Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

Tuesday, September 11, 2018

ලී රිග්බි ඝාතනය මාව සසල කළා – ගයි ගුණරත්න

September 11, 2018 0 Comments
In our Mad and Furirous City ශ්‍රී ලාංකීය හා බ්‍රිතාන්‍ය සම්භවයකින් යුතු තරුණ ලේඛකයෙකු වන ගයි ගුණරත්න විසින් රචිත කුළුඳුල් නවකතාවයි. මෙවර ‘ද මෑන් බුකර්’ සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තු ගත කෘති අතරට මේ කෘතිය ඇතුළත්වී තිබේ. උතුරු එංගලන්තයේ පිහිටි ස්ටෝන් නිවාස සංකීර්ණයේ හැදී වැඩෙන සෙල්වන්, ආර්දන් සහ යූසුෆ් යන තරුණයින් තිදෙනෙකු වටා මෙම නවකතාව ගොඩනැගී ඇති අතර මේ ප්‍රදේශය මුල්කරගනිමින් ඇවිලී යන ගැටුම්කාරී වාතාවරණයක් පදනම් කරගත් In our Mad and Furirous City හි රාජකාරිය නිමවී යන සොල්දාදුවෙකු කළු මිනිසෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සත්‍ය සිද්ධිදාමය ගැන සනිටුහන් වී ඇත. ලන්ඩනයේ නෙස්ඩන් හි ඉපදුණු ගයි මේ වනවිට දිවිගෙවන්නේ ස්වීඩනයේ ය. මේ The Guardian ඔහු සමග පවත්වන ලද සාකච්ඡාවක අනුවර්තනයකි. In our Mad and Furirous City කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ හැදී වැඩුණු ලන්ඩන් නගරයද ? ඇත්තටම, මං හැදී වැඩුණේ මේ කෘතියේදී තරුණ පිරිස් කතාබහ කරන උප භාෂාව, ඒවගේම මෙහි දිගහැරෙන භාෂා විලාසය සමගිනුයි. මේ ප්‍රදේශයට ආවේණික වී තිබූ රිද්මය හා ශක්තිය පුබුදුවාලන්න මට වුවමනා වී තිබුණා. බොරුව නැති නමුත් සත්‍යය ගැබ්වුණු දේවල් මෙහි තිබෙනවා. කෘතිය තුළ ඇසෙන සංවාද හරහා මට දැනෙන්නේ ලන්ඩනයේ ජීවත්වෙන බවයි. මේ වචන වල දෝංකාරය හා එහෙන් මෙහෙන් ඇහෙන සද්දත් එක්ක මගේ අදහස වී තිබුණේ නගර මැද ඉඳන් මේ කෘතිය කියවන බව පාඨකයාට දැනවීමයි. බහුතාල නාදය කෘතිය තුළින් ඇහෙන බව In our Mad and Furirous City ගැන ලියැවී තිබෙන එක් විචාරයක සටහන් වී තිබෙනවා. ඇත්තටම, ඔබට වුවමනා කළෙත් එයද ? බහුතාල නාදයක් බව කීම බොහොම සුන්දර කතාවක් වුණත් සමහර විට තරමක් මෘදු වෙන්න පුළුවන්. නෙස්ඩන් හා වෙම්බ්ලි වලින් ඇවිදන් යද්දි ඒ වටපිටාව හරිම ඝෝෂාකාරී බව දැනෙනවා. මේ නගරය සමහර මිනිස්සුන්ට අකාරුණික වෙන්න පුළුවන්, ගැටීම් හා බෙදීම් වලින් පිරී තිබෙන්න හැකියි. නමුත්, සමහරවිට මේ අමිහිරි බව අත්‍යවශ්‍ය බව දැනෙනවා. ලන්ඩනය කියන්නේ විවිධාකාර තැන් වල සිට පැමිණුනු ජනයා එකට එකතුවන තැනක්. ඉතිං, මේ හැමදෙනාම ඔවුන්ට අනන්‍ය වූ ස්වභාෂාව, උච්චාරණ, සංස්කෘතිය, ඉතිහාසය හා උනන්දුව අතහැරලා එකම විදියට කතා කරාවි යැයි මට හිතාගන්නත් බැහැ.
මේ කෘතියේ සමහර අවස්ථාවලදී අව්‍යක්ත යැයි සැලකෙන යෙදුම් සන්දර්භානුගත නොකර ලියද්දි ඔබට ඔබ ගැනම විශ්වාසයක් දැනුණද ? කා වෙනුවෙන් සන්දර්භානුගත කරන්නද ? ඒක හරිම අමනකමක් නේ. සංවේදීතාව නිසා මොකක් හරි දෙයක් අපහසුතාවට ලක් නොකර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් මට දැනිලා නැහැ. යමක් ඒ විදියටම ප්‍රකාශ කිරීම හරිම අවංකයි. සාමාන්‍යයෙන් කිසිම බුරුලක් නොදක්වන ලේඛකයින්ගේ ලේඛනයන්ට මං ඉබේම ආකර්ශණය වෙනවා. ස්කොට්ලන්ත උප භාෂාවෙන් ලියන ජේම්ස් කෙල්මන් මගේ ප්‍රියතම ලේඛකයෙක්. මං මේ ලියන්නේ ඇත්තම බව දන්නවා නම් එවැනි අවස්ථාවකදී සංවේදීතාව ගැන හිතන්න වුවමනා වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයින්ගෙන් ඔබ්බට ගිහිං මං හිතන්නේ නැහැ. ලේඛනයේ යෙදෙන විට මං බෝලයක් අතට ගත්තා වගේ. අන්තවාදී බව හා ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් මට බාධාවක් වෙන දෙයක් ගැන හොයනවා වගෙයි මේ කෘතිය ලියැවීමේ මූලාරම්භය වෙන්නේ ලී රිග්බි ඝාතනයද ? ලී රිග්බි සිද්ධිය මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළා. මේ සිද්ධිය වෙද්දි මං හිටියේ පින්ලන්තයේ. ලේ පෙරාගෙන වැටී සිටි ලී වගේම ඔහුව මරා දැමූ මයිකල් අදේබොලාජෝගේ දර්ශනත් මං දුටුවා. නමුත්, මං දැඩි කම්පනයට පත්වුණේ මේ සිද්ධිය නිසා නොවෙයි, මං කතාකරන විදියටම ඔහුත් කතාකරන නිසයි, මගේ පාසලේ දරුවන් අඳින විදියටම ඔහුත් ඇඳගෙන හිටිය නිසයි. ඒ වගේම ඔහුගේ විලාසය, ඔහු දුටුවම දැනෙන මොකක්දෝ සමීප බවක් හිතේ තියෙනවා. තමන්ගේ නිවසට පෙනෙන මායිමේදී මේ විදියට ක්‍රියාත්මක වුණේ ත්‍රස්තවාදයයි. මට මේ සිද්ධිය ගැන කරන්න පුළුවන් වෙලා තිබුණු ඉතාම නරකම දෙය නැත්නම් නීරස දේ වුණේ ඒ සිද්ධිය පදනම් කරගෙන කතාවක් රචනා කිරීමයි. තරුණ කොල්ලෙක් රැඩිකල් වුණේ කොහොමද කියන එකයි. මොකද මට වදයක් වුණේ ඒ කාරණේ නෙමේ, වදයක් වුණේ ඔහුව හඳුනාගැනීමයි. අතිදුෂ්ටයෝ දැනහඳුනාගැනීම වෙනුවට එකිනෙකට වෙනස් හඬවල් පහකින් වර්තනය වන අන්දම හඳුනාගන්න මට වුවමනා වුණා. මේ නිසා කෘතියේ ඉන්න හැම චරිතයක්ම ඔවුන්ගේම වූ අන්තවාදයක් ඉදිරිපත් කරනවා. බුකර් සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තුගත කෘතීන් අතර ඔබේ කෘතිය තිබෙන බව දැනගත්තම මොකක්ද දැනුණේ ? මේ ගැන නිළ වශයෙන් නිවේදනය කරන්න දින කීපයකට කලින් ඒ බව මට දැනගන්න ලැබුණා. මගේ කෘතිය ප්‍රකාශනය කළ කාර්යාලයෙන් මේ ගැන සඳහන් කරපු බොහොම සතුටු හිතෙන ඊමේල් පණිවිඩයක් එවා තිබුණා. කුස්සිහේ එහේ මෙහේ දුවමින් උඩ පැනපු මම ඒ ගැන මුලින්ම කිව්වේ බිරිඳටයි. එදා මම කොහෙවත් ගියේ නැහැ. ලේඛන ජීවිතේ සම්බන්ධයෙන් කිසිදිනක මං වෙන කිසිම ලේඛකයෙකු එක්ක කිසිම සංවාදයක් කරලා තිබුණෙත් නැහැ. නමුත්, මගේ ජීවිතයේදී මට කරන්න පුළුවන් වෙන කිසිම සුන්දර දෙයක් ගැන මට දැන් හිතාගන්න වත් බැහැ. බුකර් සම්මානයට නිර්දේශිත දිගු ලැයිස්තුවේ කෘති අතරට පැමිණීම පවා ලේඛනයේදී කළයුතු දේවල් අතරේදී අපිට කාලයක් හා අවකාශයක් ලබාදීමක් වගේ. මං කාලය හා අවකාශය පස්සේ යන කෙනෙකු නිසා මේ අවස්ථාව මට හරිම වැදගත්.
ඔබ දැන් ජීවත්වෙන්නේ මැල්මෝ වල. ඔබේ දෙවැනි නවකතාවට පදනම්වී තියෙන්නෙත් ලන්ඩනයමද ? මේ නවකතාව ආරම්භ වෙන්නේ ලන්ඩනයෙන් පිටතදීයි. නමුත්, ඇත්තටම මේක ස්ථානය පදනම් කරගත්තු නවකතාවක් නෙමෙයි. භාෂාව පදනම් කරගත්තු එකක්. අරාබි කාව්‍ය, සිරියාවේ ඉන්න පියෙකු හා පුතෙකු වටා ලියැවුණු කෘතියක්. මැල්මෝ නගරය බොහොම නිහඬ අවකාශයක් හා හිතට තැන්පත් බවක් ලබාදෙනවා. පළවෙනි කෘතිය හා දෙවැනි කෘතිය අතර තරමක භූගෝලීය වටිනාකමක් තිබීම විශිෂ්ටයි. ඔබේ පියා In our Mad and Furirous Cityකෘතිය මිලදීගත් අවස්ථාවේදී ඔබ ඒ ගැන පළකරපු ට්වීටර් පණිවිඩය රැල්ලක් වගේ පැතිරිලා ගියා. 40,000 රිට්වීට් වෙලා තිබුණා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද ? ලංකාවේ ඉඳන් මෙහේ ආව මුල් කාලයේදී තාත්තා කිසිම ඉංග්‍රීසි වචනයක් කතා නොකළ බව නිතරම ඔහු මට කියලා තියෙනවා. ඔහු රෑ කාලේ තියෙන පාසල් වලට ගියත් චාර්ජින් හරස් වීදියේ තියෙන Foyles කඩේට ගිහිං පොත් රාක්ක වල තියෙන පොත් කියවලා ස්වයං අධ්‍යයනක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඔහු එහෙම ගිහිං තියෙන්නේ දවල් කෑම වෙලාවේදීයි. පොත් කඩේ බිම ඉඳගෙන ඔහු පොත් කියවලා තියෙනවා. මං දැනුම් තේරුම් තියෙන වයසට එනතෙක්ම තාත්තා මේ කතාව ඉවරයක් නැතුව කියලා තියෙනවා. මගේ අම්මයි, තාත්තයි එක්ක ආයෙමත් පාරක් Foyles වලට ගිහිං, මගේ අතින් රචනා වුණු කෘතිය තෝරන්න මගේ තාත්තට පුළුවන් වුණා නම්, අනිවාර්යයෙන්ම, ඒක අපූරු අවස්ථාව මගේ ඇස් ඉදිරිපිටම දකිමින් ඒ ගැන ට්වීටර් එකේ ඡායාරූපයක් පළකරපු වෙලාවේ ඒ වටා මුළු ලෝකේම එකතු වුණා. මේ මොහොතේදී ඔබේ පොත් මේසේ තියෙන පොත් ගැන සිහිපත් කළොත් ? අරාබි කාව්‍ය හා ප්‍රබන්ධ කෘති ගොඩක් තියෙනවා. සිරියානු කවියෙකු වෙන අදොනිස්ගේ ඒවා විශේෂයි, ඔටේසා මොෂ්ෆෙග් අතින් නිර්මාණය වුණු My Year of Rest and Relaxation කෘතිය. හිතන්නවත් බැරි තරමට භ්‍රාන්තිය දනවන කෘතියක් වෙන අහමඩ් බොනානිගේ The Hospital කෘතිය තිබෙනවා. ඇත්තටම, මේ කෘතිය එඩිතර බව දනවන්නක්. ඔබේ හිත්ගත්තු ලේඛකයින් කවුද ? මං එඩිතර බව දැනෙන විදියේ ප්‍රබන්ධ රචනා කරන ලේඛකයින්ට කැමතියි. අලි ස්මිත්, ගුන්තර් ග්‍රාස්, සැමුවෙල් බෙකට් හා නිකොලා පාකර් වගේ අය ඔබේ කුඩා අවදියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලටද ? හැම දරුවෙක්ම සාමාන්‍යයෙන් තෝරගන්න කෘතීන්, රෝල්ඩ් ඩාර්ල්ගේ කතා වලට දැඩි ඇල්මක් දැක්වුවා. නිසි විදියට කියවන්න යොමුවුණේ ගැටවර අවදියේදීයි. සල්ලිකාර අය ගැවසෙන ප්‍රදේශ වල තියෙන පුණ්‍ය ආයතන මට්ටමින් පවත්වාගෙන යන පොත් කඩ වලට නිතරම ගියා. බ්ලූම්ස්බරි හෝ මියුස්වෙල් හිල් වල පිහිටි ඔක්ස්ෆර්ම් පොත් කඩේට ගියා, එහෙන් පොත් අරගෙන ආපහු නෙස්ඩන් වලට ආවා. මං වඩාත් ආදරය කරපු ලේඛකයින්ව මුණගැහුණේ එහෙමයි. සැමුවෙල් බෙකට් කියන්නේ මාර චරිතයක්. ඔහු බොහොම දැඩි තැනැත්තෙක්. ලේඛනය කියන්නේ සුවපහසු බව හෝ සැහැල්ලු බව දැනෙන්න අඳින ඇඳුමක් නොවෙයි. වර්ජිනියා වුල්ෆ් කියන්නේ වෙනමම චරිතයක්. යුදෙව් – ඇමරිකන් සම්භවයක් තියෙන ලේඛකයින් මාව උත්තේජනය කළා. චිකාගෝවේ වීදි අතරින් ඇවිද යමින් යුදෙව් උරුමය ගැන සිත් වසඟ කරවන කතා ලියූ ඉෂාක් බෂෙවිස් සිංගර්, සෝල් බෙලෝ වගේ අය අති සමීප බවක් දැනෙනවා. (2018.09.09 දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි – The Guardian ඇසුරිනි)

‘ලේඛන හැකියාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ – හරුකි මුරකාමි

September 11, 2018 0 Comments
මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මිනිස්සු වැරදි වලින් මුදවන්නට බැහැ ‘‘මං මරණ දඬුවමට විරුද්ධයි. මනුස්සයෙක්ව මරාදැමීම කියන්නේ කිසිදා සමාව දිය නොහැකි බරපතල අපරාධයක්. එක් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුව මරාදැමීම නැත්නම් එක් පද්ධතියක් හෝ ආයතනයක් විසින් පුද්ගලයෙකුව මරාදැමීම සම්බන්ධයෙන් මූලික වශයෙන් වෙනසක් පැවතිය යුතුයි. වරදට සමාව දීමට හැකි එකම මඟ මරණය බව ලෝකයේ විශ්වාසය වී තිබුණත් ඒ ගැන පවතින සම්මුතිය නැතිවෙමින් යනවා. පවත්නා නීති පද්ධතිය ඇතුළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මිනිසුන් වැරදි ක්‍රියා වල නිරතවීම නවත්වන්නට හැකි බව දිනෙන් දින වැඩිවන අපරාධ දුටු විට කිසිසේත්ම විශ්වාස කරන්නට බැහැ. මේ වගේ කාරණා සලකා බලද්දි ඇත්තටම මරණ දඬුවම පැනවීම මාරාන්තික අන්තරායක්.‘‘ න්රික්යෝ ආගමික කල්ලියේ ඝාතනයන් ගැන සටහන් තැබූ හරුකි හරුකි මුරකාමි නම් සුප්‍රකට ජපන් ලේඛකයා පසුගිය ජූලි 29 වැනිදා ඉරිදා The Mainichi පුවත්පතට ලිපියක් යොමුකරමින් මරණ දඬුවම ගැන සටහන් තබන්නේ එලෙසයි. මේ සටහනේ නිමිත්ත වෙන්නේ 1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin) මුදාහැර පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු එල්ලා මරාදැමීමයි. පහුගිය ජූලි මසදී මේ පිරිස එල්ලා මරාදැමීමෙන් අනතුරුව ඒ පිළිබඳව හරුකි මුරකාමි විසින් සටහන් තබන්නට හේතු වුණු කරුණක් තිබුණා. ඒ ඔහු රචනා කළ Underground –The Tokyo Gas Attack and the Japanese Psyche (1997) කෘතියට පාදක වී තිබෙන්නේ මේ විෂ දුමින් මියගිය පවුල් වල පිරිස් මෙන්ම ඒ අපරාධයට හවුල් වූ පිරිසගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡාවන් වීමයි. Underground – තෝකියේවේ විෂ වායු සිද්ධියට ගොදුරු වුණු පුද්ගලයින්ගේ ඥාතීන් හා එහි වැරදිකරුවන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියැවුණු කෘතියක් මේ ගැන පවසන හරුකි වැඩිදුරටත් පවසන්නේ, ‘‘තෝකියෝවේදී විෂ වායු මුදාහැර පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව මින් ජීවිත අහිමිවූවන්ගේ ඥාතීන් Underground කෘතිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ තැනැත්තෙකු ලෙස ඔවුන් එකල අත්විඳි දුක, වේදනාව මෙන්ම කෝපය ද මා දැක තිබෙනවා. මවිසින් රචනා කෙරුණු කෘතියක් මා නැවත කියවන්නේ බොහොම කලාතුරකිනුයි. නමුත්, Underground කෘතියේ සමහර තැන් කියවන විට අදටත් මගේ නෙතගින් කඳුළු කඩාවැටෙනවා. එකල මේ කෘතිය වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවන් වා තලයට මුසුවී, ඒ හැඟීම්, හඬවල් වා තලයේ සැරිසරා මවෙත විත් විටෙක මගේ හුස්ම සිරකර දමනවා. මා භාවාතිශය තැනැත්තෙකු බව ඔබ කියාවි. නමුත්, පොත් ලියන මනුස්සයෙකු විදියට ඒ වගේ ස්වභාවික හැඟීම් මැඩපැවැත්වීමේ වුවමනාවක් මට නැහැ, ඒ හැඟීම් එලෙසින්ම පාඨකයින්ට පවසන්නට මට හැකියාවක් තිබෙනවා නම් එය නොපැකිලිව සිදුකරන්න මා කැමැතියි. ඇත්තටම, Underground කෘතිය රචනා කරන සමයේදී ඇතුළතින් වෙනස් වූ බවක් මට හැඟුණා.‘‘ යන්නයි.
හරුකිගේ සීයා බෞද්ධ හිමිනමක වූ අතර ඔහුගේ පියා ජපන් සාහිත්‍යය ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. කුඩාවියේදී සිටම ජපන් සාහිත්‍යය, කලාව හා සංගීතය ප්‍රතික්ෂේප කරමින් එතෙක් කලක් ජෑස් පටි, හොලිවුඩ් සිනමාපට තුළින් පමණක් හඳුනාගෙන සිටි ජපානයට එපිටින් සිටි ලෝකය දැන හඳුනාගැනීමට ඔහු තුළ දැඩි බලපෑමක් ඇතිකළේ නිරන්තරයෙන් ඇමරිකානු නාවිකයින් පැමිණි කෝබිහි ගෙවීගිය ජීවිතයයි. තෝකියෝවේ සිසුවෙකු ලෙස ගතකළ අවදියේදී ද පශ්චාත් නූතන ප්‍රබන්ධ කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හරුකි සිය දිවියේ 23 හැවිරිදි කඩඉමේදී විවාහ දිවියට ඇතුළත් වූ අතර තෝකියෝවේ Peter Cat නම් ජෑස් සමාජ ශාලාවක් පවත්වාගෙන ගියා. මේ අතරතුරදී තමන්ට ලේඛකයෙකු විය හැකියැයි සිහියට නැගෙන්නේ බේස්බෝල් තරගයක් නරඹමින් සිටින අවස්ථාවේදීයි.
ලේඛනය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ – හරුකි මුරකාමි ‘‘මා බුද්ධිමතෙකු නොවේ. ආඩම්බරයෙන් දිවිගෙවන තැනැත්තෙකු ද නොවේ. මා, මගේ කෘතීන් කියවන පාඨකයන් මෙන්ම වුණු තැනැත්තෙකි. මට ජෑස් ක්ලබ් එකක් තිබුණා. එහි කොක්ටේල්, සැන්ඩ්විච් ආදිය පිළියෙල කළේ මමයි. කිසිසේත්ම ලේඛකයෙකු වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. ඒක සිද්ධ වුණේ ඉබේටමයි. ලේඛනය දෙවියන්ගෙන් මා ලැබූ තෑග්ගක් වෙන්න ඇති. ඒ නිසාම මං බොහොම නිරහංකාර විය යුතු බව මගේ විශ්වාසයයි‘‘ Hear the Wind Sing නවකතාව හරහා 1979 දී ලේඛනයට පිවිසෙන මේ ලේඛකයා සිය කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළද එය ජපානයේ අලෙවි නොකළ යුතු යැයි ඉල්ලීමක් කරනවා. මේ නවකතාව උදෙසා ඔහුට Gunzo සාහිත්‍යය සම්මානය ද හිමිකරගන්නා හරුකි ඔහු විසින් රචිත සෑම කෘතියකින්ම ජනප්‍රියත්වය හා පිළිගැනීම හිමිකරගන්නට සමත් වෙනවා. 1987 දී ඔහු විසින් රචිත Norwegian Wood කෘතිය හරුකි සුවිශේෂී සාහිත්‍යධරයකු බවට පත්කරන්නට සමත් වෙනවා. ’80 පරපුරේ හඬ, ජපානයේ ජේ.ඩී. ස්ලින්ගර්‘ යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුව හැඳින්වෙන අතර ජපානයේ පමණක් මේ කෘතියේ පිටපත් මිලියන දෙකක් අලෙවි කෙරෙනවා. පසුකලෙක මෙය සිනමාපටයකටත් නැගෙනවා. ද පැරිස් රිවීව් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන හරුකි ඒ ගැන පවසන්නේ, ‘‘මං අධියථාර්තවාදී නවකතා නොලීවා නම් ධර්මය ගැන ලියන ලේඛකයෙකු වේවි. නමුත්, මට ප්‍රධාන ධාරාව බිඳදැමීමට වුවමනා වුණු නිසා යථාර්තවාදී පොත් රචනා කිරීමට හැකි බව පෙන්වන්න සිද්ධ වුණා. මගේ අතින් Norwegian Wood කෘතිය රචනා වුණේ ඒ නිසයි. අපේක්ෂා නොකළ අන්දමේ ප්‍රතිචාර මේ කෘතියට හිමිවුණා පමණක් නොව ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතියක් බවටත් එය පත්වුණා.‘‘ යන්නයි. A Wild Sheep Chase (1982), The Wind-Up Bird Chronicle (1994–95), Kafka on the Shore (2002), 1Q84 (2009) ඔහු විසින් රචිත විශිෂ්ට කෘතීන් කීපයක් වන අතර හරුකිගේ පොත් ලොව පුරා භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙනවා. Killing Commendatore නමින් 2017 වසරේදී ඔහු ලියූ නවකතාව අශෝභන යැයි පවසා පසුගියදා හොංකොං හි විරෝධතා පැවැත්වුණා. අතිවිශිෂ්ට කෘති රචනා කළ මේ ලේඛකයා විකල්ප නොබෙල් සම්මානය අබියස හිඳිමින් පවසන්නේ මෙවැනි කතාවකි. ‘‘ඔබ කියවන්නේ හැමෝම කියවන පොත් නම්, ඔබට සිතිය හැක්කේද හැමෝම හිතන දේවල් පමණි.‘‘