Thursday, June 16, 2016

June 16, 2016 0 Comments

මෙවර මෑන් බුකර් සම්මානය ගැහැණුන් දෙදෙනෙකුට 



The Vegetarian හා  Han Kang  

දකුණු කොරියානු ලේඛිකාවක වන Han Kang ගේ The Vegetarian කෘතියට මෙවර මෑන් බුකර් සම්මානය හිමිවිය.The Vegetarian කොරියන් බසින් රචිත කෘතියක් වන අතර Deborah Smith,The Vegetarian කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළ අතර ඇයට ද මෑන් බුකර් සම්මානයක් හිමිවිය. මෙවර මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද Han මේ වනවිට සියොල් විශ්වවිද්‍යාලයේ කථිකාර්යවරියක ලෙස සේවය කරන්නීය. Han රචනා කළ කෘතීන් අතරින් පළමුවරට ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ කෘතිය වන්නේ ද The Vegetarian ය.


The Vegetarian කෘතිය  පිළිබද  ..............

The Vegetarian කෘතියට පදනම් වන්නේ ගෙදරදොරේ සියලු වැඩකටයුතු සිදුකරමින් සිටි ගෘහණියකට එක් රැයක සිහිනයකින් ලැබෙන පණිවිඩයකින්  එළවළු පමණක් ආහාරයට ගැනීමට ගන්නා ලද  තීරණය හා නිවසේ වැඩකටයුතු වෙනුවෙන් ඔහේ සේදී යන ඇගේ ජීවිත කතාවය.



Deborah Smith  - Han Kang  මෑන් බුකර් වෙත ගෙන ආ බ්‍රිතාන්‍යය ගැහැණිය 

මෙහි පරිවර්තිකාව පිළිබද ද පැවසිය යුතුය.  Han කොරියන් බසින් රචනා කළ කෘතිය Smith විසින් පරිවර්තනය කරන විට ඇය 28 හැවිරිදි වියේ පසුවූවාය. මේ අවස්ථාව අතිශය සුවිශේෂී වන්නේ Smith සිය 21 හැවිරිදි වියේදී කොරියන් භාෂාව හැදෑරීමට ආරම්භ කිරීමත් ඒ වනතෙක් ඇය කිසිදු විදෙස් භාෂාවක් නොමැති වීමත් නිසාය.

ඇයට ඇයවම අහිමි වූ වග නම්  ? The Vegetarian 


The Vegetarian කෘතිය පිළිබද මෑන් බුකර් සම්මානය ලබාදීමට බලපෑ හේතුපාඨය ඉදිරිපත් කරමින් මෙහි විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වූ Boyd Tonkin මෙලෙස සදහනක් සිදුකරන්නේය.

‘The Vegetarian කෘතිය තුළින් සාමාන්‍ය ගැහැණියක් සිය පවුල, සාමාජය හා නිවසේ සෑමදෙනා වෙනුවෙන් වූ සියලුම ප්‍රතිඥාවන් හා කල්පිතයන් ප්‍රතික්ෂේප කිරීමට ගන්නා වෑයම හදුනාගත හැකි අතර එකිනෙකට වෙනස් හඩවල් තුනකින් හා වෙනස් පර්යාලෝක ත්‍රිත්වයකින් මනා කතා පෙළක් ඔස්සේ සංක්ෂිප්තව රචනා කර ඇත.මෙය කාව්‍යාත්මක හා විවරණාත්මක භාෂා ශෛලියක් අනුව ලියැවුණු කතාවක් වන අතර මෙම ගැහැණිය ඇය කෙරෙහිම දක්වන පවතින දැවැන්ත ප්‍රතික්ෂේප කිරීම හා ඉන් සමස්ත සමාජයටම බලපවත්නා බලපෑම මෙහි විවරණය කර ඇත.යන්නයි‘


ඇය සිය ජීවිතයේ පළමුවරට සිය සැමියා සමග ගතකළ කාලය පිළිබද සිහිපත් කරන්නට පටන්ගත්තාය. ඒ ජීවිතය  ඔහේ සතුටින්  ගතවී ගිය කාලයක් වූ අතර ඇය ඇයටම  දඩුවම් පමුණුවා ගත් කාලයක් විය.‘  

The Vegetarian හි සදහනක් 

Tuesday, May 3, 2016

May 03, 2016 0 Comments


ලේඛිකාවක වූ අභිසාරිකාව 



සමාජයේ ගැරහුමට ලක්වන වීදි සරන්නියක් පසුකලෙක ඒ සමාජයේම පැසසුමට ලක්වුණු ගැහැණියක් වූවානම් ඒ ඇයම වන්නට ඇත. මායා ඇන්ජිලෝ.

කැලිප්සෝ නර්තන ශිල්පිනියක ලෙස 50 දශකයේදී අතිශය ජනප‍්‍රියත්වයට පත්වන ඇය කලක් වෛශ්‍යාවක් ලෙස ද කටයුතු කරනවා. මාග‍්‍රට් ඇනී ජොන්සන් ලෙස ඉපදුණු ඇගේ නම, මායා ඇන්ජිලෝ බවට පත්වෙන්නේ ඇය වෘත්තීය කැලිප්සෝ නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන සමයේදී යි. මාර්ටින් ලූතර් කිං හා මැල්කම් එක්ස් සමග එක්වී කටයුතු කළ ඇය ඇමරිකාවේ ජීවත් වූ කළු ජාතික පිරිස් වල අයිතීන් වෙනුවෙන් නිරතුරු පෙනී සිටි සමාජ ක‍්‍රියාකාරිනියක් ලෙසින් ද නම්කළ හැකියි. ඒ සියල්ල ඉක්මවා ගිය කල ලේඛිකාවක, කිවිඳියක ලෙස මෙන්ම සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ද මායා ව හඳුන්වාදීමට හැකියි.



මායා ඇන්ජිලෝ ලේඛිකාවක ලෙස හඳුනාගැනීම විශේෂ වන්නේ ඇය විසින් රචිත ස්වයං චරිතාපදාන කෘති හත නිසාවෙනුයි. ඒ අතරින් පළමුවැන්න බවට පත්වෙන්නේ 1969 දී රචිත I Know Why the Caged Bird Sings කෘතියයි.

'නොපැවසූ කතාවක් සිත තුළ සිරකරගෙන හිඳීම තරම් කටුක දුකක් මෙළොව තවත් නැත''
මායා ඇන්ජිලෝ 


මායා සිය අට හැවිරිදි වියේදී මවගේ අනියම් සැමියා අතින් දූෂණයට ලක්වූ අයුරු හා ඇගේ දිවියේ 17 හැවිරිදි වියේදී ඇය මවක් බවට පත් වනතෙක් වූ ජීවන අත්දැකීම් මේ කෘතියේ සඳහන් වී තිබෙනවා. මායාගේ මාමා විසින් ඇයව දූෂණය කළ තැනැත්තා ඝාතනයට ලක්කෙරෙනවා. 

ඉන්පසු ඇය වසර පහක කාලයක තාවකාලික ගොළු බවට පත්වෙනවා.ඒ ගැන පසුකලෙක I Know Why the Caged Bird Sings කෘතියේදී ඇය සඳහන් කරන්නේ



‘‘මම හිතුවේ ඔහුව මැරුවේ මගේ කටහඬ කියලා. මම ඔහුගේ නම කීව නිසා ඔහු මැරුණා. මම කතාකළොත්  ඕනම කෙනෙක් මැරෙන්න පුළුවන් නිසා මම ආයේ කවදාවත් කතා නොකරාවි කියලා හිතුවා’’ යන්නයි.

1974 දී Gather Together in My Name,1976 දී රචිත Singin’ and Swingin’ and Getting’ Merry Like Christmas කෘතිය, 1981 දී The Heart of a Woman කෘතිය, 1986 දී රචිත All God’s Children Need Travelling Shoes, 2002 දී රචිත A Song Flung Up to Heaven හා 2013 දී රචිත Mom & Me & Mom කෘති පෙළ ස්වයං චරිතාපදාන අතරට අයත් අනෙකුත් කෘතීන්ය.

මෙම කෘති පෙළ විශේෂ වන්නේ හුදෙක් එක් තැනැත්තෙකුගේ ජීවිතය පදනම් කරගෙන රචනා වූ ස්වයං චරිතාපදාන වන නිසාවෙන් පමණක් නොව ස්වයං චරිතාපදානයක් ඉදිරිපත් කිරීමේදී නව අත්හදාබැලීම් සිදුකිරීමට උත්සහ කළ කෘති පෙළක් ද වන බැවිනි.

කිසිදු විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා උපාධියක් හිමිකරගැනීමට මායාට නොහැකි වුවද ලොව ප‍්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාල ගණනාවකින් ඇයට ගෞරව උපාධි 50 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදානය කර ඇත. එමෙන්ම, විශ්වවිද්‍යාල ගණනාවක ආරාධිත දේශකවරියක ලෙස මායා සිය දිවියේ අවසන්භාගය තෙක්ම කටයුතු කළ අතර ඇය රචනා කළ කවි හා කෘතීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යයනයට ලක්වෙයි.

වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගූ කළු ජාතික ලේඛිකාවක හා කිවිඳියක ලෙස ඇය ලැබූ ඉහළම ගෞරවය වන්නේ 1993 බිල් ක්ලින්ටන් ජනාධිපති ලෙස දිවුරුම්දුන් අවස්ථාවේදී ඇගේ On the Pulse of Morning කවිය ඉදිරිපත් කරන්නට ලැබුණු ආරාධනාව විය හැකියි. මේ භාග්‍යය නිසාවෙන්ම වර්ගවාදයේ නාමයෙන් පැවති අධ්‍යාපනික, ආර්ථික සීමා මායිම් සමාජයෙන් අතුගා දැමිය යුතුයි යන පණිවිඩය ලෝකයේ අවධානයට ලක්කිරීමට ද ඇයට හැකිවිය. මීටපෙර මෙවැනි ඇරයුමක් ලැබ තිබෙන එකම කවියා වන්නේ රොබර්ට් ෆ්රොස්ට් පමණි. ජෝන් එෆ් කෙනඩි දිවුරුම්දුන් අවස්ථාවේදී ඔහුට මේ ගෞරවය හිමිවිය.

ඇය සිය පළමු කෘතියේදී සිටම ලේඛනයට පිවිසීමේ දී සුවිශේෂී ක‍්‍රමවේදයක් අනුගමනය කළාය. 

උදෑසනම අවදි වන ඇය හෝටල් කාමරයක නවාතැන් ගන්නීය. ඒ වනවිටත් ඇය ඇගේ උපදෙස් පරිදි හෝටල් කාමරයේ බිත්තියේ එල්ලා තිබෙන සියළුම ඡායාරූප ඉවත්කර තිබෙනවා. ෂෙරි බෝතලයක් පමණක් සමීපයට ගෙන සයනයේ වැතිරෙන ඇය දවස පුරාවටම ලේඛනයේ යෙදෙනවා. ඇයට කම්මැලි වුණු විට කෙටි විවේකයක් ගන්නට කාඞ් කුට්ටමක් හා බයිබලය ද පසෙකින් තබාගන්නා බව පසුකලෙක ඇය සම්මුඛ සාකච්ඡාවකට අදහස් දක්වමින් පවසා තිබුණි.  


සිය ජීවන රඟමඬලේ විවිධ භූමිකාවන් නිරූපණය කළ ඇය මියගොස් එළඹෙන මැයි 28 වන දිනට වසර දෙකක් සපිරෙයි.


‘‘නුඹලාගේ කටුක වදන් වලින් මට වෙඩි තබනු ඇත, නුඹලාගේ දෑස් වලින් මා කෑලි කෑලි වලට කපා දමනු ඇත, නුඹලාගේ ද්වේශයෙන් මා මරා දමනු ඇත, නමුත් සුළං පොදක් සේ මා නැවතත් නැගී සිටීවි’’ මායා ඇන්ජිලෝ 


Friday, April 1, 2016

April 01, 2016 0 Comments

කාන්තා නිරුවත කලාවක් වූ කල




කාන්තා නිරුවත දකින්නට වගේම ඒ ගැන කතාබහ කරන්නත් බොහෝ දෙනෙක් කැමතියි. හැබැයි මේ නිරුවත කලාවක් බවට පත්වුණොත් ? 

Anita Slavin Arkin Steckel නැත්නම් Anita Steckel කාන්තාවන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි තැනැත්තියකි. කෙටියෙන්ම කිවහොත් ස්ත‍්‍රීවාදිනියකි. රුසියානු යුදෙව් පවුලක ඉපදුණු ඇය සිය කලා කුසලතාවන් පෙන්නුම් කරන්නට පටන්ගත්තේ 60 දශකයේ අගභාගයේ පමණදීය.



"Giant Woman" 


කලාකාරිනියක ලෙසින් Anita Steckel සුවිශේෂී චරිතයක් බවට පත්වෙන්නේ "Giant Woman"යන සංකල්පය තේමාකරගත් ඇගේ නිර්මාණ ආකෘතිය තුළිනුයි.

Anita ගේ "Giant Woman" සංකල්පයට අනුව දැවැන්ත නගර වල විවිධ ස්ථාන වලදී ගත් ඡුායාරූප මත සිටින නිරුවත් දැවැන්ත කාන්තා රූප නිර්මාණය වුණා. කාන්තා විමුක්ති ව්‍යාපාර තේමාව මූලික කොටගත් මෙම රූප මගින් ‘‘ප‍්‍රමාණය ඉක්මවා ඇතිදැඩි වුණු කාන්තා චරිත’’ ආදිය නිරූපණය කෙරුණා. 


Anita ගේ නිර්මාණ නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන කාන්තා මධ්‍යස්ථානයේදී ඉදිරිපත් වූ අතර ස්ත‍්‍රීවාදී කලා නිර්මාණ ඉදිරිපත් කළ කලාකරුවන් වුණු ජූඩි චිකාගෝ, මාරියම් ෂපිරෝ හා ෆේත් රින්ගෝල්ඞ් ආදීන්ගේ ආභාසය නිරන්තරයෙන්ම ඇය හට හිමිවුණා.

ඇගේ නිර්මාණ ප‍්‍රදර්ශනයන් වලදී වඩාත් ආන්දෝලනයට තුඩුදුන් අවස්ථාවක් වූයේ 1973 දී රොක්ලන්ඞ් ප‍්‍රජා පාසලේදී පැවැති  The Sexual Politics of Feminist Art ප‍්‍රදර්ශනයයි. මේ අවස්ථාවේදී එහි නිරූපණය කර තිබුණු කලාකෘති සියල්ලම පාහේ නිරුවත් සේයා රූ වූ නිසාවෙන්ම මෙම ප‍්‍රදර්ශනය නවතා දැමීමට පවා බලධාරීන්ගෙන් නියෝග ලැබුණා.



හැනා විල්කි, ලූවී බෝර්ජියස්, ජුඩිත් බර්න්ස්ටයින්, මාර්තා ඊඞ්ල්හෙයිට්, ඉයුන්සි ගෝල්ඩන්, ජොනිටා මැක්නීලි, බාබරා නෙසීම් හා ජෝන් සෙමෙල් ඇතුළු පිරිස වාරණයට එරෙහිව ගොඩනගාගත් සංවිධානයක් වූ  "The Fight Censorship Group" සමූහයේ ද ඇය සාමාජිකත්වය දැරුවා. 

1930 දී ඉපදුණු Anita සිය 80 වන වියද පසුකර 2012 වසරේදී මියගියේ නිරුවත් කලා භාවිතාවක් තුළින් කාන්තාවන් පිළිබඳ කතාබහ කිරීමට දැරූ තැනැත්තියකි ලෙසිනුයි. 
ජනප‍්‍රිය සංස්කෘතිය ඇසුරින් නිර්මාණය වුණු Pop කලාංගයන්ට අභියෝගයක් වෙමින්   "mom art" නමින් නවතම කලාංගයක් ඉදිරිපත් කිරීමට ද ඇයට හැකියාව ලැබුණා.



හොඳ නරක ?

‘‘සෘජු වුණු පුරුෂ ලිංගයේ, කෞතුකාගාරයේ තබන්නට තරම් වැදගත්කමක් නැතිනම්, එය කාන්තා සිරුරට ඇතුල් කරන්නට තරම් වූ වැදගත්කමක් නැත යන්න ද සැලකිය යුතු නැත.'' Anita Steckel






Friday, March 25, 2016

March 25, 2016 0 Comments


ජීවිත සටන ගීතයක් වූ කල 

සිය දියණියගේ කුළුඳුල් කුසලතා එළිදකින හැටි දැකගැනීමේ දැඩි වුවමනාවෙන් ඇගේ මාපියන් පල්ලියේ මුල් අසුන් පෙළේ වාඩිගෙන සිටියා. ඒත් හිටිහැටියේ මෙතැනට කඩා වැදුණු සුදු හම ඇති මිනිසුන් පිරිසක් මේ යුවළ මුල් අසුන් පෙළින් ඉවතට ඇද දමා ඔවුන්ට පසුපෙළ අසුන් වල හිඳගැනීමට සැලැස්වුවා. ඒ ඔවුන් කළු සමක් ඇතිව ඉපදුණු නිසාවෙනුයි.

සිය පළමු ගායනය වූ "God Be With You, Till We Meet Again"  ගයන්නට සූදානමින් සිටි දැරිය ඇගේ මාපියන්ට නැවතත් ඉදිරිපෙළ අසුන් වල හිඳගැනීමට දෙන තෙක් ඇගේ ගීය නොගයන බව පවසා සිටියා. Eunice Kathleen Waymon නමින් උපන් මේ දැරිය පසුකලෙක Nina Simone නමින් සිය නම වෙනස් කළා. 

‘‘ආදරය තවදුරටත් මේසය වෙත පැමිණ පිළිගැන්වීම් නොකරන කල මේසයෙන් ඉවත් වී යෑමට ඔබ ඉගෙනගෙන සිටිය යුතුය.’’



ඇය තැලී පෙලෙන මිනිසුන්ට හඬක් අවැසි වූ විට ඔවුන්ගේ හඬ වූවාය. වේදිකාව මතදී ඇය පළකල නිහඬ බව ද ඇය සිය අදහස් ප‍්‍රකාශ කළ අවියක්ම විය.

Nina පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙකු කතාබහ කරන්නේ ඇගේ ජීවිතය අළලා නිර්මාණය කළ What Happened, Miss Simone වාර්තා චිත‍්‍රපටයට හිමිවන කීර්තියත් සමගිනි.

Nina Simone ඇමරිකන් ගායිකාවක, ගීත රචිකාවියක, පියානෝ වාදන ශිල්පිනියක හා සමාජ පිරිස් වල අයිතීන් වෙනුවෙන් 1954-2003 කාලසීමාවේදී හඬ නැගූ ශිල්පිනියකි. ජෑස්, බ්ලූස්, ජන සංගීතය, ගොස්පෙල් හා පොප් ආදී සංගීත ශෛලීන් ගණනාවක සිය දක්ෂතා පෙන්නුම් කිරීමට ඇය සමත්වූවාය.

සිය නිර්මාණ තුළින් Nina ට කළු ජාතික කාන්තාවක ලෙස විඳින්නට සිදුවු දුක් ගැහැට පිළිබඳ පවසන්නට ඇය නිරන්තරයෙන් උත්සහ දැරුවාය.


ජීවිතය අරුමයක් වූ කල

පිලඩෙල්පියා වල පිහිටි Curtis Institute of Music ඇකඩමියේ අධ්‍යාපනය හැදෑරීමට භසබ් සිය තරුණ වියේදී අයදුම් කළ අතර එම තෝරාගැනීමේ පරීක්ෂණයේදී ඇය ප‍්‍රතික්ෂේප වන්නේ ඇය කළු ජාතික කාන්තාවක වූ බැවිනි. කෙසේහෝ මේ සිදුවීමෙන් වසර ගණනාවක් ගතව ගිය තැන 2003 වසරේදී ඇගේ මරණයට දින දෙකකට පෙරාතුව ඇයට මෙම සංගීත ඇකඩමියෙන්ම ගෞරව උපාධියක් පිරිනැමුණි.

Nina Simone 1958 වසරේදී පමණ සිට ගීත ඇල්බම් 40 කට ගණනාවකට ඇය සිය හඬ දායකත්වය ලබාදුන්නාය.

I Loves You, Porgy, My Baby Just Cares for me, I put a Spell on You, Wild is the Wind  වැනි ගීත ඇය ගැයූ ගී අතරින් අතිශය ජනප‍්‍රියත්වයට පත්වු ඒවාය.

Nina Simone ජීවන චාරිකාව ඇසුරින් නිර්මාණය වූ වාර්තා සිනමාපටය

Ninaගේ ජීවිත කතාව හා ඇගේ දිවියේ සුවිශේෂී සංධිස්ථාන පදනම් කරගෙන නිර්මාණය වූ What Happened, Miss Simone,  Liz Garbus ගේ වාර්තා සිනමාපටයකි 

2015 Sundance උළෙලේදී මේ සිනමාපටය ප‍්‍රදර්ශනය වු අතර 2016 ඇකඩමි උළෙලේදී හොඳම වාර්තා සිනමාපටයට හිමි සම්මානය උදෙසා ද නිර්දේශ විය. මේ සිනමාපටයේ නම යොදාගෙන තිබෙන්නේ මායා ඇන්ජිලෝ ගේ පාඨයකිනි.

‘‘මට නිදහස කියලා කියන්නේ බිය නැතිකමයි.’’

Nina Simone

Wednesday, March 23, 2016

March 23, 2016 0 Comments


දෛවයට අභියෝග කළ ජෑස්


පුංචි පුතෙක් විදියට ඉපදී වසර කිහිපයක් ගතවී ගිය තැන ඔහු, ඇය බවට පත්වුණොත්. සරළවම කිව්වොත් ලිංගික විපර්යාසයකට ලක්වුණොත්. ලෝකයා එවැන්නෙකුව මොනවිදියේ කෙනෙක් ලෙසින් පිළිගනීවිද ?


ඇය කවුද ?

ජෑස් ජෙනින් කියන්නේ ලොව සිටින ලිංගික විපර්යාසයට පත්වූවන් වෙනුවෙන් හඬ නගන ළාබාලතම තැනැත්තියයි. යූ ටියුබ් තුළින් අතිශය ජනප‍්‍රියත්වයට පත්වූ චරිතයක්, ගායිකාවක්, නිරූපණ ශිල්පිනියක්, රූපවාහිනී තාරකාවියක් හා LGBT ප‍්‍රජාවේ අයිතීන් වෙනුවෙන් හඬ නගන ළාබාල දැරියක ලෙසින් ඇය නම්කළ හැකියි.

ඔහු, ඇය බවට පත්වූ කල

ජෑස් 2000 වසරේදී මෙලොව එළිය දකින්නේ ජෙනින්න්ස් නම් පිරිමි දරුවෙකු ලෙසිනුයි. නමුත්, ගැහැණිය හා පිරිමියා කියන්නේ කවුරුන්දැයි යන්න නිසිලෙස තේරුම් ගැනීමට වත් නොහැකි වුණු සිය සිවු හැවිරිදි වියේදී ජෑස්, ගැහැණු දරුවෙකු වීමේ මූලික ලක්ෂණ පහළ වෙනවා.

වාසනාවකට වගේ ජෑස් පවුලේ සාමාජිකයින් මේ ගැන දැනුවත් වී තිබුණු නිසා ඇගේ වයස අවුරුදු හයේදී සිටම වැඩෙන දරුවෙකු ලෙස ලිංගික විපර්යාසයට ලක්වීමේදී මුහුණපාන්නට වෙන අභියෝග ගැන ප‍්‍රසිද්ධියේ කතාබහ කිරීමේ අවස්ථාව ජෑස්ට හිමිවෙනවා.

ඒ විතරක් නෙමෙයි ජෑස්ගේ මාපියන්ගේ උදව් උපකාරයෙන් ජෑස් වැනිම වුණු තවත් දරුවන්ට සවියක් වෙන්නට TransKids Purple Rainbow Foundation පිහිටුවාගන්නවා. තමන් කවුරුන්ද යන්න පිළිබද ප‍්‍රසිද්ධියේ පැවසීමට ජෑස් මොනම මොහොතකවත් පසුබට වුණේ නැහැ. පිරිමි දරුවෙකුගේ සිට දැරියක දක්වා පරිවර්තනය වුණු සිය ජීවන අත්දැකීම් I Am Jazz කෘතිය තුළින් ජෑස් ඉදිරිපත් කරනවා. 

ජෑස්ගේ නිර්භීතකම මිනිසුන්ගේ වෙනස් බවට ගරුකරන මහා සමාජය තුළ කෙතරම් පිළිගැනීමට ලක්වූවාද කිවහොත් 2014 වසරේදී ටයිම් සඟරාව නම්කළ "The 25 Most Influential Teens of 2014"  අතරට ද ඇය එක්වෙනවා.

අද වනවිට ඇය රංගන හා නිරූපණ ශිල්පිනියක බවට ද පත්වී හමාරයි. කාන්තා රූපලාවන්‍ය නිෂ්පාදනයේ ප‍්‍රමුඛතම සන්නාමයක් වන  'ක්ලීන් ඇන්ඞ් ක්ලියර්' දැන්වීම් වලට පෙනී සිටීමත් සමගයි. ''මිනිසුන් තුළ තිබෙන ලිංගිකමය වෙනස්කම්  හෝ ලිංග භේදය පිළිබඳ සැලකිලිමත් නොවී ඔවුන්ගේ පෞරෂත්වයට මම හදවතින්ම  ආදරය කරනවා'' ජෑස් ලොවට කියාදෙන පාඩම එයයි. 

ඇය යනු ?


''මා සුවිශේෂී කෙනෙක්. මම හිතන පතන විදියත් අනෙක් අයට වඩා වෙනස්. ඉතිං අනිවාර්්‍යයෙන්ම මා ශක්තිමත් වගේම එඩිතර කෙනෙක් .''

ජෑස් ජෙනින්ස්