Wednesday, June 29, 2016

June 29, 2016 0 Comments


 Han Kang - The Vegetarian  කෘතිය පිළිබද සම්මුඛ වෙමින් 


දකුණු කොරියානු ලේඛිකාවක වන Han Kang ගේ The Vegetarian කෘතියට මෙවර මෑන් බුකර් සම්මානය හිමිවිය. The Vegetarian කොරියන් බසින් රචිත කෘතියක් වන අතර Deborah Smith මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කළාය. Han Kang මෑතකදී මාධ්‍යය හා සංවාදයට එළඹියේ මෙලෙසිනි. 



ගාබ්‍රියෙල්  ගාර්ෂියා මාකේස් වරෙක පවසන්නේ ඔහුගේ  නිර්මාණයන්ට හැමවිටම අත්වැලක් වූයේ හුදකලාව
බවයි. ලේඛකයෙක් වගේම මනුස්සයෙක් විදියට විවිධාකාරයේ දේවල් වලින් අපි විපරීතයට ලක්වෙනවා.මේ විදියට ඔබව දිගින් දිගටම විපරීතයට පත්කරන දේවල් තියෙනවද ?

ඔව්, මේ කතාව ඇත්තක්. මගේ පළමු නවකතාව ලිව්වේ මම ලියන්නේ මොනවාදැයි කියාවත් හරිහැටි නොදැනයි.මගේ ඇතුළාන්තයේ පැවති හැගීම් වල බලපෑමත් සමග නොලියා ඉන්න නොහැකි නිසා මම ලිව්වා. හැබැයි. The Vegetarian කෘතිය තුළ නිරූපණය වන්නේ සර්වව්‍යාපී බව හා අස්ථිර හිංසනය ප්‍රතික්ෂේප කරන
ගැහැණියක් ගැන කතාවක්. මා රචනා කළ වෙනත් නවකතාවක ප්‍රධාන කතානායිකාවක්  භාෂාවේ තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන අවබෝධ කරගෙන භාෂාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මගේ තරුණ අවදියේදී මමත් ප්‍රචණ්ඩත්වයට දැඩිව ගොදුරු වෙලා තියෙනවා. .


මනුස්සයෙක් විදියට ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයේම කොටසක් බව මම පිළිගන්නේ කොහොමද?.


ඔබ මෙහිදී අදහස් කළේ 1980 දී Chun Doo Hwanගේ රෙජීමයට එරෙහිව මැයි 18 වැනිදා සිදුකෙරුණු
ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමේ (Gwangju Massacre)දී  Jeonnam සරසවියේ සිසුන් හා සාමාන්‍ය ජනතාව ඝාතනයට ලක්වීම පිළිබදවද ?

මමත් මනුස්සයෙක්. හැබැයි. මනුස්සයෙක් විදියට ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයේම කොටසක් බව මම පිළිගන්නේ කොහොමද?.

මේ විදියේ පීඩාවන් මාව නිරන්තරයෙන්ම තැතිගන්වනවා. එදිනෙදා ජීවිතයේදී මස් ආහාරයට ගැනීම හා  ඒවා පිළියෙල කිරීමට සිත යොමුකිරීම ආදියෙන් ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණයට ලක්වී තිබෙනවා.


කොහොම වුණත් අපි හැමෝටම නිකම්ම නිකං ගස්වැල් බවට පත්වෙන්න බැහැ.


අපි නවකතාවක් ලියන හැමවිටකදීම සුවිශේෂී ප්‍රශ්නයක් ගැන අවධානය යොමුකරන්න වුවමනා වෙනවද නැත්නම් එවැනි ගැටලුවක් ඉබේම
සිතට ගලාඑනවද ?

අවුරුද්දක් දෙකක් එකදිගට ලේඛනයේ යෙදෙන්න අමාරුයි. මම රචනා කළ Writing Your Cold Hand (2002)කෘතිය ලියන්න අවුරුද්දක් විතර ගතවුණා. මම ඉතාම කෙටි කාලයක් තුළදී රචනා කළ කෘතිය එයයි.  නවකතාවක් රචනා කරන්න මට ගතවුණු වැඩිම කාලය වුණේ වසර හතරක්. මේ අත්දැකීම හරිම වෙනස්.   දැවෙන ප්‍රශ්න ගණනාවක් මා තුළ තිබුණා.  නවකතාවක් රචනා කරන්න තරම් කරුණු මේ තුළ තිබුණා. මගේ පසුගිය නවකතාවට පදනම් වූ කරුණු ඔස්සේ අලුතෙන් නිර්මාණය වුණු නවකතාවට මග සැලසුණා. ප්‍රශ්න හා නවකතාවන් අඛණ්ඩව එකිනෙක හා බැදී  කටයුතු කරනවා. උදාහරණයක් විදියට ගත්තොත්  The Vegetarian කෘතියෙන් මම ප්‍රශ්න කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රචණ්ඩත්වය හා ඔවුන් පරිපූර්ණත්වයට පත්වීම ගැනයි. කොහොම වුණත් අපි හැමෝටම නිකම්ම නිකං ගස්වැල් බවට පත්වෙන්න බැහැ.අපිට නොමැරී ජීවත්වෙන්නට සිද්ධවෙනවා.ඉතිං මෙහෙම ප්‍රචණ්ඩකාරී ලෝකයක අපි ජීවත්වෙන්නේ කොහොමද?.


The Vegetarian කෘතිය රචනා කිරීමේදී මා අත්විදි  පුද්ගලික අත්දැකීම්  රැසක් ඉවහල් වුණා. 



ඔබ එක කාලයකදී  එළවළු පමණක් ආහාරයට ගන්නා කෙනෙක් වී සිටියා. මේ කාරණය The Vegetarian කෘතියට පදනම් වෙන්නේ කොහොමද ?

මගේ වයස අවුරුදු  20 දී එළවළු පමණක් ආහාරයට ගත්තා. මේ කාලේදී මගේ ළගින් හිටිය හැමදෙනාම මාව මස් කෑමට යොමුකරන්න ගත්තා. කොරියානු සමාජය සාමූහිකත්වය මත පදනම් වුණු සමාජයක් වූ නිසාම අනෙක් අයට වඩා වෙනස් විදියේ ආහාරගන්නා අමාරු වුණා. අවසානයේදී මගේ කෑමවේලට මස්, මාළු වගේ දේවල් එකතු කරගන්න කියලා වෛද්‍යවරයකු මට උපදෙස් දුන්නා.

ඇත්තටම, The Vegetarian කෘතිය රචනා කිරීමේදී මා අත්විදි  පුද්ගලික අත්දැකීම්  රැසක් ඉවහල් වුණා.
ඒ වගේම අවුරුදු 26 දී මා රචනා කළ Fruits of My Woman (2000) කෘතියේ පැවති මූලික ලක්ෂණ රැසකුත්
මේ කෘතියට පදනම් වුණා. මේ කෘතියේ ප්‍රධාන චරිත වී සිටියේ කාන්තාවක් හා පුරුෂයෙක්.එක දවසක් මේ පුරුෂයා සිය රැකියාව නිමාකරලා නිවසට පැමිණියාම ඔහුගේ බිරිද ගහක් බවට පත්වෙලා සිටියා. ඉතිං මේ මනුස්සයා මේ කාන්තාව මල් පෝච්චියක පැළ කරලා ඇයට සාත්තු සප්පායම් කරලා අවසන් බිජුව දක්වාම ඇයව රැකබලා ගත්තා. කාලෙන් කාලෙට සිදුවුණු දේශගුණ වෙනස් වීමත් සමගින් මේ කාන්තාව ඇගේ අවසන් බිජුවත් ලබාදුන්නා.  තමන්ගේ බිරිදට මීළග වසන්ත කාලයේදී ඵලදරන්න පුළුවන් වේවිද කියලා මේ සැමියා කල්පනා කරනවා.

ඇත්තටම, මේ කතාව හරිම අදුරු හා මැජික් බව මුසුවුණු නිර්මාණයක් බව හදුනාගන්නට හැකියි. මේ කෘතිය නිමාකිරීමෙන් පස්සේ මෙය නැවතත් වෙනස් දැක්මකින් රචනා කරන්න මට වුවමනා වුණා. මේ කෘතිය රචනා කරලා වසර ගණනාවකින් පස්සේ The Vegetarian හරිම අදුරු හා වෙනස් කෘතියක් විදියට නිර්මාණය වුණා.

කොරියානු ලේඛිකාවන්ට සිය ලිංගිකත්වය නිසාවෙන්ම අනෙක් රටවල දක්නට නොලැබෙන විදියේ විෂම වුණු සැලකිලි හිමිවන බව දැකගැනීමට හැකියි. ඔබ මේ ගැන දරන්නේ මොනවගේ අදහසක්ද ?

මෙය ඇත්තක් වගේම තරමක පුදුම සහගත කතාවක්. මම කාන්තාවක් වුණු පමණින් වෙනස් අන්දමේ සැලකිල්ලක් මට හිමිවෙලා නැහැ.දක්ෂතාවෙන් පිරිපුන් කොරියන් ලේඛිකාවන් රැසක් ඉන්නවා. මොවුන්ගෙන් තොරව කොරියන් සාහිත්‍යයට පදනමක් නැහැ. මේ කාරණය ගැන මීට පෙරත් මම අවධානය යොමුකරලා තිබෙනවා. කොරියන් සාහිත්‍යය තුළ සියලුදෙනාට සමාන අයිතීන් හිමිවිය යුතු බව මගේ අදහසයි.
















Friday, June 24, 2016

June 24, 2016 0 Comments



ඔහු  Khaled Hosseini 




ඇෆ්ගනිස්තානයේ ඉපදී අවුරුදු 11 දී ප්‍රංශයට ඇවිත් පසුකාලයකදී ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස රැකියාවේ නිරතවුණු තරුණයෙක් වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කියලා පූර්ණකාලීන ලේඛකයෙකු වෙන්න තීරණය කරනවා. 


ඔහු  Khaled Hosseini. 


Khaled මේ තීරණය ගන්නේ ඔහුගේ පළමු කෘතිය වුණු The Kite Runner 2003 වසරේදී ප්‍රකාශයට පත්වීමෙන් පසු ඊට හිමිවුණු අසීමිත පාඨක ප්‍රතිචාරයත් සමගිනුයි.The Kite Runner කෘතිය කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මේ  ඇසුරින් 2007 වසරේදී සිනමාපටයකුත් නිර්මාණය වනවා. 


‘මිනිස්සු කියන්නේ ජීවිතයට අරමුණක් හොයාගෙන ඒ වෙනුවෙන්ම ජීවත් වෙන්න කියලයි. නමුත්, ඔබේ හිතේ කවදාවත් රැදී නොතිබුණු  අරමුණක් ඔබේ ජීවිතයට තිබුණු වග දන්නේ දිගු කාලයක් ගතවී ගියාට පසුවයි.‘ 


The Kite Runner කෘතිය ගැන 


The Kite Runner කෘතියේ තේමාව වෙන්නේ මීට විසිහය වසරකට පෙර ඇෆ්ගනිස්තානයේ දී ඇතිවූ සිද්ධිදාමයක්. මේ තුළ පිය පුතු සම්බන්ධතාවය ද විවරණය කර තිබෙන බව විචාරකයින්ගේ අදහස වනවා.

මේ කෘතියේ කතානායකයා බවට පත්වෙන්නේ  අමීර්. ඔහුට සිය පියා සමග පවතින්නේ තරමක සංකීර්ණ 
සම්බන්ධතාවයක්. ඒ වගේම අමීර්ගේ සමීප මිතුරෙකු වුණු හසාන් අනෙක් මිතුරන්ගෙන් අතවරයට ලක්වීමත් මෙය වැළැක්වීමට අමීර් මැදිහත් නොවීමත්  පසුකාලීනව ඔහුගේ ජීවිතයට දැඩිව බලපාන සාධක වනවා. නැවතත් ඇෆ්ගනිස්තානයට පැමිණෙන අමීර් වෙනස් වුණු රටක් තුළ ඔහුගේ මිතුරාව සොයන්නට දරන වෑයමත් මෙහිදී දැකගන්නට හැකිවෙනවා. 


The Kite Runner හා  Khaled

මේ කෘතිය පිළිබද පසුකාලීනව අදහස් දක්වන Khaled පවසන්නේ ඇෆ්ගනිස්තානයට බලපෑ සෝවියට්
ආගමනයට පෙර කාලසීමාවේදී ඔවුන් ගතකළ සාමකාමී ජීවිතය වෙනස් වුණු ආකාරය මේ කෘතිය තුළදී විශේෂයෙන් අවධානයට ලක්කරන්නට උත්සහ කළ බවයි. 

The Kite Runner කෘතියෙන් පසුව 

The Kite Runner කෘතියෙන් අනතුරුව තවදුරටත් ලේඛනයේ නිරතවෙන Khaled, A Thousand Splendid Suns (2007)කෘතිය හා And the Mountains Echoed (2013) දී ප්‍රකාශයට පත්කරනවා. 


The Kite Runner හා  Khaled 


The Kite Runner කෘතියේ නිරූපණය වන අමීර් මෙන්ම Khaled ගේ ජීවිතය තුළදී ද එක හා සමාන අත්දැකීම් වලට මුහුණදීමට සිදුවනවා.මොකද අමීර් වගේම  Khaled ද ඇෆ්ගනිස්ථානයෙන් පිටවී ගොස් වෙනත් රටක ජීවත්වනවා. ඇෆ්ගනිස්ථානයට එල්ලවුණු සෝවියට් ආක්‍රමණ හමුවේ Khaled ට නැවත දිගුකාලයක් යතතෙක් සිය මව් රටට පැමිණීමට නොහැකිවනවා.

තමන්ට සුපුරුදු ඇෆ්ගනිස්තානයේ පරිසරයෙන් මිදෙන  Khaled ප්‍රංශයටත් ඉන් පසුව ඇමරිකාවටත්
පැමිණෙන විට ඔහුට නුපුරුදු සංස්කෘතියකට හුරුවීමට යාමේදී සංස්කෘතිකමය අභියෝගයන්ට පවා 
මුහුණදීමට සිදුවනවා.

සිය 11 හැවිරිදි වියේදී   ඇෆ්ගනිස්ථානයෙන් නික්මී යන   Khaled නැවතත් සිය 36 හැවිරිදි වියේදී සිය මව් රටට පැමිණ හාත්පස පැතිරී තිබෙන කාබුල් නගරය දකින විට ඔහුට ඔහුගේම ඇස් අදහාගන්නට නොහැකි වුණු බව බව පසුකලෙක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසනවා. 

‘මම ඉපදුණේ, ඇවිදින්න බහ තෝරන්න පටන්ගත්තේ මේ නගරයේදීයි.මෙහි ඉන්න මිනිසුන් සමග  ඔවුන්ගේ බසින් කතාබහ කරන්න මටත් පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මම තවමත් ඇෆ්ගනිස්තානෙට ආගන්තුකයෙක්.‘ 

Khaled ව ලේඛනයට උනන්දු කළ ලේඛකයින් 

ඒ කොහොම වුණත් වෛද්‍ය වෘත්තීය අත්හැරලා ලේඛකයකු වුණු Khaled පවසන ආකාරයට ඔහුගේ ජීවිතයට ආලෝකයක් වුණු පර්සියානු කවීන් රැසක් සිටිනවා.ඔවුන් අතරට රූමි, හෆීස්, ඕමාර් කයියාම්, අබ්දුල් කදීර් බෙදිල් වැන්නන් ඇතුළත් වනවා.

ඒ විතරක්ම නොවෙයි ජේ. එම්. කොඑට්සි, ජෙනිෆර් ඊගන්, හෙමිංවේ, එළිසබෙත් ස්ට්‍රවුට්, ජුම්පා ලහිරි, ඩේව් එගර්ස්, ඉයන් මැග්ඊවන් හා ඇලිස් මන්රෝ ආදීන්ද  සිටිනවා. ලේඛකයෙකු ලෙසින් මෙන්ම මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්වී සරණාගතයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහු කටයුතු කරනවා. එහිදී නැවත වතාවක් ඇෆ්ගනිස්තානයේ වෙසෙන සරණාගත පිරිස් හා එක්වී ඔවුන්හා  කතාබහ කිරීමට ද ඔහුට අවස්ථාව හිමිවී තිබෙනවා.


‘ඔබ අතින්  මිනිසෙකුව  ඝාතනය වනවිට ඒ සමගින් ජීවිතයක් ද සොරකම් කෙරෙනවා. ඔහුගේ බිරිදට සිය ස්වාමියාගේ අයිතිය, ඔහුගේ දරුවන්ට සිය පියා  ගැන තිබෙන අයිතිය ඔබ මංකොල්ල කනවා.  තවත් තැනැත්තෙක්ට සත්‍යය ප්‍රකාශ කිරීමට පවතින අයිතිය ඔබ බොරුවක් කියද්දි සොරකමට ලක්වෙනවා. ඒ වගේම ඔබ වංචාවක නියැලෙද්දි සාධාරණත්වයට පවතින අයිතිය ඔබේ අතින් සොරකමට ලක්වෙනවා‘ The Kite Runner කෘතියෙනි.


Wednesday, June 22, 2016

June 22, 2016 0 Comments

හෙන්රි මිලර් නම් ඔහු 



අප, නිවටයින් හෝ වීරයින් ලෙසින් කටයුතු කළත් නොකළත් අපේ  ජීවිත ඔහේ ගලායනු ඇත.‍ප්‍රශ්න නොකරම ජීවිතය පිළිගැනීමට වඩා, ජීවිතය රවටා ගැනීමේ කිසිදු හික්මීමක් නැත. 
අප ඇස්වලින් මැකී යන හැමදෙයක්ම, අප දිවියෙන් ගිලිහී යන සෑම දෙයක්මඅප ප්‍රතික්ෂේප කරන සෑම දෙයක්මඅවමන් ලබන මෙන්ම අවමානයට පත්වෙන සෑම දෙයක්ම අවසානයේදී අපව පරාජයට පත්කිරීමට හේතුවනු ඇත. මේ ජීවන ගමන්මග තුළ අති දුෂ්ට, වේදනා සහගත හා  නපුරු ලෙස පෙනෙන සෑමදෙයක් දෙසම විවෘත මනසකින් බැලූ කල ඒ සියල්ලක්ම 
සුන්දරත්වයෙන්, සතුටෙන් හා ශක්තියෙන් පිරිපුන් දෑ බවට  පත්විය හැකිය. යමෙකුට මේ සැබෑව අවබෝධ කරගත හැකිනම් ඒ  සෑම මොහොතක්ම සිය ජීවිතය තුළ හිමිකරගත් ස්වර්ණමය අවස්ථාවක් වනු ඇත.‘ හෙන්රි මිලර් 

හෙන්රි මිලර් කලෙකදී ඇමරිකාවේදී ගැරහුමට මෙන්ම සම්භාවනාවට පත්වුණු ලේඛකයෙකි.

මිලර්ගේ කෘතීන් රාශියකට ස්ත්‍රී-පුරුෂ ඇසුර, ලිංගිකත්වය පදනම් වූ නිසාම මුල්කාලයේදී ඔහු 
රචනා කළ කෘතීන් ගණනාවක් ඇමරිකාවේදී තහනමට ලක්වුණා. සමාජයේ දිවිගෙවන චරිත පිළිබද අධ්‍යයනය කර, සමාජය විචාරයේ යෙදෙමින් හා දාර්ශනික පිළිබිඹුවකින් යුතුව ඔහු සිය කෘතීන් රචනා කළා. 



මිලර් රචනා කළ කෘතීන් අතරින් The Tropic of Cancer, Black Spring, Tropic of 
Capricorn වැනි කෘතීන් ඒ අතරින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. 

ඔහුගේ ලේඛන ශෛලිය නූතන ලේඛක, ලේඛිකාවන්ට ද දැඩි බලපෑමක් කරන්නට සමත්වුණා. Zhou Wei Hui(Shanghai Baby,Marrying Buddha කෘතියේ රචිකාවිය) ඒ අතරින් අතිශයින් වැදගත් වන චරිතයක්.

නිව්යෝර්ක් හා පැරීසිය පදනම් කරගනිමින් රචනා කළ හෙන්රි මිලර්ගේ කෘතීන් බොහොමයක් 1961 වන තෙක් ඇමරිකාවේදී තහනමට ලක්වුණා. ඒ කෙසේවුවත්, 1934-80 අතර කාලයේදී මිලර් දැක්වූ සුවිශේෂී කලා කුසලතාවන් අතිශයින් කැපී පෙනුණා. 

1891 දෙසැම්බර් 26 වනදා ඉපදුණු හෙන්රි මිලර් 1980 ජූනි 7 වැනිදා මියගිය අතර අදටත් ඔහුගේ 
නිර්මාණ පිළිබද කතාබහ කෙරෙනවා. සිය වසර 88 ක සිය ජීවන කාලසීමාවේදී පස් වතාවක් විවාහ වුණු මිලර්ගේ විවාහ ජීවිතයන් ඔහුගේ නිර්මාණ වලට ද දැඩි පිටුබලයක් වුණා. 

මිලර්ගේ පළමු බිරිය වුණේ  Beatrice . 1917 හා 24 කාලයේදීයි. ඔහුගේ දෙවැනි බිරිද වුණේ June Miller (1924-34),Janina Martha Lepska (1944-52) , Eve McClure (1953-60)හා Hiroko Tokuda (1967-77)යි. 


එමෙන්ම,මිලර් සිය ජීවිතයේ අවසාන භාගයේදී සුරූපී රංගන ශිල්පිනයක වූ බ්‍රෙන්ඩා වීනස්ට පෙම් හසුන් 1500 කට අධික 
සංඛ්‍යාවක් ලියූ බව සදහන්ය. 


මිලර් Beatrice හා විවාහ වී සිටින කාලයේදීම june Edith නම් නර්තන ශිල්පිනිය සමග ඇසුරක් පැවැත්වූ බව සදහන්. ඔහුගේ නිර්මාණ ජීවිතයට ආලෝකයක් වුණේ ඔහුගේම ජීවිතයයි.  මේ කාලයේදී මිලර්ගේ ස්වයං චරිතාපදාන ත්‍රිත්වය වූ The Rosy Crucifixon ද ලියැවෙනවා. 


මීට වසර ගණනාවකට කලින් ජීවත් වුණු චරිතයක් වුණත් මිලර්ගේ නිර්මාණ  නූතන සමාජයටත් අදාළ බව නම් නොරහසක්.

මට සල්ලි නැහැ, කිසිම සම්පතක් නැහැ, කිසිම බලාපොරොත්තුවක් නැහැ ඒත් මේ ලෝකයේ ඉන්න තෘප්තිමත්ම මිනිහා මමයිහෙන්රි මිලර් 




















Thursday, June 16, 2016

June 16, 2016 0 Comments

මෙවර මෑන් බුකර් සම්මානය ගැහැණුන් දෙදෙනෙකුට 



The Vegetarian හා  Han Kang  

දකුණු කොරියානු ලේඛිකාවක වන Han Kang ගේ The Vegetarian කෘතියට මෙවර මෑන් බුකර් සම්මානය හිමිවිය.The Vegetarian කොරියන් බසින් රචිත කෘතියක් වන අතර Deborah Smith,The Vegetarian කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළ අතර ඇයට ද මෑන් බුකර් සම්මානයක් හිමිවිය. මෙවර මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද Han මේ වනවිට සියොල් විශ්වවිද්‍යාලයේ කථිකාර්යවරියක ලෙස සේවය කරන්නීය. Han රචනා කළ කෘතීන් අතරින් පළමුවරට ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ කෘතිය වන්නේ ද The Vegetarian ය.


The Vegetarian කෘතිය  පිළිබද  ..............

The Vegetarian කෘතියට පදනම් වන්නේ ගෙදරදොරේ සියලු වැඩකටයුතු සිදුකරමින් සිටි ගෘහණියකට එක් රැයක සිහිනයකින් ලැබෙන පණිවිඩයකින්  එළවළු පමණක් ආහාරයට ගැනීමට ගන්නා ලද  තීරණය හා නිවසේ වැඩකටයුතු වෙනුවෙන් ඔහේ සේදී යන ඇගේ ජීවිත කතාවය.



Deborah Smith  - Han Kang  මෑන් බුකර් වෙත ගෙන ආ බ්‍රිතාන්‍යය ගැහැණිය 

මෙහි පරිවර්තිකාව පිළිබද ද පැවසිය යුතුය.  Han කොරියන් බසින් රචනා කළ කෘතිය Smith විසින් පරිවර්තනය කරන විට ඇය 28 හැවිරිදි වියේ පසුවූවාය. මේ අවස්ථාව අතිශය සුවිශේෂී වන්නේ Smith සිය 21 හැවිරිදි වියේදී කොරියන් භාෂාව හැදෑරීමට ආරම්භ කිරීමත් ඒ වනතෙක් ඇය කිසිදු විදෙස් භාෂාවක් නොමැති වීමත් නිසාය.

ඇයට ඇයවම අහිමි වූ වග නම්  ? The Vegetarian 


The Vegetarian කෘතිය පිළිබද මෑන් බුකර් සම්මානය ලබාදීමට බලපෑ හේතුපාඨය ඉදිරිපත් කරමින් මෙහි විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වූ Boyd Tonkin මෙලෙස සදහනක් සිදුකරන්නේය.

‘The Vegetarian කෘතිය තුළින් සාමාන්‍ය ගැහැණියක් සිය පවුල, සාමාජය හා නිවසේ සෑමදෙනා වෙනුවෙන් වූ සියලුම ප්‍රතිඥාවන් හා කල්පිතයන් ප්‍රතික්ෂේප කිරීමට ගන්නා වෑයම හදුනාගත හැකි අතර එකිනෙකට වෙනස් හඩවල් තුනකින් හා වෙනස් පර්යාලෝක ත්‍රිත්වයකින් මනා කතා පෙළක් ඔස්සේ සංක්ෂිප්තව රචනා කර ඇත.මෙය කාව්‍යාත්මක හා විවරණාත්මක භාෂා ශෛලියක් අනුව ලියැවුණු කතාවක් වන අතර මෙම ගැහැණිය ඇය කෙරෙහිම දක්වන පවතින දැවැන්ත ප්‍රතික්ෂේප කිරීම හා ඉන් සමස්ත සමාජයටම බලපවත්නා බලපෑම මෙහි විවරණය කර ඇත.යන්නයි‘


ඇය සිය ජීවිතයේ පළමුවරට සිය සැමියා සමග ගතකළ කාලය පිළිබද සිහිපත් කරන්නට පටන්ගත්තාය. ඒ ජීවිතය  ඔහේ සතුටින්  ගතවී ගිය කාලයක් වූ අතර ඇය ඇයටම  දඩුවම් පමුණුවා ගත් කාලයක් විය.‘  

The Vegetarian හි සදහනක් 

Tuesday, May 3, 2016

May 03, 2016 0 Comments


ලේඛිකාවක වූ අභිසාරිකාව 



සමාජයේ ගැරහුමට ලක්වන වීදි සරන්නියක් පසුකලෙක ඒ සමාජයේම පැසසුමට ලක්වුණු ගැහැණියක් වූවානම් ඒ ඇයම වන්නට ඇත. මායා ඇන්ජිලෝ.

කැලිප්සෝ නර්තන ශිල්පිනියක ලෙස 50 දශකයේදී අතිශය ජනප‍්‍රියත්වයට පත්වන ඇය කලක් වෛශ්‍යාවක් ලෙස ද කටයුතු කරනවා. මාග‍්‍රට් ඇනී ජොන්සන් ලෙස ඉපදුණු ඇගේ නම, මායා ඇන්ජිලෝ බවට පත්වෙන්නේ ඇය වෘත්තීය කැලිප්සෝ නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන සමයේදී යි. මාර්ටින් ලූතර් කිං හා මැල්කම් එක්ස් සමග එක්වී කටයුතු කළ ඇය ඇමරිකාවේ ජීවත් වූ කළු ජාතික පිරිස් වල අයිතීන් වෙනුවෙන් නිරතුරු පෙනී සිටි සමාජ ක‍්‍රියාකාරිනියක් ලෙසින් ද නම්කළ හැකියි. ඒ සියල්ල ඉක්මවා ගිය කල ලේඛිකාවක, කිවිඳියක ලෙස මෙන්ම සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ද මායා ව හඳුන්වාදීමට හැකියි.



මායා ඇන්ජිලෝ ලේඛිකාවක ලෙස හඳුනාගැනීම විශේෂ වන්නේ ඇය විසින් රචිත ස්වයං චරිතාපදාන කෘති හත නිසාවෙනුයි. ඒ අතරින් පළමුවැන්න බවට පත්වෙන්නේ 1969 දී රචිත I Know Why the Caged Bird Sings කෘතියයි.

'නොපැවසූ කතාවක් සිත තුළ සිරකරගෙන හිඳීම තරම් කටුක දුකක් මෙළොව තවත් නැත''
මායා ඇන්ජිලෝ 


මායා සිය අට හැවිරිදි වියේදී මවගේ අනියම් සැමියා අතින් දූෂණයට ලක්වූ අයුරු හා ඇගේ දිවියේ 17 හැවිරිදි වියේදී ඇය මවක් බවට පත් වනතෙක් වූ ජීවන අත්දැකීම් මේ කෘතියේ සඳහන් වී තිබෙනවා. මායාගේ මාමා විසින් ඇයව දූෂණය කළ තැනැත්තා ඝාතනයට ලක්කෙරෙනවා. 

ඉන්පසු ඇය වසර පහක කාලයක තාවකාලික ගොළු බවට පත්වෙනවා.ඒ ගැන පසුකලෙක I Know Why the Caged Bird Sings කෘතියේදී ඇය සඳහන් කරන්නේ



‘‘මම හිතුවේ ඔහුව මැරුවේ මගේ කටහඬ කියලා. මම ඔහුගේ නම කීව නිසා ඔහු මැරුණා. මම කතාකළොත්  ඕනම කෙනෙක් මැරෙන්න පුළුවන් නිසා මම ආයේ කවදාවත් කතා නොකරාවි කියලා හිතුවා’’ යන්නයි.

1974 දී Gather Together in My Name,1976 දී රචිත Singin’ and Swingin’ and Getting’ Merry Like Christmas කෘතිය, 1981 දී The Heart of a Woman කෘතිය, 1986 දී රචිත All God’s Children Need Travelling Shoes, 2002 දී රචිත A Song Flung Up to Heaven හා 2013 දී රචිත Mom & Me & Mom කෘති පෙළ ස්වයං චරිතාපදාන අතරට අයත් අනෙකුත් කෘතීන්ය.

මෙම කෘති පෙළ විශේෂ වන්නේ හුදෙක් එක් තැනැත්තෙකුගේ ජීවිතය පදනම් කරගෙන රචනා වූ ස්වයං චරිතාපදාන වන නිසාවෙන් පමණක් නොව ස්වයං චරිතාපදානයක් ඉදිරිපත් කිරීමේදී නව අත්හදාබැලීම් සිදුකිරීමට උත්සහ කළ කෘති පෙළක් ද වන බැවිනි.

කිසිදු විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා උපාධියක් හිමිකරගැනීමට මායාට නොහැකි වුවද ලොව ප‍්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාල ගණනාවකින් ඇයට ගෞරව උපාධි 50 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදානය කර ඇත. එමෙන්ම, විශ්වවිද්‍යාල ගණනාවක ආරාධිත දේශකවරියක ලෙස මායා සිය දිවියේ අවසන්භාගය තෙක්ම කටයුතු කළ අතර ඇය රචනා කළ කවි හා කෘතීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යයනයට ලක්වෙයි.

වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගූ කළු ජාතික ලේඛිකාවක හා කිවිඳියක ලෙස ඇය ලැබූ ඉහළම ගෞරවය වන්නේ 1993 බිල් ක්ලින්ටන් ජනාධිපති ලෙස දිවුරුම්දුන් අවස්ථාවේදී ඇගේ On the Pulse of Morning කවිය ඉදිරිපත් කරන්නට ලැබුණු ආරාධනාව විය හැකියි. මේ භාග්‍යය නිසාවෙන්ම වර්ගවාදයේ නාමයෙන් පැවති අධ්‍යාපනික, ආර්ථික සීමා මායිම් සමාජයෙන් අතුගා දැමිය යුතුයි යන පණිවිඩය ලෝකයේ අවධානයට ලක්කිරීමට ද ඇයට හැකිවිය. මීටපෙර මෙවැනි ඇරයුමක් ලැබ තිබෙන එකම කවියා වන්නේ රොබර්ට් ෆ්රොස්ට් පමණි. ජෝන් එෆ් කෙනඩි දිවුරුම්දුන් අවස්ථාවේදී ඔහුට මේ ගෞරවය හිමිවිය.

ඇය සිය පළමු කෘතියේදී සිටම ලේඛනයට පිවිසීමේ දී සුවිශේෂී ක‍්‍රමවේදයක් අනුගමනය කළාය. 

උදෑසනම අවදි වන ඇය හෝටල් කාමරයක නවාතැන් ගන්නීය. ඒ වනවිටත් ඇය ඇගේ උපදෙස් පරිදි හෝටල් කාමරයේ බිත්තියේ එල්ලා තිබෙන සියළුම ඡායාරූප ඉවත්කර තිබෙනවා. ෂෙරි බෝතලයක් පමණක් සමීපයට ගෙන සයනයේ වැතිරෙන ඇය දවස පුරාවටම ලේඛනයේ යෙදෙනවා. ඇයට කම්මැලි වුණු විට කෙටි විවේකයක් ගන්නට කාඞ් කුට්ටමක් හා බයිබලය ද පසෙකින් තබාගන්නා බව පසුකලෙක ඇය සම්මුඛ සාකච්ඡාවකට අදහස් දක්වමින් පවසා තිබුණි.  


සිය ජීවන රඟමඬලේ විවිධ භූමිකාවන් නිරූපණය කළ ඇය මියගොස් එළඹෙන මැයි 28 වන දිනට වසර දෙකක් සපිරෙයි.


‘‘නුඹලාගේ කටුක වදන් වලින් මට වෙඩි තබනු ඇත, නුඹලාගේ දෑස් වලින් මා කෑලි කෑලි වලට කපා දමනු ඇත, නුඹලාගේ ද්වේශයෙන් මා මරා දමනු ඇත, නමුත් සුළං පොදක් සේ මා නැවතත් නැගී සිටීවි’’ මායා ඇන්ජිලෝ 


Friday, April 1, 2016

April 01, 2016 0 Comments

කාන්තා නිරුවත කලාවක් වූ කල




කාන්තා නිරුවත දකින්නට වගේම ඒ ගැන කතාබහ කරන්නත් බොහෝ දෙනෙක් කැමතියි. හැබැයි මේ නිරුවත කලාවක් බවට පත්වුණොත් ? 

Anita Slavin Arkin Steckel නැත්නම් Anita Steckel කාන්තාවන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි තැනැත්තියකි. කෙටියෙන්ම කිවහොත් ස්ත‍්‍රීවාදිනියකි. රුසියානු යුදෙව් පවුලක ඉපදුණු ඇය සිය කලා කුසලතාවන් පෙන්නුම් කරන්නට පටන්ගත්තේ 60 දශකයේ අගභාගයේ පමණදීය.



"Giant Woman" 


කලාකාරිනියක ලෙසින් Anita Steckel සුවිශේෂී චරිතයක් බවට පත්වෙන්නේ "Giant Woman"යන සංකල්පය තේමාකරගත් ඇගේ නිර්මාණ ආකෘතිය තුළිනුයි.

Anita ගේ "Giant Woman" සංකල්පයට අනුව දැවැන්ත නගර වල විවිධ ස්ථාන වලදී ගත් ඡුායාරූප මත සිටින නිරුවත් දැවැන්ත කාන්තා රූප නිර්මාණය වුණා. කාන්තා විමුක්ති ව්‍යාපාර තේමාව මූලික කොටගත් මෙම රූප මගින් ‘‘ප‍්‍රමාණය ඉක්මවා ඇතිදැඩි වුණු කාන්තා චරිත’’ ආදිය නිරූපණය කෙරුණා. 


Anita ගේ නිර්මාණ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන කාන්තා මධ්‍යස්ථානයේදී ඉදිරිපත් වූ අතර ස්ත‍්‍රීවාදී කලා නිර්මාණ ඉදිරිපත් කළ කලාකරුවන් වුණු ජූඩි චිකාගෝ, මාරියම් ෂපිරෝ හා ෆේත් රින්ගෝල්ඞ් ආදීන්ගේ ආභාසය නිරන්තරයෙන්ම ඇය හට හිමිවුණා.

ඇගේ නිර්මාණ ප‍්‍රදර්ශනයන් වලදී වඩාත් ආන්දෝලනයට තුඩුදුන් අවස්ථාවක් වූයේ 1973 දී රොක්ලන්ඞ් ප‍්‍රජා පාසලේදී පැවැති  The Sexual Politics of Feminist Art ප‍්‍රදර්ශනයයි. මේ අවස්ථාවේදී එහි නිරූපණය කර තිබුණු කලාකෘති සියල්ලම පාහේ නිරුවත් සේයා රූ වූ නිසාවෙන්ම මෙම ප‍්‍රදර්ශනය නවතා දැමීමට පවා බලධාරීන්ගෙන් නියෝග ලැබුණා.



හැනා විල්කි, ලූවී බෝර්ජියස්, ජුඩිත් බර්න්ස්ටයින්, මාර්තා ඊඞ්ල්හෙයිට්, ඉයුන්සි ගෝල්ඩන්, ජොනිටා මැක්නීලි, බාබරා නෙසීම් හා ජෝන් සෙමෙල් ඇතුළු පිරිස වාරණයට එරෙහිව ගොඩනගාගත් සංවිධානයක් වූ  "The Fight Censorship Group" සමූහයේ ද ඇය සාමාජිකත්වය දැරුවා. 

1930 දී ඉපදුණු Anita සිය 80 වන වියද පසුකර 2012 වසරේදී මියගියේ නිරුවත් කලා භාවිතාවක් තුළින් කාන්තාවන් පිළිබඳ කතාබහ කිරීමට දැරූ තැනැත්තියකි ලෙසිනුයි. 
ජනප‍්‍රිය සංස්කෘතිය ඇසුරින් නිර්මාණය වුණු Pop කලාංගයන්ට අභියෝගයක් වෙමින්   "mom art" නමින් නවතම කලාංගයක් ඉදිරිපත් කිරීමට ද ඇයට හැකියාව ලැබුණා.



හොඳ නරක ?

‘‘සෘජු වුණු පුරුෂ ලිංගයේ, කෞතුකාගාරයේ තබන්නට තරම් වැදගත්කමක් නැතිනම්, එය කාන්තා සිරුරට ඇතුල් කරන්නට තරම් වූ වැදගත්කමක් නැත යන්න ද සැලකිය යුතු නැත.'' Anita Steckel






Friday, March 25, 2016

March 25, 2016 0 Comments


ජීවිත සටන ගීතයක් වූ කල 

සිය දියණියගේ කුළුඳුල් කුසලතා එළිදකින හැටි දැකගැනීමේ දැඩි වුවමනාවෙන් ඇගේ මාපියන් පල්ලියේ මුල් අසුන් පෙළේ වාඩිගෙන සිටියා. ඒත් හිටිහැටියේ මෙතැනට කඩා වැදුණු සුදු හම ඇති මිනිසුන් පිරිසක් මේ යුවළ මුල් අසුන් පෙළින් ඉවතට ඇද දමා ඔවුන්ට පසුපෙළ අසුන් වල හිඳගැනීමට සැලැස්වුවා. ඒ ඔවුන් කළු සමක් ඇතිව ඉපදුණු නිසාවෙනුයි.

සිය පළමු ගායනය වූ "God Be With You, Till We Meet Again"  ගයන්නට සූදානමින් සිටි දැරිය ඇගේ මාපියන්ට නැවතත් ඉදිරිපෙළ අසුන් වල හිඳගැනීමට දෙන තෙක් ඇගේ ගීය නොගයන බව පවසා සිටියා. Eunice Kathleen Waymon නමින් උපන් මේ දැරිය පසුකලෙක Nina Simone නමින් සිය නම වෙනස් කළා. 

‘‘ආදරය තවදුරටත් මේසය වෙත පැමිණ පිළිගැන්වීම් නොකරන කල මේසයෙන් ඉවත් වී යෑමට ඔබ ඉගෙනගෙන සිටිය යුතුය.’’



ඇය තැලී පෙලෙන මිනිසුන්ට හඬක් අවැසි වූ විට ඔවුන්ගේ හඬ වූවාය. වේදිකාව මතදී ඇය පළකල නිහඬ බව ද ඇය සිය අදහස් ප‍්‍රකාශ කළ අවියක්ම විය.

Nina පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙකු කතාබහ කරන්නේ ඇගේ ජීවිතය අළලා නිර්මාණය කළ What Happened, Miss Simone වාර්තා චිත‍්‍රපටයට හිමිවන කීර්තියත් සමගිනි.

Nina Simone ඇමරිකන් ගායිකාවක, ගීත රචිකාවියක, පියානෝ වාදන ශිල්පිනියක හා සමාජ පිරිස් වල අයිතීන් වෙනුවෙන් 1954-2003 කාලසීමාවේදී හඬ නැගූ ශිල්පිනියකි. ජෑස්, බ්ලූස්, ජන සංගීතය, ගොස්පෙල් හා පොප් ආදී සංගීත ශෛලීන් ගණනාවක සිය දක්ෂතා පෙන්නුම් කිරීමට ඇය සමත්වූවාය.

සිය නිර්මාණ තුළින් Nina ට කළු ජාතික කාන්තාවක ලෙස විඳින්නට සිදුවු දුක් ගැහැට පිළිබඳ පවසන්නට ඇය නිරන්තරයෙන් උත්සහ දැරුවාය.


ජීවිතය අරුමයක් වූ කල

පිලඩෙල්පියා වල පිහිටි Curtis Institute of Music ඇකඩමියේ අධ්‍යාපනය හැදෑරීමට භසබ් සිය තරුණ වියේදී අයදුම් කළ අතර එම තෝරාගැනීමේ පරීක්ෂණයේදී ඇය ප‍්‍රතික්ෂේප වන්නේ ඇය කළු ජාතික කාන්තාවක වූ බැවිනි. කෙසේහෝ මේ සිදුවීමෙන් වසර ගණනාවක් ගතව ගිය තැන 2003 වසරේදී ඇගේ මරණයට දින දෙකකට පෙරාතුව ඇයට මෙම සංගීත ඇකඩමියෙන්ම ගෞරව උපාධියක් පිරිනැමුණි.

Nina Simone 1958 වසරේදී පමණ සිට ගීත ඇල්බම් 40 කට ගණනාවකට ඇය සිය හඬ දායකත්වය ලබාදුන්නාය.

I Loves You, Porgy, My Baby Just Cares for me, I put a Spell on You, Wild is the Wind  වැනි ගීත ඇය ගැයූ ගී අතරින් අතිශය ජනප‍්‍රියත්වයට පත්වු ඒවාය.

Nina Simone ජීවන චාරිකාව ඇසුරින් නිර්මාණය වූ වාර්තා සිනමාපටය

Ninaගේ ජීවිත කතාව හා ඇගේ දිවියේ සුවිශේෂී සංධිස්ථාන පදනම් කරගෙන නිර්මාණය වූ What Happened, Miss Simone,  Liz Garbus ගේ වාර්තා සිනමාපටයකි 

2015 Sundance උළෙලේදී මේ සිනමාපටය ප‍්‍රදර්ශනය වු අතර 2016 ඇකඩමි උළෙලේදී හොඳම වාර්තා සිනමාපටයට හිමි සම්මානය උදෙසා ද නිර්දේශ විය. මේ සිනමාපටයේ නම යොදාගෙන තිබෙන්නේ මායා ඇන්ජිලෝ ගේ පාඨයකිනි.

‘‘මට නිදහස කියලා කියන්නේ බිය නැතිකමයි.’’

Nina Simone