Showing posts with label art. Show all posts
Showing posts with label art. Show all posts

Tuesday, September 11, 2018

‘ලේඛන හැකියාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ – හරුකි මුරකාමි

September 11, 2018 0 Comments
මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මිනිස්සු වැරදි වලින් මුදවන්නට බැහැ ‘‘මං මරණ දඬුවමට විරුද්ධයි. මනුස්සයෙක්ව මරාදැමීම කියන්නේ කිසිදා සමාව දිය නොහැකි බරපතල අපරාධයක්. එක් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුව මරාදැමීම නැත්නම් එක් පද්ධතියක් හෝ ආයතනයක් විසින් පුද්ගලයෙකුව මරාදැමීම සම්බන්ධයෙන් මූලික වශයෙන් වෙනසක් පැවතිය යුතුයි. වරදට සමාව දීමට හැකි එකම මඟ මරණය බව ලෝකයේ විශ්වාසය වී තිබුණත් ඒ ගැන පවතින සම්මුතිය නැතිවෙමින් යනවා. පවත්නා නීති පද්ධතිය ඇතුළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මිනිසුන් වැරදි ක්‍රියා වල නිරතවීම නවත්වන්නට හැකි බව දිනෙන් දින වැඩිවන අපරාධ දුටු විට කිසිසේත්ම විශ්වාස කරන්නට බැහැ. මේ වගේ කාරණා සලකා බලද්දි ඇත්තටම මරණ දඬුවම පැනවීම මාරාන්තික අන්තරායක්.‘‘ න්රික්යෝ ආගමික කල්ලියේ ඝාතනයන් ගැන සටහන් තැබූ හරුකි හරුකි මුරකාමි නම් සුප්‍රකට ජපන් ලේඛකයා පසුගිය ජූලි 29 වැනිදා ඉරිදා The Mainichi පුවත්පතට ලිපියක් යොමුකරමින් මරණ දඬුවම ගැන සටහන් තබන්නේ එලෙසයි. මේ සටහනේ නිමිත්ත වෙන්නේ 1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin) මුදාහැර පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු එල්ලා මරාදැමීමයි. පහුගිය ජූලි මසදී මේ පිරිස එල්ලා මරාදැමීමෙන් අනතුරුව ඒ පිළිබඳව හරුකි මුරකාමි විසින් සටහන් තබන්නට හේතු වුණු කරුණක් තිබුණා. ඒ ඔහු රචනා කළ Underground –The Tokyo Gas Attack and the Japanese Psyche (1997) කෘතියට පාදක වී තිබෙන්නේ මේ විෂ දුමින් මියගිය පවුල් වල පිරිස් මෙන්ම ඒ අපරාධයට හවුල් වූ පිරිසගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡාවන් වීමයි. Underground – තෝකියේවේ විෂ වායු සිද්ධියට ගොදුරු වුණු පුද්ගලයින්ගේ ඥාතීන් හා එහි වැරදිකරුවන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියැවුණු කෘතියක් මේ ගැන පවසන හරුකි වැඩිදුරටත් පවසන්නේ, ‘‘තෝකියෝවේදී විෂ වායු මුදාහැර පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව මින් ජීවිත අහිමිවූවන්ගේ ඥාතීන් Underground කෘතිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ තැනැත්තෙකු ලෙස ඔවුන් එකල අත්විඳි දුක, වේදනාව මෙන්ම කෝපය ද මා දැක තිබෙනවා. මවිසින් රචනා කෙරුණු කෘතියක් මා නැවත කියවන්නේ බොහොම කලාතුරකිනුයි. නමුත්, Underground කෘතියේ සමහර තැන් කියවන විට අදටත් මගේ නෙතගින් කඳුළු කඩාවැටෙනවා. එකල මේ කෘතිය වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවන් වා තලයට මුසුවී, ඒ හැඟීම්, හඬවල් වා තලයේ සැරිසරා මවෙත විත් විටෙක මගේ හුස්ම සිරකර දමනවා. මා භාවාතිශය තැනැත්තෙකු බව ඔබ කියාවි. නමුත්, පොත් ලියන මනුස්සයෙකු විදියට ඒ වගේ ස්වභාවික හැඟීම් මැඩපැවැත්වීමේ වුවමනාවක් මට නැහැ, ඒ හැඟීම් එලෙසින්ම පාඨකයින්ට පවසන්නට මට හැකියාවක් තිබෙනවා නම් එය නොපැකිලිව සිදුකරන්න මා කැමැතියි. ඇත්තටම, Underground කෘතිය රචනා කරන සමයේදී ඇතුළතින් වෙනස් වූ බවක් මට හැඟුණා.‘‘ යන්නයි.
හරුකිගේ සීයා බෞද්ධ හිමිනමක වූ අතර ඔහුගේ පියා ජපන් සාහිත්‍යය ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. කුඩාවියේදී සිටම ජපන් සාහිත්‍යය, කලාව හා සංගීතය ප්‍රතික්ෂේප කරමින් එතෙක් කලක් ජෑස් පටි, හොලිවුඩ් සිනමාපට තුළින් පමණක් හඳුනාගෙන සිටි ජපානයට එපිටින් සිටි ලෝකය දැන හඳුනාගැනීමට ඔහු තුළ දැඩි බලපෑමක් ඇතිකළේ නිරන්තරයෙන් ඇමරිකානු නාවිකයින් පැමිණි කෝබිහි ගෙවීගිය ජීවිතයයි. තෝකියෝවේ සිසුවෙකු ලෙස ගතකළ අවදියේදී ද පශ්චාත් නූතන ප්‍රබන්ධ කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හරුකි සිය දිවියේ 23 හැවිරිදි කඩඉමේදී විවාහ දිවියට ඇතුළත් වූ අතර තෝකියෝවේ Peter Cat නම් ජෑස් සමාජ ශාලාවක් පවත්වාගෙන ගියා. මේ අතරතුරදී තමන්ට ලේඛකයෙකු විය හැකියැයි සිහියට නැගෙන්නේ බේස්බෝල් තරගයක් නරඹමින් සිටින අවස්ථාවේදීයි.
ලේඛනය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ – හරුකි මුරකාමි ‘‘මා බුද්ධිමතෙකු නොවේ. ආඩම්බරයෙන් දිවිගෙවන තැනැත්තෙකු ද නොවේ. මා, මගේ කෘතීන් කියවන පාඨකයන් මෙන්ම වුණු තැනැත්තෙකි. මට ජෑස් ක්ලබ් එකක් තිබුණා. එහි කොක්ටේල්, සැන්ඩ්විච් ආදිය පිළියෙල කළේ මමයි. කිසිසේත්ම ලේඛකයෙකු වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. ඒක සිද්ධ වුණේ ඉබේටමයි. ලේඛනය දෙවියන්ගෙන් මා ලැබූ තෑග්ගක් වෙන්න ඇති. ඒ නිසාම මං බොහොම නිරහංකාර විය යුතු බව මගේ විශ්වාසයයි‘‘ Hear the Wind Sing නවකතාව හරහා 1979 දී ලේඛනයට පිවිසෙන මේ ලේඛකයා සිය කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළද එය ජපානයේ අලෙවි නොකළ යුතු යැයි ඉල්ලීමක් කරනවා. මේ නවකතාව උදෙසා ඔහුට Gunzo සාහිත්‍යය සම්මානය ද හිමිකරගන්නා හරුකි ඔහු විසින් රචිත සෑම කෘතියකින්ම ජනප්‍රියත්වය හා පිළිගැනීම හිමිකරගන්නට සමත් වෙනවා. 1987 දී ඔහු විසින් රචිත Norwegian Wood කෘතිය හරුකි සුවිශේෂී සාහිත්‍යධරයකු බවට පත්කරන්නට සමත් වෙනවා. ’80 පරපුරේ හඬ, ජපානයේ ජේ.ඩී. ස්ලින්ගර්‘ යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුව හැඳින්වෙන අතර ජපානයේ පමණක් මේ කෘතියේ පිටපත් මිලියන දෙකක් අලෙවි කෙරෙනවා. පසුකලෙක මෙය සිනමාපටයකටත් නැගෙනවා. ද පැරිස් රිවීව් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන හරුකි ඒ ගැන පවසන්නේ, ‘‘මං අධියථාර්තවාදී නවකතා නොලීවා නම් ධර්මය ගැන ලියන ලේඛකයෙකු වේවි. නමුත්, මට ප්‍රධාන ධාරාව බිඳදැමීමට වුවමනා වුණු නිසා යථාර්තවාදී පොත් රචනා කිරීමට හැකි බව පෙන්වන්න සිද්ධ වුණා. මගේ අතින් Norwegian Wood කෘතිය රචනා වුණේ ඒ නිසයි. අපේක්ෂා නොකළ අන්දමේ ප්‍රතිචාර මේ කෘතියට හිමිවුණා පමණක් නොව ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතියක් බවටත් එය පත්වුණා.‘‘ යන්නයි. A Wild Sheep Chase (1982), The Wind-Up Bird Chronicle (1994–95), Kafka on the Shore (2002), 1Q84 (2009) ඔහු විසින් රචිත විශිෂ්ට කෘතීන් කීපයක් වන අතර හරුකිගේ පොත් ලොව පුරා භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙනවා. Killing Commendatore නමින් 2017 වසරේදී ඔහු ලියූ නවකතාව අශෝභන යැයි පවසා පසුගියදා හොංකොං හි විරෝධතා පැවැත්වුණා. අතිවිශිෂ්ට කෘති රචනා කළ මේ ලේඛකයා විකල්ප නොබෙල් සම්මානය අබියස හිඳිමින් පවසන්නේ මෙවැනි කතාවකි. ‘‘ඔබ කියවන්නේ හැමෝම කියවන පොත් නම්, ඔබට සිතිය හැක්කේද හැමෝම හිතන දේවල් පමණි.‘‘

Monday, September 10, 2018

ෆ්‍රීඩා කාර්ලෝ ගැන ඔබ දැනගත යුතුම දේවල්

September 10, 2018 0 Comments
20 වන සියවසේ විශිෂ්ටතම කලා ශිල්පිනියක වූ ෆ්‍රීඩා කාර්ලෝ ගේ කලා නිර්මාණයන් තරමින්ම සුප්‍රසිද්ධ වූ ජීවන වෘත්තාන්තයක් තිබේ. ඇගේ දිවිය පදනම් කරගත් කෘතීන් මෙන්ම ඔස්කාර් සම්මාන ලැබූ සිනමා නිර්මාණ පවා ඇත. ඇය අනුගමනය කළ සුවිශේෂී විලාසිතා මෙන්ම ඇයට වඩා වසර 21 කින් වැඩිමහල් දියෝගු රිවේරා සමග ගතකළ දිවිය ගැන අදටත් කතාබහට ලක්වේ. ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණ තුළින් විදහා දැක්වෙන්නේ ඇගේම ජීවිතයයි. මේ ෆ්‍රීඩා ගැන එතරම් ජනප්‍රිය නොවුණු කරුණු කීපයකි. ෆ්‍රීඩා ස්ව ආලේඛ්‍ය චිත්‍ර වලට දැඩි ඇල්මක් දැක්වූවාය ෆ්‍රීඩා ඇඳ තිබෙන චිත්‍ර 143 න් 55 ක්ම ස්ව ආලේඛ්‍ය ඒවාය. සිය ජීවිතය තුළ මුහුණදුන් හදිසි අනතුර හා ඒ හේතුවෙන් සදාකල් විඳින්නට වූ වේදනාව සමනය කරගන්නට ඇය, ඇයවම චිත්‍රයට නැගූ බව පැවසේ. ඇය විඳි ශාරීරික මෙන්ම මානසික වේදනාව ද මේ හරහා මුදාහැර ඇත.
තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීම ෆ්‍රීඩා ට වයස අවුරුදු 6 දී ඇයට පෝළියෝ වැළඳුණු අතර මේ නිසා ඇගේ දකුණු කකුල වම් කකුලට වඩා කුඩා හා සිහින්වට දිස්විය. මේ නිසා නිතරම පාහේ දිගු සායවල් වලින් සැරසුණු ෆ්‍රීඩා ‍මේ පෙනුම ලෝකයෙන් වසන් කරගැනීමට උත්සහ දැරුවාය. නමුත්, ඇය පාසලේදී මේ බව අනාවරණය නොකර සිටියා. 1922 දී National Preparatory පාසලට සම්බන්ධ වූ ඇය මෙක්සිකානු සංස්කෘතිය සම්බන්ධයෙන් එකල ඇතිවූ නව ප්‍රබෝධයත් (indigenismo) සමග ගමන් ගත්තාය. මෙක්සිකන් සංස්කෘතියට ඇති නැඹුරුතාව පෙන්වීමට ඇය සිය සැබෑ වයසින් වසර තුනක් අඩුකර එය තම උපන් වර්ෂය බව පැවසුවාය. මෙක්සිකානු විප්ලවය පටන්ගත් 1910 වසරේ ජූලි 7 වැනිදා තමන් උපත ලැබූ බව ඇය පැවසුවාය. නමුත්, හැබෑවටම ඇය ඉපදුණේ 1907 ජූලි 6 වැනිදාය. ෆ්‍රීඩාගේ සිහිනය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි කුඩා වියේදී සිටම ෆ්‍රීඩාගේ දැඩි අභිලාෂය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි. කලාව ඇගේ විනෝදාංශයක් වී තිබූ අතර එය ඡායාරූප ශිල්පියෙකු වූ ඇගේ පියාගෙන් උරුමවූවකි. මේ සිහිනය බිඳවැටෙන්නේ වයස අවුරුදු 18 දී ඇය හා ඇගේ පෙම්වතා මුහුණදුන් මාරාන්තික අනතුරෙන් පසුවය. ඔවුන් ගමන් කරමින් තිබූ බස් රථය අනතුරකට ලක්වූ අවස්ථාවේදී බස් රථයේ තිබූ යකඩ අත්වැල ඇගේ සිරුර හරහා ගොස් උකුල ප්‍රදේශයෙන් පිටතට මතුවිය. මාස ගාණක් පුරා රෝහල් ඇඳට සීමා වූ ජීවිතයක් ගතකරන්නට ඇයට සිදුවිණි. ඉන්පසු ඇගේ පියා ඇඳේ සිටම චිත්‍ර ඇඳිය හැකි චිත්‍ර තබන විශේෂ ආධාරකයක් නිර්මාණය කරදුන් අතර මේ සමයේදී ෆ්‍රීඩා සිය කුසලතා එළිදක්වන්නට වූවාය. අනතුරින් පසුවද වරින්වර සිරුරේ ඇතිවූ නිදන්ගත වේදනාව මතුවූ අතර කශේරුකාව ආශ්‍රිත ශල්‍යකර්ම කීපයකට ඉන්පසුවද මුහුණදීමට සිදුවුණි. ෆ්‍රීඩා VOGUE සඟරාවේ කවරයට පෙනී සිටියාය Vogue පැරිස් සඟරාවට ඇය 1939 දී පෙනී සිටි බවට කටකතා පැතිරී ඇත. නමුත්, සැබෑවටම ෆ්‍රීඩා පළමුවරට මේ සඟරාවට පෙනී සිටියේ 1937 Vogue ඇමරිකානු සඟරාවේ ඔක්තෝබර් කලාපයටය. Senoras of Mexico නමින් ඇගේ රුවමෙහි පළවිය. එවක ඇගේ රුව සේයාරුවට නැගුවේ ටෝනි ෆ්‍රිසල් වන අතර මේ ඡායාරූප කවරයේ පළනොවුණි. 1939 දී ඇගේ රුව නිකොලොස් මුරෛ විසින් සේයාරුවට නැගූ අතර එය ආලේඛ්‍ය ඡායාරූපයක් ලෙස පළවිය. නිකොලොස් හා ෆ්‍රීඩා අතර සුවිශේෂී මිතුදමක් පැවතුණි. ෆ්‍රීඩාගේ මරණයෙන් පසුව වුවද ඇගේ රුව මේ සඟරාවේ පළනොවූ අතර 2012 වසරේදී Vogue මෙක්සිකානු සඟරාව නිකොලොස් විසින් ගත් ඇගේ ඡායාරූපය කවරයේ ඡායාරූපය ලෙස පළකෙරුණි. ඒ ඇගේ මරණයෙන් අවුරුදු 60 ක් ඉක්මවා ගිය පසුවය.
ලියොන් ට්‍රොට්ස්කිගේ මරණයට සැකපිට ෆ්‍රීඩා ට සිරගෙයි පසුවන්නට සිදුවිය ෆ්‍රීඩා හා ඇගේ සැමියා වූ දියෝගු රිවේරා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ දිගු කාලීන සාමාජිකයින් ය. සෝවියට් නායකයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කිට රැකවරණය ලබාදෙන මෙන් ඔවුහු 1937 දී මෙක්සිකානු රජයෙන් ඉල්ලා සිටියහ. ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ මේ දෙපළගේ නිවස වූ La Casa Azul හි වසර කීපයක් ලැගුම් ගත්හ. එමෙන්ම, ෆ්‍රීඩා හා ට්‍රොට්ස්කි අතර සමීප ඇසුරක් ද තිබුණු බව පැවසේ. රිවේරා, ෆ්‍රීඩාගේ සොහොයුරිය සමග ඇතිකරගත් ඇසුරක් නිසා ඇය මෙවැන්නකට පෙළඹුණු බව පැවසේ. රිවේරාගේ දේශපාලන බලාධිකාරය බිඳවැටීමත් සමග ට්‍රොට්ස්කි මෙම නිවහනින් නික්මී ගිය අතර 1940 දී ඔහු ඝාතනයට ලක්විය. මේ සිදුවීම නිසා ෆ්‍රීඩා මෙන්ම ඇගේ සොහොයුරියට ද සිරගතවීමට සිදුවූ අතර දින දෙකකට පසු ඔවුන් නිදහස් කෙරුණි. ෆ්‍රීඩා සිය ඒකපුද්ගල ප්‍රසංගයට සහභාගීවීමට යන්නේ ගිලන් රථයකිනි වරින්වර ඇගේ අසනීප තත්ත්වය උග්‍ර වීමත් සමග ජීවිතයේ අවසාන සමයේදී නිතර නිතර රෝහලට ඇතුළත් වීමට ෆ්‍රීඩාට සිදුවිය. සිය නිවහන වූ La Casa Azul වෙත සීමාවූ දිවියක් ගත කළ ෆ්‍රීඩා රෝද පුටුවක් හා කිහිලිකරුවක් ද ආධාරක ලෙස පාවිච්චි කළාය. නමුත්, කිසිවිටක නිර්මාණකරණයෙන් බැහැර නොවූවාය.
ඇගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මෙක්සිකෝවේ Galería Arte Contemporaneo හි 1953 අප්‍රේල් මස දී පැවැත්විණි. මේ සමයේදී ඇඳෙහි හිඳ විවේක සුව විඳිමින් සිටි ෆ්‍රීඩාට ඇඳෙන් නොබසින ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි. ඒ නියමය ද කඩනොකරමින් සිය නිදන ඇඳ ගිලන් රථයකට ඇතුළත් කළ ඇය එලෙසින්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණු ස්ථානයට පැමිණියාය. ගිලන් මැස්සක සිටි ෆ්‍රීඩා තමාගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු අයුරු සියැසින් දුටුවාය. මේ සිදුවීමෙන් මාස කීපයකට පසු ඇගේ දකුණු පාදයේ මස් කුණුවීමට පටන්ගත් නිසා එම පාදය දණහිසින් වෙන්කෙරුණි. චිත්‍ර ප්‍රදර්ශනයෙන් වසරක් ගතවූ තැන ඇයට වයස අවුරුදු 47 දී ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ කලා නිර්මාණ වාර්තාපිට වාර්තා තබන්නට සමත් විය The Frame නම් ඇගේ චිත්‍රය 1939 දී සිට ලූවර් හි ප්‍රදර්ශනය කිරීමත් සමග 20 වන සියවසේ ජීවත් වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පීන් අතරින් පළමුවරට ජාත්‍යන්තරයට ගිය කලාකාරිනිය බවට ඇය පත්වූවාය. ෆ්‍රීඩා 1938 දී චිත්‍රණය කළ ස්ව ආලේඛ්‍ය චිත්‍රය Musée National d’Art Moderne කොටසක් ලෙස ප්‍රංශයේ Pompidou Center හි ප්‍රදර්ශනයට තබා ඇත. ෆ්‍රීඩා බෙඳහෙළු එකම වාර්තාව එය නොවේ. ඇගේ චිත්‍ර ප්‍රසිද්ධ වෙන්දේසි වලදී ද වාර්තා තබන්නට සමත් විය. The Tree of Hope Stands Firm (1944) නම් ඇය ඇඳි සිතුවම 1977 දී Sotheby හි වෙන්දේසියේදී ඩොලර් 19,000 ක මිලකට අලෙවි විය. ඇගේ චිත්‍ර වලට හිමිව තිබූ වටිනාකම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට වූවේය. ෆ්‍රීඩාගේ චිත්‍ර මෙක්සිකෝවේ සංස්කෘතික උරුමයක් ලෙස 1984 දී ප්‍රකාශයට පත්කෙරුණු අතර ජාත්‍යන්තර චිත්‍ර වෙන්දේසි වලදී පවා ඇගේ චිත්‍ර සොයාගැනීම අතිදුර්ලභ විය. 1990 වන විටත් ඩොලර් මිලියනයකට වැඩි මිලකට වෙන්දේසි වටිනාකමක් හිමිවූ එකම ලතින් ඇමරිකානු චිත්‍ර ශිල්පිනිය ඇය වූවාය. මෙකලදී දියෝගුගේ චිත්‍ර ඩොලර් මිලියන 1.4 කට වැඩි මිලකට අලෙවි කෙරුණු අතර ෆ්‍රීඩාගේ චිත්‍ර වලට සුවිශේෂී වටිනාකමක් ක්‍රමයෙන් හිමිවන්නට විය. Two Lovers in a Forest නම් චිත්‍රය 2016 දී අලෙවි කෙරුණේ ඩොලර් මිලියන 8 කට ය.
ඇය ස්ත්‍රීවාදිනියක්, මෙක්සිකානු අනන්‍යතාව වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියක හා LGBT අයිතීන් වෙනුවෙන් වූ ව්‍යාපාරයේ සුවිශේෂී චරිතයකි ෆ්‍රීඩා ජනප්‍රිය සංස්කෘතියේ සුවිශේෂී චරිතයක් බවට පත්වන්නේ 1970 දී සිට පමණය. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙන් බටහිර නොවන කලාකාරිනියන් ඉවත් කර තිබීම ගැන ප්‍රශ්න කරන විද්වතුන් ෆ්‍රීඩා ගැන විශේෂ අවධානයක් යොමුකරයි. ලිංගික අනන්‍යතාව ගැන ඇය තුළ තිබූ විවෘතභාවය මෙහිදී විශේෂය. ෆ්‍රීඩා ද්විලිංගික තැනැත්තියකි. ඇය සැරසී සිටි සුවිශේෂී ඇඳුම්, පැළඳුම් LGBT සමාජයේ සංකේතයක් විය. මෙක්සිකානු අනන්‍යතාව හා මෙක්සිකානු සංස්කෘතියට කොලනිකරණයෙන් ලැබුණු දෑ ගැන නොසලකා හැරීම තුළ ෆ්‍රීඩා සිය මෙක්සිකානු අනන්‍යතාව විදහා දැක්වූවාය. ‘ෆ්‍රීඩාමේනියා‘ (Fridamania) නම් වදන ඇය හරහා බිහිවූවකි. කලාව සම්බන්ධයෙන් හැදෑරීම් කරන ඉතිහාසඥවරියක වන ඔරියානා බෑඩ්ලේ පවසන්නේ, ’ෆ්‍රීඩා 21 වන සියවසේ දී පවා තරුවක් ලෙස හඳුනාගන්නට හැකියි. රසික සමාජ හා වෙළඳ භාණ්ඩ තුළ ඇය වාණිජ සම්පතක් ලෙස හැඳින්විය හැකි බවයි‘