‘මේ මොහොත තුළ ජීවත්වෙන්න‘ – හෙක්ටර් ඇබඩ්
Windy
November 06, 2018
0 Comments
කොළොම්බියානු ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා ප්‍රකාශකයෙකු ද වන හෙක්ටර් ඇබඩ් 70 දශකයේදී ලතින් ඇමරිකානු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී සාහිත්‍යය ප්රබෝධයට පසු නැගී ආ සාහිත්‍යධරයෙකු වේ. Angosta හා මෑතකදී ලියැවුණු El Olvido que Seremos (t. Oblivion: A Memoir) නවකතා ඔහු විසින් රචිත විශිෂ්ඨ කෘතීන් අතරට අයත්ය.
හෙක්ටර්ගේ පියා වෛද්‍යවරයෙකු හා ප්රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ අතර සිවිල් යුද සමයේදී දක්ෂිණාංශික පැරා මිලිටරි කණ්ඩායම් විසින් හෙක්ටර්ගේ පවුලේ උදවිය විනාශකර දැමුණි. Oblivion : A Memoir කෘතියේ හෙක්ටර් සිය ජීවිතය පුරා අත්විඳි සිදුවීම් වල මතකය ගොනුකර ඇත.
කොළොම්බියාවේ වාමාංශික කැරලිකරුවන් අවසන් කරන ලද සටනේදී පුද්ගලයින් 260,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්කරමින් මිලියන 7 කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි කළ අන්දම ගැන මෙහි සඳහන් කර ඇත.
ඔහුගේ නවතම කෘතිය වන The Farm තුළ ගරිල්ලා කණ්ඩායම්, පැරා මිලිටරි කණ්ඩායම්, යුද හමුදා සෙබළුන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරට මැදිව ජීවන අරගලයට මුහුණදුන් කොළොම්බියානු පවුලක් ගැන සටහන් වී ඇත. ලා ඔක්ලුටාවේ අවසන් උරුමකරුවන් වන පිලාර්, ඊවා හා අන්තෝනියෝ ඒන්ජල් ප්‍රචණ්ඩත්වයෙන් හා වෛරයෙන් ඇවිලී ගොස් තිබූ සිය අතීත ජීවිතය ගැන සිහිපත් කරන අන්දම චිත්රණය කර ඇත.
පියාගේ නිසල දේහය අසළ සිටින හෙක්ටර්
ඔබේ නවතම කෘතියට පදනම් වී තිබෙන්නේ ඔබ කුඩා කල හැදී වැඩුණු කොළොම්බියාවද ?
ඔව්, මං හැදී වැඩුණු කොළොම්බියාව ගැන මෙහි සනිටුහන් වී තිබෙනවා. උස් කඳු මුදුන් වලින් ගහණ වී තිබෙන මේ රට ලෝකයේ සුවිශේෂී කලාපයන්ගෙන් එකක්. මේ කලාපයේ නිමා නොවෙන උණුසුම් කාලයන් වගේම සීත කාලයන් ද නැහැ. මේ පරිසරය පුරා ඒකාකාරී බවක් දිස්වුණත් අතිශය ආකර්ශණීය වගේම හරිත පැහැයක් වසර පුරාවටම දැකගන්න හැකිවෙනවා. ඒ සුන්දරත්වයත් සමගින්ම ප්රචණ්ඩත්වය මෙන්ම භූමියේ අයිතිය සම්බන්ධයෙන් ද දැවැන්ත අරගලයක් දියත් වෙනවා.
මේ කලාපය පීඩනයට හා තර්ජනයට ලක්වෙන පාරාදීසයක් වගෙයි. භූමියේ හිමිකරුවන්ගෙන් එල්ල වන පීඩනයට ගොවීන්ට මුහුණදෙන්න වෙනවා. ඒවගේම භූමිය අයිති මිනිස්සුන්ට ගරිල්ලා සටන්කරුවන්ගේ පීඩනයට හසුවෙන්න සිදුවෙනවා. ගරිල්ලා කණ්ඩායම් වලට පැරාමිලිටරි පිරිස් වල තර්ජනයන්ට මුුහුණදෙන්න සිදුවී තිබෙනවා. පැරා මිලිටරි කණ්ඩායම් වලට මත්ද්‍රව්‍ය අලෙවිකරන අයගේ තර්ජනයන් වලට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඉන්න සමහර දෙනා ගරිල්ලා සටන්කරුවන් වී සිටි අයයි. මේ හැමදේම අවබෝධ කරගැනීම අතිශය අසීරු තත්ත්වයක් වෙනවා වගේම ප්රචණ්ඩත්වය පැමිණියේ කොහෙන්ද යන්න පවා කිසිම කෙනෙකු දන්නේ නැහැ. ඉතිං, රාජ්‍යය යන්න අතිශය දුරස්ථ, දූෂිත හා නොපැමිණි දෙයක් බවට පත්වී තිබෙනවා.
මේ නවකතාවට පදනම් වී තිබෙන පවුලේ කතාව ඒ සමයේදී දිවිගෙවූ පවුල් වල කතාවන්ට සමාන වුණු ඒවාද ?
කොළොම්බියානුවන්ගෙන් 1 % ක පමණ ප්‍රමාණයක් අතිශය පෝසතුන් විදියට දිවිගෙවද්දී පුරවැසියන්ගෙන් අඩක්ම දුප්පත්කමින් හෝ දුප්පත්කමේ අඩියට පත්වී දිවිගෙවනවා. මේ කෘතියේ නිරූපණය කර තිබෙන ඒන්ජල් පවුල වගේ මා නියෝජනය කරන්නෙත් 49 % ක් වූ අනෙක් ප්‍රමාණය වන අතර මේ ඔවුන්ගේ සැබෑ ස්වරූපයයි.
මේක මධ්‍යම පංතියේ දිවිපෙවත පදනම් කරගත් නවකතාවක් වගේම බොහොමයක් පාඨකයින් ද මධ්‍යම පාංතිකයින් ද වෙනවා. දැවැන්ත පෝසතුන් බවට පත්වී තිබෙන පිරිස් වගේම අතිශය දුප්පතුන් විදියට දිවිගෙවන අය හිතන්නේ එක් දෙයක් ගැන විතරයි, ඒ වැඩි වැඩියෙන් ධනය උපයා ගැනීම හෝ පවතින මිල මුදල් සුරක්ෂිත කරගැනීමයි.
ඔබ රචනා කළ The Farm නවකතාව ලියැවී තිබෙන්නේ පැතිකඩ කීපයකින් යුතුවයි. මේකට හේතු වුණේ මොකක්ද ?
එක් තැනැත්තෙකු මුහුණදුන් අත්දැකීම් නැත්නම් එකම යථාර්තය විවිධාකාරයෙන් විස්තර කරන බහුත්වවාදී නවකතාවන්ට මං දැඩිව ඇළුම් කරනවා. සහෝදරයින් තිදෙනෙකුගේ හඬවල් ඉදිරිපත් කරමින් එකම කතාව එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉදිරිපත් වී තිබෙනවා.
සාදයක් ගැන එකිනෙකා කතාකරන්නේ එය ඔවුන් දුටුව ආකාරය අනුව බවට වූ කියමනක් ස්පාඤ්ඤ ජනසමාජයේ පවතිනවා. සමහරු නටනවා, සමහරු නටන්නේ නැහැ, සමහරු ගොඩක් කතාකරනවා, තවත් සමහරු ගොඩක් මත්පැන් බොනවා, අනික් අය නිකං ඔහේ බලාගෙන ඉන්නවා පමණයි.
ඉතිං, සාදයකදී කන බොන, සතුටුවෙන නැත්නම් සාදය නිසා අසතුටට පත්වෙන විවිධාකාර මිනිස්සු වගේ නවකතාවකදීත් මේ හැමදෙනාටම ඉඩක් ලබාදෙන්න අවශ්‍ය වෙනවා.
කොළොම්බියානු ගැටුමත් සමග ඔබේ පියා අහිමි වීමත් සමග ඒ වාතාවරණය හමුවේ ඊට මුහුණදීම ඔබට අතිශය අසීරු වුණාද ?
මේ නවකතාවේ නිරූපණය කර තිබෙන අන්දමේ මෙන් වූ ගොවිපොළක් මටත් තිබුණා. මගේ සොහොයුරියට හා මට එය උරුම වුණේ මගේ පියාගෙනුයි. ඔහු ඝාතනය වුණාට පස්සේ ඒ ගොවිපොළ අප්‍රාණික පූජා වස්තුවක් බවට පත්වුණා.
ගෙදර ජීවයෙන් පිරීගියේ හරියට ඔහුත් එතැන කොටසක් වී හිටියා වගෙයි, තාත්තගේ මතකය එක්ක බැඳුණු වෙනස්ම විදියේ සම්බන්ධයක් සහෝදර සහෝදරියන් එකිනෙකා තුළ රැඳී පැවතියේ කොහොමද කියන දේ මට අවබෝධ කරගන්න හරිම අසීරු වුණා.
මේ හැමෝටම හිටියේ එකම තාත්තා කෙනෙක්, හැමෝම දැනගෙන හිටියේ එකම ගෙදරක් වුණත් හැමෝම ඒ ගැන දැක්කේ එකම විදියට නෙමෙයි. රටක් විදියට ගත්තත් නැගුණේ එකම එක ප්‍රශ්නයක් විතරයි, ඔයාගේ තාත්තව මැරුවේ කවුද ?, ඔයාගේ සහෝදරයව මැරුවේ කවුද ?. ඔහුව ඝාතනය කළේ ගරිල්ලා කණ්ඩායම් නම් ඒ ගැන හිතන්නේ එක විදියකට, ඔහුව මරාදැමුවේ පැරා මිලිටරි කණ්ඩායම් නම් ඔබ හිතන්නේ තවත් විදියකටයි. ඉතිං මේ හැමදෙනාම හිතන විදියට හිතන්න නවකතාකරුවෙකුට සිද්ධ වෙනවා වගේම මේ සිද්ධි වල ගොදුර බවට පත්වූවන්ගේ මනස තුළ සිරගත වෙන්නත්, මේ සිදුවීම් වල ගොදුරක් බවට පත්නොවී ජීවත්වෙන්න වාසනාව ලැබූවන්ගේ හිතට දැනෙන දේවල් ගොනුකරන්නත් සිද්ධ වෙනවා.
වසර ගණනාවක් පුරා රට අභ්‍යන්තරයේ ගැටුම් පැවතුණු රටක් මේ හැම බාධාවකටම මුහුණදෙමින් යළි නැගී හිටින්නේ කොහොමද ?
ගැටුම් අවසානයේදී දැඩි අවිශ්වාසයක් හා අනෙකා ගැන දැඩි අමනාපයක් ඉතිරි වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, ගරිල්ලා කණ්ඩායම් හෝ පැරා මිලිටරි කණ්ඩායම් නිසා මේ හැම වේදනාවක්ම අපිට අත්විඳින්න සිද්ධ වුණු බව අවසානයේදී දැනෙන්න ගන්නවා. නුරුස්නා ස්වභාවයෙන් ඉන්න රටක් හැමවිටම දැඩි ගැටුම් අද්දර ඉන්නවා. මේ ගැටුම් මතකයේ රැඳී තිබිය යුතු බව ඒ ගැන කතාබහ කරන බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙන නමුත්, මගේ අදහස වෙන්නේ ඒ අඳුරු මතකය අමතක කර දැමීමේ හැකියාව අප සතු විය යුතු බවයි. ඩේවිඩ් රිෆ් කිව්වා වගේ ‘හැමවිටම හැමදේම මතක් කරන්න එපා‘ යන්නයි. බද්ධ වෛරයෙන් ජීවත්වෙන්න එපා, ඉදිරියට ගමන් කරන්න, හැමවිටම අතීතය හෝ අනාගතය දෙස බලන්න එපා, මේ මොහොතේ වඩාත් හොඳ දේ කුමක් දැයි හඳුනාගෙන ඒ තුළ ජීවත්වීමට උත්සහ ගන්න.
කොළොම්බියාවේ ඉතිහාසගත මතකය යළි කැඳවීමේ කාර්යයේදී සාහිත්‍යයට සිදුකරන්න හැකිවෙන කාර්යභාරය මොකක්ද ?
නවකතා යනු කතා ඝන බවට හැරවීමේ යන්ත්‍ර වන බව මගේ විශ්වාසයයි. ඉතිහාසය එහි බිම්කඩවල් හා අනුරේඛාවන් ශේෂ කරන නිසා රටක ඉතිහාසගත කරුණු ගොවිපොළක් හරහා චිත්රණය කරන්නට හැකිවෙනවා. යුද්ධය නිමාවට පත්වුණත් එහි අළු තවමත් සැගවී තිබෙනවා. ගාර්ෂියා මාකේස් සිය නවකතා හරහා චිත්රණය කළ සමූලඝාතයන් මගින් ඉතිහාසය පුරා සිදුවූ සමූලඝාතනයන් ගෙනහැර පෑවා. එවෙලියෝ රොසෙරෝගේ කෘතීන් තුළ නිශ්චිත නමක් නැතිව සඳහන් කර තිබෙන සන්නද්ධ කණ්ඩායම් ගරිල්ලා කණ්ඩායම්, පැරා මිලිටිරි කණ්ඩායම් හෝ සාමාන්‍ය සෙබළුන් විය හැකියි. ජුආන් ග්‍රාබ්‍රියෙල් වස්කෝස්ගේ කෘතීන් වල සඳහන් කර තිබෙන ජර්මානු සම්භවයකින් පැවත එන යුදෙව්වන් දෙවන ලෝක යුද්ධයේදී නාසි පාලන සමයේදී මෙන් සැලකුම් ලබාතිබෙනවා. ලිංගික එක්වීම අනෙක් හැම ඉච්ඡාභංගත්වයකටම ආදේශකයක් බව සන්තියෝගේ ගැම්බෝආගේ කෘතීන් වල ගැබ්වී තිබෙනවා.
මගේ Oblivion කෘතියේදී යහපත් මිනිසෙකුගේ ඝාතනය මගින් සංකේතවත් කර තිබෙන්නේ ගොදුරු බවට පත්වූ අහිංසකයින් ඝාතනයට ලක්වීමයි. නවකතා මගින් අපට, අප ගැනම අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා වගේම එකිනෙකා ගැන අවබෝධ කරගන්නටත් අවස්ථාව හිමිවෙනවා.
කුඩා දුවා, දරුවන්ට කියැවීමට සුදුසු යැයි ඔබ නිර්දේශ කරන කෘතිය මොකක්ද ?
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ Pippi Longstocking හෝ Robinson Crusoe කෘතියයි. Pippi Longstocking කෘතිය කියවන පුංචි දැරිවියන්ට විශේෂයෙන්ම තමන් අතිශය ශක්තිසම්පන්න, දිරියවන්ත හා ස්වාධීන පිරිසක් බව වටහාගන්නට හැකිවෙනවා. කිසිවෙකුගේ උදව් උපකාර ලබානොගෙන තමන්ට තනිවම වුවත් ලෝකයක් ගොඩනැගිය හැකි බව Robinson Crusoe කෘතිය කියවන පුංචි දරු දැරියන්ට වැටහෙනවා. අහම්බයකින් වුණත් නැව් අනතුරකට මුහුණදුන්නු කෙනෙකුට නොමැරී ජීවත්වීමේ හැකියාව තිබෙනවා.
ඔබ අවසන් වරට කියවූ විශිෂ්ඨතම කෘතිය මොකක්ද ? එය විශිෂ්ඨ කෘතියක් බව දැනෙන්න හේතුවුණේ මොනවගේ කරුණුද ?
යුවල් නෝආ හරාරිගේ Sapiens: A Brief History of Humankind කෘතියයි. ප්‍රබන්ධ මගින් විවිධ සමාජ තලයන් වගේම මිනිස්සුන්ගේ විවිධාකාර අවධීන් එකට ගෙනහැර දක්වනවා යන පිළිගැනීම මට නැවුම්ව දැනුණා. ඔහු බොහොම බුද්ධිමත්, ශක්තිසම්පන්න හා අතිදක්ෂ ලේඛකයෙක්.
මේ වෙද්දි ඔබේ පොත් මේසයේ පසෙකින් තබා තිබෙන පොත් මොනවද ?
මගේ බිරිඳත් එක්ක එකතු වෙලා මෙඩලින්හි අන්ගොස්ටා වල පුංචි ප්‍රකාශන සමාගමක් මීට අවුරුදු දෙකකට කලින් ආරම්භ කළා. අලුතින් ක්ෂේත්රයට පිවිසෙන කොළොම්බියානු ලේඛකයින්ගේ කෙටිකතා, නවකතා හා ප්‍රබන්ධ නොවන රචනා වගේම සම්භාව්‍ය ගණයේ නව පරිවර්තන ප්‍රකාශයට පත්කරන්න අවස්ථාව ලැබුණා. මේ අනුව වෝල්ටෙයාර්ගේ Candide කෘතිය වගේම ජෝසෆ් කොන්රඩ්ගේ Heart of Darkness ද පරිවර්තනය කළා. මේ සම්භාව්‍ය ගණයේ පරිවර්තන ද්විත්වය මගේ මේසයේ පසෙකින් තිබෙනවා. යුද්ධයේ අසාරත්වය, දුෂ්ඨකමේ අඳුරු බව වගේම ප්රචණ්ඩත්වය අපව කර්කශ ජීවිතයකට මෙන්ම වෙනත් ඕනෑම තැනකට ඇද දමන්නට හැකි බව මේ කෘතීන් මගින් කියාදෙනවා
සටහන – වින්ධ්‍යා ගම්ලත්
(2018. 11. 04 වැනිදා ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)