Thursday, July 12, 2018

මේ වසරේදී විකල්ප නොබෙල් සාහිත්‍ය සම්මානයක්

July 12, 2018 0 Comments
නොබෙල් සාහිත්‍ය සම්මානය මේ වසරේදී ප්‍රදානය නොකෙරෙන බැවින් ස්වීඩන් ඒ වෙනුවෙන් වු විකල්ප සම්මානයක් ලබාදීමට යෝජනා වී ඇත. ලේඛකයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, පරිවර්තකයින්ගේ එකතුවෙන් යුතු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් සීයකට අධික පිරිසකගෙන් සැදුම්ලත් නව කමිටුවක් මගින් මෙම තාවකාලික නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට තීරණය කර ඇත. නොබෙල් ඇකඩමිය මෙන්ම මෙම විකල්ප ඇකඩමියේ ද මුලික දැක්ම වී ඇත්තේ සාහිත්‍යට කරන මෙහෙවර ‘ප්‍රජානත්ත්‍රවාදය, විවෘතභාවය, සානුකම්පිත බව හා ගෞරවය යන්න‘ පාදක කරගනිමින් ඇගයීම බව එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇත. මෙම විකල්ප නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකරගනු ඇත්තේ කවුරුන්දැයි යන්න එළඹෙන ඔක්තෝබර් මස 14 දින නිවේදනය කිරීමට නියමිත අතර නොබෙල් සම්මානය ප්‍රධානය කරන අැකඩමිය ලෙසම මේ පිරිස ද කටයුතු කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ඇකඩමිය ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාකරනු ඇති අතර සම්මාන ප්‍රදානය අවසන් කෙරෙන දෙසැම්බර් 11 වෙනිදායින් පසු විසිරී යාමට නියමිතය. මහජනතාවට ද මේ සම්මානය සඳහා සිය ඡන්දය ලබාදිය හැකි අතර එලෙස ඡන්දය ලබාදිය හැකි දිනය ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිත අතර එය එළඹෙන අගෝස්.තු 14 වැනිදායින් අවසන් වෙනු ඇත. ස්වීඩන් පුස්තකාාලාධිපතිවරුන් විසින් තෝරාගත් ලේඛකයින් 46 දෙනෙකුගේ ලේඛනයක් මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ඒ අතර ලේඛිකාවන් 30 පමණ පිරිසක් සිටින බව ද පැවසේ. සිරි හඩ්ස්වත්, ජොයිස් කැරොල්, ජැමෙයිකා කින්කේඩ්, මාග්‍රට් අට්වුඩ්, ජේ.කේ. රෝලින්, පැටි ස්මිත්, සේඩි ස්මිත්, ඈන් කාර්සන්, එලීනා ෆැරන්ටේ, අරුන්දතී රෝයි වැනි ලේඛිකාවන් මෙන්ම පෝල් ඔස්ටර්, කෝර්මැක් මැකාති, හරුකි මුරකාමි ද ඒ අතරට අයත් බව පැවසේ.
ස්වීඩන් මාධ්‍යවේදිනියක වන ඇලෙක්සැන්ඩ්‍රා පැස්කලිඩෝ මෙම නව ඇකඩමියේ සමාරම්භකයෙකු වන අතර සිය තීරණය ගැන අදහස් දක්වන ඇය පවසන්නේ, ‘‘ස්වීඩන් ඇකඩමියට ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරන්නට නොහැකි නම් ඉන් ඇති ඵලය මොකක්ද ?. අපේ වෑයම වී තිබෙන්නේ නොබෙල් සාහිත්‍ය සම්මානය රැකගැනීමයි. අපට යමක් කළ හැකි බව නොව, අනිවාර්යයෙන්ම අප යමක් කළ යුතු බව අප වටා එ්කරාශී වුණු පිරිස තුළින් පෙන්වා දිය හැකියි‘‘ යන්නයි.

ලේඛනය නැටුමක් වගෙයි – අරුන්දතී රෝයි

July 12, 2018 0 Comments
සිය ප්‍රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි. ලේඛිකාවක් නැත්නම් සමාජ ක්‍රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ? මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්‍රශ්නයක් වුණේ ලේඛකයින් දේශපාලන තේමාවන් ගැන විවෘතව ලියන්නේ ඇයි දැයි ? යන්නයි. සාමාන්‍යයෙන් ලේඛකයින් හැමවිටම නවකතා නැත්නම් දේශපාලන කරුණු වලින් පිරී තිබෙන ලේඛන ලියනවට වඩා දේශපාලනයට එහා ගිය වෘත්තීමය දේවල් ගැන ලියවිය යුතු යැයි විශ්වාසයක් තිබෙනවා. ලේඛකයින් හීලෑ වුණු ජීවිතයකට සීමා විය යුතු බවත් ඔවුන් විනෝදාස්වාදය සපයන දේවල් ගැන පමණක් ලිවිය යුතු බවට වූ පිළිගැනීම ඒ වගේ කතාවක් කියවෙන්නට හේතු වී තිබෙනවා. සමාජ ක්‍රියාකාරිනියක කියන වචනෙට මං ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතිහාසය පුරාවට එවැනි දේශපාලන දෑ ගැන ලිව්ව හැම ලේඛකයෙකුම දේශපාලනික වශයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වී හිටිය අය විදියට හඳුන්වන්නට පුළුවන්ද ? ‘සමාජ ක්‍රියාකාරිකයෙකු‘ කියන වචනේ ඔවුන් ගැන කියන්න යොදන්නට පුළුවන්ද ?. ඒ ලේඛකයින්ට කුමන හෝ අත්දැකීමකට මුහුණදෙන්නට සිද්ධවෙලා තියෙනවා. මං හිතන්නේ මේ වගේ ප්‍රශ්න නැගෙන්නට හේතු වෙලා තියෙන්නේ ලේඛකයින් හීලෑ වුණු පිරිසක් විය යුතුයි, හුදෙක්, ඔවුන් පුංචි සුරතල් සත්තු වගේ වැඩියෙන්ම අලෙවි වන කෘති ලැයිස්තු අතර හා සාහිත්‍ය සම්මාන උළෙලවලට පමණක් සහභාගී විය යුතු අය බවට වූ පිළිගැනීමක් පැවතීමයි. ලේඛනය නිසර්ගයෙන්ම දේශපාලනික බව ඔබ විශ්වාස කරනවද ? ඔව්, අනිවාර්යයෙන්ම, ඉන්දියාවේ, නැත්නම් දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන ලේඛකයෙකු ගැන හිතමු. වර්ණභේදවාද සමයේදී දකුණු අප්‍රිකාවේ ජීවත් වුණු ලේඛකයෙකු නැත්නම් කුල ක්‍රමය වගේ දෙයක් ගත්තම මේ දේවල් අනිවාර්යයෙන්ම දේශපාලනිකයි. ලේඛකයෝ භයානක පිරිසක් බවට පත්වෙමින් සිටිනවා. ලේඛකයින් හීලෑ සහගත පිරිසක් විදියට ලේඛනයේ නිරත විය යුතු වුවත් අනිවාර්යයෙන්ම ඔවුන් දේශපාලනිකයි. බහුතර ජනතාව වැඩිවන ලෝකයක් ඇතුළේ අනිවාර්යයෙන්ම මේ ගැන කතාකරන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන ඒකාධිපති පාලනයන් තුළ ට්‍රම්ප්, මෝදි වගේ පිරිස් වල බලය වර්ධනය වන ලොවක් තුළ මේ තත්ත්වය බරපතලයි. ඇත්තටම, වැරැද්ද තිබෙන්නේ මේ මිනිස්සු තුළ නෙවෙයි. වැරැද්ද වී තිබෙන්නේ මධ්‍යස්ථ මතධාරී පිරිසක් විසින් බහුතර ඡන්දයෙන් ඔවුන්ව තෝරාපත්කර ගැනීම තුළයි. ඉතිං, මීට එරෙහිව තනිව නැගී සිටින්නට ඉදිරිපත් වෙන්නේ ලේඛකයෙකුම නොවේද ? මොකද, ඔබ ලේඛනයේ නිරත වෙන්නේ බොහොම නිදහස්වයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි සිනමාපටයක් නිර්මාණය කරන්න යනවා නම් ඒ හා සම්බන්ධ මූල්‍ය වියදම් ගැන දීර්ඝ සාකච්ඡා සිදුවෙනවා. නමුත්, ලේඛකයෙකුට එහෙම නැහැ. ලේඛකයෙකුට තනිව නැගී සිටිය හැකියි. ජනප්‍රිය වෙන්න වුවමනා නැහැ. මිනිස්සුන්ට අහන්නට වුවමනා නැති කතා ඔහුට කිව හැකියි. ලේඛනය කියන්නේ මෙය බව කෙනෙකු දකින විට ඒක බෙහෙවින් භයානකයි.
නමුත්, අරුන්දතී ඔබ ඔබේ රටේ දේවල් ගැන ලියූ ලේඛනයන් නිසාවෙන් බොහෝ අවස්ථාවලදී විවේචනයට, තර්ජනයට ලක්වී තිබෙනවා. මේ අත්දැකීම මොනවගේද ? ඔබේ හිසට එය බරක් වුණාද ? මානසික පීඩනයක් වුණාද ? ඒක එහෙම නොවුණා නම් එවැනි දේවල් රචනා කිරීමේ කිසිම වටිනාකමක් නැහැ. සිද්ධවෙන්නේ මොකක්ද කියලා නොදන්න සෙල්ලම් බඩුවක් වගේ රඟපාන්න සිද්ධවීම මගේ හිතට දැඩිව වද දුන්නා. ඒ මා තෝරාගත්තු ජීවිතය යි. තමන්ගේ හඬ අවදි නොකර ප්‍රබන්ධ රචනා කිරීම කියන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. වෙන්නේ මොකක්ද කියලා මං දැනහිටියා. මං ලියන දේවල් නිසා එවැනි තර්ජන වලට මුහුණපාන්නට වෙන වගත් මනාව දැනහිටියා. අපි ජීවත් වන ලෝකය ඇතුළේ උපාය මාර්ගික වීම කියන්නෙත් ජීවිතයේම කොටසක්. ඉතිං, මේ ජීවිතය තුළදී තරමක බයක් දැනීම ස්වභාවිකයි. ඔබේ නවතම කෘතිය වන The Ministry of Utmost Happiness දී කුල ක්‍රමය, කාශ්මීර අර්බුදය වැනි තේමා ගැන අවධානය යොමුකරනවා. ඔබ නිර්මාණය කළ අංජුම් චරිතය හරහා මේ තේමාවන් ගැන මනාව ගෙනහැර දක්වනවා. අංජුම් – ඇය ද ? ඔහු ද ? මේ ගැන කතාබහ කරන්නට කලින් කාශ්මීරය වගේම කුල ක්‍රමය ගැනත් යමක් කිව යුතුයි. මං මේ දේවල් ප්‍රශ්න විදියට දකින්න අකමැතියි. මේ හැමදේම අපි ජීවත්වෙන සමාජය ඇතුළේ, අපේ හුස්ම තුළ ගැබ්වී තිබෙන දේවල්. ඒ නිසා මේවා ප්‍රශ්න විදියට වෙන්කර දක්වන්නට බැහැ. නවකතාවක් අතිශය බලගතු ලේඛනයක් වෙන්නෙත් මේ නිසයි. නවකතාවක ගැබ්වී තියෙන දෑ ගැන රැඩිකල් වැටහීමක් ලැබෙන්නේ මේවා තුළ නිරූපණය වී ඇති දෑ එකිනෙක මත රැඳී පවතින්නේ කොහොමද ? යන්න මතයි. අංජුම් කියන චරිතය ගත්විට ඇය 1950 දශකයේ මුල් භාගයේදී පුරාණ දිල්ලියේදී ෂියා මුස්ලිම් පවුලකට දාව ඉපදුණු චරිතයක්. ඇය ඉපදෙන්නේ අෆ්තාබ් නම් පිරිමි දරුවෙකු විදියටයි. ඇගේ මව ඇය පිරිමි දරුවෙකු නොවන බව දැනගන්නේ ඇය ඉපදී දවසකුත් ගතවුණාට පසුවයි. ඇගේ මව ඒ ගැන කියන්නේ ‘ගැහැණු කොටසක්‘ ඇය තුළ තිබෙනවා කියලයි. ලිංගිකත්වය ගැන ඇය තුළ තිබෙන සීමාව දිගටම රැඳී පවතිනවා. කාලයත් සමග අෆ්තාබ්, අංජුම් බවට පරිවර්තනය වෙනවා. ටික කලකින් දිල්ලියේ තිබෙන ‘කබ්ගා‘ කියන ස්ථානයට යනවා. උර්දු බසින් මෙහි අදහස වෙන්නේ ‘සතුට‘ යන්නයි. ඇය ජීවත් වෙන්නේ ‘හිජ්රා‘ පිරිස් සමගයි. පූජනීය ආත්මයකින් යුතු සිරුරක් යන්න මෙහි අදහසයි. ලෝකයට ආගන්තුක වුණු විවිධ ලිංගිකයින්, ආගමික පිරිස් සමග ඇය ජීවත් වෙනවා. මෙතැනට එපිටින් තිබෙන ලෝකය ඔවුන්ට ආගන්තුකයි. අංජුම් හා මෙහි තිබෙන අනෙක් චරිත ගත්විට මොවුන් ගැන එක් නිශ්චිත අනන්‍යතාවක් ගොඩනගන්නට හැකිවෙන්නේ නැහැ. අංජුම් කියන්නේ ඉන්දියාව තුළ අතිශය බියකරු අනන්‍යතාවක් වී තිබෙන මුස්ලිම් කෙනෙක්. ඒ වගේම ඉන්දියාව 2002 දී ගුජරාටයේදී මුස්ලිම් සංහාරය අවස්ථාවේදී ඇය ඊට අහුවෙනවා. ඇය මුස්ලිම් තැනැත්තියක වුණු නිසාම මෙහිදී පීඩා වින්ඳත් හිජ්රා තැනැත්තියක වුණු නිසා ඉන් මින් මිදී පලායන්නට ඇයට අවස්ථාව ලැබෙනවා. මොකද, හිජ්රාවන් මරා දැම්මොත් අවාසනාව උදාවෙන බවට වූ විශ්වාසයක් ඉන්දියාවේ තිබෙනවා. මෙහි ඉන්න හැම චරිතයක්ම කුලය, ආගම වැනි දේවල් වලට සීමාවී තිබෙනවා. විවිධ මිනිස්සු ඇසුරු කරමින්, විවිධ භාෂාවන් කතාකරන පිරිසක් අතරේ අනන්‍යතා රැසක් කලවම් වුණු සමාජයක් ඇතුළේ අති දරුණු දඬුවම් විඳගනිමින් ඔවුන් ජීවත් වෙනවා.
ඇත්තටම, මේ කෘතිය භීතියෙන් පිරී ගොස් තිබෙන නමුත්, එහි නම The Ministry of Utmost Happiness යන්න තුළ බලාපොරොත්තුවක් ගැන වූ අර්ථයක් ගෙන දෙනවා. ඔබේ නවතම කෘතියට යොදා තිබෙන නම ගැන කිව්වොත් ? භීතිය පමණක් ගැබ්ව තිබෙන කෘතියක් තරමක් නීරස විය හැකියි. හැම පොතක්ම අනිවාර්යයෙන්ම සුන්දර විය යුතු බව මා හිතන්නේ නැහැ. මේ කෘතිය ගත්විට එහි ආදරය, කවිය, සංගීතය, හාස්‍යය මේ හැමදෙයක්ම ගැබ්වී තිබෙනවා. විශේෂයෙන්ම, මෙහි මවා තිබෙන චරිත කෙතරම් පහළ මට්ටමේ ජීවිතයක් ගතකළත් කෘතිය අවසානයේදී මෙහි සිටින චරිත හරහා මතුකරන හාස්‍යය වැදගත්. මා ජීවත් වුණු තැනද මේ වගේ දේවල් වලට බොහෝ දුරට සම්බන්ධ වුණු තැනක්. ප්‍රතිපත්තිමය හෝ සම්මුතිගත දෑ ගැන අවධානයට ලක්කිරීම අතිශය පීඩාකාරියි. නමුත්, ජීවිතයේ අන් වෙන කිසිවක් තෝරාගන්නට නොහැකි නමුත්, නොමැරී ජීවත්වෙන්නට සිද්ධ වෙන කෙනෙක්, තමුන් වැනිම වූ අනෙකුන් ගැන හාස්‍යය මවා තිබෙනවා. හැමවිටම බලාපොරොත්තු විරහිත බව පමණක්ම මවාපෑමට අපට බැහැ- බලාපොරොත්තුව ගැනත් කියන්නට සිද්ධවෙනවා. ඒ වගේම හැමවිටම බලාපොරොත්තුව ගැනත් කියන්න බැහැ – බලාපොරොත්තු කඩවීම ගැනත් කිවයුතුයි. හැමදේම අනික් සියලු දේ සමග වෙන් වී තිබෙනවා. කාලයත් සමග ගුජරාටයෙන් නික්මී එන අංජුම් තමන්ගේ ජීවිතේ ගතකරන්නට අන් කිසිම මගක් නැතිව සොහොන් බිමක ජීවත්වෙන්නට යනවා. ටික කලකින් ඇය ඒ ජීවිතයට හුරුවෙලා අවසානේදී ඒ සොහොන් බිමේ තියෙන එක් එක් සොහොන් ගැබවල් යොදාගනිමින් ඒවා කාමර ලෙස භාවිත කරමින් ලැගුම් හලක් පටන්ගන්නවා. නොපැහිදිලි මරණය සටහන් වී තිබෙන ජීවිතයක්, ධෛර්යයෙන් හා බලාපොරොත්තුවෙන් වෙනස් වෙන්නේ කෙලෙසින්ද යන වල මින් හඳුනාගන්නට හැකියි. මියයන අය, සොහොන් බිමේ වැළලූවන් මේ සොහොන් බිමේ ජීවත්වෙන්නට පැමිණෙනවා. හින්දියෙන් ඇසෙන ගායනා, ඉංග්‍රීසියෙන් ඇසෙන ශේක්ෂ්පියර්ගේ කවි වගේ දේවල් හරහා එක්තරා විදියක විප්ලයක් දැකගන්නට හැකියි. ඔබ පහුගිය වසර 20 පුරාම ඔබ කිසිම නවකතාවක් රචනා කළේ නැහැ. මේ නිහඬ කාලය ගැන සිහිපත් කළොත් ? ඇත්තටම ඒ කාලය තරමක විරාමයක් ගත් කාලයක් විදියට හඳුන්වන්නේ නැහැ. The God of Small Things පසුව පවා මං හුදෙක් නවකතා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවට පත්වෙනු ඇති බව හිතුවේ නැහැ. . The God of Small Things 2 නමින් කෘතියක් නොඒ යැයි මා හිතුවේ නැහැ. මට තවත් නවකතාවක් ලියන්න සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මා එය ලියාවි යැයි හිතුවා. මේ නවකතා ද්විත්වය තරමක විශ්වීය බවක් නිර්මාණය කළා. අත්දැකීම් රැස්කරගෙන, ලෝකය ගැන තේරුම් ගෙන නවකතාවක් රචනා කරන්න තරමක කාලයක් ගතවෙනවා. මෑතකදී දිල්ලියේදී මගෙන් කෙනෙකු ඇහුවා මං The God of Small Things නවකතාව කියෙව්වා. නමුත්, අරුන්දතීට ආයේ කවදාවත් නවකතාවක් ලියන්නට නොහැකි වේ යැයි මං හිතුවා. මට කතාකරපු ඒ තැනැත්තා කිව්වේ ඔබ මේ කෘතියට හැමදේම ඇතුළත් කර තිබෙනවා කියලයි. ඉන් වසර 20 කට පස්සේ නැවතත් කෘතිය තුළත් ඔබ ඒ උත්සාහයම ගෙන තිබෙනවා යන්නයි. ඉතිං මං ඔහුට කිව්වේ සමහර අවස්ථා වලදී අපිට මරාගෙන මැරෙන බෝම්බකාරයෙකු වගේ ලියන්න සිද්ධවෙන බවයි. අපි ළඟ තියෙන හැමදේම අපේ නිර්මාණය තුළට යොදලා ඊටපස්සේ, නැවත අපිවම සොයාගන්නට සිද්ධවෙනවා. කිසිම මොහොතක අප සතුව තිබෙන දේවල් බැංකු ගිණුමක දාලා සුරක්ෂිත කරගෙන ඉදිරියේදී පාවිච්චියට ගන්නවා වගේ වැඩක් කරන්නට බැහැ. අපි සතුව තිබෙන හැමදේම නිර්මාණයකට දෙන එකත් එක්තරා විදියක අවදානමක්. හැබැයි, මේ අවදානම අරගෙන ආයෙමත් ජීවත් වෙන්න සිද්ධවෙනවා. ඊට පස්සේ වෙනත් විශ්වයක් නිර්මාණය කරන්නට ඔබට හැකියි. මේ බව කියන්න අලුත් භාෂාවක් හොයාගන්නට සිද්ධවෙනවා. පවතින භාෂාවම නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා පාවිච්චි කරන්නට හැකිවෙන්නේ නැහැ. ඊයේ මම The Ministry of Utmost Happiness කෘතියේදී මං යොදාගත්ත භාෂාව ගැන දේශනයක් කළා. The God of Small Things කෘතියේ භාෂා භාවිතය හා The Ministry of Utmost Happiness භාෂා භාවිතය ගැන මෙහිදී විස්තර කළා. මේ කෘතිදෙකේදී භාවිත කරපු භාෂාව ගැන කිව්වොත් ඒ අත්දැකීම හරියට උසින් වැඩි ගොඩනැගිල්ලක ඉඳන් යටින් තියෙන සොහොන් භූමියක තියෙන පුංචි පුංචි කෑලි අහුලනවා වගේ වැඩක්.
හ;ඤු ඔබ වසර 20 ක් පුරාවට නවකතා නොලිව්වත් වෙනත් ලේඛනයන් සමගින් කාර්යබහුල වී සිටියා. ඇත්තටම, ඔබට නවකතා අතිශය වැදගත් මාධ්‍යක් වන්නේ ඇයි ? නවකතාවකදී මගේ හැම හැකියාවක්ම ඊට යොදවනවා. නවකතාවක් නොවන යමක් මගේ අතින් ලියවෙනවා නම් අනිවාර්යයෙන්ම එය විවාදාපන්න කාරණයක්, නැත්නම් මැදිහත්වී පැහැදිලි කිරීමක් කළ යුතු කාරණයක් හෝ විශේෂයෙන් සොයා බලා ප්‍රතිචාර දැක්විය යුතු කාරණයක් විය හැකියි. මේ හැමදේම තුළ හඳුනාගන්නට හැකිවෙන්නේ කඩිනමින් ලිවිය යුතු ලේඛනයක් යන්නයි. ප්‍රබන්ධ රචනා කලාව මට දැනෙන්නේ එක්තරා විදියක නැටුමක් වගෙයි. මට ලියන්න ඕන වෙන කිසිම දෙයක් නොවන නමුත්, නවකතා පමණක්ම වන දෙයක්. ඒ ලියැවෙන දේ නෙට්ෆිලික්ස් කතා මාලාවක් නොවෙයි. නවකතාවකටම පමණක් කළ හැකි දෙයක් මා ලියන නිර්මාණය තුළින් බිහිවිය යුතුයි. The Ministry of Utmost Happiness නවකතාවක් වන්නේ ඒ නිසයි. මොකද ඒ තුළින් ඉදිරිපත් වී තිබෙන්නේ නවකතාවකින් ලියැවිය යුතු දේවල් පමණක්මයි. කාශ්මීර අර්බුදය ගැන කතා කරන්නට හැකිවෙන්නේ සාහිත්‍ය නිර්මාණයකින් පමණක්මයි. ඇමෙනෙස්ටි ජාත්‍යන්තර වාර්තා වලින් පමණක් ඒ ගැන කියන්නට බැහැ. මං නවකතා වලට බෙහෙවින් ඇළුම් කරන්නේ ඒ නිසයි. නවකතාවකින් කරවන්නට හැකිවෙන්නේ එයම පමණයි. අපි නවකතා ගැන හිතාගෙන ඉන්න අදහස බිඳදමන්නට හැකිවෙන්නේ එබැවිනුයි. The Ministry of Utmost Happiness නවකතාව ලියැවෙන්නේ කොහේදීද ? මං ජීවත්වෙන්නේ නව දිල්ලියේ. මං හැමවෙලාවෙම ලියනවා. හුස්ම ගද්දි, ඇවිදිද්දි, එළවළු ගද්දි මේ හැමවෙලාවෙම මං හිතනවා. දිල්ලිය පුරාම එක එක තැන් තිබෙනවා, දිල්ලිය මගේ ලේඛන අවකාශය බව මගේ විශ්වාසයයි. බොහොම ව්‍යාකූල පරිසරයක් ඇතුළේ වුණත් මං ලියනවා. ඒ කියන්නේ ඔබට නිර්මාණකරණයේ යෙදෙන්න අතිශය සාමකාමී, නිහඬ පරිසරයක් ඕන නැහැ ? නැහැ, මට ලේඛනයේ යෙදෙන්න ලස්සන, නිහඬ පරිසරයක් වුවමනා වෙන්නේ නැහැ. මේ වෙද්දි මොනා හරි ලියනවද ? ඇත්තටම නැහැ, මේ වෙලාවේ මං ඔබත් එක්ක කතාකරනවානේ ? (සිනහවෙමින්) ඔබ අවුරුදු 20 කට පස්සේ ආයෙමත් නවකතාවක් ලියාවිද ? හ්ම්, කවුද දන්නේ ?, ඒ ගැනනම් මං දන්නෙත් නැහැ. වසර 20 න් 20 ට යන මොකක්දෝ අනුපිළිවෙලක් තියෙනවා. ඉක්මනටම තවත් නිර්මාණයක් ආවොත් හැමෝම පුදුම වේවි. ගණන් ගන්න එපා. මේක විහිළුවක් විතරයි. (සිනහවෙමින්) ඉන්දියාවේදී මේ කෘතියට මොනවගේ ප්‍රතිචාර ලැබේවිදැයි මං තරමක් වද වෙනවා. ඒක භාෂාවන් 46 කට පරිවර්තනය වේවි. ඉක්මනටම තවත් නිර්මාණයක් කිරීමේ වුවමනාවක් මට නැහැ. මං තවත් ලෝකයකට යන්න කලින්, නැත්නම් මේ පොතේ තියෙන ජනට් ලැගුම්හලට (සොහොන්බිම) යන්න කලින් පොත් මෙච්චර ගාණක් ලියන්න ඕන කියලා අදහසක් මට නැහැ. ABC පුවත් හි පළවූ සාකච්ඡාව ඇසුරෙනි

Sunday, July 8, 2018

වික්ටර් හාරා මරා දැමූ ලොක්කන්ට වස ර 18 ක සිරදඬුවම්

July 08, 2018 0 Comments
චිලියේ ජීවත්වූ ගායකයෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වූ වික්ටර් හාරාගේ ඝාතනය සමබන්ධ බවට හෙළිදරව් වූ පුද්ගලයින් 8 දෙනෙකුට පසුගිය අඟහරුවාදා (3) දින සන්තියාගෝ අධිකරණය වසර 18 ක සිරදඬුවම් නියම කෙරුණි. ඒ වික්ටර් හාරා ඝාතනය කිරීම වෙනුවෙන් වසර 15 ක් ද ඔහුව පැහැරගෙන යාමේ වරදට තවත් වසර 3 ක් ද ලෙසිනි. හාරාගේ ඝාතනයෙන් වසර 45 කට පසුව ඔහුගේ පවුලේ පිරිසට සාධාරණය ඉටුකරමින් මෙම දඬුවම ලබාදුන්නේ විනිසුරු මිගෙල් වස්කෝස් විසිනි. චිලියේ පැවති මිලිටරි ආඥාදායකත්ව පාලන සමයේදී මොවුන් හමුදා රාජකාරියේ නියැලුණු අතර එකල මේ පිරිස් අමානුෂික වධහිංසා කිරීමට සම්බන්ධ වූ බව හෙළිදරව් වී ඇත. ලතින් ඇමරිකානු කලාපය තුළ පත්වූ පළමු මාක්ස්වාදී ජනාධිපතිවරයා වූ සැල්වදෝර් අයියන්දේට සිය සහය ලබාදුන් වික්ටර් හාරා ඝාතනයට ලක්වන්නේ ආඥාදායක ඕගස්ටෝ පිනෝචේගේ සහචරයින් අතිනි. 1973 සැප්තැම්බර් 11 වැනිදා ජනාධිපති මැදුරට ඇතුළු වන පිනෝචේගේ සහයකයින් විසින් අයියන්දේව බලයෙන් පහ කර දැමුණි. සිරකරුවන් දහසකට අධික පිරිසක් රඳවා සිටි ක්‍රීඩාංගණයකට වික්ටර් හාරාව රැගෙන යන පිනෝචේගේ සගයින් ඔහුගේ අතපය බැඳ දමා පහරදී අනතුරුව ඔහුව ඝාතනය කර තිබුණි. මේ වධ බන්ධන වලින් නොනැවතී හාරාගේ සිරුරට වෙඩි උණ්ඩ 44 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබුණු අතර පිනෝචේට එරෙහි වන අයට මෙවැනි දඬුවමක් ලබාදෙන බවට ඉන් අනතුරු ඇඟවීය. අයියන්දේගේ පාලන සමයේදී බන්ධනාගාර ප්‍රධානී ලෙස කටයුතු කළ ලිට්රේ කෝරා ද මේ අවස්ථාවේදී ඝාතනයට ලක්විය. වාමාංශිකයින් යැයි සැකකෙරුණු පුද්ගලයින් 3000 කට අධික ප්‍රමාණයක් අතරින් මුල්වරට ඝාතනය වන්නේ මේ දෙපළ වීම ද විශේෂය. මොවුන් දෙදෙනාගේ මළ සිරුරු නගරයේ සුසාන භූමිය ආසන්නයේ වීථියක දමාගොස් තිබියදී හාරාගේ මළ සිරුර හඳුනාගත් තැනැත්තෙකු ඒ බව ඔහුගේ බිරිඳ වූ ජොන් ටර්නර් හාරා හට දන්වා තිබුණි. 2009 වසරේදී හාරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරෙන්නේ ඔහුගේ පවුල පිරිස මෙහි වග උත්තරකරුවන් සොයාගැනීමට දරන ලද වෑයමත් සමගය. හාරාගේ ඝාතනයෙන් වසර 45 කට පසුව ඔහුගේ ඝාතකයින් නීතියේ රැහැනට හසුවීම විශේෂය.

Friday, July 6, 2018

රාජිණී ගැන ඉංග්‍රීසියෙන් රචිත නවකතාව ජූලි 25 එළිදකී

July 06, 2018 0 Comments
මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යච්ඡේද විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී එල්ටීටීඊ සංවිධානය විසින් සාහසික ලෙස ඝාතනයට ලක්කළ රාජිණී තිරාණගම ගැන මලයාලම් බසින් ලියැවුණු Sugandhi Enna Andal Devanayaki කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය එළඹෙන ජූලි 25 වැනිදා ජනගත වීමට නියමිතය. ඒ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රකාශන සමාගමක් වන හාපර් කොලින්ස් සමාගමේ ප්‍රකාශනයක් ලෙසිනි. රාජිණීගේ ඝාතනයෙන් වසර 29 ක් ගතවීමෙන් අනතුරුව ලොව පුරා පාඨකයින්ට ඇය ගැන කියවීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම විශේෂය. Sugandhi Enna Andal Devanayaki කෘතිය මලයාලම් බසින් මීට වසර තුනකට පෙරාතුව ටී.ඩී රාමක්‍රිෂ්ණන් විසින් ලියැවුණි.
උග්‍ර සිංහල ජාතිභේදවාදය, පටු අරමුණු මත ක්‍රියාත්මක වූ ජාතිකත්වය මෙන්ම ඉන්දීය සාම සාධක බලකායේ කෘරභාවය ගැන ද ඇය නොබියව විවේචනය කළ ඇය ජනවාර්ගික හා ආගමික බාධා ඉක්මවා යමින් කටයුතු කළ රාජිණී සිංහල බෞද්ධ පසුබිමක හැදී වැඩුණු සමාජ ක්‍රියාකාරිකයෙකු හා විවාහ වූවාය. ඇගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථාන මේ කෘතිය තුළ දිගහැරී ඇත. Sugandhi Enna Andal Devanayaki කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති ප්‍රියා කේ නායර් පවසන්නේ, ‘‘මලයාලම් බසින් ලියැවී තිබෙන බොහෝ නවකතා, කෙටිකතා වලට පදනම් වී තිබෙන්නේ කේරළයයි. මේ සීමාවෙන් ඔබ්බට ගිය අත්දැකීම් ගැන මලයාලම් බසින් ලියැවෙන්නේ බොහෝ කලාතුරකිනුයි. නමුත්, රාමක්‍රිෂ්ණන්ගේ නවකතා හුදෙක් කේරළයට පමණක් සීමා වුණු ඒවා නොවේ. Sugandhi Enna Andal Devanayaki නවකතාව ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ලියැවී තිබෙනවා. මේ නවකතාවේදී ලෝකය එහි සීමාව තුළට ගෙනැවිත් තිබෙනවා. කර්තෘ ඔහු මවන කතාව ඉදිරිපත් කිරීමේදී දේශසීමා ඉක්මවා යාම අභියෝගයට ලක්කර ඇත.‘‘ යන්නයි.
වැඩිදුරටත් අදහස් පළකරන ඇය පවසන්නේ ‘‘මේ නවකතාව සමකාලීන සමාජයත් සමග මනාව ගැළපෙන අතර ඒකාධිපති බල ව්‍යුහයන්ට එරෙහිව නැගෙන බලගතු ප්‍රකාශයක් ද වෙනවා. මේ නවකතාව හුදෙක් කේරළයට පමණක් සීමා නොවිය යුතුයි. ඒ වගේම යුද්ධයේ කෘරත්වය අත්විඳි ඕනෑම සංස්කෘතියකට මේ නවකතාව මනාව ගැළපෙනවා. ‘‘ යන්නයි. ප්‍රියා ශාන්ත තෙරේසා විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරියක ලෙස සේවය කරන අතර රාමක්‍රිෂ්ණන් විසින් රචනා කළ Alpha හා Francis Itty Cora ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේය ඇය විසිනි. දමිළ කෘතීන් ගණනාවක් මලයාලම් බසට පරිවර්තනය කර තිබෙන රාමක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට අධ්‍යනය කරමින් සිටියි. ‘‘මගේ නවකතාවට පසුබිම් වී තිබෙන්නේ ලංකාවේ සමකාලීන ඉතිහාසයයි. කෘතිය තුළ මවන ෆැන්ටසියේදී රචනා මේ ඉතිහාසගත කරුණු පදනම් කරගනිමින් වෙනස් විදියකට නවකතාව රචනා කරන්න උත්සහ ගෙන තිබෙනවා. ලංකාවේ ජනවාර්ගික බෙදීම් වල සංකීර්ණත්වය ගැන හොයාබලන්නට මා පෙළඹ වූවේ රාජිණීගේ ඝාතනයයි. එල්ටීටීඊ සාමාජිකාවක වුණු ඇගේ වැඩිමහල් සොහොයුරිය නිර්මලාගේ චරිතයෙන් පෙළඹෙන ඇය අතිශයින්ම ජාතිකවාදී කණ්ඩායම් සමග පවා එක්ව කටයුතු කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය මගින් පිරිනැමූ ශිෂ්‍යත්වයක් හිමිකරගන්නා රාජිණී 1983 දී ලන්ඩනයේ ලිවර්පූල් වෛද්‍ය විද්‍යාලය වෙත යනවා. තමන් ජීවත් වුණු කලහකාරී පරිසරයෙන් මිදුණු ඇය අසාධාරණයට එරෙහිව සිය හඬ නැගීම අත්හැර දමන්නේ නැහැ.‘‘
එල්ටීටීඊය දෙස සානුකම්පිත හැඟීමෙන් බැලුව ද අවිගත් අරගලය නිෂ්ඵල බව වටහාගන්නා ඇය ඉන්පසු එල්ටීටීඊ ය විවේචනය කරන්නියක බවට පත්වෙනවා. ඇයව එල්ටීටීඊ ය විසින් ඝාතනය කරන ලද බව මා විශ්වාස කරන්නේ නැහැ. නමුත්, සත්‍ය කතා කරන්නට දැක්වූ නිර්භීතත්වය ඇගේ ඝාතනයට හේතුවී තිබීම මේ නවකතාව රචනා කරන්නට මාව තදින් පෙළඹ වූ කරුණක් වුණා‘‘ යැයි Sugandhi Enna Andal Devanayaki කෘතිය ගැන සිය හඬ අවදිකරන රාමක්‍රිෂ්ණන් පවසයි. (The Hindu ජූලි 5 වැනිදා පළවූ කේ.ඒ. සාජි ගේ ලිපිය ඇසුරිනි)

Tuesday, July 3, 2018

‘මං මේ නවීන ලෝකයේ සමලිංගික ජීවිතයක් ගතකරනවා‘ – සාරා වෝටර්ස්

July 03, 2018 0 Comments
\ ‘‘කොලේජ් අධ්‍යාපනයෙන් පස්සේ අවුරුදු 19 ඉඳන් 25 වගේ වෙනතෙක්ම මගේ සමීපතම මිතුරියක් එක්ක කාලේ ගතකළා. මේ සමය සමලිංගික ඇසුරක් පවත්වන්න තරම් හොඳ කලක් වුණේ නැහැ. අපි දෙන්නා අතර අති සමීප ඇසුරක් පැවතුණත් ඒ සබැඳියාව බොහොම අඳුරෙන් පිරිලා තිබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසාන වතතෙක්ම මං ලෝකයට විවෘත වුණේ නැහැ. අපි ලන්ඩනයට ගිහිං එහේ සමලිංගික සමාජයට එකතු වුණාට පස්සේ බොහොම නිදහස් හා විශ්වාසවන්ත බවක් ජීවිතයට දැනෙන්න ගත්තා. ඉතිං, නොදැනීම වුණත් මගේ ජීවිතේ අවුරුදු 20 විතර ඉඳන් සමරිසි තේමාවන් ගැන විවෘතව කතාබහ කරන්න යොමුවුණා.‘‘ ඇය සාරා වෝටර්ස්. සිය ආචාර්ය උපාධි නිබන්ධනයට තෝරාගත් පර්යේෂණ මාතෘකාව සාරාගේ ජීවිතයට ආලෝකයක් ගෙනඑන්නේ ලොවක් හඳුනන ලේඛිකාවක් බවට පත්කරලයි. සමරිසි පිරිමින් හා කාන්තාවන් සම්බන්ධ ඉතිහාසගත තොරතුරු ඔස්සේ සිය ආචාර්ය උපාධි නිබන්ධනය ලියන ඇයට මේ තේමාව ගැන තවදුරටත් ගවේෂණය කිරීමේ පෙළඹවීමක් ලැබෙනවා. 19 වන සියවසේ කාමෝද්දීපන සාහිත්‍ය ගැන ඇය වඩ වඩාත් කියවීමට පෙළඹෙන්නේ ඇගේ පර්යේෂණයේම කොටසක් ලෙසිනුයි. ඒ අනුව ඇගේ පළමු කෘතිය වූ Tipping The Velvet බිහිවෙනවා. 1890 වික්ටෝරියානු යුගයේ එංගලන්තය පසුබිම් කරගෙන ලියැවුණු මේ කෘතියේ තේමාව වී තිබෙන්නේ පුරුෂයෙකු ලෙස වෙස් වලාගෙන සිටින තරුණියක තවත් තරුණියකට පෙම් බඳින අයුරු හා අවසානයේදී ඔවුන් දෙදෙනා ලන්ඩනය වෙත පලායන අයුරුයි. ‘‘Tipping The Velvet කෘතිය රචනා කරන්න පටන්ගත්තේ අවුරුදු 29 දී විතර. 1995 අවුරුද්දේ. ඒත්, මේ පොත මුද්‍රණය කෙරුණේ මට අවුරුදු 32 දී. මෙය තරමක සාධනීය කටයුත්තක් ලෙස හඳුනාගන්නට හැකියි. සමරිසි තේමාවන් රැගත් කෘතීන් පරිශීලනය කරන්න මේ කාලේ නැඹුරු වෙලා හිටියා. මෙවැනි කෘතීන් බොහෝ ප්‍රමාණයක් මුද්‍රණය වුණේ 1980 -1990 කාලසමයේදී. මොකද, මේ ගැන ඇතිවුණු කතාබහ රැල්ලක් වගේ වර්ධනය වෙමින් තිබුණා. ඉතිං, මටත් ඒ ආභාසය ලැබුණා. සමලිංගික ජීවිතය ගැන බොහොම විශ්වාසයෙන් රචනා කිරීම හා එය ඵෙතිහාසික නවකතාවක් බවට පත්කිරීමේ වුවමනාවක් මට තිබුණා. ඇත්තටම ඒක බොහොම විපරම් සහගතව කළ යුතු කටයුත්තක්. මේ කාර්යය ආකර්ශණීය, විනෝදබර විදියට වගේම සාධාරණ හා බුද්ධිමත් ලෙස සිදුකරලා පාඨකයින්ට අතීතය ගැන නැවතත් සිහිපත් කරවන තැනට පත්කිරීමේ වුවමනාව මට තිබුණා.‘‘ ලෙස ඇය අතීතය ස්මරණය කරයි. Tipping The Velvet නවකතාවට හිමිවූ සාර්ථකත්වයත් සමගින් ඇය Affinity, Fingersmith, The Night Watch හා The Little Stranger කෘතීන් ද රචනා කළාය. පසුකලෙක Affinity, Fingersmith නවකතා සිනමා නිර්මාණ බවට ද පත්වෙන අතර කොරියානු සිනමා අධ්‍යක්ෂක පාක් චාන් වූක් ඔහුගේ The Handmaiden සිනමාපටයට ආභාසය ලබාගන්නේ සාරා ලියූ Fingersmith කෘතියෙනි. මෙහි තේමාව වී තිබෙන්නේ තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවන සමරිසි ප්‍රේමයකි. කාන්තාවන් ගැන ලියැවී තිබෙන ඉතිහාසගත කරුණු වලට, ඔවුන්ගේ රහසිගත ජීවිතයට මෙන්ම ගෘහස්ත ජීවිතයට වැඩි අවධානයක් දෙන නිසා මෙවැනි තේමාවන් වලින් යුතු කතා තමන් විසින් නිර්මාණය කෙරෙන බව සාරාගේ විශ්වාසයයි.
සාරා වෝටර්ස්ව බොහෝ දෙනෙකු හඳුනාගෙන සිටින්නේ සමරිසි තේමාවන් ගැන ලියන ලේඛිකාවක ලෙසිනුයි. මේ ගැන ඇය පවසන්නේ, ‘‘සමරිසි තේමාවන් ගැන කියවන පාඨකයින් බොහෝ දෙනෙකු මට කියන්නේ ‘අපි ඔයාව සමලිංගිකත්වය ගැන ලියන ලේඛිකාවක් විදියට නම් කරන්න ඕනද ?, අනික් හැමෝම වගේම ඔබත් ලේඛිකාවක්නේ‘ කියලා. මේ කතාව ඇත්තක් වුණත් මා ලියූ The Little Stranger කෘතිය හැර අනික් හැම කෘතියකටම පදනම් වී තිබෙන්නේ සමලිංගිකත්වයයි‘‘ යන්නයි. ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය කෘතීන් අතරින් සමලිංගිකත්වය යන්නට හිමිවන්නේ කුමන ස්ථානයක්ද ? මෙවැනි තේමාවන් ගැන ලේඛනයේ යෙදෙන්නෙකුට පාඨකයින් වෙතින් මෙන්ම මාධ්‍ය තුළ හිමිවෙන්නේ කුමන අන්දමේ ප්‍රතිචාරද ? යන්න සාරා වරෙක ප්‍රංශයේදී මුහුණදුන් අත්දැකීමක් ඇසුරින් හඳුනාගත හැකියි. ‘Fingersmith කෘතියට ලැබෙන අසීමිත ප්‍රතිචාර වලින් මං පුදුමයට පත්වුණා දැයි මෙහි ප්‍රචාරණ කටයුතු අතරතුරදී ප්‍රංශ මාධ්‍යවේදිනියක් මගෙන් විමසුවා. ‘ඔව්‘ පෙරළා උත්තර දුන්නු මං කිව්වා. ‘ඔබ හිතන්නේ සමරිසි තේමාවන් රැගත් කෘතීන් ප්‍රධාන සාහිත්‍ය ධාරාව ඇතුළේ අසාර්ථක වෙන බවද ?‘ ආයෙත් ඇය විමසා සිටි අවස්ථාවේදී මං කිව්වේ ‘අපොයි නැහැ‘ යන්නයි. මං ලේඛනයේ යෙදෙන විෂය පථය කෙතරම් පටු දැයි යන්න මේ කතාව අවසානේදී මට තේරුම් ගියා‘‘ මේ වනවිට 51 හැවිරිදි වියේ පසුවන සාරා වෘත්තීමය ලේඛිකාවක ලෙස තරමක නිහඬ ජීවිතයක් ගතකරන්නීය. සතියේ දින පහ පුරා ලේඛනයේ යෙදෙන ඇය දිවිගෙවන්නේ ලන්ඩනයේ දකුණු දිගට වන්නටය. වසර කීපයක් පුරා සාරාගේ සහකාරිය වී සිටින්නේ Lucy Vaughan ය. පර්යේෂිකාවක ලෙස ලේඛනයට පිවිසී සමරිසි තේමාව ඔස්සේ ලේඛනයේ නිරත වන සාරා ඇය ගැන පවසන මේ ප්‍රකාශයෙන් සටහන නිමා කරන්නම්. ‘‘මං මේ නවීන ලෝකයේ සමලිංගික ජීවිතයක් ගතකරනවා. ඉතිං, මා ගෙවා දමන ඒ ජීවිතය ගැන ලිවිය යුත්තේ ඇයි ? දැයි යන්න ගැන පැහැදිලි අදහසක් නැති වුණත්, අලුත් දේවල් ගවේෂණය කරන්න මං කැමතියි. මා නවකතා රචනා කරන්නේ සමලිංගිකත්වය ගැන පැහැදිලි දැක්මකින් යුතුවයි. ඒ හැඟීම මගේ හදවතේ ගැඹුරුම තැන රැඳී තිබෙනවා. සමරිසි තේමාව සාහිත්‍ය කෘතීන් තුළින් කතාබහට ලක්වීම ද විශේෂයි. මන්ද, බොහෝ සමරිසි පිරිස් තුළ ද තිබෙන්නේ මෙවැනි හැඟීමක්.‘‘ (2018 ජූනි 08 වැනිදා ‘අනිද්දා‘ පුවත්පතේ පළවූ ලිපිය)

අපි තාම ප්‍රමාද නැහැ – රුයිචි සකමොතෝ

July 03, 2018 0 Comments
‘සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50 ක විතර කාලයක්. මේ කෙටි කාලේදී මිනිස්සු අපේක්ෂා කරන්නේ දෙවියෝ ඇවිල්ලා තමුන් බේරාගනීවි කියලා. නමුත්, මේ දෙවියෝ කිසි දවසක එන්නේ නැහැ.‘‘ – රුයිචි සකමොතෝ ඔස්කාර් සම්මාන දිනූ ජපන් ජාතික සංගීතඥයෙකු වන රුයිචි සකමොතෝ සුවිශේෂී හැකියාවන්ගෙන් පිරුණු තැනැත්තෙකි. ගායන ශිල්පියෙකු, සංගීත සංරචකයෙකු, සංගීත නිර්මාණ නිෂ්පාදකයෙකු, ලේඛකයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු ද වන රුයිචි න්‍යෂ්ටික බලශක්තියට එරෙහිව හඬ අවදිකරන සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද ජනාදරයට පත්වී ඇත. කෙසේවුවත්, කලෙක ගෙළෙහි හටගත් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටින සමයේදී කලෙක විකිරණ ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළ ඔහු සිය ජීවිත අවදානම හේතුවෙන් අවසානයේදී විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට සිය කැමැත්ත පළකළේය. The Last Emperor සිනමාපටය වෙනුවෙන් 1988 වසරේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු Merry Christmas Mr. Lawrence (1983), The Sheltering Sky (1990), Little Buddha (1993), The Revenant (2015) ආදී සිනමාපට වලට ද සංගීතයෙන් දායක වූවේය. Thousand Knives (1978), B-2 Unit (1980), Left-Handed Dream (1981), Ongaku Zukan (1984), Esperanto (1985), Futurista (1986), Neo Geo (1987), Beauty (1989), Heartbeat (1991), Sweet Revenge (1994), Smoochy (1995), 1996 (1996), Discord (1997), BTTB (1999), Comica (2002), Elephantism (2002), Chasm (2004), Out of Noise (2009), Playing the Piano (2009), Three (2013)හා async (2017) ඔහු විසින් කළ සංගීත නිර්මාණ අතරින් කීපයකි. සකමොතෝගේ ජීවිත කතාව අළලා සකස් කළ Ryuichi Sakamoto: Coda වාර්තා සිනමාපටය පසුගිය ජූනි 29 වැනිදා සිට එක්සත් ජනපදයේ තිරගත කිරීම ඇරඹුණි. ස්ටීවන් නොමුරා ෂිබල්ගේ අධ්‍යක්ෂණයක් වන මේ සිනමාපටය සකමොතෝගේ සංගීත දිවියේ සුවිශේෂී සිදුවීම් මෙන්ම පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් ද පදනම් කරගනිමින් නිර්මාණය වී ඇත. සකමොටෝගේ සමකාලීනයෙකු මෙන්ම කලක් ඔහු සමග එකට රංගනයෙන් දායක වූ ඩේවිඩ් බෝවේ ගැන මතකය අවදි කරමින් ඔහු අප සමග සාකච්ඡාවට පිවිසුණේ මෙලෙසිනි. මුලින්ම ඔබේ සුමිතුරෙකු වුණු ඩේවිඩ් බෝවේ ගැන සිහිපත් කරන්න කැමතියි ? ඔහු හා හා මා අතර තිබුණු සමීප සම්බන්ධය 90 දශකයේදී අහිමි වී ගිය බව දැනුණා. ඔහු නිව්යෝර්ක් වල ජීවත්වෙන බව මා දැන හිටියා ඒ වගේම ඔහුව කවදහරි දිනකදී මඟතොටේදී හෝ අවන්හලකදී මට හමුවෙනු ඇති බව හිතුණා. ඉතිං, ඒ නිසාම ඩේවිඩ්ව සම්බන්ධ කරගන්න මං ලොකු උත්සහයක් දැරුවේ නැහැ. ඒත් සමගම ඔහු අපෙන් සමුගත්තා. ඇත්තටම, මට ඒ ගැන ලොකු කණගාටුවෙක් තියෙනවා. ඔහුගේ අන්තිම ඇල්බමයට මං බෙහෙවින් ඇළුම් කළා. ඩේවිඩ් මියයන්න දින දෙකකට කලින් ඔහුගේ හඬ බොහොම ප්‍රාණවත්ව ඇහුණා. ඒ හඬ ජවයෙන් පිරී ඉතිරී තිබුණා. ඔහුගේ ජවය යෙදවුණු අවසන් අවස්ථාව වගේද ? ඔව්, නමුත් ඔහුගේ ජවය යෙදවූ අවසන් අවස්ථාව එය බව අප දන්නේ නැහැ. සමස්ත ඇල්බමය පුරාම දැනෙන්නේ ඔහු බොහොම ශක්තිසම්පන්නව හා අනාගතය ගැන යහපත් බලාපොරොත්තුවෙන් යුතුව හැකියාවන් පෙන්වන බවයි. එය ඔහුගේ අවසන් කැමැත්ත බව කිසිම විටක දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් ගැන හරිහැටි තේරුම් ගන්නට නොහැකි මේ හා සමාන අත්දැකීමකට ඔබ මුහුණපාලා තිබෙනවද ? හැමවිටම, ඔහු වගේම මාත් පිළිකාවකින් පෙළුණා. ඉතිං, ඔහු විඳි අත්දැකීම් හා සමාන අත්දැකීම් මාත් අත්වින්ඳා. නමුත්, වාසනාවකට වගේ මං සනීප වුණා. නමුත්, එහෙම සනීප වෙන්න වාසනාවක් ඔහුට තිබුණේ නැහැ. කෙනෙක්ට බුහුමන් කිරීම ඔබ දකින්නේ කොහොමද ? ඩේවිඩ් බෝවේ හෝ ලෝ රීඩ් වැනි බොහෝ දෙනෙකු එක තැනකට පැමිණියාම ඔවුන්ගේ ශක්තිය කෙතරම් දැයි දැනුණු අවස්ථා තිබුණා, ඔවුන් කවුරුන්දැයි යන්න ඔවුන් දැනහිටියා. ඔබත් මෙවැන්නක් හඳුනගන්නවද ? සාම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය තුළ හැදී වැඩුණු අයෙකු විදියට මං ඔවුන් වගේ කෙනෙකු නොවෙයි. බුදුදහමට මා දක්වන දැඩි ඇල්ම නිසා මෙවැන්නක් සිදුවී තිබෙනවා. මා බොහෝ දිගු කාලයක පටන් ශුන්‍යයත්වය ගැන හිත යොමුකරන්නට පටන්ගෙන තිබෙනවා. මේ සංකල්පය බුදුදහමේ එන මූලික ඉගැන්වීමක්. මමංකාරය අශුන්‍යයි. දැක්ම ද අශුන්‍යයි. ලොවපුරා විවිධ දේශයන්ට අනන්‍ය වූ සංස්කෘතිය ගැනද මා බොහෝ උනන්දුයි. ඇබෝර්ජිනර්වරු, ස්වදේශීය ඇමරිකානු ජනතාව, ජපානයේ අයිනු ජනතාවගේ ආදී පිරිස් වල සංස්කෘතිය ගැන දැනගන්න මා බොහෝ උනන්දු වෙනවා. ඔවුන්ගේ ජීවන විලාසිතාව මට අතිශය සමීපයි. ඉතිං, මං මමංකාරයෙන් ඔළුව උදුම්මාගත්ත බටහිර ජාතිකයෙකු නොවෙයි. ඔබේ නිර්මාණ, සංගීත කුසලතාව ලොව පුරා නගර වල ප්‍රදර්ශනය කරන විට විශේෂයෙන් කිව යුතු පණිවිඩයක් තිබෙනවාද ? මගේ සංගීත නිර්මාණ හරහා දේශපාලන හෝ සමාජයීය වශයෙන් වැදගත් පණවිඩයක් විශේෂයෙන් ලබාදෙන්නේ නැහැ. ඉතිං, මගේ රසිකයින්ට මං ලබාදෙන පණිවිඩය කුමක්දැයි දන්නේ මගේ නිර්මාණ තනි තනිව විඳගන්න රසිකයින්ම පමණයි. නමුත්, මගේ විශ්වාසය වෙන්නේ ඔබේ හැම නිර්මාණයක් පුරාවටම දේශපාලනික වශයන් වැදගත් පණිවිඩයක් ගැබ්වී තිබෙන බවයි ? හ්ම්, එවැනි දේශපාලනික දෙයක් ගැන කියන්න මං යොදාගන්නේ මගේ සංගීතය නෙමෙයි. වචනයි. සාමාන්‍ය මනුස්සයෙක් විදියට මං එවැනි දෑ වචන හරහා කියනවා. නමුත්, මගේ සංගීතය හරහා ප්‍රකාශ කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. සංගීතය එය විසින්ම තනිව නැගී සිටිය යුතු දෙයක් මිස මගේ දේශපාලනික හා සමාජමය පණිවිඩ රැගෙන යන මාධ්‍යයක් නොවිය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. ඔබේ ජීවන අත්දැකීම් පදනම් කරගනිමින් 2017 වසරේදී ස්ටීවන් නොමුරා ෂිබ්ලි විසින් නිර්මාණය කළ Ryuichi Sakamoto: Coda වාර්තා චිත්‍රපටිය නැරඹුවාද ? ඔව්, ඇත්තටම ඒක මගේ වාර්තා චිත්‍රපටියක් නොවෙයි ඔබ එය මුලින්ම නැරඹුවේ කවද්ද ? මීට අවුරුද්දකට කලින් ඔබ Ryuichi Sakamoto: Coda වාර්තා චිත්‍රපටය මුලින්ම නැරඹූ අවස්ථාවේදී නැවත ඔබේ තරුණ කාලේ ගැන දුටුවම හිතුණේ මොනවද ? හ්ම්, මගේ තරුණ කාලේ දිහා ආපහු බැලුවම ඔහුට හොඳ කණේ පාරක් දෙන්න ඕන බව හිතුණා. ඒ තරුණයා ඔළුව උදුම්මාගත්ත, වුවමනාවටත් වඩා බලාපොරොත්තු වලින් පිරුණු, හැමදේම පමණටත් වඩා තිබුණු කෙනෙක්. ඇත්තටම ඔබට තිබිලා තියෙන්නේ බොහොම සුන්දර ජීවිතයක්නේ. ඔබ අහම්බෙන් වගේ නිර්මාණ ජීවිතයට පිවිසිලා තිබෙන්නේ. නමුත්, ඔබේ ජීවිතයේ හා සංගීතයේ තිබෙන මෙලන්කොලියාව මේ මේ වාර්තා චිත්‍රපටය තුළ ඇති බව එය නැරඹූ විට මට හිතුණා. ඔබ මේ කතාවට එකඟ වෙනවාද ? ඔව්, ඇත්තටම මගේ සංගීතය තුළත් ඒ මෙලන්කොලියාව තිබෙනවා ඒ වගේම ඔබ තුළත් මෙලන්කොලියාව තිබෙනවා ? හ්ම්, මං එහෙම හිතනවා මේක ඇතිවෙන්නේ කොතැනින්ද ? හ්ම්, ඇත්තටම ශෝකය ඉපදෙන්නේ මං ජීවිතය දෙස බලන අන්දමත් සමගයි. පාරිසරික ගැටළු නිසා ලෝකය විනාශ වේ යැයි 90 දශකයේ මුල් අවදියේදී මට හිතෙන්න ගත්තා. ඉතිං, 90 දශකයේ අගභාගයේදී මං මේ ගැන කතාකරන්න ගත්තම මගේ රසිකයින් බොහෝදෙනෙකු හිතුවේ මං උමතු බවයි. Bach and back දුක හා ශෝකය ගැබ්වුණු සංගීත නිර්මාණ කරන සමයේදී මා ඔවුන්ගේ සුවිශේෂී රසිකයෙක් බවට පත්වුණා. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50 ක විතර කාලයක්. මේ කෙටි කාලේදී මිනිස්සු අපේක්ෂා කරන්නේ දෙවියෝ ඇවිල්ලා තමුන් බේරාගනීවි කියලා. නමුත්, මේ දෙවියෝ කිසි දවසක එන්නේ නැහැ. දුක ගැබ්වුණු ඒ වගේ නිර්මාණ කරන්න Bach ට වගේම මටත් ආභාසය ලැබෙන්නේ දෙවියන් ගැන පෙර කීව සත්‍යය තුළින් ලැබෙන උත්තේජනයත් සමගයි. ලොව පළමු න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය වුණු මැන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි පිරිස අතරින් මේ වනවිට ජීවතුන් අතර සිටින අවසන් තැනැත්තා වන විද්‍යාඥ ෆ්‍රීමන් ඩයන් සමග මෑතකදී මං සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. ඕපන්හේමර්ගේ සුප්‍රසිද්ධ වැකිය වී තිබුණේ ‘මං ලෝක විනාශකයෙක්‘ යන්නයි. මේ කතාබහේදී ඒ පුද්ගලයින්ගේ පසුබිම සම්බන්ධයෙන් තේරුම් ගන්නට හැකිවුණා. න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් වලින් නාසීන්ව මුදවාගන්නට ඔවුන් උත්සහගෙන තිබෙනවා. නමුත්, නාසීන් විනාශ වුණාට පස්සේ මේ අත්හදාබැලීම් නවතා දමන්නට ඔවුන්ට වුවමනා වී තිබුණා ඒ කටයුත්ත බරපතල ලෙස ගණන් ගෙන තිබුණේ නැහැ. හිරෝෂිමා හා නාගසාකි වෙත හැබෑ බෝම්බ හෙලා දමනු වෙනුවට පූජි කන්දේ පෙනුම වෙනස් කරන අදහසින් බෝම්බ හෙලා දමන අන්දම ගැන ඔවුන් අදහස් ලබාදී තිබෙනවා. මිනිස්සු පූජි කන්දට ඉමහත් භක්තියක් දැක්වූවා. ඉතිං, එහි ස්වරූපය වෙනස් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ජපාන ජාතිකයින්ගේ අනන්‍යතාව විනාශ කර දැමීමටයි. හැබෑ මිනිස්සු මරාදමනු වෙනුවට මෙවැන්නක් කිරීම එතැන හිටි එක් විද්‍යාඥයෙකුගේ අදහසක් වී තිබුණා. නමුත්, න්‍යෂ්ටික අවි හෙලාදැමීමේ බරපතලකම සියැසින්ම දුටු ඕපන්හේමර් ඉන් බලවත් කණගාටුවට පත්වී තිබෙනවා. මේ සිනමාපටයේදී සලකා බැලෙන අනෙක් කරුණ වෙන්නේ න්‍යෂ්ටික විනාශයේ බරපතලකම අත්විඳ ඇති බව, ඔබ ෆුකුෂියාමා වල සංචාරය කරද්දි විකිරණ ප්‍රතිකාර අත්විඳිනවා. න්‍යෂ්ටික ශක්තිය ඔබව විනාශ කරදැමීමේ මෙන්ම සුවපත් කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. මේ අද්භූත වෙනස්කම ඔබ දකින්නේ කොහොමද ? ඇත්තටම, මං ඒ ගැන හිතුවා. ඒ ප්‍රතිකාරය නොගෙන හිඳීමේ හැකියාවත් තිබුණා. බටහිර වෛද්‍ය ප්‍රතිකාර නොගෙන ඉන්න මං තීරණය කළා. වෙනත් ප්‍රතිකාර ගැන මං අවධානය යොමුකළත් අවසානේදී තව ටික කලක් නොමැරී ජීවත්වෙන්න මට ඕන වුණේ සාමාන්‍යයෙන් ගන්න තීරණයක් ලෙසයි. හැබැයි, මෙතන තරමක හාස්‍යයකුත් තිබෙනවා නේද ? ඔව්, ඇත්තටම ඔබ සොබාදහම දෙස බලන අන්දම අපූර්ව බව මගේ විශ්වාසයයි. ෆුකුෂියාමා බලන්න යන ඔබ පවසන්නේ ‘හැමවිටම සුනාමි සිද්ධ වෙන්නේ හැබෑ තත්ත්වය නැවතත් පෙන්වන ප්‍රතිසංස්කරණ ලෙසයි‘‘ යන්නයි. මේක හැබෑවක් බව මගේ විශ්වාසයයි. නමුත්, යථාර්තය තුළදී සොබාදහම හැමවිටම තමන් ගැනම පවසන්න උත්සහ දරනවා. ඔබ මේ ගැන දරන්නේ මොනවගේ අදහසක්ද ? මේක අප කතාබහ කරන ශෝකයට අදාළයි. අවංකවම, හෝමෝසේපියන් ගැන දරන විශ්වාසය අහවර විය යුතුයි. අපි ලෝකය විනාශ කරමින් ඉන්නේ න්‍යෂ්ටික අවි වලින් නොවෙයි, නමුත්, අපේම ක්‍රියාවලිනුයි. අපි විශ්වයේ ඉන්න අනෙක් සත්තුන්ට පිළිකාවක් වගෙයි. නමුත්, මේ මොහොතේදී අපි සුසමාදර්ශයක් ඔස්සේ ගමන් කරමින් සිටින බව පැහැදිලියි. කුමක්ම හෝ යමක් සිද්ධ වෙනවා. මං හිතන්නේ අප තාම ප්‍රමාද නැහැ. තවමත් පුංචි හෝ බලාපොරොත්තුවක් හැමතැනකම තිබුණත් මුදල් බලය විසින් හැමදේම ඉක්මනින් විනාශ කරනවා. ආසන්න වශයෙන් පෘථිවිය වසර බිලියන 4.5 ක කාලයක් පැවතී තිබෙනවා. මේ කාලය තුළදී ඩයනෝසරයින් වගේ සමහර දේවල් ඇතිවී නැතිවී ගොස් තිබෙනවා. ඉතිං, පෘථිවිය මත මිනිස්සු ජීවත්වීම හෝ නැතිවීම සාමාන්‍යයි. නමුත්, අපි මේ පෘථිවියේ පරිසර පද්ධතියෙන් බොහෝ කොටසක් විනාශ කර දමමින් සිටිනවා. ඇත්තටම, මං ඒ ගැන බෙහෙවින් දුක් වෙනවා. සංගීතය ගැන ටිකක් කතා කරමු. ඔබේ ජීවිතය පුරාවට ධ්වනි පථයක් එකක් තිබුණා නම් ඒක මොකක් වේවිද ? මගේ ජීවිතය සිනමාපටයක් ලෙසින්ද ? සුවිශේෂී සිනමාපට ගණනාවකට ඔබ සංගීතය සපයා තිබෙනවා. මේ අතරින් ඔබේ හිත්ගත්තු, ඔබේ ජීවිතයට අතිශය සමීප වුණු චිත්‍රපටයක් තිබෙනවද ? කෙනෙක්ගේ ජීවිතය එක් සංගීත ඛණ්ඩයකින් පමණක් පෙන්වීම සාධාරණ නැහැ. සංගීත ඛණ්ඩයකට වඩා මිනිස්සුන්ගේ ජීවිත අතිශය සංකීර්ණයි. සමහර අය කියනවා ‘මම මැරුණම මේ සංගීතය ඇහෙන්න දාන්න‘ කියලා. ඒ වගේ ඔබේ ජීවිතයට තදින් බලපෑ, ඔබේ ජීවිතයේ දුක මෙන්ම සතුට ද පෙන්වන විශේෂ සංගීත ඛණ්ඩයක් තිබෙනවද ? මගේ හිතට එන පළවෙනි දේ බාර්ක්ගේ සංගීතය. මැතිව් පැෂන්. නමුත්, ඒක වඩාත් දුකින් පිරුණු එකක් විය හැකියි. මං බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. ඉතිං, ඒ නිසා ඒක බර වැඩි වෙයි. හිපොප්, තාක්ෂණයෙන් බලගැන්වුණු සංගීත ක්‍ෂේත්‍රය තුළ ඔබ සුවිශේෂී චරිතයක් බවට පත්වී සිටිනවා. ඒවගේම 70 හා 80 දශකයේදී සංගීත ශිල්පියෙකු විදියට ඔබ සමාජය තුළ විශාල බලපෑමක් ඇතිකරන්නට සමත්වුණා. එවැනි තැනැත්තෙක් විදියට ඔබ දරන අදහස මොකක්ද ? සංගීත ලෝකයේදී වයස කොහොමටවත් වැදගත් වෙන්නේ නැහැ. ඉතිං, වයස්ගත වුණත් තරුණ වියේ පසුවුණත් අනෙක් හැම පරම්පරාවක්ම සමගම එකම හැඟීම් බෙදාහදාගන්නට මට හැකියි. ඊට නිසි කාලයක් නැහැ. ඒ මිහිර ඇත්තටම මට සතුටක්. මං කුඩා අවදියේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා අනෙක් අයවත් උනන්දු කළා, අප හැමදෙනාටම එකම භාෂාවක් බෙදාහදාගන්නට හැකිවීම හැබෑම සතුටක්. ඔබ නූතන සංගීතයට සවන්දෙනවාද ? ඔව්, මං Oneohtrix Point Never ගේ නිර්මාණ වලට මං බෙහෙවින් ඇලුම් කරනවා. අපි වසර 30 ක් තිස්සේ වෙන්වී හිටියා. නමුත්, අපිට එකම සංගීතය ගැන කතාකරන්නට හැකිවීම මා ලැබූ ඉමහත් භාග්‍යයක්. ‘මං ලෝක විනාශකයෙක්‘ වැනි ප්‍රකාශයක් නොවුණත් ඔබේ ජීවිතයට තදින් සමීප වූ විශේෂ ප්‍රකාශයක් තිබෙනවද ? මට ලෝකය විනාශ කරන්නෙක් වෙන්න වුවමනාවක් නැහැ. (සිනහසෙමින්). නමුත්, ‘කුඩා යනුවෙන් අදහස් වෙන්නේ බොහෝ ය‘ යන ප්‍රකාශයට මා කැමතියි. 52 Insights සඟරාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි (2018 ජූනි 28) අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්

ඉතිහාසයේ පළමුවරට අගරදගුරුවරයෙකුට සිරදඬුවම්

July 03, 2018 0 Comments
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි අගරදගුරු පදවිය හෙබවූ පිලිප් විල්සන් මාස 12 ක සිරදඬුවමකට ලක්කිරීමට නිව් කාසල් අධිකරණය නියෝග දී ඇත. ලොව  මෙවැනි දඬුවමකට ලක්වූ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයා මොහු වන අතර පූජකවරයා මාස 12 ක කාලයක් ‘නිවාස අඩස්සියේ‘ රඳවා තබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලන බව අඟහරුවාදා (2) දින අධිකරණය තීන්දු කළේය. 1970 වසරේදී නිව් සවුත්වේල්ස් හිදී පියෝෆීලී පූජකවරයකු සිදුකළ ළමා අපචාරයක තොරතුරු වසන් කිරීම නිසා විල්සන් අගරදගුරු හට උසාවිය විසින් මෙවැනි දඬුවමක් ලබාදී ඇත. අධිකරණය මගින් ලබාදුන් තීන්දුව ගැන අදහස් පළකළ රොබට් ස්ටෝන් මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙන්නේ  ‘තීන්දුව ලබාදුන් අවස්ථාවේදී පූජකවරයා කිසිදු පසුතැවිල්ලක් හෝ ශෝකයක් නොපෙන්වූ බව‘යි.  මාස හයක කාලයකට පසු පූජකවරයා සමථයට පත්වීමට සුදුසුකම් ලබන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. කෙසේවුවත්, විල්සන් අගරදගුරුට එරෙහිව එල්ල වූ අධිකරණ චෝදනා හමුවේ පූජකවරයා සිය තනතුරු වලින් ඈත්වුවද  තවමත් සිය පදවියෙන් ඉල්ලා අස්වී නැත පූජක විල්සන්ගේ මිත්‍රයෙකු වූ ජේම්ස් පැට්‍රික් ෆෙලචර් විසින් පිරිමි දරුවන්ට සිදුකරන ලද අතවර පොලීසියට වාර්තා කිරීමට ඔහු අසමත් වූ බව පසුගිය මැයි මාසයේදී අනාවරණය වුණි. මේ සමයේදී පූජක විල්සන් ආධුනික පූජකවරයෙකු ලෙස මේට්ලන්ඩ් ප්‍රදේශයේ කටයුතු කරමින් සිට ඇත. පල්ලියේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහා විපතට පත්වූ තරුණයින් ඉන් ඉවත් කර ඇත. ළමා ලිංගික අපයෝජන චෝදනා 9 ක් සම්බන්ධයෙන් 2004 වසරේදී ෆ්ලෙචර් වරදකරු වූ අතර ඉන් වසර දෙකකට පසු ඔහු සිරගත කෙරුණි. නඩු විභාගය අතරතුරදී ඊට ප්‍රතිචාර දැක්වූ විල්සන් පූජකවරයා  තමන් ෆ්ලෙචර්ගේ ක්‍රියාවන් ගැන දැන සිටි බව ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව පසෙකට කර දැමීමට විල්සන් අගරදගුරුතුමාගේ නීතිඥයින් අවස්ථා හතරකදී උත්සහ කළහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ 67 හැවිරිදි වියේ පසුවන පූජකවරයා අල්සයිමර් රෝගයෙන් පෙළෙන බවය. කෙසේවුවත්, අපයෝජනයට ලක්වූ තරුණයෙකු වන පීටර් ක්‍රේ අධිකරණය හමුවේදී අනාවරණය කළේ තමන් අපයෝජනයට ලක්වූ බව ඒ සිදුවීමෙන් වසර පහක් ගතවී ගොස් 1976 වසරේදී විල්සන් පූජකවරයාට පවසා සිටි බවයි. විනිසුරු ස්ටෝන් විසින් පූජක විල්සන්ගේ නීතිඥයින් විසින් පැවසූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර පීටර් ක්‍රේ විසින් පවසන දෑ විශ්වාස කළ හැකි බව පැවසුවේය. BBC හා The Guardian ඇසුරිනි