Thursday, October 4, 2018

‘නවීන දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ‘ – ෆ්‍රැන්සිස් ෆුකුයමා

October 04, 2018 0 Comments
End of History and the Last Man (1992) කෘතිය හරහා ජනාදරයට පත් ෆ්‍රැන්සිස් ෆුකුයමා දේශපාලන විද්‍යාඥයෙකු මෙන්ම කකතුවරයෙකු ද වේ. ලෝකය පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැතිර යාම හා ධනවාදයේ පැතිර යාමත් සමග මානව හිතවාදී සමාජ සංස්කෘතික පරිණාමයේ අවසානය ගැන මෙහි කරුණු දක්වයි. සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ආර්ථිකයෙන් වියුක්ත කළ නොහැකි බවට වු අදහස ඉන්වසර කීපයකට පසු ඔහු රචනා කළ Trust: Social Virtues and Creation of Prosperity (1995) කෘතියෙන් යාවත්කාලීන කළේය. ෆුකුයමා රචනා කළ නවතම කෘතිය වන Identity: The Demand for Dignity and the Politics of Resentment පසුගියදා ජනගත කෙරුණු අතර මෙමගින් අන්තවාදී බව නැවත පැමිණීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වයි. මෙහි පළවන්නේ ෆ්‍රැන්සිස් ෆුකුයමා ‘ද ගාර්ඩියන්‘ හි ටිම් ඇඩම්ස් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සම්පාදනය කළ ලිපියේ සිංහල අනුවර්තනයයි. “Thymos” – දේශපාලන ව්‍යාපාර ගැන තේරුම් ගන්න ෆුකුයාමා සිය Identity කෘතිය හරහා “thymos” යන ග්‍රීක යෙදුම ඉදිරිපත් කරන අතර අධෛර්යයට පත්ව සිටින දේශපාලන ව්‍යාපාර ගැන තේරුම් ගැනීමට ඔහු මෙම යෙදුම යොදාගනියි. “Thymos” යන යෙදුම ප්ලේටෝ ගේ Republic කෘතිය හරහා අවධානයට ලක්වූවකි. ආත්මය නිසැගයෙන්ම ‘හේතුව හා කැමැත්ත‘ වශයෙන් බෙදීමට ලක්වීම ගැන ඔහු මෙහි පවසන අතර සොක්‍රටීස් මේ අදහස ප්‍රථමයෙන් භාවිත කරන ලද දාර්ශනිකයා වූවේය. “thymos” යන්නෙන් විස්තර කෙරෙන මූලික කාරණා දෙකින් පළමු කරුණ වන ‘හේතුව‘ යන්න තුළ අප මනුෂ්‍යයන් බවට පත්වන අතර දෙවැනි කරුණ වන ‘කැමැත්ත‘ යන්න තුළ අපව සත්වයින් බවට පත්කරන බව ෆුකුයමාගේ අදහසයි. “Thymos” යනු මේ දෙකට අතරමැදි තත්ත්වයකි. The Republic කෘතියේ බොහෝ පරිවර්තන තුළ දක්වා තිබෙන්නේ මෙය ප්ලේටෝ තුළ පැවති ‘මහත් ලැදි බවක්‘ යන්න වුවත් ෆුකුයමා මේ අදහස භාවිත කරන්නේ ‘වටිනාකම විනිශ්චය කිරීම‘ යන අර්ථයෙනි. සෙසු දේශපාලන න්‍යායචාරීන් “Thymos” යන්න පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කොට නැත. සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් ලෝකය විස්තර කරන්නේ තනි පුද්ගලයින් හෝ ආයතනය සිය මූල්‍ය ලාභ උපරිම කරගැනීමට දක්වන ස්වයං කැමැත්ත ලෙසිනි, චර්යාවාදීන් පවසන්නේ වේගයෙන් හා සෙමින් සිතීම යන්නයි. සමහරවිට, මේ අතරින් වඩාත් බලසම්පන්න වන්නේ ෆුකුයාමා පවසන අන්දමින් ගෞරවය ලැබීමට ඇති ආශාව විය හැකි බව මේ ගැන තර්ක කරන්නන්ගේ අදහස වී ඇත. හැමදෙනාම සමාන සැලකුම් ලබන්න කැමති ඇයි ? – “isothymia” මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන ෆුකුයමා පෙන්වා දෙන්නේ, ‘‘Thymos යන්නෙන් අදහස් වෙන්නේ ආත්මය තුළ ගැබ්වී තිබෙන පිළිගැනීම හෝ ගෞරවය ප්‍රාර්ථනා කරන කොටසයි.‘‘ යන්නයි. මෙය සමබරව පැවති විට එය “isothymia” යනුවෙන් හඳුන්වයි. අනෙක් හැම මිනිසෙකුම මෙන් සමාන සැලකුම් ලබාගැනීමට ඇති අපේක්ෂාව “isothymia” වේ. ස්ත්‍රීවාදයේ සිට සිවිල් අයිතීන් ව්‍යාපාරය මෙන්ම සමලිංගික පිරිස් වල නිදහස ඉල්ලන සියලුදෙනා දක්වාම සිට ජාතික ගීය ලෙස අරිතා ෆ්‍රෑන්ක්ලින්ගේ “R.E.S.P.E.C.T.” ගීතය අහන්නට කැමති ඒ නිසයි. මේ අපේක්ෂාව පාලනයෙන් ගිලිහී ගිය විට එය “megalothymia” නම් වන අතර ඉන් අදහස් වන්නේ අනෙකාට වඩා තමන් උසස් කොට හඳුනාගැනීමයි. Megalothymic පුද්ගලයෙකු හෝ සමූහයක් ලිබරල්වාදය තුළ පවතින සරළ සමාන සැලකුම් ලැබීම හා එකිනෙකා සමබර කරන බලකායන් වලින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ‘දැවැන්ත අභියෝග වලට මුහුණදීම, දැවැන්ත අරගලයන්ට සක්‍රීයව සම්බන්ධවීම, දැවැන්ත බලපෑම් ගැන බලාපොරොත්තු වීම ආදිය මේ පිරිසගේ අභිලාෂයන් වෙනවා. ඊට හේතුවන්නේ මෙවැනි කටයුතු වලදී අනෙකාට වඩා තමන්ට දැවැන්ත පිළිගැනීමක් හිමිවීමයි.‘‘ ෆුකුයමා පෙන්වා දෙන මේ සංකල්පය අපට සමීප නොවේද ?. මමත්වය, අනන්‍යතාව යන වචන වෙනුවට වත්මන් දේශපාලනික පරිසරය තුළ අතාර්කික බලකායන් ගැන පැහැදිලි කිරීමේදී Thymos යන්න ඵලදායී ලෙස යොදාගන්නේ ඇයි දැයි ෆුකුයමාගේ කෘතියේ සෘජුව පැහැදිලි නොකළද මෑතකාලීනව දියත් වූ ක්‍රියාදාමයන් ගැන පවසන්නට ඔහු එය උත්ප්‍රේරකයක් ලෙස යොදාගනී. ව්ලැදිමීර් පුටින්ගේ ව්‍යාජ උපක්‍රම හා #MeToo වැනි ව්‍යාපාරය එහිලා උදාහරණ ලෙස දක්වයි. බහු සංස්කෘතිකවාදය හා ජාත්‍යන්තර වශයෙන් පවතින හොඳ හිත සම්බන්ධයෙන් ගත්කල ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රෙක්සිට් “isothymic” බලවේග වලට උදාහරණ ලෙස දැක්විය හැකිවේ. The End of History and the Last Man කෘතිය අන්තවාදී අදහස් රැසක් මැද ලිබරල්වාදයේ ජයග්‍රහණය පැහැදිලි කරන කෘතියක් බව ෆුකුයමාගේ විශ්වාසය වී ඇත. සෝවියට් රුසියාවේ බිඳවැටීම හා දෙවන ලෝක යුද්ධයේ පරාජයත් සමග ෆැසිස්ට්වාදී අදහස පරාජයට පත්කරන ලද්දක් බව පිළිගනී. මේ වනවිට ඉතිරිවී තිබෙන්නේ ප්‍රායෝගික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් බව ඔහුගේ අදහසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ විට ෆුකුයමා පැවසුවේ, වත්මනේ කිසිවක් අලුතින් සිදුනොවූවද megalothymia ක්‍රියාවට නැංවෙන බවට වු උදාහරණ ගණනාවක් මේ දශකය තුළ දැකගැනීමට හැකි බවයි. එහිලා උදාහරණ ලෙස ඔහු දක්වන්නේ, ‘‘බ්‍රෙක්සිට් – බ්‍රිතාන්‍යය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිකරන සාධකයක් බවට පත්වේවි. ඒ නිසා බ්‍රෙක්සිට් වලට උදව් කිරීම අනුවණ කටයුත්තක් වේවි. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බොහෝ දෙනෙකු සිය ඡන්දය පළකිරීමෙන් පමණක් මෙය ඔප්පු වුණේ නැහැ, ඒ වගේම බ්‍රිතාන්‍යයේ සමෘද්ධිමත් බව නැවත හිමිකරගන්න ඔවුන් කැමතියි. මෙය සංස්කෘතික ගැටළුවක් වන නිසාම ඔවුන් නැවත වටිනාකමක් ගෙවන්න කැමතියි. සංක්‍රමණය දැඩි ලෙස පාලනය කිරීම වගේ දෙයක් මෙහිලා නිදසුන් ලෙස දැක්විය හැකියි. බොහෝ විදග්ධයින් මෙහිදී වරදාගත්තු කාරණේ වුණේ දේශපාලනයේදී ආර්ථිකමය සහේතුක බව ජාතික අනන්‍යතාව වැනි හැඟීම් වලින් වියුක්ත කර දියත් කළ හැකි බවයි. ‘‘මිනිසුන් බොහෝ ගාණක් පිටුපසින් තබා ගෝලීයකරණය ඉදිරියට පැමිණෙනවා. ස්වයංක්‍රීයකරණය දැවැන්ත වශයෙන් ක්‍රියාත්මක වෙනවා, දැඩි විෂමභාවයක් දියත්වෙනවා. නමුත්, මිනිස්සු ඡන්දේ දීලා තියෙන රටාව බැලුවොත් ඇමරිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ට්‍රම්ප් සමගත් එක්සත් රාජධානියේ ඉන්න බොහෝ දෙනෙකු බ්‍රෙක්සිට් සමගත් ඉන්න බව හඳුනාගන්නට හැකියි. ට්‍රම්ප් වගේම බ්‍රෙක්සිට් වලිනුත් බැට නොකෑ මිනිස්සු මේ කිසිම කෙනෙකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා නැහැ. පසුගිය දශකයේදී විදේශයන්හි ඉපදුණු අයගෙන් දැන් බ්‍රිතාන්‍යය වාස භූමිය කරගෙන ඉන්න සංඛ්‍යාව ගැන බැලුවොත් මේ පිරිසේ වර්ධනය අතිවිශාලයි. මෙවැනි විපාකයක් නැතිව සමාජ වෙනසක් වුණානම් අනිවාර්යයෙන්ම මා පුදුමයට පත්වෙන්න තිබ්බා.‘‘ “අනන්‍යතා දේශපාලනය තුළ වාමාංශික හා දක්ෂිණාංශික යනුවෙන් දෙපැත්තක් දැකගන්නට හැකියි. තමන් ප්‍රධාන ධාරාවේ සංස්කෘතියෙන් වෙනස් බවත් තම පිරිසට විවිධාකාරයෙන් ගෞරවය අවශ්‍ය බවත් කියන මේ වාමාංශික පිරිස දිගු කලක සිට විවිධ සමාජ ව්‍යාපාරයන්හි නිරත වී සිටිනවා. අපි ගැන මොකද කියන්නේ ?, අපිටත් විශේෂ සැලකිලි ඕන‘ කියලා දක්ෂිණාංශික පාර්ශ්වයෙන් මේකට ප්‍රතිචාර එල්ල වෙනවා. පුරවැසිබව ගැන පහත් බවක් මතුකරන මේ අවස්ථාව තරමක් ප්‍රශ්න සහගතයි. දැන් දෙපැත්තෙන්ම අන්තවාදය මතුවෙන්න ගන්නවා. වාමාංශික දේශපාලනය ජනප්‍රිය වෙන්න සෘජුවම බලපාන්නේ මූල්‍ය බිඳවැටීම් බව මගේ අදහසයි. මේ දැවැන්ත බිඳවැටීම නිර්මාණය කළේ වෝර්ල් ස්ට්‍රීට් හි ඉන්න ධනපති පිරිසයි. මෙහි ප්‍රතිඵලයක් විදියට Tea Party හා දක්ෂිණාංශික ක්‍රියාකාරීත්වය ප්‍රබලව ඇතිවෙන්න ගත්තා. 1930 ගණන් වල ඉඳන්ම මෙවැනි අනන්‍යතා සාධකයන් පරිණාමය වී තිබෙන බව කෘතිය තුළ වෙනම කොටසක් ලෙස විස්තර කර තිබෙනවා. දැවැන්ත මට්ටමින් සිද්ධවෙන පංති අරගලයන්ට වඩා කුඩාවට සිද්ධවෙන විෂමතාවන් ගැන මිනිස්සු වැඩිපුර හිතනවා.‘‘ ඇමරිකානු ජනතාව අතර ඉන්න තුන්වැනි පාර්ශ්වය ට්‍රම්ප්ව අනුමත කරනවා ෆුකුයමා – ට්‍රම්ප්ව දකිනේ කෙලෙසින්දැයි යන්න පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, “ට්‍රම්ප් උග්‍ර ජාතිවාදියෙකු විදියට හැසිරෙද්දී, ආර්ථිකය විනාශ කරද්දී පවා ඔහුට දැවැන්ත සහයෝගයක් හිමිවෙන අයුරු දැකගන්නට හැකියි. ඇමරිකාවේ ජනගහණය තුළ ඉන්න තුන්වැනි පාර්ශ්වයක් හැමවිටම ට්‍රම්ප් කරන කියන දේවල් අනුමත කරන්න බලාගෙන ඉන්නවා. ඒවගේම 10 % හෝ 15 % ක් වැනි ප්‍රමාණයක් ට්‍රම්ප් කරන මේ විකාර දිහා සන්සුන්ව බලාගෙන ඉන්නේ බදු කපාදැමූ නිසයි. ඩිමොක්‍රටික් පක්ෂය තවදුරටත් වාමාංශික කරන්න අනෙක් උත්සහයන් හේතුවුණා වගේම මධ්‍යගත වී තිබුණු බලය අහිමි වෙලා ගියා. ට්‍රම්ප් මෙවැනි ජාතිවාදී තේමාවන් තෝරාගත්තේ වාමාංශික පැත්තේ ඉන්න පිරිස උමතුකරවලා ඔවුන් දක්වන ප්‍රතිචාර හරහා අන්තවාදී අදහස් පතුරවන්න ඉඩ දෙන්නයි. මිනිස්සු බෙදීමට ලක්කරන්න අවස්ථාවක් ලබාගෙන ප්‍රජාතාන්ත්‍රීය පිරිස තුළ තරඟකරුවන් හැටියට අඩු සහයෝගීතාවක් ඇතිකරන්නයි.‘‘ වත්මන් දේශපාලන තත්ත්වය ගැන පවසන ෆුකුයමා දක්වන්නේ ‘‘නවීන දේශපාලනය තුළ ඊළඟට සිද්ධවෙන්නේ කුමක්දැයි අනාවැකි පැවසීම අතිශය අපහසු‘‘ බවයි. සාම්ප්‍රදායික මාධ්‍ය සමාජ මාධ්‍යට වඩා ප්‍රයෝජනවත් වත්මන් ලෝකය හා අන්තර්ජාල මාධ්‍ය ගැන ෆුකුයමාගෙන් විමසු විට ඔහු අදහස් දැක්වූවේ මෙලෙසිනි. ‘‘අද ලෝකය තුල අන්තර්ජාලය අපේ ජීවිත වලට දැඩි බලපෑමක් ඇතිකරන්නට සමත්වී තිබෙනවා. මේ ගැන පැහැදිලි කරන ෆුකුයමා පවසන්නේ, ‘අන්තර්ජාලය එක්තරා අන්දමකින් ප්‍රජාතන්ත්‍රවාදයට ළඟාවීමට ඉඩ සලසන මෙවලමක් ලෙස ක්‍රියා කරමින් තොරතුරු ලබාදෙන අතර මිනිසුන්ව සවිබල ගන්වනවා. නමුත් මගේ අදහස වෙන්නේ සංස්කාරකවරුන්, දොරටුපාලකයින් වැනි පිරිස් හිටිය පැරණි සාම්ප්‍රදායික මාධ්‍ය අතිශය ප්‍රයෝජනවත් බවයි. මොකද, පළවන කරුණු නිවැරදි ද නැද්ද යන්න එවැනි පිරිස් හොයාබැලූ නිසා වැරදි තොරතුරු සමාජගත වෙන්න තියෙන අවකාශය අඩුවෙන අතර ගුණාත්මක තොරතුරු සමාජගත වෙනවා. මේ යුගය දැන් අවසන් වී හමාරයි. ‘අන්තර්ජාලය තුළ අප දකින ඕනම දෙයක් අන්තර්ජාලයේ පෙනෙන වෙනත් ඕනම දෙයක් තරම් හොඳයි‘ ෆුකුයාමාගේ පවුල් පසුබිම හා ඇමරිකාව ෆුකුයමා ඇමරිකාවට සංක්‍රමණය වූ පරම්පරාවක තුන්වැනි පුරුකයි. ඔහුගේ පියා පල්ලියේ සභාවේ සේවය කළ අතර ඔහු චිකාගෝ සරසවියේ සමාජවිද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිධාරියෙකි. ෆුකයාමාගේ මව කියෝතෝ උපන් තැනැත්තියක වූ අතර කියෝතෝ සරසවියේ ආර්ථික විද්‍යා අංශය ආරම්භ වූයේ ඇගේ පියා විසිනි. ෆුකුයමා ජපන් සම්භවයකින් යුතු ඇමරිකානුවෙකු දැයි විමසූ විට පැවසුවේ, ‘මට කවදාවත් මං ගැන එහෙම හිතිලා නැහැ. මං කවදාවත් ජපන් සමාජයේ හැදී වැඩුණු කෙනෙකු නොවෙයි‘ යන්නයි. ජපන් බස නොදන්න ෆුකුයමා කිසිදිනක ජපන් බස කතාකිරීමට ඉගෙන නොගත් ඔහු එය කෙදිනක වත් තමන්ට අවශ්‍ය වනු ඇතැයි නොසිතුවේය.‘‘කිසිකෙනෙකුට තමන්ගේ වාර්ගික අනන්‍යතාව නිසා කිසිදු බාධාවකට මුහුණනොදී ඉදිරියට යන්න හැකි නිසා ඇමරිකාව අති ශ්‍රේෂ්ඨ රටක් බව මං හිතුවා. මගේ තාත්තා ජපන් බස කතා කළත් ඔහුට එය හොඳින් හැසිරවීමේ හැකියාවක් තිබුණේ නැහැ. 1930 -1940 අතර සමයේදී ලොස් ඇන්ජලීස් වල අධ්‍යාපනය හදාරපු කෙනෙක්. මගේ අම්මා ඉපදුණේ ජපානයේ වුණත් ඇය යුද්ධෙන් පස්සේ ඇමරිකාවට සංක්‍රමණය වුණු කෙනෙක්. ඇය ඉංග්‍රීසි කතා කළේ වෙනස් හුරුවකට. නමුත්, මගේ තාත්තා අතිදක්ෂ විදියට ඉංග්‍රීසි හැසිරවූවා. ඇමරිකානුවන් ජාතිවාදීන් බවට වුණු හැඟීමක් වගේම ඔවුන් අහංකාර පිරිසක්ය යන හැඟීම මගේ අම්මා තුළ පැවතියා. නමුත්, මගේ තාත්තා කිව්වේ තමන්ට ජපන් සම්භවයක් තිබුණු නිසා කොන්කිරීම අත්විඳින්නට වූ අවස්ථා ජීවිතයේ කවදාවත් තිබුණේ නැහැ කියලා. ‘ඇමරිකානුවෙකු වගේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් නම් ඔබට පිළිගැනීමක් හිමිවේවි‘ කියන දේ මේ කතාබහ සමගින් මගේ හිතේ දැඩිව බලපෑවා. මගේ අම්මට කරන්න නොහැකි වුණෙත් එයයි. සුදු ජාතිකයින්ට වඩා ආසියානු ඇමරිකානු සම්භවයක් තියෙන අය බොහොම දක්ෂ බව හඳුනාගන්නට හැකියි.‘‘ යන්නයි.

ජෙමී හා ශාබාගේ ආදර කතාව

October 04, 2018 0 Comments
තමන්ට උපතින් උරුම වී ඇති සිරුර තවදුරටත් තමන්ගේ සිරුර නොවන බව වැටහෙන විට සිය සිරුරින් වෙනත් සිරුරකට නික්මීමට තීරණය කිරීම හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු ලෙස දිවිගෙවීම පුද්ගලයෙකුට මුහුණදීමට සිදුවන දැවැන්ත අභියෝගයකි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු බවට පත්වීම අතිශය අසීරු ක්‍රියාවලියක් වනු ඇති බව නිසැකය. ජෙමී රේන්ස් කාන්තාවක් ලෙසින් ඉපිද පසුකලෙක සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයෙකු බවට පත්වුණු තරුණයෙකි. ජෙමී මේ වනවිට 24 හැවිරිදි වියේ පසුවෙයි. ඔහුගේ සිතගත් පෙම්වතිය බවට පත්වන්නේ කලෙක සමීපතම මිතුරිය වී සිටි ඔහුගේම වයසේ පසුවන ශාබා ලූටන් ය. ශාබා මුස්ලිම් ජාතික තරුණියක් වන අතර සංස්කෘතික සීමාකම් හේතුවෙන් සිය ජාතියෙන් පිට අය සමග විවාහ වීම බාධාවක් වී ඇත. LGBTQ ප්‍රජාව නියෝජනය කරන අයෙකු සමග විවාහ වීමද සමාජ සම්මතයට අනුව බාධාවක් වී ඇත. අනෙක් සියලු තරුණයින් මෙන්ම ජෙමී ද අතිශය සාමාන්‍ය තරුණයෙකුගේ ස්වභාවය දැරුව ද ශාබාගේ ආදරය පිළිගන්නට ඇගේ පවුලේ පිරිස් සූදානම් නැත. සසෙක්ස්හි දිවිගෙවන මේ පෙම් යුවළ නුදුරේදීම විවාහ වීමේ සූදානමින් පසුවෙයි. මේ ඔවුන්ගේ කතාවයි. ජෙමී ව මුණගැහුණේ කොහොමද ? අපේ කොලේජ් කාලේදී. අවුරුදු 17 දී වගේ. මේ කාලේ ජෙමී සංක්‍රාන්ති තරුණයෙකු වෙලා හිටියේ නැහැ. එයාගේ අනික් ගැහැණු යාළුවෝ එක්ක ඉද්දි මං ජෙමීව ගණන් ගත්තේ වත් නැහැ. කොහොම හරි අහම්බෙන් වගේ අපි දෙන්නම දන්න යාළුවෙක් නිසා මුණගැහිලා කතාකරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේදී අපි දෙන්නම එකිනෙකා ගැන දැනහඳුනාගෙන එදා ඉඳන් හොඳම යාළුවෝ බවට පත්වුණා. සංක්‍රාන්ති සමාජභාවී තරුණයෙකු එක්ක ඉද්දි ශාබා ට මුහුණදෙන්න වුණේ මොනවගේ අභියෝග වලට ද ? මගේ අම්මගේ පැත්තේ අයගෙන් ආවා බාධා වලට ජෙමී වගේම මටත් මුහුණදෙන්න වුණා. මගේ පවුලේ අයව තෝරාගන්නවද ? නැත්නම් මගේ පෙම්වතා ව තෝරාගන්නවද ? කියලා හැමවෙලේම හිතන්න වුණා ? අනෙක් කාරණේ වුණේ මම ගන්න ඕන තීරණේ බොහෝවිට ගත්තේ මගේ පවුලේ අයයි. මේ වගේ හතුරුකම් වලට දිගින් දිගටම මුහුණදුන්නා. මේ කාලය බොහොම අසීරු කාලයක් වුණත් අපි කොහොම හරි ඒ දේවල් වලට මුහුණදුන්නා. මගේ අම්මා සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාව ගැන දැනගෙන හිටියා. ඒත්, ජෙමී එක්ක තිබුණු මගේ සම්බන්ධතාවය පිළිගන්න ඒක පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. අනිත් කාරණේ මේ දේවල් වලට මුහුණදීම මට වගේම ජෙමීටත් දුෂ්කර වුණා. අපේ ආදරේ පටන්ගත්තු මුල් කාලේදී ජෙමී එයාගේ පෙනුම ගැන සතුටු වුණේ නැහැ. එයාට එයා ගැනම කිසි විශ්වාසයක් තිබුණේ නැති නිසා ගොඩක් සතුටෙන් ඒ කාලේ ජීවත් වෙන්නත් අමාරු වුණා. ටික කාලෙකට පස්සේ ජෙමී සංක්‍රාන්ති ක්‍රියාවලියට මුහුණදෙන්න ගත්තම එයා තුළ ආත්ම විශ්වාසයක් ඇතිවෙන්න ගත්තා. එයාට උපරිම සහයෝගය ලබාදීලා දවසින් දවස එයා දියුණු වෙනවා දකින්න හැකිවුණු නිසා ජෙමී ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්න ගත්තා. ජෙමී ඔහු ගැන ඔබට පැවසුවේ කොහොමද ? කොලේජ් එකේ ඉන්න කාලේදිමයි. ජෙමී ඒ වෙද්දිත් අපේ අනික් යාළුවන්ට මේ ගැන කියලා තිබුණා. මං ජෙමී ව මුණගැහෙන්න ගියාම තරමක චකිතයෙන් වගේ ඇහුවේ LGBT කියන එකේ තේරුම ඔයා දන්නවද ? කියලා. මේ කියන්නේ ලිංගිකත්වය සම්බන්ධ මොකක්දෝ දෙයක් බව මට තේරුණා. ‘ඔව් මං දන්නවා‘ කියලා මම කිව්වා. ‘හරි, මම T කෙනෙක්‘ කියලා එයා කිව්වා. මේකේ තේරුම නොදැන හිටපු නිසා මං, මහ මෝඩයෙක් වගේ දැනෙන්න ගත්තා. ඒත්, අපි ඒ ගැන කතාකරන්න පටන් ගත්තට පස්සේ මෙහි තේරුම වගේම සංක්‍රාන්ති ක්‍රියාවලිය ගැන දැනගත්තට පස්සේ අවබෝධයක් ආවා. සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවකින් යුතු පුද්ගලයෙකු විදියට ප්‍රේම සම්බන්ධතාවකදී මුහුණදෙන්න සිද්ධවෙන අභියෝග මොනවද ? සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් නිරන්තරයෙන්ම අනෙක් අයගේ විනිශ්චයට බඳුන්වීම දැවැන්තම අභියෝගයක්. අපි දෙන්නා අතර තියෙන සංවාද වලදී මුහුණදෙන්න වෙන දැවැන්තම අභියෝගය වෙන්නේ අනික් හැමෝම වගේ, අපි දවසක දරුවෝ හදාවඩා ගන්නේ කොහොමද ? යන්නයි. ශාබා මං ඔබෙන් දැනගන්න කැමතියි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් සමාජයෙන් පිළිගන්නවාද ? මම හිතන විදියට නම් ජෙමී බොහොම සාමාන්‍ය කෙනෙකු විදියට ජීවිතේ ගෙවමින් දවසින් දවස ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවත් වෙනවා. ඒවගේම අපි අනෙක් අයටත් උදව් කරමින් ජීවත් වෙනවා. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවකින් යුක්ත පුද්ගලයෙකු සමග ජීවත් වීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවයි. ඇත්තටම, සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාව අපේ ආදරයට බලපාන්නේ නැහැ. ජෙමී සම්පූර්ණයෙන්ම එයාගේ සිරුර වෙනස් කරගෙන තියෙනවා, අපි දෙදෙනාගේම පවුලේ අය එක්ක කතාබහ කරනවා, අපි දැන් සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාව ගැන කතා කරන එකම මොහොත වෙන්නේ LGBT ප්‍රජාව ගැන අධ්‍යාපනික දැනුවත් කිරීම් කරන අවස්ථාව පමණයි. අනික් කාරණේ අන් කිසි කලකට වඩා සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවෙන් යුතු පුද්ගලයින් පිළිගන්නා මට්ටමට අද සමාජය පත්වෙලා තියෙනවා. මීට වසර 20 කට කලින් සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවෙන් යුතු පුද්ගලයකුට සමාජයේ හිමිවුණු තැන හා අද ඔවුන්ට හිමි වී ඇති තැන ගැන බැලුවොත් අද තත්ත්වය හොඳ බව හඳුනාගන්නට හැකි වුණත් අපිට තවත් බොහෝ දුර යන්න තියෙනවා. නමුත්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් අනාරක්ෂිතව ජීවත් වෙන රටවල් තියෙනවා, ඔවුන්ට හිමිවිය යුතු අයිතීන් පවා හිමිවී නැහැ. ජෙමී, ඔබ හා ශාබා අතර තියෙන මේ ආදරය හා ඉදිරියේදී සිද්ධවෙන විවාහ ගිවිස ගැනීමේදී තියෙන සුවිශේෂ බලාපොරොත්තු මොනවද ? ඇත්තටම කිව්වොත් ඉදිරියේදී ජීවිතයේ ඇතුළේ මොනවගේ අභියෝග වලට මුහුණදෙන්න වේවිදැයි යන්න ගැන වික්ෂිප්තභාවයක් තියෙනවා. අපේම දරුවෝ හදාගෙන ජීවත්වෙන්න සිද්ධවෙන දවස ගැන තරමක වික්ෂිප්ත බවකින් ඉන්නේ. අපි දෙන්නා ගොඩක් ඇවිදින්න, ඒ වගේම අපේ පවුල් ජීවිතේ සතුටින් ගෙවන්න කැමතියි. ශාබාට ඒ ගැන කියන්න තියෙන්නේ මොනාද ? අපේ විවාහ උත්සවය සැලසුම් කරගන්න කටයුතු අතරෙදී ටිකක් කලබලකාරී ගතියක් දැනෙනවා. මගේ පවුලේ අය ජෙමී ව පිළිගන්න මට්ටමට දැන් ඇවිත් තියෙනවා. https://youtu.be/0mp2qlImuuQ Metro.co.uk ඇසුරිනි

Demons in Paradise – හැබෑම ඩීමන්ලා කවුද ?

October 04, 2018 0 Comments
Demons in Paradise සිනමාපටයට යාපනය සිනමා උළෙලේදී වුණේ මොකක්ද ? ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන ‘‘පාරාදීසයේ යක්‍ෂයෝ‘‘(Demons in Paradise) සිනමාපටය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔක්තෝබර් 5 වැනිදා දින ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් අත්හිටුවා ඇති බව පසුගියදා (ඔක්තෝබර් 1) ජූඩ් රත්නම් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබෙයි. ජූඩ් රත්නම් අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ, අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයින් තීරණය කලේ ඇයිදැයි තමන් හරි හැටි නොදන්නා නිසා ඔවුන් මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කළයුතු බවත්ය. මෙය ප්‍රදර්ශනයට එරෙහිව හඬ නගන ‘ප්‍රජාව‘ යනු කවුරුන්දැයි යන්නත් ඔහු විමසා සිටියි. කෙසේවුවත්, මේ ගැන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කළ යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය සම්බන්ධයෙන් ජූඩ් රත්නම් පවසන අදහස් නිවැරදි නොවන බවයි. කෙසේවුවත්, සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන අතර එහිදී වැඩි වශයෙන් අවධාරණය කර තිබෙන්නේ ජූඩ් රත්නම්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් මෙහිදී භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් යන්නයි. Demons in Paradise සිනමාපටය 2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) හි දී පළමුවරට තිරගත වූ Demons in Paradise චිත්‍රපටය එහිදී Camera d’Or හා Golden Eye සම්මාන සඳහා නිර්දේශ වූ අතර තවත් ජාත්‍යන්තර උළෙලයන් වලට ද මෙය තරඟ වැදී ඇත. ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන Demons in Paradise ජූලි පරාටියන්ගේ නිෂ්පාදනයක් වන අතර මෙහි කැමරාකරණය චින්තක සෝමකීර්ති හා මහින්ද අබේසිංහ ගෙනි. එසේම පසුගිය වසර පුරාවට ලොව පුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක්ම හිමි කරගෙන ඇත. The Hindu මේ ගැන සටහන් කර ඇති අයුරු මේ සම්බන්ධයෙන් The Hindu පළකර ඇති ලිපියේ (ඔක්තෝබර් 2) දක්වා තිබෙන කරුණු මෙසේය. ”ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ Demons in Paradise සිනමාපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේදී මේ සතියේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, අදාළ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමාපට ඇතුළත් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර පශ්චාත් යුද සමයක් පවතින ලාංකීය සමාජයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ පහරක් ලෙස මෙය හඳුන්වයි. ජූඩ් රත්නම් පවසන පරිදි මේ සිනමාපටය උළෙලෙන් වාරණය කිරීමට හේතුවී ඇති කරුණ බවට සිනමා උළෙලේ සංවිධායකයින් පවසන්නේ, ‘ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම‘ යන්නයි. ඊට අදාළව ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙන්නේ, ‘මගේ සිනමාපටය ලැයිස්තුවෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයින් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැත. මෙය භාෂණයේ හා ප්‍රකාශනය පිළිබඳ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් නිදහසට එල්ල වූ බාධාවක් හා වාරණයක් බවත්‘ ඔහු පසුගියදා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත. යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂිකාව වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය වාරණය කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැති බවයි…. මේ පිළිබඳ අදහස් දක්වන ජූඩ් රත්නම් පවසන්නේ ‘මේ සිනමාපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. LTTE සංවිධානය දමිළ සමාජය තුළම විවේචනය කිරීම හරහා මේ සිනමාපටය හරහා විවේචන මෙන්ම විවේචනාත්මක පිළිගැනීම් ද ඉදිරිපත් කර තිබෙනවා. ලංකාවේ සමාජය තුළ ඵෙතිහාසික වශයෙන් පැවත ගෙන එන වෙනස්කොට සැලකීම මෙන්ම දමිළ සුළුතරය වෙත එල්ල කළ කෘරත්වය LTTE අරගලය තුළ තවමත් මුල්බැසගත් අදහස් බවට පත්වී තිබෙනවා. කෙසේවෙතත්, LTTEයේ අධිපතිවාදී ආකල්පය මෙන්ම විසම්මුතිකභාවය සම්බන්ධ නොඉවසිලිවන්ත බව ගැන දමිළ සමාජයේ ඉන්න පිරිසක් දිගු කලක් තිස්සේ ප්‍රශ්න කරනවා. ඔවුන් LTTE ය ‘දේශද්‍රෝහීන්‘ ලෙස හංවඩු ගහන අතර එවැනි හඬවල් ඉවත් කරදමා තිබෙනවා. උළෙලේ සංවිධායකයින් පවසන්නේ මේ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ‘ප්‍රජාවෙන්‘ බලපෑමක් පැමිණි බවයි. මේ කියන ප්‍රජාව කවුද ?. ප්‍රධාන දේශපාලන ආධිපත්‍යයට සම්බන්ධ කතිකාවට විරුද්ධව අදහස් පළකරන ඕනෑම දේකට විරුද්ධව යන අවතාරයක් වසර ගාණක් තිස්සේ අප අතර ඉන්නවා. මේ සිදුවීමෙන් නැවතත් තහවුරු කරන්නේ ඒ අවතාරය අප අතර පවතින බවයි‘‘ යන්නයි. යහපාලනය භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරාවිද ? සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි වරෙක පවසන්නේ, ‘‘ඕනෑම විවෘත සමාජයක පදනමට හේතුවන සුවිශේෂී කරුණු ද්විත්වය වන්නේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා නීතියේ ආධිපත්‍යයයි. මේ පදනම නැති තැන නිදහස් රටක් බිහිවන්නේ නැත‘‘ යන්නයි. රාජපක්ෂ රෙජීම් පාලනය පරදවා වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ස්ථාපිත කරන බවට වූ පොරොන්දුව මතය. එවැනි පසුබිමක Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී අසාධාරණයට ලක්වන්නේ රජයේ බලධාරීන්ගේ උපදෙස් වල දායකත්වයෙන් ද යුතුව නම් භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති බාධාව තරයේ හෙළාදකිමු. https://youtu.be/E8N-Esvj--0 https://youtu.be/quJTd3Asag0

චාර්ල්ස් අස්නවූර් මතකය

October 04, 2018 0 Comments
අද ජීවත්වෙන්න, හෙට මොනා වේවිදැයි දන්නේ කවුද ?‘ – චාර්ල්ස් අස්නවූර් අස්නවූර් යනු කවුද ? චාර්ල්ස් අස්නවූර් 1924 මැයි 22 වැනිදා මෙළොව එළිය දකින්නේ ආර්මේනියානු කලා පවුලකට දාව ය. වයස අවුරුදු නවය සම්පූර්ණ වීමත් සමගම පාසල හැරයන අස්නවූර්ගේ හීනය වී තිබුණේ ළමා රංගන ශිල්පියෙකු වීමය. ඔහුගේ මාපියන් දෙවන ලෝක යුද සමයේදී කැබරේ ශාලා වල ගායනයේ යෙදුණු අතර යුදෙව් හා කොමියුනිස්ට් පිරිසට ඔවුන්ගේ නිවසේ රහසිගතව නවාතැන් සැපයීය. සිය පවුලේ උදවිය ගැන පවස ඔහු ‘ප්‍රංශ බස මගේ එදිනෙදා කටයුතු වලදී භාවිත කරන බස වුණත් මගේ පවුලේ අය කතාබහ කළේ ආර්මේනියන් බසයි‘ යන්න පවසා ඇත. පියා සමඟ නව රැල්ලේ සිනමා නිර්මාණකරුවෙකු වූ ප්‍රංශුවා ටෘෆෝගේ සම්භාව්‍ය ගණයේ සිනමාපටයක් වූ Tirez Sur le Pianiste (Shoot the Piano Player) මෙන්ම ක්ලෝඩ් චාර්බ්‍රොල්ගේ Fantômes du Chapelier (The Hatter’s Ghost) ආදී නිර්මාණ වලට ද මෙන්ම ගුන්තර් ග්‍රාස් රචනා කළ The Tin Drum ඇසුරින් නිර්මාණය වූ 1979 ඔස්කාර් සම්මාන ලබාගත් සිනමාපටයට ද දායක වූවේය. එවක සමාජය ප්‍රසිද්ධියේ කතාබහ කිරීමට අකමැති තේමාවන් වූ විවාහ ජීවිතයේ දී මුහුණදීමට වන අභියෝග, පිරිමින්ගේ හැඟීම් හා ආශාවන්, ලිංගික අපචාර මෙන්ම සමලිංගිකත්වය ගැන ද ඔහු ගී ගැයුවේය. Comme Ils Disent / What Makes a Man නම් ගීතය 1973 දී බිහිවූ අතර මෙහි තේමාව වී තිබෙන්නේ සමරිසි පුරුෂයෙකු පිළිබඳවයි. මේ ගැන පසුකලෙක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු පැවසුවේ, ‘‘සමරිසි බව ගැන ප්‍රංශයේදී මුලින්ම ගීතයක් රචනා කළේ මමයි. මගේ සමරිසි මිතුරන් මුහුණදෙන ඔවුන්ටම අනන්‍ය ප්‍රශ්න ගැන කියන්න මට වුවමනා වුණා. මේ පිරිස නිරන්තරයෙන් සමාජයේ කොන්වීමට ලක්වුණා. ඔවුන් ගැන වෙනස් විදියට දකින්න මේ හරහා හැකියාව ලැබුණා.‘‘ සිය ගායනය ගැන ස්වයං විවේචනයක නිරත වූ අස්නවූර් වරෙක පැවසුවේ, ‘‘මං සම්භාව්‍ය තලයේ අතිදක්ෂ ගායකයෙකු දැයි මා දන්නේ නැහැ. නමුත්, කටහඬක රැඳී තිබෙන සුන්දරත්වයට වඩා අතිශය වැදගත් වන්නේ භාවාත්මකව ගීතයක් ඉදිරිපත් කරන අන්දම හා ඒ තුළ ජීවිතය චිත්‍රණය කරන අයුරුයි. මගේ හැම ගීතයකින්ම කියන්න උත්සහ කළේ පෞද්ගලික හා අපිට අතිශය සමීප අත්දැකීම් ගැනයි‘ යන්නයි. ගීත 1400 කට අධික ප්‍රමාණයක් ගායනා කළ ඔහුගේ ගීත ඇල්බම් ලොව පුරා රටවල් 80 ක අලෙවි වී ඇත. සංඛ්‍යාත්මකව ගතහොත් එය මිලියන 100 කට අධිකය. අස්නවෝර් ගායනා කළ ගීත 1400 න් 1300 ක් පමණම ලියැවුණේ ඔහු විසින්ම වීම විශේෂය. තෙවරක් විවාහ වූ ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. ප්‍රංශයේ සිනෙට්‍රා යන නමින් හැඳින්වුණු මේ අපූරු ගායන ශිල්පියා පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිය දිවියෙන් නික්මී යනවිට 94 හැවිරිදි වියේ පසුවූවේය. තරුණ වියේදී මගේ ජීවිතය වේදිකාවයි ‘‘මං ජීවත්වෙන්නේ වේදිකාව මතයි. අනිවාර්යයෙන්ම වේදිකාව මතදී මං දැඩි ප්‍රමෝදයට පත්වෙනවා. මගේ සොහොයුරිය හා මා අවුරුදු 100 ක් ජීවත්විය යුතු බව තීරණය කළා. ඒ තරම් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබුණොත් අපිට වාර්තාවක් තබන්නට හැකිවේවි. මේ ගමන අතරතුරදී මට වගේම ඇයටත් නවතින්න බැහැ ‘‘ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සවස ප්‍රංශ රූපවාහිනියේ විකාශය වූ ඔහු සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය. මෙහිදී චාර්ල්ස් පැවසුවේ තවදුරටත් තමන්ට ගී ගැයීමට අවස්ථාව නොලැබුණොත් තමා මියයාවි යන්නයි. මනාව සංකලනය වූ ආකර්ශණීය ගී පද මෙන්ම රසවත් ගී ගැයූ ශිල්පියෙකු ලෙස ප්‍රකටය. ඔහු ගැයූ Après l’Amour නම් ගීතය ප්‍රංශ ගුවන්විදුලිය 1955 තහනම් කළ අතර ලිංගික එක්වීමෙන් පසුව සතුටට පත්වූ යුවළක් සතුටින් ඉපිලෙන අන්දම ‍මේ ගීයේ නිරූපණය කර තිබීම ඊට හේතුවිය. ප්‍රේමයේ සුන්දරත්වය ගැන ගැයුණු She නම් ගීතය 1974 දී නිර්මාණය වූ අතර පෙම්වතුන්ට දැනෙන සතුට මෙන්ම ඔවුන් අතර ඇතිවන සුළු සුළු ගැටුම් ගැන ද මින් පැවසේ. ‘මගේ ජීවිතයේ අරුත ඇයයි‘ යන්න මේ ගීතයෙන් කියැවේ. මේ ගීතය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ දී ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර එක්සත් ජනපදයේ ගීත දර්ශකයන්හි සති හතරක් පුරා අංක එකේ රැඳී තිබුණි. සිනෙට්‍රා, එල්ටන් ජෝන්, සෙලීන් ඩියොන්, බ්‍රයන් ෆෙරී හා ස්ටින් සමග එක්ව ගීත නිර්මාණ ද සිදුකර ඇත. සහෝදර ජනයා වෙනුවෙන් සහන සැලසීමට ද ඔහු නිරන්තරයෙන් එක්වී ඇත. හයිටියේ ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට ප්‍රංශයේ සිටින තරුණ රැප් තරු සමග එක්වී Un Geste pour Haiti Chérie ගීතය 2010 දී ගායනා කළේය. ඔහු හා ලීසා මිනෙලි නම් ගායන ශිල්පිනිය සමග කලක් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර 2014 දී ඒ ගැන Telegraph වෙත අදහස් දක්වමින් පැවසුවේ, ‘ඇය මගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. කොයි මොහොතක හරි ඇයට හෝ මට කටවහන්න සිද්ධවෙන බව ඈ කිව්වා‘ යන්නයි. ඔහු නැති සොවින් තැවෙන අය ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, ‘චාර්ල්ස් අස්නවෝර් සිය ආර්මේනියානු අක්මුල් අමතක නොකළ අතිශය හෘදයාංගම ප්‍රංශ ජාතියෙක් වුණා පමණක් නොවේ මුළු ලොවක් ඔහු ගැන දැන හිටියා. පරම්පරා තුනක් අත්විඳි ප්‍රමෝදය මෙන්ම දුක, වේදනාව ද ඔහු අත්දුටුවා. චාර්ල්ස්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයන් තුළ රැඳී තිබෙන්නේ ඔහුගේ කටහඬේ ගැබ්වී තිබෙන අපූර්ව ස්වරය මෙන්ම ඔහුටම අනන්‍ය වූ ප්‍රභාවයි.‘‘ යන්නයි. අස්නවූර් ජීවිතය ගැන කළ සඳහනකින් මේ සටහනට නිමාව තබන්නම්. ‘‘ජීවිතයේදී කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති බවට මිනිස්සු විශ්වාස කළත්, අපි හැමවිටම කිසිවෙකු හෝ කිසිවක් බලාපොරොත්තු වෙනවා‘‘ Xtra, The Guardian, BBC හා The New York Times ඇසුරිනි https://youtu.be/Ts7zVUy0Sd0

Tuesday, September 11, 2018

සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් පණ පිටින් පුළුස්සා මරාදමලා

September 11, 2018 0 Comments
පාකිස්ථානයේ දිවි ගෙවූ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට පුරුෂයින් සිව් දෙනෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට ගත් උත්සහයේදී ඊට විරෝධය පළකිරීම නිසා ඇය පණපිටින් පුළුස්සා දමා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (6) මෙම ඝාතනය සිදුවී ඇති අතර පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන Trans Action Pakistan මේ හා සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. පාකිස්ථානයේ සහිවාල් දිස්ත්‍රික්කයේ කුලී රථගාලක් ආසන්නයේදී මේ සිදුවීම වී ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇගේ සිරුරින් 80 % ක් පමණ පිළිස්සී ගොස් තිබූ අතර එ් වනවිටත් මියගොස් සිට ඇත. පාකිස්ථානය තුළ දිනෙන් දින සිදුවන පසුගිය අගෝස්තුවේදී ද පෙශාවර්හිදී සංක්‍රාන්ති ලිංගිකයෙකු ඝාතනය කෙරුණි. කෙසේවුවත්, මේ වසර ආරම්භයේදී පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිමය පියවර ගෙන තිබෙන පසුබිමක LGBT ප්‍රජාවට එරෙහිව මෙවැනි අඩන්තේට්ටම් සිදුවීම මහත් ඛේදවාචකයක් වී ඇත. https://www.slguardian.org/si/wp-content/uploads/2018/09/41087610_269096883926754_7486503198583865352_n.mp4 Trans Action Pakistan හා Pink News ඇසුරිනි

ලී රිග්බි ඝාතනය මාව සසල කළා – ගයි ගුණරත්න

September 11, 2018 0 Comments
In our Mad and Furirous City ශ්‍රී ලාංකීය හා බ්‍රිතාන්‍ය සම්භවයකින් යුතු තරුණ ලේඛකයෙකු වන ගයි ගුණරත්න විසින් රචිත කුළුඳුල් නවකතාවයි. මෙවර ‘ද මෑන් බුකර්’ සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තු ගත කෘති අතරට මේ කෘතිය ඇතුළත්වී තිබේ. උතුරු එංගලන්තයේ පිහිටි ස්ටෝන් නිවාස සංකීර්ණයේ හැදී වැඩෙන සෙල්වන්, ආර්දන් සහ යූසුෆ් යන තරුණයින් තිදෙනෙකු වටා මෙම නවකතාව ගොඩනැගී ඇති අතර මේ ප්‍රදේශය මුල්කරගනිමින් ඇවිලී යන ගැටුම්කාරී වාතාවරණයක් පදනම් කරගත් In our Mad and Furirous City හි රාජකාරිය නිමවී යන සොල්දාදුවෙකු කළු මිනිසෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සත්‍ය සිද්ධිදාමය ගැන සනිටුහන් වී ඇත. ලන්ඩනයේ නෙස්ඩන් හි ඉපදුණු ගයි මේ වනවිට දිවිගෙවන්නේ ස්වීඩනයේ ය. මේ The Guardian ඔහු සමග පවත්වන ලද සාකච්ඡාවක අනුවර්තනයකි. In our Mad and Furirous City කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ හැදී වැඩුණු ලන්ඩන් නගරයද ? ඇත්තටම, මං හැදී වැඩුණේ මේ කෘතියේදී තරුණ පිරිස් කතාබහ කරන උප භාෂාව, ඒවගේම මෙහි දිගහැරෙන භාෂා විලාසය සමගිනුයි. මේ ප්‍රදේශයට ආවේණික වී තිබූ රිද්මය හා ශක්තිය පුබුදුවාලන්න මට වුවමනා වී තිබුණා. බොරුව නැති නමුත් සත්‍යය ගැබ්වුණු දේවල් මෙහි තිබෙනවා. කෘතිය තුළ ඇසෙන සංවාද හරහා මට දැනෙන්නේ ලන්ඩනයේ ජීවත්වෙන බවයි. මේ වචන වල දෝංකාරය හා එහෙන් මෙහෙන් ඇහෙන සද්දත් එක්ක මගේ අදහස වී තිබුණේ නගර මැද ඉඳන් මේ කෘතිය කියවන බව පාඨකයාට දැනවීමයි. බහුතාල නාදය කෘතිය තුළින් ඇහෙන බව In our Mad and Furirous City ගැන ලියැවී තිබෙන එක් විචාරයක සටහන් වී තිබෙනවා. ඇත්තටම, ඔබට වුවමනා කළෙත් එයද ? බහුතාල නාදයක් බව කීම බොහොම සුන්දර කතාවක් වුණත් සමහර විට තරමක් මෘදු වෙන්න පුළුවන්. නෙස්ඩන් හා වෙම්බ්ලි වලින් ඇවිදන් යද්දි ඒ වටපිටාව හරිම ඝෝෂාකාරී බව දැනෙනවා. මේ නගරය සමහර මිනිස්සුන්ට අකාරුණික වෙන්න පුළුවන්, ගැටීම් හා බෙදීම් වලින් පිරී තිබෙන්න හැකියි. නමුත්, සමහරවිට මේ අමිහිරි බව අත්‍යවශ්‍ය බව දැනෙනවා. ලන්ඩනය කියන්නේ විවිධාකාර තැන් වල සිට පැමිණුනු ජනයා එකට එකතුවන තැනක්. ඉතිං, මේ හැමදෙනාම ඔවුන්ට අනන්‍ය වූ ස්වභාෂාව, උච්චාරණ, සංස්කෘතිය, ඉතිහාසය හා උනන්දුව අතහැරලා එකම විදියට කතා කරාවි යැයි මට හිතාගන්නත් බැහැ.
මේ කෘතියේ සමහර අවස්ථාවලදී අව්‍යක්ත යැයි සැලකෙන යෙදුම් සන්දර්භානුගත නොකර ලියද්දි ඔබට ඔබ ගැනම විශ්වාසයක් දැනුණද ? කා වෙනුවෙන් සන්දර්භානුගත කරන්නද ? ඒක හරිම අමනකමක් නේ. සංවේදීතාව නිසා මොකක් හරි දෙයක් අපහසුතාවට ලක් නොකර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් මට දැනිලා නැහැ. යමක් ඒ විදියටම ප්‍රකාශ කිරීම හරිම අවංකයි. සාමාන්‍යයෙන් කිසිම බුරුලක් නොදක්වන ලේඛකයින්ගේ ලේඛනයන්ට මං ඉබේම ආකර්ශණය වෙනවා. ස්කොට්ලන්ත උප භාෂාවෙන් ලියන ජේම්ස් කෙල්මන් මගේ ප්‍රියතම ලේඛකයෙක්. මං මේ ලියන්නේ ඇත්තම බව දන්නවා නම් එවැනි අවස්ථාවකදී සංවේදීතාව ගැන හිතන්න වුවමනා වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයින්ගෙන් ඔබ්බට ගිහිං මං හිතන්නේ නැහැ. ලේඛනයේ යෙදෙන විට මං බෝලයක් අතට ගත්තා වගේ. අන්තවාදී බව හා ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් මට බාධාවක් වෙන දෙයක් ගැන හොයනවා වගෙයි මේ කෘතිය ලියැවීමේ මූලාරම්භය වෙන්නේ ලී රිග්බි ඝාතනයද ? ලී රිග්බි සිද්ධිය මා තුළ දැඩි පෙළඹවීමක් ඇති කළා. මේ සිද්ධිය වෙද්දි මං හිටියේ පින්ලන්තයේ. ලේ පෙරාගෙන වැටී සිටි ලී වගේම ඔහුව මරා දැමූ මයිකල් අදේබොලාජෝගේ දර්ශනත් මං දුටුවා. නමුත්, මං දැඩි කම්පනයට පත්වුණේ මේ සිද්ධිය නිසා නොවෙයි, මං කතාකරන විදියටම ඔහුත් කතාකරන නිසයි, මගේ පාසලේ දරුවන් අඳින විදියටම ඔහුත් ඇඳගෙන හිටිය නිසයි. ඒ වගේම ඔහුගේ විලාසය, ඔහු දුටුවම දැනෙන මොකක්දෝ සමීප බවක් හිතේ තියෙනවා. තමන්ගේ නිවසට පෙනෙන මායිමේදී මේ විදියට ක්‍රියාත්මක වුණේ ත්‍රස්තවාදයයි. මට මේ සිද්ධිය ගැන කරන්න පුළුවන් වෙලා තිබුණු ඉතාම නරකම දෙය නැත්නම් නීරස දේ වුණේ ඒ සිද්ධිය පදනම් කරගෙන කතාවක් රචනා කිරීමයි. තරුණ කොල්ලෙක් රැඩිකල් වුණේ කොහොමද කියන එකයි. මොකද මට වදයක් වුණේ ඒ කාරණේ නෙමේ, වදයක් වුණේ ඔහුව හඳුනාගැනීමයි. අතිදුෂ්ටයෝ දැනහඳුනාගැනීම වෙනුවට එකිනෙකට වෙනස් හඬවල් පහකින් වර්තනය වන අන්දම හඳුනාගන්න මට වුවමනා වුණා. මේ නිසා කෘතියේ ඉන්න හැම චරිතයක්ම ඔවුන්ගේම වූ අන්තවාදයක් ඉදිරිපත් කරනවා. බුකර් සම්මානය වෙනුවෙන් දිගු ලැයිස්තුගත කෘතීන් අතර ඔබේ කෘතිය තිබෙන බව දැනගත්තම මොකක්ද දැනුණේ ? මේ ගැන නිළ වශයෙන් නිවේදනය කරන්න දින කීපයකට කලින් ඒ බව මට දැනගන්න ලැබුණා. මගේ කෘතිය ප්‍රකාශනය කළ කාර්යාලයෙන් මේ ගැන සඳහන් කරපු බොහොම සතුටු හිතෙන ඊමේල් පණිවිඩයක් එවා තිබුණා. කුස්සිහේ එහේ මෙහේ දුවමින් උඩ පැනපු මම ඒ ගැන මුලින්ම කිව්වේ බිරිඳටයි. එදා මම කොහෙවත් ගියේ නැහැ. ලේඛන ජීවිතේ සම්බන්ධයෙන් කිසිදිනක මං වෙන කිසිම ලේඛකයෙකු එක්ක කිසිම සංවාදයක් කරලා තිබුණෙත් නැහැ. නමුත්, මගේ ජීවිතයේදී මට කරන්න පුළුවන් වෙන කිසිම සුන්දර දෙයක් ගැන මට දැන් හිතාගන්න වත් බැහැ. බුකර් සම්මානයට නිර්දේශිත දිගු ලැයිස්තුවේ කෘති අතරට පැමිණීම පවා ලේඛනයේදී කළයුතු දේවල් අතරේදී අපිට කාලයක් හා අවකාශයක් ලබාදීමක් වගේ. මං කාලය හා අවකාශය පස්සේ යන කෙනෙකු නිසා මේ අවස්ථාව මට හරිම වැදගත්.
ඔබ දැන් ජීවත්වෙන්නේ මැල්මෝ වල. ඔබේ දෙවැනි නවකතාවට පදනම්වී තියෙන්නෙත් ලන්ඩනයමද ? මේ නවකතාව ආරම්භ වෙන්නේ ලන්ඩනයෙන් පිටතදීයි. නමුත්, ඇත්තටම මේක ස්ථානය පදනම් කරගත්තු නවකතාවක් නෙමෙයි. භාෂාව පදනම් කරගත්තු එකක්. අරාබි කාව්‍ය, සිරියාවේ ඉන්න පියෙකු හා පුතෙකු වටා ලියැවුණු කෘතියක්. මැල්මෝ නගරය බොහොම නිහඬ අවකාශයක් හා හිතට තැන්පත් බවක් ලබාදෙනවා. පළවෙනි කෘතිය හා දෙවැනි කෘතිය අතර තරමක භූගෝලීය වටිනාකමක් තිබීම විශිෂ්ටයි. ඔබේ පියා In our Mad and Furirous Cityකෘතිය මිලදීගත් අවස්ථාවේදී ඔබ ඒ ගැන පළකරපු ට්වීටර් පණිවිඩය රැල්ලක් වගේ පැතිරිලා ගියා. 40,000 රිට්වීට් වෙලා තිබුණා. ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද ? ලංකාවේ ඉඳන් මෙහේ ආව මුල් කාලයේදී තාත්තා කිසිම ඉංග්‍රීසි වචනයක් කතා නොකළ බව නිතරම ඔහු මට කියලා තියෙනවා. ඔහු රෑ කාලේ තියෙන පාසල් වලට ගියත් චාර්ජින් හරස් වීදියේ තියෙන Foyles කඩේට ගිහිං පොත් රාක්ක වල තියෙන පොත් කියවලා ස්වයං අධ්‍යයනක් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ඔහු එහෙම ගිහිං තියෙන්නේ දවල් කෑම වෙලාවේදීයි. පොත් කඩේ බිම ඉඳගෙන ඔහු පොත් කියවලා තියෙනවා. මං දැනුම් තේරුම් තියෙන වයසට එනතෙක්ම තාත්තා මේ කතාව ඉවරයක් නැතුව කියලා තියෙනවා. මගේ අම්මයි, තාත්තයි එක්ක ආයෙමත් පාරක් Foyles වලට ගිහිං, මගේ අතින් රචනා වුණු කෘතිය තෝරන්න මගේ තාත්තට පුළුවන් වුණා නම්, අනිවාර්යයෙන්ම, ඒක අපූරු අවස්ථාව මගේ ඇස් ඉදිරිපිටම දකිමින් ඒ ගැන ට්වීටර් එකේ ඡායාරූපයක් පළකරපු වෙලාවේ ඒ වටා මුළු ලෝකේම එකතු වුණා. මේ මොහොතේදී ඔබේ පොත් මේසේ තියෙන පොත් ගැන සිහිපත් කළොත් ? අරාබි කාව්‍ය හා ප්‍රබන්ධ කෘති ගොඩක් තියෙනවා. සිරියානු කවියෙකු වෙන අදොනිස්ගේ ඒවා විශේෂයි, ඔටේසා මොෂ්ෆෙග් අතින් නිර්මාණය වුණු My Year of Rest and Relaxation කෘතිය. හිතන්නවත් බැරි තරමට භ්‍රාන්තිය දනවන කෘතියක් වෙන අහමඩ් බොනානිගේ The Hospital කෘතිය තිබෙනවා. ඇත්තටම, මේ කෘතිය එඩිතර බව දනවන්නක්. ඔබේ හිත්ගත්තු ලේඛකයින් කවුද ? මං එඩිතර බව දැනෙන විදියේ ප්‍රබන්ධ රචනා කරන ලේඛකයින්ට කැමතියි. අලි ස්මිත්, ගුන්තර් ග්‍රාස්, සැමුවෙල් බෙකට් හා නිකොලා පාකර් වගේ අය ඔබේ කුඩා අවදියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලටද ? හැම දරුවෙක්ම සාමාන්‍යයෙන් තෝරගන්න කෘතීන්, රෝල්ඩ් ඩාර්ල්ගේ කතා වලට දැඩි ඇල්මක් දැක්වුවා. නිසි විදියට කියවන්න යොමුවුණේ ගැටවර අවදියේදීයි. සල්ලිකාර අය ගැවසෙන ප්‍රදේශ වල තියෙන පුණ්‍ය ආයතන මට්ටමින් පවත්වාගෙන යන පොත් කඩ වලට නිතරම ගියා. බ්ලූම්ස්බරි හෝ මියුස්වෙල් හිල් වල පිහිටි ඔක්ස්ෆර්ම් පොත් කඩේට ගියා, එහෙන් පොත් අරගෙන ආපහු නෙස්ඩන් වලට ආවා. මං වඩාත් ආදරය කරපු ලේඛකයින්ව මුණගැහුණේ එහෙමයි. සැමුවෙල් බෙකට් කියන්නේ මාර චරිතයක්. ඔහු බොහොම දැඩි තැනැත්තෙක්. ලේඛනය කියන්නේ සුවපහසු බව හෝ සැහැල්ලු බව දැනෙන්න අඳින ඇඳුමක් නොවෙයි. වර්ජිනියා වුල්ෆ් කියන්නේ වෙනමම චරිතයක්. යුදෙව් – ඇමරිකන් සම්භවයක් තියෙන ලේඛකයින් මාව උත්තේජනය කළා. චිකාගෝවේ වීදි අතරින් ඇවිද යමින් යුදෙව් උරුමය ගැන සිත් වසඟ කරවන කතා ලියූ ඉෂාක් බෂෙවිස් සිංගර්, සෝල් බෙලෝ වගේ අය අති සමීප බවක් දැනෙනවා. (2018.09.09 දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි – The Guardian ඇසුරිනි)

නන්දිතා දාස් – මන්තෝ ගැන කියයි

September 11, 2018 0 Comments
මන්තෝ කියන්නේ කවුද ? පංජාබයේ ඉපදුණු සාදත් හසන් මන්තෝ සුවිශේෂී ලේඛකයෙකු විය. සමාජය තුළ තැලී පොඩිවුණු මිනිසුන් විඳි ජීවිතය ගැන ඔහු ලියූ කම්පිත කෙටිකතා ඉන්දියාවේ සැබෑ චිත්‍රය ලෝකය හමුවට ගෙන ආවේය. මන්තෝගේ බොහෝ කෘතීන් වලට මුල්වූයේ 1936 සිට 1948 දක්වා කාලයේදී මුම්බායේ ගෙවූ ජීවිතයයි. සිය දිවියේ සතුටින් ගෙවූ කාලය ලෙස නම්කරන්නේ මේ සමයයි. ඉන්දියාවේ ගෙවුණු සමයේදී ඔහු අත්විඳි සුන්දර මෙන්ම අසුන්දර අත්දැකීම්ද ලේඛන ලෙස එළිදක්වා ඇත. හඬක් නැති මිනිසුන්ට හඬක් වූ මන්තෝට සිය කෙටිකතා අශෝභන බවට එල්ල වූ අසත්‍ය චෝදනා හයක් හමුවේ නීතියේ ඉදිරියේ පෙනී සිටින්නට සිදුවූවේය. නන්දිතා දාස් සිනමාව තුළ මැවූ මන්තෝ නන්දිතා දාස් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ මන්තෝ (Manto) සිනමාපටය තුළ දිගහැරෙන්නේ ඔහුගේ ජීවන කතාවයි. විශේෂයෙන්ම, මේ සිනමාපටයේ අවධානයට ලක්කර තිබෙන්නේ මන්තෝ පාකිස්ථානයට යාමට පෙර බොම්බේ හි ගතකළ අවසන් අවුරුදු කිහිපයයි. නන්දිතා දාස් අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන වෘත්තාන්ත සිනමාපටය මෙය වන අතර එය එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා ලන්ඩන් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය වීමට නියමිතය. පසුගිය මැයි 13 වැනිදා කෑන්ස් උළෙලේදී මේ සිනමාපටය මුල් වරට ප්‍රදර්ශනය විය. නව්සුදීන් සිද්ධික් මෙහි මන්තෝගේ චරිතයට පණදෙයි. තාහිර් රාජ් බාසින්, රසිකා දූගල් ද මෙහි රංගනයෙන් දායක වේ.
‘‘මන්තෝ තමන් වටා සිද්ධ වෙන දේවල් වලට අපූරු ප්‍රතිචාර ලබාදුන්නු කෙනෙක්. ඔහු කරපු කියපු දේවල් අදට පවා වලංගුයි. කාන්තාවන් හා ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් බොහොම සංවේදීව කටයුතු කරපු කෙනෙක්. ඉන්දියාවේ කිසිම ලේඛකයෙකු ඒ සමයේදී මෙවැනි තේමාවන් තෝරාගත්තේ නැහැ ‘‘ මන්තෝ ගැන පවසන නන්දිතා දාස් අදහස් දක්වන්නීය. සමස්ත සිනමාපටය පුරාවටම මන්තෝ විසින් රචිත කෘතීන් පහක් ගැන මතකය නන්දිතා දාස් විදහා දක්වන අතර මන්තෝගේ නිර්මාණ මෙන්ම ප්‍රබන්ධ හා කරුණු අතර ඇති රේඛාව මේ සිනමාපටය තුළ බොඳකර හරින බව විචාරක මතය වී ඇත. ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති මිත්‍රත්වය විදහා දැක්වූ “Toba Tek Singh” නමින් ඔහු ලියූ කෙටිකතා පෙළ අතිශයින් ජනප්‍රියත්වය පත්වුණි. පාකිස්ථානය ස්වාධීනත්වය ලැබූ සමයේදී ලාහෝරයේ දිවි ගෙවූ තැනැත්තෙකු පදනම් කරගෙන මේ කෘතිය ලියැවී ඇති අතර ඊට යටින් ලාහෝර් නගරයේ සිටි පිම්පියන්, මැරයින්, රූපලාවන්‍යගාර පවත්වාගෙන යන ස්ත්‍රීන් සහ මුඩුක්කු පෙදෙස් වල ජීවත් වූ ලිංගික ශ්‍රමිකයින් ගැන ද සදහන් කර ඇත. මන්තෝ (Manto) සිනමා නිර්මාණය හා නන්දිතා දාස් මන්තෝ ගැන අදහස් දක්වන සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි පවසන්නේ, ‘‘මන්තෝ ඔහුගේ යුගයේ දිවි ගෙවු අසමසම ලේඛකයා යි. ඉන්දියාව හා පාකිස්ථානය ගැන දෙගිඩියාවෙන් සිටි මෙන්ම දෙරට අතර පැවති දරුණුතම ගැටළු වලට මැදිහත් වුණු තැනැත්තා ඔහුයි. බොම්බේ නගරය මන්තෝගේ නිර්මාණයන් පුබුදුවා ලු තැනයි‘‘ යන්නයි. මේ සත්‍යය මන්තෝ ගැන නිර්මාණය වු සිනමාපටයෙන් ද දිගහැරේ. 1940 දශකයේදී මන්තෝ නගරය නියෝජනය කළ හඬ බවට පත්ව සිටියේය. සත දෙකකින් මෙන්ම රුපියල් 10,000 ක් අතේ තබාගෙන නගරයේ ජීවත් විය හැකි අන්දම ගැන සංචාරක මඟපෙන්වන්නෙකුගේ විලාසයෙන් මන්තෝ කියාදුන්නේය. 40 දශකයට පෙර හා පසු බොම්බාය තුළ පැවති සංකීර්ණත්වය සම්බන්ධයෙන් මන්තෝ මෙන්ම නන්දිතා දාස් ද බියට පත්නොවන බව සිනමා විචාරක අදහසයි. ‘‘බොම්බායේ සුවිශේෂී සංධිස්ථාන වන ඉන්දියාවේ පිවිසුම් දොරටුව, චිත්‍රාපති ශිවාජි දුම්රියපොළ වැනි ස්ථාන ගැන කියලා සුලභ කතා කියන්න මට වුවමනා වුණේ නැහැ. සාමාන්‍ය මිනිස්සු ඉන්දියාව දකින්නේ කොහොමද යන්න අවධානයට බඳුන් කරන්න මට වුවමනා වුණා.‘‘ මන්තෝ ඔහුගේ ජීවිත කාලය පුරාම සිය අනන්‍යතාවය සම්බන්ධයෙන් දැවැන්ත අරගලයක නිරත වූ බවත් මේ සිනමාපටය නිර්මාණය කිරීමට පෙළඹවු මූලික සංසිද්ධිය වුයේ එය බව ඇගේ අදහසයි. සික්, ක්‍රිස්තියානි හා යුදෙව් පිරිස් වෙසෙන ජනාකීර්ණ නගරයක ජීවත් වූ මන්තෝ මුස්ලිම් ජාතිකයෙකු වූවේය.
නව්සුදීන් – මන්තෝ ලෙස මන්තෝ දුටු ඉන්දියාව එක ගොඩේ ජීවත් වූ රෙදිපිළි කර්මාන්ත ශාලා වල රැකියාවේ නියැලුණු කම්කරුවෝ ද තවත් පසෙකින් සුඛෝපභෝගී ජීවිත ගෙවු සිනමා ශිල්පීන් ද මන්තෝගේ ඇසට හසුවූවේය. මේ ප්‍රතිවිරෝධතා හා අසමානතා මැද හුස්ම ගත් මන්තෝ තුළ බුම්බායි හි නුතන වෘත්තාන්තය පිළිබිඹු වේ. මේ පරිසරය මන්තෝගේ අනන්‍යතාව මූර්තිමත් කිරීමට හැකිවිය. නමුත්, සිය ආගමික අනන්‍යතාවය හමුවේ අභියෝග වලට ද මුහුණදෙන්නට සිදුවූවේය. ‘‘අනන්‍යතාව, ජාතිකවාදය හා ආගම ගැන වූ ගැටළුව සමග අදටත් අප පොරබදිනවා. මේ ප්‍රශ්න ඉන්දියාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විසිරී තිබෙනවා. අනන්‍යතා දේශපාලනයේදී එදා මෙන්ම අදත් මන්තෝගේ වචන රැව් පිළිරැව් දෙනවා‘‘ යැයි නන්දිතා දාස් පවසන්නීය. ‘‘මන්තෝගේ නිර්මාණ බිහිවූවේ ඔහුගේ අත්දැකීම් තුළිනුයි. තමන් දුටු සත්‍යය කොයිතරම් තිත්ත වුණත් ඒ ගැන ඇත්ත කියන්න මන්තෝ කිසිදාක බිය වුණේ නැහැ. සදාචාරය, මනුෂ්‍යත්වය හා සත්‍යය ගැන ඔහු තුළ තිබූ හැඟීම අද ලෝකයටත් වැදගත්. ‘පසු සත්‍යය හා අසත්‍ය පුවත්‘ වැනි සංකල්ප ගැන නූතන ලෝකය තුළත් කතාබහ සිද්ධවෙනවා. සත්‍යය පැවසීමේ අවකාශය හැකිලෙමින් තිබෙන බව අප පවසනවා‘ ඔහු එදා මේ ගැන කතා කළා සැබෑ මන්තෝ ‘‘මේ සිනමාපටයේදී සිද්ධවෙන්නේ හුදෙක් ඉන්දීය ලේඛකයෙකුගේ ජීවිත කතාව පැවසීම නොවේ. ඉන්දීය සමාජය මෙන්ම සමස්ත ලෝකය තුළම තිබෙන සීමා මායිම් ගැන කතාබහට ලක්කෙරෙනවා. අප හා ඔවුන්, එක් මනුෂ්‍ය කොට්ඨාසයක් හා තවත් මිනිස් කොට්ඨාසයක් අතර පවතින බෙදීම් ගැන මෙහිදී කතාබහට ලක්කරනවා. සත්‍යය ගැන වෙන වැදගත්කම අපෙන් ගිලිහෙමින් යනවා, අපි අවංක වීම නතරකර දමා තිබෙනවාද ?‘‘ නන්දිතා දාස් සිය නිර්මාණය හරහා ඉදිරිපත් කරන මන්තෝ නිදහස් සිතුවිලි වලින් පිරි තැනැත්තෙකුය. පාකිස්ථානය මෙන්ම ඉන්දියාව යන දෙරටටම මුහුණදෙන්නට සිදුවන අභියෝග ගැන දැන සිටි මන්තෝ අනාගත වක්තෘවරයෙකුද ? යන්න ඇය ප්‍රශ්න කරයි. ‘‘සිනමා නිර්මාණයක් හරහා මේ තමයි හැබෑ ඉන්දියාව යැයි කියන්න කිසිවෙකුට බැහැ. ජිග්සෝ ප්‍රහේලිකාවක් වගේ එකිනෙක කෑලි එකතු කරලා අවසානේදී සම්පූර්ණ රූපය එකතු වුණාම ඉන්දියාව මොනවගේද කියලා දැකගන්න හැකිවෙනවා. මොකද එකිනෙකා ඉන්දියාව ගැන තේරුම් ගන්නේ විවිධාකාරයටයි. ඔහු එදා සමාජයේ හෘද සාක්ෂිය බවට පත්වුණා. එකල ඔහු රචනා කළ දේවල් මේ සමයේදී ලිව්වා නම් බොහෝ දුරට ඔහුගේ නිර්මාණ තහනම් වෙන්න තිබුණා‘‘ මන්තෝ අද ජීවත් වුවහොත් ඔහුට අත්වන ඉරණම ගැන නන්දිතා පවසන්නේ එලෙසිනි. The Guardian ඇසුරිනි