
Tuesday, October 9, 2018

මාධ්‍යවේදී ජමාල් තුර්කියේදී මරා දැමුවාද ?
Windy
October 09, 2018
0 Comments


Thursday, October 4, 2018
මං නිර්දය ප්රහසනයන්ට කැමතියි – සල්මන් රුෂ්ඩි
Windy
October 04, 2018
0 Comments

ලෝකයේ කිසි තැනක ප්රජාතන්ත්රවාදය නැහැ – නවාල් අල් සඩාවි
Windy
October 04, 2018
0 Comments



‘නවීන දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ‘ – ෆ්‍රැන්සිස් ෆුකුයමා
Windy
October 04, 2018
0 Comments



ජෙමී හා ශාබාගේ ආදර කතාව
Windy
October 04, 2018
0 Comments



Demons in Paradise – හැබෑම ඩීමන්ලා කවුද ?
Windy
October 04, 2018
0 Comments
Demons in Paradise සිනමාපටයට යාපනය සිනමා උළෙලේදී වුණේ මොකක්ද ?
ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන ‘‘පාරාදීසයේ යක්ෂයෝ‘‘(Demons in Paradise) සිනමාපටය 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔක්තෝබර් 5 වැනිදා දින ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් අත්හිටුවා ඇති බව පසුගියදා (ඔක්තෝබර් 1) ජූඩ් රත්නම් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබෙයි.
ජූඩ් රත්නම් අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ, අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයින් තීරණය කලේ ඇයිදැයි තමන් හරි හැටි නොදන්නා නිසා ඔවුන් මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කළයුතු බවත්ය. මෙය ප්‍රදර්ශනයට එරෙහිව හඬ නගන ‘ප්‍රජාව‘ යනු කවුරුන්දැයි යන්නත් ඔහු විමසා සිටියි.
කෙසේවුවත්, මේ ගැන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කළ යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ අධ්‍යක්ෂවරිය වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය සම්බන්ධයෙන් ජූඩ් රත්නම් පවසන අදහස් නිවැරදි නොවන බවයි.
කෙසේවුවත්, සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන අතර එහිදී වැඩි වශයෙන් අවධාරණය කර තිබෙන්නේ ජූඩ් රත්නම්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් මෙහිදී භාෂණයේ හා ප්රකාශනයේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් යන්නයි.
Demons in Paradise සිනමාපටය
2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) හි දී පළමුවරට තිරගත වූ Demons in Paradise චිත්‍රපටය එහිදී Camera d’Or හා Golden Eye සම්මාන සඳහා නිර්දේශ වූ අතර තවත් ජාත්‍යන්තර උළෙලයන් වලට ද මෙය තරඟ වැදී ඇත.
ජූඩ් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන Demons in Paradise ජූලි පරාටියන්ගේ නිෂ්පාදනයක් වන අතර මෙහි කැමරාකරණය චින්තක සෝමකීර්ති හා මහින්ද අබේසිංහ ගෙනි.
එසේම පසුගිය වසර පුරාවට ලොව පුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක්ම හිමි කරගෙන ඇත.
The Hindu මේ ගැන සටහන් කර ඇති අයුරු
මේ සම්බන්ධයෙන් The Hindu පළකර ඇති ලිපියේ (ඔක්තෝබර් 2) දක්වා තිබෙන කරුණු මෙසේය.
”ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ Demons in Paradise සිනමාපටය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේදී මේ සතියේ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. කෙසේවුවත්, අදාළ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමාපට ඇතුළත් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර පශ්චාත් යුද සමයක් පවතින ලාංකීය සමාජයේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට එල්ල කළ පහරක් ලෙස මෙය හඳුන්වයි.
ජූඩ් රත්නම් පවසන පරිදි මේ සිනමාපටය උළෙලෙන් වාරණය කිරීමට හේතුවී ඇති කරුණ බවට සිනමා උළෙලේ සංවිධායකයින් පවසන්නේ, ‘ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම‘ යන්නයි. ඊට අදාළව ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙන්නේ, ‘මගේ සිනමාපටය ලැයිස්තුවෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයින් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැත. මෙය භාෂණයේ හා ප්රකාශනය පිළිබඳ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් නිදහසට එල්ල වූ බාධාවක් හා වාරණයක් බවත්‘ ඔහු පසුගියදා නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂිකාව වන අනෝමා රාජකරුණා මහත්මිය පවසන්නේ, සිනමාපටය වාරණය කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැති බවයි….
මේ පිළිබඳ අදහස් දක්වන ජූඩ් රත්නම් පවසන්නේ ‘මේ සිනමාපටය යාපනයේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.
LTTE සංවිධානය දමිළ සමාජය තුළම විවේචනය කිරීම හරහා මේ සිනමාපටය හරහා විවේචන මෙන්ම විවේචනාත්මක පිළිගැනීම් ද ඉදිරිපත් කර තිබෙනවා. ලංකාවේ සමාජය තුළ ඵෙතිහාසික වශයෙන් පැවත ගෙන එන වෙනස්කොට සැලකීම මෙන්ම දමිළ සුළුතරය වෙත එල්ල කළ කෘරත්වය LTTE අරගලය තුළ තවමත් මුල්බැසගත් අදහස් බවට පත්වී තිබෙනවා.
කෙසේවෙතත්, LTTEයේ අධිපතිවාදී ආකල්පය මෙන්ම විසම්මුතිකභාවය සම්බන්ධ නොඉවසිලිවන්ත බව ගැන දමිළ සමාජයේ ඉන්න පිරිසක් දිගු කලක් තිස්සේ ප්‍රශ්න කරනවා. ඔවුන් LTTE ය ‘දේශද්‍රෝහීන්‘ ලෙස හංවඩු ගහන අතර එවැනි හඬවල් ඉවත් කරදමා තිබෙනවා.
උළෙලේ සංවිධායකයින් පවසන්නේ මේ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ‘ප්‍රජාවෙන්‘ බලපෑමක් පැමිණි බවයි. මේ කියන ප්‍රජාව කවුද ?. ප්‍රධාන දේශපාලන ආධිපත්‍යයට සම්බන්ධ කතිකාවට විරුද්ධව අදහස් පළකරන ඕනෑම දේකට විරුද්ධව යන අවතාරයක් වසර ගාණක් තිස්සේ අප අතර ඉන්නවා. මේ සිදුවීමෙන් නැවතත් තහවුරු කරන්නේ ඒ අවතාරය අප අතර පවතින බවයි‘‘ යන්නයි.
යහපාලනය භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය තහවුරු කරාවිද ?
සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි වරෙක පවසන්නේ, ‘‘ඕනෑම විවෘත සමාජයක පදනමට හේතුවන සුවිශේෂී කරුණු ද්විත්වය වන්නේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස හා නීතියේ ආධිපත්‍යයයි. මේ පදනම නැති තැන නිදහස් රටක් බිහිවන්නේ නැත‘‘ යන්නයි.
රාජපක්ෂ රෙජීම් පාලනය පරදවා වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත භාෂණයේ හා ප්රකාශනයේ නිදහස ස්ථාපිත කරන බවට වූ පොරොන්දුව මතය. එවැනි පසුබිමක Demons in Paradise සිනමාපටය යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී අසාධාරණයට ලක්වන්නේ රජයේ බලධාරීන්ගේ උපදෙස් වල දායකත්වයෙන් ද යුතුව නම් භාෂණයේ හෝ ප්රකාශනයේ නිදහසට එල්ල වී ඇති බාධාව තරයේ හෙළාදකිමු.
https://youtu.be/E8N-Esvj--0
https://youtu.be/quJTd3Asag0

චාර්ල්ස් අස්නවූර් මතකය
Windy
October 04, 2018
0 Comments
අද ජීවත්වෙන්න, හෙට මොනා වේවිදැයි දන්නේ කවුද ?‘ – චාර්ල්ස් අස්නවූර්
අස්නවූර් යනු කවුද ?
චාර්ල්ස් අස්නවූර් 1924 මැයි 22 වැනිදා මෙළොව එළිය දකින්නේ ආර්මේනියානු කලා පවුලකට දාව ය. වයස අවුරුදු නවය සම්පූර්ණ වීමත් සමගම පාසල හැරයන අස්නවූර්ගේ හීනය වී තිබුණේ ළමා රංගන ශිල්පියෙකු වීමය.
ඔහුගේ මාපියන් දෙවන ලෝක යුද සමයේදී කැබරේ ශාලා වල ගායනයේ යෙදුණු අතර යුදෙව් හා කොමියුනිස්ට් පිරිසට ඔවුන්ගේ නිවසේ රහසිගතව නවාතැන් සැපයීය. සිය පවුලේ උදවිය ගැන පවස ඔහු ‘ප්‍රංශ බස මගේ එදිනෙදා කටයුතු වලදී භාවිත කරන බස වුණත් මගේ පවුලේ අය කතාබහ කළේ ආර්මේනියන් බසයි‘ යන්න පවසා ඇත.
පියා සමඟ
නව රැල්ලේ සිනමා නිර්මාණකරුවෙකු වූ ප්රංශුවා ටෘෆෝගේ සම්භාව්‍ය ගණයේ සිනමාපටයක් වූ Tirez Sur le Pianiste (Shoot the Piano Player) මෙන්ම ක්ලෝඩ් චාර්බ්‍රොල්ගේ Fantômes du Chapelier (The Hatter’s Ghost) ආදී නිර්මාණ වලට ද මෙන්ම ගුන්තර් ග්‍රාස් රචනා කළ The Tin Drum ඇසුරින් නිර්මාණය වූ 1979 ඔස්කාර් සම්මාන ලබාගත් සිනමාපටයට ද දායක වූවේය.
එවක සමාජය ප්‍රසිද්ධියේ කතාබහ කිරීමට අකමැති තේමාවන් වූ විවාහ ජීවිතයේ දී මුහුණදීමට වන අභියෝග, පිරිමින්ගේ හැඟීම් හා ආශාවන්, ලිංගික අපචාර මෙන්ම සමලිංගිකත්වය ගැන ද ඔහු ගී ගැයුවේය.
Comme Ils Disent / What Makes a Man නම් ගීතය 1973 දී බිහිවූ අතර මෙහි තේමාව වී තිබෙන්නේ සමරිසි පුරුෂයෙකු පිළිබඳවයි. මේ ගැන පසුකලෙක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
‘‘සමරිසි බව ගැන ප්‍රංශයේදී මුලින්ම ගීතයක් රචනා කළේ මමයි. මගේ සමරිසි මිතුරන් මුහුණදෙන ඔවුන්ටම අනන්‍ය ප්‍රශ්න ගැන කියන්න මට වුවමනා වුණා. මේ පිරිස නිරන්තරයෙන් සමාජයේ කොන්වීමට ලක්වුණා. ඔවුන් ගැන වෙනස් විදියට දකින්න මේ හරහා හැකියාව ලැබුණා.‘‘
සිය ගායනය ගැන ස්වයං විවේචනයක නිරත වූ අස්නවූර් වරෙක පැවසුවේ, ‘‘මං සම්භාව්‍ය තලයේ අතිදක්ෂ ගායකයෙකු දැයි මා දන්නේ නැහැ. නමුත්, කටහඬක රැඳී තිබෙන සුන්දරත්වයට වඩා අතිශය වැදගත් වන්නේ භාවාත්මකව ගීතයක් ඉදිරිපත් කරන අන්දම හා ඒ තුළ ජීවිතය චිත්රණය කරන අයුරුයි. මගේ හැම ගීතයකින්ම කියන්න උත්සහ කළේ පෞද්ගලික හා අපිට අතිශය සමීප අත්දැකීම් ගැනයි‘ යන්නයි.
ගීත 1400 කට අධික ප්‍රමාණයක් ගායනා කළ ඔහුගේ ගීත ඇල්බම් ලොව පුරා රටවල් 80 ක අලෙවි වී ඇත. සංඛ්‍යාත්මකව ගතහොත් එය මිලියන 100 කට අධිකය. අස්නවෝර් ගායනා කළ ගීත 1400 න් 1300 ක් පමණම ලියැවුණේ ඔහු විසින්ම වීම විශේෂය. තෙවරක් විවාහ වූ ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි.
ප්‍රංශයේ සිනෙට්රා යන නමින් හැඳින්වුණු මේ අපූරු ගායන ශිල්පියා පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිය දිවියෙන් නික්මී යනවිට 94 හැවිරිදි වියේ පසුවූවේය.
තරුණ වියේදී
මගේ ජීවිතය වේදිකාවයි
‘‘මං ජීවත්වෙන්නේ වේදිකාව මතයි. අනිවාර්යයෙන්ම වේදිකාව මතදී මං දැඩි ප්රමෝදයට පත්වෙනවා. මගේ සොහොයුරිය හා මා අවුරුදු 100 ක් ජීවත්විය යුතු බව තීරණය කළා. ඒ තරම් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබුණොත් අපිට වාර්තාවක් තබන්නට හැකිවේවි. මේ ගමන අතරතුරදී මට වගේම ඇයටත් නවතින්න බැහැ ‘‘ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සවස ප්‍රංශ රූපවාහිනියේ විකාශය වූ ඔහු සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය. මෙහිදී චාර්ල්ස් පැවසුවේ තවදුරටත් තමන්ට ගී ගැයීමට අවස්ථාව නොලැබුණොත් තමා මියයාවි යන්නයි.
මනාව සංකලනය වූ ආකර්ශණීය ගී පද මෙන්ම රසවත් ගී ගැයූ ශිල්පියෙකු ලෙස ප්රකටය. ඔහු ගැයූ Après l’Amour නම් ගීතය ප්‍රංශ ගුවන්විදුලිය 1955 තහනම් කළ අතර ලිංගික එක්වීමෙන් පසුව සතුටට පත්වූ යුවළක් සතුටින් ඉපිලෙන අන්දම මේ ගීයේ නිරූපණය කර තිබීම ඊට හේතුවිය.
ප්‍රේමයේ සුන්දරත්වය ගැන ගැයුණු She නම් ගීතය 1974 දී නිර්මාණය වූ අතර පෙම්වතුන්ට දැනෙන සතුට මෙන්ම ඔවුන් අතර ඇතිවන සුළු සුළු ගැටුම් ගැන ද මින් පැවසේ. ‘මගේ ජීවිතයේ අරුත ඇයයි‘ යන්න මේ ගීතයෙන් කියැවේ. මේ ගීතය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ දී ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර එක්සත් ජනපදයේ ගීත දර්ශකයන්හි සති හතරක් පුරා අංක එකේ රැඳී තිබුණි.
සිනෙට්රා, එල්ටන් ජෝන්, සෙලීන් ඩියොන්, බ්‍රයන් ෆෙරී හා ස්ටින් සමග එක්ව ගීත නිර්මාණ ද සිදුකර ඇත. සහෝදර ජනයා වෙනුවෙන් සහන සැලසීමට ද ඔහු නිරන්තරයෙන් එක්වී ඇත. හයිටියේ ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට ප්‍රංශයේ සිටින තරුණ රැප් තරු සමග එක්වී Un Geste pour Haiti Chérie ගීතය 2010 දී ගායනා කළේය.
ඔහු හා ලීසා මිනෙලි නම් ගායන ශිල්පිනිය සමග කලක් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර 2014 දී ඒ ගැන Telegraph වෙත අදහස් දක්වමින් පැවසුවේ, ‘ඇය මගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. කොයි මොහොතක හරි ඇයට හෝ මට කටවහන්න සිද්ධවෙන බව ඈ කිව්වා‘ යන්නයි.
ඔහු නැති සොවින් තැවෙන අය
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, ‘චාර්ල්ස් අස්නවෝර් සිය ආර්මේනියානු අක්මුල් අමතක නොකළ අතිශය හෘදයාංගම ප්‍රංශ ජාතියෙක් වුණා පමණක් නොවේ මුළු ලොවක් ඔහු ගැන දැන හිටියා. පරම්පරා තුනක් අත්විඳි ප්‍රමෝදය මෙන්ම දුක, වේදනාව ද ඔහු අත්දුටුවා. චාර්ල්ස්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයන් තුළ රැඳී තිබෙන්නේ ඔහුගේ කටහඬේ ගැබ්වී තිබෙන අපූර්ව ස්වරය මෙන්ම ඔහුටම අනන්‍ය වූ ප්‍රභාවයි.‘‘ යන්නයි.
අස්නවූර් ජීවිතය ගැන කළ සඳහනකින් මේ සටහනට නිමාව තබන්නම්.
‘‘ජීවිතයේදී කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති බවට මිනිස්සු විශ්වාස කළත්, අපි හැමවිටම කිසිවෙකු හෝ කිසිවක් බලාපොරොත්තු වෙනවා‘‘
Xtra, The Guardian, BBC හා The New York Times ඇසුරිනි
https://youtu.be/Ts7zVUy0Sd0
