් අරිතාගේ මරණය පිළිබඳ මාධ්‍යට සැලකළ ඇගේ පවුලේ සමීපතමයින් පවසයි.
අරිතා ප්‍රසංගයක් අතුරතුරදී අවුරුදු 13 මව සංගීත ලෝකයට ආ හැටි 1942 මාර්තු 5 වැනිදා මෙලොව එළිය දුටු අරිතා මිසිසිපි ගඟ සමීපයේ වූ මෙම්පිස් හි හැදී වැඩුණාය. අරිතාට වයස අවුරුදු 6 ක් ගතවූ තැන ඇගේ මාපියන් නීතියෙන් වෙන්වුණු අතර ඇයට වයස අවුරුදු 10 ක් එළඹුණු විට මව ද ජීවිතක්ෂයට පත්විණි. පසුකාලීනව අරිතා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොස්පෙල් ගායිකාවක හා පියානෝ වාදන ශිල්පිනියක ලෙසිනි.
ග්ලින් හා පුතු සමග (1978) උසස් පාසලේ ඉගෙනගන්නා සමයේදී වයස අවුරුදු 13 දී මව් පදවිය ලබන අරිතා ඉන් වසරක් ඉක්ම ගිය තැන වෙනත් පියෙකුට දාව උපන් සිය දෙවන දරුවාට ද උපත දුන්නාය. ටෙඩ් වයිට් ඇගේ පළමු සැමියා වූ අතර රංගන ශිල්පියෙකු වන ග්ලින් ටර්මන් සමග ඇය 1978 වසරේදී විවාහ වූවාය. 1984 දී මේ විවාහය දෙදරා යන අතර මියයන විට ඇය දරුවන් සිව්දෙනෙකුගේ මවක් වූවාය.
නිව්යෝර්ක්හි පිටිහි කොළොම්බියා ශබ්දාගාරයේදී පටිගත කිරීමක් අතරතුර (1962) කොළොම්බියා තැටියෙන් ඇට්ලැන්ටික් තැටි වලට කොලොම්බියා තැටි වලට සිය හඬ එක්කළ ඇය 1966 වසරේදී ඇට්ලැන්ටික් ලේබලයට හඬ මුසු කළාය. මෙකල ඇය ජනාදරයට පත්වන්නේ Respect ගීතය හරහාය. ‘Lady Soul‘ නමින් මෙකල ඇමරිකාව හා යුරෝපය පුරා ජනප්‍රියත්වයට පත්වූ අරිතා Time සඟරාවේ කවරයට ද සිය රුව මුසුකරන්නට වරම් ලැබුවාය. කළු ජාතික කාන්තාවක් ලෙස මේ සමයේදී ඇය හිමිකරගත් ගෞරවාදරය මෙන්ම ඇගේ අපූර්ව හැකියාව වෙනුවෙන් මාර්ටින් ලූතර් කිං ඇය වෙත සම්මානයක් ද පුද දී ඇත. Time කවරයේ ඡායාරූපය අරිතාව අගයන කරන පුද්ගල චරිත හා සංගම් දශක 7 ක් සැපිරුණු ඇගේ නිර්මාණ දිවියේදී ග්‍රැමී සම්මාන 18 කින් පිදුම් ලැබූ ඇය Respect (1967) හා I Say A Little Prayer (1968) ගීත වලින් ජනාදරයට පත්වූවාය. එමෙන්ම, ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ග්‍රෑමී සම්මානයෙන් 1994 වසරේදී පිදුම් ලබන්නට ද සමත්වූවාය. බිල්බෝර්ඩ් චාර්ට් අතරට අරිතාගේ ගීත 100 කට අධික ප්‍රමාණයක් ඇතුළත් වී ඇත. Rock හා Roll සංගීත ශෛලීන් වෙනුවෙන් සුවිශේෂී දායකත්වය ලබාදුන් කලාකරුවන් අගයන Rock & Roll Hall of Fame (1987) වෙත ප්‍රවිශ්ට වූ පළමු කාන්තාව ඇයයි. මෙතෙක් කලක් ලොව බිහිවූ විශිෂ්ඨතම ගායන ශිල්පීන් 100 දෙනා අතරට ද ඇය අයත්ය. බැරැක් ඔබාමා ජනපති ලෙස ධූරය දෙන අවස්ථාවේදී සිය ගායනයෙන් ඒ අවස්ථාව ඔපවත් කළාය. එමෙන්ම, ඇමරිකානු සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ පිරිස් වෙනුවෙන් පිදෙන Kennedy Center ගෞරව ප්‍රදානයේදී අරිතා You Make Me Feel Like ගීතය ගායනා කළ අවස්ථාවේදී එවක ජනපතිධූරය දැරූ ඔබාමා හැඟීම්බර වූවේය. විශිෂ්ටතම ගායන ශිල්පිනියට (R&B) හිමිවූ ග්‍රැමී සම්මානය අතැතිව (1975) සිවිල් අයිතීන් පිළිබඳ ව්‍යාපාරය වෙනුවෙන් සිය හඬ අවදි කළ අරිතාගේ නික්මීමත් සමග බිල් හා හිලරි ක්ලින්ටන් යුවළ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ‘වසර 50 ක් පුරාවට ඇය අපේ ආත්මය කැළඹුවා‘ යන්නයි. ‘ඇමරිකාව යනු කුමක්දැයි වටහාගන්නට ඇගේ කටහඬ හේතුවුණා. ඇමරිකාවේ ඉතිහාසය, අපේ බලය මෙන්ම වේදනාව ද ඇගේ කටහඬින් අවදි කළා‘ යනුවෙන් බැරැක් ඔබාමා ඇය ගැන පවසයි. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිධූරය දරන සමයේදී Presidential Medal of Freedom 2005 වසරේදී හිමිකරගැනීමට සමත්වූ ඇය ඇමරිකාවේ ජාතික සම්පතක් බව ක්ලින්ටන් ජනපතිතුමා වරෙක පැවසුවේය. ‘දෙවියන්ගෙන් තිළිණ වූ අපූර්ව කටහඬක් තිබුණු ඇය අතිවිශිෂ්ඨ කාන්තාවක්‘ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. ‘කළු ජාතික කාන්තාවක් නොතකා හරින්නේ නැහැ‘ යනුවෙන් සිවිල් අයිතීන් වෙනුවෙන් වූ ඇමරිකානු සංගමය ඇය ගැන (ACLU) පවසයි.

ෂහිදුල් අලාම් ට යුක්තිය අකැපද ?

August 23, 2018 0 Comments
‘‘බැංකු කොල්ලකෑම්, මාධ්‍ය මර්දනය හා ඝාතනයන් මෙන්ම අතුරුදහන් කිරීම් දිනෙන් දින වැඩිවෙලා. වංචාව දූෂණය රටේ හැමතැනම පැතිරිලා. හැමතැනකදීම සල්ලි මුල් වෙනවා. මේවාගේ අවසානයක් දකින්න බැහැ‘‘ බංග්ලාදේශයේ රජයන දූෂණය ගැන සිය හඬ අවදි කළ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන ෂහිදුල් අලාම් මේ වනවිට පසුවන්නේ සිරගෙහි ය. මීට හේතුවූයේ මාර්ග ආරක්ෂාව හා ගමනාගමන ක්ෂේත්‍රයේ නිසි යටිතල පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් හඬ නැගූ (සීඝ්‍රයෙන් ධාවනය කළ බස් රථයක් නිසා දරුවන් දෙදෙනෙකු ජූලි මසදී මරු මුවට පත්වීම මීට හේතුවිය) බංග්ලාදේශ සිසුන් පසුගිය අගෝස්තු 5 වැනිදා සිට දින හතක් පුරාවට ඩකා නගරයේදී පැවැත්වූ උද්ඝෝෂණයට පක්ෂව අලාම් Al Jazeera වෙත පසුගිය 5 වැනිදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවයි. මෙහිදී ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටියේ සිසුන්ට තම සහයෝගය ලබාදෙන බවත් ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවන්ට විරුද්ධ වන බවත්ය. අලාම්ව අත්අඩංගුවට ගත්තේ ඇයි ? එමෙන්ම, ඔහු ෆේස්බුක් වෙත යොමුකළ වීඩියෝ පට මගින් ආණ්ඩුව විවේචනය කිරීම හා සිසුන්ව මර්දනය කිරීමට පොලීසිය දියත් කළ මර්දනකාරී පිළිවෙත ද හෙලා දුටුවේය. රබර් උණ්ඩ, ලී බැටන් පොලු හා කඳුළු ගෑස් ඔවුන් වෙත යොමුකළ බව අලාම් වැඩිදුරටත් පැවසුවේය. Al Jazeera වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව ඩන්මොන්ඩි හිදී පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අලාම් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව රඳවා තබාගත් රැයේදී දරුණු වධහිංසා වලට ලක්කළ බවත් ඉන් නොනැවතී පරුෂ වචනයෙන් තමන්ට බැණ වැදුණු බව ද අලාම් පවසා ඇති අතර පසුදිනයේදී ඔහුව උසාවියට ඉදිරිපත් කළ අතර එදින ලේ වැකී තිබූ ඔහුගේ ඇඳුම් සෝදා පිළිවෙලට සකස් කර ඔහුට කිසිදු හිංසනයක් නොවූ බව පෙන්වීමට පොලීසිය උත්සහ කළ බව ද පැවසුවේය. අලාම්ගේ නිවසට පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බංග්ලාදේශ පොලීසියේ විශේෂ ඒකකයක් වන රහස් පරීක්ෂණ අංශයේ නිළධාරීන් විසිනි. සිවිල් ඇඳුමින් සැරසී සිටි නිළධාරීන් 30 දෙනෙකු පමණ මේ අවස්ථාවට සහභාගී වී ඇත. බංග්ලාදේශ නීතිය කා වෙනුවෙන්ද ? මේ සිදුවීමෙන් දින 7 ක් ගතවී ගිය පසුගිය 12 වන ඉරිදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අලාම්ව උසාවිය හමුවට පමුණුවනු ලැබුණි. මේ අතරතුර කිසි අවස්ථාවකදී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට අලාම්ව හමුවීමට අවකාශ ලබාදී නැත. තවමත් නිසි ලෙස හෙළිදරව් කර නැති ස්ථානයක ඔහුව සිරකරුවෙකු ලෙස රඳවා තබා සිටින අතර එලෙස රඳවා තබා සිටින කාලය පවා නිසිලෙස හෙළිදරව් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ 57 වන වගන්තිය යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු සපයන අතර ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් බව දක්වයි. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවේ. මෙමගින් අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු බන්ධනාගාරයේ රඳවා තබාගත හැකිවන අතර අලාම්ට දඬුවම් පැමිණවීමට අවස්ථාව තිබෙන්නේ මේ යටතේය. අලාම් නම් ඡායාරූප ශිල්පියා ‘මගේ කැමරාවට හසුවුණු ඡායාරූප අතිවිශිෂ්ට ඒවා නොවුණත් ඒවා කලින් නොතිබුණු අන්දමේ ඒවා වුණා‘. අහඹුවකින් මෙන් ඡායාරූප කලාවට පිවිසි අලාම් ‘With Photography as my Guide’ නමින් 2013 වසරේදී සම්පාදනය කළ ලිපියෙන් තමා වෘත්තීය දිවියට පිවිසුණු අන්දම ගැන සටහන් තැබුවේ එලෙසිනි. අලාම් සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ මිලිටරි ආඥාදායකයෙකු වූ මොහොමඩ් අර්ෂාඩ්ට විරුද්ධව 1982 දී සිදුකළ විරෝධතාවක් ඡායාරූපයට නගමිනි. කාන්තාවක් සිය ඡන්දය රහසේ ලබාදෙන අවස්ථාවක් 1990 දී ඡායාරූපයට නගන ඔහු බංග්ලාදේශයට බලපෑ අතිදරුණු සුළි සුළඟ හා ඉන් ඇතිවූ බලපෑම සිය කැමරා කාචයේ වෙනස්ම මුහුණුවරකින් යුතුව සනිටුහන් කරගන්නට සමත්වූවේය. ‘‘හදිසියේම බටහිර මාධ්‍ය වල වැඩකළ සාමාජිකයින් දැඩි ගිජුබවින් හා මහත් අභිරුචියෙන් යුතුව අප වෙත එන්න පටන්ගත්තා. කුසගින්නෙන් යුතුව දුර්වල වූ සිරුරින් අත්පා විදහාගෙන හිටිය බංග්ලාදේශ ජාතිකයින් වෙත සුදු මිනිස්සු ආවේ ගැළවුම්කරුවන් වගෙයි. මගේ සටන මේ මොහොතේදී ආරම්භ වී තිබුණා පමණයි‘‘. සිය රටට පැමිණි ආගන්තුකයින් තම දේශය කැමරා කාචයට හසුකරගත් අන්දම වෙනුවෙට අලාම් යළි ගොඩනැගෙන බංග්ලාදේශය ගැන අවට ලෝකයට පැවසුවේය. නැවත බෝට්ටු ගොඩනගන මිනිස්සු, නැවුම් බීජ වගා කරන ගොවීන් මෙන්ම ආපදාවට හසුවූවන්ට සහන සලසන වෛද්‍ය පිරිස් ඔහුගේ කැමරා කාචයේ සනිටුහන් විය. ඡායාරූප කලාවෙන් ඔබ්බට මේ උපමහාද්වීපයටම අනන්‍ය වූ නව වචන මාලාවක් සම්පාදනය කිරීමට අලාම් දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඩකා හි Drik Picture පුස්තකාලය ආරම්භ කිරීමට 1989 දී ඔහුට හැකියාව ලැබුණි. මේ හරහා සමාජ සාධාරණත්වය හා පුද්ගල අයිතීන් සම්බන්ධ ගැටළු වලට ආමන්ත්‍රණය කිරීමට ඔහුට හැකිවිය. ‘‘අපි ඡායාරූප ගැනීම පමණක් සිදුකළේ නැහැ. භාෂාව භාවිත කළා, ‘බහුතරයෙන් සැදුම්ලත් ලෝකය‘ යන වදන වෙනුවට ‘තුන්වන ලෝකය හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්‘ වැනි සුචක යොදාගත්තා. අලාම් ඡායාරූප කලාවෙන් ඔබ්බට වූ සිය ලෝකය ගැන පවසන්නේ එලෙසිනි. දකුණු ආසියානු කලාපය තුළ ඡායාරූප කලාව සම්බන්ධයෙන් නව ප්‍රබෝදයක් ඇතිකිරීමට දායකත්වය දෙමින් සිසුන්ට පුළුල් දැනුම ලබාදෙන සම්පත් මධ්‍යස්ථානයක් පාත්ශාලා ඡායාරූප පාසල ඩකාහි ආරම්භ කිරීමට ඔහුට හැකිවිය. Drik හා පාත්ශාලා හි සාමාජිකයින්ගේ හවුල්කාරීත්වයෙන් චෝබි මේලා නමින් ඡායාරූප උළෙලක් සංවිධානය කිරීමට ද 2000 වසරේදී ඔහු මූලික වූ අතර දකුණු ආසියානු කලාපයේ ඡායාරූප සම්බන්ධ ප්‍රබෝධයක් මෙමගින් ඇතිවිය. මෙහි 10 වැනි උළෙල එළඹෙන 2019 වසරේ පෙබරවාරි මසදී පැවැත්වීමට කටයුතු නියමකර තිබුණි. අලාම්ව රඳවා තබාගැනීම වැරදියි අත්අඩංගුවේ පසුවන අතරතුරදී පහරකෑමට ලක්වූ අලාම් ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, කලාකරුවන්, ලේඛකයින්, ඡායාරූප ශිල්පීන් ද සිය හඬ අවදි කරයි. අරුන්දතී රෝයි, ඊව් ඇන්ස්ලර්, නයෝමි ක්ලීන්, නොම් චොම්ස්කි හා විජේ ප්‍රශාද් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අලාම් වහාම නිදහස් කරන ලෙසත් සියලු චෝදනා වලින් ඔහුව නිදහස් කරන ලෙසත්ය. ‘‘තොරතුරු දැක්වීම හා විවේචනය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. තමන්ගේ රට තුළ සිදුවන දේ ගැන පුරවැසියෙකු දක්වන අදහස් ප්‍රතික්ෂේප කිරීම තුළ මූලික මානව අයිතීන් ද ප්‍රතික්ෂේප කර තිබෙනවා‘‘ යන්න මේ නිවේදනයේ දක්වා ඇත. මීට අමතරව අලාම්ව රඳවා තබාගැනීමට විරුද්ධව කල්කටා, ලන්ඩන් හා කත්මණ්ඩු හිදී උද්ඝෝෂණ මාලාවක් දියත් විය. ඔහුට අත්වූ ඉරණමත් සමග ඇමනෙස්ටි ජාත්‍යන්තරය අගෝස්තු 9 වැනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ‘ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා මේ ඉරණම අත්වූ බවත් බොහෝවිට අලාම්ව වසර 14 ක් සිරගත කිරීමට ඉඩ ඇති බවත් වහාම ඔහු නිදහස් කරන ලෙස‘යි. ‘අපි පියාඹා යන්නට ඉගෙනගත් ආකාසය ඔහුයි. ෂහීදුල් ගැන නොදන්නා අයට ඔහු ගැන කියාදිය හැකි හොඳම කතාව මෙයයි‘ යන්න කල්කටාවේ වෙසෙන ඡායාරූප ශිල්පියෙකු වන රොනී සෙන් සටහන් කරයි. අලාම්ව රඳවා තබාගැනීම තුළ භාෂණයේ නිදහස, ආණ්ඩුවේ මර්දනය මෙන්ම අවදිව සිටින මිනිසුන්ගේ හඬ යටපත් කරදැමීම සම්බන්ධයෙන් කලාපය තුළ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබිඹු වන බව ජාත්‍යන්තරයේ අදහස වී ඇත. බංග්ලාදේශය හා මානව හිමිකම් වල තත්ත්වය බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරය වඩාත් ක්‍රියාශීලී ෆේස්බුක් පරිශීලකයින් සිටින ලොව දෙවැනි විශාලතම නගරය වේ. නමුත්, එරට තුළ සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය ද සමගින් දේශපාලන මර්දනය ද වැඩිවන බව දැකගත හැකිය. බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසිනාගේ විකට රූප වලට ශෙයාර් හා ලයික් කිරීම නිසා දකුණු දිග ප්‍රදේශයේ දිවි ගෙවන මොනිරුල් ඉස්ලාම් පසුගිය වසරේ අප්‍රේල් මසදී අත්අඩංගුවට ගැනුණි. මොහු රබර් කම්හලක වැඩකරන සේවකයෙකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ 57 වන වගන්තිය යටතේ පෙර කී මොනිරුල් ඉස්ලාම්ට දඬුවම් නියම කෙරුණු අතර ‘රටට ද්‍රෝහීවීමක්‘ ලෙස මේ සිදුවීම විස්තර වී ඇත. ඉස්ලාම්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර මීට අදාළ ලියවිලි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට මාස තුනකට අධික කාලයක් ගතවිය. මේ කාලය තුළ ඉස්ලාම් රඳවා තබාගෙන සිටිනු ලැබුණි. ඉස්ලාම් විසින් ශෙයාර් කෙරුණු සැබෑ ෆේස්බුක් පෝස්ටුව අන්තර්ජාලයට නිකුත් කළ තැනැත්තා ඉස්ලාම් අත්අඩංගුවට පත්වීමත් සමග සැගවුණේය. අලාම්ගේ ඉරණම විසඳිමට බලපාන බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ මේ නීතිය ඕනෑකමින්ම ඇතිකළ ද්වේෂ සහගත නීතියක් වන අතර අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු මෙමගින් සපයයි. ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් වේ. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවන අතර මේ යටතේ අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු බන්ධනාගාරයේ රඳවා තබාගත හැකිවේ. මෑතකදී නිකුත් කළ හියුමන් රයිට්ස් වොච් වාර්තාවට අනුව මේ පනත යටතේ 1271 දෙනෙකුට 2013 වසරේදී සිට දඬුවම් පමුණුවා ඇත. මේ වසරේ පළමු මාස තුන තුළ පමණක් මේ පනත යටතේ දඬුවම් ලැබූ සංඛ්‍යාව 282 කි. ෆේස්බුක් මාධ්‍ය තුළ ආණ්ඩුව සම්බන්ධයෙන් ඝෘණාත්මක මතවාද දනවන පෝස්ට් වල හුවමාරු කිරීම හා ඒවාට ලයික් කිරීම නිසා සිවිල් වැසියන් රඳවා තබාගැනීම මෙන්ම ඔවුන්ට දඬුවම් පැමිණවීම ද බංග්ලාදේශය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතියි. මේ පනතේ අලුත්ම ගොදුර බවට පත්වූයේ අලාම් ය. ඔහුගේ ඉරණම කෙලෙස විසඳෙනු ඇතිද ? යන්න තවමත් ගැටළුවකි.