Thursday, June 21, 2018

ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ලිහිල් වෙයි

June 21, 2018 0 Comments
අනවසර සංක්‍රමණික පවුල් එකට රඳවා තැබීමට ඇමරිකානු ජනපති ඊයේ (20) සිය එකඟතාවය පළකර ඇත. සංක්‍රමණික දරුවන් හා මාපියන් එකිනෙකාගෙන් වෙන්කොට තැබීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ල වූ මහජන විරෝධයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් මෙම විධායක තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී අදහස් දැක්වූ ට්‍රම්ප් පැවසුවේ, ‘‘පවුලේ සියලුදෙනාම එකට තබා ගැනීම මෙහිදී අතිශය වැදගත් වෙනවා. හදවතක් තියෙන හැමෝටම මේ ප්‍රතිපත්තිය තදින් දැනෙනවා. වෙන් කරන ලද පවුල් දකින්න මා කැමති වුයේ නැහැ‘‘ යනුවෙනි. අනවසර සංක්‍රමණකයින් ලෙස චෝදනා ලැබූ මාපියන් සිර මැදිරි වල තබා සිටියදී ඔවුන්ගෙන් වෙන් කර තැබූ දරුවන්ගේ ඡායාරූප දුටු තමා අතිශය සංවේදී වූ බව ද ට්‍රම්ප් පවසා ඇත. කෙසේ වුවත්, ට්‍රම්ප් නිකුත් කළ මෙම නිවේදනය මගින් පවුල් වලින් දැනටමත් වෙන් කරන ලද පවුල් වලට විසඳුම් නොලැබේ. ඇමරිකානු බලධාරීන් පවසන අන්දමට මේ වර්ෂයේ මැයි 5 වැනිදා සිට ජූනි 9 වැනිදා තෙක් වූ කාලය තුළදී මාපියන් 2206 දෙනෙකුගෙන් දරුවන් 2324 කු වෙන්කර තබා ඇත. ට්‍රම්ප් නිකුත් කළ මෙම නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ, – සංක්‍රමණික පවුල් වල පිරිස් වල නඩු විභාග සලකා බලන විට රඳවා තබා ගැනීම – පවුල් සම්බන්ධිත සංක්‍රමණික අවස්ථාවන් කඩිනම් කිරීම – සංක්‍රමණික දරුවන් කොපමණ කාලයක් දරුවන් රඳවා තබාගැනීමට හැකිදැයි සම්බන්ධයෙන් වූ තීරණ උසාවියෙන් වෙනස් කරන ලෙස ඉල්ලීම ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා මෙන්ම දියණිය ඉවන්කාගෙන් ද මෙම සංක්‍රමණික ප්‍රතිපත්ති වෙනස් කරන ලෙසට වූ ඉල්ලීම් ලැබුණු බව ද ඔහු පවසා ඇත. BBC ඇසුරිනි

Wednesday, June 13, 2018

ට්‍රම්ප් හා කිම් ඵෙතිහාසික ගිවිසුමකට එළඹේ

June 13, 2018 0 Comments
ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොන් අන් අතර වූ ඵෙතිහාසික හමුව අද (12) සිංගප්පුරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී සිදුවිය. අැමරිකානු ජනපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර ගිවිසුමක් අත්සන් කළ පළමු අවස්ථාව මෙයයි. නායකයින් දෙදෙනා මුලින්ම අතට අත දෙමින් සුහදතාවය පළකරගත් අතර ට්‍රම්ප් මෙහිදී පැවසුවේ නුදුරේදීම ධවල මන්දිරයට පැමිණෙන ලෙස තමන් කිම් ට ආරාධනා කර සිටින බවයි. මෙහිදී අදහස් දැක්වූ ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ‘‘කොරියානු අර්ධ ද්වීපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම ගැන වූ ගිවිසුමකට කිම් හා මම අත්සන් තැබුවා. මේක අතීතය නොවෙයි, මෙය කිසි විටෙක ආරම්භ නොකළ තවත් පරිපාලනයක් නොවේ. කිම් මිසයිල අත්හදාබැලීම් සිදුකරන ප්‍රදේශයක් විනාශ කරදමා අවසන්. අප දියත් කරන අතිශය අසීරු කටයුත්තක සමාරම්භක දිනය අදයි. අපි දෑස් හැරගෙන බලා සිටින්නේ ඒ වෙනුවෙනුයි. මේ විසඳුම ගැනීමට නියමිත වී තිබුණේ මීට දිගු කලකට පෙරාතුව වුණත් අද අප එය විසඳනවා. ඕනම කෙනෙක්ට යුද්ධ කරන්න පුළුවන් වුණත් සාමය වෙත යා හැක්කේ ධෛර්යසම්පන්න මිනිසුන්ට පමණයි‘‘ යන්නයි. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කිම් පැවසුවේ, ‘‘මෙය ඵෙතිහාසික හමුවක් වගේම මේ අවස්ථාවේදී අත්සන් තබන ගිවිසුමත් ඵෙතිහාසිකයි. ගිවිසුමෙන් පසුව සිදුවෙන වෙනස්කම් ලෝකය දකීවි. මේ ගිවිසුම යථාවක් බවට පත්කරන්නට ක්‍රියාකළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ස්තුතිය පුදකරන්න කැමතියි.‘‘ යන්නයි. කෙසේවුවත්, මෙම පුවත වාර්තා කළ සමහර විදෙස් මාධ්‍ය කිම්ව හඳුන්වා දුන්නේ ‘‘ආඥාදායක පාලකයෙකු‘‘ ලෙසිනි. දෙරට අතර අද දින අත්සන් තැබුණු ගිවිසුමේ අන්තර්ගත වූ මුලික කරුණු මෙසේය. ඇමරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව සිය ජනතාවගේ අභිලාෂයන් පිළිගනිමින් දෙරටේ සාමය හා සෞභාග්‍යය ස්ථාපිත කිරීමට කැප වෙනු ඇත කොරියානු කලාපය තුළ සාමය ඇතිකිරීමට ඇමරිකාව හා උතුරු කොරියාව සහයෝගයෙන් යුතුව කටයුතු කරනු ඇත 2018 අප්‍රේල් මස ඇති කරගත්Panmunjom ප්‍රකාශනය (උතුරු – දකුණු කොරියා අතර සාමය වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම) අනුව කොරියානු කලාපය තුළ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම ගැන වූ ක්‍රියාවලීන් ශක්තිමත් කරනු ඇත යුධ සිරකරුවන් හා යුද්ධයේදී අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ නිසි තොරතුරු සොයාබැලීම, ජීවතුන් අතර සිටින තැනැත්තන් යළි සිය රටවල් වෙත එවීම සම්බන්ධයෙන් දෙරට කැපවන බව සහතික වීම https://youtu.be/DCWdTT1GZKY

රොබට් ඩි නීරෝ – ට්‍රම්ප්ට ප්‍රසිද්ධියේ බැණ වදියි

June 13, 2018 0 Comments
සුප්‍රකට රංගන ශිල්පී රොබට් ඩි නීරෝ ඊයේ (10) දින නිව්යෝර්ක් හි රේඩියෝ සිටි සංගීත ශාලාවේ පැවති ටෝනි සම්මාන උළෙලේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ප්‍රසිද්ධියේ බැණ වැදී ඇත. ටෝනි උළෙල සජීවීව ආවරණය කළ විදෙස් මාධ්‍ය නාලිකා වලට මෙම ප්‍රකාශය අන්තර්ගත කොටස වාරණය කිරීමට නොහැකි වී ඇති අතර ඊට අදාළ වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය පුරා හුවමාරු වෙයි. ‘‘මට එක දෙයක් කියන්න ඕන – ෆක් ට්‍රම්ප්‘‘‘ යනුවෙන් වේදිකාව මත සිටින නීරෝ සිය දෑත් දෙපසට කරමින් පවසන අතර වේදිකාව පහළ සිටින නරඹන්නන්ගෙන් ඊට උණුසුම් ප්‍රතිචාර හිමිවෙයි. අත්පොලසන් දෙමින් නැගී සිටින සියලුම ප්‍රේක්ෂකයින් නිරෝගේ ප්‍රකාශය අනුමත කරන අන්දම අදාළ වීඩියෝවේ දැකගත හැකිය. සංගීතඥයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු ද වන බෘෘස් ස්ප්‍රින්ස්ටන්ට වේදිකාවට ආරාධනා කිරීමට නීරෝ සැරසුණු අවස්ථාවේ දී නීරෝ මෙම ප්‍රකාශය සිදුකර ඇත. බෘෘස්ට ආරාධනා කරමින් නීරෝ පවසා තිබෙන්නේ, ‘‘බෘෘස් අන් කිසිවෙකුට නොදෙවෙනි වෙන විදියට මේ සභාව ප්‍රබෝධමත් කරන්නට ඔබට පුළුවන්. මේ අනතුරුදායක සමයේදී වඩා වැදගත් වන්නේ ජනතා මනාපයයි. ඔබගේම වචන වලින් සත්‍යය, විනිවිදභාවය හා රජයේ අවංකකම වෙනුවෙන් නිරන්තරයෙන්ම සටන් කරාවි. අපිට දැන් වුවමනා එයයි.‘‘ යන්නයි. මේ වනවිට 74 හැවිරිදි වියේ පසුවන ඇකඩමි සම්මානලාභී මේ රංගන ශිල්පියාගේ ප්‍රකාශය පිළිබඳ සුප්‍රකට තිර රචක ටෝනි කුෂ්නර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ‘‘ඒ රොබට් ඩි නීරෝ. එයා එක්ක වාද කරන්න යන්නේ කවුද ?‘‘ යන්නයි. නීරෝ වත්මන් ඇමරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතවාදියෙකු නොවන අතර මීට පෙර ද අවස්ථා ගණනාවකදී ඔහු ට්‍රම්ප්ව විවේචනයට ලක්කර ඇත. NBC මාධ්‍ය ජාලය වෙනුවෙන් නීරෝ ඉදිරිපත් කරන “Saturday Night live‘‘ වැඩසටහනට එක්වෙමින් ඔහු වරක් 2016 මැතිවරණයේදී රුසියානු මැදිහත්වීමක් වූ බවට විමර්ශන කරන රොබට් මුලර් උපදේශකවරයාගේ චරිතය නිරූපණය කරමින් ට්‍රම්ප්ව හාස්‍යයට ලක්කළේය. https://youtu.be/TfK5PN4YKEM

Thursday, May 31, 2018

2019 වසරේදීත් නොබෙල් සාහිත්‍ය සම්මානය ලබානොදෙන ලකුණු

May 31, 2018 0 Comments
අපකීර්තියට පත්ව ඇති ස්වීඩන ඇකඩමිය තුළ යළි විශ්වාසය ස්ථාපිත නොකළහොත් 2019 වසරේ සාහිත්‍ය වෙනුවෙන් වූ නොබෙල් සම්මානය ලබානොදීමට ඉඩ ඇති බව නොබෙල් සම්මාන කමිටුවේ විධායක අධ්‍යක්ෂවරයා වන ලාර්ස් හේකින්ස්ටන් අනාවරණය කර ඇත. ස්වීඩන් ඇකඩමිය පසුගිය මැයි 4 වැනිදා තීරණය කළේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභියෙකුගේ නම නිවේදනය කළ ද 2018 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබානොදෙන බවයි. ස්වීඩන් ඇකඩමියේ සාමාජිකාවක වන කත්‍රිනා ෆ්‍රොස්ටෙන්සන්ගේ සැමියා වන ඡායාරූප ශිල්පී ජීන් ක්ලෝඩ් ආර්නෝල්ඩ් විසින් සිදුකරන ලද ලිංගික අපචාර ක්‍රියා, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනාවන් මෙම තීරණය ගැනීමට හේතු වුණි.
කත්‍රිනා හා ආර්නෝල්ඩ් ආර්නෝල්ඩ් සම්බන්ධයෙන් ස්වීඩන් ඇකඩමිය කටයුතු කළ ආකාරයත් සමගින් ස්වීඩන් ඇකඩමියේ සාමාජිකයින් දෙදෙනෙකු සිය ඉල්ලා අස්වීම භාරදුන් අතර අවසානයේදී සාමාජිකයින් 12 දෙනෙකු සිටිය යුතු සාමාජික පිරිසෙන් 10 දෙනෙකු පමණක් ඉතිරි විය. නොබෙල් සාහිත්‍ය සම්මානය පිළිබඳ ජනතාව අතර ඇති විශ්වාසය පළුදු වීමට යා නොදී 2019 වසරේදී නොබෙල් සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාපත් කිරීමට නියමිත බව ප්‍රකාශ විය. එය ද මේ වනවිට අවිනිශ්චිතය. The Guardian ඇසුරිනි

Sunday, May 27, 2018

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි – ෆ්‍රීඩා කාර්ලෝ

May 27, 2018 0 Comments
තමන්ගේ කුසින් බිහිවෙන්නට ඉඳපු, නමක් නොතිබුණු පුංචි සිඟිත්තාගේ කළලය ඉදිරිපිට අසීරුවෙන් මෙන් හිඳගෙන පින්සල් තුඩින් සීරුවට චිත්‍රයක් මවන ගැහැණියක්. ඒ නෙත් කොණින් ගලායන්නට තවත් කඳුළු නම් ඉතිරි වෙලා නැහැ. මේ රෝහල් සයනය දැනටමත් ඇගේ කලාගාරය බවට පත්වී හමාරයි. ඇසිල්ලක විරාමයක් නැතිවම ඇය, ඇය වැනිම වුණු තවත් සුවහසක් ගැහැණුන්ගේ කතාව චිත්‍රණය කරනවා. එකිනෙක යා වුණු දෙබැම ඇගේ මුහුණට රෞද්‍ර බවක් එක්කළත් කොහේ දෝ තැනක වසන් වී තිබෙන ශෝකයක සේයාවක් ඒ දෙනෙතේ කොතැනක හෝ සනිටුහන් වී තිබෙන බව නම් නිසැකවම කිව හැකියි. ඇය ෆ්‍රීඩා කාර්ලෝ.
ඇගේ අතින් සිතුවම් වුණු ඒ චිත්‍රය Henry Ford Hospital (1932) නමින් හැඳින්වෙනවා. ලෙයින් තෙත් වී ගිය රෝහල් සයනයක වැතිරී හිඳින නිරුවත් ගැහැණියක්, රතු පැහැ කම්බි පහකින් ඇගේ ගැබට සම්බන්ධ වී තිබෙන කළලයක්, ගොළුබෙල්ලෙකු ඇතුළු වස්තූන් කීපයක් හා කාර්මීකරණයෙන් සවිබල ගැන්වුණු මෙක්සිකෝව එහි පසුබිමින් දැකගන්නට හැකියි.
ලොව එළිය දකින්නටත් මත්තෙන් අකාලයේදී අහිමි වී ගිය දරුවා ගැන පසුකලෙක ඇය සිහිපත් කරන්නේ, ‘‘මං දස දහස් වාරයක් ඇඬුවා. ඒත්, ඒක ඉවරයි. දරා සිටි කළලය අතහැරීම හැර වෙන කිසිම විසඳුමක් මට තිබුණේ නැහැ. මං ගැන හොඳින්ම දන්නේ මා පමණයි. බොහෝවිට මං ගතකළේ හුදකලා ජීවිතයක්. මම මාවම චිත්‍රණය කළේ ඒ නිසයි. මගේ නිර්මාණ වල නිරූපණය වී තිබෙන්නේ මගේ ජීවිතයේ යථාර්තයයි. මා දන්නා එකම දේත් එයම පමණයි. සිහියට නැගුණු විවිධාකාර සිතුවිලි මගේ නිර්මාණ තුළින් දැකගන්නට හැකියි‘‘ යන්නයි. මෙක්සිකෝවේ ඉපදෙන ෆ්‍රීඩා හය හැවිරිදි වියේදී පෝලියෝ රෝගයෙන් පීඩා විඳින්නට වුණු අතර දිවියේ 18 වන කඩඉමේදී මාරාන්තික අනතුරකට මුහුණපානවා. ජීවිත කාලය පුරාම වරින් වර ශල්‍යකර්ම ගණනාවකට මුහුණ දුන්නත් මේ අනතුරින් පසුව ඇතිවුණු ආබාධයන් ඇගේ ජීවිතයේ අවසානය තෙක්ම විඳ දරාගෙන හිඳින්නට සිද්ධවෙනවා. ෆ්‍රීඩාගේ ජීවිතයේ අවසාන භාගය ඇඳටම පමණක් සීමා වෙන්නෙත් ඒ නිසයි. වෛද්‍ය උපදෙස් පවා නොතකමින් තමන්ගේ දුර්වල සිරුර අමාරුවෙන් වුණත් ඇඳකට වාත්තු කරගෙන ජීවිතයේ අවසාන භාගයේදී ඇගේ උපන් බිම වුණු මෙක්සිකෝවේ පැවැත්වුණු ඇගේම චිත්‍ර ප්‍රදර්ශනයට පවා යන්නේ ගිලන් රථයකින් රැගෙන ගිය ඇඳක වැතිරීගෙනයි. ෆ්‍රීඩාගේ ජීවිතයේ තරුණ අවදියේදී මුහුණදෙන්නට සිද්ධ වුණු රිය අනතුර ජීවිතයේ වැඩි කලක් ඇයව ඇඳකට සීමා කර තැබුවත් ෆ්‍රීඩා ලොවක් හැඳිනගත් චිත්‍ර ශිල්පිනියක් බවට පත්කරන්න සමත් වෙන්නෙත් මේ අත්දැකීමමයි. ලෝක සම්භාවනාවට පාත්‍ර වුණු කලා කෘති 50 කට අධික ප්‍රමාණයක් ඇගේ අතින් නිර්මාණය වෙනවා.
‘ඔව්, ඇත්තටම මේ සිද්ධිය මගේ ජීවිතේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා. මං සුවපත් වීමේ ක්‍රියාවලියේ කොටසක් විදියට අනික් හැමදේකටම වඩා මං විඳපු පීඩාව නිදහස් කරගන්න වුවමනා වුණා. චිත්‍ර අඳින්න යොමුවෙන්නේ ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් විදියටයි. එය මගේ වේදනාව අඩුකරන්න විශේෂඥ වෛද්‍යවරුන් දුන්නු වේදනා නාශක වගේ නොවෙයි. ඒ වේදනා නාශක දරාගන්න බැරි තරමට අසීරු ඒවා වුණා වගේම ඒ නිසා දැඩි වේදනා විඳින්නත් සිද්ධ වුණා. අවුරුද්දක් ගතවෙන කල් ඇඳෙන් බහින්න හැකිවුණේ නැහැ. ඒත්, මං පුංචි මාර්ගයක් හොයාගෙන ඒ ඔස්සේ ඉස්සරහට ගියා. වාසනාවකට වගේ මගේ චිත්‍ර නිසාම ජීවිතේ බේරුණා
බස් රථ අනතුරින් පසුව මං මුහුණදුන් අඛණ්ඩ වේදනාවෙන් පවා මගේ නිර්මාණ සවිබල ගැන්වී තිබෙනවා. මට දරුවන් ලබන්නට නොහැකියි කියන කාරණයත් සමගින් මේ සිතුවම් අත්‍යන්තයෙන්ම වර්ණවත් වී තිබෙනවා. ගැහැණියකට තමන්ගේ ජීවිතයේදී මුහුණදෙන්නට සිද්ධවෙන අතිශය දරුණුතම අත්දැකීම වෙන්නේ එයයි. ඇයට කෙදිනකවත් මවක් වෙන්නට නොහැකි බව දැන දැනත් ජීවත් වීම කෙතරම් අසීරුද යන්න වටහාගන්නට හැකිවෙන්නේ තවත් ගැහැණියක්ටම පමණයි. ඒ හැඟීම හදවතින්ම නැගෙන ප්‍රබල ආශාවක්. මං තාමත් දෙවියන්ගෙන් අහන්නේ මට ඒ අයිතිය නොලැබුණේ ඇයි කියලා. ඒත්, සමහරවිට මං එවැනි අභියෝග, බාධක වලට මුහුණනොදුන්නා නම් මගේ අතින් නිර්මාණ බිහිනොවෙන්න ඉඩ තිබුණා.‘‘ ෆ්‍රීඩා ඇගේ අතීතය සිහිපත් කරන්නේ එලෙසයි. ජීවිතයේ විසි දෙවැනි කඩඉමේදී මෙක්සිකෝවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ බිතු සිතුවම් ශිල්පියෙකු වුණු දියෝගෝ රිවේරා සමගින් ඇය විවාහ වෙනවා. විවාහ දිවියට ඇතුළත් වෙද්දි දියෝගෝ පසුවුණේ 42 හැවිරිදි වියේ යි. දියෝගෝගේ වෙනත් සම්බන්ධකම් නිසාවෙන් ෆ්‍රීඩාට කඳුළු සලන්නට සිද්ධ වුණු අවස්ථා ද නැතිවාම නොවෙයි. ඇයව දැඩි කම්පනයකට ලක්කරන්නේ ඇගේම සොහොයුරිය හා දියෝගෝ අතර පැවති සම්බන්ධයයි. කෙසේවුවත්, ෆ්‍රීඩා – දියෝගෝ අපූරු සුසංයෝගයෙන් ඵෙතිහාසික අධියථාර්තවාදී චිත්‍ර නිර්මාණ වල වෙනසක් ඇතිවෙන්නට පටන්ගන්නවා. පූර්ව කොළොම්බියානු යුගයේදී පැවති මිත්‍යා කථා හා ආගමික සංකේත ඔවුන්ගේ නිර්මාණ වල තේමාව බවට පත්වෙද්දී ෆ්‍රීඩා ඇඳි චිත්‍ර පැරීසියේ පවා සම්භාවනාවට ලක්වෙනවා. බොහෝ විට ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණය සංකේතාත්මක හා අවිදග්ධ අධිතාත්විකවාදයේ නැගීමක් ලෙසින් නම්කෙරෙනවා. 20 වන සියවසේ පහළ වූ විශිෂ්ඨතම ආලේඛ්‍ය චිත්‍ර ශිල්පිනිය ලෙස නම් ලබන්නේ ද ෆ්‍රීඩා. My Birth (1932), Memory – the Heart (1937), What the Water Gave me (1938), The Two Fridas (1939), Self-Portrait with Thorn Necklace and Hummingbird (1940) හා The Broken Column (1944) ඇය අතින් හැඩගැන්වුණු සිතුවම් කීපයක්.
ජීවිතයට තදින් බලපෑ සිද්ධි මොනවාදැයි ඇගෙන් විමසන ලද අවස්ථාවකදී ‘‘දියෝගු වෙනුවෙන් මගේ හිතේ තිබුණු ආදරය, මට මුහුණදෙන්නට වුණු බස් රථ අනතුරින් පස්සේ කකුලේ ඇතිවුණු බකල් ගැහීමත් සමග දැනෙන්න ගත්ත තදබල වේදනවා හා මගේම දරුවෙකු හැදීමේ නොහැකියාව‘‘ යැයි ඇය පවසන්නේ ජීවිතයේ හිමිවීම් වලට වඩා අහිමිවීම් මිනිහෙක්ව තව තවත් ශක්තිමත් කරන බව සිහිපත් කරමිනුයි. 1907 ජූලි 6 වැනිදා මෙලොව එළිය දුටු ඈ ජීවිතයේ 47 වන කඩඉම පසුකර සතියක් ඉක්ම ගිය තැන 1954 ජූලි 13 වැනිදා සිය ජීවිතය හැරයනවා. 1970 දී නැගී ආ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ෆ්‍රීඩාව හඳුන්වන්නේ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන් සංකේතයක් ලෙසිනුයි. මිය යන මොහොතෙදිත් මුහුණේ හිනාවක සේයාවක් ඉතිරි කරමින් නික්මී ගිය ෆ්‍රීඩා ජීවිතයේ වැඩි කාලයක් දෙපයින් ඇවිදිනවට වඩා එක් තැනකට සීමා වෙලා හිටියත් ජීවිතයේ උමතුව ගැන කියන්නේ මෙලෙසයි.
‘‘හැමවිටම පිස්සු වැඩකරන්න මං කැමතියි. මල් වලින් සැරසිලි කරන්න, ආදරය, වේදනාව හා මොළොක් බව චිත්‍රණය කරන්න, අනික් අයට මෝඩයෙක් වගේ පේන විදියට හිනාවෙන්න කැමතියි. එතකොට, ‘එයාට පිස්සු‘ කියලා මාව දකින අනික් හැමෝම කියාවි. අනික් හැමදේටමත් වැඩියෙන් මං, මගේ මෝඩකම් ගැන හිත හිත හිනාවෙන්න කැමතියි. ජීවත්වෙන අතරතුරදීම මගේ ලෝකය ගොඩනගමින් ලෝකයේ ඉන්න අනික් හැමෝම සමග එකඟතාවකට පැමිණෙන්නට කැමතියි. දින, පැය, මිනිත්තු විදියට ගෙවීයන හැම මොහොතක්ම මට වගේම අනික් හැමෝටමත් අයිතියි. ඉතිං, මගේ මේ උමතුව ‘යථාර්තයෙන්‘ නික්මී නොයාවි‘‘ යන්නයි.

Friday, May 25, 2018

පරිකල්පනය එක්තරා විදියක පුහුණුවක්, සමහර විට මානසික රිදවාගැනීමක් - Stephen King

May 25, 2018 0 Comments
සුප්‍රකට The Dark Tower කතා මාලාව, Stand by Me,The Shawshank Redemption, and The Mistආදියේ රචකයා වන ස්ටීවන් වයස අවුරුදු 18 දී පමණ ඉඳන් මත්පැන් වලට දැඩි ඇල්මක් දැක්වූවෙකි. මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ඔහු විසින් නවකතා 54 ක්, කෙටිකතා 200 කට අධික සංඛ්‍යාවක් ලියැවී ඇත. කලාවට කළ මෙහෙවර අගයමින් ඇමරිකාවෙන් පිදෙන ජාතික පදක්කම ද, ලෝක ෆැන්ටසි සම්මානය, බ්‍රෑම් ස්ටෝර්කර් සම්මානය ආදිය හිමිකරගන්නට සමත් වුණු ස්ටීවන්‘‘මරිජුවානා නීතිගත කළ යුතු අතරම එය කර්මාන්තයක් බවට ද පත්කළ යුතුය‘ යන ස්ථාවරයේ පසුවූවේය. ලොව වැඩිම අලෙවියක් ඇති ලේඛකයෙකු ලෙස පසුකාලීනව දැඩි මත්ද්‍රව්‍ය ලෝලියෙකු බවට පත්වෙන ස්ටීවන් සිය අතීතය ගැන ප්‍රසිද්ධියේ අනාවරණය කරන්නේ 2014 වසරේදී රෝලින් ස්ටෝන් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදීය. පහතින් පළවන්නේ ඉන් උපුටාගත් කොටස් කීපයකි. උදේ අවදි වුණු වෙලාවේ ඉඳන් ඔබ ලේඛනයේ යෙදෙන්නේ කොහොමද ? සාමාන්‍යයෙන් මං උදේ කෑම අරගෙන හැතැප්ම තුනහමාරක් විතර ඇවිදිනවා. ආපහු ඇවිල්ලා මගේ ඔෆිස් කාමරයට වැදෙනවා. මං ලියන හැම ලේඛනයක්ම තියෙන්නේ මේ කාමරයෙයි. අවසානෙටම යොදපු සටහන මේ ලිපි ගොනුවේ උඩින්ම තියෙනවා. බොහොම ආසාවෙන් මේ කඩදාසි කොළේ දිහා බැලුවත් ඒ හැඟීම හරියට ටැක්සියක ගමනක් යනවා වගෙයි. ලියලා නවත්වපු දේවල් ආපහු කියවලා ඒකේ සමහර තැන් සංස්කරණය කරලා රසිකයින් අතට පත්කරන්නට උත්සහ ගන්නවා. මුළු දවසෙම ලේඛනය වෙනුවෙන් යොදවන්නේ නැහැ. සමහරවිට පැය දෙකක් විතර ලියලා ඒක කපලා කොටලා මුද්‍රණය කරලා තියාගන්නවා. දිනපතාම ලේඛනයේ යෙදෙනවාද ? ඔව්, හැමදාම. ඒ වගේම හැම සති අන්තයකමත් ලේඛන කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මම වේගයෙන් ලියනවා. වයස්ගත වීමත් සමග ලියන වේගය අඩු වෙනවා ලේඛනය ඇබ්බැහියක් බව ඔබට දැනෙනවද ? ඔව්, ඇත්තටම. මේ වෙද්දි බොහොම අඩුවෙන් කරලා නමුත් හොඳ ප්‍රතිඵලයක් කාර්යයන් කීපය අතරින් එකක්. සාමාන්‍යයෙන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරලා ටික වෙලාවක් ගතවෙද්දි ඒ බව දැනෙන්නේ අඩුවෙන්. ඒකත් හොඳ දෙයක් වුණාට ඇත්තටම ඒක හිතට තදින් බලපාන අතහරින්නට නොහැකි හැසිරීමක්. මාස හයක් තිස්සේ එකම දේ ලියලා ඒකෙන් පුංචි දෙයක් එළියට ගන්නට හැකියි. ඊට පස්සේ දවස් 10-12 ඇතුළත හැමදේම ඉවරයක් කරන්න උත්සහ ගන්නවා. ඒත්, මේ කාලය ඇතුළතදී මගේ බිරිඳත් පිස්සු වැටෙනවා. ‘ගෙදරින් එළියට යන්න, එළියට ගිහිං මොනාහරි කරන්න කියලා ඇය කෑගහනවා. ඉතිං මම ටීවී බලනවා. ගිටාර් එක ප්ලේ කරනවා. අවසානේ රෑට නින්දට ගියාම පිස්සු විකාර හීන පේන්න ගන්නවා. කතන්දර ලියන්න අපි ළග තියෙන යාන්ත්‍රික ක්‍රියාවලිය නතර වෙලා නැතිනිසා ඒවා බොහොම සුන්දර විදියේ හීන වෙන්නේ නැහැ පරිකල්පනය මිනිස්සුන්ට වඩා සක්‍රීය බව ඔබ හිතනවාද ? මං දන්නේ නැහැ. ඒක එක්තරා විදියක පුහුණුවක්. පරිකල්පනය කරන සමහර දේවල් නිසා රිදෙන්න ගන්නවා. සමහරවිට, අපේ ඔළුව වුණත් රිදෙන තත්ත්වෙට පත්වෙනවා. ශාරීරික වේදනාවන් නැතිවුණත් මානසික වශයෙන් රිදවීම් වලට ලක්වෙනවා. හැම මිනිහෙක්ටම ඒ දරාගැනීමේ හැකියාව තිබුණත් හැම කෙනෙක්ම ඒ තරම් දියුණු තත්ත්වෙක ඉන්න බව විශ්වාස කරන්නේ නැහැ. ඔබ කියන කතාව ඇත්ත වුණත් ඔබ තරම් අපූරු පරිකල්පන හැකියාවක් අන් අයට නැහැ ? කොලේජ් යන කාලේ ඉඳන් නවකතා හා වෙනත් කතා ලිව්වා මට මතකයි. මේ අතරින් සමහර ඒවා මුද්‍රණය කෙරුණා. සමහර ඒවා කවදාවත් මුද්‍රණය වුණේ නැහැ. සමහර වෙලාවට කියාගන්න ගොඩක් දේවල් මගේ ඔළුව ඇතුලේ තිබුණා, ඒ වගේ අවස්ථාවකදී ඔළුව පුපුරාවි කියලත් හිතුණු අවස්ථා තියෙනවා. මේ හිතුවිලි වලට එළියට එන්න අවසරයක් ඕන බව වගේ හැඟීමක් හැඟුණා. ඔළුවේ හිරකරගෙන ඉන්න කතන්දර එක පාර එළියට ආ යුතු බවත් තව බොහෝ දෑ හිතේ තිබුණත් ඒවා එළියට නොආ බව හැඟුණා. ඔබ නිර්මාණය කළ Jamie චරිතය ගැන සිහිපත් කළොත් ? Jamie මෝටර් සයිකල් අනතුරකින් පස්සේ මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙනවා. මටත් ඒ විදියේ දැඩි ඇබ්බැහියක් තිබුණා. මට මතක විදියට කොලේජ් කාලේ ඉඳන්ම මට මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න තිබුණා. මං බොන්න පටන්ගත්තේ අවුරුදු18 දී යි. ආපසු ලබාදිය හැකි මත්පැන් ටින් හා බෝතල් සම්බන්ධ නීතිය ඉදිරිපත් කළ පළවෙනි ප්‍රාන්ත රජය Maine බවට පත්වුණු කාලේ ඉඳන්ම මේ දැඩි ඇබ්බැහිය තිබුණා. ගෙදර වෙන කිසිම කෙනෙක් බොන්න ඇබ්බැහි වෙලා තිබුණේ නැහැ. මං විතරයි. මගේ බිරිඳ පානය කළේ වයින් විතරයි. ඒ 78 – 79 විතර කාලේදී. මොකද ඒ කාලේ අලුත් නීතියක් ගෙනාවා හිස් වුණු මත්පැන් බෝතල් ආපහු අරගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දානවා කියලා. ඉතිං, මං එක දවසක් බියර් කෑන් ගොඩගහලා තියෙන ගැරේජ් එකට මහ රෑ ගිහිං බියර් කේස් එකක් විතර බිව්වා. ‘මං බේබද්දෙක් නේද ? ‘කියලා මට හිතුණා. කවුරු හරි මට කිව්වා නම් මං වැඩියෙන් බොනවා කියලා ඒ කතාව නවත්තලා දාලා මං කියාවි මට ඔය පුරුද්ද අතෑගන්න බැහැ කියලා.
මේ ඇබ්බැහිය අතරට සැර මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද ? 1978 දී හෝ ඊට ආසන්න කාලයේදී මට තේරුම් ගියා බොද්දි මට පාලනයක් නැති බව. මගේ විශ්වාසය වුණේ මේ ඇබ්බැහිය මට පාලනය කරගන්නට හැකි වේවි කියලා. නමුත්,ඇත්ත වුණේ මට කොහොමටත් මේක පාලනය කරගන්න නොහැකි වුණු එකයි. ඔය ඔබ කියන්නේ කොකේන් ගැන ? ඔව්, කෝක්. 1978-1986 කාලේ විතර වෙන තෙක්ම මං දැඩිව ඇබ්බැහි වෙලා හිටියා ඔබ කොකේන් ගැන ලිව්වද ? ඔව් ඇත්තටම. වෙරිවෙනතෙක් බීම හා කෝක් අතර වෙනසක් තියෙනවා. බීලා වෙරිවෙනකල් මට ඉන්න පුළුවන්. නැත්නම්, කිසිම දෙයක් නොබී ඉන්නත් පුළුවන්. ඒත්, මං නිතරම කෝක් පාවිච්චි කළා. ඒ කාලේ ඔබේ දරුවන්ගේ කුඩා අවදිය. ඔබේ හැම වගකීමක්ම ඉටුකරන අතරතුරදී මේ රහස රැකගෙන හැමදේම සමබරව කරගෙන යන්න ඔබේ හිසට වදයක් වෙන්න ඇති ? මට මතක නැහැ. ඇත්තද ? මොකද ඒ කාලේ ගැන පැහැදිලි මතකයක් මට නැහැ. ගොඩක් මිනිස්සු එක්ක කාලය ගතකළේ නැහැ. ඒ වගේම මම කල්ලි ගැහිලා බොන කෙනෙක් නෙමෙයි. මං වගේම බූරුවන්ගෙන් බාර් පිරී ඉතිරී ගිහිං තිබුණු නිසා මං ඒවට ගියෙත් නැහැ. මං තාමත් උත්සහ ගන්නේ ඔබ මීට පෙර පැහැදිලි කරපු මත්පැන්, මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වී හිටිය වසර 8 ක කාලය ගැන තේරුම්ගන්නයි. හොඳම අලෙවියක් ඇති කෘතීන් රචනා කරන අතරතුර පවුල ගැන නිතරම හොයා බලන කෙනෙක් විදියට මේ කාලය ගතවුණු අන්දම ගැන ආයෙත් සිහිපත් කළොත් ? ඔව්, ඇත්තටම මට ඒ ගැන මේ මොහොතේදී නිශ්චිතව කියන්න බැහැ. නමුත්, එවැනි අවස්ථාවකදී ඔබ ඔබට අවැසි දේ කරනවා. නමුත්, ඊට ඇබ්බැහි වෙද්දි තව තවත් ඒවා පාවිච්චි කරන්න හිතෙනවා. පුළුවන් හොඳම විදියට මේ දේවල් සමබර කරන්න ටිකෙන් ටික උත්සහ ගන්නවා. පවුල් ජීවිතේ පළුදු වෙන්න ගන්නවා. ඒත්, මං සෑහෙන තරමින් හොඳ කෙනෙක් වුණා. උදේ නැගිටලා දරුවන්ගේ කෑම හදලා ඔවුන්ව පාසලට රැගෙන යනවා. ඒ කාලේ මං බොහොම ශක්තිමත්. දැවැන්ත ශක්තියක් මට තිබුණේ නැත්නම් සමහරවිටත් මං සියදිවි නසාගෙන. ඒත්, ලේඛනය සිද්ධවෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. මා ලියූ Misery කෘතියට පදනම් වෙන්නේ එවැනි කොකේන් ගැන කතාවක්. ජනප්‍රිය ලේඛකයෙකුව සිරකරුවෙකු විදියට රඳවාගෙන සිටින Annie Wilkes කියන රසිකාවියක් ගැන මේ කෘතියේ ලියැවී තිබෙනවා. ඔබේ කෘතීන් ඇසුරින් නිර්මාණය වූ සිනමාපට වලින් වඩාත් ඇළුම් කරන නිර්මාණ ගැන අවසාන වශයෙන් දැනගන්න කැමතියි ? මං හිතන්නේ Stand by Me. මෙහි තිබුණු භාවාත්මක ගතිය නිසා මගේ කෘතියට මින් සාධාරණයක් ඉටු කළ බව විශ්වාස කරනවා. මං වෙන කටයුත්තකට බෙවර්ලි හිල්ස් හෝටලයට ගිය අතරතුරදී රොබ් රේනර් මේ චිත්‍රපටය මට පෙන්නුවා. ඔහු මගේ කතාව විකෘති කරලා ඇති බව හිතා මං මුලින් බියවුණා. හෝටලයේ ඉන්න අතරතුර මං ළඟට ආව රොබ් ‘ඔබට මේ සිනමාපටය බලන්න එන්න පුළුවන්ද ?‘ කියලා මගෙන් ඇහුවා. සිනමා ශාලා හයක පමණක් ප්‍රදර්ශනය වෙන්න තිබුණු මේ සිනමාපටය නොහිතුව විදියට පැතිරිලා ගියා. මේ සිනමාපටයේ තිබුණු ස්වයංචරිතාපදාන ස්වරූපය නිසාම රොබ්ව වැළඳගත්ත මට ඇඬුම් ආවා. ඒත්, Stand by Me, Shawshank Redemption වගේම Green Mile සිනමාපටයත් අතිවිශිෂ්ටයි. Misery වගේම Delores Claiborne හා Cujo චිත්‍රපටත් විශේෂයි. 2014 ඔක්තෝබර් මස දී රෝලින් ස්ටෝන් (Rolling Stone) සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්

හොලිවුඩ් වලින් භාගයක්ම ඉන්නේ සමලිංගිකයින් – ඉයන් මැක්ක්ලීන්

May 25, 2018 0 Comments
Time Out සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ජනප්‍රිය රංගන ශිල්පී ඉයන්ගෙන් මැක්ක්ලීන්ගෙන් Fantastic Beasts and where to find them සිනමාපට මාලාවේ සිටින තරුණ වියේ පසුවන Dumbledore ගේ චරිතය ‘සමලිංගික චරිතයක්‘ ලෙස නොපෙන්වීම සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද ගැන විමසා තිබුණි. ඉයන් එහිදී උපහාසයෙන් මෙන් පවසා සිටියේ, ‘‘කවුරුවත් හොලිවුඩය දිහා බලන්නේ එහි සමාජය ගැන විවරණයක් දෙන අදහසින් නොවෙයි. එහෙම විවරණ ඉදිරිපත් කරන මිනිස්සු මෑතකදී හොයාගත්ත හොඳම දේ ලෝකයේ කළු මිනිස්සුත් ජීවත්වෙනවා යන්නයි. ඉතිහාසය පුරාවටම නිසි සැලකීම් වලට ලක්නොවුණු කාන්තාවන් හොලිවුඩයේ ඉන්නවා. ඉතිං, සමලිංගික මිනිස්සු හොලිවුඩයේ ජීවත් වෙන්නේ නැහැ. “Gods and Monsters” [1998] සිනමාපටයේ හිටියා. අද වෙද්දි හොලිවුඩයේ ඉන්න පිරිසෙන් භාගයක්ම සමලිංගිකයින් වුණත් හොලිවුඩයේ ආරම්භයේදී එවැනි පිරිස් පාගා දැමූ බව පිළිගන්නවාද ?‘‘ යන්නයි. ඉයන් මේ බව අනාවරණය කළේ එළඹෙන ඉරිදා දිනයේදී (27) සිනමා ශාලා වල තිරගත කිරීමට නියමිත McKellen: Playing the Part වෘත්තාන්ත සිනමාපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු අතරතුරය. මෙය Joe A. Stephenson ගේ අධ්‍යක්ෂණයක් වන අතර Graham Norton සමග කෙරෙන සම්මුඛ සාකච්ඡාවක් ලෙස මෙය දිග හැරී ඇත
සිනමාපට වලින් LGBTQ පිරිස් නිරූපණය කිරීම ගැන විවිධ මත පළවේ. පසුගිය අඟහරුවාදා (22) දින GLAAD සංවිධානය කළ පර්යේෂණයකින් අනාවරණය කළේ ප්‍රධාන ධාරාවේ සිනමාපට වලින් 12.8% ක පමණක් LGBTQ චරිත අනාවරණය කරන බවයි. 2024 වන විට මේ ප්‍රමාණය 50% කින් වර්ධනය වනු ඇති බවට ඔවුන් අනාවැකි පළකර ඇත. ඉයන් මෑක්ක්ලීන් හොලිවුඩයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අතර තමන් සමලිංගිකයෙකු බව ප්‍රසිද්ධියේ අනාවරණය කළේ 1988 දී ය. හැරී පෝටර් කතා මාලාවේ Dumbledore චරිතය නිරූපණය කරමින් ජනාදරයට පත්වූ ඔහු මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවෙයි. මීට පෙර ද Time Out සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඉයන්ගෙන් විමසා තිබුණේ සිය 50 හැවිරිදි වියේදී තමා සමලිංගිකයෙකු බව ලෝකයට අනාවරණය කිරීම අතිශය අසීරු තීරණයක් වුණි දැයි යන්නයි. ඊට පෙරළා පිළිතුරු දුන් ඔහු දැක්වූයේ, ‘‘නැහැ ඇත්තටම නැහැ, Stonewall විරෝධයත් ((LGBT) පිරිස් විසින් මෙම විරෝධය 1969 ජූනි 28 වැනිදා ග්‍රීන්විච් හිදී දියත් කරනු ලැබුණි.) සමගින්මයි මා ගැන අනාවරණය යෙදුණේ. සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට බලධාරීන් කිසිලෙසකින්වත් අනුබල නොදිය යුතු බව ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තියේ දක්වා තිබෙනවා. මං ඊට තදින් විරුද්ධ වුණා.‘‘ යන්නයි. ලොරන්ස් ඔලිවර් සම්මාන 6 කින් පිදුම් ලබා ඇති ඉයන් ගෝල්ඩන් ග්ලොබ් සම්මානය මෙන්ම Screen Actors Guild ,BIF සම්මාන ද දිනා ඇත. The Lord of the Rings: The Fellowship of the Ring, X-Men , Beauty and the Beast, Mr. Holmes ආදිය ඔහු රංගනයෙන් දායක වූ සිනමාපට අතරින් කීපයකි. Time Out (London) හා The Guardian ඇසුරිනි