Thursday, August 23, 2018

‘‘මා මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන හදාරපු නිසයි‘‘ – නවාල් අල් සඩාවි

August 23, 2018 0 Comments
ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ දෙවන කොටසයි. ඔබ, ඔබව මනුෂ්‍ය ප්‍රාණියෙක් විදියට දුටුවත් හැමදේටම විරුද්ධ වන කෙනෙකු ලෙසත් දකින බව කිව්වා පැවසුවානේ ? ඔව් කාන්තාවන් වගේම කුඩා දරුවන් දස දහස් ගාණක් ඔබව ස්ත්‍රීවාදිනියක් ලෙස මෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් ලෙස හඳුනාගෙන සිටිනවා. ඔබ ලියූ ලේඛනයන් දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනයට ලක්වෙනවා. ඔබ පුරුෂ මූලික සමාජයේ අසාධාරණය ගැන ලියන්න තීරණය කළේ මොන මොහොතකදීද ? හ්ම්, මගේ කුඩා අවදියේ සිට ජීවිතයේ හැම තැනකදීම කෘතියක් රචනා කිරීමේ උනන්දුවක් තිබුණා. අවුරුදු 13 දී විතර ඉඳන් මගේ අතේ රහස් දිනපොතක් තිබුණා. එය පසුකලෙක මුද්‍රණයට පත්වුණා. පුරුෂමූලිකයි කියන්නේ මොකක්ද ? පිරිමින්ට වැඩි වරප්‍රසාද හිමිවීම, සුවිශේෂී ධෛර්යයක් හිමිවීම, බලගැන්වුණු නීතියක් හිමිවීම. පිරිමියෙකු – පිරිමියෙකු වීම නිසාම ඔහුට ආධිපත්‍යයක් හිමිවීම යන්නයි. ඉතිං, ස්ත්‍රීවාදය කියන්නේ මට අමුතුවෙන් අධ්‍යයනය කරන්න සිද්ධවුණු දෙයක් නෙමේ. ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියලාවත් නොදැන ගැහැණු ළමයින් ස්ත්‍රීවාදිනියන් බවට පත්වෙනවා. මගේ දෑතට පෑනක් ලැබුණු හැම මොහොතකදීම මගේ ප්‍රශ්න, ගැහැණු ළමයින්ගේ ප්‍රශ්න, මගේ සොහොයුරියන්ගේ ප්‍රශ්න ගැන ලියන්න පටන්ගත්තා. ඔබ ලේඛනයේ යෙදුණේ හුදෙක් ඔබ ගැනම කියන්නද ? නැත්නම් පවතින දේ වෙනස් කරන්න වුවමනා වුණු නිසාද ? ඇත්තටම, පළවෙනි කාරණේ මගේ හැඟීම් ප්‍රකාශ කිරීම. කුඩා වියේදී පවතින දේ වෙනස් කළයුතුයි යන්න ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මා වගේම මට දැනුණු තරහ, බිය, බොළඳකම මේ හැමදේම ලෝකයට විදාරණය කරන්න අවශ්‍ය වුණා. ඒ දේවල් වලින් නිදහස් වෙන්න වුවමනා වුණා. වෛද්‍ය විද්‍යාව හදාරලා ලෝකය ගැන දැනහඳුනාගත්තට පස්සේ මා මේ දේවල් වෙනස් කළයුතු බව හිමිහිට දැනෙන්න ගත්තා. මුළු ලෝකයම වෙනස් කරන්න වුවමනා වුණා. ඔබට වෙනස් කරන්න ඕන වුණේ මොනවද ? මා ගිය හැමතැනකම තිබුණේ අසාධාරණය. තබන තබන හැම පියවරක් පාසාම අසාධාරණය දකින්න ලැබුණා. ගෙදරදි, වෙනත් පිරිමි ළමයින් මට පාරේදි සැලකුව විදිය තුළ පවා මේ අසාධාරණය දැකගන්න හැකිවුණා. ගැහැණු ළමයෙක් පාරේ නිදහසේ එහෙ මෙහේ ගිය නිසත්, මං ගැහැණු ළමයෙක් වීම නිසාම පාසල් යනකාලේදී කොල්ලෝ මගේ පපුවට ගල් ගැහුවා. දැඩි වික්ෂිප්තයට පත්වුණු මම ගල් අතට අරන් ඒ පිරිමි ළමයිට ගහන්න පටන්ගත්තා. බොහොම වියරු වැටුණා. ඔවුන් වගේම මාත් වියරු වැටිලා ඉන්න බව දැනගත්තම ඔවුන් මට බියවුණා. ඔවුන් ආයේ කවදාවත් මට ගල් ගැහුවේ නැහැ. මං විරුද්ධකාරියක් වුණේ ඒ නිසයි. මට ගහන අයට මාත් ගහනවා
ලෝකය වෙනස් වුණු බව ඔබේ වෘත්තීන් ඇතුළේදී අත්විඳ තිබෙනවාද ? ඔව්, අනිවාර්යයෙන්ම. ද්විතීක පාසලේ ඉගෙනගන්නා කාලේදී, වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නා කාලේදී ලෝකය වෙනස් කරන්න වුවමනා වුණා. නමුත්, උපාධිය ලබාගත්තට පස්සේ කාන්තාවන්ව සංවිධානය කරන්න පටන්ගත්තා. එවැනි සංවිධානයකින් අත්පත් කරගත හැකි ප්‍රතිලාභ ගැන තේරුමක් තිබුණා. අපිට තනිව ලෝකය වෙනස් කරන්නට බැහැ, හැමෝම එකතු වෙන්න ඕන. මේ සංවිධානගත වෙන පිරිස කාන්තා අයිතීන් ගැනත් දැනගත යුතුයි, කාන්තා අයිතීන් ගැන මා රචනා කරන්න ගත්තේ ඒ නිසයි. එය ක්‍රම ක්‍රමයෙන් පටන්ගත්තා. ඔබට එවැනි කාන්තා සංවිධානයක් තිබෙනවාද ? ඔව්, තිබුණා. ආණ්ඩුව ඒක තහනම් කළා. ඒ ඇයි ? මගේ විරුද්ධවාදී බව වැඩිවුණා. ආණ්ඩුව මාව සිරගත කළා. ජීවිතේ ගෙවද්දි වගේම කියවද්දිත් මේ අසාධාරණ බව මට දැඩිව දැනෙන්න ගත්තා. ඔබේ සංවිධානයේ අරමුණු වුණේ මොකක්ද ? කාන්තාවන් නිදහස් කරගැනීමයි. එහි අරුත ලිබරල් ස්ත්‍රීවාදිනියන් යන්න නොවේ. කාන්තාවන්ව ආර්ථිකමය, සමාජයීය, ශාරීරික, ආගමික මෙන්ම මානසික වශයෙන් ද නිදහස් තැනැත්තන් බවට පත්කළ යුතුයි යන්නයි. අපි ඵෙතිහාසික සමාජවාදී ස්ත්‍රීවාදය, ඉතිහාසය හැදෑරුවා. කාන්තාවන් හැම රටකම ජීවත්වෙනවා. ඔවුන් සෑම ආගමක් තුළම කැරලිගහනවා. ඉන්දියාව, ඊජිප්තුව – හින්දු දහම, යුදෙව් දහම, කිතුදහම, ඉස්ලාම් වැනි ආගම් ඇතුළේ ඔවුන් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. ස්ත්‍රීවාදය යන්න බටහිර සොයාගැනීමක් වත් ඇමරිකානු කාන්තාවන් විසින් හොයාගත්තු දෙයක් වත් නොවේ. ස්ත්‍රීවාදය බිහිවෙන්නේ ලෝකය පුරා ඉන්න කාන්තාවන් කළ අරගලය තුළිනුයි. ඉතිං එය ඵෙතිහාසිකයි. පංති පීඩනයට විරුද්ධ නිසා එය සමාජවාදියි, ධනවාදයට විරුද්ධයි. මොකද ධනවාදය පීතෘ මූලිකවාදයට සම්බන්ධයි. අපි පිරිමින්ට විරුද්ධ නැහැ, නමුත් පීතෘමූලිකවාදයට විරුද්ධයි. ආර්ථිකය, ආගම, සංස්කෘතිය, විද්‍යාව මේ හැමදේම තුළම විසිරී තිබෙන පිරිමින්ගේ ආධිපත්‍යයට විරුද්ධයි. බලයට කෑදර මිනිස්සු මේ සංවිධානයට බිය වුණා ? ඔව්, අනිවාර්යයෙන්ම. අපේ සංවිධානය තහනමට ලක්කළේ ඒ නිසයි. අපි විප්ලවයක් කරන්න ඔන්න මෙන්න කියලා හිටියේ. මේ තුළ කාන්තාවන්ම පමණක් හිටියේ නැහැ. අපේ සංවිධානයට සම්බන්ධ වී හිටිය 40 % ක්ම පිරිමි අය. පිරිමි අයත් සම්බන්ධ වී හිටියා ? ඔව්, තරුණයින් 40 % ක් හිටියා. ඔවුන් මේ කාරණා ගැන පුදුම සහගත උනන්දුවක් දැක්වූවා. ඔවුන් මේ සංවිධානය වටා එක්වී හිටියේ ඇයි ? පීතෘමූලික සමාජය ඇතුළේ පිරිමින් ද පීඩාවට ලක්වන බව ඔවුන්ට දැනී තිබුණා. ඒ පීතෘමූලික සමාජය තුළ පීඩනයට ලක්වුණේ කාන්තාවන් පමණක් නොවෙයි. පංති විෂමතාවය, ධනවාදය ඔවුන්ව පීඩාවට ලක්කර තිබුණා. පංති පීඩනය හා කාන්තාව පීඩාවට ලක්වීම අතර තිබුණු සබැඳියාව යන කාරණය ගැන උනන්දුවක් මොවුන් තුළ තිබුණා. ඔවුන් බොහෝ දෙනෙකු සමාජවාදීන් වගේම සමහර අය මාක්ස්වාදීන් වී සිටියා. නමුත්, සමහර මාක්ස්වාදීන් අපේ සංවිධානය සමග සම්බන්ධ වුණේ නැහැ. කාන්තාවන්ට විශේෂ තැනක් හිමිවිය යුතු නැති බව ඒ පිරිසගේ විශ්වාසයයි. අප කොමියුනිස්ට් සමාජයක් කරා ගියොත් කාන්තාවන් ඉබේම ලිබරල් වනු ඇති බව ඔවුන් දැඩිව විශ්වාස කළා. අපි ඒ මතයට එකඟ වුණේ නැහැ. නමුත්, පංති පීඩනය – ආර්ථික පීඩනය යන කරුණු කාන්තාවන් පීඩාවට ලක්කිරීම, ලිංගිකත්වය නිසා පීඩාවට ලක්කිරීම ආදියට සම්බන්ධ කිරීමට වුවමනා වුණු තරුණ වියේ පසුවුණු සමාජවාදීන් අප වටා සිටියා.
ඔබ මාක්ස්වාදිනියක් නොවුණේ ඇයි ? මං මාක්ස්වාදය කියවලා තිබුණු නිසා. (සිනාසෙමින්). ඇත්තටම, මාක්ස්වාදීන් යැයි තමන්ටම කියාගන්නා මිනිස්සු කිසිදාක ඔහු ගැන හදාරලා නැහැ. මං ආගම ගැන හදාරපු නිසා ආගම්වාදිනියක් වුණේ නැහැ. අප ආගම ගැන හදාරන්න, හදාරන්න නිරාගමික කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙක් මාක්ස් ගැන ගැඹුරින් හැදෑරුවොත් ඒ තැනැත්තා මාක්ස්වාදියෙක් නොවේවි. මොකද මේ න්‍යායන් ඇතුලේ තියෙන්නේ මොනාද, ඒවගේ බලපෑම මොකද්ද යන්න ගැන වගේම පරස්පර දෑ ගැනත් ගැඹුරු අවබෝධයක් අපිට එනවා. මාක්ස් පවා මාක්ස්වාදියෙකු වුණේ නැහැ. අනිත් කාරණේ මම මේ ලේඛකයා නැත්නම් දාර්ශනිකයාගේ පුද්ගලික ජීවිතය ගැන හදාරන්න පටන් ගත්තා. ඔහු දැඩි ලෙස පීතෘමූලික කෙනෙක්. ඔහු යුක්තියුක්ත පසුබිමකින් පැවත ආවත් කාන්තාවන්ට ගරු කළේ නැහැ. මං සහසම්බන්ධතාවයට කැමතියි, නමුත්, සාධාරණත්වය ගැන කතාකළත් කාන්තාවන්ට දරුණු විදියට සැලකුව දාර්ශනිකයෙකු ගැන විශ්වාස කරන්න බැහැ. ඔහු සිය දරුවන්ට පවා නිසි ලෙස සැලකුවේ නැහැ. මා මෙහිදී ඔහුගේ පුද්ගලික ජීවිතය හා සමාජය හමුවේ පෙන්වන ජීවිතය වෙන්කොට සැලකුවේ නැහැ. Channel 4 News සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි මේ ලිපියේ පළමු කොටස කියවන්න ‘‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ – නවාල් අල් සඩාවි‘‘ මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න ‘‘ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද භාණ්ඩ බවට පත්වෙලා‘‘ https://youtu.be/djMfFU7DIB8

Tuesday, August 14, 2018

MATANGI / MAYA / M.I.A. සිනමාපටය ඔක්තෝබරයේදී

August 14, 2018 0 Comments
ස්ලම් ඩෝග් මිලියනර් සිනමාපටයේ සංගීතඥ ඒ. ආර්. රහුමාන් සමග ‘ඕ සායා – යේරෝ මායා‘ ගීතය ගැයූ දැරිය ඔබට මතකද ? එකල මායා නමින් හැඳින්වුණු ඇය අද හැඳින්වෙන්නේ M.I.A. නමිනුයි. ඇගේ ජීවිතය පදනම් කරගනිමින් නිර්මාණය වූ MATANGI / MAYA / M.I.A. වෘත්තාන්ත සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍යට මුදාහැර අවසන්. මතන්ගි යන නාමයෙන් හැඳින්වුණු මේ දැරිය ඊරෝස් සංවිධානය ගොඩනැගීමට දායක වූ අරුල් ප්‍රගාසම්ගේ ගේ දියණිය ද වනවා. ස්ටීව් ලව්රිච් විසින් අධ්‍යක්ෂණය කෙරුණු MATANGI / MAYA / M.I.A. සිනමාපටයේදී පසුගිය වසර 22 ක කාලය පුරා M.I.A.ගේ දිවිමගේ සනිටුහන් වූ සුවිශේෂී සංධිස්ථාන වලදී හසුකරගත් වීඩියෝ දර්ශන පෙළගස්වා තිබෙන බව සඳහන්. බිහිසුණු යුද සමයේදී මෙරටින් නික්මී සිය පවුලේ පිරිස ද සමග ජීවිත රැකවරණ පතමින් එක්සත් ජනපදයට යන මතන්ගි පසුකාලනීව මායා බවට පත්වුණු පත්වුණු අතර මේ වනවිට ඇයව හඳුන්වනු ලබන්නේ M.I.A. යන නමිනුයි. දේශපාලනික මෙන්ම කලා ලොව තුළ ද M.I.A. විඳි අත්දැකීම් වල එකතුවක් දිගහැරෙන මේ සිනමාපටය තුළ හිපොප් තාලයන්ගේ ආභාසය ලබන මායා පසුකාලීනව අපූර්ව කටහඬක් උරුමකරගත් තැනැත්තියක ලෙස සිය අනන්‍යතාව සනිටුහන් කරමින් ජනප්‍රිය වූ අන්දම පෙළගස්වා තිබෙන බව සිනමාපටය වෙනුවෙන් නිර්මාණය වී තිබෙන වෙබ් අඩවිය තුළ දක්වනවා. (https://www.miadocumentary.co.uk/ )
කෙසේවුවත්, අදාළ වෙබ් අඩවිය ඇයව හඳුන්වාදී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දමිළ සන්නද්ධ ව්‍යාපාරයේ සමාරම්භකයාගේ දියණිය ලෙසිනුයි. ( https://www.miadocumentary.co.uk/synopsis/) පහතින් ඇත්තේ ඇගේ ජීවන අත්දැකීම් අළලා නිර්මාණය වූ සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටයයි. එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා සිට එක්සත් ජනපදයේදී තිරගත වීමට නියමිතය. පහතින් දැක්වෙන්නේ එහි පළමු පූර්ව ප්‍රචාරක පටයයි Tamil Culture හා MATANGI / MAYA / M.I.A. නිළ වෙබ් අඩවිය ඇසුරිනි

#MeToo – නොබියෝෂි අරාකිව විවේචනය කරයි

August 14, 2018 0 Comments
සරාගී ඡායාරූප සිය කැමරා කාචයට හසුකරගන්නා කලාකරුවෙකු ලෙස ප්‍රකටව සිටින ජපන් ජාතික නොබියෝෂි අරාකි #MeToo ව්‍යාපාරයේ දෝෂ දර්ශනයට ලක්වී ඇත. පසුගිය දෙවැනිදා වර්සෝවේ පිහිටි රස්ටර් ගැලරියේදී මෙම විරෝධතාව පැවත්වුණු අතර වසර 16 ක් පුරා නොබියෝෂිගේ ඡායාරූප වලට පෙනී සිටින නිරූපණ ශිල්පිනියක වන කයෝරි ද මීට සහභාගී වුවාය. එහිදී කයෝරි චෝදනා කර තිබෙන්නේ නොබියෝෂි ඇයව සූරාකෑමට ලක්කළ බවටයි.
Żubryce Mówimy Nie (Bison Ladies, We Say No) නම් ස්ත්‍රීවාදී කලා සමූහයේ සාමාජිකයින් බයිසන් ගවයින්ගේ අනුරුවට අනුව සකසන ලද වෙස් මුහුණු පැළඳගෙන මෙම විරෝධතාවට පැමිණ තිබෙන #MeToo ව්‍යාපාරය මේ විරෝධතාවට උත්තේජනය සපයා ඇත. අරාකිගේ kinbaku-bi (Japanese rope bondage) ඇතුළු ගෘංගාරත්මක ඡායාරූප ගණනාවක් ජනප්‍රිය වී ඇති අතර මේ කාලය පුරා ඔහු විසින් ඇය ලිංගික හිංසාවට කළ බව අනාවරණය නොකළත් දැඩි ලෙස මානසික පීඩාවන් සිදුකළ බව අනාවරණය කර ඇත.
මේ වනවිට 78 හැවිරිදි වියේ පසුවන අරාකි කෘතීන් 500 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ඡායාරූප ශිල්පියෙකු වන අතර කයෝරි විසින් නගන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි. ඔහුගේ නිර්මාණ කීපයක්
Frieze හා Japan Trends ඇසුරිනි

‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ – නවාල් අල් සඩාවි

August 14, 2018 0 Comments
‘අපේ රටවල දෙවියෝ හැමතැනකදීම ඉන්නවා. සැමියා හා බිරිඳ අතරේදී නිදියහනේදීත් දෙවියෝ හැමදේකටම මැදිහත්වෙනවා.‘-නවාල් ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ පළමු කොටසයි. ඔබ, ඔබව දකින්නේ කොහොමද ? මං මිනිස් සත්වයෙක්. ම්ම්, ලේඛිකාවක්, විරුද්ධවාදිනියක්, කාන්තාවක්, අපි ගැන හැබෑවටම කියන්න උත්සහ දරන කාන්තාවක් – මේ ජීවිතය ඇතුළේ අපි විශ්වාස කරන දේවල් ගැන පැහැදිලි කරන්න යත්න දරන කෙනෙක්. ඔබ මීට පෙර කිව්වා විරුද්ධවාදිනියක් කියලා. ඇත්තටම, ඔබ ඉපදෙන්නේ කැරලිකාරියක් විදියටද, ‘නැහැ, ඒක එහෙම නෙමෙයි‘ කියාගෙන, අනෙක් අය ඔබට කියන දේවල් ඒ විදියටම ඉටුනොකරන්න ඉපදුණු කෙනෙක්ද ? ඔව්, මං එහෙම හිතනවා. විරුද්ධවාදිනියක් වීම මගේ ජාන තුළම තිබෙන බව මගේ විශ්වාසයයි. මගේ ආච්චි විප්ලවවාදිනියක්. ඇය බොහොම ප්‍රසන්න ගැමි කාන්තාවක්, නමුත්, ඇයට අකුරු ලිවීමේ හෝ කියවීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, ඇය විප්ලවවාදිනියක් වුණා. ඉතිං, මේ කැරලිකාරී ගතිය අපේ ලේ ඇතුළේම තිබෙනවා. ඇගේ ඒ ජාන මටත් ආවා. තවත් කොටසක් මං සිදුකළ පුහුණුව, කියවීම, සැරිසැරීම වගේ දේවල් හරහා අත්පත් කරගත්ත ඒවා. ජාන හරහා වගේම මගේ හැකියාවන් තුළින් ලබාගත්ත ඒවත් තියෙනවා. ඔබේ කුඩා වියේදී ඉඳන්ම පුරුෂ මූලික සමාජය ගැන ඔබ මනාව දැනුවත්වී සිටි බව පසුකලෙක රචනා වූ ස්වයංචරිතාපදානයේ සඳහන්වී තිබෙනවා. මේ ගැන සඳහන් කළොත් ? පොතපත කියවන්න හා ලියන්න මට ඉගැන්නුවේ මගේ තාත්තා නෙමෙයි, මගේ අම්මා තමයි. අවුරුදු 6 දී විතර ඉඳන් පාසල යන්න පටන්ගද්දි මගේ ගුරුවරයා කිව්වා ‘ඔයාගේ නම ලියන්න‘ කියලා. ඉතිං, මං ‘නවාල්‘ කියලා ලිව්වා. ‘නැහැ, මේක නෙමෙයි, ඔයාගේ සම්පූර්ණ නම ලියන්න‘ කියලා ඔහු අයෙත් කිව්වා. ‘නවාල් සේනබ්‘ කියලා මං කිව්වා. ඒ මගේ අම්මගේ නම. ඇය මට හෝඩිය ලියන්න කියලා දුන්නු නිසා ඇගේ නම කිව්වා. ‘නවාල් සේනබ්‘ කියා ලියා තිබුණු අකුරු ටික බොහොම සැර පරුෂ විදියට කපාදැම්ම ඔහු ‘නෑ මේ නම නෙමේ, ඔයාගේ තාත්තාගෙයි, සීයාගෙයි නම ලියන්න‘ කිව්වා. ඇයි මගේ අම්මගේ නම කැපුවේ කියන ප්‍රශ්නය ඒ මොහොතේ මගේ හිතට දැනෙන්න ගත්තා. මට දෙන්න පුළුවන් හැම දේම දුන්නු, ලියන්න – කියවන්න කියාදුන්නු ඇගේ නම කපාදැම්මේ ඇයි ? අවුරුදු හයක පුංචි දරුවෙක් විදියට ඒ මොහොතේදී ඔබේ හිතට අසාධාරණයක් ගැන හැඟීමක් දැනුණද ? ඔව්, මේක හරිම අසාධාරණයි, බොහොම දරුණුයි කියලා මගේ දැනෙන්න ගත්තා. මං ඒ මොහොතේ ඉඳන් කැරලිගහන්න පටන්ගත්තා. මං මේක පිළිගන්නේ නැහැ කියලා හිතාගත්තා. මේ පුංචි දැරිය ක්‍රමයෙන් වැඩි වියට පත්වෙද්දී කාන්තා අයිතීන්, ස්ත්‍රීවාදය ගැන හැඟුණද ? නැහැ, නැහැ
1940 දී වගේ ? මගේ අම්මයි, තාත්තයි දෙන්නම අනික් ළමයින්ගේ මාපියන් වගේ නොවෙයි බොහොම ලිබරල්. මොකද, මගේ නෑනා අවුරුදු 10 දී විවාහ වුණා. මගේ ඥාතීන් අවුරුදු 10 වෙද්දී මාවත් බන්ඳලා දෙන්න උත්සහ ගත්තා. නමුත්, මං කැරලිකාරියක් බවට පත්වුණා. ඉගෙනගන්න බොහොම කැමැත්තෙන් හිටි මට ඉස්කොලේ යන්න වුවමනා වුණා, අම්මා වගේම තාත්තත් ලොකු අත්වැලක් වුණා. නමුත්, පවුලේ අනික් උදවිය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවන්න ගත්තා. අනික් හැම කෙල්ලක් වගේ මාත් විවාහ විය යුතු බව ඔවුන් පුන පුනා කියන්න ගත්තා. නමුත්, ඔවුන්ට ඒක කරන්න බැරිවුණා. මොකද මං කැරලිකාරියක් වුණා වගේම මගේ මවත් පිටුපසින් හිටියා. පාසලේදී අතිදක්ෂ ශිෂ්‍යාවක් වුණු නිසාම අධ්‍යාපනය හමාර කලේ නැහැ. ඒ වගේම අවසානයේදී වෛද්‍ය විද්‍යාලයට යන්නත් වරම් ලැබුණා. ඒ කාලේ වෙද්දී, ඒ කියන්නේ 1930 දී වගේ මගේ පවුලේ හිටිය හැම ගැහැණු ළමයෙක්ම කුඩා වියේදීම විවාහ වී හිටියා. ඔබට වයස අවුරුදු 10 – 12 වෙද්දි ඔබව විවාහ කරගන්න ඉදිරිපත් වුණු පිරිමි ගැන මොකද හිතන්නේ ? මගේ කුඩා වියේදී ඉඳන් ඔවුන්ට වෛර කළා. මට වැඩිය අවුරුද්දක් වැඩිමහල් මගේම සහෝදරයා පාසලේ අතිදක්ෂ ශිෂ්‍යයෙක් වුණේ නැහැ. කොල්ලෙක් විදියට එයා හරිම නරක් වෙලා හිටිය නිසා පාසලෙන් දෙන ගෙදර වැඩවත් කළේ නැහැ. නමුත්, මං හොඳට ඉගෙනගත්තා. පාසලෙන් දෙන ගෙදර වැඩ කළා. අවසානේදී ඔහු, ඔහුගේ නිදහස හොයාගෙන ගෙදරින් ගියා. එයා කොල්ලෙක් වුණු නිසාම මට වඩා බොහෝ වරප්‍රසාද භුක්ති විඳින්න හැකිවීම ගැන මං වෛර කළා. මගේ පවුලේ අය කිව්වේ එයා කොල්ලෙක් නිසා දෙවියෝ එයාට ඒ දේවල් දීලා තියෙනවා කියලයි. අයියට වගේම දෙවියන්ටත් මං වෛර කළා හ්ම්, ඔබේ පවුලේ අයගේ උත්තරේ වුණේ ‘ඒක තමයි දෙවියන්ගේ කැමැත්ත‘ යන්නයි ? ඔව්, සත්තකින්ම. ‘දෙවියෝ කියලා තියෙන්නේ එහෙමයි‘ කියන උත්තරේට වඩා වැඩි යමක් ඔවුන් කිව්වේ නැහැ. ‘එයා කොල්ලෙක්, ඔයාට නැති වරප්‍රසාද එයාට තියෙනවා‘. ඔන්න ඒකයි කිව්වේ. මැදපෙරදිග ජීවත් වෙන අය අදටත් කියන්නේ ඒ කතාව නේද ? ම්ම්, මැදපෙරදිග අය නෙවෙයි. ලෝකයේම ඉන්න අය කියන්නේ ඔය කතාවයි. ඔව්, ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඒ කතාව කියනවා. ඒත්, මං හිතන්නේ විශේෂයෙන්ම මුස්ලිම් පිරිස් ජීවත් වන රටවල ඒ කතාව කියැවෙන බවයි ? ඔබ මොනාහරි දෙයක් ගැන ප්‍රශ්න කරලා ‘එහෙම වෙන්නේ ඇයි ?‘ කියලා ඇහුවොත් ඒකට ලැබෙන උත්තරේ ‘ඒක දෙවියන්ගේ කැමැත්ත‘ බවයි. හ්ම්. දෙවියන්ගේ කැමැත්ත. නමුත්. මේක විශ්වීයයි. ක්‍රිස්තියානි, යුදෙව් වගේම හින්දු වැනි ජාතිකයින් ජීවත් වන මුස්ලිම් නොවන රටවලත් මං දිවිගෙවා තියෙනවා. නමුත්, ගොඩක් දුරට ඉන්දියාවේදී ඒ කතාව වැඩිපුර ඇහෙන්නේ නැහැ. ‘දෙවි‍යෝ හැමදේම කරනවා‘ කියලා ඒ හැමෝම කියනවා. විශේෂයෙන්ම, අපේ රටවල දෙවියෝ හැමතැනකදීම ඉන්නවා. සැමියා හා බිරිඳ අතරේදී නිදියහනේදීත් දෙවියෝ හැමදේකටම මැදිහත්වෙනවා. (සිනාසෙමින්). වෙන දෙයක් තියා මගේ ජීවිතේදී මුලින්ම ලිව්ව වචනේ වුණෙත් ‘දෙවියන්‘ යන්නයි. මොකද මං දෙවියන්ට කිව්වේ ‘දෙවියනේ ඔබ සාධාරණ නැහැ. ඔබ මට සලකන්නේ බොහොම නරක විදියටයි. අයියට වඩා මං බොහොම බුද්ධිමත් කෙනෙක් වුණත් ඔබ මට වඩා ඔහුට සලකනවා. මේක සාධාරණ නැහැ. ඔබ සාධාරණව සැලකුවේ නැත්නම්, මං තවදුරටත් ඔබව විශ්වාස කරන්නේ නැහැ.‘. පුංචි දරුවෙක් විදියට මං එහෙම ලිව්වා. ඒ සිද්ධියෙන් කාලයක් ගතවී ගිය තැන මං මනෝ උපදේශිකාවක් බවට පත්වුණා. තමන්ගේ කුඩා අවදිය ගැන කතාකරන්න මා ළඟට පැමිණෙන කාන්තාවන් බොහොමයක් දෙනා ඔය කතාව මට කියනවා. ඔවුන්ගේ කුඩා අවදියේදී ඔවුන් හා දෙවියන් අතර ගැටුමක් පැවති බව කියනවා.
අනුවර්තනය වින්ධ්‍යා ගම්ලත් මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න ‘‘මං මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන හදාරපු නිසයි‘‘ – නවාල්

Wednesday, August 1, 2018

හරුකි මුරකාමි මරණ දඬුවම ගැන කතා කරයි

August 01, 2018 0 Comments
1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin) මුදාහැරීමෙන් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ නම් ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු පසුගියදා එල්ලා මරා දැමුණි. කල්ලියේ නායකයා වී සිටි ෂොකෝ හට පසුගිය ජුලි 6 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර සෙසු සාමාජිකයින් 6 දෙනා එල්ලා මරාදමා ඇත්තේ පසුගිය සතියේදී ය. ජපානයෙන් බිහිවූ සුප්‍රකට ලේඛකයෙකු වන හරුකි මුරකාමි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ජපන් පුවත්පතක් වන The Mainichi වෙත පසුගිය ඉරිදා (29) දින ලිපියක් යොමුකරමින් පවසන්නේ, ‘මා මරණ දඬුවමට විරුද්ධ මතයක ඉන්න කෙනෙක්. වචනානුසාරයෙන් ගත්ත ද මරණ දඬුවම අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ඉරණම තීරණය කරන දඬුවමක් වී තිබෙනවා‘ යන්නයි. ‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මෙවැනි අපරාධ නැවත ඇතිනොවෙන බව විශ්වාස කරනවා නම් එය අතිශයින්ම වැරදි තීරණයක්. වැරදි යළි ඇතිනොවෙන වග සහතික කිරීමට තිබෙන එකම ක්‍රමවේදය මරණ දඬුවම නොවේ‘ යනුවෙන් මෙම ලිපිය තුළ ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත. හරුකි සිය Underground – The Tokyo Gas Attack and the Japanese Psyche කෘතිය වෙනුවෙන් 1997 වසරේදී මෙම අනතුරින් ජීවිත අහිමි වුණු පිරිසගේ ඥාතීන් මෙන්ම සිද්ධියට සම්බන්ධ කල්ලියේ පිරිස ද සම්මුඛ සාකච්ඡාවට ලක්කළේය. ‘මේ සිද්ධිය සමබන්ධ නඩුව තවමත් අධිකරණයේ විභාග කරන නිසා ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කරන්නට බැහැ. නමුත්, මම මරණ දඬුවමට එරෙහියි.‘‘ යනුවෙන් එකල මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පවසා තිබුණි.
කෙසේවුවත්, හරුකිගේ විශ්වාසය වී තිබෙන්නේ මෙම සිදුවීමෙන් වූ ජීවිත හානිය කිසිලෙසකින්වත් සාධාරණිකරණය කළ නොහැකි වුවද සිද්ධියේ වැරදිකරුවන් වු පිරිසට මරණ දඬුවම නියම කිරීමෙන් මියගිය හා තුවාල වු පිරිසට සාධාරණයක් ඉටුනොවන බවයි. Underground කෘතිය රචනා කළ සමයේදී ‘තමන් ඇතුළතින් වෙනස් වූ බව දැනුණු බවත්‘ කල්ලියේ සාමාජිකයින්ට මරණ දඬුවම නියම කෙරුණු බව දැනගත් විට ඔහුගේ ‘පපුව ඇතුළින් දැඩි වේදනාවක් නැගුණු බව‘ ද පවසා තිබුණි. එපමණක්ම නොව මේ සිද්ධියේ වැරදිකරුවන් එල්ලා මරාදැමූ පුවත මෑතකදී දැනගත් විට ‘සිය පපුවට නැගුණු වේදනාව තවමත් එලෙසින්ම පවතින බව හැඟුණු බව‘ ද හරුකි පවසයි. ‘වචන වලට පෙරලන්නට නොහැකි දැඩි නිහඬතාවක් මට දැනෙනවා. උසාවියේදී පෙනී හිටි ‘මරණය‘ ඊට අයිති කොටස ඉක්මනින්ම අරගෙන ගියා‘ යැයි අවුම් ෂින්රික්යෝ අනුගාමිකයින් එල්ලා මරාදැමීම ගැන හරුකි සනිටුහන් කරයි.
The Guardian හා The Mainichi ඇසුරිනි

Hippie මගේ ජීවිතයයි – පාවුලෝ කොයියෝ

August 01, 2018 0 Comments
‘මම, මගේ හීනයන් සැබෑ කරගන්න සටන් වදින මිනිහෙක්. ලේඛකයකු වීම මගේ පළමු හීනය වී තිබුණා. මේ හීනය හැබෑ බවට පත්කරගැනීමේ කාර්යය තුළ බොහෝ පීඩාවන් අත්විඳින්නට සිදුවුණා. සමහර අවස්ථා වලදී දුක, වේදනාව මෙන්ම පරාජය ද විඳදරා ගන්නට සිද්ධ වුණා ඒ වගේම සමහර අවස්ථාවන් ගැන හරිහැටි අවබෝධ කරගන්නට පවා නොහැකි වුණා.‘‘ – පාවුලෝ කොයියෝ
පාවුලෝ කොයියෝ රචනා කළ නවතම කෘතිය වන Hippie පසුගිය අප්‍රේල් 18 වැනිදා එළිදුටුවා. පාවුලෝ කොයියෝ විසින් රචිත මේ කෘතියට ඔහු සිය ජීවිතයේ දී විඳි සැබෑ අත්දැකීම් ද පදනම් වී තිබෙනවා. සමාජ සම්මතයට අනුව ගෙවීයන දිවිය අභියෝගයට ලක්කරන හා සාමය වෙනුවෙන් සිහින මවන පරපුරක් ගැන මෙන්ම පුද්ගල හැසිරීම් වල මධ්‍යස්ථ ස්වභාවය, අධි පාරිභෝගිකවාදය, බලය හා ධනය අතර තිබෙන අසමබර බව ගැන ද කොයියෝ මේ කෘතියේදී සටහන් තබනවා. ‘‘මා රචනා හැම කෘතියකම මොනා සටහන් වී තිබුණත් ඒ හැමදේම මගේ හදවතේ ගැඹුරුම තැනින් ඉපදුණු අදහස් බව අනිවාර්යයෙන්ම පවසන්නට හැකියි. ඒ හැඟීම් ගලා යන්නේ කොතැනකින්දැයි යන්න මට හරිහැටි හිතාගන්නට බැහැ. නමුත්, මා ලේඛනයේ යෙදෙද්දී අදහස් ගලා එන්නේ කොතැනින්ද යන්න දැනෙන්න ගන්නවා. මං ලියන දේවල් වල සත්‍යය වී තිබෙන්නේ එයයි. මා රචනා කළ කෘති ගත්තොත් The Pilgrimage කෘතියේදී මෙන් මගේ පුද්ගලික අත්දැකීම් පදනම් කරගනිමින් නිර්මාණය වුණු දෑ වුවත්, නැතිනම් The Alchemist කෘතියේදී වැනි උපමා රූපක පදනම් කරගනිමින් නිර්මාණය වූ කෘතියකදි වුවත්, නැතිනම් Brida කෘතියේදී මෙන් Brida විසින්ම ඉදිරිපත් කළ කතාවක් ලෙසින් අහන්නට ලැබුණු කතා පුවතක් වුවත්, මගේ හොඳ වගේම නරකත් පිළිඹිඹු වු The Devil and Miss Prym කෘතියකදී පවා මේ නොනවතින අරගලය තුළදී හැම නිර්මාණයක් තුළින්ම පිළිඹිඹු කෙරුණේ මගේම ආත්මයයි.‘‘ Hippie කෘතිය ගැන කොයියෝ අදහස් පළකරන්නේ මෙලෙසිනුයි.
කොයියෝ සිය Hippie කෘතියේදී දිගහරින්නේ පාවුලෝ නම් බ්‍රසීල ජාතික තරුණයෙකු හා විසි හැවිරිදි වියේ පසුවන ලන්දේසි ජාතික තරුණියක වන කාර්ලාගේ කතාවයි. 1970 වසරේදී මැජික් බස් නමින් හඳුන්වන රථයක නැගී ඇම්ස්ටර්ඩෑම් සිට කත්මණ්ඩු වෙත යන මේ දෙපළ සොයායන්නේ තමන්ගේම ජීවිතයයි. මේ සමයේදී පාවුලෝ බෙහෙවින් සිහින් සිරුරකින් හෙබි අයෙකු වූ අතර එළුවෙකුගේ මෙන් වූ යටි රැවුලක් හා දිගු කොණ්ඩයකින් යුතු විය. තරුණ පාවුලෝගේ එකම අභිලාෂය වූයේ ලේඛකයෙකු වීමයි. නිදහස හා ජීවිතයේ ගැඹුරු අරුත් සොයමින් කාර්ලා සමග සංචාරය කරන පාවුලෝ මුලින්ම බොලීවියාව දක්වා දුම්රියෙන් ගමන් කළ අතර අනතුරුව පීරු හා චිලී හා ආර්ජන්ටිනාව වෙත ගමන් කළේය. ලොව නන්දෙසින් පැමිණි හිපි කොටස් ඒකරාශී වී සිටි 1969 දී ‘සංගීතය හා සාමය‘ නමින් දින තුනක් පුරා පැවති වුඩ්ස්ටොක් ප්‍රසංගය ගැන ද මෙහි සඳහන්වී ඇත. මේ හා සමාන ප්‍රසංගයක් වුණු ඇම්ස්ටර්ඩෑම් හි පැවති හිපි ප්‍රසංගය ගැන ද Hippie කෘතියේ සඳහන් වී ඇත.
විවිධ වර්ණයන්ගෙන් යුතු ඇඳුම්, පැළඳුම් වලින් සැරසීගෙන එහෙන් මෙහෙන් එල්ලෙන දිගු කොණ්ඩ එල්ලාගත් තරුණ පිරිස් ඇම්ස්ටර්ඩෑම් හි ඩෑම් චතුරස්‍රයට පැමිණි සිටි අතර ඇවිස්සී සිටි මේ පිරිස අතර සමහර දෙනෙක් භාවනා කරමින්, සංගීතය වාදනය කරමින් මෙන්ම ලිංගික නිදහස ගැන සංවාද පවත්වමින් සිටිනු දැකගත හැකිවිය. මේ අතර තවත් පිරිසක් විඥානයේ පුළුල් වීම මෙන්ම ආධ්‍යාත්මික සත්‍යය සොයායන්නේ කෙසේද යන්න ගැන ද කතාබහ කරන්නට විය. මේ තරුණ, තරුණයින් කිසිසේත්ම රොබෝවන් ලෙස දිවිගෙවමින් ජීවිතය ගැන ප්‍රශ්න නොකර සිටීම අනුගමනය කළ සිය මාපියන් මෙන් නොවීය.
Hippie කොයියෝගේ සැබෑ ජීවන අත්දැකීම් ආශ්‍රයෙන් ලියැවුණු නවකතාව ලෙස ද නම් කළහැකිය. භීතිය හා ත්‍රාසය ගැබ්වුණු අත්දැකීම් මෙන්ම දර්ශනය මෙන්ම ආධ්‍යාත්මික අත්දැකීම් ගැන ද කොයියෝ මෙහි විදහා දක්වයි

Lucy සිනමාපටයේ අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා

August 01, 2018 0 Comments
ප්‍රංශ ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලුක් බෙසන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇත. නිරූපණ මෙන්ම රංගන ශිල්පිනියක ද වන සෑන්ඩ් වැන් රෝයි පැරිස් පොලීසියට පවසා ඇත්තේ, ලූක් විසින් ඇය කිහිපවරක්ම දූෂණයට ලක්කළ බව හා ඒ නිසාම තුවාල ලැබූ ඇගේ සිරුරින් රුධිරය ද ගලාගිය බවයි. පසුගිය අප්‍රේල් මසදී ඇය පදිංචි වී සිටි නිවසට අනවසරයෙන් ඇතුළු වුණු ලුක් විසින් ඇයව අතවරයට ලක්කර ඇත. තමන්ට ලිංගිකව එක්වීමට කිසිදු අවශ්‍යතාවක් නොපැවති අවස්ථාවකදී තමා යටට ඇඳ සිටි සාය ඉවත් කළ ලූක් බලහත්කාරයෙන් තමා සමග ලිංගිකව හැසිරුණු බවත්ය. ‘ලූක් කිසිලෙසකින්වත් නැවතුණේ නැහැ‘ යන්න ඇය පැරිස් පොලීසියට පවසා ඇත. මැයි මාසයේදී සිට කතාබහට ලක්වන මෙම සියලු චෝදනා ලූක්ගේ නීතිඥවරයා වන තෙරේ මැරම්බර්ට් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥවරයා පවසන්නේ, තමා නිර්දෝශී බව ඔප්පු කිරීමට ලූක්ට හැකිවනු ඇති බවත් මෙම පුවත ඇසූ ඔහු පුදුමයට පත්වු බවත්ය. බෙසන්, #MeToo යුගයේදී පළමු වරට දූෂණ චෝදනා වලට බඳුන් වු පළමු සිනමා ශිල්පියා වේ. ලූක් විසින් 2017 වසරේදී අධ්‍යක්ෂණය කළ Valerian and the City of a Thousand Planets සිනමාපටයට ද සෑන්ඩ් රංගනයෙන් දායක වී ඇත. Lucy, 3 Days to Kill, Valerian and the City of a Thousand Planets, The Big Blue, The Transporter, Taken, Kiss of the Dragon හා La Femme Nikita යන සිනමාපට ලුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපටයන්ය. රටේ අනන්‍යතාව සිනමා කර්මාන්තය වි තිබෙන තත්ත්වයක ඇමරිකානු සිනමාව තුළ හාවේ වින්ස්ටන්ට හිමිවී ඇති තැන ප්‍රංශයේ වෙසෙන බෙසන්ට හිමිවී ඇති අතර ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහට ලක්වේ. The New York Times ඇසුරිනි