Wednesday, August 1, 2018

හරුකි මුරකාමි මරණ දඬුවම ගැන කතා කරයි

August 01, 2018 0 Comments
1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin) මුදාහැරීමෙන් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ නම් ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු පසුගියදා එල්ලා මරා දැමුණි. කල්ලියේ නායකයා වී සිටි ෂොකෝ හට පසුගිය ජුලි 6 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර සෙසු සාමාජිකයින් 6 දෙනා එල්ලා මරාදමා ඇත්තේ පසුගිය සතියේදී ය. ජපානයෙන් බිහිවූ සුප්‍රකට ලේඛකයෙකු වන හරුකි මුරකාමි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ජපන් පුවත්පතක් වන The Mainichi වෙත පසුගිය ඉරිදා (29) දින ලිපියක් යොමුකරමින් පවසන්නේ, ‘මා මරණ දඬුවමට විරුද්ධ මතයක ඉන්න කෙනෙක්. වචනානුසාරයෙන් ගත්ත ද මරණ දඬුවම අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ඉරණම තීරණය කරන දඬුවමක් වී තිබෙනවා‘ යන්නයි. ‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මෙවැනි අපරාධ නැවත ඇතිනොවෙන බව විශ්වාස කරනවා නම් එය අතිශයින්ම වැරදි තීරණයක්. වැරදි යළි ඇතිනොවෙන වග සහතික කිරීමට තිබෙන එකම ක්‍රමවේදය මරණ දඬුවම නොවේ‘ යනුවෙන් මෙම ලිපිය තුළ ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත. හරුකි සිය Underground – The Tokyo Gas Attack and the Japanese Psyche කෘතිය වෙනුවෙන් 1997 වසරේදී මෙම අනතුරින් ජීවිත අහිමි වුණු පිරිසගේ ඥාතීන් මෙන්ම සිද්ධියට සම්බන්ධ කල්ලියේ පිරිස ද සම්මුඛ සාකච්ඡාවට ලක්කළේය. ‘මේ සිද්ධිය සමබන්ධ නඩුව තවමත් අධිකරණයේ විභාග කරන නිසා ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කරන්නට බැහැ. නමුත්, මම මරණ දඬුවමට එරෙහියි.‘‘ යනුවෙන් එකල මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පවසා තිබුණි.
කෙසේවුවත්, හරුකිගේ විශ්වාසය වී තිබෙන්නේ මෙම සිදුවීමෙන් වූ ජීවිත හානිය කිසිලෙසකින්වත් සාධාරණිකරණය කළ නොහැකි වුවද සිද්ධියේ වැරදිකරුවන් වු පිරිසට මරණ දඬුවම නියම කිරීමෙන් මියගිය හා තුවාල වු පිරිසට සාධාරණයක් ඉටුනොවන බවයි. Underground කෘතිය රචනා කළ සමයේදී ‘තමන් ඇතුළතින් වෙනස් වූ බව දැනුණු බවත්‘ කල්ලියේ සාමාජිකයින්ට මරණ දඬුවම නියම කෙරුණු බව දැනගත් විට ඔහුගේ ‘පපුව ඇතුළින් දැඩි වේදනාවක් නැගුණු බව‘ ද පවසා තිබුණි. එපමණක්ම නොව මේ සිද්ධියේ වැරදිකරුවන් එල්ලා මරාදැමූ පුවත මෑතකදී දැනගත් විට ‘සිය පපුවට නැගුණු වේදනාව තවමත් එලෙසින්ම පවතින බව හැඟුණු බව‘ ද හරුකි පවසයි. ‘වචන වලට පෙරලන්නට නොහැකි දැඩි නිහඬතාවක් මට දැනෙනවා. උසාවියේදී පෙනී හිටි ‘මරණය‘ ඊට අයිති කොටස ඉක්මනින්ම අරගෙන ගියා‘ යැයි අවුම් ෂින්රික්යෝ අනුගාමිකයින් එල්ලා මරාදැමීම ගැන හරුකි සනිටුහන් කරයි.
The Guardian හා The Mainichi ඇසුරිනි

Hippie මගේ ජීවිතයයි – පාවුලෝ කොයියෝ

August 01, 2018 0 Comments
‘මම, මගේ හීනයන් සැබෑ කරගන්න සටන් වදින මිනිහෙක්. ලේඛකයකු වීම මගේ පළමු හීනය වී තිබුණා. මේ හීනය හැබෑ බවට පත්කරගැනීමේ කාර්යය තුළ බොහෝ පීඩාවන් අත්විඳින්නට සිදුවුණා. සමහර අවස්ථා වලදී දුක, වේදනාව මෙන්ම පරාජය ද විඳදරා ගන්නට සිද්ධ වුණා ඒ වගේම සමහර අවස්ථාවන් ගැන හරිහැටි අවබෝධ කරගන්නට පවා නොහැකි වුණා.‘‘ – පාවුලෝ කොයියෝ
පාවුලෝ කොයියෝ රචනා කළ නවතම කෘතිය වන Hippie පසුගිය අප්‍රේල් 18 වැනිදා එළිදුටුවා. පාවුලෝ කොයියෝ විසින් රචිත මේ කෘතියට ඔහු සිය ජීවිතයේ දී විඳි සැබෑ අත්දැකීම් ද පදනම් වී තිබෙනවා. සමාජ සම්මතයට අනුව ගෙවීයන දිවිය අභියෝගයට ලක්කරන හා සාමය වෙනුවෙන් සිහින මවන පරපුරක් ගැන මෙන්ම පුද්ගල හැසිරීම් වල මධ්‍යස්ථ ස්වභාවය, අධි පාරිභෝගිකවාදය, බලය හා ධනය අතර තිබෙන අසමබර බව ගැන ද කොයියෝ මේ කෘතියේදී සටහන් තබනවා. ‘‘මා රචනා හැම කෘතියකම මොනා සටහන් වී තිබුණත් ඒ හැමදේම මගේ හදවතේ ගැඹුරුම තැනින් ඉපදුණු අදහස් බව අනිවාර්යයෙන්ම පවසන්නට හැකියි. ඒ හැඟීම් ගලා යන්නේ කොතැනකින්දැයි යන්න මට හරිහැටි හිතාගන්නට බැහැ. නමුත්, මා ලේඛනයේ යෙදෙද්දී අදහස් ගලා එන්නේ කොතැනින්ද යන්න දැනෙන්න ගන්නවා. මං ලියන දේවල් වල සත්‍යය වී තිබෙන්නේ එයයි. මා රචනා කළ කෘති ගත්තොත් The Pilgrimage කෘතියේදී මෙන් මගේ පුද්ගලික අත්දැකීම් පදනම් කරගනිමින් නිර්මාණය වුණු දෑ වුවත්, නැතිනම් The Alchemist කෘතියේදී වැනි උපමා රූපක පදනම් කරගනිමින් නිර්මාණය වූ කෘතියකදි වුවත්, නැතිනම් Brida කෘතියේදී මෙන් Brida විසින්ම ඉදිරිපත් කළ කතාවක් ලෙසින් අහන්නට ලැබුණු කතා පුවතක් වුවත්, මගේ හොඳ වගේම නරකත් පිළිඹිඹු වු The Devil and Miss Prym කෘතියකදී පවා මේ නොනවතින අරගලය තුළදී හැම නිර්මාණයක් තුළින්ම පිළිඹිඹු කෙරුණේ මගේම ආත්මයයි.‘‘ Hippie කෘතිය ගැන කොයියෝ අදහස් පළකරන්නේ මෙලෙසිනුයි.
කොයියෝ සිය Hippie කෘතියේදී දිගහරින්නේ පාවුලෝ නම් බ්‍රසීල ජාතික තරුණයෙකු හා විසි හැවිරිදි වියේ පසුවන ලන්දේසි ජාතික තරුණියක වන කාර්ලාගේ කතාවයි. 1970 වසරේදී මැජික් බස් නමින් හඳුන්වන රථයක නැගී ඇම්ස්ටර්ඩෑම් සිට කත්මණ්ඩු වෙත යන මේ දෙපළ සොයායන්නේ තමන්ගේම ජීවිතයයි. මේ සමයේදී පාවුලෝ බෙහෙවින් සිහින් සිරුරකින් හෙබි අයෙකු වූ අතර එළුවෙකුගේ මෙන් වූ යටි රැවුලක් හා දිගු කොණ්ඩයකින් යුතු විය. තරුණ පාවුලෝගේ එකම අභිලාෂය වූයේ ලේඛකයෙකු වීමයි. නිදහස හා ජීවිතයේ ගැඹුරු අරුත් සොයමින් කාර්ලා සමග සංචාරය කරන පාවුලෝ මුලින්ම බොලීවියාව දක්වා දුම්රියෙන් ගමන් කළ අතර අනතුරුව පීරු හා චිලී හා ආර්ජන්ටිනාව වෙත ගමන් කළේය. ලොව නන්දෙසින් පැමිණි හිපි කොටස් ඒකරාශී වී සිටි 1969 දී ‘සංගීතය හා සාමය‘ නමින් දින තුනක් පුරා පැවති වුඩ්ස්ටොක් ප්‍රසංගය ගැන ද මෙහි සඳහන්වී ඇත. මේ හා සමාන ප්‍රසංගයක් වුණු ඇම්ස්ටර්ඩෑම් හි පැවති හිපි ප්‍රසංගය ගැන ද Hippie කෘතියේ සඳහන් වී ඇත.
විවිධ වර්ණයන්ගෙන් යුතු ඇඳුම්, පැළඳුම් වලින් සැරසීගෙන එහෙන් මෙහෙන් එල්ලෙන දිගු කොණ්ඩ එල්ලාගත් තරුණ පිරිස් ඇම්ස්ටර්ඩෑම් හි ඩෑම් චතුරස්‍රයට පැමිණි සිටි අතර ඇවිස්සී සිටි මේ පිරිස අතර සමහර දෙනෙක් භාවනා කරමින්, සංගීතය වාදනය කරමින් මෙන්ම ලිංගික නිදහස ගැන සංවාද පවත්වමින් සිටිනු දැකගත හැකිවිය. මේ අතර තවත් පිරිසක් විඥානයේ පුළුල් වීම මෙන්ම ආධ්‍යාත්මික සත්‍යය සොයායන්නේ කෙසේද යන්න ගැන ද කතාබහ කරන්නට විය. මේ තරුණ, තරුණයින් කිසිසේත්ම රොබෝවන් ලෙස දිවිගෙවමින් ජීවිතය ගැන ප්‍රශ්න නොකර සිටීම අනුගමනය කළ සිය මාපියන් මෙන් නොවීය.
Hippie කොයියෝගේ සැබෑ ජීවන අත්දැකීම් ආශ්‍රයෙන් ලියැවුණු නවකතාව ලෙස ද නම් කළහැකිය. භීතිය හා ත්‍රාසය ගැබ්වුණු අත්දැකීම් මෙන්ම දර්ශනය මෙන්ම ආධ්‍යාත්මික අත්දැකීම් ගැන ද කොයියෝ මෙහි විදහා දක්වයි

Lucy සිනමාපටයේ අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා

August 01, 2018 0 Comments
ප්‍රංශ ජාතික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලුක් බෙසන්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇත. නිරූපණ මෙන්ම රංගන ශිල්පිනියක ද වන සෑන්ඩ් වැන් රෝයි පැරිස් පොලීසියට පවසා ඇත්තේ, ලූක් විසින් ඇය කිහිපවරක්ම දූෂණයට ලක්කළ බව හා ඒ නිසාම තුවාල ලැබූ ඇගේ සිරුරින් රුධිරය ද ගලාගිය බවයි. පසුගිය අප්‍රේල් මසදී ඇය පදිංචි වී සිටි නිවසට අනවසරයෙන් ඇතුළු වුණු ලුක් විසින් ඇයව අතවරයට ලක්කර ඇත. තමන්ට ලිංගිකව එක්වීමට කිසිදු අවශ්‍යතාවක් නොපැවති අවස්ථාවකදී තමා යටට ඇඳ සිටි සාය ඉවත් කළ ලූක් බලහත්කාරයෙන් තමා සමග ලිංගිකව හැසිරුණු බවත්ය. ‘ලූක් කිසිලෙසකින්වත් නැවතුණේ නැහැ‘ යන්න ඇය පැරිස් පොලීසියට පවසා ඇත. මැයි මාසයේදී සිට කතාබහට ලක්වන මෙම සියලු චෝදනා ලූක්ගේ නීතිඥවරයා වන තෙරේ මැරම්බර්ට් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. වැඩිදුරටත් අදහස් දක්වන නීතිඥවරයා පවසන්නේ, තමා නිර්දෝශී බව ඔප්පු කිරීමට ලූක්ට හැකිවනු ඇති බවත් මෙම පුවත ඇසූ ඔහු පුදුමයට පත්වු බවත්ය. බෙසන්, #MeToo යුගයේදී පළමු වරට දූෂණ චෝදනා වලට බඳුන් වු පළමු සිනමා ශිල්පියා වේ. ලූක් විසින් 2017 වසරේදී අධ්‍යක්ෂණය කළ Valerian and the City of a Thousand Planets සිනමාපටයට ද සෑන්ඩ් රංගනයෙන් දායක වී ඇත. Lucy, 3 Days to Kill, Valerian and the City of a Thousand Planets, The Big Blue, The Transporter, Taken, Kiss of the Dragon හා La Femme Nikita යන සිනමාපට ලුක් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපටයන්ය. රටේ අනන්‍යතාව සිනමා කර්මාන්තය වි තිබෙන තත්ත්වයක ඇමරිකානු සිනමාව තුළ හාවේ වින්ස්ටන්ට හිමිවී ඇති තැන ප්‍රංශයේ වෙසෙන බෙසන්ට හිමිවී ඇති අතර ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ල වීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහට ලක්වේ. The New York Times ඇසුරිනි

Monday, July 23, 2018

‘ලේඛනය මගේ දින චර්යාවේම කොටසක්‘ – අලි ස්මිත්

July 23, 2018 0 Comments
‘ආදරය හා පරිකල්පනය එකිනෙකින් නොබිඳිය හැකි ලෙස බැඳී පවතිනවා‘ – අලි ස්මිත් අලි ස්මිත් ස්කොට්ලන්ත ලේඛිකාවක, නාට්‍ය රචිකාවියක මෙන්ම මාධ්‍යවේදිනියක ද වෙයි. සිය පළමු කෙටි කතා එකතුව වූ Free Love වෙනුවෙන් 1995 දී Saltire First Book සම්මානයෙන් පිදුම් ලැබු ඇය 2014 වසරේදී රචනා කළ How to be Both නවකතාව වෙනුවෙන් මෑන් බුකර් සම්මානය උදෙසා ද නිර්දේශ වුවාය. How to be Both නවකතාව තුළ එකම කතාව පර්යාවලෝක දෙකකින් අවධානයට ලක්කරන්නට අලි ස්මිත් උත්සහ දරා ඇත. සිය මවගේ වියෝවත් සමග කේම්බ්‍රිජ් හි දිවිගෙවන 16 හැවිරිදි ජෝර්ජි නම් දැරියක හා පුනරුද යුගයේ ජීවත් වූ ඉතාලි ජාතික කලා ශිල්පියෙකු වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් කොසාගේ ආත්මය නැවත මිහිතලයට පැමිණීමත් සමග ඇතිවන තත්ත්වය How to be Both නවකතාවෙන් නිරූපිතය. ජෝර්ජිගේ ජීවිතය හා ෆ්‍රැන්සිස්කෝ සිය දිවිය නැවත සිහිගැන්වීමට කරන උත්සහයක් ලෙස මේ නවකතාව ලියැවී ඇත. මෙය අලි ස්මිත් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි. How to be Both කෘතිය රචනා කරන්න ඔබට බලපෑවේ මොනවද ? මූලිකව හේතුවුණේ ද්‍රෘෂ්‍ය කලාවක් ආඛ්‍යානයකට නැගිය යුතුයි කියන අදහසයි. අනෙක් කාරණේ කලා සඟරාවක තිබුණු එක පිංතූරයක රැඳී තිබුණු නැවුම් බව මගේ හිතට තදින් බලපෑවා. අවුරුදු 500 ක් විතර පරණ දෙයක් ගැන ලිවිය යුතු බවට වූ අදහස මගේ හිතට ආවා. ඉතිං, කාලය – සදාකාලිකත්වය ගැන වගේම ජීවිතය හා කලාවේ ආකෘතීන් ගැන ලියන්න වුවමනා වුණා. ඔබ විඳි අත්දැකීම් ඔබේ නිර්මාණ තුළින් කෙතරම් දුරට පිළිබිඹු වෙනවද ? ගොඩක් දුරට කොහොමටවත් ඒවා පිළිබිඹු වෙන්නේ නැහැ. ඒ හැමදේම පරිකල්පනය කරගන්නා දේවල්. ඔබ ලේඛනයේදී දිනපතා අනුගමනය කරන ක්‍රමවේදයන් මොනවද ? සාමාන්‍යයෙන් මං නවකතාවක් රචනා කරද්දි ඒ නවකතාව දැවැන්ත රික්තයක් වගේ ක්‍රියා කරනවා. ඒ රික්තයට හැමදේම ඇදලා ගන්නවා. ඒ නවකතාව රචනා කිරීම මගේ දිනපතා චර්යාවේම කොටසක් වෙනවා. මගේ නින්ද, නෑම, කෑමබීම වගේ එදිනෙදා කාර්යයන් වල නිරතවෙන්න මාව උමතු කරවන අන්දමේ උපායන් අවශ්‍ය වෙනවා. මෑතකදී ඔබ කියවූ පොත් අතරින් ඔබව පුදුමයට පත්කරපු පොත මොකක්ද ? එහි පැවති විශේෂත්වය මොකක්ද ? ටෝනි මොරිසන්ගේ අලුත්ම නවකතාව වුණු God Help the Child. මෙහි කතාව ඈත අතීතයට දිව යනවා වගේම අති නවීන අන්දමේ එකක් ද වෙනවා. මනාව ගලායන හා සංස්කරණයට ලක්වී තිබුණත් බොහොම නිර්භීත ක්‍රියාවන් ගැබ් වී තිබෙන මවිත වන අන්දමේ කතා වස්තුවකින් සමන්විත වූවක්. එය කියවද්දි දැනෙන්නේ ඉතිහාසය පුරාවට තිබුණු කෘර ක්‍රියාවන් හා වහල්භාවය ගැන වර්තමානය ඇසුරින් කරන හෙළිදරව්වක් ලෙසිනුයි. බොහොම ලේසියෙන් ලියන්නට හැකි ආකෘතියකට අනුව මේ පොත ලියැවී ඇති බව පෙනුණත් එය බෙහෙවින් අසීරු කාර්යයක් වෙන්නට ඇති. මේතාක් කල් හිටිය ලේඛකයින් අතරින් මොරිසන් විශිෂ්ඨයකු බව කිවහැකියි. ඔබ මේ වෙද්දි කියවමින් ඉන්නේ මොකක්ද ? ඉම්ගාර්ඩ් කර්න්ගේ The Artificial Silk Girl කෘතිය. 1932 දී ලියැවුණු මේ නවකතාව මගින් ඇනිටා ලූස් ඇගේ Gentlemen Prefer Blondes කෘතියෙන් ආරම්භ කළ හාසයෝත්පාදක ශෛලිය දැකගන්නට හැකියි. ඔබ ලේඛනයේ යෙදෙන්න කැමති කොතැනදීද ? ඊට හේතුව මොකක්ද ? මගේ කාමරය. මොකද මං හැම වෙලාවෙම, හැම වැඩක්ම කරන්නේ එතැනදියි. ඔබ ලේඛිකාවක නොවුණා නම් කවුරු වේවිද ? කුණු කසළ එකතු කරන කෙනෙක්, බ්‍රෝඩ්වේ සංගීත නාටක රචිකාවියක්, කියවපු පොත් විකුණන කඩේක වැඩ කරන කෙනෙක්, හස්ත රේඛා ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක් නැත්නම් තණකොළ කපන්නියක් වේවි. විශිෂ්ඨතම ප්‍රබන්ධය උදෙසා පිදෙන The Women’s සම්මානය ඉදිරිපත් වෙන්නේ කාන්තා ලේඛිකාවන් හඳුනාගෙන ඔවුන්ව අගය කිරීමේ දැක්මෙන් යුතුවයි. ඇත්තටම, නිර්මාණ ක්ෂේත්‍රය කොල්ලන්ගේ තැනක්ද ? කාන්තාවන්ට තවමත් සිය රාජකාරි ස්ථාන වලදී කොතැනකට ගියත් අඩු සැලකුම් හිමිවෙනවා. මේ ක්ෂේත්‍රය තුල ධනාත්මක වෙනස්කම් සිදුකිරීම කිසිදිනක හානියක් සිදුවෙන්නේ නැහැ. ක්ෂේත්‍රය තුළ විශේෂ අවධානයක් හිමිවිය යුතු යැයි ඔබ විශ්වාස කරන ලේඛිකාවක් සිටිනවද ? ලේඛනය තුළ නව අත්හදාබැලීම් කරන බ්‍රසීල ජාතික ලේඛිකාවක වන ක්ලැරිස් ලිස්පෙක්ටර්. ඇය ලියන සෑමදෙයක් තුළම බුද්ධිය, හදවත හා ආත්මය අතර මනා සබඳතාවකින් යුතුව ලියැවී ඇති අතර ඒ මගින් ඇය පාඨකයා කම්පනයට පත්කරනවා.

‘ජීවිතය යනු කුහුඹුවෙකුට වුවත් අමිල, අගනා වස්තුවකි‘ – ලියු ෂියාබෝ

July 23, 2018 0 Comments
මේසයේ තැනින් තැන විසිරී ගිය පොත් ගොඩවල් අතරේ යන්තමින් සොයාගත් පුංචි ඉඩක තබා තිබෙන ලැප්ටොප් පරිගණක තිරය මත 1989 දී චීනයේ ටියැන්මන් චතුරස්‍රයේ දී වුණු සිදුවීම් පෙළක් දිගහැරෙනවා. මර්දනකාරී පොලිස් බාධක උඩින් පැන යන ජවයෙන් පිරුණු තරුණ, තරුණියන්, ගිලන් ඇඳන් මත හොවා කඩිමුඩියේ ගෙන යන ලේ වැකුණු සිරුරු, තැනින් තැන මතුවෙන ගිනිදැල් අතරින් හිටිහැටියේම රයිෆලයක් අතින් ගෙන එය කීතු කීතු කර දැමීමට උත්සහ දරන කණ්ණාඩි පැළඳ පුංචි මිනිසෙක් මතුවෙනවා. මේසය ඉදිරිපිට ඇති අසුනකට බරවී සිනහව පිරුණු මුහුණින් වසර 20 කටත් එහා ගිය මේ සිදුවීම් පෙළ දෙස බලාහිඳින්නේ පෙර කී පුංචි මිනිසාමයි. ‘ඒ රයිෆලේ. ඒ රයිෆලේ එහෙන් මෙහෙන් කඩා දාන්න ලොකු වෙහෙසක් දරන්න වුණා. මොකද ඒක හරිම බරයි. මගේ අත් රිදුම් දෙන්න ගත්තා. එහෙන් මෙහෙන් පොඩ්ඩක් කඩාදැම්මට පස්සේ ශිෂ්‍යයෝ පිරිසක් ඇවිත් රයිෆලේ විනාශ කරන වැඩේ භාරගත්තා‘. මේ අපූරු මිනිසා ලියු ෂියාබෝ. ඒ දර්ශන දිගහැරෙන්නේ 2008 දෙසැම්බර් 25 වැනිදා චීන රජය ඔහුව අත්අඩංගුවට ගෙන 2008 දෙසැම්බර් 8 වැනිදා වසර 11 කට සිරගෙට නියම වී 2017 ජූලි 13 වැනිදා සිරගෙයිදීම සිය හුස්ම යන්නට මත්තෙන් නිදහස් මිනිසෙකු ලෙස ලබාදුන් අවසන් සම්මුඛ සාකච්ඡාවේදීයි. 1980 දශකයේ සිට සාහිත්‍ය විචාරකයෙකු, කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ලියු ෂියාබෝ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ප්‍රකටයි. කොළොම්බියා සරසවියේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී ටියැන්මන් චතුරස්‍රයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් වන බව කණ වැකුණු විගස 1989 අප්‍රේල් මසදී නැවතත් චීනයට පැමිණෙන ලියු ඒ වසරේ ජූනි 2 වැනිදා චීනයේ හමුදා ආක්‍රමණයක් ඇතිවීමට පෙර සිය මිතුරන් සමග එක්වී මාරාන්තික උපවාසයක් ප්‍රකාශයට පත්කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා කැරලි ගසන ලියු සිය ජීවිතය පවා කැපකරන්නේ ඔහු විශ්වාස කළ ප්‍රජාතන්ත්‍රවාදී චීනය උදාකරලීමේ උතුම් අභිලාෂය වෙනුවෙනුයි. මේ අභිලාෂය වෙනුවෙන් 8 වන සම්මුතිය ඇතිකිරීම වෙනුවෙන් චීන විද්වතුන් එකට ද ඒකරාශී කරන්නට ඔහු කටයුතු කරනවා. පසුකලෙක මේ ලියැවිල්ල වෙනුවෙන් ලියු නායකත්වය ගැනීම ඔහුගේ ජීවිතය නිකරුණේ අහිමිවන්නට ද හේතුවෙනවා. 2008 දෙසැම්බර් 25 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙන්ම වසර 11 කට ඔහුව සිරගෙට නියම කිරීමට හේතුවුණේ ද මේ සම්මුතිය ඇතිකිරීමට ලියු දැක්වූ දායකත්වයයි. ‘බල පෙරලියක් ඇතිකිරීමට පොළඹවා ලීම‘ යන වැකිය ලියු ට සිරදඬුවම් ලබාදීමට හේතුවෙන පාඨය බවට පත්වෙන්නේ ද එබැවිනි.
1950 දී ඇතිවූ දක්ෂිණාංශික විරෝධී ව්‍යාපාරය, 1958 -1961 දක්වා ක්‍රියාත්මක වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආර්ථීක වැඩසටහන වු Great Leap Forward, චීන සංස්කෘතික විප්ලවය හා 1989 ජූනි 3-4 ටියැන්මන් චතුරස්‍රයේදී ඇතිවූ කලහකාරී තත්ත්වය ගැන සැබෑ කරුණු මේ ප්‍රඥප්තියේ ඇති බවට ලියු සිය නඩු විභාගයේදී පවසනවා. මේ සිදුවීම් චීනය සංවර්ධනය වෙත යන මාවත තුළ දැවැන්ත වශයෙන් මානව හිමිකම් කඩුවුණු අවස්ථාවන් ලෙස අදටත් ලෝකය පිළිගන්නවා. චීනයේ නෙල්සන් මැන්ඩෙලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලියු ට ද ඔහුගේම වූ ජීවිතයක් පැවතියත් ප්‍රජාතන්ත්‍රවාදී චීනයක් උදෙසා ඔහු දියත් කළ සටන වෙනුවෙන් සිය පළමු බිරිඳ හා එකම පුතු අත්හැරි බව පැවසෙනවා. ටාඕ ලී, ලියු ගේ පළමු බිරිඳ වුණු වුණු අතර පසුකලෙක ඔහුට හමුවූ ලියු ෂියා හට නිවාස අඩස්සියේ රැඳී සිටින්නට සිදුවන්නේ ඔහු කළ සටනට වන්දි ගෙවීමක් ලෙසිනුයි. ලියු ගේ මරණයෙන් පසුව ද නිදහස් නොකෙරුණු ඇය ඉන් නිදහස් වී ජර්මනිය වෙත ගියේ පසුගිය ජුලි 10 වැනිදාය. සිරගත කර සිටින සමයේදී එවකට නිවාස අඩස්සියේ පසුවුණු සිය ආදරණීය බිරිඳ වෙත ඔහු කවි ලියනවා. ‘‘ආදරණීය ෂියා වෙත ළබැඳියේ මේ පීඩකයින්ගෙන් නිදහස ගන්නට දරන වෑයම කිසිදිනක අතනොහරිමි අද දඟගෙයි සිටියද – දිවිතුරා මම ඔබේ සිරකරුවා වෙමි මා ළබැඳියේ – ඔව්, දිවි තිබෙන තුරා මා නුඹේ සිරකරුවා නුඹේ ලේ කැටි වල ගුලිවී දිවි රැකගනිමින් අඳුරේ දිවි ගෙවන්නට ඇත්නම්‘‘
තමන් නොබෙල් සාම සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ බව ලියු දැනගන්නේ ඔහුව බලන්නට සිරගෙට එන බිරිඳගෙනුයි. 2010 වසරේදී නොබෙල් සාම සම්මානයෙන් පිදුම් ලබන්නේ තමා බව දැනගන්නා ලියු හඬාවැටෙනවා. 1989 වසරේදී මිලිටරි මැදිහත් වීමෙන් මියගිය දහසකට අධික චීන මිනිසුන් වෙනුවෙන් ලියු මේ සම්මානය පුදදෙනවා. ටියැන්මන් චතුරස්‍රයේදී සිය දෑස් ඉදිරිපිට දුටු රාජ්‍යයේ මර්දන පිළිවෙත හමුවේ අහිමි වී ගිය ජීවිත වලට තමන් ද වගකිවයුතු බව පවසමින් වරදකාරී හැඟීමෙන් යුතුව 2003 දී Using Truth to Undermine a System of Lies සටහන් තබන ලියු පවසන්නේ, ‘ලෙයින් වැකී ගිය ඒ දිනය, නැවත නැවතත් මට සිහිපත් කර දෙන්නේ මා කෙතරම් අඥාන, ආත්මාර්ථකාමී අයෙකු ද යන්නයි. ඒ සැඳෑ කාලය ආදරයේ උණුසුම මෙන්ම සැබෑ ආදරයක ශක්තිය ගැන ද මට කියාදුන් අතර ජීවිතයට අතිශයින්ම වැදගත් වන්නේ කුමක්ද යන්න ගැනත් මට වටහා දුණි. අසීරුවෙන් වුවත් මා ජීවිතය ගලවාගන්නට හැකිවුණු නිසා ඒ වරදකාරී හැඟීමෙන් මෙන්ම මළවුන්ගේ ආත්මයන්ට ඇති බියෙන් දිවි ඇති තෙක් මිදෙන්නට මට නොහැකි වනු ඇත.‘ යන්නයි. ලියු නොබෙල් සම්මානයට නිර්දේශ වන අවස්ථාව වන විටත් ඔහු සිරගෙයි සිටි නිසා නොබෙල් සම්මාන උළෙලේදී ඔහු වෙනුවෙන් තැබූ හිස් පුටුවකින් ඔහුව නියෝජනය කෙරෙනවා. දෛවයෝ සරදමකට මෙන් ලියු ට නොබෙල් සම්මානය හිමි වන දිනයේදීම ඔහුගේ බිරිඳ වන ලියු ෂියා නිවාස අඩස්සියට පත්වෙනවා. ‘චීනය තුළ මූලික මිනිස් අයිතිවාසිකම් ස්ථාපිත කිරීම උදෙසා ඔහු දැරූ නොනවතින සාමකාමී අරගලය වෙනුවෙනුයි.‘ යන්න ලියු ට සම්මානය පුද දුන් නොබෙල් උළෙලේ නිර්දේශිත වැකිය වනවා. ලියු සිදුකරන්නට තිබුණු කතාව ඉදිරිපත් කෙරුණේ ද නෝර්වීජියානු රංගන ශිල්පිනියක මෙන්ම අධ්‍යක්ෂිකාවක ද වූ ලිව් උල්මාන් විසිනුයි. 2009 වසරේදී පවත්වන්නට තිබූ සිය නඩු විභාගයේදී ඔහු ප්‍රකාශ කිරීමට සූදානම් කොට තිබුණු ප්‍රකාශය නොබෙල් උළෙලේදී ඇය විසින් ඉදිරිපත් කෙරෙනවා. ‘මට කිසිදු සතුරෙකු නැහැ – මගේ අවසන් ප්‍රකාශය‘ නම්වූ මේ කතාව තුළ අන්තර්ගත වී තිබෙන්නේ ඔහුගේ බිරිඳ වූ ලියු ෂියාට දැක්වූ අසීමිත ආදරය හා චීනය දේශපාලනික වශයෙන් ලිබරල්කරණය කිරීමේදී පොලීසිය මෙන්ම චෝදකයින් කෙරෙහි ලියු දැක්වූ උපේක්ෂා සහගත ආකල්පයයි. අනාගතයේ එළඹිය යුතු සුබ දිනයක් ගැන ඔහු මෙහිදී පවසනවා. ‘’මෙරට තුළ ප්‍රකාශන නිදහස තහවුරු වන දිනයක්, විවිධ විශ්වාස, අදහස්, දේශපාලන දැක්මෙන් යුතු සෑම පුරවැසියෙකුටම එක හා සමාන සැලකුම් හිමිවන රටක්, එකිනෙකා සමග තරඟ කරමින් වුවත් සාමකාමීව ජීවත්විය හැකි රටක්, බහුතරයේ මෙන්ම සුළුතරයේ ද අදහස් සමානව සලකා බලන දිනයක්, වර්තමානයේ රාජ්‍ය පාලනය කරන දේශපාලන බලාධිකාරය වෙනුවට සෑම දේශපාලන දැක්මක්ම සුරක්ෂිත වන දිනයක්, ඕනෑම අයෙකුට තමන් කැමති දේශපාලන දැක්මක් රිසි සේ තෝරාගත ගත හැකි දිනක් සෑම පුරවැසියෙකුටම කිසිදු බියක් සැකක් නැතිව සිය දේශපාලන දැක්ම ගැන පැවසිය හැකි දිනක්, එකිනෙකට වෙනස් දේශපාලන දැක්ම ගැන හඬ අවදි කළ නිසාවෙන් දේශපාලන වශයෙන් වධ හිංසා පැමිණවීම් වලින් කිසිවෙකුට පීඩා විඳීමට සිදුනොවන දිනයක් උදාවන තෙක් බලා හිඳිමි. චීනය තුළ සාහිත්‍යය නිර්මාණකරුවන්ට එල්ල වන නොනවතින බලපෑම් වල අවසන් ගොදුර මා වනු ඇති බවත් සිය හඬ අවදි කළ නිසාවෙන් යළි කිසිදිනක කිසිවෙකුට ඒ උදෙසා දඬුවම් විඳීමට සිදුනොවනු ඇති බවත් අපේක්ෂා කරමි.‘‘ නමුත්, අවාසනාවකට ලියු පැතූ ලෝකය තවමත් එළඹී නැහැ.
Criticism of the Choice: Dialogues with Li Zehou (1987) නමින් පළමුවරට විචාර කෘතියක් රචනා කරන ඔහු ඉන්පසුව, ටියැන්මන් හි දී අත්විඳි අත්දැකීම් අළලා The Monologues of a Doomsday’s Survivor (1992) කෘතිය රචනා කරනවා. A Nation That Lies to Conscience (2000), The Beauty Offers Me Drug: Literary Dialogues between Wang Shuo and Lao Xia මෙන්ම ආචාර්ය උපාධිය වෙනුවෙන් සිදුකළ පර්යේෂණය Aesthetic and Human Freedom ලියු විසින් රචිත කෘතීන් අතරින් කීපයක්. තමන්ගේම මිනිසුන් උදෙසා සටන් වැද ඊට දඬුවම් විඳිමින් සිටි අවස්ථාවේදී අක්මා පිළිකාවකින් පෙළෙමින් සිටියදී ජීවිතය හැර යන ලියු පවසන්නේ, ‘ජීවිතය යනු කුහුඹුවෙකුට වුවත් අමිල, අගනා වස්තුවක්‘ බවයි. (2018.07.20 වැනිදා ‘අනිද්දා‘ පුවත්පතේ පළවූ ලිපිය)

Thursday, July 19, 2018

උමතුව ම‍ගේ ජීවිතයයි – ෆ්‍රීඩා කාර්ලෝ

July 19, 2018 0 Comments
\ ෆ්‍රීඩා කාර්ලෝ මෙක්සිකානු චිත්‍ර ශිල්පිනියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක ද වේ. 1970 දී නැගී ආ ස්ත්‍රීවාදී ව්‍යාපාරය‍ ඇයව හඳුන්වන්නේ නිර්මාණශීලී හැකියාවන්ගේ සංකේතයක් ලෙසිනුයි. සිය හය හැවිරිදි වියේදී පෝලියෝ රෝගයෙන් පීඩා විඳි ෆ්‍රීඩා සිය දිවියේ 18 වන කඩඉමේදී මාරාන්තික අනතුරකට මුහුණපාන අතර මෙය ඇගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්ද විය. ජීවිතයේ වැඩි කලක් ඇඳටම සීමා වී සිටිය ද ක්‍රමයෙන් චිත්‍ර ශිල්පයට නැඹුරු වන ඇය ඒ හරහා සිය දස්කම් එළිදැක්වීමට සමත් වූවාය. My Birth (1932), Memory – the Heart (1937), Henry Ford Hospital (1932), What the Water Gave me (1938), The Two Fridas (1939), Self-Portrait with Thorn Necklace and Hummingbird (1940) හා The Broken Column (1944) ඇය අතින් සිතුවම් කෙරුණු විශිෂ්ඨතම සිතුවම්ය. ජීවිතයේ විසි දෙවැනි කඩඉමේදී මෙක්සිකෝවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨ බිතු සිතුවම් ශිල්පියෙකු වුණු දියෝගෝ රිවේරා සමග අතිනත ගන්නා ඇය 1954 දී මියයන්නේ දිවියේ 47 වන කඩඉමේදී ය. මේ ඇය The World සඟරාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත්තකි.
ෆ්‍රීඩා ඔබේ පියා චිත්‍ර ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ඔහුගෙන් ඔබට ලැබුණු ආභාසය ගැන කිව්වොත් ? චිත්‍ර ශිල්පයට මා දැක්වූ කැමැත්ත වැඩිවුණේ කාලයක් ගතවුණාට පස්සෙයි. මට අත්විඳින්න වුණු අනතුරත් එක්ක මුල්කාලයේදී බෙහෙත් හේත් වගේ ප්‍රතිකාර ගන්න ඕන වුණා. මිනිස්සු විඳින වේදනාවන් අමතක කරවලා ඔවුන්ව සුවපත් කරන්න කැමතියි. ඇත්තටම මගේ කලාත්මක හැකියාවන් උද්දීපනය වෙන්න ගත්තේ කාලයක් ගතවුණාට පස්සෙයි. ඇත්තටම, ඔබේ ජීවිත ගමන හාත්පසින්ම වෙනස් කළේ පෙර කී රිය අනතුර නේද ? ඔව්, ඇත්තටම මේ සිද්ධිය මගේ ජීවිතේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළා. මං සුවපත් වීමේ ක්‍රියාවලියේ කොටසක් විදියට අනික් හැමදේකටම වඩා මං විඳපු පීඩාව නිදහස් කරගන්න වුවමනා වුණා. චිත්‍ර අඳින්න යොමුවෙන්නේ ඒ කටයුත්තේ ප්‍රතිඵලයක් විදියටයි. එය මගේ වේදනාව අඩුකරන්න විශේෂඥ වෛද්‍යවරුන් දුන්නු වේදනා නාශක වගේ නොවෙයි. ඒ වේදනා නාශක දරාගන්න බැරි තරමට අසීරු ඒවා වුණා වගේම ඒ නිසා දැඩි වේදනා වින්ඳා. අවුරුද්දක් ගතවෙන කල් ඇඳෙන් බහින්න හැකිවුණේ නැහැ. ඒත්, මං පුංචි මාර්ගයක් හොයාගෙන ඒ ඔස්සේ ඉස්සරහට ගියා. වාසනාවකට වගේ මගේ චිත්‍ර නිසාම ජීවිතේ බේරුණා.
\ ඔබ චරිතයක් විදියට ගත්විට සමස්ත කාන්තා පරපුරේම පරිකල්පනය ග්‍රහණය කරගෙන ඇති බව පේනවා. ස්ත්‍රීවාදී ව්‍යාපාර වල සුවිශේෂී චරිතයක් බවට ඔබ පත්වෙනවා. මේ ගැනත් කියමු ? මේ තුළ මගේ විෂයට වඩා වැඩි දෙයක් නැති බව දක්වන්නට හැකියි. මගේ චිත්‍ර බොහොමයක් තුළ ප්‍රතිමූර්තිමත් වී තිබෙන්නේ මාවමයි. මගේ ජීවිතයේදී මුහුණ දුන් බොහෝ දේවල් මේ චිත්‍ර තුළ ප්‍රතිනිර්මාණය වී තිබෙනවා. මං වේදනාවෙන් පෙළෙනවා නම් එය පවා මම චිත්‍රණය කරනවා. මේ විදියට පෙන්වන දුෂ්කරතා වලින් අනෙක් කාන්තාවන් පෙළෙන බව මගේ විශ්වාසයයි. නමුත්, එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් මුහුණදෙන ඒ වගේ ගැටළු ගැන පවසද්දී කාන්තාවන්ට දුෂ්කරතා ගණනාවකට මුහුණදෙන්නට සිදුවෙන බව අනිවාර්යයි. විශේෂයෙන්ම, තමන්ගේ පවුල් ව්‍යුහය ඇතුළේදී කාන්තාවන්ට මුහුණදෙන්නට වෙන අභියෝග හමුවේදී ඔවුන් මර්දනයට ලක්වෙනවා. මං හිතන්නේ මගේ චිත්‍ර කාන්තාවන් සමගින් දැඩිව බැඳී තිබෙන්නේ ඒවා කාන්තාවන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන අර්බුද සමගින් දැඩිව බැඳී පවතින නිසාවෙන් බවයි. මගේ නිර්මාණ පවා මනුස්සයෙක් විදියට මා මුහුණදෙන අර්බුද වලින් සවිමත් වී තිබෙන බව දැකගන්නට හැකියි. දියෝගුට මං දැක්වූ ආදරය පවා මේ නිර්මාණ වල තිබෙනවා. ඒ වගේම, බස් රථ අනතුරින් පසුව මං මුහුණදුන් අඛණ්ඩ වේදනාවෙන් පවා මගේ නිර්මාණ සවිබල ගැන්වී තිබෙනවා. මට දරුවන් ලබන්නට නොහැකියි කියන කාරණයත් සමගින් මේ සිතුවම් අත්‍යන්තයෙන්ම වර්ණවත් වී තිබෙනවා. ගැහැණියකට තමන්ගේ ජීවිතයේදී මුහුණදෙන්නට සිද්ධවෙන අතිශය දරුණුතම අත්දැකීම වෙන්නේ එයයි. ඇයට කෙදිනකවත් මවක් වෙන්නට නොහැකි බව දැන දැනත් ජීවත් වීම කෙතරම් අසීරුද යන්න වටහාගන්නට හැකිවෙන්නේ තවත් ගැහැණියක්ටම පමණයි. ඒ හැඟීම හදවතින්ම නැගෙන ප්‍රබල ආශාවක්. මං තාමත් දෙවියන්ගෙන් අහන්නේ මට ඒ අයිතිය නොලැබුණේ ඇයි දැයි කියලා. ඒත්, සමහරවිට මං එවැනි අභියෝග, බාධක වලට මුහුණනොදුන්නා නම් මගේ අතින් අගනා නිර්මාණ බිහිනොවෙන්න ඉඩ තිබුණා. ආපහු අතීතය දිහා හැරිලා බැලුවොත් ඔබේ ජීවිතයට අතිශයින් බලපෑ සාධක තුන විදියට නම් කරන්නට හැකිවෙන්නේ මොනවද ? දියෝගු වෙනුවෙන් මගේ හිතේ තිබුණු ආදරය, මට මුහුණදෙන්නට වුණු බස් රථ අනතුරින් පස්සේ කකුලේ ඇතිවුණු බකල් ගැහීමත් සමග දැනෙන්න ගත්ත තදබල වේදනවා හා මගේම දරුවෙකු හැදීමේ නොහැකියාව
ඔබ නිදහසේ ඉන්න වෙලාවට වඩාත්ම සතුවෙන්නේ මොනවගේ වැඩවල යෙදිලද ? හැමවිටම පිස්සු වැඩකරන්න මං කැමතියි. මල් වලින් සැරසිලි කරන්න, ආදරය, වේදනාව හා මොළොක් බව චිත්‍රණය කරන්න, අනික් අයට මෝඩයෙක් වගේ පේන විදියට හිනාවෙන්න කැමතියි. එතකොට, ‘එයාට පිස්සු‘ කියලා මාව දකින අනික් හැමෝම කියාවි. අනික් හැමදේටමත් වැඩියෙන් මං, මගේ මෝඩකම් ගැන හිත හිත හිනාවෙන්න කැමතියි. ජීවත්වෙන අතරතුරදීම මගේ ලෝකය ගොඩනගමින් ලෝකයේ ඉන්න අනික් හැමෝම සමග එකඟතාවකට පැමිණෙන්නට කැමතියි. දින, පැය, මිනිත්තු විදියට ගෙවීයන හැම මොහොතක්ම මට වගේම අනික් හැමෝටමත් අයිතියි. ඉතිං, මගේ මේ උමතුව ‘යථාර්තයෙන්‘ නික්මී නොයාවි

Tuesday, July 17, 2018

‘සතුටින් ඉන්න හැම මොහොතකම අදටත් මට වරදකාරී හැඟීමක් දැනෙනවා’ – රෝමන් පොලන්ස්කි

July 17, 2018 0 Comments
’අතිශය සාමාන්‍ය අන්දමේ ප්‍රේමයක් යනු රසවත් අත්දැකීමක් නොව අතිශය නීරස අත්දැකීමක්‘‘ – රෝමන් පොලන්ස්කි
ලන්ඩනයේ ඉන්න පොලන්ස්කිට නොහිතුව විදියේ දුරකතන ඇමතුමක් ලැබෙනවා. දවස හරියටම 1969 අගෝස්තු 9 වැනිදා. ඔව්, ඒක ආන්ස්වර් කරන්නම ඕන ඇමතුමක්. පොලන්ස්කිව අමතන ඔහුගේ නිවසේ මෙහෙකාරිය භීතිය මුසු වුණු හඬින් කියන්නේ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් මිතුරන් සිව්දෙනෙක් සෙලෝ ඩ්‍රයිව් හි පිහිටි ඔවුන්ගේ නිවස තුළදී අති අමානුෂික විදියට මරා දමා තිබෙන බවයි. මරා දමන මොහොත වෙද්දි පොලන්ස්කිගේ ආදරණීය බිරිඳ වගේම එකල තරුණ රංගන ශිල්පිනියක වුණු ෂැරොන් ටේට් මාස අටහමාරක ගැබිණියක්. ඝාතකයා තියුණු ආයුධයක් පාවිච්චි කරමින් ඇගේ සිරුර දාසය වතාවක් කපා කොටා තිබුණු අතර නිවසේ ඉදිරිපස දොරටුවේ ඇගේ සිරුරෙන් වෑහුණු ලේ යොදාගනිමින් ‘පිග්‘ යන වදන ලියා තිබුණා. ඒ භීතිය මුසු වුණු සිනමාපටයක දර්ශනයක් නම් නොවෙයි. ඔස්කාර් සම්මාන දිනූ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ රෝමන් පොලන්ස්කිගේ කතාව. ‘‘ෂැරොන්ගේ මරණය මගේ ජීවිතය ඇතුළේ තවමත් හොල්මන් කරනවා. මං සතුටින් ඉන්න හැම මොහොතකම අදටත් මට වරදකාරී හැඟීමක් දැනෙනවා.‘‘ සිය ජීවිතයේ අසූ හතර වැනි කඩඉම පසුකරන මේ නිර්මාණ ශිල්පියා චාල්ස් මැන්සන් පවුලේ සාමාජිකයින් විසින් මරාදැමුණු ෂැරොන් ගැන සිහිපත් කරන්නේ එලෙසයි.
1933 දී පැරීසියේ දී උපත ලබන පොලන්ස්කිගේ ජීවිතය බේරෙන්නේ ආශ්චර්යයකින් බව ඔහු ගැන පවසන බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා. පෝලන්තයේ සිට පැමිණි යුදෙව් සංක්‍රමණිකයෙකු වුණු පොලන්ස්කිගේ තාත්තා අතිශය අසාමාන්‍ය තීරණයක් ගනිමින් තමන්ගේ පවුලේ උදවියව පෝලන්තයේ, ක්‍රකොව් නගරය වෙත රැගෙන යනවා. ඒ 1936 දී යි. හිට්ලර්ගේ ආක්‍රමණත් එක්ක මේ පිරිස යුදෙව් ජනාවාසයට කොටුවෙනවා. මේ වෙද්දි මාස හතරක ගැබිණියක් වුණු පොලන්ස්කිගේ අම්මා ඔස්ට්විච්හි ගෑස් කඳවුරු තුළදී ඝාතනයට ලක්වෙනවා. පසුකලෙක දෙවන ලෝකය යුද්ධය සමයේදී යුදෙව් – පෝලන්ත සම්භවයකින් යුතු සංගීතඥයෙකු වූ ව්ලැඩ්ස්ලෝ සිස්පිල්මන් මුහුණදුන් සැබෑ අත්දැකීම් තේමාකරගනිමින් නිර්මාණය වූ The Pianist (2002) සිනමාපටය තුළ පොලන්ස්කි වැනිම වූ යුදෙව් ජනතාවට මුහුණදෙන්නට සිද්ධ වුණු ඛේදජනක සිදුවීම් ප්‍රතිනිර්මාණය වෙනවා. The Pianist නමින් ව්ලැඩ්ස්ලෝගේ රචනා කළ ස්වයං ලිඛිත චරිතාපදානය ඇසුරින් නිර්මාණය කෙරුණු මේ සිනමාපටය එම වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී පොලන්ස්කි හොඳම අධ්‍යක්ෂවරයා බවට පත්කරමින් තවත් ඔස්කාර් සම්මාන දෙකකින් පිදුම් ලබනවා. අසීරුවෙන් ජර්මන් හමුදාවන්ගෙන් ජීවිතය බේරාගත් පොලන්ස්කි සිය ළමා වියේදී දුටු අඳුරු අත්දැකීම් ගැන සිහිපත් කරනවා. ඔහුගේ පියා හා තවත් මිනිසුන් පිරිසක් ජර්මන් හමුදාවන් වල අඩන්තේට්ටම් වලට ලක්වෙමින් ගමන් කරන අයුරු දකින කුඩා පොලන්ස්කි ඔවුන් මේ යන්නේ කොතැනටදැයි විමසා සිටිනවා. තමන්ට අඩි කීපයක් දුරින් සිටගෙන ප්‍රශ්න කරන මේ පුංචි කොළුවා ජර්මන් හමුදාවන්ට හසුවේයැයි බියවෙන පොලන්ස්කිගේ තාත්තා පෝලන්ත භාෂාවෙන් ‘ඉක්මනට මෙතනින් පැනගන්න‘ යනුවෙන් මුමුණනවා. 1943 දී තමන් ජීවත්වුණු යුදෙව් ජනාවාසයෙන් පැනගන්න මේ දරුවා පෝලන්ත රෝමන් කතෝලික පවුලක් සමගින් හැදී වැඩෙන්නේ ඔහුගේ පියා කර තිබුණු ඉල්ලීමකට අනුවයි. අවසානයේදී දිවි ගලවාගන්න පොලන්ස්කිගේ පියාට තමන්ගේ දරුවාව සොයාගන්නට හැකිවෙනවා
තරුණ පොලන්ස්කි සිනමාව ගැන වඩ වඩාත් උනන්දු වෙනවා. වෙනත් වෘත්තීන් වල නියැලීමට අවකාශ තිබියදී සිනමා අධ්‍යක්ෂවරයෙකු වූවේ ඇයිදැයි පොලන්ස්කිගෙන් විමසන ලද අවස්ථාවේදී ඔහු පවසන්නේ, ‘‘සිනමා අධ්‍යක්ෂණයට පිවිසීමේ දැඩි උනන්දුව මගේ තරුණ වියේ සිටම පැවතුණා. මා හැදෑරුවේ වගේම මට හොඳින්ම කළ හැකි කාර්යයත් අධ්‍යක්ෂණයයි. ඉතිං, මං වෙන දෙයක් තෝරාගන්නේ ඇයි ?’’ යන්නයි. හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ පොලන්ස්කිට සිය වෘත්තීය ජීවිතය ගැන කලකිරීමක් ඇතිවුණු අවස්ථාවන් නැතුවාම නොවෙයි. ඔහු වරෙක පවසන්නේ, Tess (1979) සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමෙන් පසු එය උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට දීර්ඝ කාලයක් ගතවීම හා විචාරක ප්‍රතිචාර ලබන්නට දීර්ඝ කාලයක් ගතවීමත් සිනමාවෙන් ඈත්විය යුතුයැයි සිතට දැනුණු බවයි. නමුත්, අවසානයේදී දිගු කාලයක් ගතවී ගොස් වුවද මේ සිනමාපටය ඔස්කාර් සම්මාන ත්‍රිත්වයකින් මෙන්ම ප්‍රංශයේ දී ද ඇගයීමට ලක්වෙනවා. මෙකලදී වෙනත් රැකියාවකට යොමුවිය යුතු යැයි තමන් තදින් තීරණය කළ බව පොලන්ස්කි පසුකාලීනව පවසනවා. නමුත්, එලෙස තෝරාගන්නා වෙනත් වෘත්තියකින් සිනමා නිර්මාණයකින් තමන් ලබන තෘප්තිය නොලබන බව තමාට තේරුම්ගිය නිසා නැවතත් සිනමාවට පිවිසුණු බව ද ඔහුගේ අදහස වී තිබෙනවා. සමන්තා ගෙයිලි සම්බන්ධ සිදුවීම පොලන්ස්කිගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත්වෙනවා. වයස අවුරුදු 13 ක දැරියක වුණු සමන්තා පොලන්සිකි අතින් අතවරයට ලක්වීමත් සමග ඔහු දින 42 ක කාලයක් සිර මැදිරියක ගෙවන්නට සිද්ධවෙනවා. 1978 පෙබරවාරි 1 වැනිදා නිදහස ලබන ඔහු නඩුවේ අවසන් තීන්දුව ලැබෙන්නට එක් දිනක් තිබියදී ඇමරිකාවේ සිට ලන්ඩනයට පලායනවා. පසුදා ප්‍රංශයට යන පොලන්ස්කි ප්‍රංශ පුරවැසිභාවය ලැබුව ද ඔහුට එරෙහිව ලබාදීමට නියමිත දඬුවම් තවමත් එලෙසම පවතිනවා. ඇමරිකාවේ ඉල්ලීම මත 2009 වසරේදී ස්විට්සර්ලන්ත ආරක්ෂක අංශ වල අත්අඩංගුවට ලක්වෙන ඔහු මාස දෙකක කාලයක් රඳවා තබාගැනීමෙන් අනතුරුව නිදහස් වෙන්නේ ඇමරිකාවෙන් කළ ඉල්ලීම් ස්විට්සර්ලන්ත ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කළ නිසාවෙනුයි. 2015 පෝලන්ත අධිකරණය පවසන්නෙත් පොලන්ස්කි නැවතත් ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී නොසිටිය යුතු බවයි. කාන්තාවන් තිදෙනෙකු සමගින් දිවි ගෙවූ පොලන්ස්කි අද ප්‍රංශයේ දිවිගෙවනවා. කෙසේවුවත්, කලෙක ඔහුව සාදරයෙන් පිළිගත් ලෝකයම සමහර අවස්ථාවලදී පොලන්ස්කිට චෝදනා කරන තැනට අද පත්වී සිටිනවා. Motion Picture Arts and Sciences ඇකඩමිය පසුගිය මැයි 3 වැනිදා පොලන්ස්කිව එහි සාමාජිකත්වයෙන් නෙරපා හරින්නේ ඔහුට එරෙහිව ඇති නඩු විභාග නිසාවෙනුයි සිය ජීවිතය තුළ භීතිය, බුහුමන මෙන්ම අපවාද වලට ද ලක්වී තිබෙන පොලන්ස්කි පවසන්නේ, ”අතිශය සාමාන්‍ය අන්දමේ ප්‍රේමයක් යනු රසවත් අත්දැකීමක් නොව අතිශය නීරස අත්දැකීමක්‘‘ යන්නයි.