Showing posts with label feminism. Show all posts
Showing posts with label feminism. Show all posts

Tuesday, September 11, 2018

කාන්තාවක් නිරුවත් වුණොත් වැඩි වැඩියෙන් මුදල් ගලා ඒවි – නවාල් අල් සඩාවි

September 11, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ තෙවැනි කොටසයි. ඊජිප්තු කාන්තාවන් ඇත්තටම නිදහස්ද ? මේ නවීන ලෝකයේ දිවිගෙවන කාන්තාවන් දිහා බැලුවම, විශේෂයෙන්ම ඊජිප්තු කාන්තාවන් ගත්විට ඔවුන් තවදුරටත් නිදහස් ජීවිතයක් ගතකරන බව ඔබ විශ්වාස කරනවාද ? ඔව්, අනිවාර්යයෙන්ම. පුද්ගලයින් කණ්ඩායම් තුනකට වර්ග කළොත් නිදහස් ජීවිත ගතකරන කාන්තාවන් වගේම පිරිමින් ද ඉන්නවා. දෙවැනි කණ්ඩායම නිදහසේ ජීවිත ගෙවාදැමීම හා නැවත ආපස්සට යාම අතර ඉන්න පිරිසයි. ඒවගේම නිදහස් නැති ජීවිත ගතකරන තෙවැනි කණ්ඩායමක්ද ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් ඊජිප්තුවේ ජීවත්වන සමහර කාන්තාවන් ලිංගික භාණ්ඩයක් විදියට සලකන පිරිසක් ඉන්නවා. මේක දැවැන්ත ප්‍රතික්‍රමණයක්. සමාජය තුළ මෙලෙස ජීවත්වන බොහෝ දෙනකු හඳුනගන්නට හැකියි. ඊජිප්තුවේ පමණක් නෙවෙයි මෙවැනි තැනැත්තන් ලෝකයේ හැමතැනම ජීවත්වෙනවා නේද ? ඔව්, ඔව්. මේ පුද්ගලයින් දේශීය හා ගෝලීය වශයෙන් වෙන්වීමක් නොකළේ ඒකයි. දේශීය කියන වචනේ ගැන අපි කතාකරමු. නමුත්, බොහෝ දෙනෙකු ඔබත් එක්ක තර්ක කරන්නේ ඔවුන්, ඔවුන්ව ලිංගික භාණ්ඩ විදියට දකින බව පවසමිනුයි. ඔවුන් කියන්නේ ‘නැහැ, මෙමගින් අප සවිබල ගැන්වෙනවා කියලයි‘. ඔවුන් තර්ක කරන්නේ එලෙසයි ? ඔව්, මං එවැනි අය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔළුව වහගෙන ඉන්න මේ ආවරණය නිසා ඔවුන් රෝගී වුණාම මගේ සායන වලට එනවා. මං හොයාගත්ත විදියට නම් ඔවුන් ඔළුව වහගෙන ඉන්න අකමැතියි. මේක බොහොම කුහක වැඩක්. ඒවගේම ඔවුන්ගේ මොළේට විස පොවලා තියෙන්නේ, මේ විතරක් නෙමෙයි පීඩාවටත් පත්කරලා තියෙනවා. මේක මානසික ප්‍රශ්නයක්. ‘මගේ සැමියාට බිරින්ඳෑවරු හතර දෙනෙක් විවාහ කරගන්න පුළුවන් කියන කාරණේට මං එකඟයි‘ කියලත් සමහරදෙනෙකුගේ හිත් වලට දනවලා තියෙනවා. බහු විවාහ කරගත්තොත් අපායේ යාවි – ආගමේ නාමයෙන් නැගෙන අනියත බිය තවත් කාන්තාවක් ඔබට මේ වගේ ප්‍රකාශයක් කළාම එය දැනෙන්නේ කොහොමද ? තමන්ගේ සැමියට කාන්තාවන් හතර දෙනෙකුව විවාහ කරගන්න පුළුවන් කියලා ඇය එකඟ වෙනවා කියන කාරණේට එකඟ නම් මං ඇගෙන් පෙරළා විමසන්නේ, ‘ඔයා ස්වාමියන් හතරදෙනෙකුව විවාහ කරගන්නවට සැමියා කැමතිද කියලා ?‘, ‘අපෝ නැහැ, කොහොමටවත් නැහැ‘ කියලා ඇය උත්තර දෙනවා. ඇගෙන් ‘ඔයාගේ සැමියට කාන්තාවන් හතරදෙනෙකුව විවාහ කරගන්නත්, ඔබට එවැනි විවාහයක් නොකරගන්නත් අයිතියක් නැතිවෙන්නේ කොහොමද ?‘ කියලා ඇහුවම, නිරුත්තර වෙනවා. දෙවියන්ට තියෙන බිය නිසා, අපායේ ගින්දරට බිය නිසා ඔවුන් ඒ ගැන හිතන්නේ නැහැ. ‘නැහැ, මං එහෙම කලොත් අපායේ ගිනිදැල් වලට අහුවේවි‘, ‘මං අපායට යාවි‘ යැයි කියනවා. මේ අදහස එන්නේ ළමාවියේදී ඉඳන්මයි. සිත හා කය නිදහස් කරගත්ත මගේ දුව වගේ නිදහසේ ජීවත්වන තවත් පිරිසක් ඉන්නවා. නමුත්, ඔවුන් ඇමරිකානුකරණය වෙලා නැහැ. ඇමරිකානුකරණය හා ඉස්ලාම්කරණය අතර ඉන්න තවත් පිරිසක් ඉන්නවා. මේ පිරිස ඔවුන්ගේ හිස වසාගෙන හිටියත් බඩ වසාගෙන ඉන්නේ නැහැ. මේක ඇමරිකානුකරණය. ඉස්ලාම්කරණය කියන්නේ අපේ ආගමයි. ඉතිං, කාන්තාවන් මේ විදියට දිවිගෙවනවා.
මෙවැන්නක් සිද්ධවෙන්නේ ඇයි ? බටහිර රටවලත් මෙවැනි කාන්තාවන් ජීවත්වෙන බව ඔබ හිතනවාද ? නිදහසේ ජීවත්වීම කියන කාරණය ඇතුළේ ඔවුන් ඉන්නේ කොතැනකද ? අපි එක ලෝකයක ජීවත්වෙන බව මුලින්ම කිවයුතුයි. මේ ලෝකය වෙළඳපලකරණය, ප්‍රාග්ධනවාදයෙන් නිර්මාණය වූ තැනක්. කාන්තාවන් ඒ ලෝකය ඇතුළේ භාණ්ඩයක් බවට පත්වෙනවා. මේ ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද භාණ්ඩ බවට පත්වී ඉන්නවා. කාන්තාවන් වසානොගත් තැන් මේ ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ වසාගත යුතුයි. මොකද නිරුවත් වීම හරහා ලොකු මුදලක් ගලා ආ හැකියි. මේ සමාජය, ආණ්ඩුව, මාධ්‍ය නිරුවත්කරණයට වගේම සිරුර සඟවා තබාගන්නටත් වෙළඳපලක් නිර්මාණය කරදෙනවා. නිරුවත් වීම හා සිරුර සගවාගැනීම එකම කාසියේ දෙපැත්තයි. මේ දෙකේම තියෙන්නේ එකම පණිවිඩයක්. කාන්තාවක් වසාගත්තම ඇය නිකං වසාගත් සිරුරක් බවට පමණක් පත්වෙනවා. මොකද මෙහිදී ඇය සගවාගන්නේ ඇගේ මනස නොව සිරුරයි. ඇය නිරුවත් වුණාම එහි අර්ථය වෙන්නේ ඇය සිරුරක් බවට පත්වූ බවයි. මොකද මනසක් වසාගන්න හෝ නිරුවත් කරන්න අප කටයුතු කරන්නේ නැහැ. කාන්තාව හුදෙක් සිරුරක් පමණක් බවට වුණු මේ සංකල්පනාව, පිරිමින්ට ඇයව භාණ්ඩයක් බවට පමණක් බවට වූ අදහස දනවනවා. ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ මෙමගින් ලාභ ගලා ඒවි. කාන්තාවක් නිරුවත් කළොත් වැඩි වැඩියෙන් ලාභ උපයාගන්නට හැකිවේවි. ඊට පස්සේ මේක්අප්, හැමතැනම මේක්අප් ගල්වනවා. පශ්චාත් නව්‍ය සමාජයේ ජීවත්වෙන කාන්තාව වෙළඳපලට වැඩි වැඩියෙන් ලාභ උපයා දෙනවා. ආගම, නූතනත්වය හෝ පශ්චාත් නූතනවාදය මගින් වෙළඳපලේදී කාන්තාව පාවිච්චි වෙන්නේ මේ විදියටයි මේ කාන්තාවන් හා අනෙක් කාන්තාවන් අතර තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද ? ඔව්, ඔබ මෙහිදී අදහස් කළේ මවක් තමන්ගේ දියණියට අයුතු අන්දමේ බර පටවන බවද ?. ඔව්, අනිවාර්යයෙන්ම. ඒවගේම අනෙක් කාන්තාවන්ට ? ඔව්, ඔව්. මේක වහල් මනෝභාවයක්. සාමාන්‍යයෙන් වහල්ලු තමන්ගේ ස්වාමියාව සතුටු කරන්න එකිනෙකාට වෛර කරනවා, එකිනෙකා සමග සටන් කරනවා. ඉතිං, කාන්තාවන්ටත් ඔවුන්ගේ ස්වාමියා වන පිරිමියාව සතුටු කරන්න ඕන. ගැහැණු ළමුන් මත ඔවුන් අයුතු බරක් පවරන්නේ ඒ නිසයි. ඔබේ ජීවිතය ඇතුළේදී භින්නමතික දේවල් ගොඩනගන්න බොහෝ වෙර දරා තිබෙනවා. කාන්තාවන් හා සංගම් පිහිටුවා, ඔබ වෛද්‍යවරියක ලෙස දුප්පත් කාන්තාවන්ට උදව් කරන්න උත්සහ කර තිබෙනවා. ඒවගේම ලේඛිකාවක් බවටත් පත්වෙනවා. ඔබේ හැඟීම් ලේඛනයන් තුළින් හෙළිදරව් කළ යුතු බව දැනුණේ ඇයි. භින්නමිතිකභාවය හා ලේඛනය අතර තියෙන සම්බන්ධය මොකක්ද ? මං ලියන්න පටන් ගත්තේ අක්ෂර මාලාව දැනගත්ත කාලේදී ඉඳන්මයි. මගේ අම්මා තමයි අක්ෂර මාලාව කියාදුන්නේ, එය ලියන්න දැනගත් විනාඩියේ ඉඳන්ම මං ලියන්න ගත්තා. මොකක්දෝ දෙයක් රහසේම පවසන්න මට වුවමනා වුණා. මගේ අම්මා, තාත්තා වගේම පාසලේ ගුරුවරුන් දිහා ඕනෑකමින් බැලුවා. මොකක්දෝ දෙයක් කියන්න වුවමනා වූ නිසා ලියන්න ගත්තත් මගේ සිහින රජදහන ඇතුළේ වැඩිහිටියෙක් බවට පත්වෙන්න ඕන වුණා. නර්තන ශිල්පිනියක් වීම මගේ හීනය වී තිබුණා. අනික් හැම ළමයෙක්ම වගේ නටන්න, පියානෝව වාදනය කරන්න කැමති වුණා. නමුත්, මට පියානෝවක් අරන් දෙන්න තරම් වත්කමක් තාත්තාට තිබුණේ නැහැ. ඉතිං, මට ඉතුරු වුණේ ලියන්න පුළුවන් කොළ කෑලි ටිකක් හා පෑනක් විතරයි. සංගීතය තරමටම ලේඛනය මාව ප්‍රමෝදයට පත් කළා. ලේඛනය හිතට තදින් වැදුණා. මේ සිස්ටම් එක අවුල් මං යන හැමතැනකදීම මේ සිස්ටම් එක සම්බන්ධයෙන් මට පැහැදීමක් නොතිබුණු නිසා මට තරහ ගියා. මගේ සොහොයුරිය එක්ක රණ්ඩු කළා. සමාජය ඉදිරියේ ඇය මාව හාස්‍යයට ලක්කළ නිසා කොහේ ගියත් ඇයත් එක්ක රණ්ඩු වෙනවා. ගැහැණු ළමයෙක්, කාන්තාවක් වගේම මනුස්සයෙක් විදියට මං කැරලි ගහන්න පටන් ගත්තා. භින්නමතිකවාදියෙකු වෙන්න ගත්තා. ඒක හරිම ස්වභාවිකයි. මං කිසිදෙයක් නොකළත් එය මා සොයා ආවා.
ඒත් ඔබ නවකතා රචනා කරන්නේ ඇයි ? මා ස්වයං චරිතාපදානයක් හෝ නවකතාවක් වෙන්කරන්නේ නැහැ. කරුණු හා ප්‍රබන්ධ වෙන්කරන්නේ නැහැ. මේ දෙකම එකක්. ප්‍රබන්ධ කතා අතිශය බලසම්පන්න බව ඔබ හිතනවද ? ඔබ ඒක තීරණය වෙන්නේ ලියන්නේ කොහොමද යන්න මතයි. සමහරවෙලාවට ප්‍රබන්ධ නොවන ලේඛන බොහොම බලසම්පන්නයි. මා රචනා කළ The Hiden Face of Eve හා Woman at Point Zero වැනි කෘතීන් කෘතිය බොහොම බලසම්පන්නයි. මගේ ස්වයං චරිතාපදානය මවිසින් රචිත විද්‍යාත්මක ලියවිලි තරමටම බලසම්පන්නයි. මේක තීරණය වෙන්නේ ලියන අන්දම මතයි. මේක ප්‍රකාශයට පත්කිරීමේ අරමුණින්ම පමණක් නොව අවංකව ලියනවා නම්, තවත් කෙනෙක්ට දැනගන්න ලියනවා නම්. ලේඛනය හුස්ම ගන්නවා වගේ දෙයක්. මං ලියද්දි මට දැනෙන්නේ හුස්ම ගන්නවා වගේ. මං ලිවීම අත්හැරියොත් හුස්ම හිරවුණු බවක් දැනෙනවා. (සිනාසෙමින්). තරුණ දැරිවියක් ලෙස ඔබ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් ස්ත්‍රී ලිංග අංගඡේදනය ගැන ලියා තිබෙනවා. ලේඛනය තුළින් ඔබ, ඔබ ගැනම, ඔබ විඳි අත්දැකීම් ගැන අනාවරණය කිරීම කෙතරම් වැදගත්ද ? මේක අතිශයින්ම වැදගත්. ලේඛකයින් ඔවුන්ගේ පුද්ගලික ජීවිත ගැන ලියනවා. නවකතාව හා ස්වයංචරිතාපදානය එකිනෙකින් වෙන්නොකරන්නේ ඒ නිසයි. ඔබ වෙනත් ලේඛකයින්ගේ කෘති කියෙව්වොත් මේ බව දැනහඳුනාගන්නට හැකිවේවි. නමුත්, ඔවුන් සමහර තොරතුරු වසන් කරනවා. එහෙම කළත් ඔවුන් ඔවුන්මයි. මා ස්ත්‍රී ලිංග අංගඡේදනය ගැන ලිව්වේ මාත් ඒ අත්දැකීමට මුහුණදුන්නු නිසයි. කාන්තාවෝ මේ අත්දැකීමට මුහුණදෙනවා. මා පිරිමියෙකු නොවුණත් පිරිමින්ගේ අංගඡේදනය ගැන ලිව්වේ කුඩා පිරිමි දරුවොත් මීට මුහුණදෙන නිසයි. මේ අත්දැකීම පුද්ගල ජීවිතයට බොහොම දරුණු විදියට බලපානවා, මානසිකව, සමාජයීය වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් බලපානවා. මෙවැනි අන්දමේ අත්දැකීමකට පෞද්ගලිකව මට මුහුණදෙන්නට සිද්ධවුණා යන්න ප්‍රශ්නයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ අත්දැකීමට පෞද්ගලිකව මට මුහුණදෙන්නට සිද්ධවුණා නම් මීට වඩා අරගල කරාවි. මේ පුද්ගලයින් අංගඡේදනය නොකළ යුතු බව ඔබ විශ්වාස කරනවාද ? ඔව්, 2011 දී වුණු ඊජිප්තු විප්ලවයෙන් පස්සේ මගේ පොත් අරාබියේ ඉන්න ජනතාවට හා ඊජිප්තු ජනතාවට කෙතරම් බලපෑවාද යන්න හොයාබලන්න වුවමනා වුණා. මොකද මගේ පොත් බොහොමයක් විවිධ රටවල පැතිරී ගොස් තිබුණා. ඉන්දියාවේ පවා. මගේ කෘති පරිහරණය කළ මායා කියන ඉන්දීය තරුණියක් මා ඇමරිකාවේදී කළ පාඨමාලාවකට සහභාගී වුණා මට මතකයි. නිර්මාණාත්මක බව හා විරුද්ධවාදය ගැන මා පාඨමාලාවක් කළා. ‘ඔබ ලියූ Woman at Point Zero කෘතිය මා කියෙව්වා‘ කියලා මායා කිව්වා. ‘මං මේ පාඨමාලාවට ආවෙත් ඒ නිසයි‘ කියලා ඇය කිව්වා. අනිවාර්යයෙන්ම මා ලියූ දේවල් වලින් බලපෑමක් ඇතිවුණා මිනිස්සු තවමත් තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ ඇයි කියලා ඔබ දන්නවාද ? ඒක ඵෙතිහාසිකයි. දරුවන්ගේ ජනනේන්ද්‍ර පද්ධතියේ කොටසක් කපාදමන්නේ ඇයි ?, නොවන්නේ ඇයි ? දරුවන්ගේ කන් නොකපා ඔවුන්ගේ පුරුෂලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. ලිංගික අවයවයේ කොටසක් කපාදමන්නේ ඇයි ? මේක ඵෙතිහාසිකයි, ඒ වගේම පුරුෂ මූලික සමාජයට සම්බන්ධයි. පුරුෂ මූලික සමාජයේ සාරයන් වෙන්නේ මොනවද ? පුරුෂ මූලික සමාජය ගැන වචන දෙකකින් කිව්වොත්, කාන්තාවකට විවාහ කරගන්නට හැකිවෙන්නේ එක සැමියෙකු එක්ක විතරයි. පිරිමියෙකුට කාන්තාවන් කීපදෙනෙකුව විවාහ කරගන්නට හැකියි. නමුත්, එක් පිරිමියෙකු පමණක් විවාහ කරගන්නට නීතිය, බලය මගින් ඇයට බලකර සිටිනවා. හැම සංස්කෘතියක්, ආගමක් යටතේම ඇයව මීට පොළඹනවා. ඒක විවාහය අනිවාර්ය කරුණක් බවට පත්කරනවා. නමුත්, මේ ආගමික කාරණා, නීතිමය කාරණා පැමිණෙන්නට කලින් කාන්තාවන් ද පිරිමින් වගේම බහු විවාහකයි. Channel 4 News සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි

Thursday, August 23, 2018

‘‘මා මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන හදාරපු නිසයි‘‘ – නවාල් අල් සඩාවි

August 23, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ දෙවන කොටසයි. ඔබ, ඔබව මනුෂ්‍ය ප්‍රාණියෙක් විදියට දුටුවත් හැමදේටම විරුද්ධ වන කෙනෙකු ලෙසත් දකින බව කිව්වා පැවසුවානේ ? ඔව් කාන්තාවන් වගේම කුඩා දරුවන් දස දහස් ගාණක් ඔබව ස්ත්‍රීවාදිනියක් ලෙස මෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් ලෙස හඳුනාගෙන සිටිනවා. ඔබ ලියූ ලේඛනයන් දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනයට ලක්වෙනවා. ඔබ පුරුෂ මූලික සමාජයේ අසාධාරණය ගැන ලියන්න තීරණය කළේ මොන මොහොතකදීද ? හ්ම්, මගේ කුඩා අවදියේ සිට ජීවිතයේ හැම තැනකදීම කෘතියක් රචනා කිරීමේ උනන්දුවක් තිබුණා. අවුරුදු 13 දී විතර ඉඳන් මගේ අතේ රහස් දිනපොතක් තිබුණා. එය පසුකලෙක මුද්‍රණයට පත්වුණා. පුරුෂමූලිකයි කියන්නේ මොකක්ද ? පිරිමින්ට වැඩි වරප්‍රසාද හිමිවීම, සුවිශේෂී ධෛර්යයක් හිමිවීම, බලගැන්වුණු නීතියක් හිමිවීම. පිරිමියෙකු – පිරිමියෙකු වීම නිසාම ඔහුට ආධිපත්‍යයක් හිමිවීම යන්නයි. ඉතිං, ස්ත්‍රීවාදය කියන්නේ මට අමුතුවෙන් අධ්‍යයනය කරන්න සිද්ධවුණු දෙයක් නෙමේ. ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියලාවත් නොදැන ගැහැණු ළමයින් ස්ත්‍රීවාදිනියන් බවට පත්වෙනවා. මගේ දෑතට පෑනක් ලැබුණු හැම මොහොතකදීම මගේ ප්‍රශ්න, ගැහැණු ළමයින්ගේ ප්‍රශ්න, මගේ සොහොයුරියන්ගේ ප්‍රශ්න ගැන ලියන්න පටන්ගත්තා. ඔබ ලේඛනයේ යෙදුණේ හුදෙක් ඔබ ගැනම කියන්නද ? නැත්නම් පවතින දේ වෙනස් කරන්න වුවමනා වුණු නිසාද ? ඇත්තටම, පළවෙනි කාරණේ මගේ හැඟීම් ප්‍රකාශ කිරීම. කුඩා වියේදී පවතින දේ වෙනස් කළයුතුයි යන්න ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මා වගේම මට දැනුණු තරහ, බිය, බොළඳකම මේ හැමදේම ලෝකයට විදාරණය කරන්න අවශ්‍ය වුණා. ඒ දේවල් වලින් නිදහස් වෙන්න වුවමනා වුණා. වෛද්‍ය විද්‍යාව හදාරලා ලෝකය ගැන දැනහඳුනාගත්තට පස්සේ මා මේ දේවල් වෙනස් කළයුතු බව හිමිහිට දැනෙන්න ගත්තා. මුළු ලෝකයම වෙනස් කරන්න වුවමනා වුණා. ඔබට වෙනස් කරන්න ඕන වුණේ මොනවද ? මා ගිය හැමතැනකම තිබුණේ අසාධාරණය. තබන තබන හැම පියවරක් පාසාම අසාධාරණය දකින්න ලැබුණා. ගෙදරදි, වෙනත් පිරිමි ළමයින් මට පාරේදි සැලකුව විදිය තුළ පවා මේ අසාධාරණය දැකගන්න හැකිවුණා. ගැහැණු ළමයෙක් පාරේ නිදහසේ එහෙ මෙහේ ගිය නිසත්, මං ගැහැණු ළමයෙක් වීම නිසාම පාසල් යනකාලේදී කොල්ලෝ මගේ පපුවට ගල් ගැහුවා. දැඩි වික්ෂිප්තයට පත්වුණු මම ගල් අතට අරන් ඒ පිරිමි ළමයිට ගහන්න පටන්ගත්තා. බොහොම වියරු වැටුණා. ඔවුන් වගේම මාත් වියරු වැටිලා ඉන්න බව දැනගත්තම ඔවුන් මට බියවුණා. ඔවුන් ආයේ කවදාවත් මට ගල් ගැහුවේ නැහැ. මං විරුද්ධකාරියක් වුණේ ඒ නිසයි. මට ගහන අයට මාත් ගහනවා
ලෝකය වෙනස් වුණු බව ඔබේ වෘත්තීන් ඇතුළේදී අත්විඳ තිබෙනවාද ? ඔව්, අනිවාර්යයෙන්ම. ද්විතීක පාසලේ ඉගෙනගන්නා කාලේදී, වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නා කාලේදී ලෝකය වෙනස් කරන්න වුවමනා වුණා. නමුත්, උපාධිය ලබාගත්තට පස්සේ කාන්තාවන්ව සංවිධානය කරන්න පටන්ගත්තා. එවැනි සංවිධානයකින් අත්පත් කරගත හැකි ප්‍රතිලාභ ගැන තේරුමක් තිබුණා. අපිට තනිව ලෝකය වෙනස් කරන්නට බැහැ, හැමෝම එකතු වෙන්න ඕන. මේ සංවිධානගත වෙන පිරිස කාන්තා අයිතීන් ගැනත් දැනගත යුතුයි, කාන්තා අයිතීන් ගැන මා රචනා කරන්න ගත්තේ ඒ නිසයි. එය ක්‍රම ක්‍රමයෙන් පටන්ගත්තා. ඔබට එවැනි කාන්තා සංවිධානයක් තිබෙනවාද ? ඔව්, තිබුණා. ආණ්ඩුව ඒක තහනම් කළා. ඒ ඇයි ? මගේ විරුද්ධවාදී බව වැඩිවුණා. ආණ්ඩුව මාව සිරගත කළා. ජීවිතේ ගෙවද්දි වගේම කියවද්දිත් මේ අසාධාරණ බව මට දැඩිව දැනෙන්න ගත්තා. ඔබේ සංවිධානයේ අරමුණු වුණේ මොකක්ද ? කාන්තාවන් නිදහස් කරගැනීමයි. එහි අරුත ලිබරල් ස්ත්‍රීවාදිනියන් යන්න නොවේ. කාන්තාවන්ව ආර්ථිකමය, සමාජයීය, ශාරීරික, ආගමික මෙන්ම මානසික වශයෙන් ද නිදහස් තැනැත්තන් බවට පත්කළ යුතුයි යන්නයි. අපි ඵෙතිහාසික සමාජවාදී ස්ත්‍රීවාදය, ඉතිහාසය හැදෑරුවා. කාන්තාවන් හැම රටකම ජීවත්වෙනවා. ඔවුන් සෑම ආගමක් තුළම කැරලිගහනවා. ඉන්දියාව, ඊජිප්තුව – හින්දු දහම, යුදෙව් දහම, කිතුදහම, ඉස්ලාම් වැනි ආගම් ඇතුළේ ඔවුන් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. ස්ත්‍රීවාදය යන්න බටහිර සොයාගැනීමක් වත් ඇමරිකානු කාන්තාවන් විසින් හොයාගත්තු දෙයක් වත් නොවේ. ස්ත්‍රීවාදය බිහිවෙන්නේ ලෝකය පුරා ඉන්න කාන්තාවන් කළ අරගලය තුළිනුයි. ඉතිං එය ඵෙතිහාසිකයි. පංති පීඩනයට විරුද්ධ නිසා එය සමාජවාදියි, ධනවාදයට විරුද්ධයි. මොකද ධනවාදය පීතෘ මූලිකවාදයට සම්බන්ධයි. අපි පිරිමින්ට විරුද්ධ නැහැ, නමුත් පීතෘමූලිකවාදයට විරුද්ධයි. ආර්ථිකය, ආගම, සංස්කෘතිය, විද්‍යාව මේ හැමදේම තුළම විසිරී තිබෙන පිරිමින්ගේ ආධිපත්‍යයට විරුද්ධයි. බලයට කෑදර මිනිස්සු මේ සංවිධානයට බිය වුණා ? ඔව්, අනිවාර්යයෙන්ම. අපේ සංවිධානය තහනමට ලක්කළේ ඒ නිසයි. අපි විප්ලවයක් කරන්න ඔන්න මෙන්න කියලා හිටියේ. මේ තුළ කාන්තාවන්ම පමණක් හිටියේ නැහැ. අපේ සංවිධානයට සම්බන්ධ වී හිටිය 40 % ක්ම පිරිමි අය. පිරිමි අයත් සම්බන්ධ වී හිටියා ? ඔව්, තරුණයින් 40 % ක් හිටියා. ඔවුන් මේ කාරණා ගැන පුදුම සහගත උනන්දුවක් දැක්වූවා. ඔවුන් මේ සංවිධානය වටා එක්වී හිටියේ ඇයි ? පීතෘමූලික සමාජය ඇතුළේ පිරිමින් ද පීඩාවට ලක්වන බව ඔවුන්ට දැනී තිබුණා. ඒ පීතෘමූලික සමාජය තුළ පීඩනයට ලක්වුණේ කාන්තාවන් පමණක් නොවෙයි. පංති විෂමතාවය, ධනවාදය ඔවුන්ව පීඩාවට ලක්කර තිබුණා. පංති පීඩනය හා කාන්තාව පීඩාවට ලක්වීම අතර තිබුණු සබැඳියාව යන කාරණය ගැන උනන්දුවක් මොවුන් තුළ තිබුණා. ඔවුන් බොහෝ දෙනෙකු සමාජවාදීන් වගේම සමහර අය මාක්ස්වාදීන් වී සිටියා. නමුත්, සමහර මාක්ස්වාදීන් අපේ සංවිධානය සමග සම්බන්ධ වුණේ නැහැ. කාන්තාවන්ට විශේෂ තැනක් හිමිවිය යුතු නැති බව ඒ පිරිසගේ විශ්වාසයයි. අප කොමියුනිස්ට් සමාජයක් කරා ගියොත් කාන්තාවන් ඉබේම ලිබරල් වනු ඇති බව ඔවුන් දැඩිව විශ්වාස කළා. අපි ඒ මතයට එකඟ වුණේ නැහැ. නමුත්, පංති පීඩනය – ආර්ථික පීඩනය යන කරුණු කාන්තාවන් පීඩාවට ලක්කිරීම, ලිංගිකත්වය නිසා පීඩාවට ලක්කිරීම ආදියට සම්බන්ධ කිරීමට වුවමනා වුණු තරුණ වියේ පසුවුණු සමාජවාදීන් අප වටා සිටියා.
ඔබ මාක්ස්වාදිනියක් නොවුණේ ඇයි ? මං මාක්ස්වාදය කියවලා තිබුණු නිසා. (සිනාසෙමින්). ඇත්තටම, මාක්ස්වාදීන් යැයි තමන්ටම කියාගන්නා මිනිස්සු කිසිදාක ඔහු ගැන හදාරලා නැහැ. මං ආගම ගැන හදාරපු නිසා ආගම්වාදිනියක් වුණේ නැහැ. අප ආගම ගැන හදාරන්න, හදාරන්න නිරාගමික කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙක් මාක්ස් ගැන ගැඹුරින් හැදෑරුවොත් ඒ තැනැත්තා මාක්ස්වාදියෙක් නොවේවි. මොකද මේ න්‍යායන් ඇතුලේ තියෙන්නේ මොනාද, ඒවගේ බලපෑම මොකද්ද යන්න ගැන වගේම පරස්පර දෑ ගැනත් ගැඹුරු අවබෝධයක් අපිට එනවා. මාක්ස් පවා මාක්ස්වාදියෙකු වුණේ නැහැ. අනිත් කාරණේ මම මේ ලේඛකයා නැත්නම් දාර්ශනිකයාගේ පුද්ගලික ජීවිතය ගැන හදාරන්න පටන් ගත්තා. ඔහු දැඩි ලෙස පීතෘමූලික කෙනෙක්. ඔහු යුක්තියුක්ත පසුබිමකින් පැවත ආවත් කාන්තාවන්ට ගරු කළේ නැහැ. මං සහසම්බන්ධතාවයට කැමතියි, නමුත්, සාධාරණත්වය ගැන කතාකළත් කාන්තාවන්ට දරුණු විදියට සැලකුව දාර්ශනිකයෙකු ගැන විශ්වාස කරන්න බැහැ. ඔහු සිය දරුවන්ට පවා නිසි ලෙස සැලකුවේ නැහැ. මා මෙහිදී ඔහුගේ පුද්ගලික ජීවිතය හා සමාජය හමුවේ පෙන්වන ජීවිතය වෙන්කොට සැලකුවේ නැහැ. Channel 4 News සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි මේ ලිපියේ පළමු කොටස කියවන්න ‘‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ – නවාල් අල් සඩාවි‘‘ මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න ‘‘ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද භාණ්ඩ බවට පත්වෙලා‘‘ https://youtu.be/djMfFU7DIB8